Sunday, June 25, 2017

ලෝකෙට ලොක්කා

ලෝකෙ ලොකුම බලවතා කවුද කියන එක ගැන ගම කතා කීපයක් තියෙනව. ලංකාවෙත් එකක් තියෙනව, ඒක මට හරියටම නිවැරදිව ලියන්ඩ මතක නෑ. ඒකට ගොඩක් සමානයි බුරුම ජනකතාව. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.

මී පවුලක හරිම හැඩ වැඩ මී කෙල්ලෙක් උන්න. ඈට කල වයස හරි ගිය තැන, ඇගෙ දෙමව්පියො කල්පනා කළා ලේකෙ ඉන්න බලවත්ම කෙනාට ඈ කසාද බන්දල දෙන්ඩ. කල්පනා කරල ගියා ඉර හම්බෙන්ඩ.

ඉර කැමති උනා මී පැටික්කි කසාද බඳින්ඩ.

“ඔහේ නේද ලෝකෙ ලොකුම බලවතා?“ මී අම්ම ඇහුව.

ඉර ඔළුව දෙපැත්තට වැනුව.

“වැහි වළාකුළ මටත් වඩා බලවත්. එයා ඉන්නකොට අහසෙ, මාව වැහිල යනව“ ඉර කිව්ව.

ඒ ගමන මී දෙමව්පියො ගියා වැහි වළාකුළ හොයාගෙන

“මාත් නෙමෙයි බලවත්ම“ වැහි වළාකුළත් කිව්ව. “හුළඟ ආවම මාව ගහගෙන යනව“

ඒගමන මී පවුල හුළඟ ගාවට ගියා.

“කණ්ඩිය මගෙ ගමන වළක්වනව.“ හුළඟ කිව්ව “මං කොච්චර සැරට හැමුවත් කණ්ඩිය පෙරළන්ඩ බෑ. ඉතිං කණ්ඩිය තමා බලවත්ම“

කණ්ඩියත් කිව්වනෙ එයා නෙමෙයි බලවත් කියල.

“හරක අඟ අතුල්ලනකොට මාව කැඩෙනවනෙ. පේන විදිහට හරක තමා ලෝකෙ බලවත්ම“

http://www.washingtonindependentreviewofbooks.com
/assets/uploads/trump_1.jpg

ඉතිං මී ජෝඩුව දුවත් ඉස්සර කොරං ගියා හරක හොයාගෙන. 

හරකත් කියන විදිහට එයා නෙමෙයි බලවතා. නාස්ලණුවලු. ඒකට ඕනෙ විදිහටලු හරක වැඩ කරන්නෙ.

ඉතිං මී දෙමාල්ලො නාස් ලණුවෙං ඇහුව දුව බඳින්ඩ කැමතිද කියල.

“මාත් නෙමෙයි බලවතා“ නාස්ලණුවත් කිව්ව. “මී තඩියෙක් ඉන්නව මාව කපල දාන්ඩ බලාගෙන.“

ඒ ගමන මී දෙමාල්ලො අර නාස්ලණුව කපල දාන්ඩ එන මී තඩිය ලෝකෙ ලොකුම බලවතා කියල තේරුං අරං, තමුංගෙ මී පැටික්කි ඌට බන්දල දුන්න.

ලොකෙ බලවතා ගැන බෙලරුස් කතාවක් තියෙනව. මට මතකයි එකපාරක් අපි පොඩි කාලෙ ටීවී එකේ ගියා මේ කතාව.

https://images-na.ssl-images-amazon.com
/images/I/61D6Ai34y6L.jpg

දවසක් ගල් කඩන්නෙක් ගලක් කඩ කඩ ඉන්නකොට (ගල් කඩන්න වෙන මොනව කඩන්ඩද ගලක් මිසක්) මිනිස්සු වගෙයක් වැඩ අතඅැරල දුවනව දැක්ක. ගල්කඩන්නත් ගියා මොකද්ද බලන්ඩ. බැලින්නං, රටේ රජතුමා යනව ඇතෙක් පිටේ. පාර අයිනෙ ඉන්න මිනිස්සු ඇතාට ඉඩ දීල කාණුවට බහිනව. පාත් වෙලා වඳිනව, පාවඩ එළන්ඩත් ලෑස්තිය...

ගල් කඩන්නටත් හිතුණ “මං අර ඇතා උනානං... මාත් මිනිස්සුංගෙං ගරු සත්කාර ලබනවනෙ“ කියල.

ඒ හිතනවත් එක්කම ගල් කඩන්න රජුගෙ ඇතා උනා. මිනිස්සු එයාට ගරු කළා. ඒත් එකපාරටම, රජා ඇතා පිටේ ඉඳං තේ එකක් බොන්ඩ ගිහිං උණු තේ හැළුන ඇතා පිටේ.

“ඇතෙක් උනාට වැඩක් ඇතෑ...“ ගල් කඩන්නට හිතුණ. “ඊට හොඳයි ඇතා පිටේ යන රජා උනානං.“

එතකොටම ගල්කඩන්නා රජ්ජුරුවො උනා. ගල් රජ්ජුරුවො ඉතිං ඔහොම ඇතා පිටේ දිගටම ගියා. යනකොට ඉර තදිං පායන්ඩ ගත්තා. රජ්ජුරුවන්ට ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ඩ ගත්තා.

“ඉර රජාට වඩා බලවත්නෙ“ ගල්කඩන්නට හිතුණා “මීට හොඳයි මං ඉර උනානං“

ඉතිං ගල් කඩන්නා ඉර උනා. ගල් ඉර තදේට පායන්ඩ ගත්ත, තමුංගෙ බලය පෙන්නන්ඩ. අන්තිමේ තද කළු වැහි වළාකුළක් එනකංම ගල් ඉර දන් නෑ මොකද වෙන්නෙ කියල.

වැහි වළාකුළෙං ඉර වහගත්ත. “ඉර වෙලා වැඩක් නෑ නෙ“ ගල් කඩන්නට තේරුණා. “වැහි වළාකුළ ඊට වඩා බලවත්නෙ. වෙනවනං වැහිවළාකුළ තමයි වෙන්ඩ ඕනෙ“

එහෙම හිතෙනවත් එක්කම ගල් කඩන්නා වැහිවළාකුළක් උනා. එයා වැහැල වැහැල වැහැල, ගංවතුරක් එන්ඩම වැස්සා.

එතකොටම කොහෙද ඉඳං ආපු තද හුළඟකට වළාකුළ ගහගෙන යන්ඩ ගත්ත.

“හුළඟ තමයි බලවත්ම. හුළඟ වෙන්ඩ ඇත්තං මට...“ ගල් කඩන්න එහෙම හිතුව. ඒත් එක්කම ගල් කඩන්නා හුළඟක් වෙලා ශිහාන් මිහිරංග වගේ තදේට හමන්ඩ ගත්තා.

ඒ හුළඟට අහුවෙච්ච හැම එකක්ම උඩ ගිහිං කැරකිලා, ඈතට විසි උනා. එකක් ඇරෙන්ඩ. 

ඒ තමයි ගල් කන්ද.

හුළඟ කොච්චර සැර දැම්මත් ගල් කන්ද නෙමෙයි එක අඟලක් හෙල්ලුනේ.

“යකෝ... හුළඟ වෙලා වැඩක් නෑනෙ. ගල්කන්දනෙ වැඩ්ඩා... මාත් ගල් කන්ද වෙන්ඩ ඕනෙ.“ ගල් කඩන්නා එහෙම හිතුව විතරයි එයා මහ ගල් පරුවතයක් උනා.

උනා විතරයි මිනිහෙක් ඇවිත් ගල කඩන්ඩ ගත්ත.

“මේක මාර වැඩක්නෙ. එතකොට ගල්කඩන්නද ලෝකෙ ඉන්න බලවත්ම මිනිහ? මාත් ගල් කඩන්නෙක් වෙන්ඩ ඕනෙ“

ඉතිං ගල් කඩන්නා අයෙම ගල් කඩන්නා බවට පත් වුනා. එයා තේරුං ගත්ත, ලෝකෙ ඉන්න බලවත්ම කෙනා තමයි, වෙහෙසිලා වැඩකරන මනුස්සයා කියල.

ඒ ඔක්කොමත් හරි. යථාර්ථවාදීම කතාව තියෙන්නෙ අප්‍රිකානු ජනකතා අතරෙ.

බළලා කොහොමද ගෙදරට හීලෑ උනේ කියන එක තමයි ඒකෙං පැහැදිලි කරන්නෙ.

කැලේ හිටපු බළලා දවසක් තීරණය කළා, බලවත්ම සතා එක්ක යාළු වෙන්ඩ. එහෙම හිතල සිංහයා ගාවට ගිහිං, එයත් එක්ක යාළු උනා. දැං ඉතිං දඩයමේ එහෙම යන්නෙ බළලා, සිංහයත් එක්කමයි.

දවසක් සිංහයා ඇතෙක්ගෙ පිටට පැන්නා. ඇතා සිංහය පනිනවත් එක්කම දළ දෙක දික් කළා. සිංහය ඒ දළදෙකේ ඇනිලා මළා.

දැං ඉතිං බළලා ඇතා එක්කමයි ගමන බිමන. ඇයි ඉතිං ඇතා සිංහයටත් වඩා බලවත් නෙ.

අනේ ඉතිං වැඩි දවසක් යන්ඩ උනේ නෑ, දඩයක්කාරයෙක් ඇවිත් වෙඩිතියල ඇතා මැරුවා.

ඉතිං මිනිහා තමයි ලෝකෙ බලවතා කියල හිතල බළලා දඩයක්කාරයත් එක්ක ගෙදර ආව. 

ඒ එනකොට දඩයක්කාරයගෙ මායිය හොඳටම ආවේස වෙලා. දඩයක්කාරයට බැණල බැණල, උන්දැව එළියට දාල දොර වැහුව.

“අඩේ බැලින්නං මිනිහ නෙමෙයිනෙ ලෝකෙ බලවතා, ගෑණිනෙ“ කියල තේරුං ගත්ත බළලා, එදා ඉඳං ගෙදර ගෑණු මනුස්සය පස්සෙංම වැටුණ...

http://pet.nifty.com/cms_image/pet/column
/140105000054/139019546915558_1s.jpg

Friday, June 9, 2017

ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තුරුංගෙ සමාජ පසුබිම සහ රසකතා ටිකකුත් ඒ ලිපිය ලියද්දි මතුවෙච්ච කයිකතන්දර ගැනත් මුල් ලිපි දෙකක සඳහන්. එව්ව ලියල හිටං සෑහෙන කාලෙයක් යනකං මොකවත් ලියන්ඩ බැරි උනා. ඒකට හේතු කීපයක්: මයෙ බ්ලොග් එක ඕපන් කරල තප්පර ගානකිං පස්සෙ වෙන කොහෙද මංද පිටුවකට රීඩිරෙක්ට් වෙන්ඩ පටං අරං තිබ්බ. ඒක හදාගන්ඩ මං විදේශාධාරත් පැතුව. හරි ගියෙ නෑ. මේ ඊයෙ පෙරේද හදිස්සියෙ අපේ ගෙදර කඩා වැදුන සිරිබිරිස් එක්ක අටම. අටං මට කියපු ක්‍රමයක් අත්හදා බලන්ඩ ගිහිං ඕං කොහොම හරි දැනට නං බ්ලොග් එක ස්ථාවර මට්ටමක තියෙනව.

අටමව ඇදං අපේ ගේ හොයාගෙන ආව සිරිබිරිස් මට මසුරං කෝටියකටත් වඩා වටින පොත් දෙකක් තෑගි කරල, “දිගටම ලියපං...!“ කියල කිව්ව. ඉතිං ඒකෙං බ්ලොග් එක ලියන්ඩ මගඇරිච්ච තවත් හේතුවක් නැති වෙලා ගියා.

නොලියන්ඩ තව හේතුවක් උනේ, අපේ කන්තෝරු කාමර ටික කඩල අලුතිං පාටිෂන් කරන එක. ඒ වැඩේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඉබ්බන්ට බාර දීල නිසා, මාස ගාණක් තිස්සෙ කම්පියුටරයක් නැති පාලු කාමරේක, බෝනික්කෙක් වගේ මැඩම් කෙනෙක් එක්ක රාජකාරි කරන්ඩ වෙලා තිබීම. අනික් හේතුව තමයි, මගෙ රාජකාරි ජීවිතේ ලොකුම ටාගට් එක වුන එක්තරා විභාගෙකට ලෑස්ති වීම. ඉතිං තියෙන එක තප්පරේ උනත් ඒ විභාගෙට පාඩං කරන්ඩ වැය කරන තත්ත්වයක් තමා මේ දවස් වල තියෙන්නෙ.

කොහොම හරි, ඕං ආපහු ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා...

දවසක් ඉස්කෝලෙ මහත්තේක්, පොල් ගෙඩ්ඩක් කඩාගන්ඩ කියල, වත්ත පහලට ගියා. ගිහිං පොල් ගහ යටට ගිහාමයි මතක් උනේ ගහට නගින්ඩ වලල්ලක් ඕනෙ නේද කියල. ඉතිං ආපහු ගෙදර යන්ඩයැ? වටපිට බලද්දි, ළග ගහක දිගේලි කරල ඉන්නව එළදෙන. ඉස්කෝලෙ මහත්තැන්ට ආව මරු අයිඩියා එකක්. උන්දැ ටක් ගාල එළදෙනගෙ කඹේ ලෙහා ගත්ත. ඒකෙන් හදාගත්ත වළල්ලක්. අනික් කොනේ එළදෙන ඉද්දිම උන්දැ වළල්ල දෙපයෙ දාගෙන නැග්ග ගහට. 

ගහට නැගල කඩන්ඩ උනේ එක පොල් ගෙඩියයි. ඒ ගෙඩිය වැටිච්ච සද්දෙට එළදෙන බය උනා.

එක පොල් ගෙඩියක් වැටෙන සද්දෙ නං කුස්සියෙ හිටිය හාමිනේට ඇහුන. ඊට පස්සෙ පොල් වල්ලම වැටෙන සද්දෙ තමා ඇහුනෙ. උන්දැ පොල් ටික දාගෙන එන්ඩ ගෝණියකුත් අරං යනකොට, පොල් ගහ ගාව තිබ්බෙ එක පොල් ගෙඩියයි. තව ටිකක් විපරං කරනකොට දැක්කෙ, වත්තෙ කෙරෝලෙ වැතිරිල ඉන්නව ඉස්කෝලෙ මහත්තෙය පිටයි බඩයි බරු ගහගෙන, එළදෙනගෙ ලණුවෙ කෙරෝල තාමත් උන්දැගෙ දෙපයෙ වෙළාගෙන...

තව දවසක් ඉස්කෝලෙ මහත්තේක්ගෙ කුඹුරෙ ගොයං පෑගිල්ල තිබ්බ. ඒ කාලෙ ඉතිං උදේ වරුවෙ ගොයං කපනව, හවස් වරුවෙ ගොයං ටික එක් - එක්කෙනා ඔළුව උඩ තියාගෙන කමතට අදිනව, ඒකට කියන්නෙ උප්පිඩි අදිනව කියල. රෑ තිස්සෙ හරකුන්ගෙන් කොළ මඩවනව. ඔය වැඩේට හොඳ පාළොස්වක කිට්ටු කරල. මොකද හඳපානෙ කරන්ඩ ඇහැකි. ඒත් මෙදා පොටේ අමාවක කිට්ටු කරල තිබ්බෙ.

ඉස්කෝල මහත්තෙය ගෙනාව හරිකේන් ලන්තෑරුමක්. ඒක කමත අයිනෙ තිබ්බ උණ ගහක (fever tree) මුදුනෙ ගැට ගහන්ඩයි උන්නැහැගෙ අදහස. එතකොට මුළු කමතම එළිය වෙයි...

http://2.bp.blogspot.com/_2vTmvABMLcY/
TJtuAvbSE_I/AAAAAAAAAYU/JwHkPN42zDU/
s1600/Lantern_Part3_22X15_100dpi.jpg
ඉතිං එයාගෙ උපදෙස් පරිදි, ඉළංදාරි ටික ගල් මාට්ටුවක් දැම්ම උසම උණගහේ මුදුනට. දාල, කට්ටියම එකතු වෙලා ගල් මාට්ටුවෙ ලණුවෙං ඇදල ඇදල, උණ ගහ පාත් කරගත්ත. ඉස්කෝලෙ මහත්තය, තමුංම එල්ලුව ලන්තෑරුම උණ ගහේ කරටියෙ. 

“හා දැං අතෑරපල්ල ළමයිනේ...“ කිව්ව විතරයි,

උණ ගහ එක පාරටම කෙළිං උනා, සීංංංංංංංං ගාගෙන ලන්තෑරුම උඩිං ගියා...

“මළ කෙළියයි...“ ඉස්කෝලෙ මහත්තෙයට කියවුනා. දැං කොහොමද කළුවරේ ලන්තෑරුම වැටිච්ච තැන හොයාගන්නෙ?

කල්පනා කරනකොට ඉස්කෝලෙ මහත්තෙයට තව මසුරං අයිඩියා එකක් ආව.

“ඔය උණ ගහ ආපහු පාත් කරපල්ල...“

ඉළංදාරි ටික ආපහු අර ළණුවෙ කොණෙං අල්ලල ඇදල උණ ගහ පාත් කළා. ඉස්කෝලෙ මහත්තෙය ගියා උණ ගහේ කරටිය ගාවට. ගිහිං කිව්ව,

“මං දැං මයෙ ගිරේ, මේ උණ කරටියෙං තියනව. මං අතැරපල්ල කියනකොට, අර ඉස්සෙල්ල වගේම එකපාරට උණ ගහ අතෑරපල්ල, එතකොට, මේ ගිරේ ගිහිං වැටෙන්නෙ අර ලන්තෑරුම වැටිච්ච තැනටමයි. ගිරේ ළන්තෑරුමේ වැදෙන සද්දෙං අපිට දෙකම හොයාගන්ඩැහැකි....“

කලිං වගේම, ගිරෙත් සීංංංංංංංං ගාගෙන උඩිං ගියා විතරයි කවුරුත් දැක්කෙ.

“ඊට පස්සෙ ගුරාවත් උණගහේ නග්ගල ඇරියද දන්නෑ, ගිහිං ලන්තෑරුමයි ගිරෙයි දෙකම හොයාගෙන වරෙං කියල...“ කියල, ඔය කතාව අපිට කියපු එකාට සෝබනෙය (මයෙ අතිජාත යාළුවෙකි - අර සිරිමහත්තෙයට පහක් දැම්මෙ, ආං ඌ...) කිව්ව.

මේ ලන්තෑරුමේ කතාව සිද්ද උනේ බටගමයි කියල, මගෙ බටගම යාළුවෙක් කිව්ව. ඌ මතක් උන වෙලේ බටගම ගැනත් කතා ටිකක් ඔළුවට ආව.

දවසක් බටගම පවුලක්, කකුළුවො ටිකක් ගෙනත් උයන්ඩ. උං ටික උයන්ඩ ගන්නකොටම, අල්ලපු ගෙදර වලියක් ගිහිං. ඉතිං මුං ටික, කකුළුවො ටික පෙට්ටියකට දාල, වලිය නරඹන්ඩ ගිහිං. ආපහු ඇවිත් බලනකොට කකුළුවො ටික නෑ. උං ටික පෙට්ටියෙං බැහැල යන්ඩ ගිහිං.

ඉතිං ගෙදර මනුස්සයයි, පුතයි ගිහිං ඉන්නවලු බටගම හංදියෙ. 

“කොහෙං ගියත්, ආපහු මීගමුවට යන්ඩ, හංදිය හරහ යන්ඩ එපැයි. ආදෙංකො ඔය කකුලුවො ටික...!“ කිය කියා ඉන්නවලු දෙන්නත් එක්ක.

තව දවසක් බටගම පල්ලියෙ කොඩි ගහ ඉස්සුවලු කට්ටිය එකතු වෙලා, හතර අතිං ලනු දාල නෙ ඔය කොඩි ගහ උස්සන්නෙ...

කොහොම හරි මිනිස්සු ටික සෑහෙන්ඩ මහන්සි වෙලා අන්තිමේ කොඩි ගහ කෙළිං වෙච්ච ගමංම, සන්තෝසෙ වැඩි කමට කෂ්ඨිය ලණු ටික අතෑරල අප්පුඩි ගහන්ඩයි විසිල් ගහන්ඩයි ගත්තලු.

බටගම උදවිය පොල් කඩන්නෙ කෙක්කෙං. හැබැයි බිම ඉඳල පැහිච්ච පොල් වල්ල තෝරගන්ඩ දන් නෑ. ඉතිං කරන්නෙ, එකෙක් ලොකු රෙදි පටියක් අරං ගහට නගිනව. නැගල, පොල් ගෙඩි හොල්ලල බලල, පැහිච්ච වල්ල තොරගන්නව. පැහිච්ච වල්ලෙ බූ නැට්ටෙ රෙදි පටිය ගැටගහනව, පහළට පේන්ඩ. ඊට පස්සෙ ගහෙං බහිනව. දැං බිම ඉඳං නියම පොල් වල්ල කෙක්කෙං කැඩුවහැකි.

පුවක් කඩන්නෙ නං එහෙම නෙමෙයි. එකෙක් දිග ලණුවක් අරං ගහට නගිනව. ලණුව ගහේ කරටියට ආසන්නයෙ ගැට ගහනව. පස්සෙ බිමට බැහැල, කට්ටිය එකතු වෙලා ඇදල ඇදල, පුවක් ගහ බිමට නමා ගන්නව. ඊට පස්සෙ බිම ඉඳං අතිං පුවක් ටික කඩා ගන්නව. ඊට පස්සෙ ලණුව ලෙහා ගන්නව. එතකොට සිරිංංං ගාල කෙළිං වෙන පුවක් ගහේ තියෙන ලපටි පුවක් වලු ඔක්කොම සීසීකඩ...

තව දවසක් ගහක් කපද්දි, ගහ කපල කරත්තෙට පටෝ ගන්ඩ කම්මැළිකමට, ගහ මුලට කරත්තෙ රිවස් කරල, කරත්තෙ උඩට ගහ කැපුවයි කියලත් කියනව. 

ඕනෙම ගමක මෝඩ කං කරන මිනිස්සු ඉන්නව. මේ කතා ලිව්වෙ ව්‍යවහාරෙ තියෙන විදිහටයි. නැතුව මගෙ තුං හිතකවත් නෑ මේ ගම විශේෂ කරල අපහාස කරන්වඩත් උපහාසයට ලක්කරන්ඩවත් අදහසක්. එහෙනං ඉස්කෝල මහත්තුරු ගැන මයෙ මුල්ම කතාවෙ මං ලියල තියෙන්නෙ අපේ ගමේ උන්න කීප දෙනෙක් ගැන?

මේ අර මං පළවෙනි කොටසෙ කිව්වෙ,
මං ඇඳපු බෝඩ් එක.
මේක තමයි අර එවරස්ට් කන්ද මුදුනෙ
වැටක ගහන්ඩ හොඳයි කියල
ජිනදාස මහත්තෙය කවියෙං ලියල දුන්න එක. 
පහුගිය පෝස්ට් දෙකට ලිංක් මෙන්න:

ඉස්කෝල‍ෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

මේකෙං පස්සෙ ආයෙම ලියන්ඩ වෙන්නෙ ගොඩක් වෙලාවට අර විභාගෙං පස්සෙය. ඒනිසා එතෙක් මට සමු දෙන්ඩ ය. තව මාස දෙක තුනයි ය. වැඩිම උනොත් සැත්තැම්බර් වෙයි... ඊට පස්සෙ මං ආයෙම ෆුලි ලෝඩඩ් ය. කොහෙම හරි ඒ අතරෙ කමෙන්ට් වලට උත්තර දෙඤ්ඤං ය...

වැඩිපුර බලපු ලිපි