රුහිරෙන් පුදමි - 4 වන කොටස

මෙතෙක් කතාව


දොරට තට්ටු කිරීම විකුම් යම්තාක් දුරකට බලාපොරොත්තුව සිටියේ ය. දොර ඉදිරිපිට වූයේ අකිල වීම ඔහුට පුදුමයක් වූයේ නැත.

‘‘වරෙං ඇතුළට.....,’’

අකිල හාත්පස විමසිල්ලෙන් බැලීය. ‘‘අපේ ගෙදර නම් උඩු යටිකුරු කරලා’’

‘‘ඒ උඹේ ගෙදර කවුරුත් නැති හින්දා.’’ විකුම් ඇඳ මත වාඩි විය. ‘‘මෙහෙ අපේ බෝඩිමේ ආන්ටි හිටපු හින්දා වැඩිය කළබල කරලා නෑ.

‘‘මතුපිටින් එකපාරට ම පේන්න නැතත්, මේ කාමරෙත් කවුදෝ සෝදිසි කරලා තියෙනවා. මේසෙ උඩ තිබුණු පොත් ටික, කලින් තිබුණු පිළිවෙලට නැහැ. ඇඳුම් ටිකත් අවුස්සසලා..... පොත් රාක්කෙත් හදිස්සියෙ අවුස්සලා තියෙනවා.

‘‘කළිසම් සාක්කු ඇදලා තිබුණු නිසා මම මුලින්ම හිතුවෙ, ආන්ටිගෙ වැඩක් කියලා..... ඒත් ඒ මනුස්සයා මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.

‘‘වැදගත්ම දේ.....’’ විකුම් කටහඬ බාල කළේය. ‘‘කොන්වන්ට් එකෙන් ගෙනාපු රෝස නැටියි, මිනීමල් කොළෙයි බෑග් එක පිටින්ම අතුරුදහන්.....’’

----------------------------------------

උදෑසන වුවද, හාත්පස වූයේ මන්දාලෝකයකි. වලාබර අහස නිසා පරිසරය පුරා සෞම්‍ය බවක් පිරී තිබිණ. මඳ සුළඟේ පවා සුවදායක බවක් විය.

පාර අයිනේ වූ දැවැන්ත මැයි මාර ගසේ සිහිල යට කුඩා තරුණියක වූවාය. පොත් කිහිපයක් හා කුඩයක් ඇගේ සුරතට හා ළයට තුරුළුව තිබිණ. ඇඳ සිටි සැහැල්ලූ ගවුමින් හා ගෙතූ එකම කොණ්ඩ කරළින් ඇයට චාම්, සරළ බවක් එක් විය. විල්ලූද පෙනුමැති කුඩා පාවහන් සඟලක් ඇගේ පතුල් ආවරණය කළේ ය.

පාරේ අනෙක් පැත්තේ අයින දිගේ තරුණයෙක් සෙමෙන් පියනඟා ආයේය. මාරගසට මුහුණලා, අනෙක් පැත්තේ වූ කුඩා කඩයේ, ඉදිරිපස බංකුව මත කිහිප දෙනෙක් ආගිය කතා කියමින් පසුවූහ. තරුණයා කඩයට ගොඩවී, කවුන්ටරය වෙත ගොස්, යමක් මිළදී ගනු තරුණිය බලා සිටියාය. මිළදී ගත් දෙය කළිසමේ සාක්කුවට දමා ගන්නා ගමන් හැරුනු ඔහුගේ දෑසට ඇගේ බැල්ම හසු වූයෙන්, ඇගේ දෑස සැණින් බිමට හැරවිණ. තරුණයාගේ දෑසේ සුහද සිනාවක් වූ බව ඈ ඇස්කොණින් දුටුවාය.

තරුණයා බංකුවේ කෙළවරක සැහැල්ලූවෙන් වාඩි විය. ඔහුගේ දෑස් තවමත් තරුණිය දෙස එල්ල වී තිබිණ. ඇය නැවත හිස ඔසවද්දී, තමා වෙත යොමුවූ තරුණයාගේ දැස් තෙත් අයිස් කැට මෙන් දිළිසෙණු දුටුවාය.

ඇය එක්වරම බිම බලාගත්තේ නැත.  තම දෑස් පාර සිසාරා යැවූ ඈ බසයක් එන්නේදැයි බැලීමට මෙන් පාරේ කෙළවර දෙස බැලූවාය. ඔහු තවමත් තමා දෙස බලා සිටින බව නොදුටුවද, ඈ දැන සිටියාය.

ඊළඟ වාරයේ ඈ ඔහු දෙස බලන විට, තරුණයාගේ දෑසේ කෙතරම් මෘදු බවක් වූයේද යත්, තරුණිය හැඟීමකින් තොරව මිනිත්තු කීපයක් පුරා ඔහු දෙස බලා සිටියාය.

තරුණයාගේ කෘෂ සිරුර, සුදුමැළි හම, ගිළුණු කම්මුල් හා තද කළු පෑ කෙස්, ඈ තුළ ඇති කළේ ගුප්ත කොහොල් හැඟීමකි. බසය ළඟටම එනතුරු ඈ හට දැනුනේ නැත. ඇය කඩිමුඩියේ බසයට නඟිද්දී, බසයට අත දිගු කළ තරුණයාද, පාර පැන දිව ආයේය.

-----------------------------------------------

ළා අඳුරක් දේවස්ථානයේ මුළු වල සිට මැදට විසිරී විත් තිබිණ. ශාලාවේ ආසන පේළි අතර සිටගත් පිරිස එකම සිහින් හඬින් ගායනා කරමින් උන්හ. හරියටම පාළු..... නිහඬ තැනිතලාවක කුඩා උල්පතකින් නැගෙන සිහින් මරුමුරුවක් සේ..... ඉතා සුමට වූ..... ගීතිකා පද..... ඉදිරිපස පේළි වල සිටි කන්‍යා සොයුරියන් ගේ සිහින් හඬින් නැඟී, දේවස්ථානයේ දැවැන්ත බිත්ති මත රැව් නැංවීය. සැබැවින්ම එය ඉතා සරු..... උත්කර්ෂවත් මොහොතක්.....

එය එසේ ඇගේ හදට දැනින..... ගීතිකාවේ පද, එකිනෙක රැළි මෙන් වර නැඟෙද්දී..... රැල්ලෙන් රැල්ලට..... කෙමෙන් කෙමෙන් යොවුන් කන්‍යා සොයුරිය ගීතිකාවේ විභූතිමත් නින්නාදයේ පරමෝත්කර්ෂය දෙසට නැඟී ගියාය. ආනන්දයෙන් පියවී ගිය දෑසින්.....

සියුම් ස්ත‍්‍රී කටහඬවලින් වාතස්කන්ධය පිරී ගති. හරියටම..... සුරංගනා කතාවක බඳු කුමක්දෝ යමක් එතුළ විය.

අතිශය ශාන්ත ස්වප්නයක් බඳු වූ ගීතිකාව..... ඉතාම සරළ ලෙස අවසානය වෙත ළඟා විය..... ස්ථායී කොටස දෙවරක් ගැයී..... මෘදු ලෙසින්.....

නිහඬතාව මධ්‍යයේ දේශක මව්තුමියගේ හඬ නින්නාද වී, බොල් වතස්කන්ධයේ රැව් නැඟී ආයේ ය. සෙමෙන්..... කුඩා කන්‍යා සොයුරිය තම ආසනය වෙත නැඹුරු වූවා.....

‘‘.....දෙවියන් වහන්සේ අපට දුක් කරදර පමුණුවන විට හෝ ආත්ම පරිත්‍යාගයන් කිරීමට සලසන විට හෝ, අප දේව අභිමතයට අවනත විය යුතුය. දේව අභිමතය ඉෂ්ට කළ යුත්තේ එය අපගේ යහපත සඳහා පවතින නිසාය.....’’

කුඩා දෑත් ළය මත ගුළි කරගත් වනම..... තවමත් ගීතිකාවේ චමත්කාරයට ඒකාත්මිකව සිටි යොවුන් කන්‍යා සොයුරියගේ දෙතොල් කොන්, සිනා රැල්ලකින් නැවිණ. ඈ වහාම සිනහව යටපත් කර ගනිමින්, බිය පත් දෑසින් ඈ අසළම සිටි වෘද්ධ කන්‍යා සොයුරිය දෙස බැලූවාය.

--------------------------------------------------------- 

අකිල දොර ඇරියේ කැමැත්තකින් නොවේ. මෙතෙක් ගිළී සිටි නින්දෙන් හදිසියේ අවදි කරවනු ලැබ ඇතිවන නුරුස්නා හැඟීමෙන් සහ බමන ගතියකින් ඔහුගේ හිස පිරී තිබිණ.

‘‘ආරංචි නැද්ද.....?’’ දොර ඉදිරිපස වූ විකුම් ගේ හදිසි ස්වරය.

‘‘මොකද්ද?’’ අකිල නැවත තම සරම හරිගස්සා ඇඳගත්තේය.

‘‘වරෙං යන්ඩ. ඉක්මණට ෂර්ට් එකක් දාගනිං.’’

‘‘කොහෙද?’’

‘‘විස්තර යන ගමන් කියන්නම්. දැන් ඉක්මන්කරපං.’’

අකිල ආපසු හැරිණ. කළිසමක් ඇඳ, කමිසයක් ඇඟට දමා ගනිමින් ම ඔහු ආපසු ආයේය.
දෙමිතුරෝ හණික මඟට බටහ.

එය මීදුමින් පිරුණු, තෙත්ම තෙත් උදෑසනක් විය. පාර දෙපස මල් වැටවල් පින්නෙන් බර වී, කඩා හැළී තිබිණ. ඇසට නොපෙනී සැඟවුණු කුඩා කුරුල්ලෝ හදිසියකින් මෙන් කෑගැසූහ.

‘‘උඹ මොකද හිතන්නෙ..... නෙල්කගෙ සිද්ධිය ගැන.....?’’ විකුම් සිගරැට්ටුවක් මුවෙහි රුවා ගෙන, ගිණි කූරක් ගැසීමට නැවතිණ.

අකිල සැණින් ඔහු වෙත හැරිණ, විස්මයාර්ථ නෙතින්.

‘‘ටිකක් හිතපං.....,’’ විකුම් නැවත ගමන් ඇරඹීය. ‘‘මුළු ඇඟම සුදුමැළි වෙලා.....’’

‘‘හුඟක් ලේ ගිහිල්ලා.....’’

‘‘ඔව්..... නමුත් උඹ හිතුවද..... කොහොමද, කොහෙටද ඒ ලේ ගියෙ කියලා.....?’’

‘‘කොහොමද?’’

‘‘එදා ලොකු සිස්ටර් මාත් එකක් කිව්වා.....’’

‘‘මොකද්ද?’’

‘‘නෙල්කගෙ තුවාලයක් තිබුණලූ.....එයාගෙ තොල් දෙක වගේම..... සුදුමැළි වෙලා, තුවාල ගැටි ඉදිමිලා..... එයාගෙ බෙල්ලෙ.’’

‘‘මොනවා?’’

‘‘ඔව්.....’’ විකුම් ගේ ස්වරය පහත් විය. ‘‘හිතන්න පුළුවන්ද මොකක් නිසාද කියලා..... ඒ විදිහට තුවාල වුනේ?’’

‘‘..........?’’

‘‘අකිල.....’’ තත්පර කීපයකට පසු විකුම් කටහඬ අවදි කළේය. ‘‘අපට ඇහැට පේන දේට, කණට ඇහෙන දේට එහා ලෝකයක් තියෙනවා මචං. අපට වටහගන්න බැරි..... අපි දන්න දේවලට අනුව විශ්වාස කරන්න බැරි..... අබිරහස් දේවල්, මේ ලෝකෙ හැම කාලෙකම තිබිලා තියෙනවා.’’

‘‘විකුම්?’’

‘‘උඹ දන්නවද.....? පැම්පාස් තණබිම් වල ඉන්නවා වැම්පයර් වවුල්ලූ, උන් රෑට නිදාගෙන ඉන්න සත්තුන්ගෙ උණුසුමට ඇදිලා ඇවිත්, දත් වලින් උන්ගෙ නහර හිල් කරලා, ලේ උරා බොනවා..... හිස් වෙනකල්.....’’

අකිල එක්වරම නැවතී, විකුම්ගේ අත තදින් අල්ලාගත්තේය. ‘‘උඹ කියන්නෙ ඒ වගේ වවුල්ලූ ගැනද? .....මෙහෙ?’’

‘‘මං එහෙම කියන්නෙ නෑ. පේන හැටියට තත්ත්වෙ ඊට වඩා වෙනස්. කොහොම හරි..... අපට මේ ගැන හොයා බලන්න තවත් ටිකක් පහසු වෙලා තියෙනවා.’’

‘‘ඒ කොහොමද?’’


‘‘තවත් මේ ගමේම කෙල්ලෙක්ගෙ බොඩි එකක් අද උදේ හොයාගෙන....., පාළු පිට්ටනියෙ තිබිලා.....’’

4 comments:

  1. මොකද මේ හතරවෙනි කොටස් බර ගාණක් තියන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ඒක ම තමා මටත් අහන්න තියෙන්නේ

      Delete
  2. මොකෝ මේ ඩ්‍රැකියෝ එකම කොලේ විසි තිස් වතාවක් රිපීට් වෙලා !! වවුලා දත් ගැහුවද ලියන අතරේ ?

    ReplyDelete
  3. හෆු..... මේ බ්ලොගර් උන්දැ කොරන දේවල් හින්දා අපේ රෙදිත් නෑතෝ....

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි