‘‘....කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත
දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු, නිපුණ අතකින් සාදන ලද ඒවා විය. කූඩුවෙහි එක්
මුල්ලක කුරුල්ලකුගේ මළ සිරුරක් වැතිර තිබිණ. තවත් මුල්ලක දිය සිඳී ගිය බඳුනක් ද,
ධාන්‍ය ඇට නොමැති තැටියක් ද විය.
‘‘නිහැඬියාවෙන් මඬිනු ලැබ නැඟී සිටි මම, කුරුලූ මළ සිරුර තුළ ද, දිය පාරේ හඬ තුළ ද හදවත සොයා යන්නා වූද,
හෘද සාක්ෂ්‍යය ඉල්ලා සිටින්නා වූ ද, දේශනයක් සැඟව තිබුණාක් මෙන් යටහත් පහත් ව සවන්
දී හුන්නෙමි. මම කල්පනාවෙහි ගිළී කරුණු සළකා බැලූවෙමි. ගළා යන දිය පාරක් පසෙක
තිබිය දී කුරුල්ලා පිපාසයෙන් මිය ගොස් ඇති බව ද, ජීවිතයෙහි ම තොටිල්ල වූ කෙත් බිම් මැද දී ඌ සාගින්නෙන් විනාශ වී ඇති
බව ද මම තේරුම් ගත්තෙමි. ඒ, තමා ගේ භාණ්ඩාගාරය තුළ සිර වූ ධනවතෙකු
තමා සතු රන් ගොඩවල් අතර දී මිය යන්නාක් මෙනි.
‘‘කූඩුව මිනිසකු ගේ වියළී ගියා වූ ඇට
සැකිල්ලක් බවට ද, මළ කුරුල්ලා මිනිස් හදවතක් බවට ද පෙරැළී
ඇති අයුරු මඳ වේලාවකට පසුව මම දුටුවෙමි.....’’
(ඛලීල් ජිබ්රාන් - ‘කඳුළු බිඳක් හා සිනා බිඳක්’, පරිවර්තනය - ආනන්ද අමරසිරි, 2009, පිටුව 37)
මනුෂ්‍යයා සහ ස්වභාව ධර්මය පිළිබඳ
ගැඹුරු දිව්‍යමය දර්ශනයක් සුරුබුහුටි සරළ බසකින් විශද කළ දාර්ශනික කවියෙකු ලෙස
ඛලීල් ජිබ්රාන් වඩා ප‍්‍රකටය. ඔහුගේ භාෂාව මානව භාෂාවට පමණක් සීමා නොවීම ම,
ඔහුගේ පෘථුල දැක්ම පිළිබිඹු කරයි. කාව්‍යකරණය,
චිත‍්‍ර ශිල්පය, දෘෂ්‍ය කාව්‍ය හෙවත් නාට්‍ය, ආදී මාධ්‍ය රාශියක පැතිරී ගිය සන්නිවේදනයක් සිය ආධ්‍යාත්මික නිර්වහනය
උදෙසා බුහුටි ලෙස හසුරවාගැනීමෙන් හෙතෙම ශාස්තෘවර සාහිත්‍යධරයෙක් ලෙස අසමසම බවක්
හිමිකර ගත්තේ ය.
අමෙරිකානු සෞන්දර්යවාදය අතරින් ඉස්මතු
වන මැදපෙරදිග සාමයික හා පාරිසරික රිද්මය ජිබ්රාන් ගේ දර්ශනය තුළ අනන්‍යව පවතින
ගුණාංගය යි. බටහිර නූතනවාදී, ක‍්‍රිස්තියානි හුරු කලාව තුළින්,
ලෙබනනයේ දේවදාර ගස් අතරින් හමන කඳුකර පවනේ
සුසුම හා කළවම් වූ මිනිසුන් ගේ ආධ්‍යාත්මික ගැඹුර ඔහු වහනය කරයි. මැදපෙරදිග ට
ආවේණික පරිසරය සහ ස්වභාව ධර්මයේ අංගෝපාංග අතරින්, මනුෂ්‍යයාගේ පාරභෞතික අපේක්ෂාවන් හා ආශාවන්, සංස්කෘතිය විසින් සළසන පහසුව මධ්‍යයේ හටගන්නා
අපේක්ෂා භංගත්වය සහ ධනයේ හා සමාජ ස්තරායනයේ භෞතිකවාදී බලපෑම ඉක්මවා යන
විශ්වීයත්වයක් කරා යොමු වූ දැක්මක්, ඔහුගේ
දර්ශනයට වස්තු විෂය වෙයි. අමෙරිකාවේ වෙනුවට ඔහු ඉන්දියාවේ ජීවත් වූයේ නම්, ඕෂෝ වැනි ශාස්තෘවරයෙකු හැටියට මීට වඩා
වැඩි යුරෝපීය අවධානයකට ලක් වීමට ත්, ආසියාතිකයන්
ගේ ඇදහිල්ලට එකතු වන තවත් දිව්‍යමය ආත්මයක මානුෂික පිළිබිඹුවක් බවට පත් වීමටත් ඉඩ
තිබූ බව ඇතැමෙක් පවසති.
මූලික තොරතුරු
උපත - 1883 ජනවාරි මස 06 වන දින ඔටෝමන් සිරියාවේ (වර්තමාන
ලෙබනනය) ලෙබනන් මුතාසාර්රිෆාතේ කඳු ප‍්‍රදේශයේ බ්ශාර්රි හි දී ජුබ්රාන් ඛලීල් ජුබ්රාන් නමින් උපත
ලැබුවේ ය.
මිය ගියේ - 1931 අපේ‍්‍රල් 10 වන දින හෙවත් වයස අවුරුදු 48 දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී ය.
ක්ෂේත‍්‍රයන් - කාව්‍ය කරණය, චිත‍්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛන කලාව, දර්ශනය, දේවධර්මය, දෘෂ්‍ය කලා.
ජාතිකත්වය - ලෙබනනීය-අමෙරිකානු.
කලා රීතීන් - කාව්‍ය, දෘෂ්ටාන්ත, කෙටිකතා.
ශාස්ත‍්‍රීය ව්‍යාපෘතීන් - මහ්ජාර් - නිව්යෝර්ක් හි ලේඛක ලීගය.
සුප‍්‍රකට කෘතීන් - ‘මුනි’ (The Prophet)
ඛලීල් ජිබ්රාන් (1883.01.06 -
1931.04.10), ලෙබනනීය අමෙරිකානු කලාකරුවෙක්, කවියෙක් සහ ලේඛකයෙක් විය. ගැටවර අවධියේ දී ඔහු
සිය පවුලේ අය සමඟ අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ අතර, එහිදී කලා අධ්‍යාපනය ලැබ, සිය සාහිත්‍ය කාර්යය ඇරඹීය. හෙතෙම 1923 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ‘මුනි’ නම් ග‍්‍රන්ථය මඟින් ලොව පුරා ප‍්‍රකට නමක් හිමි කර
ගත්තේ ය. මෝක්ෂීය ප‍්‍රබෝධාත්මක සාහිත්‍යය ට අයත් මුල්කාලීන උදාහරණයක් වූ එහි,
ඉංග‍්‍රීසි කාව්‍යමය ගද්‍යයෙන් ලියැවුණු
දර්ශනාත්මක රචනා මාලාවක් අඩංගු විය. ඒ කෙරෙහි නැඟුණු සීතල දෝෂ විචාරය ද නොතකා එම ග‍්‍රන්ථය
හොඳින් අලෙවි වූ අතර, 1960 ගණන් වල විරෝධාකල්පිත සංස්කෘතිය තුළ
අත්‍යන්තයෙන් ජනප‍්‍රිය වූයේ ය. ඕනෑම
කාලයක වැඩිම අලෙවියක් හිමිකරගත් තෙවැනි කවියා ජිබ්රාන් වෙයි. (පළමුවැනියා
ෂේක්ස්පියර් වන අතර දෙවැනියා ලා ඕ-ත්සු ය.)
ලෙබනනයේ ජීවිතය
ජිබ්රාන්, බ්ශාර්රි නගරයේ දී (වර්තමාන උතුරු ලෙබනනයේ) මැරොනයිට් පූජකයෙකුගේ දුවකගේ කුසින් මෙළොවට බිහි විය. කමිලා නම් වූ ඔහුගේ මව, එවක තිස් හැවිරිදි වියේ පසු වූ අතර,
ඔහුගේ පියා වූ ඛලීල් ඇයගේ තෙ වැනි සැමියා විය.
පවුලේ පැවති දුගී බව නිසා ජිබ්රාන් හට ළමා අවධියේ දී ක‍්‍රමවත් අධ්‍යාපනයක් ලැබිය
හැකි නොවීය. එහෙත් නිතරම ඔහු වෙත ආ පූජකවරුන් ඔහුට බයිබලය පිළිබඳව මෙන්ම, අරාබි හා සිරියානු භාෂාවන් ද උගැන්වූහ.
ජිබ්රාන් ගේ පියා මුලින් ඇපොතිකරි වරයෙක් ලෙස වැඩ කළත්, සූදුවෙන් ණයගැති වීම නිසා, පසුව ඔටෝමන් වරුන් විසින් පත් කරන ලද ප‍්‍රාදේශීය පරිපාලකයෙකූ යටතේ
වැඩකරන්නට පටන් ගත්තේ ය.
1891 දී පමණ මෙම පරිපාලකයා පිළිබඳව කුපිත
වූ ජනතාවගෙන් නැඟුණු පැමිණිලි රාශිය නිසා, ඔහු ඉවත් කරුණු අතර, ඔහුගේ
කාර්ය මණ්ඩලය පරීක්ෂණයට ලක් කෙරුණි. ජිබ්රාන් ගේ පියා මුදල් අයථා අපහරණය පිළිබඳව
චෝදනා මත සිරභාරයට පත් විය. ඒ අතර, බලාධිකාරීන්
විසින් ඔහුගේ පවුලේ දේපල රාජසන්තක කරන ලදි. සිය නිවස අහිමි වූ කමිලා ජිබ්රාන්
කලින් අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ සිය සොහොයුරා අනුගමනය කරන්නට තීරණය
කළා ය. 1894 දී ජිබ්රාන් ගේ පියා නිදහස් කෙරුණ ද, කමිලා සිය තීරණයේ නොසැලී සිටි අතර, 1895 ජූනි මස 25 දින ඇය ඛලීල්, ඔහුගේ නැගණියන් වූ මරියානා හා සුල්තානා සහ
ඔහුගේ වැඩිමහල් අඩ සොහොයුරා වූ පීටර් (භූත්‍රොස්) ද කැටිව නිව් යෝර්ක් බලා පිටත් වූවා
ය.
අමෙරිකා එක්සත් ජනපදයේ දී
ජිබ්රාන් පවුල බොස්ටන් හි සවුත් එන්ඞ්
ප‍්‍රදේශයේ පදිංචි වූහ. එම ප‍්‍රදේශය එවක අමෙරිකා එක්සත් ජනපදයේ වූ දෙවැනි විශාලතම
සිරියානු/ලෙබනන සමාජය විය. පාසැලේ දී සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් ඔහු
ලියාපදිංචි කෙරුණේ කඃලීල් ජිබ්රාන් නමිනි.
ඔහුගේ මව ගෙයින් ගෙට යමින් සුළු සුළු
මැහුම්, රේන්ද සහ ලිනන් විකිණීමට පටන් ගත්තා ය.
ජිබ්රාන් 1895 සැප්තැම්බර් මස 30 දින සිට පාසැල් යාම ඇරඹීය. පාසැලේ නිලධාරීහු,
ඉංග‍්‍රීසි උගැන්ම සඳහා ඔහු විශේෂ පංතියකට
ඇතුළත් කළහ. ජිබ්රාන්, අසළ පිහිටි සමාජ සුභසාධක මධ්‍යස්ථානයක
පැවති කලා ශාස්ත‍්‍රාලයකට ද ඇතූළත් වුණි. එහි ගුරුවරුන් හරහා ඔහුට බොස්ටන් හි
පුරෝගාමී කලාකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු හා ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු
වූ ෆ්‍රෙඞ් හොලන්ඞ් ඩේ හඳුනාගත හැකි විය. ඔහු ජිබ්රාන් ගේ
නිර්මාණශීලී උත්සාහයන් දිරිමත් කරමින්, සහයෝගය
දැක්වූයේ ය. එක් ප‍්‍රකාශක වරයෙක් 1898 දී
ජිබ්රාන් ගේ චිත‍්‍ර කිහිපයක්, පොත් කවර සඳහා යොදා ගත්තේ ය.
ජිබ්රාන් ගේ මවට ත් අයියාට ත් උවමනා
වූයේ, ඔහු ආකර්ෂණය ව සිටි බටහිර
සෞන්දර්යාත්මක සංස්කෘතිය පමණක් ම නොව සිය පාරම්පරික සංස්කෘතිය ද වඩ වඩා උකහා ගැනීම
කෙරෙහි යොමු කරවීමට ය. එහෙයින් පහළොස් හැවිරිදි වියේ දී ඔහු බේරූට් හි මැරොනයිට්
වරුන් විසින් පවත්වාගෙන ගිය ප‍්‍රාරම්භක හා උසස් අධ්‍යාපන ආයතනයේ උගැන්ම සඳහා සිය
මව්බිම කරා නැවත පැමිණියේ ය. එහි දී ඔහු සගයෙකු සමඟ සාහිත්‍ය සඟරාවක් ආරම්භ කළ අතර,
පසුව ‘විද්‍යාලයේ කවියා’ හැටියට ද තෝරාගනු ලැබී ය. වසර කිහිපයක්
එම විද්‍යාලයේ ගත කළ හෙතෙම ආපසු 1902
මැයි දහ වන දින එළිස් අයිලන්ඩ් හරහා බොස්ටන් වෙත ආයේ ය. ඔහු ගේ
පැමිණීමට සති දෙකකට පෙර දහ හතර හැවිරිදි වියේ පසු වූ ඔහුගේ නැගණිය වූ සුල්තානා
ක්ෂය රෝගය නිසා මිය ගියා ය. ඊළඟ වසරේ දී ඔහුගේ සොහොයුරා වූ පීටර් එම රෝගයෙන් ම ද,
ඔවුන්ගේ මව පිළිකා රෝගයෙන් ද මිය ගිය හ.
මරියානා ඇඳුම් මසන්නෙකුගේ සාප්පුවක වැඩට ගොස් තමන්ගේ ත්, ජිබ්රාන් ගේ ත්, නඩත්තුව සළසා ගන්නට පටන් ගත්තා ය.
කලාව සහ කවිය
ජිබ්රාන් තම පළමුවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනය
1904 දී බොස්ටන් හි ඩේ ගේ කලාගාරයේ දී
පැවැත්වී ය. මෙම ප‍්‍රදර්ශනයේ දී ඔහු ට තමන්ට වසර දහයකින් ජ්‍යෙෂ්ඨ විද්‍යාලයාධිපතිනියක
වූ මේරි එළිසබෙත් හැස්කල් හමු විය. ඉන් හටගත් මිත‍්‍රත්වය ජිබ්රාන් ගේ ජීවිත කාලය පුරාම පැවතිණ.
හැස්කල්, ජිබ්රාන් ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම
ඔහුගේ කලා ජීවිතය කෙරෙහි ද බලපෑමක් ඇති කළා ය. 1908 දී හෙතෙම ඕගස්ට් රෝඩින් සමඟ වසර දෙකක් කලාව හැදෑරීම පිණිස පැරිසිය ට ගියේ ය. ඔහුට සිය
යව්දිව් මිතුරා සහ හවුල්කරු බවට පත් වූ යෝසෙෆ් හොවයෙක් හමු
වූයේ එහිදී ය.
ජිබ්රාන් ගේ හිතවතෙකු වූ ජුලියට්
තොම්සන්, ඔහු පිළිබඳ වෘතාන්ත කිහිපයක් වාර්තා
කරයි. බාබි ආගමික සංවිධානයක් වූ බාහා ඉ ෆේත් හි නායකයා වූ අබ්දුල් බාහා 1911 -
1912 දී පමණ එක්සත් ජනපදය ට පැමිණි අවස්ථාවක
ජිබ්රාන් ඔහු හමු වූ බව ඉන් එක කි. ‘ලෙබනනයෙන්
පැමිණි මේ මිනිසා: ඛලීල් ජිබ්රාන්’ නම් කෘතියේ දී බාබරා යංග් පවසන පරිදි, විද්ධ චිත‍්‍රය දෙකක් සඳහා අබ්දුල් බාහා පෙනී
සිටීමට පැමිණීමට කලින් දින රාත‍්‍රියෙහි ජිබ්රාන් හට නින්ද ගියේ ද නැත. ‘ජේසු නම් මනුෂ්‍ය පුත‍්‍රයා’ (Jesus the Son of Man) ලියන ලද කාලය පුරා ජිබ්රාන් අබ්දුල් බාහා
පිළිබඳව සිතමින් සිටි බව තොම්සන් වාර්තා කරයි. වසර ගණනකට පසු බාහා ගේ මරණයෙන් පසුව
ඔහු පිළිබඳව නිපැයුනු චිත‍්‍රපටයක් දැකීමෙන්, ඛලීල් ජිබ්රාන් කඳුළු සහිතව ඔහු ගේ උත්කෘෂ්ට භාවය පිළිබඳව කතා කළ අතර,
එම සන්ධ්‍යා කාලය හඬමින් ගත කළේ ය.
ජිබ්රාන් ගේ මුල් කාලීන රචනා අරාබි
බසින් කෙරුණ ද, 1918 ට පසුව පළවූ බොහෝ කෘති ඉංග‍්‍රීසියෙන්
පළකෙරුණි. 1918 දී ඇල්ෆ‍්‍රඞ් ඒ. නොෆ් ප‍්‍රකාශක ආයතනය මඟින් පළ කෙරුණු ඔහුගේ පළමු පොත ‘උමතු මිනිසා’ (The Madman) ය. එය ආප්ත වචන සහ
දෘෂ්ටාන්ත ඇතුළත් ව බයිබලීය යතියකින් ගැදි හා පැදි අතර ශෛලියකින් ලියැවුණු පොත්
පිංචක් විය. එසේම ඔහු ‘නිව් යෝර්ක් පන්හිඳ ලීගය’ (Newyork Pen League) හෙවත් ‘සාංක‍්‍රමණික කවියෝ’ හි සාමාජිකයෙක් ද වූයේ ය. එහි සමකාලීන සාමාජිකයන් අතර,
ලෙබනනීය අමෙරිකානු රචකයන් වූ අමීන් රිහානි, එළියා අබු මාදි සහ
මිඛායිල් නයිමි ද වූහ. නයිමි, ජිබ්රාන් ගේ කිට්ටු මිතුරෙකු මෙන් ම, ගෞරවයට පත් අරාබි සාහිත්‍යධරයෙක් ද විය. ඔහුගෙන් පැවතෙන්නන් ජිබ්රාන්
විසින් තමන්ගේ ම දරුවන් ලෙස සැළකන ලද අතර, ඔහුගේ බෑණෙකු වූ සමීර් ගේ ඥාණ පියා වූයේ ද, ජිබ්රාන් ය.
ඛලීල් ජිබ්රාන් ගේ බොහෝ ලියවිලි,
විශේෂයෙන් ම ආධ්‍යාත්මික පේ‍්‍රමය පිළිබඳව
ලියැවුණු දේ ක‍්‍රිස්තියානි සමය සමඟ බද්ධ වෙයි. ඔහු ගේ කවිවල විශේෂ ලක්ෂණ වන්නේ
ආකෘතික භාෂාවක් භාවිත වීම සහ ජීවිතය පිළිබඥ තේමාවන් හි අන්තර් දෘෂ්ඨිය හෙළීමේදී
ආධ්‍යාත්මික වදන් භාවිතා කිරීම යි. ජිබ්රාන් ගේ වඩාත් ප‍්‍රකට ම කෘතිය වන්නේ පද්‍යමය
රචනා විසි හයක් ඇතුළත් වූ ‘මුනි’ ය. එය 1960
ගණන් වල අමෙරිකානු ප‍්‍රති සංස්කෘතිය සහ නව යුගය ව්‍යාපාරයන්
සමඟින් විශේෂ ජනප‍්‍රියතාවකට පත් විය. ‘මුනි’
1923 පළමු වර ප‍්‍රකාශයට පත් කෙරුණා ට පසුව නැවත ප‍්‍රකාශයට
පත් කෙරුණේ නැත. සිංහල ද ඇතුළුව භාෂා 40කට
ත් වඩා ගණනකට පරිවර්තනය කරන ලද මෙය, විසි
වන සියවසේ අමෙරිකාවේ හොඳම අලෙවියක් ඇති පොත් අතරට එක් විය.
ඉංග‍්‍රීසි භාෂක සමාජයේ ප‍්‍රකට වූ
ඔහුගේ හොඳම කියමනක් වන්නේ, ‘වැලි සහ පෙණ බිඳු’ (Sand and Foam - 1926) හි ඇතුළත් වන ‘මා පවසන දෙයින් අඩක් අරුත්සුන් ය. එහෙත් ඒ මා පවසන්නේ අනෙක් අඩ ඔබ
වෙත සම්පේ‍්‍රෂණය වීම උදෙසා ය.’ යන්න යි. මෙම වැකිය 1968 දී ජෝන් ලෙනන් විසින් මඳක් වෙනස් කොට සිය ගායක
කණ්ඩායමේ ගීතයක් වන ‘ජූලියා’ හි යොදාගෙන තිබේ.
දේශපාලනික චින්තනය
ඛලීල් ජිබ්රාන්, අරාබි බස සිරියාවේ ජාතික භාෂාවක් කරන ලෙසත්,
සියළුම පාසැල් මට්ටම් වල විෂය මාළාවන් ට ඇතුළත්
කරන ලෙසත් බළ කළ බව පැවසේ. 1911 - 12
අතර කාලයේ සාම ව්‍යාපාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය ට පැමිණි අබ්දුල් බාහා හමුවූ
විට ජිබ්රාන්, සාමය පිළිබඳ ඔහු ගේ අදහස් අගය කළ නමුත්,
සිය ජාතිය වැනි ළදරු ජාතිකත්වයන් ඔටෝමන් පාලනයෙන්
නිදහස් විය යුතු බවට තර්ක කෙළේ ය. ඔහු සිය සුප‍්‍රකට කවියක් වූ ‘සානුකම්ප්‍ය ජාතිය’ (Pity the Nation) ලියන
ලද්දේ මෙම කාලයේ දී ය. එය ජිබ්රාන් ගේ මරණින් පසුව පළ වූ ‘මුනිවරයා ගේ උද්‍යානය’ (Garden of the Prophet) ග‍්‍රන්ථයට ඇතුළත්
විය.
පළමු වන ලෝක යුද්ධයේ දී සිරියාවෙන්
ඔටෝමන් වරුන් පළවා හරිද්දී, ‘සිරියාව නිදහස් කරනු’ (Free Syria) නම් දළ සටහන මඟින් ජිබ්රාන්
පළකළ ප‍්‍රමෝදවත් අදහස් අල්-සායිහ් පුවත්පතේ විශේෂ විජයග‍්‍රහණ කළාපයේ
මුල් පිටුවේ පළ වූ බව කියැවේ. ඔහුගේ ලියවිලි අතර තවමත් පවතින නාට්‍ය ලූහු පිටපතක,
ජාතික නිදහස හා අභිවෘද්ධිය පිළිබඳව සිය ඉමහත්
අපේක්ෂාවන් ඔහු පළ කර තිබේ. ඛලීල් හාවි ට අනුව, මෙම නාට්‍යය මඟින්, ලෙබනනීය සහ අරාබි ජාතිකත්වයන් ගෙන් වෙන් වූ සිරියානු ජාතිකත්වයක්
පිළිබඳ සිය ඇදහීම ජිබ්රාන් පළ කරන අතර, එවැනි
මෑත කාලයක දී පවා ඔහු ගේ මනස තුළ ජාත්‍යන්තරවාදය සහ ජාතිකවාදය සමතැන් ගෙන පැවති බව
පැහැදිළි වෙයි.
මරණය සහ ඔහු ඉතිරි කොට ගිය දේ
‘‘.... සියලූ පිරිස් විසිර ගිය පසුත්, ඈ මුහුදු තීරයේ පවුර මත හුදෙකළාව සිටගෙන ඔහු ගේ
මේ වදන් සිය හද තුළින් සිහි කළාය;
‘තව ඇසිල්ලකි, සුළඟ මත්තේ මොහොතක් තුළ ලබන විවේකයකි. වෙනත් ස්ත‍්‍රියක විසින් මා
බිහි කරනු ඇති’.... ’’
(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, අවසන් පේළි දෙක)
ඛලීල් ජිබ්රාන් 1931 අපේ‍්‍රල් මස 10 වන දින නිව් යෝර්ක් හිදී මිය ගියේ ය. ඔහුගේ මරණය ට හේතු වශයෙන්
නිගමනය කෙරුණේ අක්මාවේ සිරෝසිස් තත්ත්වය සහ ක්ෂය රෝගය යි. මරණය ට පොරොතුව තමා
ලෙබනනයේ භූමදාන කරනු ලැබීමට ඇති අපේක්ෂාව ඔහු ප‍්‍රකාශ කර තිබුණි. මෙය 1932 දී ඉටු කරන ලදි. ඔහුගේ නැගණිය වූ මරියානා සහ
මේරි හැස්කල් ලෙබනනයේ මාර් සාර්කිස් ආරාමය මිලට ගත් අතර, එතැන් සිට එය ජිබ්රාන් කෞතුකාගාරය බවට පත්
කෙරුණි. ජිබ්රාන් ගේ සොහොනේ ලියා ඇත්තේ, ‘මගේ සොහොන මත මා දැකීමට කැමති වචන වන්නේ: මම ද, ඔබ සේ ම ජීවමාන ය, මම ඔබේ පසෙකින් සිටිමි. දෑස් පියාගෙන හාත්පස බලන්න, ඔබ ඉදිරියේ මා සිටිනු දැකගත හැකි වනු ඇත.’
යන වැකි පෙළ යි.
ලෙබනනයේ බ්ශාර්රි නගරයේ ජිබ්රාන් අවසන් නින්දේ සැතපෙන ස්ථානය හා
ඛලීල් ජිබ්රාන් කෞතුකාගාරය
වොෂින්ටන් ඞී. සී. හි ඛලීල් ජිබ්රාන් ස්මාරකය
ජිබ්රාන් සිය අවසන් කැමැත්තෙන් තම
කලාගාරය මේරි හැස්කල් හට පැවරී ය. එහිදී ඇය ට හමු වූයේ ඇය විසින් වසර විසි තුනක්
පුරා ලියන ලද ලිපි ය. මුලින් ඇය ඒවායෙහි අඩංගු දැඩි ළෙංගතු බව නිසා පුළුස්සා දමන්නට
අදහස් කළත්, එහි ඇති ඓතිහාසික අගය හේතුවෙන් පසුව එම
ලිපි ආරක්ෂා කළා ය. ඇය 1964 දී මිය යන්නට පෙර, එම ලිපි තමන් හට ජිබ්රාන් ගෙන් ලැබුණු ලියුම්
එකතුව ද සමඟ චැපල් හිල් හි උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ පුස්තකාලය ට පරිත්‍යාග
කළා ය. ලිපි හය සියයකට ත් වැඩි එම එකතුවෙන් උකහා ගන්නා ලද කොටස්, 1972 දී ’ආදරණීය කවියා’ (Beloved Prohet) යන ග‍්‍රන්ථයේ පළ කෙරුණි.
මේරි හැස්කල් මිනිස් (ඇය 1923 දී ජේකබ් ෆලොරන්ස් මිනිස් හා විවාහ විය)
ජිබ්රාන් ගේ මුල් කලා කෘති සියයකට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළත් වූ ඇගේ පෞද්ගලික එකතුව
1950 දී ජෝර්ජියා, සැවැන්නා හි ටෙල්ෆෙයාර් කලා කෞතුකාගාරය ට පරිත්‍යාග කළා ය. එය අමෙරිකා එක්සත් ජනපදයේ ඇති විශාලතම
ජිබ්රාන් ගේ දෘෂ්‍ය කලා එකතුව යි. එහි, සංකේතනවාදයේ
බලපෑම ප‍්‍රකට කරවන පරිදි, කවියාගේ පැදි වල ඇතුළත් ශෛලියම දැකිය
හැකි වන තෙල් සායම් සිතුවම් පහක් ද, ගණනය
කළ නොහැකි කඩදාසි සිතුවම් ද ඇතුළත් වෙයි. අමෙරිකාවේ ඔහුගේ ග‍්‍රන්ථ වල අනාගත
කර්තෘභාගය, ‘යහපත් අරමුණු උදෙසා භාවිත කෙරෙනු පිණිස’
සිය මව් නගරය වන බ්ශාර්රි වෙත පවරා තිබේ. එහෙත්,
එය බෙදාහැරීම වසර ගණනාවක් තිස්සේ මතභේදයට හා
සැහැසිකම්වලට පදනම් වූ කරුණක් විය. අවසානයේ ලෙබනන රජය එහි භාරකාරත්වය පවරා ගත්තේ
ය.
ඛලීල් ජිබ්රාන් ගේ විශ්වීය දර්ශනයේ එක්
පැතිකඩක් පහත ගැදි කාව්‍යයෙන් පැහැදිළි වෙයි.
‘‘.... ‘අප අඳින ඇඳුම් වියා දෙන ලද්දේ උතුරු
සුළඟ විසිනැ’ යි ඔබ සමහරෙකු කියන්නට පුළුවන.
‘ඔව්, උතුරු සුළඟ විසිනැ’ යි
මම කියමි.
එහෙත් ඔහුගේ වියන යන්ත‍්‍රය වූයේ
ලජ්ජාව ය; ඔහු නූල් කොට ගත්තේ නෙළා සිනිඳු කරන ලද
කාය ශක්තිය යි.
ඔහු ගේ කාරිය නිම වූ පසු ඔහු
වනාන්තරයෙහි සිට සිනාසුණේ ය.
විනීත භාවය වූ කලී කිළිටි වූ
මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී සිටිනු පිණිස ඉදිරියෙන් අල්ලාගැනීමට තිබෙන පළිහක් බව
අමතක නොකරන්න.
ක්ළිෂ්ටයන් නැති වී ගිය පසු විනීත භාවය
යනු බන්ධනයක් හා මනස කිළිටි කිරීමක් හැර වෙන කුමක් ද?
මහ පොළොව ඔබගේ නිරාවරණ දෙපතුල් වල
ස්පර්ෂය ආනන්දයෙන් විඳ ගන්නා බවත්, සුළඟ
ඔබගේ ඉස කෙස් සමඟ සෙල්ලම් කරන්නට පුල පුලා සිටින බවත්, අමතක නොකරන්න.... ’’
(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, පිටු 34/35)
ඛලීල් ජිබ්රාන් ගේ සිතුවමක්
ඔන්න ගොයියෝ පර්සියානු බසින් ප්‍රංස බසට පෙරලිච්ච කලීල් ජිබ්රාන්ව අපට ගෙනැත් දෙන්න හදනවා මන්ඩාවල හිමියන්.. ස්තුතියි විස්තරේට..
ReplyDeleteස්තූතියි එකතු කිරීමට දේශකයා,
Deleteදාර්ශනික කවියෙක්.
ReplyDeleteඔයත් ටිකක් ඒ වගේ
Deleteඛලීල් ජිබ්රාන්,කලින් දැන සිටියේ නැහැ ඔහු ගැන.ස්තුතියි මේ බෙදා ගැනීමට.
ReplyDeleteස්තූතියි මනෝජ්, ඔහු මගේ ප්‍රියතම කවියා...
Deleteඅඩෝ උඹත් අහස සේ අනන්තයි නෙ බං! :D
ReplyDelete:-) අනන්තයි බිම්බිසාරයි ...
Deleteඅම්මෝ මේකනම් දැන් බලන්න බෑ පස්සේ බලන්නම්
ReplyDeleteකියවහං, වෙලාව තියෙන වෙලාවක... මේක ලියද්දි මට දැනුනු නිකං හදවත කූල් වෙලා යන හැඟීම උඹටත් දැනෙයි...
Deleteනේරු කිව්වම් සරනේරුද කියලා ඇහුවලු.
ReplyDeleteඋඹලා ඛලීල් ජිබ්රාන්ලා, ඕමාර් ඛයියාම්ලා ගැන ලිව්වම අපි මොනවද බං කමෙන්ට් වලට දාන්නේ? ආ මම බුව් බුවත් එක්ක කැම්පස් ඉඳලා තියෙනවා හරි ආ පොරයි මායි ඉස්සර කෝපි බිබී පැය ගනං කතා කර කර ඉන්නවා වගේ කමෙන්ට් එකක්ද?
විහිළු ඈ. එළ!
ටැංකිව් හෙන්රි බොස්... 21 දා අඳුනගන්න ලැබීම මාර සතුටක්...
Deleteකවදාවත් නොමැරෙන නියම මිනිස්සු. කවදාවත් අභාවයට නොයන, අවලංගු නොවන, වියැකී නොයන නිර්මාණ. ජීවිතය තේරුම්ගන්න බඳින ලද අත්වැල්. මේ වගේ අය අපට වඩා කොච්චර පුළුල්ව, කොච්චර ඉහලින් ලෝකය දකින්න ඇද්ද කියලා හිතෙන්නේ මේ නිර්මාණ කියවා ඒ ඔස්සේ සිත මෙහෙයවද්දීයි.
ReplyDeleteඅගය කිරීමටත්, සහෘදාත්මක එකතු කිරීමටත් ගොඩක් ස්තූතියි විචාරක මහත්තයා...
Deleteඇත්තම කියන්නම් ඩ්‍රැකී, මම නම් මේ විස්තර ඇහුවේ අදමයි.. මගේ නොදැනුවත් කම තමයි ඉතින්.. කෝම වුනත් විස්තර ටික නම් හුඟක් වටිනවා..
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteමට චිත්‍ර කලාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, වගේ ඉතිහාසය ගැන කියවෙන කතා එපා කළේ අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් බං.. :((
ReplyDeleteඅපිටත් හිටියා බං නියම චිත්‍ර මිස් කෙනෙක්... කියල වැඩක් නෑ...
Deleteකවදාවත් ඇස නොගැටුණු සාහිත්‍යයක්. ස්තුතියි ඩ්‍රැකී අයියා දැනුවත් කිරීමට
ReplyDeleteස්තූතියි පූමා, කවියෙක් තවත් කවියෙකුගෙන් පෝෂණය වීම වැදගත්...
Deleteමට මෙතුමා ගැන එතරම් දැනුවත් භාවයක් තිබුනෙ නෑ....ඒත් මේ සිතුවම් දකිනකොට නම් හොදටම වැටහෙනවා ඔහුගේ ප්‍රකාශන මොන තරම් සංකීර්ණද කියලා...
ReplyDeleteඇත්ත සිරා, පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දැම්මොත් ඛලීල් ජිබ්රාන් ගෙ ගෙ තව චිත්‍ර සොයාගන්න පුළුවන්...
Deleteඩ්‍රැකීගේ උත්සාහය අගය කරමි. වැඩිපුර යමක් කීමට නොදන්නෙමි.
ReplyDeleteවැඩිපුර යමක් කියන්නේ නම් කුරුතඤ්ඤ වෙමි...
Deleteඅපිට ජීවිතය ගැන තේරුම් ගැනීමට, අප වන්දනා මාන කරන පොත්පත් වල තියෙන ගැඹුරු සත්‍යය තේරුම් ගැනීමට බොහෝ සේ ඉවහල් වෙනවා මෙවැනි කවියන්ගේ කවි... මේ කවි වල තියෙන ජිවන දර්ශනය ගොඩක් වෙලාවට අපි කවදාවත් සැබෑ ලෙස තේරුම් ගන්නේ නෑ... කවියේ මතුපිට අර්ථයෙන් රස විඳිනවාට වඩා එහි ඇති ජිවන දැකුම අවබෝධ කරගැනීම මහත් සේ වටිනවා... කබීර් මුනි ගැයූ ගී කියල පොතක් තියෙනවා පුළුවන්නම් හොයාගෙන කියවන්න...
ReplyDeleteස්තූතියි පැතුම්... සහෘදාත්මක එකතු කිරීමට ගොඩක් ස්තූතියි. අර පොත කියවලා නෑ, හොයාගෙන කියවන්නම්.
Deleteමං අහල තිබුනෙ නෑ මෙතුමා ගැන.. මහන්සිවෙලා ලියපු අපූරු චරිතාපදානයක් :)
ReplyDeleteඅවුරුදු 5 කට පස්සෙ ඔන්න එකෙක් කියෙව්වා. වටිනා ලිපියක්.
ReplyDeleteඕ...ඕ...ඕ...
Deleteවටිණා තොරතුරු ටිකක්. ස්තුතියි.
ReplyDelete