19 වන සංශෝධනය - තේරෙන සිංහලෙන්... ඉතිරි කොටස

http://www.dailynews.lk/sites/
default/files/styles/original_
watermarked/public/news/2015/02/09/
z_fea800.jpg?itok=oJdRQOqN

මුල් කොටස මෙන්න මෙතන පළ වුනා. මේ දෙවන කොටස...

29 වන වගන්තිය

අධිකරණයේ ස්වාධීනත්වය යටතේ, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන් පත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව, ජනාධිපතිවරයා තම අත්සන යටතේ වූ අධිකාර පත්‍රයකින් බව
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

30 වන වගන්තිය

අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් හෝ අභියාචනාධිකරණයේ සභාපති හෝ විනිසුරු වරයන්, රෝගාතුර වීම, විදේශගත වීම හෝ වෙනත් හේතුවක් නිසා ධූරයේ කටයුතු කිරීමට තාවකාලිකව නොහැකි විට වැඩබැලීමට පත් කළ හැක්කේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය යටතේ බව.
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

31 වන වගන්තිය

අධිකරණ සේවා කොමිෂන් සභා‍ව ගැන තියෙන විධිවිධාන වෙනස් කර තියෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතිය - අගවිනිසුරු සහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා වන බව

(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙත් නෑ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා කියන වචන තිබුණෙත් නෑ.)

මෙයින්, ජනාධිපතිවරයාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටවත්, තමන්ට ඕනෙ විනිසුරු වරුන් පත් කරන්න හැකියාවක් නැතිව යනවා.

ඉහතින් කියලා තියෙන ජ්‍යේෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා මුල් අවස්ථා අධිකරණයක (ප්‍රාථමික අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ) පළපුරුද්ද නැති අය වන විට ශ්‍රේෂ්ඨාධිකරණ‍‍යේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනාගෙන් කෙනෙක් සහ මුල් අවස්ථා අධිකරණ‍යක විනිසුරුවරයෙක් වශයෙන් පළපුරුද්ද ‍ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙක් පත් කළ යුතුයි.

32 වන වගන්තිය

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්ට ජනාධිපති වරයා නිවාඩු දුන් විට, වැඩබැලීමට පත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.

එම සාමාජිකයන් ඉවත් කළ හැක්කේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව, ජනාධිපතිවරයා විසින් හේතු ද දැක්වීමෙනි.

(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

33 වන වගන්තිය

122 ව්‍යවස්ථාව (හදිසි පණත් කෙටුම්පත් සම්මත කිරීම) ඉවත් කිරීම

122 ව්‍යවස්ථාවේ තියෙන්නේ, 120 හා 121 ව්‍යවස්ථා වල සඳහන් වෙන කාරණයක් සම්බන්ධවයි. ඒ, සාමාන්‍යයෙන් පණතක් සම්මත කරන ආකාරය ගැනයි:

121 යම්කිසි පණත් කෙටුම්පතක් හරි ඒකක එක් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න ගැන තීරණය කිරීමේ තනි බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන බව.

නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන පණතක් නම්, ඒක 2/3 බලයෙන් සහ ජනමතවිචාරණයකින් සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත් නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බලය ක්‍රියාත්මක නොකළ යුතුයි. එහෙම නැතුව, සරළ බ‍හුතරයෙන් සම්මත කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා නම්, ඒකට 2/3 ක් / ජනමත විචාරණයක් අවශ්‍යද යන්න පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකියි.

121 මේ බලය ක්‍රියාත්මක කරවන්නට නම්, අගවිනිසුරු වෙත ජනාධිපති වරයා විසින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණයට පුරවැසියෙකු විසින් ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි. ඒකත්, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අදාළ පණත ඇතුළත් කර සතියක් ඇතුළත කළ යුතුයි. ඒ ඉල්ලීමේ පිටපතක් කථානායකට භාර දිය යුතුයි.

ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුයි.

එහෙම ඉල්ලීමක් කළ විට, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු හෝ, සති තුනක් ගෙවෙන තුරු පාර්ලිමේන්තුවේදී ඒ ගැන කිසිම පියවරක් නොගත යුතුයි.

122 ව්‍යවස්ථාවෙ තියෙන්නෙ:

ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය වන බවට කැබිනට් මණ්ඩලය තීරණය කරන සහ, ඒ බවට කැබිනට් මණ්ඩල ලේකම් අත්සන් කරන සහතිකයක් ඇති විට, ඉහත විධිවිධාන අදාළ නොවන බවයි.

එවිට, ඒ පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න ජනාධිපතිවරයා ලිඛිතව (කථානායකට පිටපතක් සහිතව) ශ්‍රේෂ්ඨාධිකරණය විමසිය යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඒ කාරණය පැය විසි හතරක් ඇතුළත හෝ ජනාධිපති නියම කරනවානම්, දින තුනක උපරිම කාලයක් තුළ තම තීරණය ජනාධිපතිවරයාට හා කථානායකට පමණක් දැනුම් දිය යුතුයි.

(18 වන සංශෝධනයත් සම්මත කරගත්තේ මේ විදිහෙ හදිසි පණතක් විදිහටයි. එතකොට, මහජන හිතසුව පිණිස ඉදිරිපත් කරන පණතක් සම්බන්ධයෙන් මහජනතාවට විරෝධය පළකරන්න අවස්ථාව අහිමි වෙනවා. මෙයින් පස්සෙ ඒ තක්කඩි වැ‍ඩේ කරන්න බැරි වෙනවා.)

34 වන වගන්තිය

හදිසි පණත් කෙටුම්පත් ගැන සඳහන් වන තවත් තැනක් වන, 123 (3) අනු ව්‍යවස්ථාව ඉවත් කිරීම.

35 වන වගන්තිය

124 වන ව්‍යවස්ථා‍වේ, 122 වගන්තිය කියන සඳහන ඉවත් කිරීම. (හදිසි පණත් සම්මත කිරීම ගැන කියවෙන හැම තැනක්ම ඉවත් කළ යුතු නිසා.)

36 වන වගන්තිය

ජනාධිපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අදහස් කරන චෝදනා ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කථානායක වරයාට දැන්වීමක් කළ විට, 38 ව්‍යවස්ථාව (මේ පෝස්ටුවේ මුල් කොටසේ තියෙනවා) අනුව, කථානායක වරයා ඒ ගැන ශ්‍ර්ෂ්ඨාධිකරණය විමසූ විට, ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය මාස දෙකක් තුළ වාර්තා කළ යුතු බව දැක්වෙන වගන්තිය ඉවත් කරලා තියෙනවා.

ඒ වගේම, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන්නේ, තමන්ගේ "මතය හා වාර්තාව"  පමණයි කියා වෙනස් කර තියෙනවා, "තීරණය" කියන වචනය ඉවත් කිරීම මඟින්.

37 වන වගන්තිය

134 වන ව්‍යවස්ථා‍වේ, 122 වගන්තිය කියන සඳහන ඉවත් කිරීම. (හදිසි පණත් සම්මත කිරීම ගැන කියවෙන හැම තැනක්ම ඉවත් කළ යුතු නිසා.)

38 වන වගන්තිය

අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් නිදහස් කිරීමට බලය ලත් නිලධාරියා වෙනස් කිරීම.

අයවැයෙන් මුදල් වෙන් කර නැති හෝ, එසේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නැති, අනපේක්ෂිත හදිසි වියදමක් ඇති විට, මේ අරමුදලෙන් මුදල් අත්තිකාරමක් හැටියට නිදහස් කරගෙන, අදාළ වියදම දරන අතර, පසුව පරිපූරක ඇස්තමේන්තුවක් (ඒ කියන්නෙ අයවැයට කරන සංශෝධනයක් වගේ දෙයක් - අවුරුද්දකට ‍මේ වගේ යෝජනා 60 කට වඩා පහුගිය රජයෙන් සම්මත කරගෙන තියෙනවා.) පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන, එයින් අර අත්තිකාරම පියවිය යුතුයි.

කලින් විධිවිධාන තිබුණෙ, මුදල් ඇමතිවරයා ජනාධිපති ගේ කැමැත්ත ඇතිව අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් මුදල් නිදහස් කරගත යුතු බවයි.

19 වන සංශෝධනයෙන් මේ බලය, "මුදල් ඇමතිවරයා අගමැති වරයාගේ කැමැත්ත ඇතිව" කියා වෙනස් කර තියෙනවා.

(කලින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුදල් ඇමතිකමත් දැරූ නිසා, මේ වගේ අවස්ථාවකදී කණ්ණාඩිට ඉස්සරහට ගිහින් කැමැත්ත ලබා ගෙන අවිනිශ්චිත අවස්ථා අරමුදලින් මුදල් නිදහස් කරගන්න ඇති. යම් මුදල් බලයක් සම්බන්ධව පාලනයක් පැවතිය යුතු නිසා දෙන්නෙකුට බලය ලබා දෙනවා. සේප්පුවක් අරින්න වුණත් යතුරු දෙකක් තියෙනවා. රජයේ චෙක් එකක වුනත් අත්සන් දෙකක් ගහනවා.)

39 වන වගන්තිය

විගණකාධිපති පත් කරන්නේ ත්, වැඩබලන විගණකාධිපතිවරයෙක් පත් කරන්නේත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති විසින් බව, (කලින් තිබුණේ නිකම්ම ජනාධිපති විසින් බවයි.)

40 වන වගන්තිය

විගණන සේවා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම

සංයුතිය
- විගණකාධිපති (සභාපති)
- නියෝජ්‍ය විගණකාධිපති තනතුරට වඩා ඉහළ තනතුරක සිට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක්
- ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හො මහාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරු වරයෙක්,
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 පන්තියේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරියෙක්
(සභාපති ඇර අනෙක් සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුයි.)

ආයු කාලය අවුරුදු 3යි. වරක් පත්කළ අයෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත නැවත පත් කළ හැකියි. සාමාජිකයන් ඉවත් කිරීමේදී, ජනාධිපතිවරයා, හේතු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ඉවත් කිරීම කළ යුතුයි.

ඔවුන්ට ගෙවන දීමනාව, පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

කොමිෂන් සභාවේ ලේකම් වරයා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබේ.

රාජ්‍ය විගණන සේවාවක් ස්ථාපනය කිරීම හා මේ කොමිෂන් සභාවේ රැස්වීම් ගැන විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සැලැස්විය යුතුයි.

කොමිෂන් සභාවේ කාර්යයන්-
රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන් ගැන පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් 5 කිරීම්
රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන්ගේ බඳවා ගැනීමේ පටිපාටි, පත්කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා 5 කිරීම් ගැන රීති අනුමත කිරීම,
ජාතික විගණන සේවයේ වාර්ෂික ඇස්තමේන්තුව (අයවැය) සකස් කිරීම,
නීතියෙන් පවරන වෙනත් කාර්යයන්.

කොමිෂන් සභාවේ තීරණයකට, කොමිෂන් සභාවේ සාමාජිකයෙකුට හෝ විගණන සේවයේ නිලධාරියෙකුට බලපෑම් කිරීම හෝ ඊට තැත්කිරීම ට දඬුවම උපරිම රු. ලක්ෂයක දඩයක් සහ / හෝ අවුරුදු 7 ක නොවැඩි සිර දඬුවමක්. (මහාධිකරණ වලින් පැණවිය හැකියි.)

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති මූලික හා භාෂා අයිතිවාසිකම් ගැන අධිකරණ බලයත්, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට ඇති බලයත් ඇර, වෙනත් කිසිම ආකාරයකින්, කොමිෂන් සභාවේ කටයුතු කිසිම අධිකරණයකින් ප්‍රශ්න කළ නොහැකියි.

කොමිෂන් සභාවේ කටයුතු වලින් අතෘප්තියට පත් රාජ්‍ය විගණන සේවයේ නිලධාරියෙකුට ඊට විරුද්ධව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට පැමිණිලි කළ හැකියි.

කොමිෂන් සභාව තම කටයුතු ගැන පාර්ලිමේන්තුවට වගකිව යුතුයි, උත්තර දිය යුතුයි. වාර්ෂිකව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

41 වගන්තිය

විගණකාධිපතිවරයාගේ කාර්ය ක්ෂේත්‍රය (ෆීල්ඩ් එක) පුළුල් කිරීම

කලින් තිබුණු ප්‍රමාණය:
ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු
අමාත්‍ය මණ්ඩලය,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්)
මැතිවරණ කොමසාරිස් කාර්යාලය (19 සංශෝධනයෙන් ඉවත් කර ඇත.)
පාර්ලිමේන්තු මහ ලේකම්
පළාත් පාලන ආයතන
රාජ්‍ය සංස්ථා
නීතියකින් රජයට පැවරී ඇති ව්‍යාපාර හා වෙනත් ව්‍යාපාර ආයතන
   වල ගිණුම් විගණනය කිරීම

19 සංශෝධනයෙන් පහත දැක්වෙන ඒවා එකතු කරලා තියෙනවා:
ජනාධිපති ලේකම් කාර්යාලය
අමාත්‍යවරුන්ගේ කාර්යාල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
ස්වාධීන කොමිෂන් සභා සියල්ල
කොටස් වලින් 40%කට වඩා රජයට හෝ පළාත් පාලන ආයතන වලට අයිති සමාගම්
    වල ගිණුම් විගණනය කිරීම
(මේ සමාගම් ගැන, විගණන පරාසය ගැන කියවෙන හැම තැනකම වෙනස් කිරීම් කරලා තියෙනවා.)

42 වන වගන්තිය

මුදල් කොමිෂන් සභාව (පළාත් වලට ආණ්ඩුවෙන් දෙන ප්‍රදාන ගැන තීරණය කිරීමට පත් කර ඇති) පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් බව.

43 වන වගන්තිය

ජාතික පොලිස් කොමිෂන් සභා‍ව පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් බව. මෙම නිර්දේශ ඉදිරිපත් කරද්දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසිය හැකි බව,

එහි සාමාජිකයන් අතරින් එක් අයෙක් වත් නියෝජ්‍ය පොලිස්පත් වරයෙක් වශයෙන් සේවය කළ අයෙක් විය යුතු බව.

එහි සාමාජිකයන් ඉවත් කළ හැක්කේ ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත බව.

44 වන වගන්තිය

ජාතික පොලිස් කොමිෂන් සභාවේ රැස්වීම් වලට (පොලිස්පති සම්බන්ධ කරුණකදී හැර) පොලිස්පති ට සහභාගී වීමට හිමිකම ඇති බව.

45 වන වගන්තිය

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති මූලික හා භාෂා අයිතිවාසිකම් ගැන අධිකරණ බලයත්, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට ඇති බලයත් ඇර, වෙනත් කිසිම ආකාරයකින්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ කටයුතු කිසිම අධිකරණයකින් ප්‍රශ්න කළ නොහැකියි.

46 වන වගන්තිය

පොලිස් කොමිසමේ බලතල කමිටුවකට හෝ පොලිස් නිලධාරියෙකුට පවරනු ලැබිය හැකි බව.

47 වන වගන්තිය

පොලිසියට එරෙහිව ජනතාව කරන පැමිණිලි භාරගැනීමට, විමර්ශනය කිරීමට හා ඒ සඳහා කාර්ය පටිපාටි සකස් කිරීමට පොලිස් කොමිසමට බලය ලබා දී තිබූ 155 (ඊඊ) වගන්තිය ඉවත් කරලා 48 වන වගන්තියෙන් නැවත එකතු කරලා තියෙනවා.

48 වන වගන්තිය

ජාතික ‍පොලිස් කොමිසමේ බලතල:

පොලිස්පති හැර අනෙක් පොලිසි නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් 5 කිරීම. මේ බලතල පොලිස්පති වරයා විමසා ක්‍රියාත්මක කළ යුතුයි.

පළාත් පොලිස් කොමිෂන් සභා පිහිටුවන විට (13 වන ස‍ංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළත්, තවම පිහිටුවා නැති.) ඒ පළාත් කොමිෂන් වල බලය, මධ්‍යම කොමිසම විසින් අඩු නොකළ යුතුයි.

පොලිසියට එරෙහිව ජනතාව කරන පැමිණිලි භාරගැනීම හා විමර්ශනය කිරීම සඳහා කාර්ය පටිපාටි සකස් කිරීමට පොලිස් කොමිසමට බලය දී තිබෙනවා. ඒ අනුව කොමිසම යම් යම් සහන සැළසීමේදී පොලිස්පති වරයා දැනුවත් කළ යුතුයි.

කොමිසම, පොලිස්පති වරයා විමසා:

- පොලිස් නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම ගැන පටිපාටි සකස් කිරීම,
- පුහුණුව හා පොලිස් සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම,
- ජාතික හා පළාත් පොලිස් සේවා වල භාවිතය සඳහා අවිආයුධ, වෙඩි ද්‍රව්‍ය හා වෙනත් උපකරණ වල ස්වභාවය හා වර්ගය,
- චර්යා සංග්‍රහ හා විනය පටිපාටි
ඇතුළු සියලු කාරණා සැලසීම නිශ්චය කළ යුතුයි.

පොලිස් කොමිසම නිශ්චය කරන යම් පොලිස් නිලධාරී ගණ සම්බන්ධයෙන් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා 5 කිරීම් ගැන බලය කොමිසමේ සාමාජිකයන් නොවන කමිටුවකට හෝ පොලිස්පතිවරයා ට හෝ පොලිස්පති වරයා විමසා වෙනත් පොලිස් නිලධාරියෙකුට පැවරිය හැකියි.

ඉහත කියූ පොලිස් නිලධාරියෙක් කළ ක්‍රියාවකින් සෑහීමකට පත් නොවන අයෙකුට, පොලිස්පති වරයා වෙතත්, ඉන් පසු පොලිස් කොමිසමටත් ඉන්පසු පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියටත් අභියාචනා කළ හැකියි.

49 වන වගන්තිය

පොලිස් කොමිසම විධිවිධාන පණවන තෙක් දැනට පවතින විධිවිධාන බලාත්මක බව.

50 වන වගන්තිය

ඔම්බුඩ්ස්මන් වරයා පත් කරන්නේ සහ, එම ධූරයේ වැඩබැලීමට තැනැත්තන් පත් කරන්නේ
ජනාධිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව බව.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂනය කිරීම සඳහා වූ කොමිෂන් සභාව

පාර්ලිමේන්තුවේ සම්මත වන නීතියකින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත් කළ යුතුය. ඊට සාමාජිකයන් පත් කිරීම, බලතල හා කාර්යයන් පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියෙන් දැක්විය යුතුය. එය පත් කරන තෙක් පවතින කොමිසම බලාත්මක වේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

සංයුතිය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති පත් කරන 5 දෙනෙකුගෙන් සමන්විත වේ.
එයින් 3 දෙනෙක් වත් ප්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය ගැන පිළිගත් අත්දැකීම් ඇති අය විය යුතුය.

ධූර කාලය අවුරුදු 3 යි.

ඔවුන්ට පාර්ලිමේන්තුව අනුමත කරන දීමනාවක්, ‍ඒකාබද්ධ අරමුදලින් ගෙවිය හැක. එය ධූර කාලය තුල අඩු කළ නොහැක.

කොමිෂන් සභාවේ කාර්යයන්:

- රජයේ ආයතන වලින් කරන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය (මිළදී ගැනීම්) අනුමත සැළසුම් වලට හා ක්‍රම වලට අනුකූලද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වල ප්‍රසම්පාදන කටයුතු වලදී සුදුසුකම් ලත් සැපයුම් කරුවන්ට සමාන අවස්ථා ලබාදී ඇත්ද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වල ප්‍රසම්පාදන කටයුතු වලදී කොන්ත්‍රාත් කරුවන්කරුවන් තෝරාගැනීමේ හා කොන්ත්‍රාත් පිරිනැමී‍මේ පටිපාටියේ සාධාරණ බව හා විනිවිද පෙනෙන සුළු බව විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන වලින් කරන ඉහළ වටිනාකම් වලින් යුක්ත ප්‍රසම්පාදන වලදී තාක්ෂණික අගැයීම් කමිටු වලට පත් කරන සාමාජිකයන් සුදුසුකම් ලබා ඇත්ද යන්න විමසා වාර්තා කිරීම,
- රජයේ ආයතන පිළිගත් පටිපාටිවලින් බැහැරව කරන ප්‍රසම්පාදන ගැන විමසීම හා වගකිව යුතු නිලධාරීන් ගැනත්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනත් වාර්තා කිරීම.

කොමිෂන් සභාවට ඕනෑම තැනැත්තෙක් ගෙන්වා ප්‍රශ්න කිරීමට හා, ඕනෑම ලේඛනයක් හෝ දෙයක් පරීක්ෂා කිරීමට බලය ඇත. මෙය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකුට රු. ලක්ෂයක උපරිම දඩයක් හා / හෝ අවුරුදු 7 ක උපරිම සිරදඬුවමක් පැණවිය හැක. මෙය ඕනෑම මහාධිකරණයකින් නියම කළ හැක.

කොමිෂන් සභාවේ පුරප්පාඩු තිබුණත් එය නොතකා කටයුතු කළ හැක. (මේක වැදගත් - මොකද, මෙහෙම වගන්තියක් නැත්නම්, කාට හරි කොමිෂන් සභාව අක්‍රිය කරන්න ඕනෙ නම් සාමාජිකයන් කීප දෙනෙක් පත් නොකර ඉන්න හෝ ඉවත් කරන්න හෝ පුළුවන්)

කොමිෂන් සභාවේ කටයුතු ගැන සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට නොහැක.

කොමිෂන් සභාවේ කාර්ය පරාසයට යටත් වන ආයතන:

- රජයේ දෙපාර්තමේන්තු,
- රාජ්‍ය සංස්ථා,
- පළාත් පාලන ආයතන,
- රජයට පවරා ගත් ව්‍යාපාර හෝ ආයතන,
- රජය, රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයකට 40% කට වඩා කොටස් හිමි සමාගම්,

රජයේ නිලධාරියෙක් යනු කවුද යන්න වෙනස් කිරීම:

රජයේ නිලධාරියෙක් යනු අධිකරණ නිලධාරියෙක් හැර ජනරජය යටතේ වැටුප් ලබන ධූරයක් දරණ ඕනෑම අයෙකි. නමුත් ඊට පහත අය ඇතුළත් වන්නේ නැත.

- ජනාධිපති
- අගමැති
- කථානායක
- ඇමතිවරු
- නියෝජ්‍ය ඇමතිවරු
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්
- ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්
- පාර්ලිමේන්තු මහලේකම්
- ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය
- පාර්ලිමේන්තු මහලේකම් ගේ කාර්ය මණ්ඩලය
- විගණකාධිපති

-----------------------------------------------------
අවසන් කාරණා:

53 වන වගන්තිය

මේ පණතේ සිංහල හා දෙමළ පාඨ වල නොගැළපීමක් තිබ්බොත්, සිංහල පාඨය නිවැරදි සේ පිළිගත යුතුයි.

54 වන වගන්තිය

සැක දුරු කිරීම පිණිස:

දැනට තියෙන පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරියේ නැත්නම් 2016 අප්‍රේල් 21 දින තෙක් ක්‍රියාත්මක විය යුතුයි.

අප්‍රේල් 22 ට පෙර පහත ධූර දැරූ අය, පණත සම්මත වීමෙන් පසුවත් එම ධූර දැරිය යුතුයි, සංශෝධිත විධිවිධාන වලට යටත්ව එම ධූර වල බලතල, කාර්යයන් ක්‍රියාත්මක කළ යුතුයි:

- ජනාධිපති,
- අගමැති,
- අගවිනිසුරු,
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරු,
- අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්,
- අභියාචනාධිකරණ විනිසුරු වරු,
- නීතිපති,
- විගණකාධිපති,
- පොලිස්පති,
- පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස් (ඔම්බුඩ්ස්මන්),
- පාර්ලිමේන්තු මහ ලේකම්.

මෙම පණත සම්මත වූ පසු පහත තනතුරු දැරූ අ‍යගේ තනතුරු අහෝසි වේ:

- පාර්ලිමේන්තු සභාව, (මේ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථිපිත කෙරේ)
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
- ජතික පොලිස් කොමිෂන් සභාව,
- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, (ඒ කියන්නෙ, ආපහු පාර්ලිමේන්තු පණතකින් කොමිෂන් සභාවක් පිහිටුවන තුරු රටට අල්ලස් කොමිසමක් නැති වෙනවා.)
- මුදල් කොමිෂන් සභාව.

මෙම පණත සම්මත වීමට පෙර සිටි මැතිවරණ කොමසාරිස් වරයා දිගටම ධූරය දරණ අතර, මැතිවරණ කොමිෂන් සභාව පිහිටවීමෙන් පසු ඔහුගේ තනතුර දැරීම අවසන් වේ.

ඊට පෙර මැතිවරණ කොමසාරිස් පැවරූ හෝ, ඔහුට විරුද්ධව පැවරූ නඩු, ඉන් පසු මැතිවරණ කොමිසමට අදාළ නඩු ලෙස සැළකේ.

මැතිවරණ කොමසාරිස් විසින් දුන් තීරණ, නියමයන් ආදිය ඉන් පසුවත් බල රහිත නොවේ.

කලින් කොතනක හෝ සඳවන් වන "මැතිවරණ කොමසාරිස්" හෝ "මැතිවරණ දෙපාර්තමේන්තුව" යන වචන වෙනුවට "මැතිවරණ කොමිෂන් සභාව" යන වචනය අදාළ විය යුතුයි.

මේ පණත සම්මත වීමට පෙර රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් වුනු පොලිස් නිලධාරීන් සම්බන්ධ:
- පත්වීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හෝ 5 කිරීම් සම්බන්ධ කරුණු සහ
- අභියාචනා,
පොලිස් කොමිසමට පවරන අතර, පොලිස් කොමිසම ඒවා විභාග කර තීරණ ගත යුතුයි.

මේ පණත සම්මත වීමට පෙර රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් වී තිබූ විගණන සේවයේ නිලධාරීන් සම්බන්ධව:
පත්වීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හෝ 5 කිරීම් සම්බන්ධ කරුණු
විගණන සේවා කොමිසමට පවරන අතර, විගණන සේවා කොමිසම ඒවා විභාග කර තීරණ ගත යුතුයි.

55 වන වගන්තිය

3 සිට 9 දක්වා, 11, (11 වගන්තියෙන් ඇතුළත් කරන 46(1) අනු ව්‍යවස්ථාව හැර) 17, 19 සිට 23 දක්වා, 33 සිට 38 දක්වා වගන්ති (2015.04.22 දින සිට බලාත්මක බව කලින් සඳහන් වුනා.) බලාත්මක වන දින සිට මහ මැතිවරණය අවසන් වන දින දක්වා කාලයට:

- ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම් වල මූලාසනය දැරිය යුතුයි.
- ජනාධිපතිවරයාට අගමැතිගේ එකඟතාවය ඇතිව තමන් වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කළ හැකියි.

56 වන වගන්තිය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධූරය දරන තාක් කල් පහත විධීවිධාන අදාළ වේ:

- රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය හා පරිසරය යන විෂයයන් සඳහා තමන් නිශ්චය කරන වන අමාත්‍යාංශ තමන් භාරයේ තබාගැනීම,
- තමන් පවරාගත් විෂයයන් ගැන තීරණ ගැනීමට හෝ ප්‍රතිපත්ති නිශ්චය කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවිය හැකියි. එහි මූලාසනය දැරිය යුතුයි.

10 comments:

  1. අඩෝ උඹ ජේ.ආර් පප්පගේ නෑයෙක් වත් වෙනවද දුරින් වත් ... මෙච්චර හොඳට ව්‍යවස්ථාව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ..

    මම කලින් කොටසත් හරියට තේරුනේ නැතත් කියෙව්වා .. මේකත් අමාරුවෙන් හරි කියවන්නම් .. හදිස්සියකට බලා ගන්න උඹ (ඔබතුමා ද දන්නෙත් නෑ ) මේවා ලියල දාපු එක වටිනවා .. එල

    ReplyDelete
    Replies
    1. අපේ මහප්ප නම් ජයවර්ධන කෙනෙක් තමා. හැබැයි ජේ ආර් නෙමෙයි.

      ස්තූතියි පැතුම්, ටික දෙනෙක් හරි මේ දේවල් කියවන එක වැදගත්.

      මම"තුමා" නෙමෙයි. :-) "උඹ" කියලා කිව්වම හොඳටෝම ඇති. ඒ වචනෙ මාර හෘදයාංගමයි.

      Delete
  2. උඹ මාර යෙක් බං හිටං .................................

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි හිටං...!

      “හිටං“ කියන වචනෙ පාවිච්චි කරන්නෙ එහෙම නෙවෙයි. “මං මෙව්වා ලියලා හිටං, උඹලා කියවයි කියලා හිතලා හිටං, පෝස්ට් එක දැම්මා...“ අන්න ඒ වගේ. :-)

      මොකද මාත් ඔය වචනෙ පාවිච්චි කරනවා කතා කරන කොට. ඒක ගම්පහ පැත්තෙ කතා විලාසයෙ කොටසක්...

      Delete
  3. හොඳ පැහැදිලි කිරීමක්.ඒකට ස්තුතියි. ඒත් 17 ව්‍යස්ථා සංශෝධනයන් පිහිටුවූ ස්වාධින රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරින් තමන් සවාධින බැවින් කිසිවෙකුටත් යටත් නැත කියා පිස්සු කෙලියා ඔබට මතක ඇතැයි සිතමි. පොලිස් කොමිසමේද මෙවැනි තත්වයක් ඇති වුනා මතකයි. අඩු තරමේ මේ නිලධාරින් අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට වග කිව යුතුය කියා සඳහනක්වත් මේකේ තියෙනවාද?
    අනෙක 34 (4) වගන්තියෙන් බුධාගමට හානියක් වෙනවා කියලා මතයක් තිබුනා. එකත් පැහැදිලි කරනවාද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. 17 වන සංශෝධනයෙන් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, කවදාවත් පත් කළේ නෑ. ඒකෙ අනෙක් හැම සාමාජිකයෙක්ම නම් කළත්, ජනාධිපති නම්කරන සාමාජිකයා නම් නොකළ නිසා... එවැන්නකට තියෙන ඉඩ, 19 වන සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා. “පුරප්පාඩු පැවතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුයි.“ සහ අනෙක් පාර්ශ්ව නම් කළ අය, දින 14 ක් ඇතුළත ජනාධිපති පත් නොකළත් දින 14 කට පස්සෙ ඒ නම් කළ අය එම තනතුරු දරන අය ලෙස සැළකිය යුතුයි“ කියන වගන්ති දෙකෙන්.

      ඉතින් 17 වන සංශෝධනයෙන් පස්සෙ රාජ්‍ය සේවා සහ පොලිස් කොමිෂන් සභා වලට සාමාජිකයන් පත් කළේ ජනාධිපති ගේ අභිමතයෙන්. ඉතින් ඒ පිස්සු කෙළීමට ජනාධිපති ත් වගකිව යුතුයි.

      අනික, 17 වන සංශෝධනයෙත් තියෙනවා, “කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි, උත්තර දිය යුතුයි, ලිත් වර්ෂයක් තුළ තමන් ඉටු කළ කාර්යයන් ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි“ කියලා. (19 වන සංශෝධනයෙත් මේක තියෙනවා.) ඒ බලය හරි හැටි ක්‍රියාත්මක නොකරපු රූකඩ පාර්ලිමේන්තුවක් නෙ තිබුණෙ. ඉතින් පිස්සු කෙළීමට රුකුල් ලැබුණා.

      34 (4) වගන්තිය මම ටිකක් බලලා කියන්නම්...

      ස්තූතියි සමරසේකර මහත්තයා. මම ඔයාගෙ බ්ලොග් එක ගැන දැන්ං උන්නෙ නෑ. එන්නම් ඒ පැත්තෙ.

      Delete
    2. ප්‍රමාද වුනාට කණගාටුයි:

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 34 (4) වගන්තියක් නෑ. 34 ව්‍යවස්ථාවෙ තියෙන්නෙ අනු ව්‍යවස්ථා 3යි. ඒකෙ තියෙන්නෙ අපරාධකාරයන්ට ජනාධිපති සමාව දෙන හැටි ගැන.

      19 වන සංශෝධනයෙ 34 වගන්තියෙ තියෙන්නෙ “හදිසි පණත් අනුමත කිරීම“ ගැන සඳහන් තව තැනක් වුන 123 (3) අනුව්‍යවස්ථාව ඉවත් කරනවා කියලයි. එතනත් 34 (4) ක් නෑ.

      ඔය කියන කාරණය නම් මට මතක හැටියට මේකයි.

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 9 ව්‍යවස්ථාවෙ තියෙනවා, “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවත්, අන් ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරන ගමන් බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම බවත්“

      19 වන සංශෝධනයෙ 5 වගන්තියෙන් ජනාධිපතිවරයා ගැන තියෙන 33 ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. ඒ අනුව:

      “ජනාධිපති වරයා ජාතික සමගියේ සංකේතය විය යුතුයි.

      ආණ්ඩුවේ සියළුම අංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට හා ආරක්ෂා කරන බවට වග බලා ගැනීම,
      ආගමික හා වාර්ගික සහජීවනය සුරක්ෂිත කිරීම, තහවුරු කිරීම හා පහසු කිරීම, සහ
      ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,
      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවල නිසි ක්‍රියාකාරීත්වය පහසු කරලීම හා
      මැතිවරණ කොමිෂන් සභා‍වේ උපදෙස් මත නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම තහවුරු කිරීම
      ජනාධිපති වරයාගේ කාර්යය වේ.“

      ඉතින් මේ කියපු කාරණා, ලාංකික ඒකීය ජාතියක් නිර්මාණය කරගැනීමට සහ යුද්ධයෙන් පස්සෙ උතුර හා දකුණ සන්සිඳුවීමට ගොඩක් වැදගත් නේද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා නම්.

      අර විවේචකයන් කියන්නෙ, ඉහත කියපු “ආගමික හා වාර්ගික සහජීවනය සුරක්ෂිත කිරීම, තහවුරු කිරීම හා පහසු කිරීම, සහ ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,“ කියන දේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙ 9 ව්‍යවස්ථාවෙ තියෙන “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව“ කියන වගන්තියත් එක්ක ගැටෙන බවයි. ඇත්තටම එහෙම දෙයක් වෙන්නෙ නෑ. නමුත් ඒ මඟින් ඒ අය ජාතිවාදයක් අවුස්සන්න හදන බව තමයි පේන්නෙ. ඒ අය කියන දේ තේරුම් ගන්න උත්සාහ කළොත්, “ආගමික හා වාර්ගික සහජීවනය, ජාතික ඒකාබද්ධතාවය කියන දේවල් බුද්ධාගමේ ආරක්ෂාවට තර්ජනයක්...!“

      ඉතිං ඒ අය ගැන අපි අපිටම තීරණය කරන්න පුළුවන් නේද?

      ඒ වගේම අර කලින් කිවුව ස්වාධීන කොමිෂන් සභා ගැන එකතු කිරීමක්:

      රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ හිටපු අතිරේක ලේකම් වරයා සහ උපදේශක වරයා තමයි “අපිට සියලු බලතල තියෙනවා“ කියන විෂබීජය එවක හිටපු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති වරයාගේ ඔළුවට දැම්මේ. (ඒ දෙන්නා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීති හදන්නත් සම්බන්ධයි) ඒ විෂබීජය අනුව නටපු ඔළුව ඉදිමිච්ච නිලධාරී පෙළ තමයි පිස්සු කෙළියෙ.

      නමුත් පිස්සු කෙළීමට විසඳුම වෙන්නෙ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉහළ බලතල කැබිනට් මණ්ඩලයට පවරා ගැනීම නෙවෙයි නේද?

      ලංකාවෙ විධායකය කොටස් දෙකයි:
      දේශපාලන විධායකය - ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය
      ස්ථාවර විධායකය - රාජ්‍ය සේවය

      18 වන සංශෝධනයෙන් රාජ්‍ය සේවයේ සියළු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් පත්කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම කැබිනට් මණ්ඩලයට පවරා ගත්තා. (ඒ කියන්නෙ ස්ථාවර විධායකයේ ඉහළ කොටස දේශපාලන විධායකය යටතට පත් කළා. ඒකෙන් විධායකයෙ තිබුණ සමතුලිත භාවය නැති වුනා.)

      ඉතින් සරළවම, රාජ්‍ය සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දේශපාලනීකරණයට ලක් වුනා.

      Delete
    3. ඔබේ දිගු පැහැදිලි කිරීමට ස්තුතියි. ඔබ ඒ ගැන සැහෙන්න මහන්සිවී තිබෙනවා. ( මා දිනපතාම වාගෙ ඔබේ පිළිතුර බලා සිටියා.) ඔබේ පිළිතුරෙන් එකල රාජ්‍ය සේවා කොමිසම සහ පොලිස් කොමිසම පිස්සු කෙලිමට හේතුව බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.මට හිතෙන විධියට බලය අතට ලැබුනාම ඉහල නිලධාරීන්, (බලය ලබිමට පෙර සහ බලය නැතිවුණු පසු ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුනත්) ඒක තම අභිමතය අණුව කටයුතු කිරීමට ආයුධයක් කර ගැනීම යම් පමණකට හෝ පාලනය කරන යම් නිර්නායකයක් ව්‍යවස්ථාවට ඇතුලත් කරනවා නම් ඒක රටටම හොඳයි. මේ ඉහල නිලධාරීන්ගේ කාර්ය විය යුත්තේ කලමනාකරණය විසින් ගන්නා ප්‍රතිපත්ති තීරණ තමන්ට පහල ස්තරයට නිවැරදි අන්දමට අර්ථ නිරුපය කිරීමයි .එහෙත් අපේ රටේ සිදු නොවන්නේ ඒ කරුණමයි. ඒ වෙනුවට ඔවුන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගොස් උවමනා නැති ප්‍රශ්න රටට දෙනවා.
      ඒක හරියට පෙරහරේ පන්දම් නිසි ලෙස ගෙනයාම අධීක්ෂණය කිරීම භාරව ඉන්නා අය පෙරහැරේ පන්දම් අරගෙන යනවා වාගෙ වැඩක්.

      ඔබේ පැහැදිලි කිරීමෙන් පසු මට හිතෙන අන්දමට 34(4) වගන්තියෙන් බුදු දහමට හානියක් වෙන්නේ
      යයි මතය ජන සමාජය ඉදිරියට ආවේ මුල් ව්‍යස්තාවේ තිබු බුද්දාගම පෝෂණය කිරීම රජයේ වගකීමක් යන පදය හැලීම නිසයි. ව්‍යවස්ථා වෙනස ජනතාවගේ යහපතට විය යුත්තක් මිස වචන හරඹයක් හෝ වචන හංගා කරුණු ඉදිරිපත් කිරීමක් නොවිය යුතුයයි මා හිතනවා. අනෙක් ඇහැට බුද්ධාගම ආරක්ෂා කිරීම රජයේ රජයේ වගකීමක් බව උඩරට ගිවිසුමෙන්ද ස්ථිර කර තිබෙන දෙයක්නෙ.

      ඔබ මගේ blogs බැලීමට කැමතිවීම මට මහත් සතුටක් .මා ඉදිරිපත් කරන ලිපි ගැන ඔබේ අදහස්
      දැනගැනීමටද කැමතියි.

      සමරසේකර

      Delete
  4. ස්තූතියි ඩ්‍රැකී...බොහොම වෙහෙසවෙලා කරපු කාර්යයක්.ඒ වගේම කාලානුරූපව වැදගත් උත්සාහයක්..

    බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගන්තියක්නම් කොහෙත්ම ව්‍යාවස්ථාවට අවශ්‍ය නැහැ කියන එකයි මගේ ස්ථාවරය. මට මතක විදිහට ඔහොම වගන්තියක් ජේ.ආර්. 1978 ව්‍යවස්ථාවට ඇතුල්කලේ ඒකෙ අඩංගු දරදඬු ඒකාධිපති බලතල වලට විරුද්ධව ජනමතයක් ගොඩනැඟීම වැළැක්වීමේ උපායක් වශයෙන්.

    මගේ ප්‍රශ්නය බුද්ධාගමට මොකටද රාජ්‍ය අනුග්‍රහයක්? එහෙම මුක්කුවක්, කිහිලි කරුවක් නැතුව ස්වාධීනව පැවතීමේ හැකියාවක් බුද්ධාගමට නැද්ද? බුදුන් වහන්සේගේ දර්ශනය අද මේ ඉන්න හාමුදුරුවරු හරියට අනුගමනය කරනව නම් බුද්ධාගමට රාජ්‍යානුග්‍රහය නෙවෙයි රාජ්‍යයට බුද්ධාගමේ අනුග්‍රහයයි අවශ්‍ය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කෙළිං කතාව... මාත් එකඟයි. ඒ වුනාට බුද්ධාගම වගේ සංකල්ප තමන්ගෙ ගොඩයාමට පාරුවක් කරගෙන ඉන්න බුවාලට මේක ලොකු කාරණාවක්.

      අගය කිරීම ගැන ස්තූතියි රවි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි