Wednesday, September 16, 2015

අලි ප්‍රහ්‍ෙලිකා අංක 1 - පිළිතුරු සහ ජයග්‍රාහකයෝ

පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ. ආර්. එරත්න) බාවය ප්‍රකාශ කරනවාය.

කලිං පෝස්ටුවේ උත්තර, කලිං පෝස්ටුවේ ම පහතින් කමෙන්ට් එකක් හැටියට දාන්න හිටියත්, සුධීන් දැක්වූ උනන්දුව හේතුවෙන් ඒකත තවත් පෝස්ටුවක් විදිහටම පළ කරන්නට අදහස් කරන්නට යෙදුනා ඇත.

එහෙනං ඕං උත්තර.

http://www.funnyjokester.com/j/elephant-joke.png

අංක 01.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය ෆ්‍රිජ් එකට දැම්මා
3 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, කම්මල (කමෙන්ට් ඩබල් කිරීම තහනම් උත්තේජක භාවිතා කිරීමට සමාන ය), ඩූඩ්, කැමා (යෂ්‍යන්ත), මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, අන්තිම පේළියෙ ගල-පාත

අංක 02.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය එලියට ගත්තා
3 පියවර - ජිරාෆෙය ඇතුළට දැම්මා
4 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, ගලපාත

අංක 03.

පාටියට ආවේ නැත්තේ ජිරාෆයා ය. ඒ ඌ ෆ්‍රිජ් එකෙන් එලියට අරං තිබුණේ නැති නිසාය.

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, ගලපාතගෙ දෙවෙනි උත්සාහය

අංක 04.

ඕනෑම පාටියකට ගිහිං දාලා එන්නේ කබරයා ය.

සාර්ථක උත්තරයක් දුන්නේ ගල්පාත විතරකි.

අංක 05.

නිධානය ගත් මිනිහා, සිංහයාගේ පාටිය තිබුණ දවස බලං ඉඳලා, හරියටම ඒ දවසේ ගිහිං නිධානය ගත්තේය. මොකද කියනවානම්, ඒ පාටියට හැම සතෙක්ම යන එකේ, කිඹුලත් නොවැරදීම යන නිසාය. ඒ හිතුවා වගේම කිඹුලා ගිහිං තිබුණේය.

ඒකට උත්තර දීලා දිනුවේ කම්මලා විතරය.

අංක 06.

ෆොක්ස්වැගන් බීට්ල් රථයට ඇත්තේ දොරවල් දෙකක් පමණි. ඒ නිසා පියවර වෙන්නේ පහත පරිද්දෙන් ය.

1 පියවර - දොර දෙක ඇරියා
2 පියවර - ඉස්සරහ සීට් එක නැමුවා
3 පියවර - පිටිපස්සෙ සීට් එකට අලි දෙන්නෙක් දැම්මා
4 පියවර - ඉස්සරහ සීට් එක දිගඇරියා
5 පියවර - ඉස්සරහ සීට් දෙකට අලි දෙන්නෙක් දැම්මා
6 පියවර - දොරවල් වැහුවා

සාර්ථක උත්තර දුන්න අය,

ලොකු පුතා සහ කැමා

අංක 07.

ගමරාළට මගදි හම්බුණ එකෙක් ඇහුවා, “ආ... ගමරාළ අයියා, ෆොක්ස්වැගන් එකක් අරං නේද? කීයක් උනාද?“

ගමයට මළ පැන්නා. “මොන ෆොක්ස්වැගන්ද බොල මේ වී ටිකත් විකුණගන්න බැරුව ඉන්න අපිට?“

“බොරු කියන්ඩ එපා. එහෙනං අර මිදුලෙ තියෙන්නෙ බැබළි බැබළි.“

“හුටා! මළ කෙළියයි. අලි ඇවිත් ගෙදෙට්ට...!!!“ ගමෙය ලවක් දෙවක් නැතුව ගෙදෙට්ට දුවන්න ගත්තා.

සාර්ථක / ළඟින් යන උත්තර දුන් අය,

ලොකු පුතා සහ මදාවියා

අංක 08.

1 පියවර - දොර දෙක ඇරීම
2 පියවර - ඉස්සරහ සීට් එකේ අලි දෙන්නා එළියට දැමීම
3 පියවර - ඉස්සරහ සීට් එකක් නැමීම
4 පියවර - පිටිපස්සෙ සීට් එකේ ඉන්න අලි දෙන්නා එළියට ගැනීම
5 පියවර - ඉස්සරහ සීට් එක දිග ඇරීම
6 පියවර - ෆ්‍රිජ් එක ඇරීම (ජිරාෆයා තාම ඒක ඇතුලෙ නෙ. කවුරුවත් ඌව එළියට දැම්මෙ නෑ තාම)
7 පියවර - ජිරාෆයා එළියට ගැනීම
8 පියවර - ෆ්‍රිජ් එක වැසීම
9 පියවර - ජිරාෆයා ෆොක්ස්වැගන් එකේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දවීම
10 පියවර - දොර දෙක වැසීම

මේ ප්‍රශ්නෙට නං කවුරුවත් උත්තර දුන්නෙ නැත. හුරේ...!!!

ඒ අනුව මගේ ආදර බර පාඨකයන් ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය

කම්මල - 4/8
කැමා - 4/8
අන්තිම පේළියෙ ගල-පාත - 4/8
මනෝ මන්දිර - 3/8
කම්මැලි ඩූඩ් - 3/8
මදාවියා - 3/8
ලොකු පුතා - 2/8
කුරුට්ටා - 2/8

මේ උදවියට කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත. එතෙක් කට ඇරගෙන උඩ බලං සිටීම හොඳය...

නිර්මාණාත්මක උත්තර දුන්න අය (තරා ගත කර නැත.)

මදාවියා
ප්‍රසන්න
පොඩි කුමාරිහාමි
විචාරක
නලීන්
ඉයන්

මේ අයට සෙදෝනා ගේ බිබික්කම් ලබා ගැනීම සඳහා, ළඟම ඇති සිල්ලර කඩේ මුදලාලිගේ චරිත සහතිකයක් අමුණා, මෑතකදී කොට ෂෝටක් ඇඳ ලබා ගත් ඡායාරූපයක් ද සමඟ අදම අයදුම් කරන්න.

උත්තරයක් නොදුන්නත් කමෙන්ට් කරපු උදවිය වන, 

මෙන්ඩයි, බණ්ඩයි - සී ජෙ විදානෙයි
ඉවානෙයා කියනා ලව් පූසයි
අඟහරු පැටියයි - ලබ්බයි, මනොවයි
පැතුමයි, ප්‍රා ජෙයි - පත්තර මල්ලියි

වෙනුවෙන් අමාරුවෙන් ගැටගහගත් කවියක් මා විසින්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ.

Wednesday, September 9, 2015

අලි ප්‍රහේලිකා... පළවෙනි කොටස

https://www.offthemark.com/image
/data/cartoons/2008-03-01B.gif

ඩ්‍රැක්‍යුලාගේ කතාවෙ ඉතුරු කොටස ගජරාමෙට ලියාගෙන යන නමුත්, ඒකට බොහොම කාලයක් යන බව පෙනේ. ඒ අතරේ බ්ලොග් එකේ පාලුව මැකීම සහ හුදී ජන බලුප් සංවේගය උදෙසා අලි ප්‍රහේලිකා පළවෙනි කොටස මේ විදිහට ලියා දක්වන්නට ඕනෑය කියා හිතුනෙමි.

අලි ප්‍රධාන කොට ගත් සත්තු ගැන තියෙන ප්‍රශ්න පහතින් දක්වන අතර, මෙයිං බොහොමයක් ප්‍රශ්න සහ උත්තර බොහෝමයක් දෙනා දන්නවා ඇත. ඒ අය කරුණාකර කමෙන්ට් විදිහට දන්න දන්න උත්තර ලියා දක්වන්ටය කියා බොහොම ඕනෑකමෙන් ඉල්ලනවාය. උත්තර ටික සති එකහමාරකින් විතර මේ පෝස්ටුවේම පහතින් කමෙන්ට් එකක් විදිහට දක්වන්නට බලාපොරොත්තු වෙන අතර, වැඩියෙන්ම නිවැරදි උත්තර දුන්න උදවිය දහ දෙනාට කිඹුලනැටුවගමේ (කොපිරයිට් සුරංග) සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත පුස්ලෝඩං එක බැගිනුත්, ඊළඟ දහ දෙනාට බිබික්කම් එක බැගිනුත් දෙන්නට කටයුතු යොදා ඇත.

එහෙනං ඕං පුරස්න:

1. අලියෙක් ශීතකරණයක් ඇතුළට පියවර තුනකින් දැමිය හැක. ඒ පියවර තුන මොනවාද?

2. අලියෙක් පියවර තුනකින් දැම්මාට, ජිරාෆයෙක් ෆ්‍රිජ් එක ඇතුලට දාන්න පියවර හතරක් ඕනෑ වෙයි. ඒ පියවර මොනවාද?

http://www.crmlearning.com/
assets/siteimages/notrailer/
giraffe_trailer.jpg


3. කැලේ රජා වූ සිංහයාගේ උපන්දින පාටියට කැලේ සත්තු හැමෝටම ආරාධනා කරන ලදි. හැම සතෙක්ම ඊට ආව නමුත් එක සතෙක් විතරක් ආවේ නැත. ඒ මොකාද?

4. සිංහයාගේ උපන්දින පාටියට ආ සත්තු හැම එකෙක්ටම ආපහු යන්නට ලැබුණ නමුත්, උං ආපහු යද්දී, එක සතෙක් දාලා ගියෝය. ඒ මොන සතාද?

5. ගඟක් මැද දූපතක් තිබේ. ඒ දූපතේ නිධානයක්ද ඇත. ඒක ගන්නට හැබැයි කාටවත් බැරිය. , මොන ක්‍රමයකින් ගියත් දූපතේ ඉන්නා කිඹුලා කන නිසාය. නමුත් දවසක් මිනිහෙක් පීනාගෙන ගිහිං දූපතේ තිබ්බ නිධානය ගත්තේය. පොර නිධානයත් අරගෙන ආපහු යහතිං ගෙදර ආවේය. ඒ කොහොමද?

6. ෆොක්ස්වැගන් කණේ මයිල් මාදිලියේ කාර් එකකට අලි හතරදෙනෙක් දැමිය යුතුව ඇත. පියවර හයකින් ඒක කරන්නේ කොහොමද?

https://s-media-cache-ak0.pinimg.com
/236x/e0/12/62/
e0126211809f0395c3d9567bab57a430.jpg


7. ගමරාළ රෑ පැල් රැකලා, පැල් කවි කියලා, නිදි නැති දෙනෙතින් ගෙදරට එන්නට පිටත් විය. එයා ගෙදර එද්දී, ගෙදර පේන නොපෙනන මානයේදී ම, ගෙදරට අලි ඇවිත් බව දැනගත්තේය. ඒ කොහොමද?

8. ෆොක්ස්වැගන් කණේමයිල් කාර් එකක ඩ්‍රයිවර් සීට් එකට ජිරාෆයෙක් දැමිය යුතුය. ඊට පියවර දහයක් උවමනා වේ. ඒ පියවර මොනවාද?

මේ ප්‍රශ්න අටට ම සාර්ථක පිළිතුරු දෙන්නට පුළුවං නම් මගේ drackey@gmail.com ලිපිනයට ලියා එවන්නය. ඒ අනිත් අයගේ පහන් සංවේගය උදෙසාය.


ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ළඟදීම පළ කරනු ලැ‍බේය. බලාපොරොත්තුවෙන් ඉන්නය...

Wednesday, August 26, 2015

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure

අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි...

බොහෝ දෙනා ඩ‍්‍රැක්‍යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප‍්‍රසිද්ධියට හේතු වූයේ බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ඩ‍්‍රැක්‍යුලා නම් ඉංග‍්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ඩ‍්‍රැක්‍යුලාගේ ආගන්තුකයාගෙන් ආරම්භවූ ත‍්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන් මේ දක්වා තිරගත වුනු විවිධාකර චිත‍්‍රපට රැසක ද, දුෂ්ඨ චරිතය ඩ‍්‍රැක්‍යුලා හට හිමි විය.

ඩ‍්‍රැක්‍යුලා නවකථාවේ ම සඳහන් වන පරිදි, ‘‘ඔහු අනිවාර්යයෙන් ම තුර්කි දේශ සීමාවේ තුර්කිවරුන්ට එරෙහිව සටන් වැදී ප‍්‍රසිද්ධියට පත් වුණු වොයිවෝඞ් ඩ‍්‍රැක්‍යුලා විය යුතුයි...’’ (ඩ‍්‍රැක්‍යුලා පරි. 18)

(මෙහි, වොයිවෝඞ් යනුවෙන් හැඳින්වෙන්නේ හන්ගේරියානු රාජධානියට අයත් වූ ට‍්‍රාන්සිල්වේනියාවේ පැවති ඉහළම නිලය යි.)

ඩ‍්‍රැක්‍යුලා චරිතය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ තුන්වන ව්ලාඞ් හෙවත් වලාචියා හි කුමාරයා (1431 - 1476) යන ඓතිහාසික පුද්ගලයායි. ඔහු බැසරැබ් පරම්පරාවේ ශාඛාවක් වූ ඩ‍්‍රැක්‍යුලෙස්ටි පරම්පරාවට අයත් වූ හෙයින්, පීතෘනාමය වන ඩ‍්‍රැක්‍යුලා යන නම භාවිතා කළේය. ඔහුගේ මරණින් පසුව 1550 දී පමණ සිට ඔහු උල තියන ව්ලාඞ්යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගැනුනි. උල තියනයන වචනය රුමේනියානු භාෂාවෙන් ට්සෙපෙස්ලෙස උච්ඡාරණය වන අතර එය ලියන්නේ Tepes යනුවෙනි. මොහු ව්ලාඞ් ටෙපෙස් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අනුවය.

ඇම්බ‍්‍රස් බළකොටුවේ ඇති තෙවන ව්ලාඞ් ගේ ආලේඛ්‍යය (ඔහුගේ ජීවමාන කාලයේ නිර්මිතයකින් 1560 දී කරන ලද පිටපතක් ලෙස සැළකේ.) 

ඔටෝමන් තුර්ති වරු බෝල්කන් ප‍්‍රදේශය අල්ලාගැනීම ආරම්භ වූ කාලය වන 1456 සිට 1462 දක්වා කාලය තුළ ව්ලාඞ්, වලාචියා ප‍්‍රදේශයේ වොයිවෝඞ් තනතුර දරා තිබේ. ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල්, මකරාගේ එකමුතුවෙහි සාමාජිකයෙක් විය. (මකරාගේ එකමුතුව හෙවත් Order of the Dragon යනු 1408 දී සිගිස්මන්ඞ් නම් හංගේරියානු රජු විසින් මුලින්ම ඇතිකරන ලද රාජකීයයන්ගේ සංගමයකි. එය නැවත ශුද්ධවූ රෝමක අධිරාජ්‍යය විසින් නැවත පිහිටුවන ලදි. කුරුස යුද්ධයට සහභාගී වූ රදළ පිරිස් අනුව නිමැවුණු එහි මූලික මෙහෙවර වූයේ කුරුසිය ආරක්ෂා කිරීම සහ ක‍්‍රිස්තියානි ආගමේ සතුරන්හට එරෙහිව සටන් කිරීමය. ක‍්‍රිස්තියානියේ සතුරන් ලෙස මූලික වශයෙන් මෙහිදී හැඳින්වුනේ ඔටෝමන් තුර්කි වරුන් විය.) තෙවන ව්ලාඞ් ද බල්ගේරියාවේ වීරයෙකු ලෙසින් සම්මානයට පාත‍්‍ර වේ. ඒ, ඩැන්‍යුබ් නදියේ උතුරු හා දකුණු ප‍්‍රදේශයන්හි ජනතාව ආරක්ෂා කිරීම හේතුවෙනි. ඔටෝමන් වරුන්ට එරෙහිව ඔහු කළ ආක‍්‍රමණ අනුව බල්ගේරියානු සාමාන්‍ය ජනතාව ගෙන් සෑහෙන පිරිසක් සහ ඉතිරිව සිටි බල්ගේරියානු බෝයර් වරු (රදළයන්) ඔහුගේ නායකත්වය පිළිගනිමින් ඩැන්‍යුබ් නදියේ උතුරු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වී වලාචියා හි කොටසක් බවට පත් වූහ.

ඔහුගේ විරුදනාමය ට අනුකූලවම, සතුරන් උල තැබීමේ පුරුද්ද විලාඞ් ගේ කීර්තියේ කේන්ද්‍රය බවට පත් වී තිබේ. ඔහු ජීවත්ව සිටියදී ම ඔහුගේ කෘරත්වය පිළිබඳව ජර්මනිය සහ යුරෝපයේ අනෙකුත් ප‍්‍රදේශ පුරා ප‍්‍රකටව පැවතිණ. ඔහු විසින් වධයට පත් වූවන් ගේ ගණන දස දහස් ගණනකැයි අනුමාන කෙරේ.

ව්ලාඞ් ලියවිලි වල ඔහුගේ නම ලතින් බසින් ලියා ඇත්තේ ව්ලැඩිස්ලාවුස් ඞ්රැගූලියා වයිවෝඩා පාර්ටියුම් ට‍්‍රාන්සැල්පිනේරුම්’ (Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum) (ට‍්‍රාන්සිල්වේනියා ප‍්‍රාන්තයේ වොයිවෝඞ් වන ව්ලාඞ් ඩ‍්‍රැකූල්) යනුවෙනි. ඩ‍්‍රැකූල් යනු පැරණි රොමේනියානු හා ලතින් භාෂාවන්ගෙන් මකරා යන අර්ථය දෙන නාම ප‍්‍රකෘතිය යි. ඒ අනුව ඩ‍්‍රැක්‍යුලා යනු මකරා ගේ පුත‍්‍රයා යන අදහස දෙන්නකි. නමුත් නූතන රුමේනියානු භාෂාවෙන් ඩ‍්‍රැක් යන නාමය යක්ෂයායන අර්ථය දෙයි. ඒ අනුව යමින් ව්ලාඞ් යක්ෂ ව්ලාඞ්යන විරුද නාමය භාවිතා කළායැයි පවතින මතය සාවද්‍ය ය.


1475 ලියවිල්ලක Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum යන්න සඳහන් වී ඇති ආකාරය

ව්ලාඞ් 1431 ශීත සෘතුවේ දී, හංගේරියනු රාජ්‍යයට අයත්ව තිබූ (දැන් රුමේනියාවට අයත් වන) ට‍්‍රාන්සිල්වේනියාවේ සිගිසෝරා (Sighișoara) ප‍්‍රදේශයේ දී උපත ලැබීය. ඒ වන විට ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියා හි වොයිවෝඞ් තනතුරට පත්ව නොතිබිණි. වලාචියාහි සුප‍්‍රකට වොයිවෝඞ් වරයෙකු වූ වැඩිමහල් මර්සියා (Mircea the Elder) දෙවැනි ව්ලාඞ් ගේ පියා විය. විලාඞ් ගේ මව ගේ නම ප‍්‍රකට නැතත්, මේ කාලය වන විට ඔහුගේ පියා මෝල්දාවියාවේ කුමරියක වූ ස්නේනා හෙවත් වසිලිස්සා (Cneajna / Vasilissa) විවාහ කරගෙන සිටි බව කියැවේ. වසිලිස්සා කුමරිය යහපත් ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් දියණිය මෙන් ම, මෝල්දාවියාවේ මහා ස්ටෙෆන් රජුගේ නැන්දණියද වූවාය. දෙවැනි ව්ලාඞ් හට උප භාර්යාවෝ ද ගණනාවක් වූ හෙයින් ව්ලාඞ් හට දෙවැනි මර්සියා සහ ව්ලාඞ් කලූගරූල් නම් වැඩිමහල් අඩ සොහොයුරන් දෙනෛක් ද, කඩවසම් තෙවන රාඩු (Radu III The Handsome) නම් බාල සොහොයුරෙක් ද වූහ.


සිගිසෝරාහි පිහිටුවා ඇති විලාඞ් ස්මාරකය


දෙවන ව්ලාඞ්

ව්ලාඞ් උපන් අවුරුද්දේ ම ඔහුගේ පියා හට මකරාගේ එකමුතුවට බැඳීම සඳහා න්‍යුරම්බර්ග් හි පදිංචියට යාමට සිදු විය. විලාඞ් සහ රාඩු මුල් ළමාවිය ගත කළේ සිගිසෝරා ප‍්‍රදේශයේ ය. ඔවුන්ගේ පියා වොයිවෝඞ් තනතුරට පත් වූ පසු ළමයින් එවකට වලාචියාහි අගනුවර වූ ටර්ගෝවිස්ට් වෙත රැගෙන යන ලදි. කොන්ස්තන්තිනෝපලයෙන් පත් කරන ලද රෝමක හා ග‍්‍රීක ආචාර්යවරුන් වෙතින්, ටර්ගෝවිස්ට් හි දී රදළයන්ගේ පුතුන් හා කුමාරවරුන් හට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ලද බව, බයිසැන්ටියමේ ප‍්‍රධානී වූ මිඛායිල් ඩෝකස් පවසයි. ඒ අනුව, ව්ලාඞ් ද සටන් ක‍්‍රම, භූගෝල විද්‍යාව, ගණිතය, විද්‍යාව, භාෂාවන් (පැරණි ස්ලාවොනික්, ජර්මන් සහ ලතින්), පැරණි කලාව සහ දර්ශනය උගන්නට ඇතැයි සැළකේ.

1436 දී දෙවන ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියාහි වොයිවෝඞ් පදවියට පත් විය. 1442 දී හංගේරියාවේ උපකාර ලද ඔහු ගේ තරඟකාරී පිරිස් ඔහු සිහසුනෙන් පහ කළද, ඔටෝමන් වරුන්ගේ සහාය ලැබූ ව්ලාඞ් නැවත වොයිවෝඞ් පදවිය නතු කරගත්තේය. ඒ වෙනුවෙන් ඔහු සුල්තාන් හට කප්පම් ගෙවීමට ගිවිසගත්තේය. එසේම සිය සුජාත පුතුන් දෙදෙනා වන ව්ලාඞ් සහ රාඩු තම පාක්ෂික භාවයේ සුරක්ෂණයක් ලෙස, ප‍්‍රාණ ඇපකාරයන් වශයෙන් ඔටෝමන් සුල්තාන් මන්දිරය වෙත යැවීය.

ඔටෝමන් වරු වෙත සිටි කාලයේදී ව්ලාඞ් හට තර්ක ශාස්ත‍්‍රය, කුරානය, තුර්කි භාෂාව සහ සාහිත්‍යය උගත හැකිවිය. සොහොයුරන් දෙදෙනා හට ඔටෝමන් වරුන් විසින් යුධ ප‍්‍රයාණ සහ අශ්වාරෝහක කලාවන් ද උගන්වන ලදි. ඒ අනුව ඔවුන්ගේ පියා හට දෙවන බැසරැබ් වෙතින් වලාචියාහි වොයිවෝඞ් තනතුර ආපසු ලබාගැනීමට ඔටෝමන් වරු උපකාර කළහ.

1447 දී ජෝන් හුනියඩි නම් හංගේරියානු ප‍්‍රතිරාජයා ගේ අනුග‍්‍රහය ලද ස්වදේශික බෝයර්වරු කැරළි ගසා බල්ටෙනි වගුරු ප‍්‍රදේශයේදී දෙවන ව්ලාඞ් මරා දැමූහ. ඔහුගේ වැඩුමල් පුතා මෙන්ම උරුමක්කාරයා ද වූ මර්සියා දෑස් අන්ධ කර ටර්ගොවිස්ට් හිදී පණපිටින් වළලන ලදි.

වලාචියා ප‍්‍රදේශය හංගේරියානු පාලනයට නතු වීම වැළැක්වීම පිණිස, ඔටෝමන් වරු වලාචියා ආක‍්‍රමණය කර තරුණ ව්ලාඞ් කුමාරයා සිහසුනට පත් කළහ. මෙම පාලන කාලය ඉතා කෙටි කාලයකට සීමා කරමින් හුනියඩි නැවත වලාචියා ආක‍්‍රමණය කර, ඔහුගේ හිතෛෂියෙකු වූ ඩනෙස්ටි පවුලේ දෙවන ව්ලැඩිස්ලාව්, වොයිවෝඞ් තනතුරට පත් කළේය.

මෙහිදී, ව්ලාඞ් මෝල්දාවියාවට පළා ගිය අතර, ඔහුගේ මාමා වූ දෙවන බොග්ඩන් ගේ අනුග‍්‍රහය හා ආරක්ෂාව ඔහුට ලැබුණි. බොග්ඩන් 1451 ඔක්තෝබර් මාසයේදී ඝාතනය කරනු ලැබීමෙන් පසු ව්ලාඞ් හංගේරියාවට පළා ගියේය. ඔටෝමන් වරුන් සමඟ වාසයෙන්, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු, ප‍්‍රතිපත්ති, චින්තනය සහ දැක්ම පිළිබඳව ව්ලාඞ් හට පුළුල් අවබෝධයක් විය. එසේම ව්ලාඞ්, අලූතින් පත්ව සිටි ඔටෝමන් සුල්තාන් වරයා වූ දෙවන මෙහ්මඞ් සමඟ වෛරයෙන් පසුවිය. එහෙයින් හුනියඩි සිය පැරණි පතිවාදියා වූ ව්ලාඞ් සමඟ සංහිඳියාවක් ඇතිකරගෙන, සිය උපදේශකවරයෙකු ලෙස පත් කරගත්තේය.


දෙවන මෙහ්මඞ්

1453 දී දෙවන මෙහ්මඞ් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, එය මධ්‍යස්ථානය කරගනිමින් කාපේතියානු කඳුකරය හරහා යුරෝපා මහද්වීපය පුරා සිය අධිරාජ්‍යය පැතිරවීම කෙරෙහි ඔටෝමන් වරුන්ගේ අවධානය යොමු විය. එසේ, ඔවුන් 1481 දී සමස්ත බෝල්කන් අර්ධද්වීපය ම නතු කර ගත්හ. ව්ලාඞ් ගේ පාලන කාලය, අයත් වන්නේ ඉහත කී දශක තුන ට හෙවත්, බෝල්කන් ප‍්‍රදේශය ඔටෝමන් වරුන් විසින් ආක‍්‍රමණය කළ කාල සීමාව තුලට ය.

කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් වසර තුනකට පසු 1456 දී ඔටෝමන්වරු බෙල්ගේ‍්‍රඞ් නගරය වැටලීමෙන් හංගේරියා රාජ්‍යයේ සාමය අවදානමට ලක් විය. ඊට පිළිතුරු ලෙස හුනියඩි සර්බියාවට පහර දුන් අතර, එම යුධ ප‍්‍රයාණය පහසු කිරීමට තමන්ම සර්බියාවට ගියේය. (ඉතා කෙටිකලකට පසු ඔහු වසංගත රෝගයකින් මිය ගියේය.) ව්ලාඞ් තම හමුදාව සමඟ වලාචියා ආක‍්‍රමණය කර, සිය මව්බිම නැවත අල්ලා ගත් අතර, මුහුණට මුහුණ කළ සටනකින් දෙවන ව්ලැඩිස්ලාව් මරණයට පත් විය.

වලාචියා ව්ලාඞ් හට නතු වන විට පැවතියේ අතිශය දුක්ඛිත අඩියක ය. නිරන්තර යුද්ධ හේතුවෙන්, අපරාධ පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වී තිබුණි. කෘෂිකර්මය කඩා වැටෙමින් පැවති අතර, වෙළෙඳාම බොහෝදුරට අතුරුදන් වී තිබිණ. පිටතින් එන තර්ජනයන්ට මුහුණ දීමට ස්ථාවර ආර්ථිකයක් අත්‍යවශ්‍ය වූ හෙයින්, සමාජ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම උදෙසා ව්ලාඞ් දුෂ්කර උපායමාර්ග ක‍්‍රියාත්මක කළේය.

වලාචියා වෙනුවෙන් ව්ලාඞ් ගේ අරමුණු තුනක් විය. ඒවා නම්, රාජ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කිරීම, එහි ආරක්ෂාව සහ තම දේශපාලනික බලය වර්ධනය කර ගැනීම යි. ගොවීන්ගේ සුභසාධනය වෙනුවෙන් ඔහු අලූත් ගම්මාන බිහි කිරීම හා කෘෂිකර්මයේ ඵලදාව ඉහළ නැංවීම ගැන අවධානය යොමු කළේ ය. වලාචියා හි සංවර්ධනය උදෙසා වෙළෙඳාමේ ඇති වැදගත්කම අවබෝධකරගත් ඔහු, ටර්ග්සෝර්, කම්ප්‍යුලූං සහ ටර්ගොවිස්ට් යන නගර වල විදේශීය වෙළෙන්දන්ට සම්බාධක පැනවීමෙන් දේශීය වෙළෙඳුන් හට අනුග‍්‍රහ දැක්වීය.

තම පියා සහ සහෝදරයාගේ ඝාතනයට මෙන්ම, දිගින් දිගටම පවත්නා දේශපාලන අස්ථාවරභාවයට ත්, ප‍්‍රධානතම හේතුව වූයේ බෝයර්වරුන් යැයි ව්ලාඞ් කල්පනා කළේය. එහෙයින්, තම පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු, කැපීපෙනුනු රදළ නායකයන් බොහොමයක් මරා දැමූ අතර, සිය පාලන සභාවේ සාම්ප‍්‍රදායිකව බෝයර්වරුන් හට අයත් වූ තනතුරු, තමන්ට සහ විදේශිකයන් හට පක්ෂපාතීත්වය දැක්වූ ද, පිරිසිදු පරම්පරාවක් නොමැතිවූ ද, පුද්ගලයන් හට ලබා දුන්නේය. පහල නිලයන්ට පත්කිරීමේදී බෝයර්වරුන් වෙනුවට ව්ලාඞ් කැමැත්තක් දැක්වූයේ නයිට් වරුන් සහ නිදහස් ගැමියන් පත්කිරීමට ය. වලාචියාව නැවත ගොඩනැගිමේදී ව්ලාඞ් සොරුන් හට දඬුවම් කිරීමට නව නීති හඳුන්වා දුන්නේය. ඔහු බෝයර්වරුන් හට සැළකුවේ ද ඊට සමාන රළු බවකිනි. ඒ, ඔවුන් තම පෞද්ගලික බල අරගළයන් මඟින් වලාචියාව දුර්වල කරන බව ඔහු විශ්වාස කළ බැවිනි.

ව්ලාඞ් හමුදාව ද ශක්තිමත් කළේය. ඔහුගේ පෞද්ගලික ආරක්ෂක හමුදාව කුඩා වූ අතර, එය කූළී හේවායන්ගෙන් සමන්විත විය. යුද්ධයේදී කොල්ලකෑමට ඉඩහැරීමෙන් ද, උසස්වීම් වලින්ද ඔවුන් හට සංග‍්‍රහ කරන ලදි. ඊට අමතරව ඔහු සාමාන්‍ය ගැමියන් ගෙන් සමන්විත මිලීෂියාවක් ද සකස් කර තිබූ අතර, ඔවුන් යුද්ධයන්හිදී කැඳවන ලදි.

ව්ලාඞ් ටර්ග්සෝර් හි පල්ලියක් ඉදිකරවීය. එය ඊට ආසන්න ස්ථානයකදී ඝාතනය කෙරුණු පියා සහ සහෝදරයා වෙනුවෙන් ඉදි කෙරුණු බව සිතිය හැක. එසේම ඔහු ස්නැගෝව් සහ කොමානා පූජකාශ‍්‍රමයන්හි ආරක්ෂක ගොඩනැගීම් වෙනුවෙන් මුදල් ද පරිත්‍යාග කළේය.

වලාචියානු රදළයන් ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන් සමඟ සබඳතා පැවැත්වූ හෙයින්, ව්ලාඞ් සැක්සන් වරුන් ගේ වෙළෙඳ වරප‍්‍රසාද ඉවත් කළ අතර, ඔවුන්ගේ නගර වලට ද පහර දුන්නේය. 1459 දී ඔහු සැක්සන් ජනපදවාසීන් කිහිප දෙනෙක් උල තැබ්බවීය.

1459 දී මැංචුවා සමුළුවේ දී දෙවන පයස් පාප් තුමා ඔටෝමන් වරුන්ට එරෙහිව නව කුරුස යුද්ධයක් කැඳවීය. මෙම යුද්ධයේ ප‍්‍රධාන භූමිකාව හංගේරියානු රජු වූ ජෝන් හුනියඩි ගේ පුත් වූ මැතියස් කෝර්විනස් හට පැවරිණ. ඒ සඳහා පාප් තුමා ඔහු වෙත රන් කාසි 40,000 ක් ලබා දුන්හ. එම මුදල සෙබළුන් 12,000 ක් සහ ඩැන්‍යුබ් යුධ නැව් 10 ක් රැුස් කර ගැනීමට ප‍්‍රමාණවත් වෙතැයි ඇස්තමේන්තු කරන ලදි. මෙවක, වලාචියා ප‍්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් ලෙස දෙවන මෙහ්මඞ් විසින් ප‍්‍රකාශයට පත් කර තිබූ හෙයින්, ඔටෝමන් වරුන් සිය දේශයෙන් පිටුදැකීමේ අරමුණින් ව්ලාඞ්, මැතියස් කෝර්විනස් සමඟ එක් විය.


එම අවුරුද්දේම පසුභාගයේදී ඔටෝමන් සුල්තාන් වූ දෙවන මෙහ්මඞ් ගේ දූතයන් ව්ලාඞ් හමු විය. ඔවුන් අත මෙහ්මඞ් දන්වා එවා තිබුණේ ප‍්‍රමාද වූ බදු හෙවත් කප්පම ලෙස ඩකට් 10,000 ක් ද ඔටෝමන් හමුදාවට බඳවා ගැනීම පිණිස ආධුනික සෙබළුන් 500 ක් ද එවන ලෙස ය. ව්ලාඞ් එය ප‍්‍රතික්ෂේප කළේය. ඒ, කප්පම් ගෙවීම යනු වලාචියාව ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් බවට ප‍්‍රසිද්ධියේ පිළිගැනීමක් වන හෙයිනි. සිය පූර්වගාමීන් සහ අනුප‍්‍රාප්තිකයන් බහුතරයකගේ මෙන්ම ව්ලාඞ් ගේ ද මූලික අරමුණ වූයේ වලාචියාව තමන්ට හැකි තරම ස්වාධීනව තබා ගැනීමයි. මෙහිදී ඔහු තමන් ඉදිරියේ තුර්කි තානාපතිවරුන් ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් නොකිරීම යන හේතුව මත, ඔවුන්ගේ තලප්පා ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්සවීමෙන්, එම දූතයන් හට මරණ දඬුවම පැනවීය.


තෙවන ව්ලාඞ් තුර්කි තානාපතිවරු හමුවෙයි - තියඩෝර් ඒමන් ගේ චිත‍්‍රයකි. 

මේ අතර සුල්තාන් වරයා, ව්ලාඞ් ඩැන්‍යුබ් නදිය අවට ප‍්‍රදේශ වල බලය පතුරුවාගැනීම පිළිබඳව සිය රහස් ඔත්තු අංශයෙන් දැනගත්තේය. ඔහු නිකොපොලිස් පළාතේ පාළකයා හෙවත් බේ වරයා වූ හම්සා පාෂා ව්ලාඞ් සමඟ සංහිඳියාව ඇතිකරගැනීම හෝ අවශ්‍ය නම් ඔහු පිිටුදැකීම පිණිස යෙදවීය.


හම්සා පාෂා අශ්වාරෝහකයන් 1,000 ක් සමඟ පිටත් විය. ඔවුන් ග්‍යුර්ග්‍යු හි උතුරු කොටසේ ඉතා පටු දුර්ගයක් පසු කරද්දී, ව්ලාඞ් ඔවුන් අපේක්ෂා නොකළ ප‍්‍රහාරයක් එල්ල කළේ්ය. වලාචියා සේනාව තුර්කි වරුන් සහමුළින් වටළාගත් අතර, සියළුම දෙනා පාහේ උළ තියන ලදි. එහිදී අනෙක් අයට වඩා උස් උලක හිඳුවීමෙන් හම්සා පාෂා ගේ උසස් නිල තත්ත්වයට ගරු කිරීමට ව්ලාඞ් නියෝග කළේය.

ඉතිරි කොටස ළඟදීම...

ප / ලි 

මූලාශ්‍රය - විකිපීඩි‍යා
තමන්ගේ යුරෝපා සංචාරක සටහනේදී අප සිහිපත් කිරීම ගැන පොඩි කුමාරිහාමි ට ප්‍රණාමය...

වැඩිපුර බලපු ලිපි