ආන්යා ගේ සිතේ පැවති නැවුම් හා විචිත්‍ර හැඟීම් ගොන්න ඇගේ ඇඟිලි තුඩු වල සිට, සිරුර පුරා පැතිරි සියුම් සියුම් වෙනස්කම් රාශියකින් ඇයට ම දැනෙමින් පැවතුණි. හදවතින් ලේ විහිදෙන ගැස්ම, රථයේ විවට ජනේලයෙන් කඩා වදිමින් රෝස පැහැ කොපුල් මත පතිතවන සිහිල් සුළඟ, කොණ්ඩ බූලියට නතු නොවී ඒ සුළඟ සමඟ දඟ කරන්නට වූ හිස කේ රැලි, විටින් විට දිවගින් තෙත් කරන්නට සිදු වූ දෙතොල්...
රෝෂන් බුහුටි ව පැදවූ ඔහුගේ විශ්වාසී ගමන් සගයා, ටොයෝටා රෂ් ජීප් රථය හදිසියක් නොමැතිව වංගු සහිත කඳු පාර බසිමින්... වින්ඩ්ෂීල්ඩය මත නොනැවත පතිත වන සිහින් පොද බිඳු මඳ වේගයෙන් දිවෙන වයිපර් යුවල විසින් නැවත නැවතත් දෙපසට පිස දැමුණි. බලන බලන අත එක්කෝ දීප්තිමත් රතු සහ කහ පැහැයෙන් බබළන රුවැති මලින් පිරුණු පඳුරු... මනාව මට්ටම් කරන ලද කොළ පැහැ සයිප්‍රස් වැටවල්... එසේ නැතහොත් හෙල් පල්ලම් අතරින් අනන්තය තෙක් පැතිර ගිය තද කොළ පැහැ තේ වැවිලි... කඳු මුඳුන්වලින් පහතට බසිමින් පැවති රිදීවන් දිස්නය දුන් සිහින් දිය පහරවල්... ඒ සියල්ල පසුබිම් කරගත් මෝටර් රථයේ ඇන්ජිමෙන් නැඟුනු ඒකාකාරී මුරු මුරු හඬ... සියල්ල විසින් ආන්යා ගේ සිතෙහි පිරී තිබූ චමත්කාරී ආනන්දයේ විසිතුරු බව තීව්ර කළේ ය.
පෙම්වතුන් දෙපළ හිතුවක්කාරී සාම්ප්‍රදායික නොවන චාම් විවාහ උත්සවයකින් පසු තනිවන්නට තෝරා ගත්තේ ගාට්මුවර් දිය ඇල්ල ආශ්රිත ඈත කඳු මුඳුනක පිහිටි කබානාවකි. රෝෂන් ගේ වෘත්තීය සබඳතා හරහා යෝජනා වූ එම ස්ථානය "...ලොවින් හුදෙකලා රාත්‍රීන් කිහිපයක් ගත කිරීමට ඊට වඩා තැනක් නැතැ"යි නිර්දේශ කළේ රට පුරා ම සංචාරය කර ඇති ඔහුගේ ම ජ්‍යෙෂ්ඨ සගයෙකි.
'ලන්තානා - කඳුකරයේ මිමිණුම' පැරණි දැවයෙන් තැනුණු පුවරුව මත කහ පැහැ ලැකර් තීන්තෙන් ඇඳි අකුරු මත වැටුණු පිනි බිඳු... උදෑසන අවදිවන විට පුළුල් වීදුරු කවුලු හරහා ගලා එන ළා රත්පැහැ හිරු කිරණ... කඳුකරයේ පිවිතුරු තෙත්බර වාතය... කබානාවේ ඉදිරිපස වූ පුළුල් දැවමය බැල්කනිය ට පෙනෙන හාත්පස නොඉඳුල් කුරු ගසින් හෙබි වනාන්තරය... රාත්‍රී කබානාව ඉදිරිපස ආරක්ෂිතව තැනුණු තැනක ඇවිලුණු ගිණි මැලයේ පට පට හඬ... ඉහළට නැඟුනු ගිණිපුපුරු සමග වෙන් කර හඳුනා ගත නොහැකි තරම් වූ කණා මැදිරියන්... ඔවුන් හරියට ම ගිණි මැලයෙන් ඉපදී ඉහළට පියාඹා ගොස් අහසේ තරු සමග එක්වන්නාක් මෙන් විටෙක ආන්යාට සිතුණි.
'මිහිරි මතක...' ප්‍රේමයේ මී ළඟ පරිච්ඡේදය ඇරඹීමට ඊටත් වඩා චමත්කාරජනක අත්දැකීමක් තවත් ඇද්ද...
මිහිදුම ඔවුන් වෙත කඩා පනින්නට සැඟවී සිටියේ පාර දෙපස හෙවුණු දැවැන්ත පයින් වගාව පිටුපස ය. එක් වරම තමන් ඉදිරියේ අඩියක්වත් නොපෙනෙන තරමේ අළු පැහැ දුමාරයෙන් පිරි පවුරක් මැවුණි. තම ආරක්ෂාවත් වඩා පෙම්වතියගේ රැකවරණය සැළසීම තම වගකීම බව හැඟුණෙන් රෝෂන් රථයේ මිහිදුම් එළි දල්වා, ආරක්ෂිත ලෙස පාරේ වම්පසට අඩි දෙක තුනක් ධාවනය කර වාහනය නවතා ගත්තේ ය.
"අපි පොඩ්ඩක් බලමු නේ ද බබා?" රෝෂන් මඳ සිනහවකින් එලිය වුණු මුහුණ වම්පසට හරවා ආන්යා දෙස බැලී ය. "මේ මීදුම එකාරට ම ආව වගේ, එක පාරටම අයින්වෙනවා."
ඔහු දැක්වූ ආත්ම විශ්වාසයෙන්, තරුණියගේ ළා දුඹුරු පැහැ දෑසේ වූ බියපත් බව පහව යනවාත් සමග ම...
ලෝහ මත ලෝහ තදින් සහ වේගයෙන් ගැටෙන ශබ්දය... බර පැටවූ ලොරියක ප්‍රධාන ලාම්පුවල එලිය... කුඩා ජීප් රිය මීටර් කිහිපයක් ඉදිරිපසට විසිකරවූ කම්පනය... මේ සියල්ල සිදු වූයේ නිමේෂයකිනි. ඉන්පසු තමන් අත් විඳි දේ ආන්යා ට මතක තිබුණේ කඩින් කඩ ය.
ආසන පටිය විසින් තමන් ආසනයට සිර කර තිබුණ ද, හිස, අත්, පා ඒ මේ අත විසි වන පරිද්දෙන් ජීප් රථය ගල් ගෙඩි මත ගැටෙමින් රවුමට රවුමට පෙරළෙද්දී නැඟුණු ලෝහමය හඬ... ඇඳිරි වූ දෑස් ආයාසයෙන් විවර කර ගනිද්දී තමා ආසන්නයේ ම ඇසුණු රෝෂන් ගේ කෙඳිරුම... "ජෙගන්...! උදයා...! අංගේ...!" නාඳුනන බැරෑඬි කටහඬකින් නිකුත් වූ කෑගැසීම්... යකඩ සහ ලී දඬුවලින් පහර දෙමින් ඇද වුණු වාහනයේ දොරවල් විවර කිරීමට තැත් කරන දුඹුරුවන් හැඩි දැඩි පිරිමි අත්...
විෂබීජ නාශකවලින් නැඟුනු අමිහිරි සුවඳ ආන්යාගේ මනස හරහා ගිය පළමු සංවේදනාව විය. මඳින් මඳ නමුත් සියල්ල ඇගේ සිහියට නැඟුනේය.
"රෝ...ෂන්..." හඬ නැඟීමට ඇගේ දෙතොළ් තවමත් පූර්ණ ලෙස අවනත නැත. ඈ දෑස් විවර කළේ ආයාසයෙනි. වික්ටෝරියානු ශෛලියට තැනුණු පැරණි සුදු පැහැ සිවිලිම... කඩිසරව ඒ මේ අත යන හෙදියන්ගේ ආමන්ත්රණ... රෝගීන් ගේ කෙඳිරි ගෑම්... ඇගේ හිස පිරි මැදි අතෙහි පහස ඈට හුරු පුරුදු විය.
"අම්මා..."
"මම ළඟ ඉන්නව දුව..."
"මගෙ රෝෂන් කෝ...?"
ඊට පිළිතුර එවිගස ලැබුණේ නැත. හිස පිරිමදින මවගේ අතෙහි ඇඟිලි වෙවුලනු ඇයට දැනිණ.
* * *
විහිදුනු විසල් දෑසින් ඇරඹී සුදුමැළි කොපුල් දිගේ වියලී ගිය කඳුළින් සටහන් වූ සියුම් රේඛා, ආන්යාගේ සම මත ඇති කළේ අපහසුවකි. සිය කොන්ද හිරි වැටුණ ද වාඩි වී සිටි පුටුවෙන් නැගිටීමට ඇයට උවමනා නොවී ය. සුදුවන් වළාකුළු විසිරුණු අහස පසුබිම් කරගත් කොල හැළුණු අඹ ගසේ අතු ඉපල් හරහා ගළා බසින වියළි සුළඟට හසුවූ ගේට්ටුව ට ඉහළින් ඇද තිබූ ලොකු සුදු කොඩිය ඒ මේ අත වැනුනේ සාංකාමය ලීලාවකිනි.
සුදු බ්ලවුසයක් සහ දිගැති සුදු සායක් ඇඳ සිටි ඇගේ පපුව මත ගුළි කරගෙන තිබුණේ රිය අනතුර වෙලාවේ ඈ ඇඳ සිටි ලා කහ පැහැති ටී ෂර්ටයයි. එහි ඉදිරිපස කළු පැහැයට හුරු රතුවන් පැල්ලමක් විසිරී ගොස් තිබුණි. එය දකින වාරයක් පාසා, ඇයට සිහිත් වූයේ එක ම එක මතකයකි.
රිය අනතුර... දෙමළ බසින් කතා කරමින්, තැලුණු ඇද වුණු ලෝහ කොටස් මැදින් පාදා ගත් සිදුරකින් ඇය වාහනයෙන් ඉවතට ඇද ගැනීමට තැත් කරන තරුණයන්... සිය ළය මත හොවා, දැතින් තුරුලු කර ගත් රෝෂන් ගේ සිහිසුන් හිස...
දිගු හුස්මක් පිට කළ ආන්යා නැගිට්ටා ය. හිරි වැටුණු දෙපයින් නුහුරට පියවර තබමින් ඈ පිය නැගුවේ නාන කාමරය වෙත ය. එහි විදුලි පහන දැල්වූ තරුණිය, වොෂ් බේසින් එකෙහි ජලය බැස යන සිදුර වසා, එතුළට ටී ෂර්ටය බහා, කරාමය විවර කළා ය.
රෝෂන් හිසෙන් ගළා ගිය ලේ තැවරුණු ටී ෂර්ටය සේදීමට ඈ හිත හදා ගත්තේ අමාරුවෙනි.
ඈ ටී ෂර්ටයේ සබන් ගා, දෑතින් පොඩි කරන්නට පටන් ගනිද්දී ම, විදුලි පහන එක්වර ම නිවී ගියේ ය. හාත්පස අඳුරු වනවාත් සමඟ ම, ලේ කැටි ගැසෙන තරම් සීතලක් පැතිර ගියේ ය...
ආන්යා දෑස විදහා අවට බැලුවා ය. ඇගේ දෑතින් තෙත ඇඳුම ආපසු වොෂ් බේසිම තුළට වැටුණි...
විවර වූ ප්ලාස්ටික් දොරෙහි එකතු වූ සීතල වාතය සහ දුහුවිලි බොඳ වූ මානව රූපයක් බවට... කෙමෙන් කෙමෙන් පරිවර්තනය විය. එහි මුහුණ රෝෂන් ගේ මුහුණට කෙතරම් සමීප දැයි ඇයට දැනුණි. එම පෙනෙන නොපෙනෙන මුහුණෙහි දෙතොල් සෙලෙනු ඇය දුටුව ද, හඬ නැඟුනේ පෙළින් පෙළට... ඇගේ මනස තුළිනි.
"සේදුවට...
ඔය පැල්ලම...
ලේසියෙන්...
අයින් වෙන්නෙ නෑ..."
ඇගේ දෑසින් කඳුළු කඩා හැළුණි.
කඳුළින් බොඳ වූ දැස් අතරින් ඈ රෝෂන් ගේ අපැහැදිලි රුව දෙස බලා සිටියා ය.
රෝෂන් ගේ දෙතොල් නැවතත් සෙලවෙන්නට විය. ඔහුගේ කටහඬ ඇගේ මනසෙහි නැවතත් ඇසෙන්නට විය.
"දාන්න නව විස් සේදුම් කුඩු...
ඕනෙ ම පැල්ලමක් ඉවත් කරයි."



සර්ෆ් එක්සෙල් තරං හරියන්නෑ ඕයි ඕක.
ReplyDeleteමේ ඇඩ් එක විෂුවලයිස් කරන්න සෑහෙන ගානක් වියදං කරන්න වෙනව. වාහනේකුත් පොඩි කරන්න එපෑ. ඒ හින්ද මේක ගැලපෙන්නෙ යුනිලීවර් එකට තමයි.
ReplyDeleteරෝෂන් මළේ අර බේරගන්න ආපු මනුස්සයෙක්ගෙන් ඉල්ලංකූරු පාරක් වැදිලය කියල පස්සෙ ඔප්පු උනා මං හිතන්නෙ.
ReplyDeleteඩ්රැකී මේක නම් අමුතු ලස්සන ලියවිල්ලක්, කතාව ගලා ගිය හැටි අපූරුයි. බාත් රූම් දොර ගැන කියන තුරු කතාව වෙනස් කියන එක දැනෙන්නේම නැහැ. සුපිරියි.
ReplyDeleteනෙද්දකිං. මදෑ හොල්මං කතාවක් බලන්න ආව.
ReplyDeleteඑකාතකට මූට වඩා තව හොල්මනක් කොහෙන්ද.