Tuesday, September 13, 2022

මා ලේඛකයෙකු කළ කුමාරසිංහ මහතා

සුනිල් කුමාරසිංහ අතුකෝරල සහෘදයාණන් මාහට මුණ ගැසුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේදී ය. 

ඔහු සමඟ කතා බහ කරද්දී මා දුටු ඉතා නිහතමානී සහ සරල මනුස්සකම සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු තුළ දකින්නට නොමැති තරම් විය. පැය ගණනක් වුව ද එකදිගට වෙහෙසක් නොමැතිව ශාස්ත්‍රීය දේ පිළිබඳ කතා කරන්නට ඔහු සතුව මහා දැනුම් සම්භාරයක් විය. මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස මෙන්ම සාහිත්‍යය පැත්තෙන් ද ඔහු සතුව මහා දැනුම් උල්පතක් විය. ඔහු පොත් ගණනාවක කතු වරයා වන අතර, ඔහුගේ ශාස්ත්‍රීය ලිපි මාසයකට දෙකක් තුනක් වත්, දිවයින බදාදා අතිිිරේකයේ පළ වේ.

කුමාරසිංහ මහතා වන්නිලැත්තන්ගේ රුකුල් පොජ්ජට මං‌ගච්ඡා ගත් පින්තූර පොජ්ජකි

කුමාරසිංහ මහතා සමග මාගේ ඇසුර තවත් දැඩි වූයේ මගේ පියාගේ අභාවයත් සමඟිනි. මාගේ පියා සමග මා බෙදා හදාගත් සාහිත්‍ය, දේශපාලන සහ සාමාජීය කතිකාව නොනැවත ගෙනයාමෙන් ඔහු නොදැනුවත්වම පියාගේ අභාවයෙන් මා තුළ ඇතිවූ රික්තකය පිරවූයේ ය.

වයසින් ඔහු හා මා අතර තරමක පරතරයක් පැවතිය ද, මාගේ ජීවිතයේ ඉදිරි කඩඉම්වලදී කුමාරසිංහ මහතා යහළුවෙකු මෙන් මා සමග සිටියේය. පියාගේ දානමය කටයුතු, ගෙට ගෙවදීම, මාගේ විවාහය, ආදී මාගේ ජීවිතයේ සියලු කඩඉම්වලදී ඔහු මා සමග සමීපව කටයුතු කළේ ය. 

උපේක්ෂාව, මානව දයාව මෙන් ම, සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් නොපැකිළව පෙනී සිටීම යන ගුණාංග සම්බන්ධව ඔහු මා හට ජීවන ආදර්ශයක් විය. බුදුන් උපන්නේ ලංකාවේ ය යන ප්‍රපංචය සමාජගත වූ අලුත, මාත් යහළුවන් පිරසකුත් හිරිවඩුන්න බෝධිය බලන්නට ගිය බව ඔහු වෙත කී විට, ඔහු තනිව ම එහි ගොස් කරුණු රැස් කළේ ය. එහි ඇති ඇත්ත නැත්ත ගැන ගැඹුරින් සොයා බැලූ හෙතෙම, හිරිවඩුන්න පන්සලේ හාමුදුරුවන් මෙන් ම ග වැසියන් සමග ද සාකච්ඡා කර, ඉහත කී මතවාදයේ සවිඥානික මගඩියක් මිස සත්‍යයක් නැති බව හෙළි කර ගත්තේ ය.

වන්නිලැත්තෙක් සමඟ...

මා සිය පවුලේ හිතවතෙකු කරගත් කුමාරසිංහ මහතා, අප කැටිව සුහද චාරිකාවන් ද කිහිපයක් ගිය බව මතක ය. තමන් පදිංචිව සිටි ප්‍රදේශයට කිට්ටු වාරණ පුරාණ විහාරය, අලවල, ඇතා උඩ කන්ද ආදී ප්‍රදේශයන්හි පුරවත,  සහ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ දැක්වූ නොමඳ ඇල්ම හා කුතුහලය ඔහුට විශේෂත්වයක් විය. 

දිවයිනේ ප්‍රකට ලේඛකයින් රැසක් සමග සමීප සබඳතා පැවැත්වූ ඔහු සිය ලේඛන කාර්යයේ දී ඒ සබඳතා බුහුටිව යොදවා ගත්තේ ය.

සේනාරත්න වීරසිංහ සහ සුනිල් ගුණවර්ධන (ලේඛකයෙක් සහ කවියෙක් සමඟ)

මා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවය කරන කාලයේ කුමාරසිංහ මහතාගේ තවත් එක් සුවිශේෂී මිතුරෙකු වූ රන්ජිත් ප්‍රේමරත්න මහතා තම පෞද්ගලික ධනයෙන් සහ උත්සාහයෙන් "රන්බිම" නමින් පුවත්පතක් පටන් ගත්තේ ය. ඊට උපකාර කරනු වස් මෙන් ම, තම මිතුරන්ට හැකියාවන් එළිදක්වන්නට මඟක් වශයෙන් ද කුමාරසිංහ මහතා කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙකුට ම "මොනවා හරි ලියන්නැ"යි ආරාධනා කළේ ය. ඒ ආරාධනය ලැබුවන්ගෙන් කෙනෙකු මම ද වීමි. ඒ අනුව මා මුලින්ම ලීවේ "තිසා වැවේ ඉවුරේ සක්වල චක්‍රය" ය.

මා එය ලියා කුමාරසිංහ මහතා හරහා රන්බිම ට යැවූ පසු, ඔහු මා සමග අපූරු කතාවක් කීවේ ය.

ආධුනිකයෙක් පුවත්පතකට ලිපියක් යැවූ පසු, එය ඊළඟ කළාපයේ පළ කෙරෙන්නේ නැත. අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට මෙන් එය පළ වීම තරමක් කාලයකට පසු කරන පුරුද්දක් ඒ ක්ෂේත්‍රයේ ඇත. ඔහු ඒ පිළිබඳව මා හට පහදා දී, මා හට ද එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඇතිවන්නට ඉඩ ඇති කළකිරීම වැළැක්වීම සඳහා ඒ ගැන පැයක් පමණ මා සමග කතා කළේ ය.

කෙසේ නමුත්, සක්වල චක්‍රය ඊ ළඟ කළාපයේ ම පළ වූ අතර, කල් යාමේ දී මම රන්බිම පත්තරයේ නිරන්තර ලියන්නෙක් බවට පත් වීමි. ඒ ලිවීමේ පරිචය ම මා හට බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට ද පසුව ඉවහල් වූ අතර, මා මුල්කාලයේ බ්ලොග් පිටුවේ පළකළ ලිපි අතරින් බහුතරය, රන්බිම පත්තරයේ පළ වූ ලිපි ම විය. මා සහ ඔහුගේ තවත් මිතුරෙකු වූ දයානන්ද රත්නායකයන් අනුව කුමාරසිංහ මහතා ද බ්ලොග් පිටුවක් ආරම්භ කළේ ය. ඒ සරු බීජ යි.

රන්බිම පුවත්පතේ, "කවි - පැන - පිළිතුරු" තීරුවක් ආරම්භ වූ අවස්ථාවේ ඔහු ඒ සඳහා විකට කවි පැන කීපයක් සකස් කර යැව්වේ ය. ඒවා, ඔහු  හිටිවන කියද්දී, ටයිප් කර ගත්තේ මා ය. ඉන් මට දැනටමතක ඇත්තේ එකකි...

උදයට කෑවෙ මැද බෙරි වුණ ආප්ප ද?

ජූජක බමුණ ‌උඹෙ මාම ද බාප්ප ද?

තවත් කාලයක් යද්දී, කුමාරසිංහ මහතා මා අමතා කීවේ, මාධ්‍යවේදී හැඳුනුම්පත ගැනීම වැදගත් වන බව ය. ඔහු සතුව එවැන්නක් තිබූ අතර, ඕනෑම තැනකට ප්‍රවේශ වීමට ඒ හැඳුනුම්පත ඉවහල් විය. ඔහුගේ උත්සාහය අනුව, රන්ජිත් ප්‍රේමරත්න මහතා මා වෙත රන්බිම පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හැඳුනුම්පතක් ලබා දුන් අතර, හදිසියේ පුවත්පත නැවතුණු නිසා මිස, මා හට මාධ්‍යවේදී හැඳුනුම්පත ද ලබා ගන්නට හැකි වන්නට තිබුණි.

කුමාරසිංහ මහතා ඉතා කරුණාවන්ත සහ මානව දයාවෙන් හෙබි කාන්තාවකගේ දයාබර සැමියා වූ අතර, ඉතා දක්ෂ සහ නිහතමානී දියණියකගේ පියා ද වෙයි. මා ඔහුගේ නිවස වන "මෙත්සහනි"යට ගොඩවැදුණු සෑම අවස්ථාවක ම ඔහුගේ මව ද, බිරිඳ ද, දියණිය ද අප වෙත ලබා දුන්නේ තමන්ගේ නිවසේ දී පවා නොලැබෙන, ගෘහීය හැඟීමකි.

කුමාරසිංහවරු...

මා රාජ්‍ය සේවයේ උසස්වීම් ලබා කාර්යබහුල වීමත් සමග, කුමාරසිංහ මහතාගේ කිට්ටු ඇසුරින් මෑත් වූ නමුත්, ඔහු හා සබඳතාව තබා ගත්තෙමි. ඒ අතර, කොවිඩ් රෝගය වැළඳීම, බිරිඳ අසනීප වීම, මව මියයාම යන අභාග්‍ය සම්පන්න අවස්ථාවන්හි දී කුමාරසිංහ මහතා සමඟ සිටීමට මා හට නොහැකි වීම ගැන අදටත් ඇත්තේ පසුතැවීමකි.

අවසානයේ එතුමාගේ පිය බිරිඳගේ අකල් වියෝව ආරංචි වූ පසු මා හට හැකියාව තිබුණේ ඔහුට දුරකථනයෙන් ඇමතීමට පමණකි. මනුෂ්‍යයෙකුහට පවුල යනු කෙතරම් ශක්තියක් ද යන්න මා හට පසක් කළේ ඔහු සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයයි. කොවිඩ් රෝගයෙන් ඔත්පළව සිටි ඔහු ඉතා දුර්වල ලෙස කතා කළ අතර, අවශ්‍ය ම අවස්ථාවේ කිසිවක් ඔහු වෙනුවෙන් නොකළ මා කතා කළේ පසුතැවීමකින් පෙළෙමිනි.

මේ නොබෝ දිනක මා හට තැපෑලෙන් ලැබුණු තෑග්ගකින් මෙම ලිපිය ලිවීමට මා හට සිත් පහළ විය. ඒ, කුමාරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ තක්ෂිලා රණවීර මහත්මිය ලියූ කවි එකතු කර පළ කෙරුණු පොතකි. ඒ පොත මෙන් ම, ඒ පොත බහා එවූ ලිපි කවරය ද, මාගේ පොත් එකතුවේ වැදගත් තැනක් හිමි කරගන්නේ ය.

අන්තිමේ දී... තමන්ගේ ප්‍රිය භාර්යාව වෙනුවෙන් ජීවන සහකරුවාහට කළ හැකි දේ වලින් කුමක් නම්, මීට වඩා උසස් වේ ද?


මේ පොත ගන්නට ඇත්තේ කොහේ දැයි මා දන්නේ නැත. නමුත් හැකිනම් අනිවාර්යයෙන් මිලදී ගෙන කියවා බලන ලෙස ඔබට ආරාධනා කරමි. එහි අඩංගු කවි එතරම් ම උසස් වන අතර, අපගේ හදවතේ යම් තැනක නිදන් ව ඇති භාවයන් ට ආමන්ත්‍රණය කරන නිර්මාණ වේ.

34 comments:

  1. Replies
    1. හිටපිය! මේ සති ගාණක ඉඳං පට්ට කතාවක් ලියනව, පොඩි මෙන්ඩට...

      Delete
    2. පොඩි මෙන්ඩට.
      පොඩිම මෙන්ඩට.

      Delete
    3. එළ! පොඩිම මෙන්ඩගෙ වයස කීයද දැං?

      Delete
    4. ඔය තියෙන්නෙ යකො! ඇස් පේන්නැද්ද?

      Delete
    5. kandulu samaga kiyewwemi
      oba semmatama
      shakthiya ha diriya pathami

      Delete
  2. Replies
    1. ප්‍රකාශනය කුමාරසිංහ මහත්තයගෙම යි. ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ පොත් කඩවල ඇති. නැත්තං කියහං, මම කුමාරසිංහ මහත්තයගෙ නම්බරේ දෙන්නං.

      Delete
  3. එළ ද බ්‍ කුමාරසිංහවරු

    ReplyDelete
  4. +++++++++
    තව ලියන්න ඔය මාතෘකාව ගැන

    ReplyDelete
    Replies
    1. මිල්ටන් මල්ලවාරච්චිගෙ ලියුම් වගේ තමයි ඉතිං.

      කොහෙන් පටන් ගෙන මොනව ලියන්නද නැහැ මට වැටහෙන්නේ...

      Delete
  5. සමහර මිනිස්සු ඉන්නවා සංසාර පුරුද්දට වගේ හම්බවෙන. ලියන්නට අතිශය කම්මැලියෙකු වන මට ලියන්නට බල කලේත් එහෙම කෙනෙක්. ඔවුන්ගේ නිහතමානී, සකල කලාවන්ට ගොවියන් වන සංකල්පයම තමයි ඒ අය ජීවත් කරවන්නේ!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ උදවියගෙ මාර ආරම්භක ශක්තියකුයි, ඇදගෙන යාමේ හැකියාවකුයි තියෙනවනෙ. හරියට, අපේ බැටරි චාජ් කරන චාජර් වගේ...

      ලියකො සේසතේ දේවතාවිගෙ අනික් කොටහ!

      Delete
  6. ඔයා රංකැටි පත්තරේ බලලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඈ...? නෑ. ඇහුවෙත් අදයි. ඇයි?

      Delete
  7. එක අත්තේ වහන එක වගෙ සකුණ කැල
    උන් උන් හඟිත් උන් හදවත් ගැහෙන කල
    උහු වෙනුවෙනි බමන්නේ ලොව සියල් කල
    දිගටම දිනේවා මිතුදම් - පෙන්වා තිබෙන බල!

    ReplyDelete
    Replies
    1. වැඩියත් හිතට වැදුණේ අපෙ මිතුරාගේ
      බිරිඳට දීපු ආදර ගෞරවය අගේ
      සුන්දර හිතවතුන් දුලබයි මේ වාගේ
      උන් හමුවීම ‌වාසනාව වේ මාගේ

      Delete
    2. සුන්දර හිතවතුන් දුලබයි මේ වාගේ
      උබලා හමුවීම ‌වාසනාව වේ මාගේ

      Delete
    3. ඔහොම වාසනාවල් නිකං හම්බුවෙන්නෑ. අපිට ගෙවපං, අපි උඹත් එක්ක ඉන්නවට. (ඒ කියන්නෙ අඩුගානෙ ඊළඟ හෙරොයින් ෂොට් එක හරි දාපං)

      Delete
  8. සුන්දර හිතවතුන් දුලබයි// ඇත්තම කතාව ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. උබලා හමුවීම ‌වාසනාව වේ එල ද බ්‍රා මෙන්ඩගෙ

      Delete
    2. මම එහෙම තමා. ඇත්ත විතරයි කියන්නෙ... :D

      Delete
  9. කිර්ති කුමාරසිංහ වගේ නමක් තියෙන ලේඛකයෙක් හිටියද? රජ කතා හෙම ලියපු. මම ඒ කාලේ අසාවෙන් කියෙව්වා. පොත් ගුලක දැක්කොත් ගන්නම්.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඒ වගෙ නමක්. කීර්ති කළහේ කියන නම එක්ක පැටළිලා, මතක් වෙන්නෑ හරියට.

      ස්තූතියි... ලස්සන ගැඹුරු කවි ටිකක්. ඒකයි බලන්න කිව්වෙ. පොත ප්‍රොමෝට් කරන්න නෙමෙයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි