Thursday, September 9, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - එල් සිඩ්

බස්සගෙ ආරාධනයෙන් ලියන්න ගත්තා, මම අගය කරන චිත්‍රපටි ගැන. 

‍මුලින් ම ලියන්නෙ, ආරාධනා කරපු තැනදි කිව්වා වගේ ම, මගෙ තාත්ත වගේ හැඟීමක් ඇතිකරවන චාල්ටන් හෙස්ටන් සහ සොෆියා ලොරේන් අර රංජිත් එදිරිසිංහ නිතරම කියනවා වගේ, රිදී තිරය වර්ණවත් කළ, විශිෂ්ට ගනයේ ‌චිත්‍රපටයක් වන එල් සිඩ් ගෙන්...

එල් සිඩ් කියන්නෙ, ස්පාඤ්ඤයේ සිටි නයිට් වරයෙක් වන  රොඩ්රිගො ඩයැස්. ඔහු ජීවත් වුණේ 11 වන සියවසේ. ඔහු ප්‍රසිද්ධ, රාජ පාක්ෂිකත්වයට, නිර්භීත භාවයට සහ සත්‍යගරුක බවට.

චිතුපටයට සහ ඔහු පිළිබඳව ලියැවුණු වීර කාව්‍යය වන "එල් කන්තාර් ඩි මියො සිඩ්" අනුව, රොඩ්රිගො ඩයැස් ස්පාඤ්ඤයේ  පළමුවන ෆර්ඩිනන්ඩ් රජු ගේ චැම්පියන්වරයාගේ දුව වන ෂිමේනා සමඟ ප්‍රේමයෙන් සිට, විවාහ වීමට නියමිත දිනයේ දි, ආක්‍රමණික අන්දලුස් නයිට්වරුන්ගෙන් එක්තරා නගරයක් බේරා ගන්නවා. එතනින් තමයි මා දුටු චිත්‍රපටය ඇරඹෙන්නේ. ඔහු එතනදී අත්අඩංගුවට ගන්නා අන්දලුස්වරුන් පිරිස නිදහස් කර හරිනවා. ඔහුගේ ත්‍යාගවන්ත භාවය නිසා අන්දලුස්වරුන් ඔහු, "එල් සිඩ්" නමින් හඳුන්වන අතර, උවමනා අවස්ථාවක ඔහුට සිය ණයගැතිභාවය සහ මිත්‍රත්වය ලබා දෙන්න පොරොන්දු වෙනවා.

එහෙත් ඔහු සිරකරුවන් මුදාහැරීම ගැන නොසතුටු වන රජු සහ රජුගේ චැම්පියන් ඔහු සමඟ විරසක වනවා. තම පෙම්වතිය හමුවීමට එන රොඩ්රිගෝ හට අනාගත මාමන්ඩිය හමු වී ඇතිවන ද්වන්ද සටනේ දී, රජුගේ චැම්පියන් මිය යනවා.

සිය පියා මැරීම නිසා, ෂිමේනා පත්වන්නේ දෙගිඩියාවකට. මිය ගිය පියාගේ දියණිය වශයෙන් ඇය සිය පෙම්වතා ගෙන් පළිගත යුතු වනවා. එහෙයින් රොඩ්රිගෝ හට ප්‍රේමිය අහිමි වනවා.

ඒ අතර, ස්පාඤ්ඤ රජුහට අභියෝගයක් එල්ල වනවා. සතුරු රටක චැම්පියන් අභියෝග කරන අතර, ඔහුට මුහුණ දීමට ඉදිරිපත් වන්නේ, රොඩ්රිගෝ පමණයි. "තොප කවුදැ"යි රජු, විමසූ විට ඔහු නොපැකිළව පවසනවා, "මම තමයි ඔබගේ චැම්පියන් ද්වන්ද සටනකදී මැරුවේ" කියා. ඒ සටන, සාම්ප්‍රදායික ලෙස, යකඩ ඇඳුම් ඇඟලාගෙන, දිගු හෙල්ල ගෙන, අසුන් පිට සිට සිදු කරන ඉතාම අලංකාර සටනක්. එහිදී ෂිමේනා සතුරු නයිට්වරයා ට සිය සහයෝගය දක්වන අතර, රජු ගේ දියණිය වන උරාකා කුමරිය රොඩ්රිගෝ ට සහය දක්වනවා. විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් දිනනවා. ඉන් පසු රොඩ්රිගෝ රජු ගේ චැම්පියන් තනතුරට පත් වනවා.



(මේ කොටස ආපහු බලද්දි මට හිතුනෙ, මේ චිත්‍රපටිය ජයන්ත චන්ද්‍රසිරි කළා නං එහෙම, කොයිතරම් ස්ලෝමෝෂන් කෑලි තියෙයිද කියල...)

ඉන් පසු මට මතක හැටියට එල්ල වන තවත් අභියෝගයකට ‌අනුව රොඩ්රිගෝ රජුගේ හමුදාව රැගෙන සතුරු පෙරමුණට යනවා. ඒ යනවිට ඔහු රජතුමාගෙන් එක් ඉල්ලීමක් ඉල්ලනවා. ඒ, තමා ජයගෙන ආවොත්, ෂිමේනා තමාට විවාහ කර දෙන ලෙස.

විය යුතු පරිදි ම රොඩ්රිගෝ එම සටනින් ජය ගෙන ආපසු අවුත්, ෂිමේනා විවාහ කරගන්නවා. විවාහයෙන් පසුව වුණත් ෂිමේනා ගේ පළිගැනීමේ ‌ආකල්පය නවතින්නේ නෑ. ඇය ඔහුට ප්‍රේම කරන තරමට ම ද්වේෂ කරනවා. (මේ සංකීර්ණ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට සමත් වන්නේ මගේ අදහසේ හැටියට සොෆියා ලොරේන් ම පමණයි.)

ඒ අතර මහළු ෆර්ඩිනන්ඩ් රජු මිය යනවා. වැඩිමහල් පුත් කුමරා දෙ වන සැන්චෝ නමින් රාජ්‍යත්වයට පත් වන අතර, ඔහු තම සොහොයුරා වන ඇල්ෆොන්සෝ කුමාරයා ඝාතනය කිරිමට තැත් කරනවා. එහිදී ඉහතින් ද සඳහන් කළ රජ කුමරිය පීඩිතයා ආරක්ෂා කරන අතර, රොඩ්රිගෝ ට ඊට සහාය වන ලෙස දන්වනවා.

එම සිදුවීම් මාලාවේ දී නව රජු ඝාතනය වන අතර, බාල කුමාරයා රජු ලෙස උත්සවාකාරයෙන් කිරුළු පළඳින්නට සූදානම් වනවා. එම උත්සවයට පැමිණෙන රොඩ්රිගෝ නව රජු ගෙන් ඉල්ලා සිටිනවා, සිය සහෝදරයාගේ ලේ සම්බන්ධව තමා වගකිවයුතු නැති බව බෛබලය මත අත තබා දිවුරන ලෙස.

එහි දී ඇල්ෆොන්සෝ කුමාරයා කෝප වනවා. නමුත් රොඩ්රිගෝ බලහත්කාරයෙන් රජුගේ අත ගෙන බෛබලය මත තබා දිවුරුම ගන්නවා.


රජු දිවුරූ පසු ඔහු ඉදිරියේ දනින් වැටෙණ රොඩ්රිගෝ සිය පූර්ණ පක්ෂපාතීත්වය රජුට පුද කරනවා. එහෙත් කෝපයෙන් සිටින රජු, රොඩ්රිගෝ රටින් පිටුවහල් කරනවා.

පිටුවහල් ව යන අතරේ දී තමයි රොඩ්රිගෝ ට සිය ‌භාර්යාවගේ ප්‍රේමය සහ සහයෝගය ලැබෙන්නේ. ඒ වනවිට ඔවුන්ට දියණියන් දෙදෙනෙකු (මට මතක හැටියට) සිටිනවා.

පිටුවහල්වුණු රොඩ්රිගෝ හට මිත්‍රතත්වය දක්වන්නේ, ඔහු මුලින් නිදහස් කළ අන්දලුස් ජාතිකයන්. ඔවුන් සමඟ පුළුල් සන්ධානයක් ඇති කරගන්නා රොඩ්රිගෝ හෙවත් සිඩ්, තුර්කි ආක්‍රමණයට එරෙහිව සටන් කර, ක්‍රම ක්‍රමයෙන් ලෙවාන්තය සහ අයිබීරියානු අර්ධද්වීපය යටත් කරගන්නවා. අවසානයේ වැලෙන්සියා බලකොටුව අල්ලාගන්නා ඔහුට, එහි දී අන්දලුස්වරයෙක් කියනවා, "ඔබ දැන් වැලෙන්සියාවේ රජ." කියා. නමුත් සිඩ්, වැලෙන්සියාවේ කිරුළ ඇල්ෆොන්සෝ රජු වෙත යවනවා.

තුර්කි සටන්වලින් පරාජය වෙමින් සිටි ඇල්ෆොන්සෝ රජු අවසානයේ සිඩ් ගේ රාජපාක්ෂිකභාවය සහ සෘජු ගුණය හැඳිනගෙන ඔහු වෙත එනවා. නමුත් ඔහු එන්නේ කලින් දා සටනින් මාරාන්තික තුවාල ලබා සිටින සිඩ් වෙතයි. පසුවදා සටන, තම රජුත් සමඟ එක්ව කිරීමට හැකි වනු ඇතැයි යන ප්‍රීතියෙන් සිඩ් එදා රෑ මියයනවා. පහුවදා සටන ස්පාඤ්ඤ අන්දලුස් හමුදා ජයගන්නේ, සිඩ් ගේ මළ සිරුර, නයිට් ඇඳුමින් සරසා, කොන්දට යකඩ පටි සවිකර, අශ්වයා පිට සවිකර, සටන් පෙරමුණට ගෙන යමින්.


මේ සිනමා පටය මා මුලින් ම දුටුවේ කළු සූදු රූපවාහිනියෙන්. ටීඑන්එල් සේවය ආරම්භ වූ අලුත, ඒරියල් ඒකට තඹ සහ ඇලුමිනියම් කම්බි පුරුද්දා, වහලයේ පරාල අතරින් ඇද, සුදු පැහැ තිත් ගොඩක් මැද්දෙන්.

චිත්‍රපටය අවසන් වී පැය බාගයක් පමණ යන තුරු දිගු සුසුම් හෙළමින් එහි අන්තර්ගතය මෙනෙහි කළා මට මතකයි.


සිඩ් ඇති කළ ස්පාඤ්ඤ අන්දලුස් සංස්කෘතික මුසුව, අදටත් අන්දලුස් සහ ෆ්ලැමෙන්කෝ සංගීතය ඔස්සේ අපට අත්විඳින්න පුළුවන්. ස්පාඤ්ඤ ගිටාර් හඬ සමඟ මුසුවුණු අරාබි ඩ්‍රම් සහ ගැඹුරු ගායනා ශෛලීන් මනසට ඇති කරන්නේ අපූර්ව ස්පර්ශයක්.

මෙතැන, එල් සිඩ් සම්පූර්ණ චිත්‍රපටය තිබෙනවා.

එල් සිඩ් විත්‍රපටය ගැන අයිඑම්ඩීබී දත්ත පද්දතියේ සම්පූර්ණ විස්තර තියෙනවා.


73 comments:

  1. පළමු වතාවටයි මේ චිත්‍රපටය ගැන ඇහුවේ. එකල රසිකයින් හා විචාරකයන් මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වුවේ කියන එකත් ඇතුළත් උනානම් හොඳයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒක තිබුණනම් අංග සම්පූර්ණයි. නමුත් මම දන්නෑ හැට ගණංවල තත්ත්වෙ. හොයන්න වෙලාව මදි. මේකත් ආවේෂයකින් වගේ එක හුස්මට ලිව්වෙ, නැත්නම් ලියාගන්න බැරි වෙලා මගෑරෙයි කියල.

      Delete
    2. ටීවී සීරීස් එක බලන්න

      Delete
    3. https://en.m.wikipedia.org/wiki/El_Cid_(TV_series)

      Delete
    4. පිංතූර හොයද්දි දැක්කා

      Delete
  2. හ්ම් හොඳ විචාරයක්. කාලයත් සමඟ මගේ රස වින්දනය දැන් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා... එහෙම වෙනවා... නැත්නම් අපි මිනිස්සුයැ... (ඈ...? බස්ස කුරුල්ලෙක් නෙව. එතකොට මොටාගෙදර?)

      මේක විචාරයක් නං නෙමෙයි බස්, මම විඳපු රසය ගැන තව කෙනෙකුට කියා, මේක බලන්න ආරාධනා කිරීමක්.

      Delete
    2. මොටා ඇති කුකුල් කොටු පැත්තෙ කැරකි, කැරකි. උන්දැට චිකන් කිව්වොත් ආයෙ වෙන මොනවද?

      Delete
    3. එයි ෂෙකද? ඔය ඉඳහිට අතමාරුවට කිකිළියෙක් අරං ගියාට, අපිත් ඔව්වා බලනවා.

      ප්‍රාජේ නං කැමති වෙයි මේකට. අධ්‍යක්ෂක "ඩක්" නිසා- කිම්-කී-ඩක්.
      https://en.wikipedia.org/wiki/3-Iron

      Delete
    4. 3 Iron මාර film එකක්! මමත් සාක්කි!

      Delete
    5. බස්, මොට, නිදි,
      ස්තූතියි. යකඩ තුන බලලම නෑ. කවද හරි බලනව.

      Delete
    6. රොමෑන්ටික් මූවීස්වලට (රොමෑන්ටික් කොමඩි නම් ඉතිං කමක් නෑ ) පොඩ්
      ඩක්වත් කැමති නෑනෙ

      Delete
    7. රොමැන්තික එව්ව බොහොමයක් කොමඩි තමයි නේද? විශේෂයෙන්ම එල්විස් ඉන්න ඒවා

      Delete
    8. Historical/suspense/thriller/mystery/detective/nature/wildlife/sports බලන්න කියවන්න/තියනවනෙ, වෙලාව සීමිතයි.
      රොමෑන්ටික් කරන්න ආස වුනාට බලන්න කියවන්න ආස නෑ

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. SF/fantasy මිස් වුනා

      Delete
    11. ම්ම්ම්... ප්‍රා රසවිඳින කැපෑසිටිය සම කරන්න මට තව ශතවර්ෂ කීපයක් ෆිල්ම් බලන්න, පොත් කියවන්න වෙයි වගේ මේ යන තත්ත්වෙ හැටියට... ජෙෆ් බෙසොස් අමරණීය වෙන්න පර්යේෂණවලට වියදම් කරනව කියල ආරංචියි.

      Delete
    12. ප්‍රාජේ දැන් "පොඩ්-ඩක්" වත් කැමති නෑනෙ කියන්නෙ? ඔහොම තමා කාලයත් එක්ක රසවින්ඳනය වෙනස් වෙනවා. දැන් කැමති නෙලුං අල වලට පාටයි.

      Delete
    13. ඔබතුමාගෙ ඉන්ෆ්ලුවන්ස් නිසාද කොහෙද රොමෑන්ටික් නම් කොමඩි විතරයි

      Delete
    14. // SF/fantasy මිස් වුනා //

      SF කිවුවෙ Sexual Fantasy වෙන්ටෑ

      Delete
    15. It's a science according to Lord Bastian.

      Delete
    16. ජයසේනගේ "කකුලෙන් ඇදීමේ" ක්‍රීඩාවට, බුරාත් එකෙතුවීම ගැන මගේ බලවත් මෙව්වා එක පුද කරනවා. කොහෙන් ගියත් රාත්තලයි. ජයසේන ක්‍රමවේදය අනුව, කවුරු ඇද්දත් ඒක වැටෙන්නේ අසරණ පක්සියාගේ එකවුන්ට් එකටයි.

      මැලියං නං තාම "hard nut to crack"😒

      Delete
    17. Lord Bastian is filthy rich. Account is bursting full. Conscience is as bad as it can be.

      Gum is as volatile a material as nitroglycerin. Beware !

      Delete
  3. ස්පාඤ්ඤය නෙවෙයි කැස්ටීලය නේ ද? ස්පාඤ්ඤය රාජ්‍යයක් විදියට එකමුතුවෙන්නෙ මීට බොහෝ කාලෙකට පස්සෙ. මේ වෙද්දි තිබුනෙ කැස්ටීලය, ඇරගොන්, නවාරේ වගේ එකාට එකා නැති කුඩා රාජ්‍ය කීපයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බුරා හරි. කැස්ටීල්, ලියෝන්ස්, වැලෙන්සියා සහ කලහාරි වගේ කොටස්... මම ස්පාඤ්ඤය කියලා දැම්මේ කියවන්නාට සරළව තේරුම් යාමේ අරමුණින්. ගොඩක් ස්තූතියි නිවැරදි කිරීමට.

      Delete
    2. අයිබීරියානු අර්ධද්වීපය ආක්‍රමණය කලේ තුර්කියො නෙවෙයි නේ ද? උතුරු අප්‍රිකානු මුස්ලිම් රාජධානි තුර්කියත් එක්ක සම්බන්ධයක් තිබුනෙ නෑ.

      Delete
    3. https://www.britannica.com/place/Spain/Muslim-Spain

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මට දැන් නම මතක නැති ලයිබ්‍රරි පොතක (අයිතිහාසික නවකතාවක්) කියෙව්වා කතෝලික රජවරු දකුණු ස්පාඤ්ඤය මුස්ලිම් ග්‍රහණයෙන් මුදාගත්තට පස්සෙ එහෙ මුස්ලිම්වරුන්ට හා මුස්ලිම් ආගම අතහැර කතෝලිකවුන ( ඒ අයට නමක් තිබුන. මතක නෑ ) වුන හිරිහැර හා පිටුවහල් කිරීම් ගැන

      Delete
    6. හොයාගත්ත !

      https://en.m.wikipedia.org/wiki/Morisco

      Delete
    7. බුරා සහ ප්‍රා

      ඕං ඕක තමයි මං හරි හමං ස්ටඩියක් නොකර මේක ලියපු එකේ ප්‍රතිඵලය. ඒ වරද හරි ගස්සන්න හිතා ගත්තා, එක වරක් උල තියන විලාඩ් ගැන ලිව්වා වගේ සිඩ් ගැන ලියන්න. කවද හරි "නවීන ඉතිහාස කතා" වගේ පොතක් ගහන්න පුළුවන් වෙයි.

      Delete
  4. 60 දශකයේ නිපදවුන දැවැන්ත හොලිවුඩ් ෆිල්ම්ස් අතරින් මගෙ කැමැතිම ෆිල්ම් එක ඩොක්ටර් ෂිවාගෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ඒකත් අර මං කියපු කාල වකවානුවෙ ටීඑන්එල් එකේ විකාශය කළා. ඒක නම් ඇත්තටම උපරිම උසස් මාස්ටපීස්එකක්

      Delete
    2. බුරා බලල ඇති, අර මකාර් චුද්‍ර කතාවෙන් හදපු රුසියන් ෆිල්ම් එක?

      Delete
    3. ඒකෙ මිනිත්තු 42.23 ඉඳල තියෙනව පට්ට ලස්සන ඩාන්ස් එකක්...

      Delete
    4. ඒක අදමයි බැලුවෙ

      Delete
    5. ඕක බලපු කෙනෙකුට ඉවාන් පවුලුෂා සිංදුව අහන්න බෑ.

      Delete
    6. එල් සිඩ් කෙසේ වෙතත් මේක නං බලනවා. කොලිටි එකක් පට්ට. 4K😊. ස්තූතියි.

      Delete
    7. ඒකනෙ... ඒක පට්ට වෙන්නෙ, අපි කියවල හිතෙන් මවාගත්ත දේ වෙනුවට ඔරිජිනල් පරිසරය සහ සංස්කෘතිය දකින්න ලැබෙන එකයි

      Delete
  5. මං මුලින්ම එල් සිඩ් ගැන දැන ගත්තෙ මූවි එක පදනම් කරගෙන ලියපු පොතෙන්. අවු 20+කලින් කොටුවෙ පේව්මන්ට් පරණ පොත් වෙලෙන්දෙක්ගෙන් ගත්තෙ. (සාමාන්‍යයෙන් පොතෙන් මූවි හැදුවට කලාතුරකින් මූවි එක බේස් කරල ලියපු පොත් තියනවනෙ (බැට්ල්ස්ටාර් ගැලක්ටිකා, ස්ටාර් වෝර්ස්, කැලිගියුලා වගේ )
    පස්සෙ කාලෙක මූවි එක බැලුව.
    ගිය අවුරුද්දෙ ඩ්‍රාමා සීරීස් එකේ (2020) ඩීවීඩී එක ලැබුනා. තාම බැලුවෙ නෑ.
    වයිකින් සීරීස් එකේ බියෝන් අයන්සයිඩ්ව අස්සයා පිටේ ගැට ගහල යුද්දෙට යවපු සීන් එක බලනකොට එල් සිඩ්ව ආයිත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මම දැන උන්නෙ නෑ පොතක් තියෙනව කියල. පින්තූර හොයද්දි දැක්කා ටීවී සීරීස් එක. ඒත් මගෙ හිතේ තියෙන චාල්ටන් හෙස්ටන්ගෙ ප්‍රතිරූපය බිඳෙයි කියල බලන්න නෑ කියල හිතා ගත්ත

      Delete
  6. ඩ්රැකී, මීට කලින් එල් සිඩ් බලන්න කිව්වම link එක තියා ගත්තා විතරයි. දැන් නං නොබලා බෑ.

    ReplyDelete
    Replies
    1. අර උඩ බුරාට දුන්න ලිංක් එකත් බලන්න. මකාර් චුද්‍ර කතාවෙ ෆිල්ම් එක. රුසියන් නිර්මාණයක්. පට්ට ම සුන්දරයි.

      Delete
    2. මොන එකක්ද මන්දා මම මේකට පට්ට ආසයි.
      https://www.imdb.com/title/tt0111161/
      සමහර වෙලාවට ඇයි අපිට සමහර ෆිල්ම්ස් මාර විදිහට ක්ලික් වෙන්නෙ කියන එක උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක්. සමහර විට ඒක එක්කෙනාගෙ රසය වෙනස් ඇති.

      වැදගත්ම දේ, ඩ්‍රැකියා තමන් කැමති ෆිල්ම්ස් ගැන විස්තර ලියනවා. ඔය අතරෙ අපට සාකච්චාවට වේදිකාවක් තැනෙනවා. එමඟින් අපට මිස් වෙච්ච, වෙනත් මිණිකැට ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙනවා.

      Delete
    3. film එකම නෙවෙයි සිංදුව බැලුවා ඊයේ රෑම!

      Delete
    4. ඒක බලන්න නිදි මැරුවට පාඩු නෑ

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. Shawshank Redemption මාත් ආසම මූවී එකක්
      බස්තුමා Shutter Islandටත් කැමතිද? මං ආසාවෙන් බැලුව . ඒත් ආයිත් බලන්න කැමැත්තක් නෑ. Too psychologically complicated for me.

      This is a superb movie :
      https://en.wikipedia.org/wiki/Sleepers

      Delete
    7. ශෝෂෑන්ක් රිඩෙම්ෂන් සහ ෂටර් අයිලන්ඩ් මා ගාව තියෙනව. තාම බැලුවෙ නෑ. නියාඩු පාඩුවෙ බලන්න ඔ්නෙ ළඟදිම. ඒ නම් දැක්කම මතක් වුණා කාරණා දෙකක්...

      එකක් මේක.

      අනික මේක.

      Delete
    8. Shutter Island කැමතියි, හැබැයි ආයෙ බලන්න බෑ. Inception, The Thirteenth Floor වගේ එව්වට කැමති වගේම ආයෙ, බලන්න එකතු කරලා තියාගෙන ඉන්නවා.

      Delete
    9. ඊයේ EL CID බැලුවා. ඊළඟ පොස්ට් එක ලියාගන්න පරක්කු වුණොත් ඔන්න ඩ්රැකී තමයි.

      Film එක බලද්දී හිතුණේ ඒ වගේ ඒවා බලන්න ඕනි කොල්ලුපිටියේ ලිබර්ටි වගේ 70 වගේ ලොකුම තිරයක් තියෙන hall එකකම කියලා.

      ස්තුතියි, මාව ඒක බලන තැනට තල්ලු කළාට.

      Delete
    10. Shutter Island බලන්නම හිතුණා. බැලුවා. තවම හොල්මන්!

      Delete
    11. Sleepers එක්ක එතකොට දෙකක් පෝලිමේ!

      Delete
  7. විස්තරේ එල ද බ්‍රා....
    බලන්න ඔනේ

    ReplyDelete
  8. ඒජ් ඔෆ් එම්පයර් ගේම් එකෙන් මම ඔය මිනිහා ගැන දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒජ් ඔෆ් එම්පයර්ස් 2 ගේම් එකේ සිඩ් වගේම විලියම් වොලස්, ජෙන්ඝිස් ඛාන් වගේ ලෙජන්ඩ් කීපයක්ම ගැන තිබුණා

      Delete
  9. Replies
    1. කලින් බලල, ලෙසටම ලිස්සල ගියා. දැන් ගිහින් වැටක් ගහල ආවා.

      Delete
    2. මාත් ගිහින් බලලා මෙහෙම කෙටුවා.

      //ලගදිම ලොකු කකුලක් එන්න ඉන්නවා.. //

      කිව්වද හැබෑටම යමරජු එහෙම දෙයක්
      හැදේවා එයා එක්කම ලොකු පොකුරක්
      නරකයි පතන එක වෙනු කියලා විපතක්
      නරකත් හොඳයි රටටම වෙයි නම් සැපතක්!

      Delete
    3. හ්ම්ම්... දිරිමත් කළ යුතු පට්ට ලියන්නෙක්.

      Delete
  10. හෙට නං මේ පැත්ත පළාතේ එන්නෑ. මගේ ලියන වැඩත් කරගන්න ඕනිනේ.

    නම් නොකිව්වට තව films දෙකකුත් බලන්න හිතිලයි තියෙන්නේ හලින් තිබුණු රෙකමන්ඩ්ස් හින්දා.... ඔහොම ගියොත් films බල-බලා විතරක් ඉන්නයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආාා... මී ළඟට ලියන ෆිල්ම් එකත් එක්ක, නිදි ට බලන්න තව ෆිල්ම් ට්‍රැක්ටර් ලෝඩ් එකක් විතර එකතු වේවා යනු මගේ ඒකායන ප්‍රාර්ථනාවයි...

      Delete
  11. හොඳට ලියල තියනව. ඉතා ඈත කාලයක බලපු ෆිල්ම් එකක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අජිත් අයියෙ

      Delete
  12. L සිඩ් බලන්න කලිං K සිඩ් බලල තිබුණෙ නැත්තං වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. A සිඩ්, B සිඩ් ඉඳං බලාගෙන එන්ඩ ඔ්නෙ.

      Delete
  13. වැඩේ කියන්නෙ මට හිතෙනවනෙ මං තමයි එල් සිඩ් කියල....!! මොකද කියන්නෙ මං එල්සිඩ්ද වෙන කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. උඹ මල්ලි ඩබ්ලිව් සිඩ්

      Delete
  14. සුනිල් අයියා ගැන ලියපු ලිපිය මට මිස් වෙලා...
    අඩෝ එහම වෙන්නෙ කොහමද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හැටි එහෙම තමයි බං. ගණං ගන්ඩ එපා

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි