රොසෙට්ටා පාෂාණය - 01

http://www.britishmuseum.org/collectionimages/AN00016/AN00016456_004_l.jpg

රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක‍්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ කොටස පුරාණ ග‍්‍රීක භාෂාවෙන් ද, වශයෙනි. මෙම පිටපත් තුනෙහි ම අඩංගු වන්නේ එකම පෙළ වූ බැවින් (යම් සුළු වෙනස්කම් සහිතව), ඊජිප්තු හයිරෝරේඛනය පිළිබඳ නව ලෝකය දැනුවත් වීමට මූලික සාධකය වූයේ රොසෙට්ටා පාෂාණය යි.

මෙම පුවරු ලිපිය මුලින් දේවස්ථානයක් තුළ ප‍්‍රදර්ශනය කෙරෙන්නට ඇතත්, මුල් ක‍්‍රිස්තියානි අවධියේ හෝ මධ්‍යකාලීන යුගයේ දී එතැනින් ඉවත් කරන ලදුව, පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ පිහිටි රෂීඞ් (රොසෙට්ටා) නම් නගරය ආසන්නයේ ජූලියන් බළකොටුව ඉදිකිරීමේ දී යොදාගෙන තිබේ. නැපෝලියන් බොනපාර්ට් යටතේ දියත් කෙරුනු ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී, එක් ප‍්‍රංශ සොල්දාදුවෙකු විසින් 1799 දී මෙය නැවත සොයාගන්නා ලදි. මෑතකාලීනව සොයාගන්නා ලද මුල්ම පෞරාණික ද්විභාෂක ලියවිල්ල වීම නිසා ත්, එතෙක් පරිවර්තනය කිරීමට අපොහොසත් ව පැවති පුරාණ ඊජිප්තු භාෂාව කියවීමට එයින් ලැබිය හැකි අත්වැල නිසා ත්, රොසෙට්ටා පාෂාණය ලොව පුරා ජනයා ගේ මහත් සැළකිල්ල ඇද ගත්තේ ය. නොබෝ කලකින්, එහි ස්පර්ෂ සටහන් සහ හුණු බදාමයෙන් ගන්නා ලද අච්චු පිටපත් යුරෝපයේ කෞතුකාගාර සහ අධ්‍යයනය කරන්නන් අතර පැතිරෙන්නට විය. මේ අතර, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් ප‍්‍රංශ වරුන් ඊජිප්තුවේ දී පරාජය කරන ලද අතර, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී ප‍්‍රංශ හමුදා යටත් වීම අනුව මෙම පාෂාණය බි‍්‍රතාන්‍ය අයිතියට පත් විය. එය ලන්ඩනයට ප‍්‍රවාහනය කරන ලදුව, 1802 සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙය එම කෞතුකාගාරයේ ඇති වැඩිම පිරිසක් විසින් නරඹන ලද අයිතමය යි.

මෙම පාෂාණය, නැවත සොයාගත් දින සිට ම විවිධාකාර දේශාභිමානීන්ගේ විරෝධතාවන් ට කේන්ද්‍ර වී තිබේ. මේ අතර, නැපෝලියානු යුධ ප‍්‍රයාණ කාලයේ දී ප‍්‍රංශයේ සිට බි‍්‍රතාන්‍යය ට හිමිකාරීත්වය මාරු වීම, අභිලේඛනය කියවීමේ දී යංග් සහ ෂැම්පෝලියන් ඉටුකළ මෙහෙවරේ සාපේක්ෂ වටිනාකම, සහ 2003 සිට පාෂාණය නැවත ඊජිප්තුවට ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්, ප‍්‍රධාන වෙයි.

1803 දී මෙහි ග‍්‍රීක පෙළ මුලින් ම සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරන ලදුව, එහි සඳහන් වන රාජකීය නියෝගය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹිය හැකි විය. ඊජිප්තු පෙළෙහි පරිවර්තනය, ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් (Jean-François Champollion) විසින් පැරිසියේ දී ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉන් වසර 20 කට පසු හෙවත් 1822 දී ය. විද්වතුන් හට අනෙකුත් පැරණි ඊජිප්තු අභිලේඛන සහ සාහිත්‍යය නිසැක වශයෙන් කියවීමට ඊටත් වඩා වැඩි කාලයක් ගත විය. මෙහි පරිවර්තන කාර්යයේ ප‍්‍රධාන පියවරයන් වූයේ,

1. පාෂාණයේ සඳහන් වන්නේ එකම පෙළෙහි වෙනස් අනුවාදයන් තුනක් බව හඳුනා ගැනීම (1799),
2. ඊජිප්තු ව්‍යවහාර බසින් සටහන් ලිපියෙහි විදේශීය නම් ලිවීම සඳහා ශබ්ද විද්‍යාත්මක සංකේත (Phonetic Characters) භාවිතා කර ඇති බව සොයාගැනීම (1802),
3. හයිරෝරේඛිත පෙළෙහි ද එවැනි ම භාවිතයක් ඇති බව සහ එහි ඊජිප්තු ව්‍යවහාර බසින් වූ පෙළ සමඟ පැතිර පවත්නා සමානකම් ඇති බව සොයාගැනීම (තෝමස් යංග් (Thomas Young) 1814),
4. විදේශීය නම් වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන සඳහා ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව සොයාගැනීම (ෂැම්පෝලියන් 1822-1824) ආදිය යි.

මෙකී රාජකීය නියෝගය ම සටහන් වූ කැඞී ගිය අසම්පූර්ණ පිටපත් දෙකක් ද පසුව සොයාගෙන ඇති අතර, ඊට සමාන ඊජිප්තු ද්විභාෂික සහ ත්‍රෛභාෂික අභිලේඛන කිහිපයක් ද මේ වන විට ප‍්‍රසිද්ධ කර තිබේ. ඒ අතර, තරමක් පැරණි ටොලමියානු රාජකීය නියෝගයන් දෙකක් ද (ක‍්‍රි. පූ. 238 දී නිකුත් කෙරුණු කැනෝපස් හි රාජකීය නියෝගය සහ ක‍්‍රි. පූ 218 දී පමණ සිවුවන ටොලමි රජු විසින් නිකුත් කරන ලද මෙම්ෆිස් හි රාජකීය නියෝගය) වේ. එහෙයින් රොසෙට්ටා පාෂාණය අසමසම පුරාවස්තුවක් නොවූව ද, පුරාණ ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ඨාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත්කම අහෝසි නොවේ.  ඕනෑම තාක්ෂණයක නව දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය වන සාධකයන් හැඳින්වීමේදී ‘රොසෙට්ටා පාෂාණය’ යන පදය පර්යාය පදයක් ලෙස ඉංග‍්‍රීසියේ දී භාවිතා කෙරෙන තාක් දුරට මෙම පුරාකෘතිය ප‍්‍රචලිත වී තිබේ.

මූලික තොරතුරු

ප‍්‍රංශ ගවේෂණයේ දී සොයාගන්නා ලදුව, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා යටතට පත් කෙරුණු මානවකෘති (artifacts) ඇතුළත් සමකාලීන නාමාවලියක රොසෙට්ටා පාෂාණය ලැයිස්තුගත කර ඇත්තේ ‘‘රොසෙට්ටා හි හමු වූ ... අභිලේඛන තුනක් අඩංගු කළු ග‍්‍රැනයිට් පාෂාණයක්’’ යනුවෙනි. එය ලන්ඩනයට ගෙන ඒමෙන් ටික කලකට පසුව, පාෂාණය මත වූ ලේඛනය කියවීමට පැහැදිලි වන සේ සුදු හුණු වලින් වර්ණ ගන්වන ලද අතර, නරඹන්නන්ගේ ඇඟිලි තුඩු වලින් ආරක්ෂා වීම සඳහා මුහුණත කානෝබා ඉටි ස්තරයකින් ආවරණය කරන ලදි. එයින් පාෂාණයට කළු පැහැයක් ලැබුණු හෙයින්, එය කළු බැසෝල්ට් පාෂාණයක් යැයි සමහරුන් තුළ වැරදි වැටහීමක් ද ඇති විය. 1999 දී පාෂාණය ශුද්ධ කිරීමේදී මෙකී නවාංග ඉවත් කරන ලදින්, එහි මුල් පැහැය වූ අඳුරු අළු පැහැය ද, එහි ස්ඵටිකායික ව්‍යූහයේ දිස්නය ද, ඉහළ වම් කොණ හරහා දිවුන රෝස පැහැ වයිරම ද නැවත මතු විය. මෙය ක්ලෙම් ඊජිප්තු පාෂාණ නියැදි එකතුව (Klemm collection of Egyptian rock samples) හා සැසඳීමේ දී අස්වාන් ප‍්‍රදේශයේ එලිෆන්ටයින් (Elephantine) හි බටහිර කොටසේ, නයිල් නදියේ බටහිර ඉවුරේ ජෙබෙල් ටින්ගාර් (Gebel Tingar) නම් කුඩා ආගනේය පාෂාණ නිධියෙන් ලද පාෂාණයකට ඉතා කිට්ටු සාම්‍යත්වයක් දක්වන බව සොයාගන්නා ලදි. රෝස පැහැති වයිරම එම ප‍්‍රදේශයේ හමුවන ආගනේය පාෂාණයන්ට ආවේණික ලක්ෂණය කි.

රොසෙට්ටා පාෂාණය දැන් සෙ. මී. 114.4 (අඟල් 45) ක උපරිම උසකින් ද, සෙ. මී. 72.3 (අඟල් 28.5) ක පළලකින් ද, සෙ. මී. 27.9 (අඟල් 11) ක ගණකමින් ද යුක්ත වේ. එහි බර ආසන්න වශයෙන් කි. ග‍්‍රෑ. 760 (රා. 1,700) කි. ඉදිරිපස මුහුණත ඔප දමා ඇති අතර, අභිලේඛනය එහි මතුපිට නොගැඹුරුව කොටා තිබේ. පාෂාණයේ පැති සුමට කර ඇති නමුත්, පසුපස පෘෂ්ඨය නිමවා ඇත්තේ රළු ලෙසිනි. ඒ අනුව, අනුමාන කළ හැක්කේ එහි පසුපස දැකගත නොහැකි වන පරිදි මෙම පුවරු ලිපිය පිහිටුවා තිබෙන්නට ඇති බව ය.

මූලාකෘතිය
මුල් පුවරු ලිපිය මෙවැන්නක් වන්නට ඇත
https://en.wikipedia.org/wiki/
File:RosettaStoneAsPartOfOriginalStele.svg

රොසෙට්ටා පාෂාණය, වඩා විශාල සෙල් පුවරුවක කොටසකි. පසුකාලීනව රොසෙට්ටා ප‍්‍රදේශයේ සිදු කෙරුණු විමර්ශන වලින් එහි අනෙකුත් කොටස් සොයාගත හැකි වී නැත. සිදු වී ඇති හාණිය නිසා මෙම අභිලේඛනයේ අඩංගු පිටපත් තුනෙන් එකක් වත් උදක් ම සම්පූර්ණ තත්ත්වයේ නොමැත. වඩාත් ම හාණි වී ඇත්තේ ඉහළ කොටසේ සටහන් කර ඇති ඊජිප්තු හයිරෝරේඛිත පිටපත යි. එයින් ඉතිරිව ඇත්තේ අවසන් පේළි 14 පමණක් වන අතර, ඒ පේළි සියල්ලම දකුණු පසින් ද, පේළි 12 ක් වම් පසින් ද කැඞීගොස් ඇත. මැද කොටසේ ඇති ඊජිප්තු ව්‍යවහාර බසින් ලිඛිත පිටපත හොඳින් ම ආරක්ෂා වී ඇති කොටස යි. එහි ඇති පේළි 32 න් 14 ක් දකුණු පසින් මඳ වශයෙන් හාණියට පත් ව ඇත. අවසානයට ඇති ග‍්‍රීක පිටපතෙහි පේළි 54 ක් ඇති අතර, ඉන් පේළි 27ක් සම්පූර්ණ ලෙස ආරක්ෂා වී ඇත. පාෂාණයේ පහළ කෙළවර කෝණාකාරව කැඞී ඇති බැවින්, ග‍්‍රීක පෙළෙහි ඉතිරි කොටස හාණියට පත්ව ඇත. 

මෙහි සඳහන් වන රාජකීය නියෝගය ම ඇතුළත් වන වෙනත් අභිලේඛන ද ඇතුළු ව අනෙකුත් පුවරු ලිපි සැසඳීමෙන්, හයිරෝරේඛිත පිටපතෙහි සම්පූර්ණ දිග සහ මුල් පුවරු ලිපියෙහි විශාලත්වය ඇස්තමේන්තු කළ හැක. මීට මඳ කාලයකට පෙර හෙවත්, තුන්වන ටොලමි රජු ගේ පාලන කාලයේ ක‍්‍රි. පූ. 238 දී පිහිටුවන ලද කැනෝපස් රාජකීය නියෝගය සෙ. මී. 219 (අඟල් 86) ක් උසින් ද, සෙ. මී. 82 (අඟල් 32) ක් පළලින් ද, යුතු වන අතර, එහි හයිරෝරේඛිත පිටපතෙහි පේළි 36 ක් ද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි පේළි 73 ක් ද, ග‍්‍රීක පිටපතෙහි පේළි 74 ක් ද අඩංගු වේ. පිටපත් තුනම දිගින් සමාන ය. මෙවැනි සැසඳීම් වලින්, නිගමනය කළ හැක්කේ රොසෙට්ටා පාෂාණයෙහි හාණියට පත් ඉහළ කොටසේ තවත් හයිරෝරේඛිත පේළි 14 ක් හෝ 15 ක් හෙවත් සෙ. මී. 30 (අඟල් 12) ක් උස කොටසක් පැවති බව යි. කැනෝපස් පුවරු ලිපියේ ඇති පරිදි මෙහි ද, අභිලේඛනයට ඉහළින්, රජතුමා දෙවියන් හමුවනු දැක්වෙන කැටයමක් සහ ඊටත් ඉහළින් පියාපත් සහිත මණ්ඩලයක කැටයමක් තිබෙන්නට ඇත. මෙවැනි සමකිරීම් ද, පාෂාණයේ ම හයිරෝරේඛනයෙන් සඳහන් වන ‘‘ස්ථූණය’’ (Stela) යන වචනයද නිසා මුල් පුවරුවේ මුදුන වක‍්‍රාකාර වන්නට ඇති බව සිතිය හැක. ඒ අනුව, මුල් පුවරුව සෙ. මී. 149 (අඟල් 59) ක් උස් වන්නට ඇති බව අනුමාන කෙරේ.

මෙම්ෆිස් රාජකීය නියෝගය සහ එහි අන්තර්ගතය

මෙම පුවරු ලිපිය, පස්වන ටොලමි රජු ගේ අභිෂේකයෙන් පසු පිහිටුවා ඇති අතර, නව පාලකයාගේ දිව්‍යමය ආගමික සමාජය පිහිටුවීමේ නියෝගය එහි සටහන් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම්ෆිස් හි රැස්වූ පූජකවරුන් ගේ සම්මේලනයක් මඟිනි. එහි දිනය, මැසිඩෝනියානු දින දර්ශනයෙන් ‘‘4 සැන්ඩිකස්’’ (4 Xandicus) යනුවෙන් සහ ඊජිප්තු දින දර්ශනයෙන් ‘‘18 මෙෂිර්’’ (18 Meshir) යනුවෙන් දක්වා ඇත. එය ක‍්‍රි. පූ. 196 මාර්තු මස 27 වන දිනයට අනුරූප වෙයි. වර්ෂය හඳුන්වා ඇත්තේ පස්වන ටොලමි රජු ගේ නව වන රාජ්‍ය වර්ෂය (ක‍්‍රි. පූ. 197/196 ට සමපාත වන) ලෙස ය. මෙය, එම වර්ෂයේ දේව පූජා පැවැත්වූ පූජකවරුන් හතර දෙනෙකුගේ නම් වලින් ද තහවුරු කර ඇත. ඔවුන් වන්නේ, මහා ඇලෙක්සැන්ඩර් ගේ ත්, ඔහුගෙන් පසු ඊජිප්තුවේ රජ ප‍්‍රාප්ත ටොලමිවරුන් පස් දෙනා ගේ ත් දිව්‍යමය ආගමික සමාජයන් හි පූජකවරයා වූ ද, ඒටස් ගේ පුත‍්‍රයා වූ ද, ඒටස් (Aëtus), සහ ඔහුගේ වෘත්තීය සගයන් තිදෙනා ය. පසුව කී තිදෙනා, බෙරනීස් යුඑර්ජෙටිස් (Berenice Euergetis) (තෙවන ටොලමි රජු ගේ බිරිඳ), ආර්සිනෝ ෆිලඩෙල්ෆා (Arsinoe Philadelpha) (දෙ වන ටොලමි රජු ගේ බිරිඳ මෙන්ම සොහොයුරිය) සහ ආර්සිනෝ ෆිලෝපාටර් (Arsinoe Philopator) (පස්වන ටොලමි රජුගේ මව) යන අය හට වන්දනා කිරීම් මෙහෙයවූ පූජකයෝ ය. ග‍්‍රීක සහ හයිරෝරේඛිත පිටපත් වල තවත් දිනයක් සඳහන් වේ. එය සමරූපී වන්නේ පස්වන ටොලමි රජුගේ අභිෂේකයෙහි නිල සංවත්සර වන ක‍්‍රි. පූ. 197 නොවැම්බර් මස 27 වැනි දිනයට ය. මෙයට පටහැණි අයුරින්, අභිලේඛනය පිහිටුවන ලද දිනය සහ අභිෂේකයේ සංවත්සර දිනය ලෙස ඊජිප්තු ව්‍යවහාර බසින් යුත් පිටපතෙහි සඳහන් වන්නේ මාර්තු මාසයේ අනුගාමී දින දෙක කි. මෙවැනි පරස්පරතාවයක් පැවතීමට හේතුව අපැහැදිළි වුවත්, මෙම නියෝගය ක‍්‍රි. පූ. 196 දී නිකුත් කර ඇති බවත්, ටොලමිවරුන් ගේ පාලනය ඊජිප්තුව පුරා නැවත ස්ථාපිත කිරීම එහි අරමුණ වූ බවත් පැහැදිළි ය. 

මෙම රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ ඊජිප්තු ඉතිහාසයේ කැළඹීම් බහුල අවධියකදී ය. සිවුවන ටොලමි ෆිලොපාටර් (Ptolemy IV Philopator) සහ ආර්සිනෝ බිසව ගේ පුත‍්‍රයා වූ පස්වන ටොලමි එපිෆානිස් (Ptolemy V Epiphanes) (ක‍්‍රි. පූ. 204 - 181) පස් හැවිරිදි වියේ දී රජකමට පත්වූයේ ඔහුගේ දෙමාපියන් හදිසියේ ම ඝාතනය කෙරුනු හෙයිනි. සමකාලීන මූලාශ‍්‍ර අනුව මෙම ඝාතනය, සිවුවන ටොලමිගේ උප භාර්යාවක් වූ ඇගතෝක්ලියා (Agathoclea) ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලය කි. මෙම කුමන්ත‍්‍රණකාරීහූ පස්වන ටොලමි රජු ගේ භාරකාරයන් හැටියට වසර දෙකක් පුරා රට පාලනය කළහ.  වසර දෙකකට පසු ට්ලෙපොලිමස් (Tlepolemus) නම් සේනාධිපති වරයා යටතේ කැරැල්ළක් ඇති වූ අතර, ඇගතෝක්ලියා සහ ඇගේ පවුලේ අය ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී චණ්ඩ ජන සමූහයක් විසින් දණ්ඩනයට පත් කරන ලදි. ඉන් පසුව ක‍්‍රි. පූ. 201 දී එවක සිටි මහ ඇමති වරයා වූ ඇලිසියාවේ ඇරිස්ටොමේනිස් (Aristomenes of Alyzia) විසින් ට්ලෙපොලෙමස් ළමා රජු ගේ භාරකාරත්වයට පත්කරන ලදි. 

ඊජිප්තුවේ සීමා වලින් බැහැර දේශපාලනික බලවේග විසින් ටොලමි රජුගේ පාලන ප‍්‍රදේශයේ අභ්‍යන්තර ආරවුල් තව තවත් කූප්පන ලදි. මැසිඩෝනයේ පස්වන ෆිලිප් රජු (Philip V) සහ තෙවන මහා ඇන්ටියෝකස් රජු (Antiochus III the Great), ඊජිප්තුවේ යටත් විජිත තමන් අතර බෙදාගැනීමේ ගිවිසුමකට ද එළඹුණ හ. ක‍්‍රි. පූ. 198 පැනියම් (Panium) හි යුද්ධය අතරතුර, ෆිලිප් රජ කෙරියා (Caria) සහ ත්‍රේස් (Thrace) හි දිවයින් සහ නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. එම යුද්ධයේ ප‍්‍රතිඵල වශයෙන් ජුදයාවද ඇතුළත්ව ලෙබනන්-සිරියානු තැනිතලාවේ බලය ටොලමිවරුන්ගෙන් සෙල්‍යුසිඞ් වරුන් (Seleucids) අතට පත් විය. ඒ අතර, දකුණු මිසරයේ සිවුවන ටොලමි රජ දවස ආරම්භ වී දිග්ගැස්සෙමින් පැවති කැරැල්ලක් විය. එයට නායකත්වය ලැබුනේ හෝර්වෙන්නෙෆර් (Horwennefer) සහ ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ අන්ක්හ්වෙන්නෙෆර් (Ankhwennefer) විසිනි. පස්වන ටොලමි දොළොසැවිරිදි වියේ දී මෙම්ෆිස් හි දී නිලවශයෙන් අභිෂේක ලබන විට (තම රාජ්‍ය කාලයෙන් සත් වසරකට පසු) යුද්ධය සහ අභ්‍යන්තර කැරැල්ල යන ගැටළු දෙකම ඔහු ඉදිරියේ විය. රොසෙට්ටා පාෂාණයේ ඇතුළත් මෙම්ෆිස් හි රාජකීය නියෝගය නිකුත් කරන ලද්දේ මෙම අවස්ථාවේ දී ය. 

මෙම පුවරු ලිපිය, ප‍්‍රදාන පුවරු ලිපි සඳහා වඩා පසුකාලීන උදාහරණයකි. ප‍්‍රදාන ලිපිවල සාමාන්‍යයෙන් රාජ්‍ය පාලකයා විසින් රටේ සිටින පූජක වර්ගයා හට බදු නිදහසක් ලබා දීමක් ගැන සඳහන් වේ. ඊට වසර 2,000 කට පෙර සිට ම, පාරාවෝ රජවරුන් විසින් මෙවැනි ප‍්‍රදාන පුවරු ලිපි පිහිටුවා තිබේ. එවැන්නකට ඇති මුල්ම උදාහරණය හමුවන්නේ ඊජිප්තුවේ පුරාණ රාජධානියෙනි (Old Kingdom). පැරණි කාලවල මේවා නිකුත් කරන ලද්දේ රජතුමා ම විසින් වන නමුත්, මෙම්ෆිස් හි නියෝගය නිකුත් කර ඇත්තේ, සාම්ප‍්‍රදායික මිසර සංස්කෘතිය පවත්වාගෙන යන්නන් වශයෙන් පූජකවරුන් විසිනි. මෙම නියෝගයේ, පස්වන ටොලමි රජු දේවස්ථාන වලට රිදී සහ ධාන්‍ය වලින් යුක්ත ප‍්‍රදානයක් කළ බව වාර්තා කර තිබේ. එසේ ම, ඔහුගේ පාලන කාලයෙන් අට වන අවුරුද්දේ දී, නයිල් නදියේ සුවිශේෂී අධික ජලගැල්මක් ඇතිවූ අවස්ථාවක, රජු විසින් වේලි බඳවා, අමතර ජලය ගොවියන්ගේ අභිවෘද්ධිය උදෙසා යොමු කරවන ලද බව ද එහි සඳහන් වේ. මෙකී අනුග‍්‍රහයන් ට පිළිගෙවුම් ලෙස, රජතුමාගේ උපන්දිනය සහ අභිෂේක වූ දිනය වාර්ෂිකව සැමරීමට ත්, මිසරයේ සියළුම පූජකවරුන් රජතුමා හට ද, අනෙකුත් දෙවියන් හා එක්කොට මෙහෙ කිරීමට ත්, පූජක ප‍්‍රජාව පොරොන්දු වෙති. පුවරු ලිපිය අවසන් කෙරෙන්නේ, එහි ‘දෙවියන්ගේ භාෂාවෙන්‘ (හයිරෝරේඛනයෙන්) ද, ‘ලේඛන භාෂාවෙන්’ (ඊජිප්තු ව්‍යවහාර භාෂාවෙන්* ද, ‘ග‍්‍රීකයන්ගේ භාෂාවෙන්’ ද සකස් කරන ලද පිටපත් සෑම දේවස්ථානයක ම පිහිටුවිය යුතු බව සඳහන් කරමිනි. මෙකී භාෂාත‍්‍රය එකල ටොලමියානු රාජ්‍යයේ නිල භාෂාවන් විය. 

මහජනතාව මත සාධනීය පාලනයක් පවත්වාගැනීමේ දී පූජක වර්ගයාගේ ප‍්‍රසාදය හා අනුග‍්‍රහය ආරක්ෂා කර ගැනීම ටොලමිවරුන් හට අත්‍යවශ්‍ය සාධකයක් විය. රජු අභිෂේකය ලැබූ මෙම්ෆිස් හි ප‍්‍රධාන පූජක වරුන් විශේෂයෙන් ම වැදගත් විය. ඒ, ඔවුන් එවක වූ ඉහළම ආගමික අධිකාරිය වූ බැවිනු ත්, ඔවුන් රජධානිය පුරා සිය බලපෑම පතුරවාගෙන සිටි බැවිනුත් ය.  ටොලමිවරුන්ගේ පාලන කේන්ද්‍රය පැවති ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී නොව, පුරාණ ඊජිප්තුවේ අගනුවර වූ මෙම්ෆිස් හි දී මෙම නියෝගය නිකුත් කරවීමෙන්, පූජකවරුන් ගේ ක‍්‍රියාකාරී සහයෝගය දිනා ගැනීමට ළාබාල රජු කෙතරම් උත්සුක වීද යන්න පැහැදිළි වේ. එහෙයින්, මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් යටත් කරගත්තාට පසු ඊජිප්තු රජය ග‍්‍රීක භාෂාවෙන් නිල කටයුතු කරන්නට වූ නමුත්, මෙම්ෆිස් පුවරු ලිපිය ත්, ඊට කලින් නිකුත් කරන ලද නියෝග දෙකත් ඊජිප්තු භාෂා වලින් යුත් පිටපත් ද ඇතුළත් කර සකස් කර ඇත. එමඟින්, උගත් පූජක ප‍්‍රජාව හරහා මහජනතාව ගේ අනුකූලතාවය අපේක්ෂා කර තිබේ. 

රොසෙට්ටා පාෂාණයේ සටහන් ව ඇති පිටපත් තුනෙහි සුළු සුළු වෙනස්කම් පවතින හෙයිනුත්, පුරාණ භාෂාවන් පිළිබඳ නූතන අවබෝධය තවමත් දියුණු වෙමින් පවතින නිසාත්, මෙහි නියත පරිවර්තනයක් තවමත් ඉදිරිපත් වී නැත. ආර්. එස්. සිම්සන් විසින් ඉදිරිපත් කරන ලද, ඊජිප්තු ව්‍යවහාර බසින් යුතු පිටපතෙහි යාවත්කාලීන ඉංග‍්‍රීසි පරිවර්තනයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ වෙබ් අඩවියේ දක්වා තිබේ. එඞ්වින් ආර්. බෙවන් (Edwyn R. Bevan) විසින් සිය ‘ටොලමි පෙළපත’ (The House of Ptolemy)  (1927) නම් පොතෙහි ඇතුළත් කරන ලද සම්පූර්ණ පරිවර්තනය සමඟ සැසැඳිය හැක. එය ග‍්‍රීක පිටපත මත පදනම් ව ඇති අතර, ඊජිප්තියානු පිටපත් දෙක සමඟ එහි දැක්වන වෙනස්කම් පාද සටහන් මඟින් දක්වා ඇත. බෙවන් මහතාගේ පරිවර්තනය ආරම්භ කෙරෙන්නේ (සංක්ෂිප්තව) මෙසේ ය. 

‘සිය පියාණන්ගෙන් රාජකීයත්වය උරුම කරගත්, කිරීටවල ස්වාමියා වන, කීර්තිමත්, මිසර රාජ්‍යය තහවුරු ලෙස පිහිටවූ, දෙවියන් වෙත සැදැහැවත්, තම සතුරන් ට වඩා ශ්‍රේෂ්ඨ, මනුෂ්‍යයන්ගේ ශිෂ්ඨ දිවිපෙවෙත නැවත ගොඩනැංවූ, වසර තිහක් පුරා පවත්වන ලද භෝජන සංග‍්‍රයන් ගේ ස්වාමියා වූ ද, මහා හෙෆයිස්ටස් හට සම, සූර්යයා වැනි රජෙකු වන, ඉහළ සහ පහළ ප‍්‍රදේශයන් හි රජු වන, ෆිලොපාටර් දෙවිවරුන් ගේ සුජාත පුතණුවන් වන, හෙෆයිස්ටස් විසින් අනුමත කරන ලද, සූර්යයා විසින් විජයග‍්‍රහණය ට පමුණුවන ලද, සීයස් ගේ ජීවමාන පිළිරුව වන, සූර්යයා ගේ පුත‍්‍රයා වන, ප්ටාහ් ගේ ආදරයට ලක් වන, සදාකාලික ටොලමි නමැති, ළාබාල තැනැත්තාගේ රාජ්‍ය කාලයෙන් නව වන වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩර් ගේ පූජකයා වූ, ඒටස්ගේ පුත් ඒටස් ....

‘නම් නායක පූජකවරයා ද, දිවැසිවරුන් ද, දෙවියන්ගේ වස්ත‍්‍ර සැකසීම සඳහා ඇතුළු දේවාලයන් ට පිවිසෙන්නන් ද, පියාපත් දරන්නන් ද, පූජනීය ලේකම් වරුන් ද, අනෙකුත් සියළුම පූජකවරුන් ද ... මෙම්ෆිස් හි දේවස්ථානයේ රැස් වී මෙම දින, මෙසේ ප‍්‍රකාශයට පත් කරන ලදි,
ප්ටාහ් ගේ ආදරයට පත්, එපිෆානිස් යුකාරිස්ටස් (Epiphanes Eucharistos) දෙවියන් වන, ටොලමි රජ සහ ආර්සිනෝ බිසව හෙවත් ෆිලොපාටර් දෙවිවරුන්ගේ පුත‍්‍රයා වන, සදාකාලික ටොලමි රජු, සිය රාජ්‍ය පාලන කාලය තුළ මිනිසුන් සහ සෙසු සියල්ලන් සමෘද්ධිමත් වන සේ, දේවස්ථානයන් සහ ඒවායේ වසන්නන් හට ද, සිය යටත් වැසියන් හට ද, මහත් අර්ථලාභ සළස්වා, දෙවියෙකු සහ දෙවඟනකගෙන් සුජාත දෙවියෙකු වන හෙයින් ද (අයිසිස් ගේ සහ ඔසයිරිස් ගේ පුත‍්‍රයා වන, සිය පියා වන ඔසයිරිස් ගේ පළිය ගත් හෝරස් මෙන්), දයාභරිත ලෙස දෙවිවරුන් වෙත හැරෙමින්, දේවස්ථානයන් හට මුදලින් සහ ධාන්‍යයෙන් ආදායම් පිළිගන්වා, මිසරය සමෘද්ධිමත් කරනු වස් බොහෝ වියදම් දරා, දේවස්ථාන පිහිටුවා, ස්වකීය සියළුම ක‍්‍රියාමාර්ගයන් අතින් ත්‍යාගශීලී වෙමින්, ඊජිප්තුවෙන් තමන් හට ලැබෙන අයබදු ආදායම් සමහරක් මුළුමණින්ම කපා හැර, අනෙක් බදු සැහැල්ලූ කරන ලදින්, ...

‘ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, ... සදාකාලික ටොලමි රජු හට හිමි ගෞරවණීයත්වය වඩා ඉහළ නැංවීම ද,    මනා යැයි රාජ්‍යයේ සියළුම දේවස්ථානයන් හි පූජකවරුන් හට පෙනීගියේය. ප්ටාහ් ගේ ආදරයට පාත‍්‍ර වූ, එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් වන සදාකාළික ටොලමි රජු වෙනුවෙන් රාජ්‍යයේ සෑම දේවස්ථානයක ම තොත් ගේ පළමු දිනයේ සිට සිවු දිනක් පුරා භෝජන සංග‍්‍රහයක් වාර්ෂිකව පැවැත්වීමත්, ඒවායේ දී ඔවුන් මල්දම් පැළඳීම ත්, බිළි පූජා පැවැත්වීම ත්, අනෙකුත් සුපුරුදු ගෞරවාචාරයන් පැවැත්වීම ත්, සිදුකෙරෙනු ඇත. පූජකවරුන් ඔවුන් විසින් මෙහෙ කරනු ලබන දෙවි වරුන් ගේ නාමයන් ට අමතරව එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ද පූජකවරුන් ලෙස හැඳින්වෙනු ඇත. එසේම, ඔහුගේ (ටොලමි රජුගේ) පූජක වරය සියළුම චාරිත‍්‍රානුකූල ලියවිලි වලට ඇතුළත් කෙරෙන අතර, පෞද්ගලික තැනැත්තන් හටද, සාම්ප‍්‍රදායික ගෞරවාචාරයන් පවත්වාගනිමින්, ඉහත කී දේවස්ථානයේ දී ත්, ඔවුන්ගේ නිවෙස් තුළ ත්, මාසිකව සහ වාර්ෂිකව භෝජන සංග‍්‍රහය පැවැත්වීමට අවසර ලැබේ. එයින් මිසරයේ මිනිස්සු නීතියට අනුකූලව, රජු වන එපිෆානිස් යුකාරිස්ටස් දෙවියන් ගේ ගෞරවනීයත්වය ඉහළ නැංවූ බව සියල්ලන්ටම දැනගත හැකි වනු ඇත...’’ 

මෙම පුවරු ලිපිය, එය හමුවූ රාෂිඞ් (රොසෙට්ටා) හි ප‍්‍රභවය නොවූ බව ඉතා පැහැදිළි ය. එය නිමවන ලද්දේ වඩා ත් රට ඇතුළට වන්නට පිහිටි දේවස්ථානයක (බොහෝදුරට සායිස් (Sais) නම් රාජකීය නගරයේ) දී බව පිළිගැනේ. පළමු වන තියඩෝසියස් (Theodosius I) නම් නැගෙනහිර රෝමක අධිරාජ්‍යයා විසින් ක‍්‍රිස්තියානි නොවන සියළුම වන්දනීය දේවස්ථාන වසා දමන ලෙසට කරන ලද නියෝගය මත, මෙම පුවරුව අයත් ව තිබූ දේවස්ථානය ද ක‍්‍රි. ව. 392 දී පමණ වසා දැමෙන්නට ඇත. එක්තරා අවස්ථාවක මුල් පුවරු ලිපිය බිඳී ගිය අතර, එහි විශාලතම කොටස දැනට අප දන්නා රොසෙට්ටා පාෂාණය බවට පත්වී ඉතිරි වී තිබේ. පසුකාලීනව පුරාණ මිසර දේවස්ථාන, නව ඉදිකිරීම් සඳහා පාෂාණ ආකර ලෙස භාවිතා වූ අතර, රොසෙට්ටා පාෂාණය ද මේ ආකාරයට ම නැවත යොදාගැනෙන්න ට ඇත. පසුව එය මාම්ලූක් සුල්තාන් වරයෙකු වූ කයිට්බායි (1416/18 - 1496) (Qaitbay) විසින් නයිල් නදියේ බොල්බිටයින් ශාඛාව ආරක්ෂා කිරීම සඳහා රාෂිඞ් හි ගොඩනැංවුනුු බළකොටුවේ අඩිතාලම ඉදිකිරීමේදී යොදාගන්නා ලදි. එම පුවරුව නැවත සොයාගන්නා තෙක්, අඩුම තරමින් තවත් සියවස් තුනක් වත් එහි පවතින්නට ඇත. 

මෙම මෙම්ෆිස් නියෝගය ම ඇතුළත් තවත් අභිලේඛන දෙකක්, රොසෙට්ටා පාෂාණය සොයාගැනීමෙන් පසුව හමු වී තිබේ. නුබයිරා (Nubayrah) පුවරුව සහ ෆිලේ (Philae) හි දේවස්ථානයෙන් හමුවූ ලිපිය යනු ඒ දෙක යි. රොසෙට්ටා පාෂාණය මෙන් නොව, මේවායේ හයිරෝරේඛිත පිටපත සාපේක්ෂව හොඳින් සුරැකී තිබේ. එහෙයින්, ඒවා සොයාගැනීමට බොහෝ කලකට පෙර රොසෙට්ටා ලිපිය පරිවර්තනය කර තිබුණ ද, වෝලිස් බජ් (Wallis Budge) වැනි පසුකාලීන ඊජිප්තුවේදීහු රොසෙට්ටා පාෂාණයේ හයිරෝරේඛිත කොටසෙහි හාණි වූ කොටස නැවත ගොඩනැංවීමට මෙකී අනෙක් අභිලේඛණ භාවිතා කළ හ. 

රොසෙට්ටා පාෂාණය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගැනීමෙන් පසු විස්තරය මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න...

38 comments:

  1. ෂාම්පොලියන් උන්නැහැව අදහන්න වටිනවා.අවුරුදු 20 hieroglyphic කියවන්න පොටක් පාදගන්න කාපු කට්ට බැලුවහම.
    පොරවල් මෑන්ව පිස්සෙක් ගානට සලකද්දීත් ගේම අත නොහැර හිටපු එකම ඇති.

    ReplyDelete
    Replies
    1. එක: මං ලියල තිබුණෙ චැම්පෝලියන් කියල. ඒක වැරදියි තමයි. මං හරිගැස්සුව. ඒකට ස්තූතියි.

      ෂැම්පෝලියන් වගේ ඒ යුගයෙ ශාස්ත්‍රවන්තයො එහෙම තමයි. සමහරුන්ට ඇත්තටම පිස්සුත් තිබුණ. මගෙ හිත ඇදිල ගියෙ ඒකට නෙමෙයි.

      නැපෝලියන් ඊජිප්තුවට ගියෙ එහෙ ඉංග්‍රීසි පාලන ප්‍රදේශ අල්ලගන්ඩ. එහෙම ගිය ජෙනරාල් වරයා, තමන්ගෙ කණ්ඩායමට එක එක විදිහෙ පර්යේෂකයො, ගවේෂකයො (පුරාවිද්‍යාඥයො, ස්වභාව විද්‍යාඥයො, චිත්‍රශිල්පියො, වාස්තු විද්‍යාඥයො...) එකතු කරගත්ත එකයි. නැපෝලියන්ගෙ අදහස තිබුණෙ යටත් කරගන්ඩ විතරක් නෙමෙයි, ඒ ඒ ශිෂ්ඨාචාර වල විවිධ අංග අධ්‍යයනය කරන එකත් එක ඉළක්කයක්. (පොර සූවස් ඇල කපන්ඩත් හිතාගෙන ඒ ප්‍රදේශයත් බලන්ඩ ගියා. ඊට ශතවර්ෂයකටත් පස්සෙ ප්‍රංශ ජාතික පර්ඩිනන්ඩ් ද ලෙසප්ස් සුවස් ඇල කැප්පෙව්ව...)

      Delete
  2. මාත් ගලක් හොයාගෙන මේ විදිහෙ එකක් කොටන්න ඕනි. නැත්තං අනාගතේදි පුරා විජ්ජාඥයින්ට වැඩ නැතිවෙන්ට පුළුහං.

    ReplyDelete
    Replies
    1. කෙටුවට කමන්නෑ වෙනේව කොරන්න යන්නෙපා.

      Delete
    2. කපන්ඩ වගේද ???

      Delete
    3. මට එකපාරටම මතක් උනේ “සැලියුට් මුද්‍රාව“... ඒ කතාව අහන්ඩ ආස අය ඉන්නවද?

      Delete
    4. ඔවු ඉන්නව. තව අවුරුද්දකිං විතර එන්නං.

      Delete
    5. ප්‍රේමදාස ජනාධිපතිගෙ පුතා බුදු පිළිම කඩලා නිධන් ගන්ඩ පටංගත්තට පස්සෙ, එයාගෙ ඉණෙං පහල පණ නැති උනා. ඒකට බය වෙච්ච පාර ප්‍රේමදාස ජනාධිපති, අර කැඩිච්ච බුදු පිළිම ආපහු හදලා කෙළිං කරවන්ඩ ගත්ත. ඒ ප්‍රයත්නයෙ අති සාර්ථක උදාහරණයක් තමයි මාළිගාවිල බුදු පිළිමෙ. මාළිගාවිල බුදු පිළිමෙ ප්‍රතිසංස්කරණය ඇත්තටම මහා විශ්මකර්ම වැඩක්. ඒක සාර්ථක වෙච්චි පාර, ප්‍රේමදාස ජනාධිපති නියෝගයක් දුන්න ඒ වගේ බිම වැටිල තියෙන තරමක් බුදුපිළිම කෙළිං කරල හිටවන්ඩය කියල. එහෙම කෙළිං කරන කරන පිළිමෙ උන්නැහැ උත්සවාකාරෙං විවෘත කරගෙන කරගෙන ගියා...

      ඔහෙම දවසක්දා උත්සවාකාරෙං කෙළිං කරපු බුදු පිළිමෙයක් විවෘත කරද්දි තමයිලු දැක්කෙ බුදු පිළිමෙ සැලියුට් එකක් ගහගෙන ඉන්නව. ඒ කියන්නෙ ඒක “සැලියුට් මුද්‍රාවෙ“ පිළිමයක්...

      වෙලා තියෙන්නෙ මොකද්ද කියල හිතන්ඩ පුළුවං ද?

      Delete
    6. සැතපෙන කල විඳි නිදිසුවේ
      කෙලිං කරල එළිවෙන උදේ 😆

      Delete
  3. Replies
    1. මෙන්ඩිය දැක්ක කල්...

      Delete
    2. දැං ආාා විතරද තියෙන්නෙ. 'ද බ්‍ර' හැලිල ද?

      Delete
    3. උගෙ කීබෝඩ් එක දැං එච්චර තදට වදින්නෑ...

      Delete
  4. ඊජිප්තුව කියන්නෙ කොහොමත් ආතල් ප්ලේස් එකක්.....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වහම මතක් උනා පුරාවිද්‍යාත්මක විහිළු කතාවක්...

      ටූටන්කාමන්ගෙ මමිය තිබ්බ සකොෆගස් එකේ තිබුණලු පැපිරස් කෑල්ලක්. ටූටා එහා ලෝකෙට ගෙනියන්න ගත්තු ලියවිල්ලක්... හාවඩ් කාටර් ඒක අමාරුවෙං කියවල බලද්දි, ඒක ටූටගෙ සපත්තුවක් කැඩිල හදන්ඩ දීපු කාර්මිකයෙක් ලියල දීපු රිසිට් එකක්.

      ඒකෙ උඩම තිබුණු හයිරොග්ලිපික් ලෝගො එක, කයිරෝ වල කඩේක ගහල තියෙනව දැක්ක කියල කාටර්ට මතකයි. ඉතිං කයිරෝ ගිය වෙලාවක කාටර් ඒ කඩේට ගියාලු. එතන කවුන්ටරේ හිටපු ළමයට කාටර් මොකුත් නොකියා අර පැපිරස් එක පෙන්නුවලු.

      ඒ ළමය අර පැපිරස් එක අරං ඇතුලට ගියාලු. ගිහිං විනාඩි පහකිං විතර එළියට ඇවිත් ඇහුවලු,

      “අර... පොයින්ටඩ් කර්වි බ්‍රවුන් කලර් ඇන්ටික් ෂූ එක නේද සර්...?“ කියල. කාටර් ඔළුව වැනුවලු ඔව් කියන්ඩ.

      “අනේ එක්ස්ට්‍රීම්ලි සොරි...“ කෙල්ල කිව්වලු... “...තාම රෙපෙයාර් කරල ඉවර නෑ... සර්ට පුළුවනිද තව සතියකිං විතර ඇවිත් බලන්න...?“

      Delete
  5. ඔක්කොමත් හරි මෙන්න මේක කියන්න ගිහින් දිව උලුක් උනා අෆ්ෆා - ප්ටාහ්
    තොරතුරු නම් මරු

    ReplyDelete
    Replies
    1. ටැංකිව් යාළු-පාට... ඇස්ටරික්ස් පොතක, රෝම හමුදාවට බන්ද ගන්නව ඊජිප්තු කාරයෙක්ව. නම ඇහුවම පොර හයිරොග්ලිපික් වලිං කියනව, “ටෙනිස් දැලක්“... ඉතිං උගෙ නම රෙකෝඩ් එකට ගන්නව, “ප්ටෙනිස්නෙට්“ කියල...

      Delete
  6. කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!
    මේක කියවලා බලන්නත් මාර හයියක් ගියා
    නමුත් වැඩක් වුනේ නෑ
    ඔලුවට කිසිදෙයක් ගියෙත් නෑ
    අපරාදේ !

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ ඇනෝ... ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් මේකෙන් යමක් ගනියි. ඔයාට බැරි උනාට කමක් නෑ...

      Delete
  7. ආය ඇවිල්ල හෙමීට කියවන්නං.
    னයා ඇවිල් ගියා කියල විතරක් දැනගත්තම ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. ගියාට කමක් නෑ. ආයි එන්ඩ... ප්‍රසා තමයි ඉතිං අපි උන්නද මළාද කියලවත් හොයන්ඩ ඉන්නෙ...

      Delete
    2. ප්‍රසා තමයි ඉතිං අපි උන්නද මළාද කියලවත් හොයන්ඩ ඉන්නෙ.

      ඒ එයා සමනලයෝ හොයනවා ලොලිපොප් කන්න. ඇයි අනේ ඔයත් සමනල වෙන්නද
      බයවෙන්න එපා අනේ අපිව ළඟදීම ලිගල්යිස් කරනවා කියලා මංගල ඇමතිතුමා කිව්වා
      එකට අපිට හරි ජොලි ! ප්ලීස් ජෝයින් ලොල්

      Delete
    3. ප්‍රොෆයිල් එකකිං එන්නැතුව, ඇනෝ ඇවිත් අනුන්ට මඩ ගහන උං තමයි නියම පිරිමි. අනේ ෆල යන්ඩ...

      Delete
  8. https://genius.com/Tool-rosetta-stoned-lyrics

    ReplyDelete
    Replies
    1. ඒ ටිකට සිංදුත් ගහලය?

      Delete
  9. ගජබින්නාලංකාරෙ බේගලයක් කියවන්න කියල හිටං ආවෙ. වෙන ගලක් ගැනනෙ ලියල තියෙන්නෙ😊
    කමක් නෑ ජයවේවා !

    ReplyDelete
    Replies
    1. විභාගේ ඔක්තෝබරේ. ඊට පස්සෙ දෙඤ්ඤං ඇට්ටි හැලෙන්ඩ...

      Delete
  10. ඉතා වටිනා අතීතයෙන් බිඳක් සැපයුවාට තුති
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අගය කිරීමට... විචාට නං මේකට මොනව හරි එකතු කරන්න තිබුණ...

      Delete
  11. බොලාටත් ගලක් කිව්වොත් ඉතිං ඕන දෙයක් ලියන්න පුලුවන්.. අපිට තියෙනෝ පනාකඩුවේ තඹ සන්නස හරිය..

    ReplyDelete
    Replies
    1. “හරිය“ තියෙන්නෙ පනාකඩුව තඹ සන්නසේ නෙමෙයි දේශො... නයිකි සපත්තු වල.

      හැක්

      Delete
  12. ඈ ඩ්‍රැකියො, House of Ptolemy කිවුවහම 'ටොළමි ගෙදර' කියන අදහස නෙවෙයි, 'ටොළමි පෙළපත' කියන අදහස නේද දෙන්නෙ? හරියට House of York, House of Lancaster කියනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? ටැංකිව් බුරා... ඒක මං හැදුව

      Delete
  13. ඕකෙ කොටලා තිබිලා නැද්ද, හෙළයො අහසින් ඇවිත් තමා මේ ඔක්කොම අපිට දීලා ගියේ කියලා??

    ReplyDelete
    Replies
    1. තිබුණ තිබුණ... “පරුමක රවන අමෙතෙ මිරැන්ඩ“ කියලත් තිබුණ

      Delete
  14. Replies
    1. තෑන්ක්ස් තරිය... මේක හදාගන්ඩ උදව් කළාටත් එක්ක...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්

‘‘.... කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු , නිපුණ අතකින් සාදන...

ගොඩක්ම කියවපු ලිපි