Monday, May 20, 2019

වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,

"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.

https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg

ඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ඔබ වසලයෙක් කරන දේ අනුව වසලයෙක් වෙන්කර අඳුනාගන්න දන්නවාද?" කියා ඇසුවා.

"මම දන්නෙ නෑ. ඔබ දන්නවානම් මට කියන්න" බමුණා කිව්වා.

"එහෙනම් අහගන්න..." කියා බුදු හාමුදුරුවෝ ඔහුට වසල සූත්‍රය දේශනා කළා.

කෙනෙක් නිතරම කේන්ති ගන්නවානම්,
වෛර බඳිනවානම්,
අනුන්ගේ ගුණ නසන පාපී ගති ඇත්නම්,
සම්‍යක් දෘෂ්ඨියෙන් ඈත් ව සිටිනවා නම්,
කපටි ප්‍රයෝග කරනවා නම්,

සතුන්ගේ සහ පක්ෂීන්ගේ පණ නසන්නේ නම්,
සත්ත්වයින් ගැන දයාවක් නැත්නම්,

ගම්මාන විනාශ කරන්නේනම්,
ගම්මාන වටළාගන්නේනම්,
ගම්මාන කොල්ලකන හොරෙක් කියා ප්‍රසිද්ධ වන්නේනම්,

ගමක හෝ කැලෑවක හෝ අනුන් සතු දෙයක් හෙර සිතකින් ගන්නේ නම්,

ඒකාන්තයෙන්ම ණයක් ගෙන, එය ඉල්ලන විට මම ඔබට ණය නැතැයි ප්‍රතික්ෂේප කරනවානම්,

පාරේ යන අය මරා ඔවුන්ගේ සුළු හෝ වස්තුව පැහැර ගන්නවානම්,

තමන් නිසා හෝ
අනුන් නිසා හෝ
ධනය නිසා හෝ
බොරු සාක්ෂි දෙනවානම්,

නෑයෙකු ගේ හෝ යාළුවෙකුගේ භාර්යාවක්
බලහත්කාරයෙන් හෝ ඒ ගැහැණියගේත් කැමැත්තෙන්
අනාචාරයට පොළඹවා ගන්නේනම්

බොහෝ ධනය ඇතිවත්
මහළුවූ දෙමාපියන් පෝෂණය නොකරන්නේනම්

දෙමාපියන්ට හෝ බෑණාට හෝ ලේලියට
හිංසා කරනවානම්
වචනයෙන් ක්‍රෝධ කරනවානම්

නොදන්නා යමක් ඇසූ විට අහිතකර දෙයක්ම කියනවානම්
ඇත්ත නැත්ත කර උත්තර දෙනවානම්

පව් කරමින්, කවුරුවත් ඒක දැනගන්නවාට අකමැතිනම්
අනුන්ට නොදැනෙන්නට කරන ළාමක ක්‍රියා ඇත්නම්

වෙනත් ගෙදරකට ගොස් රසවත් ආහාර වළඳා
ඒ අය තමන්ගේ ගෙදරට ආවිට සංග්‍රහ නොකරන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු හෝ වෙනත් යාචකයෙකු
තමන්ගේ ගෙට ආ විට බොරු කියා රවටන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු කෑම කන වෙලාවේ තමන්ගේ ගෙට ආ විට
බැණ වදිනවානම්
කිසිවක් දෙන්නේ නැත්නම්

මෙ ලෝකයේ යමෙක් මෝඩකමින්
කවුරු හරි දෙයක් ලැබෙනවාට කැමැත්තෙන් තමන් වෙත ආ විට
දුෂ්ඨ කතා කියන්නේනම්

මානය නිසා පිරිහීමෙන්
තමන් උසස් කියා ද, අනික් අය පහත් කියා ද සළකන්නේනම්

ලෝකයේ සත්ත්වයින්ට කෝප කරන්නේනම්
තද මසුරෙක් නම්
නැති ගුණ ඇති බව පෙන්වන්නේනම්
ලැජ්ජා නැති පවට බය නැති කෙනෙක්නම්

බුදුන්ටත්, එතුමාගේ ශ්‍රාවකයන්ටත්,
පාරිබ්‍රාජකයන්ටත්, ගිහියන්ටත්
පිරිහෙලා කතා කරන්නේනම්

මේ අය වසලයෝ වෙති

කෙනෙක් රහත් නොවී රහත් බව අඟවන්නේනම්
ඔහු පළමුවෙනි මහ සොරා වෙයි
වසලයින්ගේත් අධමයා වෙයි

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මගේ දේශනය මේ උපමාවෙන්ද තේරුම් ගන්න
කෑම සඳහා බලු මස් උයන (සැඩොල්?) සෝපාක හෙවත් මාතංග නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක් සිටියා

ඒ මාතංග, හීන කුළයේ උපන් කෙනෙකුට ඉතා දුර්ලභ වූ කෙතරම් උසස් යසසකට පැමිණියාද කියතොත්
එතුමාට උපස්ථාන කරන්න ක්ෂිත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝද පැමිණියා

එතුමා බුදුන් ආදී අය ගේ පාරේ යමින් කාමරාගය නැති කොට අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා

හීන කුලයේ ඉපදීම එතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වළක්වන්න සමත් වුණේ නෑ

වේද ඉගෙනීම උපතින් හිමි කරගත්, වේදයම පිළිසරණය කොටගත් බ්‍රාහ්මණයෝ නිතර පව් කම් කරනවා දකින්න පුළුවන්

ඔවුන් මේ ජීවිතයේදී සමාජයෙන් ගැරහීමට ලක් වෙනවා
පරලොවදී දුකට පත් වෙනවා.
ඉහළ කුළයක ඉපදීම ඔවුන්ට මෙලොව ගර්හාවෙන් හෝ පරලොව දුගතියෙන් හෝ ගළවාගැනීමට සමත් වෙන්නේ නෑ

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මෙසේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට පස්සේ අග්ගික භාරද්වාජ,

"ගෞතමයන් වහන්ස, බොහෝම මනහරයි. යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා සේ, වසා තිබූ දෙයක් ඇර පෙන්වනවා සේ, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වනවා සේ, ඇස් ඇති අයට පෙනේවා කියා අඳුරේ පානක් අල්ලාගෙන ඉන්නා සේ, ඔබ නොයෙක් ආකාරයෙන් ධර්මය කියාදුන්නා. මම ඔබත්, ඔබේ ධර්මයත්, ඔබගේ ශ්‍රාවකයනුත් සරණ යනවා. අද පටන් දිවි ඇති තෙක් ඔබ සරණ ගිය උපාසකයෙක් වෙනවා" කියා කීවා.

මගේ එකතු කිරීම

වසල සූත්‍රය ඇසුරින් සිසිර කුමාර මාණික්ක ආරච්චි ලියපු, ඒ. ජේ. කරීම් ගායනා කරපු ගීතය මේ...



භාරද්වාජ වරු දෙන්නෙක් මට මතක හැටියට ඉන්නවා. "අග්ගික" කියන්නෙ අග්නියක් සම්බන්ධ නිසා වෙන්න ඕනෙ. අනික් කෙනා තමයි බුදු හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා කට රිදෙන තුරු බැණපු "අක්කෝසක" හෙවත් ආක්‍රෝෂක... මට හිතෙනව මේ දෙන්නා වෙන වෙනම අඳුනගන්න නමට මුලින් ක්‍රියා විශේෂණයක් දාල වෙන්නැති කියල.

අනික තමයි, සිංහල බෞද්ධයන් සහ බුද්ධාගමේ ආරක්ෂකයන් විදිහට පෙනී සිටින උදවිය කොයි තරම් නම් බුදුන් වදාළ ධර්මයේ හැටියට වසල වැඩ කරනවාද කියන එක...

මූලාශ්‍ර
https://www.thripitakaya.org/sutta/index/21126
https://suttacentral.net/snp1.7/si/zoysa

ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවන්න ආස අයට මෙන්න
https://thripitaka.org/

21 comments:

  1. මෙදා පෝයට ත්‍රිපිටකය ඇසුරෙන් අහපු දෙවැනි බණ දේශනාව. සාදු සාදු සාදු!

    ReplyDelete
    Replies
    1. ආකාසට්ඨා ච බුම්මට්ටා...!

      ලියපං බ්ලොග් එක...ක...ක...!!!

      Delete
  2. අබෞද්ධ අය ගයපු බෞද්ධ ගීත ගැනත් පෝස්ට් එකක් ලියමුද?

    ReplyDelete
  3. னයින්ට ටෝච් වලින් ගහන එවුවො වසලයො කියල කියල නැද්ද?

    ReplyDelete
    Replies
    1. මට දැන් හිතෙනව එදා නයා ටෝච් පාර මගඅරින්න උත්සාහ කළේ ම නෑ කියල...

      Delete
  4. ගොඩක් පින් ඩ්රැකී, තවමත් මගේ ළඟ තියෙන වසල ගතිත් මතක් කරගන්න පිහිට වුණාට!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ළඟ එක එක තරමින් තියෙනව නිදි. හැමෝම ඔය වගේ විවෘතව පිළිගන්න අකමැති උනාට...

      Delete
  5. අද ගියා දහම් පාසැල පැත්තේ. මේ පාඩම ඉගැන්නුවා දහය වසර ට.

    ReplyDelete
    Replies
    1. බොහ්හෝම සන්තෝසයි මගෙ ලියවිල්ලකින් යන්තමින් හරි වැඩක් උනා කියල අහන්න

      Delete
  6. බොරු කියන්නේ මොකටද මමලගත් මේ ගති එකක් දෙකක් හරි තියනවා නෙද කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික අඩුකරගනිං. තමන්ගේම හිතට සැපයි.

      Delete
  7. 😁 ඩ්‍රැකි අයියා ඔයගාව තියනවද "සාගරයක් මැද අමන රටක්" පොත හරි pdf හරි තියනව්නම් දෙන්න

    ReplyDelete
    Replies
    1. මා ළග පොත තියෙනව. පීඩීඑෆ් එකක් හරි දෙන්න පුළුවන්. කොහොමද දෙන්නෙ?

      Delete
  8. ඩ්රකි අඛ්කොසභාරද්වාජ - අක්‍රෝෂ, පරිභව, නින්දා හැම කෙනාටම දක්ක්වුව නිසා. අග්ගික කියන්නෙත් මෙයාටමද මන්ද. කොහොම උනත් ගොඩක් භාරද්වාජල හිටිය. අනික භාරද්වාජ කියන්නෙ නමක් නෙමේද මන්ද. හරියට ගම බලා ගන්නා ගාමිණි වගේ. අග්ගි කිව්වෙත් ගින්න නිසා නෙමේ කේන්තිය, අවිස්සිච්ච ස්වභාවය එක්ක

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි