අද ඉපදෙන නැවුම් ලොවට හිරු දෙවියනි වරම් දෙන්න

හාත්පස පරිසරය, භූමි දර්ශනය සැතපුම් ගාණක් ඈතට... ඈතට දැකගන්නට පුළුවන් වන තැනකට අපට යාගන්න පුළුවන් වුනොත්, අපේ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක, ඒක අපිට අත්දකින්න ලැබෙන දුර්ලභ සිදුවීමක්...

බතලේගල කන්ද මුදුනෙ තියෙන ගල් ගුහාවක, සපත්තු, ජර්කින් දාගෙන සීතලේ ගැහි ගැහී නිදාගෙන හිටපු අපි, ඉර නැගෙන්න කලින් අවදි වෙලා, හාත්පස මීදුම් වළාකුළින් වැහිච්ච කඳු මුඳුන දැක්කහම හිතට ආව සංකීර්ණ හැඟීම් මාළාව තාමත් මතකයි. ටිකෙන් ටික ඉර නැගෙන්නට ගනිද්දි, ගස්වල කොළ, දළු, මල්, බිම, මහපොළොව, පින්නෙන් පෙඟුණු තණකොළ, ගල් කැට... මේ හැම දෙයක්ම දීප්තිමත් වෙන්නෙ හරියට හිරුගෙ ස්පර්ෂයෙන් ප්‍රබෝධමත් වෙමින් අවදි වෙන්නා වගෙයි.

ගල් කුළ වටා රොක්වෙලා තිබුණ මීදුම ටිකෙන් ටික, තැනින් තැනින් තුනී වේගෙන එද්දි, පහළ මිටියාවත දිහාට ඇගිල්ල දික්කරපු රංග, ‘ජෙන්ට්ල්මෙන්, ප්‍රොමිස් ලෑන්ඩ්..!‘ කිව්වෙ හරියට සීනායි කන්ද මුඳුනෙදි කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඊශ්‍රායෙල් - පලස්තීන භූමි භාගය මෝසස් ට පෙන්නුව දෙවියන් වහන්සේ වගෙයි. ඇත්තටම අළුයම ඒ වගේ දීප්තිමත්, උණුසුම් හිරු එළියෙන් පිබිදීගෙන එමින් තිබුණු පරිසරයක් කොහොමත් සශ්‍රීක සෞභාග්‍යයෙන් පිරුණු බිමක් හැටියටයි පෙනුනෙ.

බතලේගල කන්ද මුදුනෙ ඩ්‍රැකියයි, රංගයි. පින්තූරෙ ගත්තෙ අශෝක හෙවත් අපේ මාළුකාරයා

ඒ හැගීම් වල දියුණු අවස්ථාවක් ගිය අලුත් අවුරුද්දට ගමේ ගියපු වෙලේ අත්දකින්න ලැබුණා. උදෑසන හිරු එළියෙන් සීතල පහව යමින් සිරුරු උණුසුම් වේගෙන එද්දි, කොත්මලේ නදිය අරුණු හිරු එළියෙන් රිදී පාට වේගෙන එද්දි, පුරාණ භාරතීයයන් දියපාරවල් හැම තිස්සෙම සර්පයන්ට සමාන කළේ ඇයි කියන එක වැටහුණා. මිටියාවත හරහා හිනි රිදී ඉරක් වගේ වංගු ගැහෙමින් කොත්මලේ ඔය ගළාගෙන ආවෙ හරියටම දැවැන්ත දිළිසෙන සර්පයෙක් වගෙයි. දෙපැත්තෙ තිබුණු කඳු මුදුන්, දැවැන්ත, ඒත් කුඩාවට දිස්වුණු ගල් පර්වත, වනාන්තර, ගහ කොළ හැම දෙයක්ම හිමිදිරියෙ උදාවෙන හිරුත් එක්ක පිබිදෙන ගතියක් දකින්න තිබුණා.
කොත්මලේ නදිය ඉහළින් නැගගෙන එන හිරු

හිත් ඇතුලේ මොන ප්‍රශ්න, ගැටළු තියාගෙන අවදි වුණත්, ඒවගේ දර්ශනයකින් අපිට අපි කොච්චර කුඩා, නොවැදගත්, නැසෙන සුළු ජීවීන්ද... මේ හාත්පස පැතිරෙන ජීවය, සොබාදහමේ බලවේග මොනතරම් දීර්ඝකාලීනද කියන එක වැටහෙනවා.

අපි මේ කළාතුරකින් අත්දකින දේවල් අපේ මුතුන්මිත්තන්ගේ කාලයෙදිත් මේ විදිහටම තිබුණා. හිරු එළියෙන් නැහැවෙමින් ගහ කොළ, පොළොව, පස් - ගල් කැට, සතුන්, මේ හැම දෙයක්ම හිමිදිරියෙන් අවදි වෙලා, හිරු එළියෙන් උණුසුම් වෙලා, ජීවය ලබාගෙන, හවසට නින්දට වැටුණා. මේ චක්‍රය මේ විදිහටම, අපේ මුතුන් මිත්තන් ගස් මතින් බිමට බැස්ස කාලෙදිත්, දියුණු මානවයන් විදිහට ගම්මාන ඇති කරගත්ත කාලෙදිත් අද දක්වාත්, අපෙන් පසු තවත් කාලාන්තරයක් යනතුරුත්, දිගටම ක්‍රියාත්මක වෙනවා.
අපේ ජීවන රටාවත් එක්ක මේ දේවල් අපිට නැවුම් වුණත්, ඉතාම සරළ ජීවිත ගෙවූ අපේ මීමුත්තන් මේක කොයි විදිහට අත් දකින්න ඇත්ද?

අපේ ඉතිහාසය, ඒකියන්නෙ මානව ඉතිහාසය ගැන තොරතුරු අපට ලැබෙන්නෙ ඉන්දු ඉරානීය ජන කොටස් ගැන තියෙන තොරතුරු ඇසුරින්. ඒ ජන කොටසින් වයඹ දිගට සංක්‍රමණය වූ අය මෙසොපොටේමියාවත්, ගිණිකොණ දෙසට සංක්‍රමණය වූ අය ඉන්දු නිම්නයත් ජනාවාස කළා. ඉන්දු සංස්කෘතියෙන් ඉතිරි වෙලා තියෙන පැරණිම සාහිත්‍යය හැටියට සැළකෙන සෘග් වේදයේ බහුලවම දකින්න තියෙන්නෙ ස්වභාව ධර්මයේ බලවේග දේවත්වයෙන් සැළකීම සහ ඒවා ප්‍රශංසා කරන ගී පැබඳුම්. සූර්ය නමස්කාරය එයින් ප්‍රමුඛයි.
ඒ පුරාණ මිනිසුන්ට තමන්ගෙ ජීවිත, වටාපිටාව ගැන ලොකු බළපෑමක් කළ නියඟ, ගංවතුර, අකුණු, වැස්ස, ආදී දේ පාරභෞතික බලවේග විදියට පෙනෙන එක සාමාන්‍යයි. හැබැයි අනිත් ශිෂ්ඨාචාර වලට වඩා, භාරතීය ශිෂ්ඨාචාරයේ ඒ දේවල් සුන්දර විදිහට දැකපු බව වේද මන්ත්‍ර, යෝග වගේ දේවල් වලින් පේනවා. ඔවුන් කොයිතරම් ස්වභාව ධර්මය වර්ණනා කරනවාද කියනවා නම්, සෘග් වේදයේ තියෙන වර්ණනා, උපමා, අලංකාර ආදිය අද තියෙන සුන්දර ගී පැබඳුම් වලට වඩා සුන්දරයි කියන්න පුළුවන්.

ගහකොළ ආහාර නිපදවන්නෙ හිරු එළියෙන් කියලා, බටහිර විද්‍යාව අපිට උගන්වනවා. වේද සහ ආශ්‍රිත සාහිත්‍යය, අභිචාර වලින් අපේ මුතුන් මිත්තන්ට හුරු කරවලා තියෙනවා, හිරු තමයි පොළොව, ගොවිතැන සරු කරන්නෙ කියලා. සෑම පුරාණ ශිෂ්ඨාචාරයකම මහීකාන්තාව සහ හිරු දේවත්වයෙන් පුදලා තියෙනවා. ඇත්තට හිරු නොවන්නට අපට අව්ව වැස්ස කොහෙන් ලැබෙන්නද? ජල චක්‍රය ක්‍රියාත්මක කරවන්නෙ හිරුයි.පෘථිවියේ කාළගුණික, දේශගුණික විපර්යාස, සෘතු, ශාක පල දැරීම, භෝගවල අස්වනු චක්‍ර... මේ හැම දෙයක්ම පාලනය වන්නේ හිරු ලබා දෙන දායකත්වයෙන්. කොටින්ම මිහිමත ජීවය හටගත්තේම හිරු ගේ ශක්තියෙන් කියලා කියන්න පුළුවන්.

ඉතින් හිරුට කෘතවේදීත්වය දැක්වීම ඕනෙම සත්වයෙකුට කොයිතරම් ගැළපෙනවද? තෛපොංගල් කියන්නෙ ඒ වගේ හිරු දෙවියන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙන් පැවැත්වෙන ඉතාම පුරාණ චාරිත්‍රයක්. ඕනෙම සංස්කෘතියක ඕනෙම අංගයක, මානවයාගේ ජිවිතය පිළිබද ගැඹුරු සත්‍යයක් ගැබ්වෙලා තියෙන බව අවසානයේ අවබෝධ වෙනවා. ඒක හරියට, තාගෝර් ගෙ ‘ගෝරා‘ වගේ විශ්වීය මානවයෙක් බවට පත්වීමක් වගෙයි.

ප/ලි

(පෘථිවියට ජීවය පිට සක්වළකින් ආව බවටත් මතයක් තියෙනවා. ඒ ගැන මෙතන කතා කරන්න අදහස් කරන්නෙ නෑ. ඒ වගේ මතයකින් වෙන්නෙ මූලික ප්‍රශ්නය තව ටිකක් ඈතට ගෙනයාමයි කියන මතය තමා ඩ්‍රැකියත් දරන්නෙ.)

38 comments:

  1. අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න, ඇට්ටර කොලු ගැටයකු ලෙස, 1967 දී බතලේගල කන්ද නැග්ගා මතකයි. ඒ කාලේ මහා ඝන වනයක් මැදින් අපි කොල්ලෝ 15ක් විතර උදේ පාන්දරින්ම ගිහින් හවස ආපහු ආවා. පරිසර චාරිකා කවදත් සුන්දරයි. අර කොත්මලේට ඉර පායන ඡායාරූපය ඉර නැගීගෙන එනකොට තියන රෝස පැහැයෙන් යුත් වෙලාවේ ගත්තානම් තවත් ලස්සනයි. අගනා විස්තරයක්. අගනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කිරි බුදු අප්පච්චියේ උඹත් නැග්ගද? :O
      ඔ්ක බල බල යද්දි එච්චර නොදැනුනාට කකුල ටික් ටික් ගානව තේරුනේ පහුවදා! :D

      Delete
    2. @ විචාරක සහ අලියා

      අපි තුන් දෙනා බයික් දෙකක ගිහිං, පහළ පන්සලක බයික් දාලා, පයින්ම තරණය කළා. හවස 7.30 විතර වෙනකොට කන්ද මුදුනට නැග්ගා. රංගගෙ බියුටේන් කුකර් එකෙන් නූඩ්ල්ස් හදාගෙන, අවටින් කඩාගත්ත තණ පඳුරු වල කෝටු වලින් චයිනිස් ක්‍රමේට කෑවා. ගල් ගුහවක් ඇතුළෙ ඉටි කොළයක් එළාගෙන ජර්කින් දාගෙන නිදාගත්තා. පාන්දර ඇහැරලා දකින්න ලැබුනු දර්ශනය තමයි කවදාවත් ම අමතක නොවෙන අත්දැකීම උනේ.

      Delete
  2. සුපර්ම ලිවිල්ල.. තර්ක ගොඩ නැගුවා කියලා, හිරු වඳින එකා ඒක නවත්තන්නේ නෑ නේ.. ඒත් ඉතින් ඉර නැත්නම්, බොලොගුත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඈ...? ඉර නැත්තං බ්ලොගුත් නෑ...?

      ස්තූතියි මහාචාර්ය මා-තලං...

      Delete
  3. සූර්යයාට, ගහකොළට නමස්කාර කිරීම ගෝත්‍රික ලක්ෂනයක් කියල කිවුවට දැන් මිනිස්සු පරිසරයට කරන හානියෙ හැටියට ගෝත්‍රිකයො කවුද කියන එක නැවත පාරක් හිතන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික ලක්ෂණයක් කියනවට වඩා, ප්‍රාථමික ජන සමාජයේ ලක්ෂණයක් කියන එක වඩා හොඳයි මගෙ හිතේ. පරිසරය සමග සහජීවනයෙන් සහ අගය කිරීමෙන් යුක්තව ජීවත් වීම ගොඩක්ම දකින්න තියෙන්නෙ මුල්ම කාලීන මිනිස්සු අතරෙයි.

      ස්තූතියි ප්‍රසා...

      Delete
  4. නමස්කාර කොරල ගව්රව කරාට අවුලක් නෑ. අනේ දෙයියනේ කියල අඩ අඩ වැද වැටෙන්න්ැතිව.. ඉර නැත්නං මොකක්වත් නෑ තමා.

    අර හිරැ කියල එකියෙක් ඉන්නේ ඒකිනං මේක දැක්කම උඩ යාවි..ආඩම්බර වෙලා.. හැක්

    ReplyDelete
    Replies
    1. හයියෝ.. හිරුවද? හි හි
      මතක් කොරන්ඩ එපා හි හි

      Delete
  5. ඩ්‍රාකී, සෘග්වේදය කියවලා තියෙනවද

    ReplyDelete
    Replies
    1. මා ළග වේද ග්‍රන්ථ හතරම තියෙනවා. තියෙන්නෙ සංස්කෘතෙන්. සංස්කෘත ඉගෙන ගන්නවා දැන් අවුරුදු හතකරක් විතර තිස්සෙ. සෘග් වේදය තවම කියවලා නම් නෑ. හැබැයි සෘග් වේදය ගැන නම් ගොඩක් කියවලා තියෙනවා.

      Delete
    2. ඩ්‍රැකි....තවත් අය ඉන්නවාද සංස්කෘත ඉගෙනගන්න? අහන්නත් සතුටුයි.

      Delete
    3. සංස්කෘත තවමත් භාවිතා කරන(කතා කරන) අය ඉන්දියාවේ ඉන්නවා නේද ?

      Delete
    4. සංස්කෘත හැම දේශිය වෛද්‍යවරයෙක්ම ඉගෙනගන්නවා...

      Delete
    5. තෑන්ක්ස් දේශා.....ඒ බවක් දැණගෙන හිටියේ නැහැ.

      Delete
    6. @ අරූ සහ සුදික
      ලංකාවෙත් සංස්කෘත භාවිතා කරන අය ඉන්නවා. මගෙ වයසෙ අයත් අතළොස්සක් විතර හරි ඉන්නවා. සංස්කෘත භාෂාවෙ මාර ලස්සනක්, අලංකාරයක් තියෙනවා. භාෂා වේදියො කියන්නෙ ඒක පුරුෂ භාෂාවක් කියලයි. මොකද හින්දියෙ වගේ ලාලිත්‍යයක් නෙවෙයි, මාර පෞරුෂයක් ඒකෙ තියෙන නිසා.

      @ දේශකයා
      මගෙ යාළුවෙක් ඉන්නවා ආයුර්වේද ඉගෙනගත්තු. එයත් සංස්කෘත ඉගෙනගත්තා ඒ අයගෙ කැම්පස් එකේදි.

      Delete
  6. කොත්මලේ නම දැක්ක ගමන් මට මතක් වුනේ කොත්මලේ ජලාශය හදන්න යට කරපු පෞරාණික ඉඩම් කඩම් වගේම වෙහෙර විහාර පිළිබද කථාව...අදටත් ජලය අඩුවන කාලයට මතුවන මේ දේවල් දැකගන්න මට හරිම ආශාවක් තියෙනවා...තවමත් කිසිම කිසි දිනෙක මා කොත්මලේ ප්‍රදේශයට ගිහිල්ලා නෑ...මේ ලිංකුවෙන් ගියාම කොත්මලේ ජලාශයට යට වුන පෞරාණික උරුමය පිළිබද කදිම විස්තරයක් තියෙනවා...
    http://www.nadegura.com/sinhala/2011/09/kadadora-raja-maha-viharaya/

    ReplyDelete
    Replies
    1. සිරා පට්ටම සයිට් එකකටනෙ ලිංක් එක දීලා තියෙන්නෙ. ස්තූතියි ඈ...

      වෙලාවක යං අපිත් එක්ක... අපේ මිසිස් ඩ්‍රැකියගෙ ගම් පළාත තමා කොත්මලේ. ඒ ගොල්ලංගෙ ගේත් යට වුණා කියනව ඔය ජලාශයට.

      Delete
    2. හැබෑට...ජල මට්ටම අඩු වෙන කාලෙක අනිවාර්යෙන්ම යමු...

      Delete
    3. මම අපේ ගෙදර ඇත්තිට කිව්වෙ, ඒක කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දකිනවා වගේ වෙයිද දන් නෑ කියලා. මොකද, සිරා ලංකාවට එන්න ඕනෙ. වතුර මට්ටම අඩු වෙන්න ඕනෙ වගේ සාධක ගැළපෙන්න ඕනෙ නිසා. කොහොම හරි යමු...!

      Delete
  7. මම කොළඹ පැත්තට යන තරමක් යන්නේ දුම්රියේ.. ඒ යනකොට බලන- කඩිගමුව අතර අලගල්ල, බතලේගල හොඳට පේනවා.. මම ෆොටෝ අරනුත් තියනවා.. ඒ හැම වෙලාවකම මට මතක් වෙන්නේ,
    බතට කන්න බැරි බතලේගල කන්ද...
    අලට කන්න බැරි අලගල්ලේ කන්ද...
    හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද..
    මේ තුන් ගලට අධිපති සිරිපා කන්ද..

    කියන සිව්පදයයි..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අගහරුවා.
      මාත් ඔය සීපදේ අහල තිබුණට, මතක තිබුණෙ නෑ.

      Delete
  8. වන්දනා මාන හුඟ දෙයක්ම තියෙන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය මතනේ ඉතින්.. ඒකේ ලොකු වරදකුත් නෑ.. බැහැයි ඕනවට වඩා ඇදහිල්ල තමයි වරද..

    ReplyDelete
    Replies
    1. මට නං ප්‍රශ්නෙ තියෙන්නෙ ඇදහිල්ල වත් අන්ධ භක්තිය වත් නෙමෙයි. ඒක හරියට අර විමලරත්න කුමාරගම කියපු, ‘මමම නොකෙරුවත් නොකළෙමි එය ගැරහීම...‘ වගේ දෙයක්.

      මේ හැම දෙයක්ම මානව සංස්කෘතියෙ අංග. ඒවා බිහිවෙලා තියෙන්නෙ ගොඩක් දුරට මානවයා පරිසරයත් එක්ක තිබුණු බැඳීමත් එක්ක කියලා මට හැඟෙනවා.

      ස්තූතියි දිනේශ් අදහසට...!

      Delete
  9. //// ඕනෙම සංස්කෘතියක ඕනෙම අංගයක, මානවයාගේ ජිවිතය පිළිබද ගැඹුරු සත්‍යයක් ගැබ්වෙලා තියෙන බව අවසානයේ අවබෝධ වෙනවා. ///////

    මේ සත්‍යය තේරුම් ගන්නට පුළුවන් කමක් තියෙන මිනිසුන් බිහිවේවා කියලා පතනවා.

    ඩ්‍රැකිගේ ලිපි මගේ අත්දැකීම් ගොන්නට තවත් දේ එකතු කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ... ස්තූතියි

      Delete
  10. මිනිස්සු කෘත ගුණ දැක්වීමක වශයෙන් වන්දනා කරන එකේ වැරද්දක් නෑ. හිතන්න අද කාලේ වගාවකට නොමිලේ කියලා හම්බ වෙන්නේ ඉරු එලිය විතරයි නේ.

    අනේ ඩ්‍රැකියෝ මට බතලේගලට යන පාර කියලා දීපං. දැන් නම් යන්නම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මට රිප්ලයි කරන්න පරක්කු වුනානේ සුදික. සොරි ඈ.

      උඩින් කියල තියෙන අදහස එක්ක නං මාත් එකඟයි 100% ක්ම.

      මතක හැටියට අපි බතලේගළ ගියෙ මාවනැල්ල ටවුමට කලින් දකුණට හැරෙන්න තිබ්බ පාරක් දිගේ. මගෙ යාළුවෙක් ඉන්නවා, මාවනැල්ලෙ. එයාගෙන් අහලා හරියටම කියන්නම්. හෙට දවස දෙන්න.

      යනව නම්, අපි වගේ හවස නැගලා, ගළ උඩ නිදාගෙන උදේ අවදි වෙන්න හිතාගෙන යන්න. මාර දර්ශනයක් තමා තියෙන්නෙ.

      Delete
  11. පරිසර චාරිකා කියන්නෙ කොහොමත් සිත සනහන සෙයක්.. ගත වෙහෙසුනත්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ චන්දන, කොහෙද ගිහිං හිටියෙ?

      Delete
  12. නියම ගමන ඩ්‍රැකියා...

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ධනා. වෙලාවක ගිහිං එන්න...

      Delete
  13. "ඉතාම සරළ ජීවිත ගෙවූ අපේ මීමුත්තන් මේක කොයි විදිහට අත් දකින්න ඇත්ද?" ඇත්තටම ඩ්‍රැකි මේ වගේ ගමනක් යන්න මටත් ආසයි ඒ වගේම ඒ සරල විදියට ජීවත් වෙන්න අපි හැමකෙනෙක්ම ආසයි අධිරාජ්‍යවාදීන් අපේ ඔළුගෙඩි වලට මේ විච්චූරණ දාලා නැත්නම් අපි අදටත් හරිම සරල ජාතියක් අවශ්‍යතාවයන් සීමිත වෙන තරමට ඒ ජීවිතේ සරලයි

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි...

      හැබැයි මං අර උඩ තියෙන වගන්තියෙන් අදහස් කළේ, ජනාවාස පටන්ගන්න අවධියේ හිටපු ප්‍රාථමික මිනිස්සුන්ගෙ ජීවිත ගැන. කුඩා කුඩා ගම්මාන බිහිවෙන කාලේ, ඒ මිනිස්සු අවට පරිසරය ගැන වුණත් කොච්චර අල්ප ප්‍රමාණයක්ද දන්නේ? අවශ්‍යතා වුණත් බොහොම අතළොස්සයි.

      Delete
  14. උඹ චාරිකා සටහනට මේ කරුණු ලස්සනට ඔබ්බලා තියෙනවා. මමත් හරිමා ආසා දෙයක් තමයි කඳු තරණය. ඉස්සර ඔය රූ හෙම එහෙම කරපුවා බ්ලොගේත් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඩූඩ්, මිසිස් ඩ්‍රැකියගෙන් ඉල්ලගත්තු පැයක කාලය ඇතුළෙ ලියන්න පුළුවන් තරම් දේවල් සංක්ෂිප්ත කරලා ලිව්වා.

      කඳු තරණය මටත් හිතට වැදුනෙ බතලේගලින්ම තමයි.

      Delete
  15. මමත් ආසම පැත්තක් කොත්මලේ කියන්නේ.එත් ඉතින් තාමත් යන්න අවස්තාවක් ලැබිලා නැහැනේ..:(

    ReplyDelete
    Replies
    1. යංකො ඉතිං වෙලාවක...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි