Monday, May 5, 2025

භෝජනාගාරයේ ප්‍රහේලිකාව

මේකත් මම දාන්නෙ බුරතීනෝ පවරපු කොන්තරාත්තුව ඉවර කරන්න සෑහෙන කල් ගත වෙන නිසා, එතෙක් මේ බ්ලොග් එකේ පාලුව යන්නත්, ඒ වගේ ම මම තාම මැරිලා නැති වග මට හීනෙන් පෙනී "බොලා බ්ලොග් එක ලියන් නැද්ද?" කියා අහන උදවියට දන්වා, හුදී ජනයාගේ ටෝච් සංවේගය නැංවීම උදෙසා ය.

මම මුළින් ම ගණිත ගැටලුවක් කියල එකක් විසඳුවේ විදුසර පත්තරේ පිටුවක් පුරා තිබුණු භෝජනාගාරයේ ගැටළුව යි. ඒකෙ තිබුණු ඉඟි මොකක්වත් මතක නැතුව ඉද්දි, පුතාගෙ ශිෂ්‍යත්ව පංතියේ කරපු ප්‍රශ්න පත්තරයක තිබුණු ගැටළුවක් මම ChatGPT එක්ක සාකච්ඡා කළා. 

ඒ ගැටළුව මෙන්න මෙහෙමයි.

ඔබ සතුව 1Kg තරාදි පඩියක් සහ, 500g බරැති වැලි ප්‍රමාණයක් තිබෙනවා. එයින් යම්කිසි ද්‍රව්‍යයක, 1Kg 750g ක බරැති කොටසක් මැන ගත හැකි ද?

ඒකට උත්තරය ChatGpt මට පැහැදිලි කළාට පස්සෙ, (ඔබට පුළුවන් උත්තරය අනුමාන කරලා, කමෙන්ට් කරන්න. මම මීළඟ පෝස්ට් එකෙන් ඒකට උත්තරයත් කියන්නම්.) මායි පුතයි ChatGPT එක්ක IQ ගැටළු ගැන පොඩ්ඩක් වෙලා කතා කළා. 

ඒ අතරෙ මට මතක් වුණා අර උඩ මම කියල තියෙන, විදුසර පත්තරේ ගණිත ගැටළුව. ඒ විදිහෙ ගැටළුවලට කියන්නෙ සිංහලෙන් "තර්කරාමු" ඉංග්‍රීසියෙන් Logic Grid (ඉංග්‍රීසි නම කිව්වෙත් ChatGPT ම යි.) ඉතින් මම අර උඩ කියපු ගැටළුවෙ මට මතක ටික කිව්වහම, ChatGPT මට ගොඩනගල දුන්න ප්‍රහේලිකාව මම මෙතන පහතින් දානවා. මේකෙ ඉඟි ටික සාහිත්‍යමය බවක් එක් කරමින් මම වැඩිදියුණු කළා.

පුළුවන්නම් විසඳුමත්, විසඳුමට එළඹුනු පියවරත්  එක්ක කමෙන්ට් කරන්න.

වැරදීමකින් මේ පොටෝ එක මෙතන වැටිල තියෙන්නෙ. ගැටළුවට අදාළ නියම පින්තූරය ගැටළුවට පහතින් තිබෙන බව කරුණාවෙන් අලකන්ඩ!

විවිධ වෘත්තීන්වල නිරත වී සිටින හතර දෙනෙක් භෝජනාගාරයක ඇඳි පුටු දෙකක් සහ ඒ අතර තිබුණු කවිච්චියක වාඩි වෙලා වෙනස් වෙනස් බීම වර්ග හතරක් ඇණවුම් කළා. ඒ හතර දෙනා: ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්, ඉංජිනේරුවෙක් සහ වෛද්‍යවරයෙකි. ඔවුන් ඇණවුම් කළේ: තේ, කෝපි, පළතුරු යුෂ සහ වතුර.

කෝපි ඇණවුම් කළ තැනැත්තා ඔවුන් ඉදිරියේ තිබුණු ගිණි උදුනට ඉහළින් ඇති කණ්නාඩියෙන්, වේටර් වරයා ආපසු යන හැටි බලාගෙන සිටියා. ඉන්පසු ඔහු තමන් අසල කවිච්චියේ වාඩි වී සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළේ, තේ සහ කෝපිවල තිබුණු කැෆේන්වලට අකමැති නිසා ය. ඔහු තමන්ට වම් පසින් වාඩි වී සිටි තැනැත්තා තේ ඇණවුම් කළාට පසුව කැෆේන්වල ආදීනව ගැන දීර්ඝ දේශනයක් කළා.  පුවත්පත් කලාවේදියාගේ වම්පසින් වාඩි වී සිටි ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තාගේ සහෝදරිය විවාහ කරගන්නට අදහස් කර සිටි නමුත් එය පසුව අත්හැරී ගියා.

ඉහත තොරතුරු ඇසුරින් මේ හතර දෙනා වාඩි වී සිටි පිළිවෙලත්, ඔවුන්ගේ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම වර්ගත් නිර්ණය කරන්න.


මේ ගැටළුවට උත්තර වශයෙන් කමෙන්ට් සීයක් වැටුන් නැත්තම්...

...එකෙක්වත්

මේ පින්තූරෙ ChatGPT ට කියලා කියලා කියලා කියලා වදෙන් පොරෙන් පස් වෙනි වතාවට වගේ හදාගත්ත පින්තූරය. මෙතන දාන්නෙ, අජිත් අයියා ගේ මරණීය තර්ජනයට පිළිතුරු වශෙයෙන්...


මේක බෝනස්...


වැඩිපුර බලපු ලිපි