මේ මම ෆේස්බුක් හි දී කියවූ ලිපියක්. ලියා ඇත්තේ අමිරු ජයමහ නම් මහත්මයෙක්.
විද්යුත් ගිටාරය දේශීයකරණය කරපු පළමු වගේම එකම සංගීතඥයා කියලා කිව්වොත් ඒක හරි කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ විද්යුත් ගිටාරය බොහොමයක් (ඔක්කෝම) සංගීත කණ්ඩායම් පාවිච්චි කලේ බටහිර ගීත වලට. ලංකාවේ කවුරුත් ඒ වන විට විද්යුත් ගිටාරයට කැමති වුනෙත් නෑ. කොහොමත් ලංකාවේ මිනිස්සු අදටත් එහෙමනේ. අලුත් දෙයක්/සංකල්පයක් දුටු සැණින් හොයන්නේ බලන්නේ නැතුව ඒක හොඳ නෑ කියනවා. නමුත් acoustic ගිටාරයෙන් පටන්ගෙන සරල පදවැල් වලට තනු නිර්මාණය කරලා ඒ ගීත අපේ මතකයේ රැඳෙන විදිහට ගායනා කරපු ගායකයෙක්, පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්, වගේම වාදකයෙක් ක්ලැරන්ස් විජේවර්ධන.
ඔහුගේ ගීත ගත්තොත් ඒවා වල අදහස් හරිම සරලයි. ඔහු අවට වටපිටාවේ දුටු දේවල්, අත්විඳපු අත්දැකීම්, ඔහුගේ හිතට ආපු දේවල් තමයි ඒ ගීත වල පදවැල් වල තියෙන්නේ. ඔහු රත්නපුරේ ඉන්න කාලේ ඔහුට ඔහුගේ සහෝදරියගෙන් පැමිණි ලියුමක් ආශ්රයෙන් තමයි "ගමෙන් ලියුමක්" කියන ගීතය ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේමයි "රන් සමනලයින්" කියන ගීතයත්. ක්ලැරන්ස්ගේ සිතිවිලි ආශ්රයෙන් සෑදුණු ගීත විදිහට "දෙවියන් වහන්සේ", "අලුත් ලොවක්" යන ගීත ගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය කරපු ගීත විදිහට "මගෙ පැල්පතේ", "සඳක් බැසගියා" ගීත ගන්නත් පුළුවන්.
ඔහුගේ පද රචනය වගේම තනු නිර්මාණයත් ඔහුටම ආවේණික වූ දෙයක්. බටහිර සංගීතයේ වේග රිද්මය ඔහු ඔහුගේ ගීත වලට යොදාගත්තා. ඒක වැඩියෙන්ම කැපිලා පෙනුනේ ඔහුගේ සංගීත ජීවිතයේ මුල් කාලේ. ඒ කියන්නේ moonstones කාලේදී. ගිටාරයේ 6/8 strumming pattern එක සිංහල ගීත වලට භාවිතා කරලා ඒ කාලේ තරුණ තරුණියන්ගේ ඇඟ නැටවෙන "උඩරට නිළිය", "මංගෝ නැන්දා", "රුවන්පුරය", "දුන්හිඳ මනමාලි" වගේ ගීත ඔහු අතින් නිමැවුණා.
ඒ 6/8 pattern එකට අමතරව ඔහු විද්යුත් ගිටාරය, දේශීය සංගීත භාණ්ඩ සමග විවිධ melodies හදන ගමන් සංගීතයත් එක්ක experiments කරන්න පටන් ගත්තා. මේක වෙන්නේ ඔහු golden chimes ඉන්න කාලේ. ඒකේ ප්රතිඵලයක් විදිහට තමයි "සුරඟන වෙස් වලා" කියන ගීතය හැදෙන්නේ. උඩරට බෙර පද තාලයේ ආරයට විද්යුත් ගිටාරයේ නාදය සමග නිර්මාණය වුණ ගීතයක් මේක. ඒ වගේම "උඩරට නිළිය" ගීතයේ ආරම්භයේදී පහතරට බෙර පද තාලය ගිටාරයෙන් අනුකරණය කරලා ඒ melody එක ගන්න ක්ලැරන්ස්ට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ගිටාරය සමග සර්පිනාව, ඉන්දියානු සිතාරය භාවිත කරලා නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි", "මාවතේ අපි" වගේ ගීත වලින් ක්ලැරන්ස්ගේ ඒ experimental පැත්ත අපට පෙනී යනවා.
ක්ලැරන්ස්ගේ සංගීතයේ technical පැත්ත ගත්තොත් ඒකත් කතා කරන්න ඕනෑම දෙයක්. බොහෝ දෙනෙක් "ක්ලැරන්ස් විද්යුත් ගිටාරය සිංහල සංගීතයට භාවිතා කළා" යැයි කිවහොත් ඔවුන් සිතන්නේ ඔහු යම් විද්යුත් ගිටාරයක් කිසියම් amplifier එකකට සම්බන්ධ කර වාදනය කළ බව පමණක් ය. නමුත් විද්යුත් ගිටාරයේ අනෙක් අර්ධය වන effect pedals භාවිතයෙන් ද ඔහු විවිධ අත්හදා බැලීම් කරමින් සංගීතය නිර්මාණය කළා. ගිටාරයේ clean tone එක භාවිතයෙන් ඔහුගේ ගීත වල lead parts නිර්මාණය කළා මෙන්ම distortion, delay වැනි effects භාවිත කරමින් සෑදූ ගීත බොහෝමයක් තියෙනවා. "පෙම් කතාව", "අපි රාග වයනවා" වැනි ගීත වලට WAH pedal එක වගේම "වියරු වැලි තීරයේ" ගීතයට distortion effect එක මද වශයෙන් යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. ක්ලැරන්ස් ඔහුගේ ගීත විශාල ප්රමාණයකට lead parts හා counter parts වාදනය කරන්න තෝරාගත්ත වාද්ය ශිල්පියා තමයි ඩික්සන් ගුණරත්න. මොකද ඩික්සන්ගේ lead ගිටාරය ගැන තිබූ අවබෝධය ක්ලැරන්ස්ට ඔහුගේ සංගීත ඛණ්ඩ වලට උපයෝගී කරගන්න පුළුවන් වුණ එක. ඊට අමතරව ක්ලැරන්ස් සෑම විටම lead වලට භාවිතා කලේ එක්කෝ fender stratocaster ගිටාරය නැත්නම් squire stratocaster ගිටාරය කියලා ඔහුගේ ප්රසංග නරඹලා තියෙන තියුණු ඇසක් හා ගිටාර් පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම රසිකයෙකුට කියන්න පුළුවන්. සිංහල ගීත වලට බටහිර සංගීතයේ තිබෙන guitar solo හඳුන්වා දුන්නේ ද ක්ලැරන්ස් විජේවර්ධනයන්. මේ විදියට ඔහු නිර්මාණය කරපු ශෛලිය "සිංහල පොප් සංගීතය" ලෙස පසු කලෙක ජනප්රිය වුණා.
Moonstones, Golden Chimes ගැන කතා කරනකොට කණ්ඩායම් සංගීතයට ක්ලැරන්ස් කරපු දේවල් හුඟක් තියෙනවා. රත්නපුරයේදී moonstones කණ්ඩායමෙන් පටන් අරන් සංගීත කණ්ඩායම් 4කට නායකත්වය දීලා generations 2ක ගායක ගායිකාවන් හුඟක් දෙනෙකුට ගුරුහරුකම් දුන්න කෙනෙක් ක්ලැරන්ස්. Moonstones වලින් ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, golden chimesලා ගෙන් අනිල් භාරතී, ලාංකිකා පෙරේරා, 'මදාරා' band එකෙන් මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන් වගේම super golden chimesලා ගෙන් ඩික්සන් ගුණරත්න, කොන්රඩ් ගුණරත්න, ශ්රීකාන්ත දසනායක, රුක්ෂාන් පෙරේරා වගේ දක්ෂ වාදකයන්ටද ඔහු මග පෙන්වා දුන්නා.
ඔහු තමන්ට වගේම ඔහුගේ යාලුවන්ටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන හැමෝම දන්න උදාහරණය තමයි මිල්ටන් මල්ලවාරච්චි. ක්ලැරන්ස්ගේ හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් එයා. "අවසර නැත මට", "සඳෙන් එහා", "මගතොට දී", "මට මෙන් ඔහුටද" වගේ ගීත වලට තනු නිර්මාණය කරලා සංගීතය සැපයුවා වගේම "තනිවී සිටින්නයි මා", "කුමාරිකාවට", "මා හා සෙනෙහස පාලා", "මට ඔබ ලියූ ගී" ක්ලැරන්ස් ම පද රචනය හා තනු නිර්මාණය කරලා දුන්න ගීත යි. මිල්ටන් විතරක් නෙවෙයි, H.R. ජෝතිපාල (සොඳුරු ලොවට මල් වැහැලා, මල් පිබිදෙන එක වසන්ත සමයක, දුරකථනයකින්), අනිල් භාරතී (බෙත්ලෙහෙම්පුරේ, අද වෙයි ඉරුදින, ටිකිරිමලී), මර්වින් මිහිඳුකුල (මට මතකයි මන බැන්දූ සිනා ඔබේ, කුඹුකේ ළිඳ ළඟදී, මා ගැයූ මේ ගී), ඉන්ද්රානි පෙරේරා (දිල්හානි, වසන්තයේ මල් කැකුලයි, මතකය ඇසුරින්), අතුල අධිකාරි (මේ වේදිකාව ජීවිතේ අපේ), චාන්දනී හෙට්ටිආරච්චි (ලස්සන සමනලයෝ), W.D. අමරදේව (සසර ගෙවා යන දිවි ගමනේ) වගේ ගායක ගායිකාවන් රැසකට ඔහු තනු නිර්මාණය කර තිබෙනවා.
එමෙන්ම, ඔහුට ගීත නිර්මාණය කර දුන් අය ද බොහොමයි. ක්ලැරන්ස්ගේ ගීත වලට පද රචනය කළ අයගෙන් කැපී පෙනෙන්නේ කරුණාරත්න අබේසේකර යි. ක්ලැරන්ස්ගේ සදාකාලික ජනප්රිය ගීතය වන "දිලීප පොඩි පුතු" මෙයට හොඳම උදාහරණය යි. නමුත් මෙම ගීතයේ මුල් පටිගත කිරීමේදී කොටස් 5ක් තිබූ බව බොහෝ දෙනා නොදන්නා අතර ක්ලැරන්ස්ගේ සංගීත ලෝලීන්හට එම කොටස් 5ම කටපාඩම් ය. කරුණාරත්න අබේසේකර පමණක් නොව K.D.K. ධර්මවර්ධන (සුරඟන වෙස් වලා), අජන්තා රණසිංහ (හින්දි වදන්), රූකාන්ත ගුණතිලක ( රෑ තාරකාවෝ) වැනි අයද ඔහුට ගීත රචනා කල අයගෙන් කීප දෙනෙක්.
මම ක්ලැරන්ස් විජේවර්ධන ගැන දැනගන්නේ මට වයස අවුරුදු 8 දී. ඒ කාලේ "කිරි මුහුද කළඹාලා" ගීතයෙන් පටන්ගත්ත ආසාව පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙලා "සැණකෙළියේ" කියන ගීතයෙන් ඒක පිස්සුවකට හැරුණා.එදා ඉඳන් ක්ලැරන්ස්ගේ "දිනෙක මේ නදීතීරේ" වගේ ජනප්රිය ගීත වගේම "හන්තානේ මන්ද මාරුතේ" වගේ ජනප්රිය නොවුණු ඒත් කණට සුවදායක ගීත ලැබුණු හැම අවස්ථාවකදීම අහන්න මම පුරුදු වෙලා හිටියා. දැන් මට අවුරුදු 18යි. ඒත් තාමත් මම එයාගේ නෑසුන ගීත හොයනවා. මොකද මට ක්ලැරන්ස් තරම් සංගීතය උපරිමයෙන් රස විඳින්න පුරුදු කරපු කෙනෙක් තවත් නෑ. ක්ලැරන්ස්ගේ melodies අහන අතරේ ඒවා follow කරලා තමයි මම මිල්ටන් මල්ලවාරච්චි, ඇනස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, අනිල් භාරතී, මරියසෙල් ගුණතිලක, රූකාන්ත ගුණතිලක වගේ ගායක ගායිකාවන්ගේ ගීත අහන්න පුරුදු වුණේ. මොකද ඒ අයගේ ගීත වල ක්ලැරන්ස්ගේ music style එකේ පොඩි හරි hint එකක් තිබුන නිසා.
මේ දෙසැම්බරයට ක්ලැරන්ස් විජේවර්ධනයන් අපි අතරෙන් වෙන්වෙලා අවුරුදු 25ක් වෙනවා. ඉතින් මේ දෙසැම්බරයට කලින් මට මේක ලියන්න ඕනේ කියලා හිතුණා. දශක හතරකට ආසන්න කාලයක් ශ්රී ලංකාවේ සංගීත පෙරළියක් ඇති කරපු, සිංහල පොප් සංගීතය බිහිකරපු, බටහිර විද්යුත් ගිටාරය ශ්රී ලාංකේය ජන සංගීතය සමග මුසු කරපු නව සංගීත ආරක පෙරගමන්කරුවෙක් ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. ඔහුගේ ගීත අදටත් අපේ ජන සමාජය තුල පවතිනවා. කිසියම් උත්සවයකදී හෝ ප්රිය සම්භාෂණයකදී අපට ඔහුගේ ගීත කීපයක් හෝ ඇසෙනවාමයි. ඒ තරම්ම අපේ හිත් වලට ඒ ගීත කාවැදිලා තියෙන්නේ. ක්ලැරන්ස්ගේ රසිකයෙක් විදිහට මම ඒ ගීත අහන හැම වෙලාවකදීම හිතේ පොඩි දුකක් තියෙනවා 'මට කවමදාවත් ඇස් දෙකටම ක්ලැරන්ස්ව දකින්න හම්බ වුණේ නෑනේ' කියලා. ඒත් එක්කම හිතේ එක හීනයක් තියෙනවා 'ක්ලැරන්ස්ව ආශ්රය කරපු, එයත් එක්ක එකට වැඩ කරපු කෙනෙකු හම්බ වෙලා එයාගේ ගීත ගැන, එයාගේ සංගීත හැකියාව ගැන, එයා කොයි වගේ මිනිසෙක් ද ගැන ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද' කියලා. ඒත් ඒක හීනයක්. මොකද මට හිතෙන විදිහට, ක්ලැරන්ස්ගෙන් පස්සේ එයාගේ ගීත අනාගත පරපුරට ගෙනියන්න හිටියේ ඇනස්ලි විතරයි. ඒත් රූකාන්ත ඒ ක්ලැරන්ස්ගේ ආරය අලුත් විදිහකට භාවිතා කරමින් ගීත නිර්මාණය කළා. එහෙම බැලුවත් රූකාන්තගෙන් පස්සේ ඒ "ක්ලැරන්සියානු සංගීතය" ඉස්සරහට අරගෙන යන්න කවුරුත් නෑ. ඒක තමයි මෙතැන ඇතිවෙලා තියෙන දුක්ඛිත තත්වය.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය සංගීතය නවමු මාවතකට යොමුකල සංගීතඥයා ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන :- අමිරු ජයමහ
2021.08.03 දී ය.
හොක්කි හොක්කි හූ..........ඌඌඌඋ👌
ReplyDelete