Thursday, December 29, 2022

උපාසකයෝ

"ඒයි ගොයියො, මොකද උඹ මං පිටි පස්සෙ ම එන්නෙ? හා, හා පලයන්, පලයන්, උඹ කන බොන දේ මගෙ පැලේ නෑ. හා, හා ආපහු පලයන්."

උපාසක උන්නැහේ තමා පිටුපසින් එන බලු කුක්කාට කීප වරක් ම මෙසේ කීවේය. ඊට අවනත නොවූවාක් මෙන් ඌ දිගට ම ඔහු පිටුපසින් දිව එයි. උපාසක උන්නැහේ නැවතී බලු කුක්කා කකුලෙන් තල්ලු කර ආපසු යවන්නට සැරසෙන විට ඌ උඩුබැල්ලෙන් පෙරළී දුක්මුසු බැල්මක් හෙළයි.

"එහෙනම් උඹ ආපහු යන්ඩ කැමති නෑ නේද? හා, එහෙනම් වරෙන්. හැබැයි, මං ඉන්න තැනට මෙහෙ ඉඳලා හුඟක් දුරයි. උඹට එච්චර දුර පයින් යන්ඩ පුළුවන් ද? පුළුවන් නම් වරෙන්. හැබැයි, එහෙ මස්, මාළු හෙම නෑ. ඇහුණ ද?"

ගම්මානයෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි මහගිරි කන්දේ නැගෙනහිර බෑවුමේ වරිච්චි බැඳ කටු මැටි ගැසූ බිත්ති හතරකින් හා බට කොළ හෙවිල්ලූ පියස්සකින් යුත් කුඩා පැල්පතක ජීවත් වන උපාසක උන්නැහේ දෙපෝයකට වරක් බිං කොහොඹ, ගම්මාලු කිරි, මීපැණි ආදී දුර්ලභ වනෞෂධ අත්බරක් රැගෙන ගම්මානයට යයි. ඒ ගමනේ දී ඔහු තමාට අවශ්‍ය පොල්, පුවක්, ලුණු, හුණු ආදිය වනෞෂධවලට හුවමාරු කරගෙන යයි. ඉබාගාතේ යමින් සිටි බලු පැටියා ඔහු පසු පසින් ආවේ ද එවැනි දිනකදීය. 

"උඹ තවම පොඩි එකානේ. දැන් කකුලුත් රිදෙනව ඇති. වරෙන් මං ටිකක් දුර උඹ වඩාගෙන යන්නම්."

තමා පසුපස "බාල දක්ෂ ගමනින්" එන බලු පැටියා වරින් වර උසුලාගෙන ගිය උපාසක උන්නැහේ පැය දෙකක පමණ ගමනින් පසු ස්වකීය පැල්පතට ළඟා විය.

ඒ පැල්පතට ඇතුළු වන දොරටුව අවුරා තිබුණේ බටකොළ පැළැල්ලකිනි. දොරකඩ එක එල්ලේ ම ආහාර පිසින තැනය. ළිපට උඩින් තනා තිබෙන දුම්මැස්සේ වළං කබල් කීපයකි. දුම්මැස්සේ තවත් පැත්තක පුවක් ගෙඩි කීපයක් හා වනෞෂධ කීප වර්ගයක් ද වේ. වියළී ගිය වැටකොලු, මෑ, බණ්ඩක්කා, සහ බඩඉරිඟු කරල් කීපයක් අටු කණුවේ එල්ලෙයි. මිරිස් ගල ළිපට දකුණු පසෙහිය. මන්නා පිහිය හා හිරමනය ළිප අසල මය. වම් පස වැලි කොස්ඇට මුල්ලකි.

ළිපට දකුණු පස බිත්තියේ ගෑවෙන්නට, ගෙබිම සිට අඩි තුනක් පමණ උස්වන සේ තනා, බට කොළ අතුරා ඊමත වැටකේ පැදුරක් එළා ඇති ලී මැස්ස වරෙක ඇඳකි, වරෙක මේසයකි. වෙසක් කළාපයකින් කපාගෙන කොහොල්ලෑවලින් අලවන ලද බුද්ධ පින්තූරයක් මැස්ස අසල බිත්තියේ වෙයි. උදැල්ලක්, වල් කැත්තක් හා යකඩ ඉන්නක් ද මැස්ස පාමුල බිත්තියට හේත්තු කර ඇත..

"මේක තමයි මගෙ මාළිගාව. හොඳයි නේද? දැන් ඉතින් උඹට නමකුත් ඕනෑ නේ. මොකක් ද හොඳ? කඩිය, කඩිය කියන නම හොඳයි නේද? ඔව්, ඒක හොඳයි, කඩියො මෙන්න මෙතන තමයි, උඹ නිදා ගන්නෙ."

තමා නිදා ගන්නා මැස්ස යටට ගෝනි කැබැල්ලක් එළමින් කී උපාසක උන්නැහේ තමා ගෙනා දෑ ඒ ඒ තැන්වල අඩුක්කළේය.  

"කඩියො, උඹට හුඟක් බඩගිනි ඇති නේද? උඹට මේව නම් කාල පුරුදු නැතුව ඇති. ඒත් මේවට පුරුදු වෙන්ඩ ඕනෑ. හිටපංකො මං පොල් ටිකක් වැඩියෙන් දාල අනල දෙන්නම්."

උපාසක උන්නැහේ බතලත්, පොලුත් එකට අනා, කොළපත් කෑල්ලක දමා කඩියාට දී, ඔහු ද බඩ පුරා කා බුලත් විටක් ද ඒදා ගත්තේය. කඩියා ද මහත් කෑදරකමින් බඩ පුරා ම කා, ළිප ළඟට ගොස් වක ගසාගෙන නින්දට සැරසුණේය.

"ඒයි ගොයියො. ඔය වැඩේ හරිනෑ. කෑම කාපු ගමන් නිදා ගන්නෙ කවුද? වරෙන් වරෙන් මගෙ වත්ත දිහා ටිකක් ඇවිදින්ඩ යන්ඩ වරෙන්. අප්පා! බඩ කොට්ටෙ වාගෙ පුරවගෙන."

උපාසක උන්නැහේ පැලෙන් පිටතට ආවේය. ඔහුගේ පැල්පත වටා මැනවින් සකස් කරන ලද කුඩා ගොවිපළකි. එහි වැවී තිබෙන මඤ්ඤොක්කා, බතල, මිරිස්, ලූනු, කෙසෙල් ආදිය ඔහුගේ ආහාරයට ප්‍රමාණවත්ය. මිදුලේ සරුවට වැවී ඇති "නාගවල්ලි කොවුලෙන්" වුවමනා තරමටත් වඩා බුලත් ලැබේ. ගොවිපළ වටා ඇති දඬුවැටෙන් ඔබ්බෙහි සීතල දිය ගලා බසින දොළ පාරකි. වැසි සමයේ දෙගොඩ තලා යන වතුර ගොවිපළේ දඬු වැටට ද කිට්ටු කරයි. මෙතරම් නියඟයකදී වුව ද, නොසිඳෙන මහා වක්කලමක් මේ දොළ පාරෙහි තිබීම නිසා, ඔහුට කිසි කලෙක නියඟය කරදරයක් නොවීය. කඩියා නිසා දැන් ඔහුට තනිකමක් ද නැත. කඩියා මේ පරිසරයට අනුකූල වන්නට වැඩි කලක් නොගත්තේය.

උපාසක උන්නැහේ ගොවිපළේ වැඩ කරන විට කඩියා ඒ සමීපයට වී බලා සිටියි.

