මේත් ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටා ගත් ලිපියක්...
ක්ලැරන්ස් විජේවර්ධන සහ මූන්ස්ටෝන්ස්
ශ්රී ලංකාවේ සිංහල පොප් සංගීතයේ වඩාත්ම බලගතු සංගීත කණ්ඩායම් අතරින් එකක් ලෙස Moonstones කණ්ඩායම හඳුන්වන්න පුලුවන්. කණ්ඩායමේ ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු හා ගායකයා ලෙස ක්ලැරන්ස් විජේවර්ධනගේ, සහ ප්රධාන ගායකයා ලෙස ඇනස්ලි මාලේවන ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම සංගීත ක්ෂේත්රය කුණාටුවක් වගේ ප්රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තා වගේම 60 දශකයේ අගභාගයේදී සහ 70 දශකයේ මුල් භාගය පුරාවටම ශ්රී ලංකාවේ ජනප්රියම සංගීත කණ්ඩායමක් බවට පත්වුණා.
නමුත්, මෙම කණ්ඩායමේ ආරම්භය 1964 දක්වා දිව යනවා. රත්නපුරේදී Los Harmonicos නමින් පටන් ගන්න මේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් වුනේ චාර්ල්ස් සෙනෙවිරත්න, ප්රේම් අත්තනායක හා ක්ලැරන්ස් විජේවර්ධන යි. ඒ ක්ලැරන්ස් විජේවර්ධනයන්, කිංස්ලි පෙරේරාගෙන් ගිටාර් ඉගෙන ගන්න කාලේ. මම අහලා තියෙන විදියට, කිංස්ලි පෙරේරා කියන්නේ ක්ලැරන්ස්ගේ මුල්ම හා එකම සංගීත ගුරුවරයා. 1964-1966 කාලය තුල Los Harmonicos රත්නපුරය හා ඒ අවට පැතිවල විවිධ අවස්ථා හා උත්සව වල වාදනය කරමින් සිටි අතර එක් දිනක, උපන්දින සාදයක වාදනයට ආරාධනා ලැබෙනවා. ඒ ශ්රී සඟබෝ කොරෙයා මහතාගේ දියණියගේ උපන්දින සාදයට. මොවුන්ගේ වාදන හැකියාව ගැන කැමති හා උනන්දු වෙන මෙතුමා, කොළඹ යාමට අවස්ථාවක් මොවුන්ට ලබා දෙනවා. ක්ලැරන්ස් මේ අදහසට කැමති වන නමුත් ප්රේම් සහ චාර්ල්ස්, ඔවුන්ගේ රැකියා කටයුතු නිසාත්, ඔවුන්ගේ ගායන විලාශය සඟබෝ කොරෙයා මහතා බලාපොරොත්තු වූ මට්ටමක නොවූ නිසාත්, ප්රතික්ෂේප කරනවා. ඒ නිසා ක්ලැරන්ස් විජේවර්ධනයන් හට මේ දෙදෙනාට සමු දෙන්න සිදුවෙනවා.
1966 දී ශ්රී සඟබෝ කොරෙයා, ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සුදුසු ප්රධාන ගායන ශිල්පියෙක් විදිහට ඇනස්ලි මාලේවන සොයා ගැනීමත් එක්ක සංගීත කණ්ඩායම සම්පූර්ණ කරනවා. ක්ලැරන්ස් (rhythm guitar) සහ ඇනස්ලි (vocals) මොන්ටි වත්තලදෙණිය (වටලාදෙණිය?) (Congo & Cuban drums) සහ ධම්මික විජේසිරි (Maracas) කණ්ඩායමේ සාමාජිකයන් වුණා. ශ්රී සඟබෝ කොරෙයා මෙම දක්ෂ කලාකරුවන් කොළඹට ගෙන්වා ගත්තා පමණක් නොව කණ්ඩායමට "The Moonstones" යන නම ලබා දුන්නේ ඔවුන් රත්නපුරයෙන්, එනම් මැණික් නගරයෙන් ආරම්භ වූ නිසා. ගුවන්විදුලියෙන් බොහෝ තරු ප්රවර්ධනය කළ පුද්ගලයා පිළිබඳ හැඳින්වීමක් සඟබෝ කොරෙයා ඔවුන්ට ලබා දුන්නා; ඒ සඟබෝ කොරෙයාගේ ඥාති සහෝදරයෙක් වූ විජය කොරෙයා. The Moonstones ප්රථම වරට විජය කොරෙයා විසින් ඔවුන්ගේ "මංගෝ නැන්දා" record තැටිය ප්රචාරණය කරන ලද්දේ 1967 වසරේ සෙනසුරාදා රාත්රී 9.00 ට Radio Ceylon හි "Saturday - Stars" වැඩසටහන සඳහා. එය කණ්ඩායම ක්ෂණික කීර්තියට පත් කරනවා. ඒ නිසාම මංගල රොද්රිගු (lead guitar), සුනිල් මාලවන (lead guitar), උපාලි උබේසේකර (sitar) සහ ෆෙරෝස් අස්මන් (base guitar) 1967 දී සංගීත කණ්ඩායමට එක් වෙනවා. එම වසරේදීම "Beacons" සංගීත කණ්ඩායම සමඟ මංගල උත්සවයකදී වාදනයකින් ආශ්වාදයක් ලැබූ ක්ලැරන්ස් සංගීත කණ්ඩායමට විද්යුත් ගිටාරය හඳුන්වා දෙනවා. අවසානයේ බීකන්ස් හි චානක පෙරේරා (base guitar) සහ විජිත් පීරිස් (drums) සංගීත කණ්ඩායමට එකතු වෙන අතරම ඔවුන් පසුපස ගොස් අජිත සිවානන්දන් (piano) ද එකතු වෙනවා.
කණ්ඩායම එම වසරේම සූරිය ලේබලය සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම වූයේ "දිල්හානි", "ගොන් වස්සා", "සුමුදු මල්" සහ "කුසුමලතා" යන ගීත සඳහා වන අතර ඒවා "දිල්හානි" ගීතය සඳහා සුදුසු කාන්තා කටහඬක් සොයමින් සිටි නිසා පටිගත කිරීම හරියට සිදුවුණේ නෑ. ඒ සඳහා ඇනස්ලි, ඉන්ද්රානි පෙරේරාව කණ්ඩායමට හඳුන්වා දෙන තෙක් බලා සිටීමට සිදු වෙන්න වුණා. මේ අනුව ඔවුන්ගේ දෙවන නිකුතුව 1969 මැයි 11: ගිවිසුම අත්සන් කිරීමෙන් හරියටම වසරකට පසුව නිකුත් වුණා. ඒ album එක, EP තැටි ඉතිහාසයේ එදා මෙදා තුර ලැබූ ඉහළම ආදායම් වාර්තාව සනිටුහන් කලා. මේ වන විට ඇන්ටන් ගුණතිලක album එක සඳහා lead guitarist කෙනෙක් විදිහට පෙළගැස්මට එකතු වුණා. සමූහයේ ඊළඟ album එක "Moonstones with Indrani Perera" නමින් නැවතත් සූරිය විසින් නිෂ්පාදනය කරන්නේ Decca ලේබලය මත. ඉන්ද්රානිගේ "වන දෙව්ලිය තුරුලේ" ලෙසින් ප්රකට "සීගිරිය", ඇනස්ලි සහ ඉන්ද්රානිගේ යුග ගීතයක් වූ "පෙම් කතාව" (මම එදා ගොසින්), ඇනස්ලිගේ "රාළහාමි" සහ "සුමුදු සමන් මල්" යන ගීත EP තැටියෙහි ඇතුළත් වුණා.
1972 දී ක්ලැරන්ස් විජේවර්ධන Moonstones හැර ගිය අතර ඇනස්ලිට සංගීත කණ්ඩායමට නායකත්වය දීමට සිදු වුණා. එබැවින් සාමාජිකයන් මයික් ගුණසේකර (rhythm guitar & harmony), සුනිල් මාලවන (base guitar), මංගල රුද්රිගෝ (lead guitar), Lorenz Mauricks (keyboard), Stanmore de Jonk (drums) සහ ලලිත් ප්රනාන්දු (vocals) ගෙන් සමන්විත විය. මෙම සංගීත කණ්ඩායමේ "දුන්හිඳ මනමාලි" සහ "තොටියා" වැනි බොහෝ ගීත ජනප්රිය වූ අතර සිංහල සහ බටහිර පොප් සංගීතය යන දෙකම ගායනා කරන dance band එකක් ලෙස ඉතා ඉක්මනින් කීර්තියක් ගොඩනඟා ගත්තා. The Mendis Foursome විසින් රචිත සූරිය ඇල්බමය CHB 027 “මම බොහොම බයවුනා” සහ පෝල් ප්රනාන්දුගේ CHB 031 “එගොඩ ගොඩේ” සඳහාද Moonstones පසුබිම් සංගීත කණ්ඩායමක් ලෙස ද ඉදිරිපත් වුණා. එය ජනප්රිය "සූරිය Show" සංදර්ශනවල දිගටම ප්රදර්ශනය වුණා. Moonstones, Radio Ceylon හි සිංහල පොප් ගීත විකාශනය කළ පළමු කිහිප දෙනාගෙන් එකක් වූ අතර සංගීත කණ්ඩායම විද්යුත් ගිටාර් සහ සිතාර් සංගීතය පිළිබඳ අත්හදා බැලීම් සමඟින් සිංහල පොප් හි පරිවර්තනයක් සනිටුහන් කළා. සංගීත කණ්ඩායම අවසානයේ විසිරී ගිය නමුත් ඇනස්ලි සහ ක්ලැරන්ස් පසුව 'The Super Golden Chimes' පිහිටුවීමට නැවත එක් වෙනවා.
Moonstones ලා ගේ සංගීතය ගත්තොත්, ඒකේ පැහැදිලිව පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.
• මුල් කාලයේදී acoustic ගිටාරය හා electronic නොවන acoustic instruments භාවිත කිරීම.
• ගීතවල සරල narrative pattern එකක් තිබීම.
• ලාංකේය කණ්ඩායම් ගීතවල වැඩිපුර භාවිත වූ parallel multiple chord techniques වලට ටිකක් වෙනස් single parallel chord technique එකක් භාවිත කිරීම.
• තම ගීත සඳහා semi-classical song format එක භාවිත කිරීම.
(intro -> chorus -> interlude -> verse 1 -> interlude -> verse 2 -> chorus)
• තම ගීතවල key එක සඳහා Dominant හෝ Sub Dominant key එකක් යොදාගැනීම.
• Intro හා interlude කොටස් වාදනයට ගිටාරය නොවන වෙනත් instrument එකක් භාවිත කිරීම. (Keyboard, sitar වැනි)
සාමාන්යයෙන් අපි හිතන්නේ "ක්ලැරන්ස්ගේ මුල් ගීතවල ඉඳන්ම prime instrument එක වුනේ guitar එක" කියලා. නමුත් මේ කාරණාව යම්තාක් දුරට ඇත්ත වන්නේ Moonstones මැද භාගයේ. හරියටම කිව්වොත්, මංගල රොද්රිගු band එකට ආවට පස්සේ. මෙයාලගේ "මංගෝ නැන්දා" album එකේ ගිටාරය භාවිත වෙන්නේ අඩුවෙන්. සිතාරය හා keyboard එක තමයි ටිකක් වැඩිපුර ඒ ගීතවල highlight වෙන්නේ. ඒ වුණත් ගීතවල තැනින් තැන noticeable වෙන guitar parts ද තිබුණේ නැත්තෙත් නෑ. ඒ වගේම මේ කාලේ ක්ලැරන්ස් එයාගේ ගීත බොහොමයක්ම නිර්මාණය කරන්නේ Major keys වලින්. Minor key එකකින් නිර්මාණය කළ ගීතයක් හමු වන්නේ නැති තරම්, මං හිතන්නේ. Minor keys වලින් ගීත නිර්මාණය කරන්න පටන් ගන්නේ ක්ලැරන්ස් Golden Chimes ඉන්න කාලේදී.
අනෙකුත් සංගීත කණ්ඩායම් වගේ Moonstones කණ්ඩායමත් (ක්ලැරන්ස්) ඔවුන්ගේ ගීතවලට වස්තු බීජ කරගත්තේ පරිසරය, චරිත හා පුද්ගලයින්,සමාජ සිදුවීම් වැනි මාතෘකා යි. පද රචනයේදී පවා නිදහස්ව බස හසුරවලා සරල භාෂාමය ආකෘතීන් වලින් පද පේලි ගැලපීමට ක්ලැරන්ස්ට හැකිවෙලා තියෙනවා. අපි ඉස්කෝලෙදී සිංහල වලට ඉගෙන ගන්න එළිවැට, එළිසමය ගැලපීම වගේ කාව්යෝපක්රම, ක්ලැරන්ස් මුල් කාලයේ භාවිත කලේ අඩුවෙන්. "මංගෝ නැන්දා" ගීතය මෙයට හොඳම උදාහරණයක්. නමුත් කාලය ගතවෙනවාත් සමගම Moonstones, ඔවුන්ගේ මුල් සංගීත විලාශය දැන් අපි දන්න Moonstones විලාශය දක්වා වෙනස් කරගෙන තියෙනවා.
Moonstones සංගීත කණ්ඩායම මුල් කාලයේදී acoustic instruments භාවිත කල බව මෙහි මම කලින් සඳහන් කලා. Acoustic (box) ගිටාරය, සැක්සෆෝනය, බටනලාව, සිතාරය, acoustic keyboard හෝ පියානෝව, කොංගෝ බෙරය, Maracas එවැනි සංගීත භාණ්ඩ යි. මුල් අවධියේ Moonstones මඳක් කැලිප්සෝ ප්රවේශයක් ගත් නිසා acoustic සංගීත භාණ්ඩ භාවිතය සාධාරණ බව පෙනී යනවා. නමුත් ක්ලැරන්ස් විවිධ සංගීත භාණ්ඩ සමග විවිධ අත්හදා බැලීම් කල බවට මම මගේ කලින් ලිපියේ ලියා තිබුණා. එය, ක්ලැරන්ස් Moonstones කාලේ ඉඳන්ම කල දෙයක්. ඉන්දියානු සිතාරය භාවිත කොට නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි" ගීතය මෙයට හොඳම උදාහරණයක්. තවද "සීත උදේ පිපී මල්" ගීතයේ interlude part එකටද සිතාරය වාදනය වනවා.
මම කලින් සඳහන් කලා Moonstones ගීතවල ගිටාරය highlight වෙන්නේ මංගල රොද්රිගු කණ්ඩායමට සම්බන්ධ වුනාට පස්සේ කියලා. ඒ නිසා "දිල්හානි" ගීතය Moonstones ගීත අතරින් විශේෂ තැනක් ගන්නවා. ඒ, intro, interlude parts සියල්ල lead ගිටාරයෙන් වාදනය වූ පළමු Moonstones ගීතය වන නිසා. මෙම ගීතය ඉන්ද්රානි පෙරේරා මහත්මියව ප්රේක්ෂකයන්ට හඳුන්වලා දෙනවා. ඒකත් එක්තරා ආකාරයක රසවත් සිදුවීමක්. ඇනස්ලි මාලේවන, ඇයව Moonstones වෙත සහභාගි කරගන්නේ ඇයගේ ඉමිහිරි ගායනය නිසා. "දිල්හානි" ගීතය ජනප්රිය වීමත් සමඟ සජීවී ප්රසංග සඳහා සහභාගි වන ඉන්ද්රානි පෙරේරා වෙතට ප්රේක්ෂකයන් මුලින්ම දක්වන්නේ අකමැත්තක්. ඒ ඇයට "ගායිකාවක ගේ පෙනුමක් නැති" යැයි සමච්චල් කරමින්. නමුත් ඒ විනිශ්චයකාර ප්රේක්ෂකයන්ගේ කටවල් වසමින් ඇගේ ගායනය සිත් පැහැරගැනීමට තරම් ලයාන්විත වෙනවා. ගීතය අවසාන වනතෙක්ම නිහඬව සිටි එම ප්රේක්ෂකයන් ගීතය අවසන් වූ පසු "one more! One more!" යනුවෙන් ඔල්වරසන් දෙනවා. කෙනෙක්ව රූපයෙන් මනින්න බැරි බව මුලින්ම මම දැනගන්නේ මේ කතාවෙන්.
මේ වගේ හුඟක් කරුණු තියෙනවා Moonstones ලා කණ්ඩායම් සංගීතයේ පෙරළිකාරයන් බවට පත්කරන. රසවත් කතාන්දර වගේම ඔවුන්ගේ සංගීතයේ ගැඹුරින් සොයා බැලිය හැකි ලක්ෂණ, එකල සමාජ මතයන්ට හා කණ්ඩායම් සංගීතයට වෛර කල "ප්රබුද්ධ විචාරකයන්" ට එරෙහිව ලංකාවේ එකල තාරුණ්යයේ නව ආරක සංගීත රැල්ලක් ඇතිකල අයුරු, ඔවුන්ගේ කණ්ඩායමේ විකාශය වගේ නොයෙක් දේවල් තියෙනවා හොයන්න පටන් ගත්තොත් කවමදාකවත් එපා වෙන්නේ නැති. එහෙම ගත්තොත් Moonstones ලා කියන්නේ එක්තරා විදියක trendmakers ලා set එකක්. මොකද, එදා ඒගොල්ලන් ජනප්රිය කරපු "මංගෝ නැන්දා" වගේ ගීත අදටත් trips යද්දී, big match වල papare music වලට අපි කියනවා. කණ්ඩායම තාවකාලික වුණත් ඔවුන් බිහිකරපු සංගීතය සදාකාලිකයි.
පසුගිය ජූනි මාසයේ ඇනස්ලි මාලේවනගේ 75 වෙනි උපන්දිනය හා මේ අගෝස්තුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ 79 වෙනි උපන්දිනය යෙදී තියෙනවා. ඉතින් මේ අගෝස්තුවට කලින් මේ දෙවන ලිපිය ලියන්න ඕන කියල මට හිතුනා. මේ වගේ හුඟක් කතන්දර ගැන මට දැනගන්න ලැබෙන්නේ මගේ තාත්තාගෙන් වගේම මගේ සීයාගෙන් හා වැඩිහිටියන් කීපදෙනෙක්ගෙන්. මොකද මේ වගේ හුඟක් සිදුවීම් වෙනකොට ප්රේක්ෂකාගාරයේ සංගීත ලෝලීන් සමඟ ඒගොල්ලොත් හිටපු නිසා. ඒත් මට මේවා සුරංගනා කතා වගේ. හැම කතාවක්ම රසවත්. ඒත් අනෙක් මනඃකල්පිත සුරංගනා කතන්දර වගේ නෙවෙයි. මේවා ඇත්තටම අතීතයේ සිදු වූ ඒවා. මේවා ඇත්ත කියලා පෙන්වන සාක්ෂි තමයි ඔවුන් එදා නිර්මාණය කල අදටත් ඉතුරු වී තිබෙන ගීත.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය කණ්ඩායම් සංගීතය නවමු මාවතකට යොමුකල සංගීත කණ්ඩායම ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2022.07.28 දීය.
ක්ලැරන්ස්ලාගෙන් පස්සේ කොච්චර කවුරු ආවත්, අදටත් වෙඩින් එකක හරි නැත්තම් කට්ටියක් නිකම් සෙට් උනත් කියවෙන්නේ ක්ලැරන්ස්ගේ සිංදු ටික. නැත්තම් ඇනස්ලිගේ සිංදු ටිකක්. ගොඩක් අය ගිටාර් ගහන්න මුලින් අල්ලගන්නෙත් ක්ලැරන්ස් (මමත් ඇතුළුව).
ReplyDeleteමෙහෙමත් ලිපිත් නරකම නෑ, අපට මිස් වෙන මේ වගේ FB ලිපි. ආයෙ එන්නම්.
ReplyDeleteයකඩො ඒකේ දිග...බාගයක් කියෙව්ව.ඉතුරු ටික ආයෙ ඇවිත් කියවන්නම්.ෆිල්ම් එක බලන්න යන්න ඉන්නෙ...මං ක්ලැරන්ස්ගෙ ආසම සැන්දෑ වලාවන් ....
ReplyDelete