"තෝ කනව යකෝ!"
"ඔහෙ හිටපිය!"
"මරණව තෝ!"
"කනව යකෝ කටු පිටිං!"
ආදී භයානක තර්ජන කරමින් අර පිස්සා මාරාවේශයෙන් වගේ එළවං එද්දී, අනික් පිස්සා බල්ලට මෙන් හති ලමින් දුවන්නේය.
ඌ දුවගෙන දුවගෙන කොහොමින් හරි තාප්ප මුල්ලකට කොටු උනේය. බේරෙන්නට යන්ඩ තැනක් නැත. මිනීමරු පිස්සාට අතේ කෝට් ය.
මිනීමරු පිස්සා උගේ බෙල්ලෙන්ම අල්ලගත්තේය. අනික් අතේ තිබ්බ පිහිය අරූගේ අතේ තියා,
"දැං උඹ මයෙ පස්සෙං පන්නපං" කියා ආපසු හැරී දුවන්නට ගත්තේය.
-------------------------------------------
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේළඟදී "බැරිනං මට දෙන්ඩ. මං කරල පෙන්නන්නං" යැයි කීවේය. ඒ කීවේ පාර්ලිමේන්තුවේදී නෙවේය. මහජන රැළියකදීය.
එහෙම රාජ්‍ය පාලන බලය කෙනෙක් අතින් තව කෙනෙක් අතට පවරා දීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. එක්කෝ මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින්, පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස් කරගැනීමෙන්, හමුදාවක් යොදවා රට අල්ලාගැනීමකින් බිහි කරන ඒකාධිපති පාලන ක්‍රමයකින් වගේ ක්‍රමයකින් මිසක් වෙන ක්‍රමයක් නැත.
------------------------------------------
දේශපාලන පළිගැනීම් නතර කරන්නැයි කියා ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසුවෝය.
ඒ පොල් ගහපු අය අවංකවම දෙවොල් දෙවියන් විශ්වාස කර, තම කන්නලව්ව අසා දෙවොල් දෙවියන් තම තෙද අණසක පතුරුවා ආණ්ඩුව ගෙදර යවනු ඇතැයි අවංකව විශ්වාස කළා යැයි, අපි විශ්වාස කළොත් අපිට වඩා සුදුසු වන්නේ බත් නොවේ ය.
--------------------------------------------
ඇත්තටම මහින්දට රාජ්‍ය බලය දිනාගැනීමට උවමනාව තිබුණි. ඒ වෙනුවෙන් ඔහු පහුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් මහන්සි විය.
එහෙත් දැන් ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඕක නොවේ. තවමත් ශක්තිමත් දේශපාලන සංවිධානයක් වන එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔළුගෙඩි සියල්ලක්ම තමන් වෙත නතු කරගෙන, සුළුපක්ෂ ද දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමය. පහුගිය අයවැයේදී අයවැය පරාජය කිරීමට මහන්සි විය යුතුව තිබුණි. එය රාජ්‍ය බලය ආපහු දිනාගැනීමට තිබූ හොඳම අවස්ථාව ය.
ඒ වෙනුවට ඔහු කරන්නේ ඒකාබද්ධ ත්‍රීවීල් එකක් (කොපි රයිට් - විභීෂණ) දක්කමින්, සිංහල ජාතිකත්වය ප්‍රොමෝට් කරමින්, ආණ්ඩුවට විරුද්ධ ජනබලය ආමන්ත්‍රණය කරමින්, (ඔවුන් හට ආණ්ඩුව පෙරළීමට නායකත්වය නොදෙමින්) කොටිම්ම පහුගිය මහින්ද පාලන සමයේදී (ජනවාරි අටේ සිද්ධියේදී නොවේ) චම්පිකලා විමල්ලා නටපු නාඩගම නැටීමය.
"කෙනෙක්ගේ ක්‍රියාවක පරමාර්ථය සෙවීමට නම්, ඒ ක්‍රියාවෙන් වාසි සැළසෙන්නේ කාටදැයි බලන්න" කියා අපට කියන්නට ෂර්ලොක් හෝම්ස් අවශ්‍ය නැත.
මහින්දගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලියෙන් සිද්ධ වන්නේ,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපිළක අතරමං වීමය.
එයින් කැපුවත් නිල් ඡන්දදායකයා ද වැට උඩට යාමය.
සමහර ශ්‍රී ලංකා කාරයන් නම් මහින්දට එකෙන්ම සපෝට් කරති (මා කියන්නේ මගතොටේදී ඇහෙන කතා ආශ්රයෙනි.) එහෙත් මෛත්‍රීපාලටත්, ජාතික ආණ්ඩුවේ අැමතිකම් දරණ නරිහාමිලාටත් ඡන්ද පදනමක් ඇති බව අමතක කළ යුතු නැත.
මේ වගේ තත්ත්වයකදී තමංගේ ඡන්ද පදනම රැක ගන්නට රනිල් උන්නැහැට:
තමංගේ ප්‍රතිරූපය නංවාගැනීම,
පොරොන්දු ඉටු කිරීම,
ජීවන බර අඩු කිරීම,
බදු අඩු කිරීම,
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම... ආදී දහසකුත් දේ කරන්නට තෙල් පුච්චාගන්නට අවශ්‍ය වන්නේ නැත.
අන්තිමේදි බලනකොට මහින්දත් රනිල්ගේ පැත්තේය.
ඉතිං රනිල් ලා ඡන්ද කාලෙදි කියාපු දහසකුත් එකක් හොරකම් අල්ලන්නට දැන්නම් හදිසි නොවිය යුතු ය. මහින්දානන්දලා, මහින්දලා, නාමල්ලා, විමල්ලා, ගම්මංපිලලා, බන්ධුලලා, ගොඨාභයලා, සජින් ද වාස් ගුණවර්ධන ලා, අලි රොෂාන්ලා ආදීන් ට එරෙහිව භාරදුන්න අල්ලස් චෝදනා සහ අනිකුත් චොදනා හමස් පෙට්ටියේ පුස්කන්නට ඉඩ දිය යුතුය.
කොටිම්ම ඒකාබද්ධ විපක්ෂය යහතින් පැවතිය යුතුය. රනිල්ට පහසු හෙටක් උදාවන්නේ එතකොට ය.
රොබින් හුඩ් නාට්ටියේ සර් ගයි ඔෆ් ගිස්බන්ව ෙකාච්චර වාර ගාණක් රොබින් හුඩ්ට කොටු උනත් පුකට තට්ටු කර ආපහු නොටිංහැම් එළවන්නේ ඒක ය.
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
http://www.ushistory.org/gov/images/00020713.gif |
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්තිමේදි බලනකලට - අන්දරේල අපි සේරම
අන්දරේ ලා...