"ඉරත් හැරිල වගෙයි. දැන් වැඩ නවත්තමු. නේද කංකානම?" උපාසක උන්නැහේ දවසේ වැඩ නතර කර දිය නා ගැනීමට දොළට යෑමට සැරසෙයි. කඩියා කලින් ම දොළ ළඟට ගොස් "ලක් දෙලක් ලක් දෙලක්" යි හඩ නංවමින් වතුර උගුරක් දෙකක් බී තොල කට ලෙවකමින් සිටියි.

"හා, එහෙනම් වතුර ටිකක් නා ගනිමු නේද?"

උපාසක උන්නැහේ පළමුවෙන් කඩියා නාවා ගල් පොත්ත උඩ තබා, දොළට බැස දියබුං ගසමින් නාන්නට පටන් ගනියි. සීතලෙන් වෙවුලන කඩියා තෙත සිඳුවා ගන්නට ඇඟපත සල සලා ගල් පොත්ත මත එතැන ම කැරකෙමින් කෙඳිරි ගායි. දිය නා ගැනීමෙන් පසු දෙදෙනා ම පැළට එති.

කඩියාට කෑම දීමෙන් පසුව මිස උපාසක උන්නැහේ කිසි දිනෙක කෑම නොකයි. තැම්බූ අල බතල හා කොස් දෙල් ආදිය කඩියාට දැන් හොඳට ම හුරුය. උපාසක උන්නැහේ කිසි දිනෙක බත් නොකයි. කුඩා කාලයේ වත් බත් කෑ බවක් ඔහුට මතක නැත. බත් පමණක් නොව, මස්, මාළු ආදිය ද ඔහුගේ කෑම වට්ටෝරුවට ඇතුළත් නොවේ. කඩියා ද, ටික කලෙකින් උපාසක උන්නැහේ මෙන් ම උපාසකයෙක් විය. මුල දී කුරුල්ලන්, ලෙහෙනුන් ආදී කුඩා සතුන්ට කුරුමානම් අල්ලන්නට සූදානම් වූ නමුත් එවැනි අවස්ථාවල උපාසක උන්නැහේ, "කඩියා, සත්තු එහෙම මරන්නෙ නෑ... මා ළඟ ඉන්නව නම් ඒ සෙල්ලම් බෑ." යි තර්ජනාත්මක ව කියන්නට වූ නිසා දෝ සතෙකු දෙස ඇස් ඇර බලන්නට වත් කඩියා උනන්දු නොවීය.


මේ අන්දමින් ඉතා ම ප්‍රීතියෙන් කල දවස ගත කළ මේ අඹ යාළුවන් දෙදෙනාගේ සිතින් ප්‍රීතිමත් භාවය ටිකින් ටික ඉවත් වන්නට වූයේ උපාසක උන්නැහේට කැලෑ උණ සෑදෙන්නට පටන් ගත් පසුවය. ඒ නිසා ඔවුන්ගේ දින චරියාව ද වෙනස් වන්නට විය. දවස් ගණනක් ම එක දිගට උණෙන් පෙළෙන්නට වූ උපාසක උන්නැහේට තමාගේ අසනීපයටත් වඩා වේදනාවට කාරණා වූයේ කඩියා නිරාහාරව සිටීමය. කඩියා මැස්ස යට වක ගසාගෙ කෙඳිරි ගායි. වරින් වර මැස්ස යටින් ඇදී ඉතා ම අමාරුවෙන් දෑත් උස්සා මැස්ස මත තබා දෙකකුලෙන් සිටගෙන උපාසක උන්නැහේගේ ඇඟ ලෙවකයි.

"අනේ කඩියො, උඹට නම් හුඟක් බඩගිනි ඇති තමයි. ඒත් මං මොනව කරන්ඩ ද? මේ කෙහෙල්මල් උණේ මෙදා පාර නම් බහින එකක් නෑ.මට උඹට කන්ඩ මොකුත් තම්බල දෙන්ඩ හැටියකුත් නෑ. උඹට බැරි ද ගම්මානෙට යන්ඩ, උඹ හෙමින් හෙමින් ගම්මානෙට ගිහින් මොකුත් අහුලගෙන කාපන්. මට සනීප වුණොත් උඹ එක්කගෙන එන්ඩ මං ආයෙත් එන්නම්." උපාසක උන්නැහේ දැරිය නොහැකි ශෝකයෙන් ස්වකීය දුබල අතින් කඩියාගේ හිස පිරිමදිමින් කියයි. කඩියා ඔහුගේ අත ද ලෙවකා යළි මැස්ස යටට ඇදී කෙඳිරි ගාන්නට පටන් ගනියි.

"මොනවා කරන්ඩ ද දෙයියනේ, මේ අසරණ සීපාවා නොහිටියා නම් මට එක හිත් හිතාගෙන මැරෙන්ඩ උණත් තිබුණා. ඌට දඩයමක් කරගෙන කන හැටි ‌ඉගෙන ගන්ඩ වත් ඉඩ නුදුන්නෙ මමයි. මට හිතුණා මා ළඟ ඉන්නා සතා උණත් මං වගේ ම උපාසකයෙක් වෙන්ඩ ඕනෑ කියල. කඩිය පුංචි කාලෙ දඩයම් කරන්ඩ හදනකොට වළක්කා ගත්තෙ ඒකයි. දැන් අපරාදේ මට ඉස්සර වෙලා ඌ බඩගින්නෙ ම මැරෙයි. දැන් උගෙ ඉළ ඇට ගණන් කරන්ඩ පුළුවනි. ඇඟේ මස් කලඳක් නෑ. මං හිතන්නෙ මෙදා පාර නම් මට සනීප වෙන එකක් නෑ. මං මැරෙන්ඩ බය නෑ. ඒ උණත් මේ අසරණ සීපාවා දුක් විඳින හැටි බලාගෙන ඉන්ඩ මට නම් බෑ. තම්බපු වැලි කොස් ඇට ටිකක් ඌ කෑවෙ දැන් දවස් තුනකට ඉස්සර වෙලා. මම නම් ඊයෙත් කොත්තමල්ලියි, පත්පාඩගනුයි ටිකක් තම්බගෙන බිව්වා. ඒත් කඩියා බිව්වෙ නෑ. ඒක දිහා බලලා තොල පිට ලෙවකාල ආයෙ මං දිහා බැලුවේ 'අනේ මට බඩගින්න උහුලන්න බෑ. ඒත් මෙව්ව නම් බොන්න බෑ' කියන්නා වගෙයි. මේ වද විඳිනවට වැඩියෙන් මැරෙන එක කොච්චර හොඳ ද? කඩියටත් එහෙම හිතෙනවා ඇති. ගිය පෝයට ගම්මානෙට යන්ඩ හම්බ උණෙත් නෑ. වෙනදා නම් මං නොගියා ම බේත් අවුසද හිඟ පාඩු වෙලා මුදලාලි මාව හොයාගෙන එනවා. මුදලාලි වත් ආවොත් මට කඩියා ගමට පිටත් කරන්ඩ පුළුවනි. ඌට කොච්චර කීවත් ඌ යන්නෙත් නෑ. මම කී සැරයක් මහන්සි ගත්ත ද ඌ ගමට පිටත් කරන්ඩ. බාගදාට ඌට දොළෙන් පීනල එගොඩ වෙන්ඩත් බැරුව ඇති. හරි! ඒක තමයි, ඌට ඒ දණ්ඩෙන් යන්නත් බෑ. මං අමාරුවෙන් වත් ගිහින් ඌ දොළේ එහා පැත්තෙන් තියන්ඩ ඕනෑ. හරි, ඒක හොඳයි."

උපාසක උන්නැහේ අමාරුවෙන් මැස්සෙන් බැස්සේය. බිත්තියට හේත්තු කර තිබුණු හැරමිටිය අතට ගත්තේය.

"කඩියො, මං උඹ එගොඩහින් ගෙනිහින් තියන්නම්; උඹ ගම්මානෙට පලයන්; වරෙන් වරෙන්."

උපාසක උන්නැහේ මිදුලට බැස්සේය. කඩියා ද දෙපසට වැනි වැනී ඔහු පිටි පසින් ඇදුණේය. දොළ හරහා දමා ඇති ඒදණ්ඩ ළඟට පැමිණි උපාසක උන්නැහේ හැරමිටිය ඒදණ්ඩ සමීපයෙන් තබා අමාරුවෙන්ගේ කඩියා වඩා ගත්තේය. දකුණතින් අත්වැල අල්ලාගෙන හෙමින් හෙමින් ඒ දණ්ඩ දිගේ දෙපා මාරු කළේය. වාරුව නැති ඔහු ගේ අත් පා වෙවුලන්නට විය. "මේ මොනවා කරන්ඩ හදනවදැ"යි අසන්නාක් මෙන් කඩියා කෙඳිරි ගාමින් උපාසක උන්නැහේගේ කණ ලෙව කෑවේය. එයින් ඔහුගේ මුළු ශරීරය ම කිළිපොළා ගියේය.

"ජබුස්"

වක්කලමට ඇද වැටුණු උපාසක උන්නැහේ දිය යට ගිළී, උඩ මතු වී යළිත් ගිළුණේය. දෙවන වර ඔහු මතු වන විට කඩියා යුහුසුලු ව උපාසක උන්නැහේගේ කෙස් වැටියෙන් ඩැහැගෙන වැහැරී ගිය අත් පා ගසමින් නව පණක් ලද්දාක් මෙන් ඉවුර දෙසට පීනන්නට විය. සිහි එළවා ගත් උපාසක තැන ඉවුරේ ගල් පරයක් බදාගත්තේය. කඩියා ඉවුර පහුරු ගාමින් ගොඩට නගින්නට තැත් කළ ද, උගේ ශක්තියය මුළුමනින් ම පිරිහී ගොස් තිබුණි. එක් අතකින් ගල බදාගත් උපාසක උන්නැහේ, අනික් අතින් කඩියා ගල උඩට තල්ලු කරන්නට පටන් ගත්තේය. බොහෝ අමාරුවෙන් ගල උඩට ඇදුණු කඩියා දුබල හඬින් බුරන්නට විය. උපාසක උන්නැහේගේ වෙවුලන දෑත් මඳින් මඳ බුරුල් වන්නට විය. එහෙත් දුබල හඩින් බිරීම හැර කඩියාට අන් කිසිවක් කළ හැකි නොවීය.

"රන්මලෝ, රන්මලෝ, අර බලපන්, ඉක්මන් කරපන්, අර පැත්තෙන් ඉක්මනට යං."

ඒ උපාසක උන්නැහේ බෙහෙත් බඩු සපයන මුදලාලිගේ කටහඬය. ඒ කටහඬ උපාසක උන්නැහේට හෝ කඩියාට හෝ නෑසුණා විය හැකිය. මොහොතකින් ඒ සමීපයට පැමිණි මුදලාලි, රන්මලාගේ උදව්වෙන් උපාසක උන්නැහේත් කඩියාත් දොළෙන් ගොඩට ගත්හ.

මව්බස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි...

18 comments:

  1. +++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒකෙ දිග...! ස්තූතියි, ස්තූතියි...

      Delete
  2. ඔයිට හොඳ පොටෝ කෑල්ලක් තිව්න්නැද්ද මනුස්පයො.
    මරු කතාව...... 💔🌹

    ReplyDelete
    Replies
    1. තිවුන්නෑ මනුස්පයො.

      කතාව මරු තමා. ස්තූතියි...

      Delete
  3. පාඩම් ගොඩක් කියමින් කියවන අයට
    ඉස්සර පෙළ පොතුත් තිබ්බා යස රහට
    එව්වායින් අරං, මේ ලෙස දෙනවාට
    අත්වේවා සැපත, ඩ්‍රැකියෝ ඔබ සැමට!

    ReplyDelete
    Replies
    1. මදැයි...! දැං ලියහල්ලකො කවි...

      හිතා ලියන්නට තියෙනා මැලි වීම
      සමඟින් පහසු වෙයි පොතකින් උපුටීම
      කියනු නැතිව අලස බවට දොස් ‌බෝම
      thank you කියා කියනෙමි ඔබෙ අගැයීම

      Delete
  4. බල්ලො උපාසක වෙලා හරියන්නෙ නෑ බොල.

    ReplyDelete
    Replies
    1. උපාසක නයිත් ඉන්නෙ... ඉතිං බල්ලො උන්නම මොකද?

      Delete
  5. උපුටා ගත් ටිකෙන් පටන් අරන් ලියාගෙන යමු නේද කතාව

    ReplyDelete
    Replies
    1. තව ලියන්න දෙයක් නෑ බොල මේක මෙතනිං ඉවරයි. කොමාට අල හිටවන්න යන්න තියෙනව. ලොක්ක ගිහිල්ල ඉඩං කෑල්ලකුත් මුගෙ නමට ලියල දීලනෙ තියෙන්නෙ.

      Delete
    2. පැතුම්,
      අර ඇලෙන්ඩිව බේරගෙන ඉස්කුරුප්පුවා ගොඩ ගනිද්දි මේක ඉවර කරන්න පුළුවන් වෙයි...

      නයෝ,
      හැබෑට කොහෙද ඔය කියන ඉඩම තියෙන්නෙ?

      Delete
    3. නයි මාමේ , යකෝ මෙහෙම පුළුවන් .. ඔන්න මුදලාලි බේරගත්තට පස්සේ උපාසකට හිතෙනවා මේ වෙජිටේරියන් වැඩේ හරි යන්නේ නැහැ .. බල්ල ගැන හිතල හොඳට කන්න බොන්න ඕනේ කියල .. ඊට පස්සේ උපාසක ආතල් එකේ හාවෙක් ඌරෙක් මරාගෙන කාල ඉන්නවා .. එතකොට උපාසක, උපාසක කාලේ සපෝට් කරපු දොරකඩ ගහේ රුක් දේවතාවට මල පැනල බල්ලව මරනවා ... අන්න එතකොට උපාසකට මල පැනල John Wick වගේ 33 කෝටියක් දෙයියොත් එක්ක ගේම ඉල්ලනවා ...

      මම හිතුවේ ඩ්‍රැකීයා එන්න ඒ වගේ ලයින් එකක කතාව ලියයි කියල ...

      Delete
    4. ඩ්‍රැකීඇලෙන්ඩි ආවා ... ඔයා එන්න බලන්න

      Delete
    5. හා මේං එනව පණ කඩාගෙන බිත්තිය දිහාවට...

      අර පැතුම් කියපු ප්ලොට් එකත් මරු තමා. ඒත් සම්‍යක් දෘෂ්ටික දෙයියෙක් නං ප්‍රාණ ඝාත කරන එකක් නෑ...

      Delete
  6. මතකයි කතාව. ඉවර වුන හැටියක් මතක නැහැ . හතේ සිංහල පොතේ නේද තිබුනේ

    ReplyDelete
    Replies
    1. මා ළඟ තියෙන පොතේ ඉස්සරහයි පස්සෙයි පිටු නෑ. ඉතිං දන්නෑ මොන කැලෑසියෙ ද කියලා. හතේ විතර වෙන්ඩැති, ඒකෙ තියෙන අභ්‍යාසවල හැටියට.

      කතාව ඔතනින් ඉවරයි.

      Delete
  7. නියම කතාව ගොයියෝ!
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බකුසු රාළ ටත් සුභ නව වසරක් වේවා!

      ආපහු ලියහං කො ගොයියෝ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි