Wednesday, June 4, 2014

නව අරහාදී බුදුගුණ මෙනවාද? - 2014 පොසොන් කළාපය ඇරඹේ

පසුගිය මාසයේ වෙසක් කළාපය කරන්න හිටියත්, විවිධාකාර දේවල් නිසා ලියන්න බැරි වුණා. ඒ අඩුව මැකෙන්නත් එක්ක පොසොන් කළාපය කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානයෙන්, අකුරු කරන්න වාඩි වුණා.

පොසොන් කළාපයෙන් මේ පාර නව අරහාදී බුදුගුණ ගැන මේ දවස් ටිකේම හිතේ එකතු වුණ අදහස්, ගවේෂණයක් විදිහට එළියට දාන්න හිතුනා.

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා තී

මේ පාලි පාඨයෙන් දැක්වෙන බුදුගුණ මේ මේ යැයි පැහැදිලි කරගැනීම තමා මේ ලිපියෙන් අරමුණු කරගන්නෙ.

මේ පාලි පාඨයේ තියෙන බුදුගුණ මොනවද?
  1. අරහං
  2. සම්මා සම්බුද්ධ
  3. විජ්ජාචරණ සම්පන්න
  4. සුගත
  5. ලෝකවිදු
  6. අනුත්තර පුරිසධම්මසාරථි
  7. සත්තා දේවමනුස්සානං
  8. බුද්ධ
  9. භගවා

බුදුන් වහන්සේ පසිඳුරන්ගෙන් ලැබෙන රූප, ශබ්ද, ගඳ/සුවඳ, රස, ස්පර්ෂ ආදී දෙය කෙරෙහි ඇලීමකින් තොරවූ තත්ත්වයට පත්වුණ තැනැත්තෙකි. මනසින් ඇතිවන අරමුණු කෙරෙහි ඇලීමකින් තොර තත්ත්වයට පත් වුණු තැනැත්තෙකි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර වූ තැනැත්තෙකි. මේ ගුණය අරහං යනුවෙන් හැඳින්වේ.

සසර ගමන නැවැත්වීමට මාර්ගය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් බව, සම්මා සම්බුද්ධ යන වචනයෙන් හැඳින්වේ.

ලෝකය පිළිබඳ සියලු විද්‍යාවන් අවබෝධ කරගෙන, ඒ අනුව හැසිරුණු බව විජ්ජාචරණ සම්පන්න යන පදයෙන් හැඳින්වේ. (මේක හරියට මෙට්රික්ස් එකේ කෝඩ් එක නියෝ විසින් අවබෝධ කරගැනීම වගේ දෙයක්ය යන්න මගේ හැඟීමයි. ලෝකයේ නියම තත්ත්වය සහ ස්වරූපය අවබෝධ කරගත් අයෙකුට, ගුරුත්වාකර්ෂණය, ආලෝකයේ වේගය වගේ භෞතික ලෝකය මෙහෙයවෙන නීතීන් තමන්ට අවශ්‍ය පරිදි නැවීමට හැකි වේ. ඒ අනුව පෘතග්ජනයන්ට ප්‍රාතිහාර්ය හෝ මැජික් ලෙස දැනෙන දේවල් පවා කරන්නට හැකියාව ලැබෙනු ඇත.)

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මධ්‍යම ප්‍රතිපදාවට එළඹුණු බුදුන් වහන්සේ, මූලික මාර්ගයන් අටක් (ආර්ය අෂ්ටාංගික මාර්ගය) ඔස්සේ කටයුතු කළ සේක. එසේ නියම මගට පිවිසී, ඒ මාර්ගයේ ගමන් කළ නිසා සුගත යන නමින් හැඳින්වේ.

අපට පියවි ඇසට පෙනෙන ලෝකයත්, එසේ නොපෙනෙන අනෙක් ලෝකත් යන සියලු ලෝකයන් පිළිබඳව දැනසිටි නිසා ලෝකවිදු යන පදයෙන් බුදුන් වහන්සේ හැඳින්වේ. මෙතැනදී බොහෝ දෙනා සතර අපාය, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක ආදිය අදහස් කරති. ඒ ලෝක සියල්ල මිහිපිටම පවතින දේවල්ය යනු මාගේ අදහසයි.  (සරත් ලංකාප්‍රිය වරක් කියා තිබුණා වගේ, අපට ඇසට නොපෙනෙන කොතරම් ජීවීන් මේ මිහිපිට සිටිනවාද? අපගේ ක්‍රියාවක් ක්‍රියාවක් පාසා ඒ ජීවීන් හිරිහැර විඳිති.)

කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි, පරාජය කළ නොහැකි බොහෝ දෙනාගේ දළදඬු බව - තම මෛත්‍රී, කරුණා, උපේක්ඛා ගති ගුණ වලින් සහ දර්ශනය මඟින් මොලොක් කර, තමන් වෙත මිතුරු කර ගැනීමටත්, තම අරමුණ සහ තම දර්ශනය වෙත යොමු කරවා ගැනීමටත් බුදුන් වහන්සේ සතු වූ හැකියාව අනුත්තර පුරිසධම්මසාරථි නම් පදයෙන් හැඳින්වේ.

බුදුන් වහන්සේ සියලු දේව මනුෂ්‍යයන්ගේ ශාස්තෘන් ලෙස හැඳින්වෙන බව සත්තා දේවමනුස්සානං යන පදයෙන් දැක්වේ.

තමන් වහන්සේ අවබෝධ කරගත් දර්ශනය පැහැදිළි ලෙස, තේරුම් සහිතව, විස්තරාත්මකව දේශනා කර ඇති බව, බුද්ධ යන වචනයෙන් අදහස් වේ. ඇත්තටම සූත්‍ර පිටකය සහ අභිධර්මය යන කොටස් වලින් බුදුන් තම මාර්ගය කොයිතරම් සවිස්තරාත්මකව සහ ගැඹුරින් පැහැදිළි කර තියෙනවාද යන්න ගැන හොඳ අදහසක් ලබා ගන්නට හැක.

බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බලන විට එතුමා මෙතෙක් බිඳ හෙළන්නට නොහැකි දර්ශනයක් බිහිකළ දාර්ශනිකයෙක් සහ ශාස්තෘ වරයෙක් බවට පත්වන්නට හැකිවූ මහා භාග්‍යවන්තයෙක් බව පෙනේ. මෙය භගවා යන පදයෙන් හැඳින්වේ.

http://www.travel-pictures-gallery.com/images/sri-lanka/polonnaruwa/polonnaruwa-0013.jpg


බුදුන් වඳින්නට යොදාගන්නා මේ සරළ පාලි පාඨයෙන් පවා බුදුන් ගැන සහ උන්වහන්සේගේ දර්ශනය ගැන හොඳ අවබෝධයක් ගන්න හැකියාව ඇත.

ප/ලි

මට තේරුම්ගන්නට නොහැකි එකම දෙය වන්නේ, මෙම පාඨය පුනරුච්ඡාරණය කරමින් බුදුන්ගේ මේ මේ ගතිගුණ වල බලයෙන් මට යහපතක් වේවා, මගේ ග්‍රහ අපල දුරුවේවා කියමින් කවි හදාගෙන ගායනා කරන තක්කඩියන්ගේ අරමුණ මොකද්ද යන්නයි. සෑම දවසකම රේඩියෝ චැනල් වලින් මේ දේවල් ප්‍රචාරය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය නැඟූ විට මට ලැබෙන සුලභම උත්තරය වන්නේ මම බෞද්ධයෙක් නෙවේය යන්නයි. බෞද්ධයෙක් කියන්නේ කාටද? මෙයින් වන්නේ ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සෙන එක පමණකි.

බුදුන් වහන්සේ “කිං කරිස්සන්ති තාරකා“ (තාරකා මොනවා කරන්නද?) කියා එක් තැනක දේශනා කර ඇති බව මා දැක තිබේ. උන්වහන්සේ ගේ දේශනා අනුව මා අවබෝධ කර ඇත්තේ:
  1. මනස සියලු ධර්මයන්ට මූලික වන්නේය, පෙරටු කොට යන්නේය,
  2. අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සසර දුක කෙටි කරගැනීම බෞද්ධයාගේ අරමුණයි, 
          ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ:

                                I.            යහපත් වචන,
                              II.            යහපත් කර්මාන්ත,
                            III.            යහපත් ජීවන ක්‍රමය,
                            IV.            යහපත් වෑයම,
                              V.            යහපත් සිහිය,
                            VI.            යහපත් සමාධිය (සිතේ එකඟ බව)
                          VII.            යහපත් දැකීම,
                        VIII.            යහපත් සංකල්ප,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මෙතැන දීර්ඝ ලෙස විස්තර කළ යුතු වුනත්, මේ ඊට වේලාව හෝ තැන හෝ නොවේ. එසේ කර ඇති පැහැදිලි විස්තරයක් මෙතැනින් කියවන්න පුළුවන්.

ඉතින් බෞද්ධයන් කළ යුත්තේ මගඩිකාර රේඩියෝ මුදලාලිලාගේ තක්කඩිකම් පස්සේ යාමද / බුදුන්ගේ සරණ හෙවත් බුදුන් ගේ මාර්ගයේ (ටෙලිෆෝන් එකෙන් කතා කරලා අන්තිමට කියන බුස්සරණ නෙමෙයි) යාමද?

25 comments:

  1. ආගමට ඇබ්බැහි වෙනව කියන්නෙ අබිං වලට ඇබ්බැහි වීමට සමානයි කීවෙ මාක්ස...
    අපේ මිනිස්සුත් ටෙම්කට ඇබ්බැහි වෙලා... ඒත් අබිං වලට වඩා දරැණු ප්‍රතිවිපාක තියෙනව කියලයි මට හිතෙනිනෙ...
    අද වෙද්දිබුද්ධාගම විකුණන් කන එක තමා ප්‍රධානම ආදායම් මාර්ගය...
    එයාල කවද හරි බුද්ධ දර්ශනයටත් අත තියයි

    ReplyDelete
    Replies
    1. බුදුන් වදාළ ධර්මය ආගමක් බවට පත් කරගත්තේ මයෙ හිතේ අශෝක අධිරාජයා. දැන් වෙලා තියෙන්නෙ ඒක බිස්නස් එකක් බවටත්, දේශපාලන අතකොළුවක් බවටත් පත් කරගෙන තියෙන එකයි. ඒක හරි හැටියට නොදකින අපේ සැදැහැවත් බෞද්ධයාට ඉතින් ඒක අබිං නෙමෙයි හෙරොයින්ම තමයි.

      Delete
    2. ඒක කලේ එයාද...??? මං හිතාන උන්නෙ ඒක වුනේ ලංකාවෙ දඹදෙණි යුගයෙ කියලයි.... මොකද අනෙක් රටවල ලංකාවට සාපේක්ෂව බුද්ධාගම තාම දර්ශනයක්..

      Delete
    3. අශෝක අධිරාජයා ධර්ම විජය සංකල්පය යටතේ තමන්ගෙ යටත් විජිත වාදය ව්‍යාප්ත කරවීම ගැනයි මං අදහස් කළේ. දඹදෙණි යුගය ගැන මගෙ දැනුම නම් හරි අඩුයි. අනුරාධපුර යුගය වෙද්දිම නම් බුද්ධාගම ආගමක් බවට පත් වෙලා තිබුණ බව පැහැදිළියි.
      අනෙක් බොහෝ රටවල බුදු දහම දර්ශනයක් විදිහට අනුගමනය කිරීම ගැන මාත් එකඟයි.

      Delete
  2. මට නම් තියෙන ප්‍රශ්ණේ ඕක නෙමෙයි. ඔය ගාථා ලව්ස්පීකරෙන් කන පැලෙන්න දැම්මාම, බුදු හාමුදුරුවන්ගේ අම්මා මතක් වෙන්නේ ඇයි කියන එක.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    2. මතක් වෙන්න ඕනෙ එහෙම ලවුඩ්ස්පීකර් පාවිච්චි කරන උන්ගෙ අම්මලා නෙව මාතලං...

      Delete
  3. පන්සිල් රැකගෙන ජීවත් වෙනවා. ඔච්චරයි මගේ ආගම. හිත නිස්කලංක කරගන්න ඕනි උනාම පංසල් යනවා. ඒ මට හිතුන දවසක. පෝයට නෙවෙයි. සිල් නම් ගන්නෙම නෑ. මොකද ඕක අරං එන්න පන්සලට යන්නෝනි නෑනෙ. ගෙදරට වෙලා රැකගෙන හිටියම ඉවරනෙ. කාටවත් මගෙන් කරහරයක් නැතිව, මටත් මගෙන් කරදරයක් නැතිව ජීවත්වෙන එකයි මගේ ආගම.

    ReplyDelete
    Replies
    1. ගිහියෙක් පවතින්න ඕනෙ පිළිවෙල සිගාලෝවාද සූත්‍රය වගේ සූත්‍ර වලින් බුදුන් දේශනා කර තියෙනවා. ඒ කොහෙවත් මං දැකලා නෑ, බෞද්ධයෙක් කියන එක මහ හයියෙන් ප්‍රකාශ වෙන විදිහට කැසට්, තැටි ධාවන යන්ත්‍ර භාවිතා කරන්න හරි, දේවාල ගානෙ යන්න හරි, අනවින කොඩිවින හද හූනියං කරන්න හරි කියලා තියෙනවා.
      මට හිතෙන්නෙ මනෝශ් කියන විදිහට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන එක අර කියන ඊනියා බෞද්ධ කමට වඩා හොඳයි.

      Delete
  4. ඩ්‍රැකී අගනා ලිපියක්නේ අද හාමුදුරු කෙනෙකුට වඩා හොදට පහදල දීල තියනවා. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්, මේක බොහොම පොඩි දෙයක්...

      Delete
  5. මේ ධර්ම දානය වෙනුවෙන් ඔබට පින්සිදුවේවා!

    ReplyDelete
  6. ඩ්‍රැකී ඇහුවද අර මහාචාර්ය නෝනා කෙනෙක් රූපවාහිනියක පිරිත් ගැන කියපු කතාව ? එයා කියන්නෙ පිරිතෙ ශබ්ද බලයේ පුදුමාකාර ශක්තියක් තියෙනවා ඒ නිසා අහන අයට ඉන් යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලයි. එයා ඒ වෙනුවෙන් යුද්ධ කරන තත්වෙට ආවේගමත් උනා මම දැක්ක. ඔන්න තත්වෙ. පිරිත් වල තියෙන්නෙ බුදු දහම. ඒක තේරුම් අරන් ඒ විදිහට ජීවත් වෙන්න ඕනෙ ප්‍රතිඵල ලබන්න. සද්දෙ ඇහුවම ලෙඩ හොඳවෙනවා කීම කිරෙන් නෑවාම ඇඟට පෝෂණය ලැබෙනවා කියල කියනවා වගේ..
    මම බුදුන් වඳිනවා. මම වඳින්නෙ ඒ ගුණයන්ටයි දහමටයි ඒ දහම දේශනා කල ගුරුතුමාටයි මාර්ග උපදේශකයාටයි.. ඒ ගුණ සමුදාය ඉස්සරහදි මං කොයිතරං පහත් ජීවියෙක්ද කියල මහ හැ‍ඟෙනවා.
    අපේ මිනිස්සු දොස්තරගෙන් බෙහෙත් අරං ඒ බෝතල්වල තියෙන දේ ඒ කියල තියෙන විදිහට බොනවා වෙනුවට බෝතල් ඉඹ ඉඹ ලෙඩ හොඳ කරගන්න හදන ලෙඩ්ඩු වගෙයි..

    ReplyDelete
    Replies
    1. එකතු කිරීම ගැන ගොඩක් ස්තූතියි, සරත්. මටත් ලොකුම ගේම තියෙන්නෙ බෞද්ධයින් කියාගන්න මේ වගේ අය අදහාගෙන ඉන්න මතවාද එක්කයි.

      අනුරාධපුර යුගයේ මැද භාගය වෙනකොට මහායානය ලංකාවෙ කොච්චර පැතිරිලා තිබුණද කියතොත්, දළදාව, මිහින්තලය වගේ අංශ පවා මහායානිකයන්ගේ පාලනය යටතෙයි තිබුණෙ. ලංකාවෙ දැනට දකින්න තියෙන විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා සහ කලා ශිල්ප බිහිවුනේ මහායානය යටතෙයි. පොළොන්නරු යුගයේදි මහා පරාක්‍රමබාහු රජු ලංකාවෙ තිබුණු හැම නිකායක්ම එකතු කරලා, දුසිල් මහණුන් රාශියක් සිවුරු අරවලා, එක නිකායක් බවට පත් කළා. මේ ඉතිහාසය අනුව දැනට දකින්න තියෙන බුදු දහමට කොයිතරම් මහායානික සංකල්ප එකතු වෙලා ඇද්ද?

      එයින් කිපයක් තමයි, සූත්‍ර සජ්ඣායනා කිරීමෙන් යහපත සැළසෙනවයි කියන සංකල්පය.

      තව තියෙනවා:
      1. රජවරු බෝසත් දම් පිරීම,
      2. පිළිම වන්දනාව,
      3. බුදුන්ට ආහාර පූජා කිරීම,
      4. සඟසතු දේපළ ක්‍රමයක් බිහිවීම,
      5. බණකතා පොත් බිහිවීම,
      ආදී දේ...

      ඇත්තටම බුදුන් ලෝකය ගැන සහ ධර්මයන් ගැන දේශනා කරලා තියෙන දේ සූත්‍ර පිටකයෙන් සහ අභිධර්ම පිටකයෙන් කියවාගන්න පුළුවන්. ඒවා පාලියෙන් සජ්ඣායනා කිරීම ලේසියි. සිංහලෙන් කියවලා තේරුම්ගැනීම අමාරුයි නේද?

      Delete
  7. කැනේඩියානු ජාතික යුත්තධම්මෝ හිමියන්ගේ එක දහම් දෙසුමකින් කොටසක්..

    ඊයෙ රෑ අපි අනුරාධපුරේ භාවනානුයෝගීව ඉන්නකොට කණ්ඩායමක් අප පසු කරමින් යන ගමන් ඉන් එක් අයෙක් මා වෙත පැමිණ මගේ භාවනාවට බාධා කරමින්
    "හලෝ ඔබ කොයි රටෙන්ද ආවෙ ?"
    කියා ඇසුවා.
    "මම ආවෙ කැනඩාවෙන්.."
    මං උත්තර දුන්නා.
    "ඔහ්.. ඔබ මොනවද බුදු දහම ගැන හිතන්නෙ ?"
    ඔහු මගෙන් ඊලඟට ඇහුවෙ හරියට ඒ ප්‍රශ්නෙට උත්තරේ මං සිවුරක් ඇඳන් ඉන්න එකෙන්ම නොපෙනෙනවා වගෙ.
    "හොඳයි ඔබම කියන්න ඔබ මොනවද හිතන්නෙ බුදු දහම ගැන ?"
    මං පෙරළා ඔහුගෙන් ඇසුවා.
    "බුදු දහම තමයි මාර්ගය ..පරිපූර්ණ නිදහසට මාර්ගය !"
    ඔහු බොහොම තිරසාර හඬින් කිව්වා.
    "ඔහ් ඒ කියන්නෙ ඔබ භාවනාවේ නිරතවෙන කෙනෙක් ? "
    මම නැවත ඔහුගෙන් ඇසුවා.
    "නැහැ.. මම භාවනා කරන්නේ නැහැ.. "
    ඔහු කිව්වා.
    "එහෙමනම් ඔබ කොහොමද දන්නෙ බුදුදහම පරිපූර්ණ නිදහසට මාර්ගයයි කියල ?"

    මගෙ ප්‍රශ්නයට නිරුත්තර උන ඔහුට ඇති උනේ ලජ්ජාවක්..

    ReplyDelete
    Replies
    1. එකතු කළ දේට ආයෙමත් ගොඩක් ස්තූතියි සරත්.

      කෙටියෙන් කියන්නම්: "බුද්ධාගම ලංකාවෙ සිංහල බෞද්ධයන්ට අයිති උරුමයකි" කියලා හිතාගන්ත මැට්ටො ඉන්නවා. වැඩිදුර කියවීම සඳහා ඔබේම "අත තියන්න එපා- ඒක බබාගෙ" ලිපිය කියවීම මැනවි.

      Delete
  8. ඇත්තම කියනවා නං , දැන් මේ යන ආගම් ‍රැල්ල ගැන මං ටිකක් කළකිරිලයි ඉන්නෙ. ඒත් බෞද්ධ දර්ශණ, බුද්ධාගමේ හරය ලෙස හදාරන්න මං හැමදාම කැමැත්තෙන් ඉන්නෙ. මේ පැහැදිලි කිරීමට, ඔබට පිං

    ReplyDelete
    Replies
    1. බස්සට ස්තූතියි. ජනප්‍රිය බුදුදහම කියලා සමාජ විද්‍යාත්මක හැදෑරීමකුත් තියෙනවා. මට හැබැයි ඒක ඒ තරම් ටච් වෙලා නෑ.

      Delete
  9. කාටවත් වරදක් නොකර ජීවත්වෙන්න ට්‍රයි එකක් දෙන එක තමයි මගේ ඇදහිල්ල. හෘද සාක්ෂිය තමයි මූලික.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය බුද්ධාගමින් ඈත් වෙලා බුද්ධ දර්ශනය අනුගමනය කරන්න ට්‍රයි කරන බව පේනවා.

      Delete
  10. අද රේඩියෝ කියන්නෙ තනිකරම මාෆියාවක්...ජනතාව පිරිත් අහලා සිත පහන් කර ගනී.. නිසි මග යයි වගේ උදාර අරමුණක් උන්ට නෑ...ලාච්චුවට සල්ලි වැටෙනවා නම් බල්ලො හරි මරයි...මේ දවස් වල එක් නාලිකාවක් සෝමාවතිය වදින්න ආරාධනා කරනවා නේද ? ඒ පූර්ව ප්‍රචාරක පට වල දිගින් දිගටම කියන්නෙ මොනවද...ආශ්චර්යමත් දේ දකින්න එන්න කියලා...ඒ කියන්නෙ මැජික් බලන්න සෝමවතියට එන්න කියලා...මට ෂුවර් නෑ..එදාට මුන් මොනවා හරි වේලාසන අටවල මැජික් එකක් පෙන්නයිද කියලා...බුද්ධාගම කියන්නෙ මැජික් පෙන්වන දහමක් නෙමෙයි කියලා..මේ මයික්‍රෆෝන ඉස්සරහා බෙරිහන් දෙන ගිරා පෝතකයො දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එකතු කිරීමට ස්තූතියි සිරා...

      පශ්චාත් නූතන තත්ත්වයේදී කිසිම මාධ්‍යයක් තම අරමුණ හැටියට ජනතා සුභසිද්ධිය යොදාගන්නෙ නෑ. ලාභය තමයි මූලික අරමුණ වෙන්නෙ. ජනතා සුභසිද්ධිය කියන සංකල්පය පවා විකුණගෙන ලාභයක් උපයගන්නා මාර්ග තමයි හොයාගෙන යන්නෙ.

      බුදුන් වහන්සේ එක අවස්ථාවක පෙන්වා දී තියෙනවා, ලාභ ප්‍රයෝජන තකා ප්‍රාතිහාර්ය පෙන්නන්න එපා කියලා. (මතක් උනාට ලිව්වෙ)

      Delete
  11. සාධු සාධු සාආආආආ
    ඇද ධරමය වනසල ආගමරකින්න ට්‍රයි කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයොත් වැහි වැහැලා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි