ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

කාලිදාස ගෙ කතාවක්

පින්තූරෙ යාහූ සර්ච් එකකිං ගත්තෙ...

අපේ ආදරණීය හිස්ටෝරියන් මිථිල ප්‍රනාන්දු ලියපු පෝස්ටුවක් දැකල මට කතාවක් ලියන්න හිතුන. බොහොම කෙටියෙන් තමා මේක ලියන්න වෙන්නෙ. මං කාලෙකට කලින් මේ කතාව අහල තිබුණට, හරියටම මතක තිබුන් නෑ. ඉතිං මේක ටිකක් පමා වුනා, මොකද හරියටම ශ්ලෝක දෙක හොයාගන්න සිද්ධ වුන නිසා.

කාලිදාස භෝජ රජ්ජුරුවන්ගෙ රාජසභාවෙ හිටපු කවියෙක් නෙව... එයාගෙ කතා කීපයක් මං ලියල තියෙනව කියල මතකයි. මේ එව්ව.

1. “භ“ යන්න
2. කාලිදාසගෙ මරණය සහ ඉඳුවර දෙනෙත්

භෝජ රජු ගැන හොයද්දි විකියෙ එතුමා ගැන තිබුණ ලිපියක් කියවන්න ලැබුණා. ඒ අනුව එයා රජකළේ, ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් හෙවත් ක්‍රිස්තු වර්ෂයෙන් 1010 ත් 1055 ත් අතරෙ, මධ්‍ය ඉන්දියාවෙ මාල්ව රාජධානියෙ. එතුමාගේ අගනුවර “ධාරා“ නමින් හැඳින්වුනා. භෝජ රජුගෙ මරණින් පස්සෙ එතුමා වටා බැඳුනු ප්‍රවාද අනුව එයා ජනප්‍රවාදයේ එන වික්‍රමාදිත්‍ය රජුට සමාන වෙනව.

භෝජ රාජසභාවෙ හිටියා නවරත්නයක්... ඒ කියන්නෙ වටිනා මිනිස්සු නව දෙනෙක්. ඒ අය තමයි:

අමරසිම්හ (සංස්කෘත ව්‍යාකරණ වේදියෙක් සහ කවියෙක්)
ධනවන්තරී (ආයුර්වේද වෛද්‍යවරයෙක්)
ඝටකාරපර
කාලිදාස
ක්ෂපනක
ශන්කු
වරාහමිහිර (තාරකා ශාස්ත්‍රඥයෙක්)
වරරුචි (වාග්වේදියෙක් සහ ව්‍යාකරණ වේදියෙක්)
වේතාල-භට්ට (නීති විශාරදයෙක් සහ දේශපාලන වේදියෙක්)

කියන අය. (ඔය වගේ නවරත්නයක් මහා අක්බර් අධිරාජයාගෙ රාජසභාවෙත් හිටිය කියනව.)

ඔයිං කාලිදාස තමයි ලොවෙත් කවියා.

දවසක් භෝජ රජ්ජුරුවන්ට හිතුණ මෙච්චර කවි කියන කාලිදාස මං මළහම මොන වගේ කවියක් කියයිද කියල. එහෙම හිතිල, එක සැරයක් කාලිදාසට අණ කළා,

“දැං කියහං මං මළහම කියන කවිය“ කියල.

කාලිදාස කිව්ව,

“ඒක එහෙම කියන්ඩ බෑ, රජතුමා. නියම හැඟීම පහළ වෙන්නැතුව ඒ වගේ කවියක් කියන්ඩ බෑ“ කියල.

ඒ කිව්වට මොකද කාලිදාසගෙ හිතට හරි මදි. මොකද, රජතුමා කියපු දෙයක් බෑ කියන්ඩ වෙච්ච නිසා. ඒ හින්දා එයා එදාම තමන්ගෙ ගෙදරින් පිටවෙලා, නගරය අතඇරල යන්ඩ ගියා.

දැං ඔන්න දවස් ගාණක් වෙනව, රාජ සභාවට කාලිදාස එන් නැතුව. රජතුමාටත් බොහොම කණගාටුයි. අන්තිමේ රජතුමා වෙස්වළාගෙන ගියා කාලිදාස හොයාගෙන. ඔහොම ගිහිං දවසක් දා රජතුමාට කාලිදාස හම්බුණා අම්බලමක ඉන්නව. රජතුමා වෙස්වළාගෙන ගියාට කාලිදාස වෙස්වළාගෙන ගියෙ නෑනෙ. ඉතිං භෝජ රජතුමා එකෙම්ම අඳුනගත්ත තමංගෙ ප්‍රියතම කවියව. අඳුනගෙන ආගිය කතා එහෙම කතා කරන්න ගත්ත.

කාලිදාස ඇහුව එයාගෙං, ඔයා කොහෙ කෙනෙක්ද කියල.

රජතුමා කිව්ව “මං ධාරා නගරෙං එන්නෙ“ කියල.

“ඇත්තට?“ කාලිදාස බොහොම සතුටු උනා. “දැං කොහොමද අපේ භෝජ රජතුමා එහෙම? හොඳිං ඉන්නවද?“

“අනේ බොහොම කණගාටුයි.“ කපටි රජා උත්තර දුන්න. “රජතුමා මැරුණනෙ...“

කිව්ව විතරයි කාලිදාස ගෙ මූණ මැළවෙලා ගියා.

“අධ්‍ය ධාරා නිරාධාරා - නිරාලම්බා සරස්වතී
පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ - භෝජ රාජා දිවංගතේ...“

හිටිවනම කාලිදාසට කියවුනා.

ඒකෙ තේරුම තමයි:

ධාරාව (ධාරා නගරය) වියළී ගියා - සරස්වතීට එල්ලෙන්න වැල් නැති උනා - සියළුම පණ්ඩිතයන් කැඩී විසිරී ගියා - භෝජ රජතුමා මියගිය නිසා...

රජතුමා ට උන්හිටි තැන් මතක නැති උනා මේ කවිය අහල. ඇයි? එයා අහගන්න ආසාවෙන් හිටපු කවිය නෙ. ඉතිං එතුමා පැනපු ගමං කාලිදාස බදාගෙන කිව්ව,

“කාලිදාස, උඹ නං දෙයියෙක්. මම තමයි භෝජ රජු. මං අහගන්න ආසාවෙන් හිටපු කවිය තමයි දැං උඹ කිව්වෙ...“

කාලිදාස ගත් කටටම මෙහෙම කිව්ව.

“අධ්‍ය ධාරා සදාධාරා - සදාධාරා සරස්වතී
පණ්ඩිතා මණ්ඩිතා සර්වේ - භෝජ රාජා භුවංගතේ...“

ඒකෙ තේරුම මෙහෙමයි :

“... ධාරාව සදහට ගළයි - සරස්වතිය සසරණ ව සිටියි
පණ්ඩිතයන් සියල්ලම මඩවන - භෝජ රජු තාම පණපිටිං...“

පහළ තියෙන්නෙ භෝජ රජුගෙ ප්‍රතිමාව - ඒක තියෙන්නෙ භෝපාල් නගරයෙ.

පින්තූරෙ විකිපීඩියාවෙන් ගත්තෙ

Comments

  1. Replies
    1. පහළට යන අයට එලිෆන්ට් පාස් කරගෙන යන්න වෙනව...

      Delete
    2. කවුද අලියො පවු?

      Delete
    3. කාලිදාස, රජ්ජුරුවො, දෙන්නම

      Delete
    4. අනෙ උඹෙ අනුකම්පාව...!

      Delete
  2. කාලිදාසගෙන් පස්සෙ බිහිවුන කවියො මහා කාව්‍ය හෝ වීර කාව්‍ය ලිව්වත් ඒ අය කාලිදාස තරන් දක්ෂ අය උනේ නෑ... මේ ලිපිය කියවද්දි කාලිදාසගෙ මේඝදූතය ගැන ලියන්න ආසාවක් ආවා... ඒකෙ ලස්සන විස්තර ටිකක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිථිල, අන්න ලියනවනං ලිපි... කාලිදාසගෙ කාව්‍ය භාෂාව හරියටම ... නිකං දක්ෂ කුඹලෙක්ගෙ අතේ පදං කරපු මැටි පිඩක් වගේ... උපමා, එළිසමය, වර්ණනා, සියුම් විස්තර, ... කියල වැඩක් නෑ මිථිල. පෞද්ගලිකව ඉල්ලන්න කැමතියි ඒ ගැන ලියන්න කියල...

      Delete
  3. මේ කතාව කලිනුත් අසා තිබුනා. ඒත් ඒ රසය නැවතත් විඳින්නට ලැබුණා

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්තයා... කාලෙකිං දැක්කෙ...

      Delete
  4. අගනා ලිපියක් ඩ‍්‍රැකී ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට යි, මඟ සළකුණු තිබ්බටයි ස්තූතියි අසංග

      Delete
  5. අගනා විස්තරයක්.

    ReplyDelete
  6. මම මේ තොට ගහපුවම කියන කවිය පබඳිමින් ඉන්න ගමං හිටං.
    -னයා-

    ReplyDelete
    Replies
    1. ආනමාලුං දිගං දිගං - ඉදියාප්පං රවුං රවුං
      අග්ගලානං බෝල බෝලං - අලුව කෑලී හුරෂ් පරහ්

      Delete
  7. අර පහළින් තියෙන්නෙ භෝජ රජ්ජුරුවන්ගෙ ස්කූටි පෙප් එක ද?

    භෝජ රජ්ජුරුවො කවියට කලාවට බොහොම ලැදි රජෙක් වගේම කලාකාරයන්ට හොඳට සලකලත් තියෙනවා කියලයි කියන්නෙ. මේ තියෙන්නෙ එහෙම කතාවක්.

    මාඝ නමැති කවියා තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙදි බොහොම දුප්පත් දුක්ඛිත තත්වයකට පත්වෙනවා සීමාවක් නැතිව දනට පිනට දීම නිසා. වෙන කරන්ට දෙයක් නොපෙනෙන මාඝ, කවි පොතක් ලියලා භෝජ රජ්ජුරුවන්ට පිළිගන්නනවා පොඩි සන්තෝසමක් බලාපොරොත්තුවෙන්. පොත කියවන භෝජ රජ්ජුරුවො ඒකෙ තියෙන එක ශ්ලෝකයක් ගැන බොහොම ආසාවෙනවා.

    කුමුද වන මපශ්‍රී ශ්‍රීමදම්භොජ ඛණ්ඩං
    ත්‍යජති මුදමූලුක: ප්‍රිතිමාං ශ්වක්‍රවාක:
    උදය මහිම රශ්මිර් යාති ශීතාංශුරස්තං
    හතවිධි ලසිතානං හි විචිත්‍රො විපාක:

    යම් කලෙක දෛව විපරිතයක් වේ නම්, එකල හැම කාර්‍ය්‍ය සිද්ධියක්ම නෂ්ට වන්නේය. සූර්‍ය්‍යයා උදාවන විට වන්ද්‍රයා අසංතංගත වන්නාක් මෙනි. හිරු උදාවන විට කමල වන විකසිත වෙයි. කුමුදු වන මුකුලිත වෙයි. උලුකයන් ගේ දෘෂ්ටි හීන වෙයි. කාන්තා විරහ දුක්ඛය නැතිවීමෙන් චක්‍රවාක පක්ෂින්ට ප්‍රීතිමත් අවස්ථාවක් වෙයි.

    "මේ ශ්ලෝකයට මුලු රාජ්‍යයම පිදුවත් මදි" යි කියන භෝජ, එච්චර දෙයක් කරන්ට බැරි නිසා මේකෙ අන්තිම පදේ එන 'හි' අකුරට ලක්ෂයක් ගෙවන්නයි කියලා නියම කරනවා.

    ReplyDelete
    Replies
    1. අර ස්කූටිය දැක්කම මටත් එහෙම්ම හිතුණා... හැක්

      බුරාගෙ කතාව මං අහල තිබුණ් නෑ. ඒ වගේ කතා වලින් තමයි බ්ලොග් පෝස්ට් තවත් පොහොසත් වෙන්නෙ.

      හැබැයි ඔයිට සමාන ආකෘතියෙ කතාවක් කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ කතා අතරෙ තිබුණ මට මතකයි.

      ගොඩක් දුප්පත් බමුණෙක් හිටියා. එයා කොච්චරවත් ශාස්ත්‍රීය වැඩම තමයි කළේ. බඩරස්සාවක් පුරුදු වෙලා හිටියෙ නෑ. ඉතිං බැමිණි කොච්චරවත් උන්දැට බණිනව, “මේ ළමයි බඩගින්නෙ අඬන හැටි මට ඉවසන්ඩ බෑ. ගිහිං මොනව හරි හොයං එනව...“ කියල.

      එතකොට බමුණ කියන්නෙ, “ළමයින්ට කවද හරි තමුංගෙ තාත්ත ගැන ආඩම්බර වෙන්ඩ පුළුවං මං මේ කරන සාහිත්‍ය ප්‍රබන්ධ වලින්“ කියල බැමිණි සනසන්ඩ හදන එක.

      දවසක් බැමිණිට හොඳ අදහසක් එනව. ඈ කියනව, “තමුසෙ ඔය හදන මොකක් හරි ප්‍රබන්ධෙයක් රජ්ජුරුවන්ට පෙන්නනවකො. රජතුමා තෑග්ගක් දෙයි. ඒකෙං අපිට සෑහෙන කාලයක් කන්ඩ පුළුවං...“

      ඒකත් හරි තමයි කියල බමුණත් මහන්සි වෙලා බොහොම දුෂ්කර කවියක් හදනව. හදල ගිහිං කැකිල්ලෙ රජ්ජුරුවන්ට ඔප්පු කරනව.

      රජ්ජුරුවොත් හරියට සතුටු වෙලා, කවියට ගෞරවයක් වශයෙන් තමංගෙ සිංහාසනේට කෙළින් පුටුවක වාඩි කරවගන්නව.

      ඒ ගෞරවෙන් හිත පිරිල, බමුණ බොහොම සන්තෝසෙන් ගෙදර යනව. ගිහිං බැමිණිට කියනව විස්තරේ. බැමිණි අහනව,

      “ගොඩක් හොඳයි තමයි. මට හරි සතුටුයි ඔයාට ගෞරව කළ එකට. ඒත් මොකුත් කන්ඩ පුළුවං දෙයක් හම්බුන් නැද්ද?“ කියල.

      එතකොටයි බමුණට තමුංගෙ අරමුණ මතක් වෙන්නෙ. එයා ආපහු ගිහිං රජතුමාට තමුංගෙ දුක කියනව.

      රජතුමා ගොඩක් අනුකම්පා කරල, වටිනා සළුවක් තෑගි දෙනව බමුණට. බමුණත් ආපහු හැරිල එනව ගොඩක් සන්තෝසෙන්. එනගමං, අර රාජකීය සළුව ආසාවෙං තමංගෙ ඇඳුමට උඩිං ඇඳගන්නව.

      වැරහැලි වලට උඩිං වටිනා සළුවක් ඇඳගත්ත රැවුළෙක් පාරෙ යනව දැකල, මිනිස්සු පිස්සෙක් කියල හිතල බමුණට ගල් ගහල එළවල දානව...

      ඕක කිය්දි තව කතාවක් මතක් උනා.

      නස්රුදින් ගියා දවසක් රජතුමා හම්බෙන්ඩ. ගිහිං ආපහු ඇවිත් කඩමණ්ඩියෙදි ඒ ගැන වර්ණනාව කියෝනව ඉතිං.

      “මම රජමාළිගාවෙ මිදුලෙ ඉන්නකොට... තේජාන්විත විදිහට රජතුමා අස්සය පිටේ නැගල එතෙන්ට ආව. කෙලිම්ම මං දිහා බලල, එතුමා අත දික්කරල, කෙලිම්ම මට කතා කළා...“

      ඉතිං මිනිස්සුන්ට හරි ආසයි. “රජතුමා කෙලිම්ම නස්රුදින්ට කතා කළාලු...“ කියන ආරංචිය හරිම වේගෙන් පැතිරුණා.

      “ඉතිං රජතුමා මොකද්ද කිව්වෙ?“ පොඩි ළමයෙක් ඇහුව.

      “කිව්වෙද...?“ නස්රුදින් උත්තර දුන්න. “එතුමා මට කිව්ව - පලෙයං යන්ඩ මගෙ දෑහැට නොපෙනි, හිඟන්න.... - කියල“

      Delete
  8. කාලිදාසගෙ තවත් කතාවක්

    ReplyDelete
    Replies
    1. තවත් අලුත් යාළුවෙක්... :-)

      Delete
  9. මම මැරුණම කියන කවිය කියහන්

    ReplyDelete
    Replies
    1. සඳුවා සහ පුංචි මෙන්ඩා හඬවාලා
      ගල් බෝතලෙයි දුම්වැටියයි තනිකරලා
      එකොළහ කණුවෙ ගෑණුන් ටික සනසාලා
      එල බ්‍රා මෙන්ඩිසා ඇත මකබෑවීලා

      Delete
  10. වටින පෝස්ට් එකක් වටින කමෙන්ට්ස් ටිකක් ! ජයවේවා

    ReplyDelete
    Replies
    1. තුං මූණටත් ජයවේවා...!

      Delete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

ලබ්බෙ මගුල