මේ ගැන ලියන්න පටන් ගන්න කොට ම කතාවක් මතක් වුණා.
සිගරැට් බොන මල්ලිට, අයියා උපදෙස් දෙනව...
"දැන් මට කියහං දවසකට සිගරැට් කීයක් බොනවද උඹ?"
"දවසකට අඩුම දහයක්වත් බොනව. ඇයි?"
"ඉතිං බලහංකො. දැන් සිගරුට් එකක් රුපියල් 125යි. දවසකට උඹට යනව වියදම, රුපියල් 1,250/- ක්. මාසෙකට යනව, 37,500 ක්. ඒ කියන්නෙ අවුරුද්දකට... 450,000 ක්. අවුරුදු දහයක් උඹ ඔය සල්ලි ඉතුරු කළා නං, ලක්ෂ 45ක්. බොට ඔය සල්ලිවලින් බංගලාවක් හදාගන්ඩ තිබුණ."
මල්ලි අහනව අයියගෙං:
"දැං උඹ සිගරැට් බොන්නෙ නෑනෙ. දැං කෝ ඔය විදිහට ඉතුරු කරල උඹ හදාගත්තු බංගලාව?"
දැන් යමු අපේ මාතෘකාවට. මගෙ ගැටළුව තියෙන්නෙ, අපි අපේ වැඩ පහසු කරගන්න නොයෙක් තාක්ෂණයන් යොදා ගන්නවා. වට්සැප්, ඊමේල් වගේ. අපට හොඳ පාරවල් සහ හොඳ වාහන භාවිත කරන්න ලැබෙනව. ගෙදරදොරේ වැඩ පහසු කරගන්න නොයෙක් උපකරණ තියෙනව.
ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?
අපි මුල ඉඳල පටන් ගත්තොත් මෙහෙමයි...
ඔන්න ඉස්සර කාලේ උන්නා, මානව කණ්ඩායම්, ගෝත්‍ර. ඒ අය කළේ දඩයම් කිරීමත්, පල වැල අල ආදිය එක් රැස් කිරීමත්.
ඔය අතරෙ උන්න ටිකක් වැඩිපුර හිතන කට්ටියක් පටන් ගත්තා, කැලේ ගිහින් දඩයම් කරනව වෙනුවට සත්තු අල්ලගෙන ඇවිත් ගේ ගාව කොටුවකට දාගෙන ඇති කරන්න. පලවැල රැස් කරනව වෙනුවට පැල උදුරගෙන ඇවිත් ගේ වටේ හිටෝ ගන්න. පේන විදිහට ලේසියි.
නමුත් දඩයක්කාරයට / පලවැල රැස් කරන්නට වඩා ගොපල්ලට / ගොවියට ජීවිතය ලේසි වුණේ නෑ.
දඩයක්කාරයන්ට ලොකු දඩයමක් ලැබුණම, බඩ පිරෙන්න කාලා, ඉතිරි ටික මී පැණිවල හෝ වේලාගැනීමෙන් ඉතිරි කරගන්නවා. ඒ කියන්නෙ දවස් ගාණකට බර වැඩ නෑ.
ගොපල්ලා සත්තු බලා ගන්න ඕනෙ, කොටි වගේ විලෝපිකයන්ගෙන්, හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ. තණකොල කවන්න ගෙනියන්න ඕනෙ. පායන කාලෙට වතුර හොයල දෙන්න ඕනෙ. ලෙඩට දුකට බලන්න ඕනෙ. මුළු දවස ම කරන්න වැඩ තියෙනව.
ගොවියා, ගොවිපොල සකස් කරන්න ඕනෙ. පොලොව සකස් කරලා, ඇල වේලි හදලා, පායන කාලෙට වතුර දාලා, අස්වැන්න කන්න එන සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන, අන්තිමේ අස්වැන්න නෙලාගෙන, ගබඩා කරගෙන, පරිස්සම් කරගන්න ඕනෙ ඊළඟ කන්නයෙ අස්වැන්න නෙලනකම්.
පේන විදිහට, වැඩ පහසු කරගත්තා කියලා කරගෙන තියෙන්නෙ, වැඩ වැඩි කරගැනීම සහ සංකීර්ණ කර ගැනීම.
ආපහු වර්තමානයට ආවොත්, අපි රස්සා කරන්න පටන් ගත්ත කාලෙ, ලියකියවිලි අපට ලැබෙන්නෙ තැපෑලෙන් සහ ෆැක්ස් මඟින්. එහෙම ලැබෙන වැඩ ඉවර කරන්න අපට සාධාරණ කාලයක් ලැබෙනව. ඒ කියන්නෙ, තැපෑලට යන කාලයත් එක්ක. නමුත් දැන් අපට ලියවිලි සහ තොරතුරු ඊට වඩා ඉක්මණට ලැබෙනව. ඒ වගේ ම ඒ තොරතුරු ආපිට අපෙන් බලාපොරොත්තු වෙන්නෙත්, දිනක් හෝ දෙකක් ඇතුළත.
ෆෝන් එකේ වට්සැප් ඔන් කළහම, ඒකෙ රාජකාරිවලට අදාළ වට්සැප් සමූහ තියෙනව විස්සක් විතර. එක එක විෂයයන්වලට අදාළව. ඊට අමතරව, දරුවගෙ ඉස්කෝලෙට අදාළවත් තියෙනව වට්සැප් සමූහ පහක් - හයක්. රාජකාරි ඊමේල් ගිණුම වෙන ම.
ඔය හැම එකක් ම අප්ඩේට් වෙන වාරයක් ගානෙ බලන්න බැරි වෙන නිසා වෙන ම නිලධාරියෙක් පත් කරල තියෙනව, ඔෆිස් එකේ. ඒත් මගෙ වගකීම ඔහුට යන්නෙ නැති නිසා, මමත් නිතරම ඔය දේවල් ගැන බලන්න ඕනෙ. ඒ අතරෙ මහජන පැමිණිලි, පළාත් පාලන ආයතනවල වැඩ හරියට නියම වෙලාවට නීතියට අනුව සිදු වෙනව ද කියලා අධීක්ෂණය කිරීම...
අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.
ඉතින්, වැඩ පහසු කරන, කාලය ඉතිරි කරන නවීන තාක්ෂණය එක්ක, ඉතිරි කරගත්ත කාලය කෝ?
(පහල සිංදුව මේකට අදාළ වෙන්නෙ යන්තමින්. නමුත් ප්‍රශ්නය එක ම යි.)
මේකෙ ජෝන් ලොගී බෙයාඩ් ට ඉන්න නළුවා, මාත් එක්ක ධීවර අමාත්‍යාංශයෙ වැඩ කරපු යාළුවෙක්. එයා ගොඩක් ටෙලි නාට්‍යවල ඉන්නවා.
ඕකේ තව පැත්තක් තියනවා. හුඟක් රජයේ කාර්යාලවල නවීන පරිගණක පිරිලා හැබැයි කරන්නේ ඒවා ටයිප්රයිටර් හැටියට පාවිච්චි කරන එක විතරයි.
ReplyDeleteඇත්ත. මගෙ හොඳම යාලුවෙක් වන වොලී දුන්නා හොඳම උදාහරණයක්... "මැස්සෙකුට වෙඩි තියනව වගේ"
Deletei7 කම්පියුටර්වලින් ලියුම් ටයිප් කරනව.
ම්ම් ඒකත් ඇත්ත. ඔහොම බැලුවම හැමදේම එකයි...
ReplyDeleteසතුට කියලා හිතලා දුක් ගොඩක් එකතු කරගන්නවා see more...
ඒක දිග කතාවක් නේද නවීන්?
Deletehmm hmm
Deleteඋපහාසයෙන් පටන් ගෙන ඉතිහාස කතාවකට මාරු වෙලා සින්දුවකින් ඉවර කරල.සින්දුවත් නියමෙටම ලිපියත් එක්ක ගලපෙනව.ඒ අස්සෙ අද පෝය දවසෙ හින්දා ද මන්ද නිකම් ලාවට වගේ අනිත්‍ය ටෝන් එකක ටච් එකක් තියන බවකුත් දනෙනව.
ReplyDeleteඅනිත්‍ය පැත්තට නං යන්න අදහසක් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් අපි යමක් කියවද්දි, අපේ පූර්ව නිගමනයකුත් එක්කනෙ කියවෙන්නෙ. අනික, මට වඩා දීර්ඝ අත්දැකීම් එක්ක සරත් අයියා කියවද්දි, මට අනාගතයෙදි දැනෙන්න පුළුවන් දේවල් ඔයාට මේ වෙද්දි දැනෙනව වෙන්න පුළුවන්.
Deleteස්තූතියි ඇගයීමට, ලොකු අයියෙ
පැතිරි තියෙන අමතර වැඩ හෙමි හෙමීට කරලා
ReplyDeleteඉතිරි කෙරූ කාලය දැන් ඒ වෙනුවෙන් යොදලා
සපිරි සතුට බැලුවම නෑ හිත්වලනම් රැඳිලා
ඇදිරි වැටෙන ජීවත්වල මුලාව නම් සිඳිලා...
ජයවේවා !!!
මුලාව සහ මෝහය අප අතරේ ම
Deleteසදා පැතිර ඇති දහමකි නිතරෝ ම
හොඳයි කියා අප ළුහුබැඳ යන දේ ම
බඳියි කුමක් හෝ පැටළුමක අප සෑ ම
අර කිව්වැහේ නියමෙට ගලපලා තියනවා. මම එච්චර කැමති සංගීත කණ්ඩායමක් නූනත්, මේරියන්ස් මේ සිංදුවෙ සහ වීඩියෝවෙ හැමදෙයක්ම සුපිරියට කරලා තියනවා.
ReplyDeleteඒ්ක පස්සෙ බලා ගම්මු. දැන් මේක බලමු...
Deletehttps://www.youtube.com/watch?v=yCa6FduW8QA
සෑහෙන කාලයක් අයනකල් මගේ මාමණ්ඩි විදුලිබිල ගෙවන්නට පන්නිපිටියේ ඉඳන් කොටුවේ ප්‍රධාන කාර්‍යාලයට ගියා. දැණ් උන්දැට යන්න එන්න බැරි නිසාම නොයනවා මිසක්; නැතිනම් එහෙම තමයි අදටත්.
ReplyDeleteඒ අය ඔන් ලයින් වැඩ ගැන දක්වන්නේ අප්‍රමාණ අවිශ්වාසයක්.
ඕනම දෙයක් ෆිසිකලි කෙරෙන්න ඕනේ.
අපේ කාලේ වැඩිපුරම යන්නේ ඔය වගේ ඒවට.
දැන් ඔය ගැන මම මොනවා හරි කියපු වහාම වටේම ඉන්න එවුං අහන්නේ අර සිගරට් ප්‍රශ්නෙම තමයි.
"කෝ බං උඹ ඉතුරු කර ගත්තු කාලය? මොනවද කරගත්තේ?"
මුකුත් නොකර පුටුවක් උඩට වෙලා නිදහසේ ඉන්න එකත් අවශ්‍යතාවයක් කියලා මම කොහොම මුංට කියලා දෙන්නද?
//මුකුත් නොකර පුටුවක් උඩට වෙලා නිදහසේ ඉන්න එකත් අවශ්‍යතාවයක් කියලා//
Deleteමේක නොතේරෙන තරමට අපේ ජීවිතවලට කෙළවෙලා ඉවරයි ලොකු අයියෙ. පැන්ෂන් ගියාමවත් බලමු කියලා හිත රවට්ටා ගැනීමක් තියෙන්නෙ.
ෆිසිකලි කඩදාසි සල්ලිවලින් ගෙවීම ගැන මගෙත් හිතේ තවම ඔන්ලයින් ක්‍රමයට වඩා විශ්වාසයක් තියෙනව.
මම සිගරට් බීම නවත්වලා තිබ්බේ..ඒත් මම දැන් ඉන්න රටේ, අයර්ලන්තයේ, අධික සීතල සමග සිගරට් බොන එක පටන් ගත්තා. මෙහෙ 20 පැකට් එකක් කියන්නෙ ටිකක් ගනන්. ලංකාවේ සල්ලි වලින් රු දහ දාහකට වඩා වැඩියි. දවස් පහක් වගේ තමයි පුලුවන් වෙන්නෙ....ඒ හින්දම සුද්දොත් බොන්නේ රෝලින් සිගරට්...එකම මුදල උනත් වැඩි සිගරට් ප්‍රමානයක් රෝල් කරන්න පුලුවන්..එ වගේම රෝලින් සිගරට් වලට පුරුදු උනාව, නෝමල් එක පාවිච්චි කරන්න හිතෙන්නෙත් නැ...මොනා උනත් මේ නරක පුරුද්ද කොහොම හරි නතර කර ගන්න ඕනේ...සෞඛ්‍යටත්, පොකැට් එකටත් දෙකටම හොදයි..
ReplyDeleteමගෙ නම් අදහස තාක්ශණය විසින් ඉතිරි කරලා දෙන කාලය කියලා දෙයක් නෑ කියලා. වෙන්නෙ තාක්ෂණ්යය් නිසා වඩා වැඩ එෆිශන්ට්ලි කෙරෙනවා. ඇත්තටම වෙන්නෙ ඉස්සර මිනිස්සු කීප දෙනෙක් කරපු වැඩ අද ඊට වඩා අඩු ශ්‍රමයකින් වෙන එක. - Mayya
මයියා එක්ක දෙවරක් එකඟයි.
Deleteඑක - සිගරැට් නවත්තන්න ඔ්නෙ. ඒක මොක ද, පුරුද්දට ගියාම එයින් ලැබෙන මත් වීමක් නෑ. අනික, අහිතකර ප්‍රතිඵල ලැබෙනව පෙනහලුවලට, රුධිර නාලවලට සහ රුධිර පීඩනයට.
දෙක - තාක්ෂණය නිසා වැඩ වැඩියෙන් කරන්න පුළුවන් වන නිසා එක මිනිහෙකුට ලැබෙන ආතතිය වැඩියි.
ඕක තාක්සනේ අවුල නෙමෙයි බොල. තාක්සනේ එක්ක මිනිස්සුන්ට අප්ඩේට් වෙන්න බැරි කම.
ReplyDeleteඔය ආණ්ඩුවෙ කන්තෝරු වල ඉන්න වෑසක ඩෑල් වලට තියා සාමාන්‍ය වයසක අයට උනත් තාම පේජ් සෙටප් එක හදල වර්ඩ් වල ලියුමක් ටයිප් කරගන්න බෑ.
අනේද කියනනෙ. අප්ඩේට් නොවුනොත්... හනමිටි කාරයට වෙච්චි දෙ තමා අපටත් වෙන්නෙ.
Delete//ඒ විදිහට අපි ඉතිරි කරගත්ත කාලය කෝ?// ඒකෙන්නෙ බෞල අපි මේ පේස්බුක්, බොලොග්වල බඩ ගගා කාල දාන්නෙ 🙈
ඇත්ත. අපි ඉතුරැ කරගත්ත කාලයකනං නැ තමා. මොකද තාක්සනේ පිහිටෙන් අපි ලබා ගන්න නිදහස් කාලය හරියට කලමනාකරණයක් නෑ නොවැ.
Deleteබලන්න සුද්දො, අපේ පිටරට වැඩකරන අය... වැකේෂන් අරන් සංචාර, පවුල් එක්ක නිවාඩු භුක්ති විදිනව.
අපි වෘත්තියක් හරියාකාරව කරන්නෙත් නැ. නිවාඩුවක් හරියට විදින්නෙත් නැ 😁
ප්‍රසඤ්ඤ,
Deleteමං කියන්නෙ ඒ ගැන නෙමෙයි බොලං. තාක්ෂණේ එක්ක අපට ඉටු කරන්න තියෙන වැඩ සහ වැඩ කරන්න තියෙන කාලය මාර විදිහට වැඩි (ඒකට වැඩි නෙමෙයි කියන්ඩ ඔ්නෙ, ඒකටවඩා ගොඩක් ලොකු වචනයක්.) වෙලා තියෙන එක ගැන.
නමිඤ්ඤ,
ඉතිං බෞල, මට ෆේස්බුක්, බ්ලොග්වල බඩගාන්ඩවත් වෙලාවක් නෑනෙ (ටූත්පිකයො!) යකො!
ආයි නමියා,
Deleteනිවාඩු භුක්ති විඳින්න එන්නෙ යහපත් ජීවන තත්ත්වයක් සහ සේවක අයිතිවාසිකම් රකින රටවල උදවිය. අපට වෙලා තියෙන්නෙ බොරු වැඩ කප්පරක් වෙනුවෙන් දුව දුවා ආතතියෙන් පිරුණු ජීවිත ගත කරමින් ඉඳලා මැරිල යන්ඩ.
බොහොම රසවත් මාතෘකාවක්. කාලය ඉතිරි කරගැනීම කියන්නෙ අපේ අවශ්‍යතා වලට සාපේක්ෂව සිද්ධ වන දෙයක්. සමහරක් බටහිර රටවල ඇරෙන්න ලෝකයේ බොහොමයක් රටවල මිනිස්සු ජිවත් වෙන්නේ රැකියාව කරන්න. වෙන්න ඕනේ රැකියාව නිසා ජිවිතේ පහසුවෙන් ගත කරන එක. තමන්ගේ සතුට සහ පවුල අංක එක කරගත්තු රටවල මිනිස්සු අනික් මොන වැඩ තිබුනත් ලයිෆ් ෆස්ට් කියන සංකල්පයෙන් තමයි වැඩ කරන්නේ. උදාහරණයක් විදියට හවස 6 න් පස්සෙ සහ නිවාඩු දිනවල මම ඊ මේල් වලට රිප්ලයි කරන්නේ නෑ. මට මානසික බ්රේක් එකක් අවශ්‍ය නම් ඊ මේල් බලන්නෙත් නෑ. එහෙම පැය 24ම වැඩ කරන මිනිස්සු ගැන මෙහෙ මිනිස්සු හිතන්නේ ඒ අයට තමන්ගේ කියල ලයිෆ් එකක් නෑ කියල. ඒ වගේම ඒ අයහේ මානසික මට්ටම ගැනත් අනික් මිනිස්සු ප්‍රශ්න කරනවා. මට ඔය ඊ මේල් උපදෙස දුන්නෙත් මගේම ප්‍රධානියා. ලංකාව වගේ රටවල ඕකේ අනික් පැත්ත. ඒකයි අදටත් ලංකාව ඩිවොලොපින්ග් කන්ට්‍රි එකක් වෙන්නෙ. තමන් වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි මිනිස්සුන්ට රටක් හදන්න තරම් යහපත් කායික මානසික තත්වයක් ඉතිරි වෙන්නේ නෑ. (පොකුරුවැහි )
ReplyDeleteඇත්ත. මට අහන්න ලැබුණා, යූටියුබ් විඩියෝ එකකින්, ස්වීඩනයේ ෆාමසි සහ බාර් පවා හවස හය වෙද්දි වහනව කියලා. ඒවයෙත් වැඩ කරන්නෙ මිනිස්සුනෙ ඉතිං.
Delete"රටක් තමන්ගෙ මිනිස්සු මනුෂ්‍යයෝ හැටියට සළකන්න පටන් ගන්න තුරු යහපත් ජීවිතයක් කිසිවෙකුට නොලැබෙනු ඇත"
- ඩ්‍රැකියාවෙලී
බාර්... 6 ට... ඒක හරියන්නෑ. ශිෆ්ට් දාල හරි ඒව 24 හවර්ස් ඇරල තියන්නෝන. ඉඳගෙන.
Deleteදියුණු රටවල මිනිස්සුන්ට බොන්ඩ තරං ප්‍රශ්න නෑ ප්‍රසෝ... උං විවිධාකාර ලොකු පරාසයක ආතල් ගන්නව.
Delete
ReplyDeleteඔය කාළය හා සම්බන්ධ ගැටළුවට සාපේක්ෂව, විශේෂයෙන්ම කාර්‍යාල වල වැඩ කටයුතු කිරීමේදී තවත් කරුණු කිහිපයක් මතු වෙනවා නේද? පළමුව අතීතයේදී නව තාක්ෂණය සීමිතව තිබියදී කාර්‍යාල සේවකයෙකුට නිමකිරීමට තිබුණේ ජනතාවගෙන් ලැබෙන සීමිත වැඩ කොටසක්. එදා ජනතාව තම වට පිටාවෙන් සහ අසල් වැසියන් සමග කරගත් වැඩ සඳහා වර්තමානයේ අදාල "කාර්යාල" වලින්ම උපකාර බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනගහනය වැඩිවීමත් සාක්ෂරතාවය ඉහළ යාමත් සමග වැඩිවන අවශ්‍යතා නිසා, ඒවාට අදාළ ගැටළුත් වැඩි ප්‍රමාණයක් කාර්යාල වලට යොමු වෙනවා නේද?
මේ ගැන මම මුලින් දාපු උත්තරය, මකලා දැම්මා. ඒ තරම් කෙලින් උත්තර දෙන්න තවම මට බෑ කියා දැනුණු නිසා.
Deleteඇත්ත. මුල් කාලෙ තිබුණු වැඩ සීමිතයි. ඒක දැන් දැන් අසීමිත වෙන්න ජනගහණය සහ සාක්ෂරතාවත් එක්ක ම නිරර්ථක කටයුතු සමහරකුත් බලපාලා තියෙනවා කියලා විතරක් දැනට කියන්නම්.
දයා මහත්තයා එක්ක සෑහෙන දුරට එකඟයි.
සොරි වේවා. එපමණම එකඟ නැහැ බොලේ. දඩයක්කාරයා ගේ ජිවිතේ හොඳ නැහැ . මදුරුවෝ මරාගෙන , අව්වේ , වැස්සේ , රෑ කළුවරේ , හරියට කෑමක් නැතිව. පරණම කාලේ දඩයම් කණ්ඩායම් වල එවුන් මැරෙනවත් එක්ක. ඊට පස්සේ හම්බ වෙන දඩයමෙන් කාල බිල. වෙලන්දට කොටසක් දීලා කලමනා අරගන්න ඕනේ. දඩයක්රකායට බඩගින්නේඉන්න පුරුදු වෙන්න ඕනේ . ගොපල්ලට වැඩ තියෙන එක ඇත්ත. නමුත් ඕනේ වෙලාවක නතර වෙන්න පුළුවන්. හවසට ගෙදර ඇඳක නිදා ගන්න රෑ කෑම එකක් කන්න , දු දරුවෝ එක්ක විනෝද වෙන්න පුළුවන්. ගොවියටත් එහෙමයි.
ReplyDeleteරැකියාව ගැන බැලුවොත් පොකුරු වැහි කිව්වා වගේ - love life , love work තමයි අපේ කම්පැනි මොටෝ එකත්. ප්‍රොජෙක්ට් වැඩ කරන්නේ පැය හයයි. පැයක් කෑමට සහ විනාඩි 15 නිවාඩු දෙකකට. පැයක් ඇඩ්මින් වැඩ. පැය හත හරි. (පැය 8.5 තමා වැඩ වෙලාව ලන්ච් එක්ක .) ඊට පස්සේ පහමාරේ ඉඳන් රෑ 11 වෙනකන් - කඩේ යන්න ඕනේ නම් ගිහිල්ල, කිලෝමීටර් 6 ක් ඇවිදලා, රෑ කෑම කාල පොතක් බලල, චිත්‍රපටි කෑල්ලක් බලල නිදා ගන්න යනව. බ්ලොග් කරන දවසක් දෙකක් තියනව.
බිල් ඔක්කොම ඩිරෙක්ට් ඩෙබිට් , මාසෙට ගානට වෙලාවට ඒවා ගෙවෙනවා. සෙනසුරාදට හෝ ඉරිදට ඇවිදින්න යනවා ලොකු පාක් එකකට, මුදු වෙරළට හෝ කොහේ හරි. මට නම් මේ කොම්පියුටර් , මොබයිල් වලින් වෙලාව ඉතුරු කරලා දෙනවා සෑහෙන්න.
හ්ම්ම්...
Deleteඔය විදිහෙ වඩා හොඳ ජීවන තත්ත්වයක් වෙනත් රටවල තිබෙන බව දැන දැන මේ රටේ ඉන්න වෙලා තියෙන එක ගැන පොඩ්ඩක් හිතන්ඩකො ඉතිං.
//අන්තිමේ අපේ රාජකාරි පහසු කරගන්න යොදාගන්න නවීන තාක්ෂණය එක්ක අපි යන්ත්‍ර බවට පත් වෙමින් ඉන්නව.// මේක හදා ගන්නෙක තමන්ගේ අතේ තියෙන්නේ බ්‍රෝ
ReplyDeleteඑයිට අමතරව, අපි කරන බොහොමයක් රාජකාරිවල යථාර්ථවාදීබවේ අඩුපාඩුත් බලපානව. තුන්වෙනි ලෝකෙ රටවලට විතරක් වෙන්න පුළුවන් ඒක අදාළ වෙන්නෙ.
Deleteආයතනයක ලොකුම එකාගෙ මේසෙ උඩ කප්පරක් වැඩ ගොඩ ගැහෙන්නෙ බලය හරිහැටි බෙදී නොයන නිසයි.. ඒකට වරද ආයතන ප්‍රධානීන්ගෙ නෙවෙයි.. බලය හරිහැටි බෙදී නොයන යල් පැනපු සිස්ටම් එකක් කරතියාගෙන යන නිසායි.. අනිත් කාරනාව කාර්‍යාලවලට පරිඝ්නක තිබ්බට ඒවායෙන් කෙරෙන්නෙ ලියුම් ටයිප් කරන එක විතරයි... බොහොමයක් රාජ්‍ය ආයතවල කාර්‍යාලයෙන් කෙරෙන කාර්යභාර වෙනුවෙන් පරිඝ්නක වැඩසටහන් හැදීලා නෑ... වෙනසකට තියෙන්නෙ ටයිප් රයිටරය වෙනුවට පරිඝනකය ආදේශවීම විතරයි...
ReplyDeleteගිය වතාවෙ ලංකාවට ආපු වෙලාවෙ නගර සභාවෙන් වැඩක් කරගන්න ගිහිං ගාටපු ගෑටිල්ලට මගේ කකුල් දෙකත් අඟලක් දෙකක් කොටවුනාද මන්දා... යල්පැනපු ක්‍රමයන්ට අමතරව පුද්ගලික වාහන්වලට නගර සභා භූමියට ඇතුල්වීමත් තහනම්.. අපි වාහනේක ගියාට කොහේ හෝ ඉඩ තියන පාරක් අයිනෙ ඒක නවත්තලා පයින් එන්න ඕන... රටේම කිසිම වැඩකට හරිහමන් සිස්ටම් එකක් නැතිවීම කරුමයක්..
( අම්බලන්ගොඩයා)
අම්බලන්ගොඩයගෙ මුල් ඡේදය සෑහෙන්න පොදුයි අපේ ආයතන ගොඩකට. අපේ නම් තැපෑල සහ මහජන පැමිණිලි මුල සිට අවසන් පිළිතුර දක්වා මොනිටර් කරන්න සිස්ටම් එකක් තියෙනව, අපේ දිසානායක ප්‍රජා සංවර්ධන නිලධාරි හදල දීපු. ඊට අමතරව පළාත්පාලන ගැන තියෙන හැම විධිවිධානයක් ම, (පනත්, චක්‍රලේඛ, රෙගුලාසි...) එකතු කරපු නොලේජ් බේස් එකක් තියෙනව. අපේ කාර්යාලයෙ ෆේස්බුක් පිටුවක් තියෙනව, තාම ප්‍රචලිත වෙලා නෑ, නමුත් ඒක හැදුවෙ ඔ්නෙ ම කෙනෙකුට පැමිණිල්ලක් මල්ටිමීඩියා ඇසුරින් අපට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට.
Deleteනගර සභාවක වගේ මහජන සේවා සපයන ආයතනයක නං ඔය විදිහට වාත කරන්නෙ, යම් කිසි සම්තිං එකක් බලාපොරොත්තුවෙන්.
අපේ ආයතනයේ බොහොමයක් උදවියට e mail එකක් යවලා කෝල් එකක් දීලා කියන්න ඕං email එකක් එව්වා බලන්නයි කියලා...
ReplyDeleteමට එස්එම්එස් එකක් එව්වත්, එච්චර තමයි අසංග...
Delete“Time you enjoy wasting is not wasted time.”
ReplyDelete― Marthe Troly-Curtin
https://hotchocolatedays.blogspot.com/2023/11/blog-post_23.html
ස්තූතියි අදහසට. ඒකත් ඇත්ත, මටත් කවදා හරි විඳින්න ලැබෙයි නාස්ති කරන්න තරම් කාලය.
Deleteහරිම වටිනා අදහසක් . ඇත්තටම කලානුරුපීව තාක්ෂණය හින්ද අපේ සරල ජීවිතය සංකීර්ණ කර ගත්තා කියලයි මට හිතෙන්නෙ. මානසික ආතතිය සහ මානසික ආබාධ වැඩිවෙන්නත් , පිලිකා , දියවැඩියාව වගේ රෝග වැඩිවෙන්නත් මූලික හේතුව අපට ඒ වෙනස හරියට තේරුම් කරගන්න බැරි වෙච්ච් එක තමයි.
ReplyDeleteඔය අදහස යුවාල් නෝවා හරාරි ගෙ සේපියන් පොතේ මුල් හරියෙ තිබිලා තමයි මට හම්බුණේ. ඒක උඩ ලිපියෙ කියන්න මට බැරි උණා. මං මුහුණපාන කාර්යබහුල ආතතිය පිරුණු තත්ත්වය නං ප්‍රතිපත්තිවල තියෙන දෙබිඩි පිළිවෙත නිසා වැඩි වෙලා තියෙන්නෙ. කවද හරි පෙන්ෂන් ගිය දවසක ඒ ගැන හරියට ම පැහැදිළි කරල ලියන්න පුළුවන්.
Deleteඔයා ඉන්න රටේ නං අපි තරම් කාර්යබහුල නැතුව ඇති?
ලංකාවේ අපිට සේවා සපයන තැනකට ගිහින් බලන්න එපැයි කාලය කාගෙන කාගෙන යන හැටි මොන මොන තාක්ෂණය තිබ්බත්.
ReplyDeleteඒක තවත් පැත්තක්. රාජ්‍ය සේවයට හෙණ ගහල ගිහිං තියෙන්නෙ, විෂය දැනුමක් නැති පණ්ඩිත ඔලුබක්කො පෙළක් නිසා. ඒ උදවිය තමයි ඔ්කට වැඩියක් ම වග කියන්ඩ ඔ්නෙ.
Deleteමට නම් තියෙන්නේ කාල කළමනාකරණ ප්‍රස්නයක් ... කරන්නේ මොකක් ද කියල හිතන්නම සෑහෙන කාලයක් නාස්ති වෙනවා ... තව ටික කාලෙකින් රොබෝලා අපේ වැඩ කරන්න පටන් ගත්තම නම් ඔන්න වෙලාවක් තියෙයි ... හෙහ් හෙහ් ... හැබැයි ඊට පස්සේ රොබෝ ප්‍රස්න වලට අපේ වෙලාව නාස්ති වෙනවා
ReplyDeleteමට මතක් වුණේ "අයි රෝබාට්" ෆිලිම් එක. කාල කළමනාකරණය කියන්නෙ යම් කිසි ශික්ෂණයක් නේ ද, අපේ අනික් ජීවන සංකල්ප වගේ ම. හුරු කරගන්න ඔ්නෙ දෙයක්. වැඩේ තියෙන්නෙ ඒක ඔලුවෙන් විතරක් කරන්න අමාරුයි. මම හිතාගෙන උන්නා ගූගල් කැලැන්ඩරය යොදා ගන්න. සාමාන්‍යයෙන් ලෙක්චර්වලදිත් මම කියාදෙන දෙයක්, ගූගල් කැලැන්ඩරය, කඩදාසි ඩයරියට වඩා ඵලදායකයි කියන එක. නමුත් මට වුණත් ඒක අප්ඩේට් කරන්න වෙලාවක් නෑ. hilarious... නැද්ද?
Deleteසටහනත් එක්කම අලුත් සින්දුවකුත් රසවින්දා. බොහොම ස්තුතියි.
ReplyDeleteඇත්ත තමා අපි මේ රේස් එකට වැටිලා මොනාද ඉතුරු කරලා තියෙන්නේ. වාසනාවකට වගේ අපි ටික කාලයක් හරි ජීවිතය වින්ද. එත් අපේ දරු පරම්පරාවට ඒ අවස්ථාවත් නැති වුනා කියලා හිතෙන්නේ මට විතරද..?
ඇත්ත. අපි ළමාකාලයෙ ජීවිතය වින්ද හැටි, අපේ දරුවන්ට අපි ඒකට අවස්ථාව දෙන්නෙ නෑනෙ. ඔ්නෙවට වඩා පරිස්සම් කරන්න ගිහින් උන්ව හිර කූඩුවක දාලා ඇති කරනවා කියල මට හිතෙනව.
Delete