එක් සමයෙක්හි අලගෙඩියට අධිපතියාණ වූ ද, සකල පුරාණ පුස්තකයනට බහිරවයෙක් වූ ද, මිතිකලයට කාන්දමක් වූ ද, වීර අලකේෂ්වර වූ මහා ඩ්‍රැකියාණන් සිය මහා කරුණා නම් වර්ෂායෙන් නුවරඑළිය පුර ප්‍රවරය තෙමා නහවමින් ද, ස්ට්‍රැටජික නම් යුද්ධායුධයෙන් සභාවන් හා රදොළුන් ද ටැකලයට නතු කරවමින් ද, දැහැමෙන් සෙමෙන් දිස්තිරික්කය භොජනය කෙරෙමින් වැඩ වාසය කරන සමයේ, මහා සිරිබිරිසාගමනය නම් කුණ්ඩාවාඩයක් කඩා පාත් වී වදාළ ආකාරය කෙසේ වී ද යත්...
සිරිබිරිසානෝ වනාහි, මහා රසිකයාන කෙනෙක. ඕසයක් ට්‍රේලයන් ඇති සප්ත මහා සාගරයෙන් වට මහා දේශයක වාසය කරන්නේ, අන්තරජාලයෙන් සකල මහා බ්ලෝග නම් ක්ෂීර සාගරය කළතමින් පඨනය කරන්නෝ ය. මූ ඊටත් වඩා මහා පර්සනල් වැලියුවන් සහිතව හිතවතුන් වෙත අමුතු අබුතු තිළිණයන් පිරිනැමීමෙහි ලොල් බවින් ලෝකයේ පරසිදුවැ වෙසෙන්නෝය.
එක් දවසෙක මහා ඩ්‍රැකියානෝ අළුයම දහයේ කණිසම හා සමග අවදිවැ, මහා කරුණා සමාපත්තියට සම වදින්නට යන්නා හාම නිදියා නම් කෙළෙඹි පුත්‍රයාගෙන් ටැලිපෝන කෝලයක් සම්ප්‍රාප්තවැ වදාළේ ය. නිදිකෝලයෙන් ඩ්‍රැකියාණන්ට වදාළේ, සිරිබිරිසාණන් දිවයිනට සම්ප්‍රාප්තවැ බ්ලොගයෝ සොයා ඇවිදින්නේ, තට්ටවර්ධන නම් ඇඩ්වෙන්චරාධිපතියාගේ ටීපී කෑම්ප සයිටයේ මහා ගෙට්ටුවක් කැඳවාපී බවයැ.
සිරිබිරිස යන හුදු වචන මාත්‍රය කණ වැකීමෙන් සියොළඟ රෝමෝද්ගමනයවැ තක්කු මුක්කු භාවයට පත්වූ ඩ්‍රැකියාණන්ට නිදියා කියාපී නිවුසය වනාහී, රවි නම් වූ වීර සිංහයාණන් ද, සකල දැනුමට ආකරයක් බඳු වූ ප්‍රා ජේයාණන් ද, සකල සියොළඟ ම නාඹ තල් කඳින් උපුටා ගත් ටූත්පිකයක් බඳු වූ නමියාණන් ද, අරුණශ්‍රීයෙන් පොබයනා නෙවිලාණන් ද, ඉවෝන් ප්‍රේම බිළාලයාණන් ද, නාවුක අසංග නම් පිහිපහරධාරියාණන් ද, මෙකී නොකී තවත් අක්ෂෞහිණියක් බ්ලොගරයන් ද ඒ මහා ගෙට්ටුවට කැඳවනා ලද බවයැ.
ඉදින් මේ මහා ගෙට්ටුව හට පළමුයෙන් තට්ටවර්ධනයෝ මහා ඩ්‍රැකියාණන්ට කෝලයක් දුන්නේ, රවියාණන් ද, ඩ්‍රැකියාණන් ද සමඟින් හුදෙකලා අඩියක් ගැසීමේ පරම පිවිතුරු චේතනායෙන්, ගෙට්ටුවට පූර්ව රාත්‍රියේ සිය කයෑක් ජොයින්ටයට සෙටමෝල් වන පරිද්දෙන් ආරාධනා කර සිටියෝයැ.
ඊට මහා මනාපයෙන් උන්න ද, මහා පළාත් පාලන ඡන්දයේ රාජකාරිය ද, රාජකාරිමය ඩබල්කැබයට රෙපෙයාරයක් උද්ගත වීම ද, ඩ්‍රැකි ජූනියරයා වෛරසීය හුණ වැළඳීමෙන් දැයි යන මාර පුත්‍රයෝ තිදෙන උන්දෑට හරස් කපාපීය.
ඉදින් ගෙට්ටු දවසේ සූර්ය දිවිය රාජයන් පරදවමින් මහා පාන්දරින් අවදිවූ ඩ්‍රැකියාණෝ සිය කළ්‍යාණ මිත්‍රයෙකු වූ සමීරයන්ගේ ත්‍රී වීලරයෙන් නුවරේළි මහා බස් රථ නැවතුමට වැඩ වදාළ හ. එතෙකුදු උන්දෑ චෛතසික වැට උඩ වැඩ වදාළේ, ඩ්‍රැකි ජූනියරයා ගේ හුණ රෝග පීඩායෙන් දෙගිඩියාවෙහි උන් බව සිහි කට යුතු යැ.
එකී දෙගිඩි දෙවාරණයේ බලපෑමෙන් ද, ඊට පෙර දාක නානුඔය නම් ෂෝට්කටයේ උද්ගත වැ තිබුණාවූ මහා ඇක්සිඩන්ටයේ නාමයෙන් එකී ෂෝට්කටය මහා යානයන් ට වසා පී හෙයින් ද, ඩ්‍රැකියානුවන් හැටන් නම් මහා පුරයට සම්ප්‍රාප්ත වූ කලී ප්‍රමාදයක් හට ගත්තේයැ. ඉදින් නුවරේළි බසයේ සාරථී තෙම මඟින් තම බසය නවතා, කොළොම්පුර බසයකට ඩ්‍රැකියාණන් නැංගවූ හෙයින්, තලවාකැලයේ සිට උන් පෙළමින් ආ පම්ප් ටයිඩයෙන් මිදීමේ මඟ මහා හක්බෙල්ලාවක දක්වා කල් දමන්නට වීර අලකේශ්වරයන්ට සිදු වූ බව මෙයින් දත යුතුයැ.
මහා ගූගල් නැන්දණිය විමසා හක්බෙල්ලාවකට යන මං හසර විමසූ මහා ඩ්‍රැකි තෙම, ගූගලාවිය කියූ පරිද්දෙන් මැ තමන් අළුයම නවයේ කණිසම පසු කොටැ තත් ක්ෂේත්රයට එළැඹෙනු ඇති බව සිරිබිරිසාණන්ට දන්වාපීය.
එතෙක් මහා කොළොම්පුරයේ සිට දුරු කතර ගෙවා ගෙන පැමිණැ උන් සහ - බ්ලොග් කාරයෝ තමන් ගේ පැමිණීම වන තෙක් උන් උන් කරැ කොක් කරෙක් මෙන් උස් වන තෙක් මඟ බලාගෙන ඉදිනා වග සිහි වී ඩ්‍රැකියානෝ මහත් චිත්ත පීඩාවට පත්වීමෝ යැ.
තට්ටවර්ධන කෙළෙඹි පුත් මඟින් මඟට කෝලයන් දෙමින්, විසි හයේ කිලෝ මීටර කණුව අසබඩ දියෙස් නම් වූ මහා ලැවරියා කඩය ළඟ දී බසයෙන් බසිනා ලෙද අනුශාසනා කළෙන්, බසයේ උන් රථාචාරී ද, කොන් හතරටම වෙදැදුරු ද, ඩ්‍රැකියාණන් අදාළ තැනින් ම බස්සවාලීමට උදක් මැ වෙහසුුුණු බව කෘතඥතාවෙන් සිහිපත් කළ යුත්තේම යැ.
බසයෙන් බැසැ දිව ගොස් දුටු දුටුවන් මුව පියුම් මුකුළිත කරවමින් ගුඩ් මෝනිමයකැ යි දෙසා වදාළ ඩ්‍රැකියාණන් ලැවරියා කඩය පිටුපසැ පිහිටි මහා වච්ඡකුටියේ නතර වූයේ සිය පම්ප් ටයිඩයෙන් මිදීම පිණිස යැ.
එතැන් පටන් තට්ටවර්ධනයන්ගේ ඕෆ්රෝඩයේ නැගී අයෝමය කඳින් තැනූ කොළොම්බුවේ හිඳගෙන, වාරි මාර්ගයක් බඳු වූ මඟෙක යොදුන් හතක් ගිය තැන ටීපී නම් වූ කෑම්ප සයිටයට ගොඩ බට හැකි වූයේ යැ. ඒ කෙබඳු සයිටයක්ද යත්, ලේ බොන මිනුම්දෝරුවන් හෙවත් කූඬැල්ලන් දෙතුන් දෙනෙකු හැරුණු කල, එකදු වන සත්ත්වයෙක් පය තබන්නට පැකිළෙන, වනගත එළිමහනෙක තැනුණු අට්ටාලයෙකැ, වච්ඡකුටියෙකැ යි දෙකෙකි. අට්ටාලෙහි පහළින් මුණු මුණුවෙකින් ගළා බසිනා, වට ගලින් හා අඩියේ වාලුකායෙන් ද, දණ්ඩීන් බඳු කුඩමසුන්ගෙන් ද පරික්ෂිත දොළ පහරෙකැ. හුදෙකලායෙන් ආතලයක් ගන්නන්ට ස්වර්ගයෙකැ.
එනික්බිත්තෙන් උදයට අර්ථාපලයන් දැමූ උළුහාල් හොද්දක් ද, පොල්, මිරිස් හා ලුණු දැමූ දෙහි සම්බෝලෙයක්ද ද සමඟින් ඉඳියාප්පයෙන් සප්පායම් වූ අප මහා කෂ්ඨිය, අට්ටාලය මත්තේ මහත් වූ කථා බහෙක් ඇති කළෝ ය. ඒ අන්තරයේ, රවියාණන් සුද්දාගේ සයිසය පෙන්වූ සැටි ද, පෝල් බටය පහත් කරවීමට චන්ද්‍රිකාවුන් නොපැමිණි ආකාරය ද, මහත් සෙයින් රසවින්දමෝ යැ.
උළුහාල් හොද්ද රත් වෙමින් පවතින අතර පිඟන් සෝදන නිදි ගේ පින්තූරයට කඤ්ජිපානි ඉම්රාන් යැයි කැප්ෂන් යෙදූ අය සොයා රහස් පොලිසියෙන් පුළුල් පරීක්ෂණ... |
රවි අයියා: "මෙන්න සයිස් සුද්දා..." මම: "මුන්දැ ඒ පාර මගෙ ගජබින්නාලංකාරෙටත් තර්ජනයක් වේගෙන එන්නෙ" |
ඉක්බිති උදා වූයේ සංගීතවේදියන් අනුභවයේ අවස්ථාවයැ. විකටරයෝ ද, සනත් නන්දසිරියෝ ද පළමුවෙන් භක්ෂණයට පාත්‍ර වූ ගායකයෝ වූහ. ඩ්‍රැකියාණන්ගේ උදක් ම ඉල්ලීම ප්‍රකාරවැ අමරදේවයන්ගේ මින්දද හීසර නම් වූ මියුරු ගායනය රවියාණන් විසින් භක්ෂණය කරන ලද්දේ අවසාන භාගය වන විට යැ.
අපරභාග හතර වන විට ඩ්‍රැකියාණන් සමු දීමට ඉටා ගෙන උන්නේ හැටනයෙන් නුවරේලි නම් මහා පුරවරයට නික්මෙන අවසාන බසය වූයේ අපරභාග හයේ කණිසමට වූ බැවිනි. හේ සිය සිත තුළ ශෛලතලායෙක කොටන ලද ලේඛනයක් සෙයින් රඳවාගෙන උන් නිදියාණෝ, කල් වේලා ඇතිවැ දොළට බැස ස්නානය නම් වූ ඇඟ සේදීමට ද, සංගීත වේදියන් අනුභවයෙන් නොපිරුණු කුස නැවත බතින් මාළුවෙන් පුරවාගැනීමට ද වේලාවන් යොදා ගැනීමේ තත්පර වූහ.
ඉදින් ඩ්‍රැකියාණන්හට මහත් චිත්ත පීඩාවෙක් වූයේ, අනෙකුන් සියල්ලන්ගේ මැ ආතලයට තමන්ගේ වේලා සටහන බාධකයක්වැ සිටි හෙයිනි.
කෙසේ වතුදු, සහෘදයන්ගේ කතිකාවෙන් ද, මියුරු ගායනයෙන් ද, දොළ පහරේ ගිළී නෑමෙන් ද, ගත්තා වූ ආස්වාදය මියයන තුරුමැ අමතක නොවන අත්දැකීමක් වූයේ යැ.
වන්නාටය, අපරබාග තුනයි හතළිහ පමණ වන විටැ දහවල් බත ද කා පී ඩ්‍රැකියාණෝ, පෙරළා යෑමට බසයක් එන තුරු සිරිබිරිසාණන් දුන් මහා පුස්තක එකොළොස බදාගත් බහිරවයෙක් සෙයින් උන්නමෝ ය. එකී පුස්තකයන් වටිනාකම අතින් කෙළ ලක්ෂයකට ද වඩා පුස්නේ, අති දුර්ලභ ලිහිණි පොත් දසයෙක් ද සමඟැ, රාජ්‍ය සේවකයාගේ මනා ආකල්ප වර්ධනයේ සමර්ථ ගුණසේකරයාණන්ගේ ඩීආරෝ පුස්තකය ඩ්‍රැකියාණන්ට ම අමතා ගුණසේකරයාණන් යෙදූ අත්සන ද සහිතවැ ගෙනැවුත් දුන් හෙයිනි.
මහා ඔළ මොට්ටල වූ ඩ්‍රැකියාණන් ඒ තිලිණ පිළිබඳවැ සිරිබිරිසාණන්ට පිදිය යුතු වූ කෘතඥතාව ද පිදූයේ නොවේ. උන්ගේ හිතේ මුවවිට දක්වාමැ පිරී තිබුණේ හැටන් බසයත්, ඩ්රැකී ජූනියරාගේ හුණ රෝගයත්, පමණෙකැ.
පල්ලමෙක බසයක් පහළට යද්දී වේගයෙන් ගිය මුත්, නැවත මුඳුනතට යද්දී ධාවනය වන්නේ සෙමෙන් බව අමතක කිරීම ද, ඩ්‍රැකියානුවන්ගේ තවත් ඔළමොට්ටල කමෙක් වූයෙන්, කල් වේලා ඇතිවැ බසය ග්‍රහණය කරගත්ත ද, හැටන් සිට නුවරේළි බලා දිවෙන බසය අල්ලා ගත නුහුණු වූවෝ ය. මස්කෙළිය බසයෙන් ගිනිගත් සේණට ද, ඉන් හැටනයට ද ගිය මුත් නුවරේළි බසයක් අල්ලාගත නුහුණුවෝ, මොබයිලයේ අන්තරජාලයෙන් හැටනයෙන් පිටත්වන්නට නියමිතව තුබූ ධූමරථයක් බැලූ මුත්, ඒ ද නොමැත්තෙන් හැටනයේ සිට තලවාකැලය බලා යන බසයක නැගී තලවා කැලයට ළඟා වී නමුත්, තලවාකැලයෙන් නුවරේළිය හරහා පුත්තලම කරා යන අන්තිම බසයද පිටත්ව ගිය බව දැනගත්තෙන් අනාථ - නාථ බිම්බිසාර වී තලවාකැලයේ විනාඩියෙන් හතළිස්පහක් මැ තපින්නට වූයෙම්මෝ යැ.
එකල්හි රෙපෙයාරය කර ගත්තාවූ මහා කණිෂ්කයෝ, නිල ඩබල්කැබය ද රැගෙන නුවරේලි සැපත් වූ වග ඩ්‍රැකියාණන්ට සැළ කරා පීහ. උන් තලවාකැලයට ගෙන්වාගන්නාලද ඩ්‍රැකියානුවෝ සිය ක්වාටසයට සැපත් වූ කල අපරභාග නවය හමාරේ කණිසම වූය. මහා කණිෂ්ක නම් සාරථී තෙම තලවාකැලයට එන තෙක් වූ විනාඩි හතළිස්පහ කෙවුලන් හැරපියා ගොස් මනුෂ්‍ය වාසයෙන් තෙර වූව තොටමුණක් බඳු වූ තලවාකැලයේ පීපලයන්ගේ බැංකුවේ ඒ ටී එමයට වැදී සිරිබිරිසාණන් දුන්නාවූ පොතක් කියවමින් ගත කළෙම්මෝ ය.
එකල්හි සිරිබිරිසාණන් මෙ කල අමිල නාමධාරී සහෘදයාණන් වන අතර, තට්ටාධිපතියන් මෙකල මඤ්ජුල නාම ධාරී ඇඩ්වෙන්චරයාණන් බව ද, පිහිපහරධාරී අසංග වූ කලී මෙකල කොළොම්පුරයා වන බව ද, නිදියා වූ කලී නිමල දිසාවන්ට නායකයා වූ පඤ්ච තන්ත්‍රයෙකැයි චීත්ත වාහිනියක් ලියනා කෙළෙඹි පුත්‍රයා වන බව ද, වීර සිංහයෙකු බඳු වූ රවියාණන්, නිදහස් සිතුවිලි බ්ලොගයේ ඉස්තෝප්පු කාමරයට වැදී සකල බ්ලොගයම තමන් සතු කරගත්තා වූ කටාරයේ අධිපතියාණන් වූ බව ද, නමියා වූ කලී, නමියාගේ වීදියේ අවේලාවේ වීදි සඤ්චාරය කරන ඉඳිකටු පැංචා වූ බවද, ප්‍රා ජේ වූ කලී, මෙකල ප්‍රසන්னයා ගේ වෑනයේ දොරට ඝට්ඨනය වූ පූර්වයේ-කදෝරු මහතැන් වූ බව ද, මහා ඩ්‍රැකියාණන් වූ කලී මෙකල සර්වඥ පණ්ඩිත වූ මම් ම වේ දැයි පූර්වාපර සන්ධි ගළපා දැනගත යුතු වන්නේ යැ.