Saturday, June 20, 2020

අවසානයක් නොවේ - නව වන කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


https://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs
/images/content_images/four-riders/FourRiders4.jpg

"රාසිං දෙවියන් ගේ වාසලට ඔබගේත්, ඔබ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවුඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

යටිකයට ඇඳි සුදු පැහැ ධෝතියත්, ඉණ පටියේ පැළඳි කැටයම් කළ මිට සහිත කඩුපතත් දැරූ අශ්වාරෝහක දූතයා පෑවේ නිසග තෙදවත් බවකි.

වෙද මුදළි තුමා පණිවුඩකරු ගෙනැවිත් තිබූ අමතර අශ්වයා දෙස බලා මඳහසක් හෙළුවේ ය.

"මට නං දැන් අශ්වයො පිට යන්න තරම් ජවයක් නෑ..."

"නෑ මේ අශ්වයා ඔබගේ රැඳවියා ට." දූතයා පිළිතුරු දෙමින් සිය අසු හරවා ගත්තේ ය. "ඔහු දැන්ම කැඳවාගෙන එන්නටයි අණ. ඔබතුමා විවේකීව ඔබතුමාගේ තිරික්කලයෙන් ඒම ප්‍රමාණවත් "

කතාබහ ඇසී එතනට පැමිණි ඇඩම්, වෙද මුදළි දෙස බැලුවේ ගමනට අවසර ගැනීමට ය. ධනසේකර මුදළිතුමා හිස සැලීමකින් අනුමැතිය දුන්නේ ය.

"ඔබ ඉක්මණට යනවනම් හොඳයි" ටිකිරි බණ්ඩාර තිරික්කලය සූදානම් කරගැනීමට වළව්ව පිටුපස ට යන ගමන් කීවේ ය. "රාසිං දෙවියෝ ප්‍රමාදය ට අනුකම්පා කරන් නෑ."

මිනිත්තු කිහිපයක ඇවෑමෙන් අද්මිරාල් සිය යුරෝපීය ඇඳුම ඇඟලාගෙන'විත් අසු පිටට නැග්ගේ ය. පණිවුඩකරු ඔහුට තමා පසුපසින් එන ලෙස සන් කර, මගට පිළිපන්නේ ය. දූතයාගේ වේගයට ම බුහුටි ලෙස සිය අශ්වයා ද මෙහෙයවූ ස්කැන්ඩිනේවියානුවා ඉතා ඉක්මණින් ම වළව්වේ කඩුල්ල පැන මහ මාවතට පිළිපන්නේ ය.

අවරට හැරුණු හිරු ගේ රන්වන් කිරණින්, ඇඩම් ගේ රන්පැහැ කෙස්, රන්වන් නූලෙන් වැඩ දැමූ කොළරය, පුළුල් බඳ පටිය හා ලෝහමය බොත්තම් මත වූ දිස්නය ඔප් නැංවිණ. සුදුවන් කළිසමත් තද නිල්පැහැ කබායත් කිළිටි වී තැන් තැන්වලින් ඉරී තිබුණි. එහෙත් එය අද්මිරාල්ගේ උත්තුංග පෙනුමට ලොකු හාණියක් කළේ නැත.

වෙදාණන්ගේ වළව්වේ සිට ඊසාන දෙසට වැටුණු පාර දිගේ අසරුවෝ දෙදෙනා මඳ වේගයෙන් අසුන් මෙහෙයවාගෙන ආහ. ඉදිරියේ ඇති තෙමංසලේ තවත් අසරුවෙක් සිටිනු තරමක දුරක සිට ම ඇඩම්ගේ විමසිලිමත් දෑසට ලක් විය. ඒ තවත් දූතයෙක් බව ළං වද්දී ඔහුගේ ඇඳුමින් සහ පැළඳුමින් සළකා ගත හැකි විය. පළමුවැනි පණිවුඩකරු සිය අසුගේ රැහැන් පටි යන්තමින් ඇද, මඳක් පමා කර, රැඳවියා හා සමපාත කර ගත්තේ ය. හන්දියේ දී දෙවන දූතයා ද ඔවුන් හා ගමනට එක් විය. ස්වදේශිකයන් දෙදෙනා යන්තම් හිස සැළීමකින් පමණක් ආචාර කරගත් බව අද්මිරාල් නිරික්ෂණය කළේ ය.

තෙමංසලෙන් තවත් ඊසාන දෙසට යොමු වූ පාරේ පියවර විස්සක් විතර ඉදිරියෙන් තවත් හතර මං හන්දියක් හමුවිය. කිසිදු කතාබහකින් තොරව හැල්මේ ආ, අසරුවෝ තිදෙනා එතැනින් ගිණිකොන දෙසට වූ පාරට හැරුණ හ. මෙතෙක් පසුකරගෙන ආ මාර්ගයේ දෙපස කඩපිල්, දෙමහල් මහ මැදුරු, උද්‍යාන ආදියෙන් ගැවසුණ ද, දැන් දැන් පාර විහිදෙන්නේ ගොවිබිම්, පඳුරු, පැල්පත් ආදියෙන් හෙබි, ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක් මැදිනි. තවත් පියවර විස්සක් තිහක් යන විට පාර වංගුවක් ගසා, නැවත ඊසාන දෙසට හැරුණි. අවට හුදෙකළා පාලු බව තවත් දැඩි වූයේ එතැන් පටන් පටු වූ පාර දෙපසින් වැවුණු ළඳු කැළෑවෙනි. පාරේ පළල ප්‍රමාණවත් වූයේ එක් අසරුවෙකුට පමණි. එහෙයින්, රජවාසල දූතයන් දෙදෙනා ඉස්සර වෙද්දී, ස්කැන්ඩිනේවියානුවා පසුවිය.

නොනැවතී මෘදු රිද්මයකට අනුව සෙමෙන් සෙමෙන් දිව යමින් සිටි අශ්වයන් තුන්දෙනා එක්වරම කළබල වූහ. හිස් ඔසවමින් උඩු හුළඟ ඉව අල්ලන්ට වූ උන්, රැහැන්පටෙහි විධානයට අකීකරු වන්නට සූදානම් බව පෙණින. ළඟ පාතින්ම කන් බිහිරි කරවනසුළු කුංචනාදයක් ඇසුණේ එක් වරමය.

සිය අශ්වයා එක් වරම වේගයෙන් දුවන්නට පටන් ගනිද්දී, ඇඩම් හිස හරවා වම් උරහිසට උඩින් පිටු පස බැලුවේ ය. අඩි කීපයක් පිටුපසින්, දැවැන්ත අලියෙක් ළඳු කැළෑවෙන් පාරට පැන්නේ ය. උගේ ඉහළට එසවුණු හොඬවැලෙන් නිරාවරණය වූ දළ දෙක, අගිස් කපා නොතිබෙන්නට, අඩි දහයක් පමණ දිග වන්නට ඇතැයි විදේශිකයා ට සිතුණි. 

කුපිත වූ බව සෑම රෝම කූපයකින්ම පාහේ පිළිබිඹු කළ දැවැන්ත තිරිසනාගේ තේජාන්විත සුන්දරත්වය යුරෝපීයයාගේ සිතෙහි සටහන් විය. ක්ෂණිකව රැහැන්පටි තද කරගනිමින් සිය අසුගේ පාලනය සියතට ගත් ඔහු, ඉදිරිපසට නැඹුරු වෙමින්, දැනටමත් වේගයෙන් අසුන් පිට පළා යමින් උන් ස්වදේශිකයන් දෙදෙනා පිටුපසින් අසු මෙහෙයවන්නට ගත්තේ ය. 

අස් කුර, පාලු පාරේ පස්, ගල් මත වේගයෙන් වදින හඬින් හාත්පස හෙල්ලුම්කෑවේ ය. එයින් තව තවත් කුපිත වූ බව පෙන්නුම්  කළ හස්තියා වල්ගය රිටක් සේ කෙලින් කර ගෙන, සොඬට අසුවන අසුවන පඳුරු, ගල් කැට උගුල්ලා විසි කරමින් සැළකිය යුතු වේගයකින් අසරුවන් පිටුපස හඹා එන්නට ගති.

එක්වරම අනපේක්ෂිත ලෙස... තමන් භාරව ආ දූතයා සමබරතාව ගිළිහී වම් පසට ඇළ වී යනු අද්මිරාල් දුටුවේ ය. ඇඩම් වමතින් රැහැන් පටිවල මැද හරියෙන් අල්ලා ගෙන අසු මෙහෙයවමින් ම, රැහැනෙහි ඉතුරු කොටස දකුණතින් ගෙන දෙපසට වනමින්, සිය අශ්වයාගේ දෑළට පහර දෙද්දී, අසු ගේ වේගය තව තවත් තීව්‍ර විය. මොහොතකින් ඔහු ආපදාවට පත් අසරුවා ගේ දකුණු පසින් සමාන්තරව තම අසු මෙහෙයවමින් උන්නේ ය. ඒ අතර අනෙක් ස්වදේශිකයා ද ඔවුන්ට ළං විය.

සිය අශ්වයාගේ රැහැන් පටි දෙ වන දූතයා වෙත විසි කළ අද්මිරාල්, සිය දකුණු පය අසු ගේ පිට හරහා වම්පසට ඇද ගත්තේ ය. ඔහුට සෑදලය මත හරහට වාඩි වී සිටින්නට හැකි වූයේ මොහොතක් පමණි. වේගයෙන් දිවෙන අසු ගේ ගැස්සීම්වලට අනුරූපී වෙමින් ඔහු වම් පාදය හැකිතරම් ඉහළට ඔසවා, ආපදාවට මුහුණ පෑ අසු පිටට පැන, දූතයා ට පිටුපසින් වාඩි විය. ඒ ගමන් ම ඔහු පැත්තකට ඇළ වුණු අසරුවා කෙළින් කොට ඔහුගේ සිරුර දෙපසින් සිය අත් දිගු කර රඳවා ගත්තේ ය. ස්වදේශිකයා සිහිසුන්ව සිටි බව පෙනුණි. අශ්වයාගේ රැහැන්පටි තවමත් ඔහුගේ අතෙහි විය. එය මුදවාගත් අද්මිරාල්ට, අසු සිය පාලනයට නතු කර ගැනීමට හැකි විය. මේ සියල්ලට මිනිත්තුවකට වඩා කාලයක් ගත නොවී ය.

ඉදිරියෙන් බටහිර දෙසට වංගුවක් පසු කරද්දී, ලඳු කැළෑව කෙළවර වූ අතර, එතැන් සිට පාර විහිදුණේ, වෙල් යායේ මහ නියර මතිනි. හිස ඔසවා බැලූ ඇඩම් ට, ඈතින් පිහිටි දළදා මැදුරත්, ඇතුල් නුවර ගොඩනැගිලිවල කොත් පංතියත් වෙල්යාය ඉස්මත්තෙන් දිස් විය. එසැණින් පසුපස බැලූ ඔහු දුටුවේ, තමන් ආ අශ්වයා ද කැටිව හැල්මේ එන ස්වදේශික අසරුවා පමණකි. කුපිත වූ හස්තියාගේ සේයාවකුදු දකින්නට නොවීය. 

අශ්වයාහට වේගය අඩු කරගැනීමට ඉඩ හරිමින් යුරෝපීයයා මහ නියර දිගේ ඇතුල් නුවර දෙසට අසු මෙහෙයවීය. අසරුවෝ දෙදෙනා ගේ වේගවත් ගමනට විරාමයක් ලැබුණේ, වෙල් යායේ මැද පිහිටි මහ කමතට ළඟා වූ විට ය. ඇඩම්, මහනියරට වම් පසින් ගළා ගිය ඇළ පාර මත්තෙන් අසු පන්නවා කමතට පිවිසුණි. ඒ පසුපසින් ම කමතට ආ දූතයා, අසු පිටින් බැස, තවමත් සිහිසුන් ව සිටි තම සගයා අසු පිටින් බස්සවා ගැනීමට රැඳවියා හට උදව් විය. මහ ඇලෙන් දිය පොදක් ගෙන මුහුණට ඉස්ස විට ස්වදේශිකයා පියවි සිහියට එළඹියේ ය.

"ඔබ මගේ ජීවිතය බේරුවා ට පින් සිදුවේවා...!" සිහි එළඹි දූතයා ඇඩම් ගේ මුහුණ බලා, මඳ සිනහවක් පාමින් කීයේ ය. "දැන් යමු ඇතුල් නුවරට..."

සිය සගයාගේ අත වැරෙන් අල්ලාගත් හෙතෙම නැගිට පැන්නේ ය. ඔහු අද්මිරාල් ගේ අතින් රැහැන්පටි ගෙන අසුපිටට නැග්ගේ කිසිදු අමාරුවක් නොදක්වමිනි. ඒ අනුව අසුන් පිටට නැගි ඇඩම් සහ අනෙක් ස්වදේශිකයා ඔහු පිටුපසින් නැවතත් මහනියර මතට අසුන් පැන්නවූ හ. 

පළමුවැනි දූතයා, සිය සගයා හට ඉදිරියට යාමට ඉඩ හැර, මඳක් සුනංගු වී අද්මිරාල්ගේ අශ්වයා හා නැවතත් සමපාත විය.

"මම උඩුමුල්ලෙ නිළමෙ..." ඔහු රැඳවියා හට තම පපුවට තට්ටු කර දැක්වී ය. "යාළුවො මට කියන්නෙ මිත්‍ර." 

මඳ සිනහවකින් යුරෝපීයයාගේ සූර්යතාපයෙන් රැළිගැසුණු ඇස් සිහින් කෙරුණි. ඔහු සිය නළල මතට වමතෙහි ඇඟිලි තුඩු දිගු කර ආචාර කළේ ය.

"මම ඇඩම් ඇන්ඩර්සන්... කිට්ටුවන්තම උදවිය මට කියන්නෙ ඩ්‍රේක්" ඔහු රැහැන්පටි වමතට මාරු කර ගෙන, සිය දකුණත මිත්‍ර දෙසට දිගු කළේ ය. පණිවුඩකරු, උඩුකය මඳක් හරවා, දකුණත දිගු කර එය අල්ලාගති. 

වෙල්යාය කෙළවර වූයේ බස්නාහිර - නැගෙනහිර අතට විහිදුණු මාවතකි. අසරුවෝ ති දෙන මහ මාවතට ගොඩ වී නැගෙනහිර දෙසට හැරෙද්දී, මාළිගාවේ හේවිසි හඬ ඔවුන්ට පැහැදිළිව ඇසුණි. අඩි කිහිපයක් ගොස් උතුරු දෙසට වංගුව හැරෙනවාත් සමඟම, ඔවුන් ඉදිරියේ වූයේ මුරකාවලකි. 

"නවතිණු!" හෙල්ල ගත් මුර සෙබළු අණ කළහ. 

මිත්‍ර සිය ඉණතුරේ වූ කිණිස්ස ඇද, එහි මිට මුරකාවලේ ප්‍රධානියා හට පෙන්වී ය. ඒ දුටු සෙබළු දෙපසට වී, අසරුවන් ති දෙනා හට ඇතුල් වීමට ඉඩ හැරිය හ.

මුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. එහෙත් විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය ඊසාන දෙසින් තරමක් ඈතින් දැක ගත හැකි විය. 

මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත.

"විදුව!" 

කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි... පෙනුණි.

දහ වෙනි කොටසට...

----------------------------------
සංලක්ෂය - 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

21 comments:

  1. බහිරවයාගේ පලිගැනීමේ සැලැස්මදෝ?

    ReplyDelete
    Replies
    1. ඔබවහන්සේ හිතන විදිහ ට මම ගොඩක් කැමතියි... නමුත් මේ වෙලාවේ මොනවත් කිව්වොත් කතාවේ කුතුහලය බිඳෙනවා.

      ගොඩක් ස්තූතියි අපෙ හාමුදුරුවනේ මේ මහ රෑ කියවන්න වෙලාව යොදාගත්තට...

      Delete
  2. උන්වහන්සේ එහෙම අහනෙක සාධාරණයි ඩ්රැකී. කුතුහලය බිඳෙන බව දැනගෙනම 'මේ මොකද වෙන්නේ? ඉක්මනට කියහන් ලොක්කෝ." කියල මටත් කියන්න හිතුණුකොට..
    ඊළඟ කොටස ලියනකල් බලන් ඉන්නේ!

    ReplyDelete
    Replies
    1. සාධාරණයි... ඒ්ත් ඉතිං මේක තමා කොටස් වශයෙන් කතා ලියන්්න්න තියෙන හොඳ විදිහ. හැක්...

      අපි බලමු තව ටික දවසකිං ඈ...

      Delete
  3. කොයි දේසෙ සාධාරණයක්ද බොලං ඒ? දැන් ඉතිං නියපොතු හප, හප බලාහිටපල්ලකො ඊලඟ කොටස එනකං. හැක්!

    ReplyDelete
    Replies
    1. බස්ස මහත්තෙය ෆේස්බුක් ඉන්නවද? අලුත් එක පෝස්ට් කරපු හැටියෙ ටැග් කරල ෂෙයා කරන්නං

      Delete
  4. මෙහෙම නතර කලාම වැඩි කල් නොලියා ඉන්න ඔට්ටු නැහැ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මම මේ, කාල යක්ෂ එකේ මම අන්තිමට දාපු අදහස අත්හදා බලනව... හෙහ් හෙහ්...

      Delete
  5. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  6. ෂර්මයිල් වගේ නැතුව බැලූ බැල්මටම උතුරු යුරෝපීය නමක් යොදාගත්තානම් මං කැමතියි. සමාවෙන්න. ඒක මගෙ ප්‍රශ්නයක්. මට ඔය නම් හා කාලයන් වගේ දේවල් නෝටිස් වෙනවා වැඩියි. I'm too pedantic.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මටත් ඒකම හිතිලා තියෙන්නෙ දැන් කාලෙක ඉඳන්. ඒත් දැන් ඉතිං කලින් කතාව වෙනස් කරන්න බෑනෙ. මේක පොතකට ගන්නකොට නම වෙනස් කරනව. කවද හරි ප්‍රකාශකයෙක් හම්බුණොත්. එක්කෙනෙකුට දුන්නා - අපේ බාප්පගෙ පුතාගෙ යාලුවෙක් ට. තවම උත්තරයක් නෑ.

      Delete
    2. ගොඩක් ස්තූතියි...

      Delete
    3. මම අද හෙටම මේ නම වෙනස් කරනව. පරණ කතාවෙයි මේකෙයි දෙකේම... ඒකට ලොකු මානසික බලපෑමක් වගේම ආශාවකුත් ඇතිවුණා.

      Delete
  7. ඉතිරි කොටස කියවන්න බලාගෙන ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. මේ ලියනවා... මේ ලියනවා... 🏃‍♂️🏃‍♂️🏃‍♂️

      Delete
  8. රාසිං දෙවියන්ගේ බලේ අපි ඉදිරියට බලමු
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
      රලේ රලේ මුහුදින් දමන දිය රලේ
      බලේ බල‌ේ රාසිං දෙයියන්නෙ බලේ
      ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

      Delete
  9. නාථ දෙවියන්ව අමතක කරලා නැහැ

    ReplyDelete
    Replies
    1. අමතක කරලා බෑ අජිත් අයියෙ... කතාවෙ එක කොටසක් වෙච්ච කොට.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!