Saturday, September 18, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - මොන්ටි පිඹුරා සහ ශුද්ධවූ ග්‍රේලය

1975 දි එළි දැක්වුණු බ්‍රිතාන්‍ය චිත්‍රපටියක් "මොන්ටි පයිතන් ඇන්ඩ් ද හෝලි ග්‍රේල්". මේක හැදුවෙ මොන්ටි පයිතන් නම් බ්‍රිතාන්‍ය කොමඩි කණ්ඩායම. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හැම එකක්ම නිරූපණය කරන්නේ මොන්ටි පයිතන් කණ්ඩායමේ ග්‍රැහැම් චැප්මන්, ජෝන් ක්ලීස්, ටෙරී ගිලියම්, එරික් අයිඩ්ල්, ටෙරී ජෝන්ස් සහ මයිකල් පේලින් යන හය දෙනා.


මේ චිත්‍රපටියේ මුලින්ම අවධානය යොමු කළ යුතු අංගය තමයි, නාමාවලිය. නාමාවලිය ඉංග්‍රීසියෙන් දක්වන අතරෙ, ඩේනිශ් උපසිරැසියක් දානව. ටිකක් දුර යද්දි  උපසිරැසියෙ වෙන වෙන දේවල් යන්නෙ. පස්සෙ ඒ ගැන කණගාටුව පළ කරලා, උපසිරැසි හදපු අය සේවයෙන් පහ කරනව...

චිත්‍රපටිය පටන් ගන්නෙ ක්‍රි. ව. 932න්. ඌතර් පෙන්ඩ්‍රැගන් රජු ගේ පුත්‍රයා වූ ද, සැක්සන් වරු පරාජය කළා වූද, සමස්ත එංගලන්තයේ ම පාලකයා වූ ද, ආතර් රජතුමා තමන්ගෙ අතවැසියෙකුත් එක්ක වීර නයිට්වරුන් සොයමින් එංගලන්තය පුරා සැරිසරන ජවනිකාවෙන් පටන් ගන්නෙ. චිත්‍රපටියට අශ්වයන් ගන්න ප්‍රමාණවත් මුදල් නොතිබුණු නිසා, ආතර් රජු අශ්වයෙක් පිටේ යන බව පෙන්නමින් පැන පැන යන අතර, පස්සෙන් යන අතවැසියා පොල් කටු දෙකක් තට්ටු කරමින් අශ්ව කුර ගැටෙන හඬ අනුකරණය කරනවා.

එක්තරා පාළමක් තියෙනව, එතන මුර කරගෙන ඉන්නවා කළු නයිට්වරයෙක්. ඔහු පරාජය කළොත් මිස, පාළමෙන් එතෙර වීම තහනම්. ඒ කොටස, ධනාත්මක චින්තනය සහ නොපසුබට ධෛර්යය ගැන හොඳ උදාහරණයක්.


ඔය අතරේ හදිසියේ ම ආතර් රජු ඉදිරිපිට පෙනී හිටින දෙවියන් වහන්සේ, එතුමාට ශුද්ධවූ කාර්යයක් පවරනවා. ඒ තමයි, ජේසු තුමා අවසාන භෝජන සංග්‍රහයේදි මිදි රස බිවූ කුසලානය සොයා යාම. වහාම තමන්ගේ නයිට්වරු කැඳවන රජු, ඔවුන් එක් එක් දිශාවන්ට පිටත් කර හරිනවා.

ඒ එක් එක් නයිට්වරයාට විවිධ වූ අභියෝග හමුවෙනවා. තම වන්දි භට්ටයන් ද සමඟ යන සර් රොබින් නම් නයිට්වරයාට හමුවෙන ඔලු තුනේ යෝධයා ඉන් එකක්.


කාන්තාවන් පමණක් සිටි ඇන්ත්‍රැක්ස් නම් බලකොටුවට යන සර් ගැලහැඩ්, සර් ලාන්සෙලොට් විසින් ගළවා ගන්නා ආකාරය එවැනි තවත් වික්‍රමයක්.


විවිධ වික්‍රමාන්විත ක්‍රියාවන්ට මුහුණ පාන නයිට්වරුන් සහ ආතර් රජතුමා නැවත හමුවන අතර, එක් අවස්ථාවක, ගුහාවක සිටින ඉතා බිහිසුණු සතෙකුට එරෙහිව මේනාර්ඩ් සහෝදරතුමා භාරයේ පැවති "ඇන්ටියෝක් හි ශුද්ධවූ අත් බෝම්බය" යොදාගන්නවා.


ඒ ගුහාවේ දී ඔවුන්ට අරමතියාවේ ජෝසෆ් ගේ අවසාන වචන සහිත සෙල්ලිපියක් කියවන්නට ලැබෙනවා. ඉන් පසු මරණයේ පාළම අසලට යන ඔවුන්ට ඒ අතර හමුවන කළු රාක්ෂයාගෙන් බේරෙන්නට හැකි වන්නේ, ඒ රාක්ෂයා ඇනිමේට් කරමින් සිටි කාටුන් ශිල්පියා හදිසියේ හෘදයාබාධයකට ලක් වීම නිසා.

මරණයේ පාළම අසළ සිටින පිශාචයා අසන ප්‍රශ්න තුනකට නිවැරදි පිළිතුරු දෙන්නට හැකි අයහට පමණක් පාළමෙන් එගොඩ වන්නට පුළුවන් වනවා. එහිදී නිවැරදි පිළිතුරු දෙන නිර්භීත සර් ලාන්සෙලොට් එතෙර වන අතර, සර් රොබින් සහ සර් ගැලහැඩ් නිවැරදි පිළිතුරු දීමට ‌අපොහොසත්ව පාළම අසළින් යන මරණයේ ප්‍රවාහයට ‌ගොදුරු වෙනවා. ආතර් රජතුමාගෙන් පිශාචයා අසන අවසාන ප්‍රශ්නයට රජතුමා ප්‍රශ්නයකින් පැහැදිලි කිරීමක් විමසනවා. එය පිශාචයා නොදන්නා නිසා, පිශාචයා මරණයේ ප්‍රවාහයට ගොදුරු වනවා.

අවසානයේ ආතර් රජතුමා හට ශුද්ධවූ කුසලානය පවතින බලකොටුව හමුවනවා. නමුත් ගැටළුවකට ඇත්තේ, ඒම බළකොටුවේ ප්‍රංශ හමුදාවක් සිටින අතර, ඔවුන් අප්‍රසන්න අපහාසාත්මක වචනවලින් ආතර් රජුහට පරිභව කිරීමත්, ඇතුල් වීමට ඉඩ නොදීමත්, විවිධාකාර දේවලින් ඔවුන්ට දමා ගැසීමත්...

ඉතින් ආතර් රජතුමාහට ශුද්ධවූ කුසලානය ලබා ගැනීමට හැකි වේද යන්න චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්න පුළුවන්...

චිත්‍රපටිය ගැන අයිඑම්ඩීබී තොරතුරු මෙතනින්

33 comments:

  1. හිමිදිරියේම පැයකුත් බාගයක් යන
    ෆිලුමක් බලන්නට විදිහක් නොමැති තැන
    සපැමිණි බව කියා සටහන් කර තබන
    'නිදි' මම - ආයෙමත් එමි තතු දැනගන්න

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවේ මම ලිව්වේ නැත සියලූ
      හොඳ රස දේ ෆිල්මේ තව ඇත යහළු
      නොම ඉඳිමින් තව තව කල් නැකැත් බැලූ
      මොන්ටි පිඹුරන්ගෙ හොලි ග්‍රේයලය බලු

      නිදි ගේ ඉහත කව දුටු විට මතක් වුනේ
      මීමන දිනක් බසයේ යන විටක රැයේ
      හමුවූ ගෑල්ලමයෙක් ඔබ කවුද කියා
      විමසූ විටදි ලියලා දුන් කවියක් ය

      "මෝහන රසය මට නම් දෙයකිය පරණ
      තේරෙන වා ඔබගෙ හැටි නොම වනු උරණ
      රෑ මන මාල කම ගැන නිති නම දරණ
      මීමන පෙම්තිලක මගෙ නම, ගම හොරණ"

      Delete
  2. ඩ්‍රැකීතුමා "ක්‍රේසි බෝයිස්" මූවීස් බලල තියනවද?
    මම පොඩිකාලෙ ආසම ඒවා.

    ReplyDelete
    Replies
    1. ආං ගමයා මැතිතුමා රොටි කඩයක් දාලා. හැලප කඩෙත් දැන් නැති නිසා මම නං ගිහින් ලිස්සල ආවා.

      Delete
    2. ප්‍රා ජේ,
      මම "තුමා" ක්‍රේසි බෝයිසි මූවීස් බලල නෑ. නමුත් ප්‍රා ජේ තුමා සඳහන් කරපු නිසා එකපාරටම ඒක බලන්න කොන්දේසි විරහිත කුතුහලයක් ඇති වුණා.

      පීට සෙලස් ගෙ මැජික් ක්‍රිස්ටියන් සහ පින්ක් පැන්තර් මූවීස් නම් බලල තියෙනව.

      බකුස්,

      දැං යනව කලම්බු මැලියම් පැත්තෙ...

      Delete
    3. Pra Jay මහත්තයෝ, ක්‍රේසි බෝයිස් වගේම නේද 'ගෝඩ් මස්ට් බී ක්‍රේසි' සීරීස් එකත්. නම වැරදිද මන්දා... මතක හැටියට ලිව්වේ. ඇයි 'කැරි ඔන්' සීරීස් එක...

      Delete
    4. Gods must be crazy හදපු අයම හදපු animals are beautiful people එකත් හොඳයි. scary movie සෙට් එකත් හොඳයි. hot shots ෆිල්ම් දෙකත් මරු.

      Delete
    5. ක්‍රේසි බෝයිස් මූවීස් 4ක් විතර ලංකාවට ආව.
      ලව් බග් මූවීස් මතකද?

      Delete
    6. මතකයි මහත්තයෝ. ඉස්සෙල්ලාම Love Bug බැලුවේ බම්බලපිටියේ (පරණ) මැජෙස්ටික් හෝල් එකට ගිහින්.

      Delete
    7. ප්‍රා ජේ,
      ස්තූතියි ඔත්තුවට. බාගන්න සටහන් කරගත්තා.

      නිදි,
      ලව් බග් කිව්වෙ "හර්බි ද ලව් බග්" ද?

      Delete
    8. නම මතක නෑ... කාර් එකක් තමයි වැඩ්ඩා!

      Delete
    9. ෆොක්ස්වැගන් කාර් එකක් නේ, ක්‍රීම් පාට? අලුත් ෆිල්ම් එකකුත් ආව අවුරුදු කීපයකට කලිං.

      Delete
  3. සර් ලාන්සෙලොට්
    මම ආස චරිතයක්....

    ReplyDelete
    Replies
    1. මකරාක්ෂයා වේදිකා නාට්‍යයෙත් ඉන්නව. ආතර් රජුගෙ ප්‍රධානම නයිට්වරයා.

      Delete
  4. ඩ්‍රැකීට දිගටම ලියන ගැම්ම ඇවිල්ලා. ඔහොම යං.😊

    ReplyDelete
  5. චිත්‍රපටියක නාමාවලිය කියන්නේ කවුරුවත් (යාන්තමින් මූන දාගත්ත නළුවෙක් නම් තමන්ගේ නම තියනවද කියලා බලයි) කියවන දෙයක් නොවෙයි. ඒකත් විහිළුවක් කරගන්න පුළුවන් කියලා මේකෙන් ඔප්පු වෙනවා.

    පරණ කොමඩි වල තියන හොඳට හිනා වෙන්න පුළුවන් දෙබස්, රඟපෑම්, ඉඟි බොහොමයක් අද කාලේ නම් පොලිටිකල් කරෙක්ට්නස් කතුරට අහු වෙනවා. මේකෙත්
    // එක්තරා පාළමක් තියෙනව, එතන මුර කරගෙන ඉන්නවා කළු නයිට්වරයෙක්. ඔහු පරාජය කළොත් මිස, පාළමෙන් එතෙර වීම තහනම්.//

    මේ කෑල්ල හදන්න සුදානම් වෙලා තියෙන්නේ "රෝස" නයිට් කෙනෙක් දාලා, එයාට කිස් එකක් දුන්නොත් විතරක් පාලමෙන් එගොඩ වෙන්න ඉඩ දෙන විදියට, සමලිංගිකත්වය විහිළුවකට ලක් වෙන ආකාරයටලු. නමුත්, වෙනත් හේතුවක් නිසා (පොලිටිකල් කරෙක්ට්නස් නිසා නොවෙයි), කළු එකෙක් දාලා, අර flesh wound එකත් (එකක් කිව්වට හතරක් නේ) ඇති කරලා.

    ඒ වගේම, අන්තිම යුද්දේ සාරෙට පෙන්නන්න ලෑස්ති වෙලා හිටියාලු. ඒ උනාට, සල්ලි ඉතුරු කරගන්න ඒක කපා දාලා පොලිසිය ගෙනාවාලු.

    මේ ටික දැක්කේ බ්‍රිතාන්‍ය පුස්තකාලයට තෑගී කරපු මේ චිත්‍රපටියේ මුල් පිටපතේ කටු සටහන් ගැන ලියවුන ලිපියකින්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි එකතු කිරීමට සෑම්...

      පොලිටිකලි කරෙක්ට්නස් නං ඔය මොන්ටි පයිතන්ලගෙ තියෙන්න විදිහක් නෑ. ඒ අයගෙ අනික් ෆිල්ම් එක්ක බලද්දි. අර ලයිෆ් ඔෆ් බ්‍රයන් එහෙම තමයි හොඳම උදාහරණ.

      ග්‍රෑහම් චැප්මන් ගෙ අභාවය ගැන ජෝන් ක්ලීස් ගෙ කතාව පවා පට්ට ම පට්ට විනෝදාත්මකයි.

      රෝස නයිට් ගැන කියනවනං, කස්ටියගෙ ෆවුන්ඩර්, ග්‍රෑහැම් චැප්මන් ප්‍රසිද්ධ සමරිසි පුද්ගලයෙක්.

      ඔය විස්තර මම දැනගෙන හිටියෙ නෑ. හොයන්න ඔ්නෙ.

      Delete
  6. // ලූතර් පෙන්ඩ්‍රැගන් රජු ගේ පුත්‍රයා වූ ද //

    ඌතර් පෙන්ඩ්‍රැගන් නෙවද?

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි බුරතීනෝ. නිවැරදි කළා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔය සීරීස් එකම අප තවම බලනව අහු වුනොත්. පවුලේ සියල්ලෝම සිනාසී බලන චිත්‍රපට, ලයිෆ් ඔෆ් බ්‍රයන්, මොන්ටි පයිතන් . ඒ නිසාම මයිකල් පැලින් ගේ චාරිකා ඔක්කොම වගේ බලනවා. මිංහගේ කථනය මරු. පොත් දෙකකුත් ගත්ත. මොන්ටි පයිතන් කිවම මතක් වුනේ ෆුල් මොන්ටි බැලුවේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අගේ ඇති ඔත්තු කීපයක් නේ... මම මයිකල් පේලින් ගෙ ‌ට්‍රැවලොග් ගැන දැනං හිටියෙත් නෑ, ෆුල් මොන්ටි ගැන දැනං හිටියෙත් නෑ. ලයිෆ් ඔෆ් බ්‍රයන් නං මරු ඈ...

      Delete
  9. ඕව බලල නෑ. Yts ඇති නේහ් .. බලන්න ඕන.
    මේ ළඟදි මිස්ටර් බෝන්ස් බැලුව. ආයෙ අලුත් එකක් වැකේෂන් ෆ්‍රෙන්ඩ්ස් කියල.

    පරණ ඒව බලනව නං කැමති කව්බොයි ඒවට. ඒත් මේ ළඟදි යාලුවෙක් රෙකමන්ඩ් කරල හව් ටු ස්ටීල් අ මිලියන් බැලුව. පට්ට.

    මේකත් බලන්න ඕන. 😃😃😃

    ReplyDelete
    Replies
    1. මං බලල තිබුණෙ මිස්ටර් බෝන්ස් ෆිල්ම් දෙකයි. ඔය කියාපු ෆිල්ම් දෙකත් බලන්න ඔ්නෙ.

      කව්බෝයි ෆිල්ම් බලනව නං, බ්ලේසිං සැඩ්ල්ස් බලල තියෙන්න ම ඔ්නෙ.

      Delete
  10. මොන්ටි පිඹුරා කිඹුල් ධර්මයගේ නෑයෙක්ද?
    මෙව්වා දැවෙන ප්‍රස්න ලොකු සර්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එයිටත් වඩා ප්‍රසන්-නයා ගෙ නෑයෙක් කියල. ඔය පහළ හැව ඇරල ගිහිං තියෙන්නෙ...

      Delete
  11. දිස් කොමෙන්න්ට් හෑස් බීන් රිමූව්ඩ් බයි ද ආතර්.

    ReplyDelete
    Replies
    1. ආතර් ගෙ කමෙන්ට් එකේ නයනු දෙකයි.

      Delete
  12. කාන්තාවන් පමණක් සිටින බලකොටුව ගැන ඇහුවාම මටත් ඒ චිත්තරපටිය බලන්ඩ ආසාවක් ආවා.. ඒ්නං... මං ඒක බලලා එඥ්ඥං

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි