Wednesday, May 27, 2020

අවසානයක් ‌නොවේ - අටවන ‌කොටස

පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස
හතර වෙනි කොටස
පස් ‌වෙනි ‌කොටස
හය ‌වෙනි ‌කොටස
හත් වෙනි කොටස

https://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summer

ධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය. වළිකුකුළන්, දෙමලිච්චන්, ගිරවුන්, මයිනන්, ලේණුන් එක්ව නැඟූ මියුරු සංධ්වනිය පසුබිම්කරගත් බටිත්තන්ගේ සිවුරුහඬලෑම දිව්‍යමය සංගීතයක් බඳු විය. පින්නෙන් තෙත්බර වූ ගහකොළ අතරින් තීරු තීරු පෙරී ආ උදෑසන ආලෝකය, අලුත්ම දිනකට පරිසරය උණුසුම් කළේ ය. උදෑසනින් නැගිට දඟකරමින් දුව පනින වසු පැටවුන්ගේ කුර ලා තණ මත ගැටෙන හඬ පවා තරුණිය ට පැහැදිළිව ඇසුනි.

ඈ මවිතයට පත් වූණේ එක් වරම ඇසුණු කුකුළු හඬළෑමකිනි. ඒ ඈ සෑහෙන කාලයක් තිස්සේ උදෑසන අවදි කරවූ, රතු කුකුළාගේ හඬ ය.

එක්වරම අවදිවූ තරුණිය හාත්පස බැලුවා ය. ඈ සිටියේ සිය වළව්වේ ආළින්දයේ වූ වැල් ඇඳ මත ය. ඇගේ මව වැල් ඇඳේ පාමුල වාඩිවී සිටියේ ඉතාමත් ඉවසිල්ලෙන් වුව ද, කුතුහළය මහළු ළමාතැනීගේ මුහුණ පුරා ඇඳී තිබුණි.

----------------------------------------------------

ධනසේකර පවුලේ ඇත්තන්ට සිය හැඟීම් හා ආවේග නිදහසේ පවසන්නට ඉඩ ලැබුණේ වළව්වේ ඇතුල් ගැබෙහි දී ය. තරුණ කුමාරිහාමි ඇය අත්දුටු සියල්ල විස්තර සහිතව කීවා ය. ඈ මුහුණදුන් අද්භූත අත්දැකීම යටතේ වූවත්, ඇගේ සිහිකල්පනාව ඉතා නිරවුල් ව පැවතිණ. එහෙත් ඒ කතාව තුළ යතාර්ථයට, සිහින හෝ මනඃකල්පිත මායාවන් කෙතරම් දුරට මුසුව පැවතියා ද යන්න ඇයට සිතා ගත නොහැකි විය.

පසුගිය රෑ කිහිපය නිදි වර්ජිතව ගත කර තෙහෙට්ටුවෙන් සිටිය ද, ධනසේකර වෙද මුදළි තුමා හැකි ඉක්මණින් ම රජ වාසළ වෙත ගියේ ය. සිය දියණිය නිරුපදෘත ව පැමිණි බව රජ වාසළට සැළ කිරීම ඒ ගමනේ මුඛ්‍ය පරමාර්ථය විය. ඇගේ දිවි ගළවාගැනීමට තම ජීවිතය කැප කළ විදේශිකයා හමු වී, කුමාරිහාමිගේ කතාවෙහි හිස්තැන් පුරවා ගැනීම ත්, ඒ අනුව ඔහුට ධනසේකර පවුලේ කෘතඥතාව ප්‍රකාශ කිරීමත් එලෙසින්ම වැදගත් විය.

----------------------------------------------------

ඊළඟ සතිය සිදුවීම් රැසකින් පිරුණි. විදේශික නාවුකයා නැවතත් ධනසේකර පවුලේ භාරයට පත් විය. ඔහු එතෙක් එම පවුලෙන් ලද සුහද සත්කාරය ඉතා ළෙංගතු සත්කාරයක් බවට හැරවුණි. ඔහු ලද ඉතාම වැදගත් කෘතගුණ සැළකීම ලෙස ඔහු සැළකුවේ, රාජසන්තක කරන ලද ඔහුගේ ලියවිලි මිටිය ආපසු ලැබීම යි. එහි නැව්පතිගේ ලොග් පොත, පෞද්ගලික සටහන් පොත, සිතියම් සහ තාරකා සටහන් ඇතුළත් සම්පූර්ණ ලේඛන මිටිය පමණක් නොව පෑන, තීන්ත බඳුන සහ නැව්පතිගේ දුරේක්ෂය පවා ටිකිරි බණ්ඩාර ධනසේකර රාජකීය භාණ්ඩාගාරයෙන් රැගෙන ආවේ ය.

එතැන් සිට සෑම හැන්දෑවක් ම පාහේ ඇඩම් ගත කළේ තම කුටියේ වූ කණප්පුව මත විහිදුවාගත් ලියවිලි සමඟිනි. 

---------------------------------------------------

නාවුකයා ධනසේකර වළව්වට පැමිණ ගතවූ දින තුනක් ඉක්ම ගියේ ය. එදා සැන්දෑව ඉතා චමත්කාරජනක විය. දවල් කාලයේ වැටුණු මඳ වැස්සෙන් සේදී ගිය ගස් වැල්, නැවුම් බවක් විඳිමින් පසුවන බව පෙනුණි. මල්, කොළ, දළු හා තණපත් අග තැවරුණු වැසි බිඳු ලා රත් පැහැ සැඳෑ හිරු කිරණින් දිළිසුම් දුන්නේ ය. වැස්සෙන් තෙත් වූ පියාපත් දිගහැරගෙන වේලාගනිමින් සිටි කුඩා කුරුල්ලෝ, විවිධ හඩ නඟන සීනු රැසක් මෙන් කෑගැසූහ. තණ පඳුරු අතර වූ කුඩා කඩිති අතරින් වසු පැටව් උඩ පනිමින් දුවමින් සෙල්ලම් කළේ සතුටිනි. 

මේ සියල්ල සමඟින් සිය කුටිය තුළට සිර වී, ලියවිලි අධ්‍යයනය කරමින් හා සටහන් තබමින් අඩ අඳුරේ ගත කිරීමට ඇඩම් හට සිත් දුන්නේ නැත. ඔහු කුටියෙන් පිටතට පා තැබීය. බැලූ බැලූ අත දක්නට ලැබුණේ පරිසරයේ නැවුම්බව සමඟ පිබිදුනු ගහ කොළ ය, සතුන් ය.... වෙදහල පසු කරමින් සෙමෙන් පා තැබූ ඔහුට, පරිසරයේ ශාන්ත සිසිලස හා තෙත් බව සමඟ රම් අඩියක අඩුව දැනුණේ ය.

ධනසේකර වළව්වේ වත්ත එක් පැත්තක් කෙළවර වූයේ දැවැන්ත පඩිපෙළක් ආකාරයට පැතුරුණු වෙල් යායෙනි. තවත් පැත්තකින් වෙදහලේ හා වළව්වේ සේවයට නීන්දේ නිළ කර සිටි ගම් වැසියන්ගේ පැල්පත් තනා තිබුණි. අනෙක් පැත්ත ඖෂධ පැළෑටිවලින් පිරුණු ළඳු කැළෑවෙන් වැසී තිබුණේ ය. 

වෙල් යාය තෙක් ඇවිද ආ ඇඩම්, වත්ත කෙළවර පැවති කලු ගල් තලාවේ වාඩි විය. පහත වෙල් යාය හරහා මිහිදුමින් වැසුණු ඈත කඳුවළල්ල තෙක් පුළුල් දර්ශනයක් ඔහුට දැක ගත හැකි විය. වෙල් යායේ වැඩ නිමකළ ගොවියෝ උදලු කරේ තියාගෙන නියර දිගේ විවේකීව ඇවිද ගියහ. ඔවුන්ගේ දහදියෙන් තෙමුණු නිරුවත් උඩුකය හිරු රැසින් දිළිසුණේ ය. ඈත වනරොදින් එළියට ආ හරකුන් ඔවුන්ගේ වාසස්ථාන බලා නිදැල්ලේ දිව ගියේ, පසුපසින් ආ ගොපලු කොළුවන් ගේ බලපෑමෙනි.

ඈත සිහින් රිදීවන් රැළි ගැසුනු ඉරක් සේ ඇඳුනු දියපහරක් ගළා විත් ඔහුගේ දෙපා අසළින් සිළි සිළි හඬ නඟමින් පහළට ගළා යමින් තිබුණි. බැස යමින් පැවති හිරුගේ රැසින් දියපහරේ තැන් තැන්වල කුඩා රවුම් දේදුණු සැදුණේ ය. වර්ණවත් මාළු උඩ පනිමින් එකිනෙකා හඹා යමින් දිය දහරේ විසිතුරු බව නැංවූ අතර, ගෙම්බෝ හා වර්ණවත් පක්ෂීහු විටින් විට උන් අල්ලාගන්නට තැත් කළ හ. ගුප්ත අමනුෂ්‍යයන්, බලවේගයන් හා ඊටත් වඩා ගුප්ත මිනිසුන් ද, ඇදහිළි ද සඟවාගත් මේ කුඩා දිවයින ඇත්තෙන්ම ආදම් හා ඒව නැවුම්ව දිවි ගෙවූ පාරාදීසය ම නොවේදැ,යි ඔහුට සිතුනි.

පසුපසින් සියුම් හඬක් ඇසී ඔහුගේ හිස ක්ෂණිකව ඒ වෙත හැරුණි. ඔහුගේ ඇසට එක්වරම ලක් වූයේ ගල් තලාවට ගොඩවන්නට යන තරුණියකි. ඇඩම් හණික වාඩි වී සිටි තැනින් නැගිට ඒ වෙත හැරුණේ ය. එහි වූයේ ධනසේකර කුමාරිහාමි බව ඔහුට අඳුනාගත හැකි විය. ඔසරිය ඇඳ සිටි ඈ, එහි පිටුපසට වැටුණු පොට ඉණ වටා ඔතා දවටාගෙන සිටියේ වෙදහලේ කටයුතුවලදී බාධා නොවන පරිදි ය. ඇගේ දිගු වරළස තනි කරලක් ගොතා තිබුණ ද, ඊට හසු නොවූ කියඹු වැල් ඇගේ නලලත පුරා වැටී මද සුළඟේ දඟ කරමින්... ඇඩම් ගේ ඇස් දෙස කෙලින්  බැලූ තරුණිය නැවත මුහුණ පහතට යොමු කරගත්තේ ලාලිත්‍යවත් ලෙසිනි. 

"මම ඔබේ හුදෙකලා බවට බාධා කරනව ද?" තරුණියගේ පෘතුගීසි කතා බහ තුළ වූ කතෝලික ආගමික හා ලිඛිත ශෛලිය නැව්පතියාට දැනුණි. 

"ඉන්තේරුවෙම්ම නෑ.... කුමාරිහාමි," රැඳවියා උත්තර දුන්නේ ඔහු උගනිමින් සිටි සිංහල භාෂාවෙනි. ඔහුගේ සිංහල වහරට, වෙද හලේ සේවකයන්ගේ ත්, නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ත් කථන ශෛලිය මිශ්‍ර විය.

කුමාරිහාමි ගල්තලාවේ වාඩි වූවා ය. නෝඩික් නැවියා ද, ඈ අසළින් ඇයට මුහුණලා වාඩි විය.

"මං මේ රටේ beleza (='සුන්දරත්වය') බලාගෙන උන්නෙ" 

විදේශිකයා සිංහල අතරට පෘතුගීසී වචනය රිංගවූ ආකාරය තරුණියගේ මුවට සිනහ නැංවී ය.

"ඔබ ගොඩක් රටවල් දුටු කෙනෙක් නේ.... අපට වඩා ලස්සන දේ දැකලා ඇති?"

"මම වෙනස් වෙනස් තැන් දැකලා තියෙන බව ඇත්ත. නමුත් ඔබේ රට ඒ කිසිම දේකට වඩා විශේෂයි...." නැවුපතියා ප්‍රවේසමෙන් වචන හා සිතුවිලි තෝරා බේරාගනිමින් කතා කරන බව තරුණිය ට තේරුණි.

"මම මේ පාර පිටත් වුණේ ප්‍රංශයෙ රොශ්ෆෝ්ර් තොටුපොළෙන්.... මාර්සෙයි, ඇම්ස්ටර්ඩෑම්, ලිවර්පූල්, ඇලෙක්සැන්ඩ්‍රියා, ලිස්බන්.... ඔය හැම වරාය නගරයක දි ම වගේ අහන්න ලැබුණු එක පුරාණෝක්තියක් තිබුණා, පාරාදීසයක් ගැන...." ඔහු මඳකට කතාව නතර කර, කුමාරිහාමි දෙස බැලුවේ ය.

"සමහර නාවිකයො කියන්නෙ මේ රට තමයි පාරාදීසය කියලා.... මේ පළාත දුටුවා ම, මටත් එහෙම හිතෙනවා" 

"ඔබ සාහිත්‍යයටත් හුරුයි ?" 

ඇඩම් ඈ දෙස බැලුවේ විස්මයකිනි. "ඇයි එහෙම කීවේ?"

"සිංහල සාහිත්‍යයේ අංගයක් තියෙනවා, 'අලංකාර' කියලා. ඔබ අපේ රට ගැන කතා කරද්දි ඒ වගේ දේ යොදාගන්නවා..."

"මම ගොඩක් කියවලා තියෙනවා.... ඔබ අදහස් කරන්නෙ ඒ ගැන නම්.... නමුත් එයින් බහුතරය මිනිසුන් ගැන අධ්‍යයන, භූ විෂමතා, ස්වාභාව අධ්‍යයන, ඉතිහාසය ආදී දේ ගැන."

"ඔබ ඉතා දක්ෂ ලෙස සටන් කරනවා කියා මම දැක්කා. නමුත් ඔය අංශය මා දැනගත්තෙ දැන්...." තරුණිය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා ය. "එදා මා බේරාගන්න මාරාන්තික සටනක් කළා.... මට ඒ ගැන මුහුණට මුහුණ කතා කරන්න ඕනෙ කම තිබුණා."

"ඒක මා කළේ කැමැත්තෙන්...." රැඳවියා සිනාමුසුව කීවේ ය. "ඒත් මට මැරෙන්න වෙයි කියලා නම් හිතුණේ නෑ...."

කුමාරිහාමි ඔහුගේ නිරුවත් පපුව දෙස හොඳින් බැලුවා ය. ඈ සෙව්වේ ඔහුට සිදු වූ මාරාත්මක තුවාලයේ ලකුණු ය. 

"ඒ තුවාලය...." ඈ පැකිළුණා ය....

"ඒක ඉක්මණින්ම හොඳ වුණා. ඔබ දන්නවද අපි බේරාගත්තෙ කවුද කියලා....?" ඔහු සිය පා වහනේ කැපුණු තැන අත ගෑවේ ඉබේටම මෙනි. ඒහි සිදු වූ දරුණු තුවාලයේ ද කැළලක්වත් ඉතිරි වී නොතිබිණ.

"ඔහු මට දුන්න බෙහෙත මට හිතාගන්නවත් බැරි එකක්. මම හිතන්නෙ නෑ ඒ මනුෂ්‍යයෙක් කියලා.... අනික, ඉතාම මරණාසන්න තුවාලයක් බොහොම කෙටි කාලයකින් සුවපත් කරන්න බෙහෙතක් අපි දන්න වෛද්‍ය ශාස්ත්‍ර කිසිම එකක නෑ. කිසිම ශාක සාරයකට කරන්න බැරි ප්‍රාතිහාර්යයක් ඒක...."

"මට මතක හැටියට.... මට වරදින්න පුළුවන් ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වයත් එක්ක.... අපට වෙදකම් කරලා ඔහු ඇඟිලි තුඩුවලින් එතන ගල් තලාවට අමුතු රටාවකට අනුව තට්ටු කළා. එතකොටම, ඔක්කොම අඳුරු වෙලා ගියා. නැවත සිහිය එනකොට මම හිටියේ ඒ දවස්වල මම හිටපු මුරකුටියෙ මැස්ස මත."

"එහෙමද ඒක වුණේ? මම හිතන්නෙ ඒ වෙනකොට මම සිහි නැතුව උන්නෙ. මට බෙහෙත් පොවද්දි මම ඇහුවත්, 'ඔබ තුමා කවුද' කියලා. ඒත් වචනයක්වත් කලා කළේ නෑ."

"ඔව්. ඔහු කිසිම වෙලාවක මොනවත් කිව්වෙ නෑ."

"අන්තිමට බලද්දි, බහිරවයා ත් ඇත්ත නම්...." තරුණිය තමන්ගේ ම වචනවලින් සලිත වී ගිය බව පෙනුණි. ".... අපි බේරගත්තෙත් ඒ වගේම මොකක් හරි බලවේගයකින් වෙන්න පුළුවන්....

"නමුත්.... ඔබට මම ජිවිතයෙන් ණයගැතියි. මා බේරගන්න ඒ වෙලාවේ සාමාන්‍ය මිනිහෙක් නොකරන විදිහේ පරිත්‍යාගයක් කරන්න ඔබ පැකිළුනේ නැහැ...."

ඇඩම් කුමාරිහාමිගේ දෑස් දෙස බැලුවේ ය. ඇගේ දෑස් ලාලිත්‍යවත් බවින් යුතුව පහතට හැරවුණ ද, එක් ඇසිල්ලක් තුළ ඒ දෑසේ වූ තෙත්බර ළෙංගතු බව ඔහුගෙන් සැඟවිය නොහැකි විය. පපුව මැදින්, ඇතුළාන්තයෙන් පටන්ගත් උණුසුම් බවක් සිරුර පුරා පැතිර යනු ඔහුට දැණින.

--------------------------------------------------------

සතියේ කෙළවර වූ සෙනසුරාදා හැන්දෑවේ, ධනසේකර වළව්වේ උදවිය නාථ දේවාළය ට ගියහ. සිය නැඟණිය අකල් මරණයෙන් ගළවා දෙන ලෙස ටිකිරි බණ්ඩාර නාථ දෙවියන් හට භාර වූයේ ඊට පෙර සති‌යේ ය. වන්දනාවට ඇඩම් ද එක් වීම ඇවැසි බව ධනසේකර තරුණයා වැඩියත්ම අදහස් කළේ, භාරය වන අවස්ථාවේ තමන් සමඟ සිටියේ ඔහු පමණක් වීම නිසාත් ය.

ගමනට සූදානම් වන ලෙස දැන්වූ අවස්ථාවේ සිට ම, ලක්දිව ජනතාවගේ ඇදහිළි විශ්වාස ගැන විදේශිකයා අසන්නට පටන් ගත් ප්‍රශ්න වැලෙන් වළව්වේ කිසිවෙකුටත් ගැළවීමක් නොවී ය. 

මිනිසුන් කිහිපදෙනෙකුගෙන් සැදුණු කුඩා පෙරහැර සතර දේවාලය පිහිටි බිමට ආ ගමන්ම වාගේ හේවිසි කණ්ඩායම තම බෙර වාදනය පටන් ගත් හ. දවුල්කරුවන් දෙදෙනා නැඟූ ඩුම් ඩුම් හඬ, තම සවන් පුරවා දමමින් පිටාර ගොස් දේවාල බිත්ති වල නැඟී දෝංකාර දෙන අයුරු යුරෝපීයයා විස්මය පත් කළේ ය. එවැන්නක් ඔහු දකුණු ඉන්දියාවේ දී හෝ අත් දැක තිබූණේ  නැත. තම්මැට්ටම් කරුවන් කැරකෙමින් වේගයෙන් වයද්දී, දවුලේ හඬ පපු කුහරය තුළින් නින්නාද වෙන්නා සේ ඔහුට හැඟුණි. එවිටම වාගේ ඉතා පැරණි කාලයකට අයත් සේ දැනුණු තියුණු හඬක් නඟමින් නලා කරුවෝ ගී විරිතේ එන තනුවක් වයන්නට පටන් ගත්හ. අතිත සම්ප්‍රදායට අනුකූලව, වන්දනා කරුවන් එදිනෙදා හුරු පුරුදු ජීවිතයෙන් වෙන් කොට, වෙනමම උසස් මානයකට මනසින් සූදානම් කරවන මහා බලක් එම හේවිසි හඩෙහි ගැබ්ව තිබුණේ ය. අඩ නිරුවත් කලු පැහැ ග්‍රාම්‍ය ජාතියක් මෙවැනි විස්මයජනක සංස්කෘතියක උරුම කරුවන් වී ඇති ආකාරය ගැන ඇඩම් හට පුදුම නොවී නොසිටිය හැකි විය. එය පේගන් හෝ කතෝලික වන්දනාවන් සමඟ ඔහු සිතෙන් සසඳා බැලුවේ නිතැතිණි. 

නලා කරුවෝ ද, තම්මැට්ටම් කරුවෝ ද, දවුල් කරුවෝ ද  පිළිවෙලින් දේවාල දොරකඩ දක්වාම ගොස් එතැනදී නතර වී දෙපසට වූහ. ඔවුන් අතරින් ඉදිරියට ගිය කත් කාරයෝ දෙදෙනා පළතුරු හා සුවඳ ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය පිරුණු කත් දෙක, දේවාලයේ ආවතේව කරුවන් විසින් අත් දිගු කර දක්වන ලද දිසාවකට ගෙන ගියහ. පිරුණු පළතුරු වට්ටිය තිබුණේ තරුණ කුමරිහාමි අතේ ය. ඈ මව හා පියා දෙපසින් ඇතිව දේවාලයේ පඩි නැග්ගේ ඉතා සංයමයෙනි. ඇගේ පිටුපසින් මල් හා සෙසු පූජා භාණ්ඩ රැගත් ටිකිරි බණ්ඩාර ද, ඔහුගේ ඇරයුමෙන් යුරෝපීයයා ද පියගැට පෙළ ඉහළට නැංග හ. 

"නාථ ශ්‍රී සර්ව මංගල්‍යම් - යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූතේන - නාථස්‌වාමි නමෝ වරං..." 

ප්‍රධාන කපු මහතා ගේ ගැඹුරු හඬ පහත් තාරතාවයෙන් යුතුව දේවාලයේ බිත්ති මත දොංකාර දෙන්නට ගනිද්දී, පිරිස දේවාලය තුළට ඇතුල් වූවා පමණි. ඇතුල් ගැබෙහි මැද එල්ලා තිබූ සුදුපැහැති තිරයක් මත ශෛලිගතව රූමත් දෙවිකෙනකුගේ රුව ඇද තිබුණි. ඒ දෙවියන් පසුපසින් සුදුවන් හංසයෙක් විය. දකුණතින් නෙලුමක් ගෙන සිටි නාථ දෙවියන්ගේ දෑසේ කරුණාර්ද්‍රබව මොනවට නිිරූපණය විය.

කපු මහතාගේ ආරාධනයෙන් ඔවුනට ඇතුලු ගැබට ගොස් දේව පිළිමය දැක බලාගෙන පූජාව ඔප්පු කරන්නට අවකාශ සැළසිණ. පූජාසනය මත සුදු පැහැ මල් කඳු ගසා තිබුණි. සුවඳ දුමින් සහ පොල්තෙල් පහන්වල මන්දාලෝකයෙන් දෙවොල තුළ වාතස්කන්ධය පිරී ගොස්... අනවරතයෙන් ගසන ලද සීනුවල මිහිරි හඩ, හා හේවිසි හඩ මැඬගෙන කපු මහතා ගේ යාදින්න ඇරඹුණේ ය 

“...සාධු සාධු සාධු... දොහොත් මුදුන් තබා වඳිමින් දෙපා නමැද වඳිමින් හුරු අත් නුහුරු කර වඳිමින් නුහුරු අත් හුරු කර වඳිමින් සැලකර සිටින්නේ සුභ්‍ර වර්ණ කීර්ති ධාරාවෙන් බැබලි බැබලී මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් තුසිතපුර ශීල සමාධීව වැඩ සිටීම අනාථනාථ වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...” යනාදියෙන් ඇරඹුණු ඒ් කන්නලව්වට යුරෝපීයයා එතෙක් නොදැන සිටි සංස්කෘත හා දෙමළ වචන රාශියක් මුසු වී ගියේ ය.

පූජා භාණ්ඩ දැවැන්ත පිළිමයේ පා මුළ තැන්පත් කළ තරුණිය, වැඩිහිටියන් අනුව දෑත් එක්කොට ළය මත තබා වැඳගෙන, හිස ඔසවා දේව රූපය දෙස බලාගෙන, සිතින් පින් දුන්නා ය. දේවාලයේ ප්‍රධාන කපුමහතා ගැඹුරු හඬින්, යාදින්න කියන්නට පටන් ගනිද්දී ඇතුල් ගැබෙහි පිරුණු නිල්වන් සුවඳ දුමෙන්හි ද කපු මහතාගේ ඒකාතනමය හඬින් ද, තමන් සියුම් මායාකාරී මෝහණයකට නතු වන බව කුමාරිහාමි ට දැණින. නාථ දෙවි පිළිමය මඳින් මඳ වෙනස් වී යනු තරුණිය දුටුවාය. නිල් වන් ව වර්ණ ගන්වා තිබූ පිළිමය බිඳෙන් බිඳ තළෙළු සමෙහි පැහැයට හැරෙන්නට ගත්තේ ය. එහි ජටා මකුටයේ වූ කුඩා බුදු රුවෙන් විහිදෙන්නට ගත් සුදුවන් සෞම්‍ය ආලෝකයෙන්, දේව රූපයේ මුහුණ ආලෝකවත් කෙරුණි. ඒ මුහුණ, තමන් කොතැනදී හෝ දැක පුරුදු බව ඇයට දැණුන ද, ඇයට එය සිහිපත් කර ගැනීමට නොහැකි විය. කරුණාවෙන් හා දයාවෙන් පිරුණු ඒ මුහුණ පහතට හැරවුණි. එහි දෙනෙත් එක එල්ලේම යොමු වුණේ ඇගේ දෑස් වෙත ය.

අඩ අවදියෙන් පසුවූ ඇගේ මනසෙහි එක් වරම විදුලිය රේඛාවක් ලෙස කෙටුණේ, දේව රූපයේ මුහුණ ඊට පෙර දුටු අවස්ථාව ය. එදා ඈ ගල් ලෙණෙහි වැතිර සිටියදී, ඔවුන්ගේ ගැළවුම්කාරයා දෙතොළට ඇඟිල්ල තබා නිහඬ වන ලෙස සංඥා කළ අවස්ථාව.... පෞරුෂයෙන් ද, කරුණාවෙන් ද, ආදරයෙන් ද පිරුණු ඒ මුහුණ ය, ඈ නාථ දෙවියන්ගේ රූපය ලෙස දුටුවේ.

ඈ නැවතත් දේව රූපය දෙස බැලුවේ එය සනාථ කරගැනීම ට ය. ශෛලිගතව අඹන ලද පිළිමයේ නිල්වන් මුහුණෙහි ඈ හට හඳුනාගැනීමට හැකි කිසිදු ලක්ෂණයක් නොවී ය.

-----------------------------------------------------------

"රාසිං දෙවියන් ගේ වාසලට තමුන්නාන්සේ ගේත්, තමුන්නාන්සේ ගේ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!" 

රජවාසලේ පණිවිඩකරු ධනසේකර මුදලිතුමා වෙත සැළකර සිටියේ ය. 

29 comments:

  1. ඔක්කොම කියෙව්වා. හොඳයි, ඒත් එකක් අවුල්.

    ඇයි රාළේ මේ තිස්තුන් කෝටියක් ඉඳිද්දි, නාථ දෙයියාවම සීන් එකට ගෙනාවෙ. අර ෂර්මයිල්ගෙ නම , සිල්වා කියලා මාරු කලා නං නියමෙටම ගැලපෙනවා.

    ඒත් සමස්ථයක් වශයෙන් කතාව ගලාගෙන යන හැටි. පරිසරය වැනිල්ල. බොහොම ඉහලයි.

    ReplyDelete
    Replies
    1. භක්ෂො,

      මේකට දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න උවමනයි. ඒත් පුළුවන් තරං කෙටියෙන් කියන්නං.

      ඔය මහනුවර අවධියෙ දි, නාථ දෙවියො කියන්නෙ එහෙ බෞද්ධයො අදහපු ප්‍රධාන දෙවිවරු හතර දෙනාගෙන් කෙනෙක්. ඔය දෙවියන්ගෙ පුරාණය එන්නෙ විජයාවතරණයත් එක්ක. මට හිතෙන්නෙ එයිටත් කලින් මෙහෙ අදහපු දෙවියෙක් කියලයි.

      බුදුන් පිරිණිවන් මංචකයේ සිට ශක්‍ර දෙවියන්ට පවරනවනෙ එදාම ලංකාවට ගොඩ බැහැපු විජය ගෙ පිරිස ආරක්ෂා කරන්න. ශක්‍ර දෙවියො ඒක උපුල්වන් දෙවියන්ට පවරනව. ඉතිං අර විෂමාචාර හැසිරීමෙන් රටින් පිටුවහල් කරපු මැරයො ටිකකට උපුල්වන් දෙවියො පිරිත් නූල් බඳිනව. ඔතන තමයි මට හම්බෙච්ච පළවෙනි සඳහන මේ දෙවියො ගැන.

      පස්සෙ කෝට්ටෙ කාලෙ දි උපුල්වන් දෙවියො, දෙවිනුවර දේවාලෙ පරංගි කැඩුවත් එක්ක පිළිමතලාව අසළ දෙවිනුවරට වඩම්මනව. එහෙදි ප්‍රසිද්ධ වෙනව, දැඩිමුණ්ඩ නමින්.

      ඊට පස්සෙ නුවරට එද්දි අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් එක්ක මිශ්‍ර වෙනව.

      පස්සෙ පස්සෙ විෂ්ණු දෙවියන්ගෙන් මේ ස්වදේශික දේව ඇදහීම අතික්‍රමණය වෙනව, දෙන්නම නිල් පාට නිසා...

      ඉතිං මහනුවර යුගයේ ඉතා කැපීපෙනෙන ඒ වගේම වැදගත්ම දෙවි කෙනෙක් තමා නාථ දෙවියො.... පස්සෙ නලින් ද සිල්වා වගේ උදවිය අවභාවිත කරලා දෙවියොත් ාටර් කරල දැම්මට.

      Delete
    2. දැන් පැහැදිලියි, එළකිරි වගේ. සිල්වව දීයාම කාපිය මේ කරපු චාටර් වැඩේට. දීර්ඝ විස්තරයට ස්තූතියි.

      Delete
    3. හරි හරි බස්, ඔය දේශපාලනේට එක එක දේවල් විකුණන උදවිය කාල දීයට බඩේ අමාරුවක් හැදුණොත් ඒකට වග කියන්ඩ වෙයි.

      Delete
    4. ඩ්‍රැකී,

      ඔය කාලෙන් කාලෙට අදහපු දෙවිවරු පස්සේ කාලේ එක්කෙනෙක් කියල හිතන එක, ඒ කිව්වේ දෙවිවරු හයිබ්‍රිඩ් වෙන එක ගොඩක් තැන් වලදි දැකගන්න පුලුවන්. විශ්ණුගේ දස අවතාර හැදුනේ එහෙම. කාලෙන් කාලෙට අදහපු දෙවිවරු අන්තිමේදි එක්කෙනෙක් කියලා පිලිගැනුනා. විශ්ණුගේ නමවෙනි අවතාරේ බුදුන්වහන්සේ. මොකද බුදුන්වහන්සේව මිනිස්සු දෙවි කෙනෙක් විදිහටත් කාලයක් අදහන්න ගත්තා (කාලයක් කිව්වට දැනුත් ගොඩ දෙනෙක් එහෙමයිනේ). ඒ නිසයි විශ්ණුගේ දස අවතාර වලට බුදුන්වහන්සේවත් එකතුවුනේ.

      ඔය එක්කම බයිබලයේ උප්පත්ති පොතෙත් මේ හා සමාන දෙයක් තියෙනවා. ඒකෙ මුල් හෙබ්‍රෙව් පිටපත කියවනකොට දෙවියන්ව නිරූපනය වෙන්නේ එල් -එල්යොන්, එල්-ෂඩ්ඩායි, එලොහිම්, යාහ්වේ, එලොහිම්-යාහ්වේ වගේ නම් වලින්. නමුත් මේවා ගැන ගැඹුරට හොයාගන ගියාම දැනගන්න ලැබෙනවා මේ ඉන්නෙත් ප්‍රාදේශීය දෙවිවරු කියල. එයාලා කාලයත් එක්ක හයිබ්‍රිඩ් වෙලා එක්කෙනෙක් වෙනවා.

      මේ වගේ ගොඩක් තැන්වලින් දෙවියෝ හයිබ්‍රිඩ් වෙච්ච අවස්ථාවන් දකින්න ලැබෙනවා.

      Delete
    5. ඒක මල්ලි, ශිෂ්ටාචාරයෙ පරිණාමයත් එක්ක වෙන දෙයක් කියල පේනව. ඔන්න ඉස්සෙල්ලම පටං ගන්නෙ පවුල් කීපයක් එකචතු වෙච්ච රැහැකින්. ඒකට ආවේණික දෙවිවරුත් / යක්කු එක්ක. ඒ කාලෙ වෙනකොට එක් එක් ස්වාභාවික සංසිද්ධිවලට දේවත්වය ආරෝපණය කරල, එව්වට පුද පූජා කරල තමන්ට අවශ්‍ය විදිහට වැස්ස, දඩයම්, සශ්‍රීකත්වය, ගංවතුර, ගිණිකඳු පිපිරීම් ආදිය පාලනය කරගන්න අභිචාර / ආගමික ස්වභාවයක් පටං ගන්නව. ඉතිං රැහැක උනත් එක එක අංශවලට අධිපති දෙවිවරු ගොඩයි.

      පස්සෙ පස්සෙ රැහැ ලොකු වෙලා ගම්මාන හැදෙනව. ඊට පස්සෙ ගම්මාන එකතු වෙලා රටවල් තනි පාලන ඒකක බවට පත් වෙනව. ඒ වෙනකොට ඔය රැහැවල අදහපු දෙවිවරු රාශිය අතරින්, රටේ පාලනය අතට ගත්ත රැහේ දෙවිවරු, ඉස්මතු වෙනව. සමහර විට රටවල් ආක්‍රමණික ජාතීන්ට යටත් වෙනව. එතකොට එතෙක් රටේ ඇදැහුණු දෙවිවරු, ආක්‍රමණිකයන්ගෙ දෙවිවරු විසින් රිප්ලේස් වෙනව.

      ඔයිට හොඳ උදාහරණයක් තමා අපේ රටේ ස්වදේශිකයො අදහපු "කිරිඅම්මා", පස්සෙ කාලෙක රාජ්‍ය අනුග්‍රහය ඇතුව පත්තිනි ඇදහිල්ල විසින් ගිළගන්නව. පණ්ඩුකාභය රජුගෙ කාලෙ එක එක ගස් වලට වන්දනා කළ බව මහාවංශයෙ කියවෙනව. පස්සෙ අශෝක අධිරාජයගෙ ධර්ම විජය එක්ක, බෝධිපූජාව ලංකාවෙ පැතිරෙනව. මුල්කාලෙ කඳු පර්වතවලට වන්දනා ගමන් ගියා. පස්සෙ ශ්‍රී පාදය වැඳීම, වැඩිහිටි කන්ද නැගීම වගේ දේවලින් මහා ආගම් විසින් ඒ ස්වදේශික ඇදහිලි (මිතිල කියන වචනෙන් කිව්වොත්) හයිබ්‍රිඩ් වෙනව.

      මානව පාලන ඒකක තව තවත් විස්තාරණය වෙනකොට, ආගම රාජ්‍ය පාලනයේ මූලික කොටසක් ඉටු කරන තත්ත්වයට එනව. ඒ වෙනකොට රාජ්‍යයේ හැම කෙනෙකුටම පිළිගන්න ඇහැකි තනි සහ සර්ව බලධාරී එක දෙවි කෙනෙක් නිර්මාණය කරගන්න එක අවශ්‍යතාවක් වෙනව. ඒ විදිහට මහා දේව මණ්ඩඩලයක් ඉන්න හින්දු ආගම වුණත් ආගමිකයන් මට්ටමට එනකොට, ශෛව / වෛෂ්ණව / බ්‍රහ්ම වගේ තනි එක බලවත් දේව ඇදහිල්ලක් බවට පත් වෙනව.

      ලංකාවෙ ඔය පරිවර්තනය හොඳටම දකින්න ලැබෙන දෙවිවරු දෙන්නෙක් ඇදහෙනව. එක් දෙවි කෙනෙක් තමා උපුල්වන් > දැඩිමුණ්ඩ > අවලෝකිතේශ්වර නාථ > විෂ්ණු දෙවියො. අනික් දේවතාවිය, කිරි අම්මා (වැදි ජනතාව‌ගෙ කිරි කොරහ එක්කත් සම්බන්ධයි කියල හිතෙනව.) > පත්තිනි දේවතාවිය > (පෘතුගීසි පාලන ප්‍රදේශවලදි) දේව මාතාව....

      Delete
  2. DGM ගේ අදහසයි මටත් හිතිලා තිබුණේ. හැබැයි ඊළඟ කොටසුත් කියවලා තමයි හරියටම හොයන්න වෙන්නේ ඩ්රැකී හැරෙන්නේ කොහාටද කියලා...

    ReplyDelete
    Replies
    1. මේකෙ කොහා ගැන කිසිම සඳහනක් ඇතිවන්නේ නැති බවට ඔබට දිවුරා කියා සිටිමි....


      මම ලියල ම නැති ජෙනර් එකක් ලියන්න හදන්නෙ නිදි. එපික් එකක් ලංකාවෙ අමුද්‍රව්‍යවලින්. අපි බලමුකො ඉස්සරහට එහෙනං. හැබැයි දැනට හිතෙන දේවල් කියනව නම් මගෙ කතාව එයින් පෝෂණය වෙයි. අනුමාන වරදින්න පුළුවන්. ඒත් ඒක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒක නිදි ට ප්‍රශ්නයක් නොවන බවත් මම දන්නව.

      Delete
  3. පරිසර වර්ණනාව නම් අපූරුයි. කියවද්දී ඉබේටම ඒ ගැන චිත්‍රයක් හිතේ මැවෙනවා. ඊලඟ කොටස කියවන්න බලාගෙන ...

    ReplyDelete
    Replies
    1. ඔව් තරින්දි. මගෙ ඔය පරිසර වර්ණනා හැකියාව ගොඩක් තිබුණා දැනට අවුරුදු විස්සකට විතර කලින්. ඔයා ඒ විෂුවලයිසින් කතා ශෛලියට කැමති නම් මගෙ කලින් කතාව කියවන්න.

      Delete
  4. දැන් අපිට පුලුවන් තහවුරු කරගන්න කලිං කොටසෙ 'ධ්‍යානී බුදුරුව' තිබුනෙ ඇයි කියල.අදහස් නොදැම්මත් හැමදාම කියෙව්වා. අනගියි ඔබේ හැකියාව ත් ත්‍යාගශීලී ගුණයත්. ඔබට බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. ඔව් අපෙ හාමුදුරුවනේ. ඒකෙන් පේනව ඔබවහන්සෙ කොයිතරම් සූක්ෂ්ම නිරීක්ෂණයකින් යුක්ත ද කියලා. මේ වගේ කතාවලට ඒ ගුණය අත්‍යවශ්‍යයි.

      මගෙ ත්‍යාගශීලී ගුණය ගැන කිව්ව දේ නං පැහැදිලි මදි. ඒත් මට ගොඩක් වටිනව මේ කමෙන්ට් එක. ඒ වගේම මීළඟ කොටස්වලදිත් ඔබවහන්සෙ අදහස් දක්වනව නම් ඒක මගෙ කතාවෙ සංවර්ධනයට ගොඩක් බලපාවි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔබේ ත්‍යාගශීලීභාවය=
      කඩෙන් පොතක් ගන්න හරි අන්තර් ජාලෙන් මෘදු කොපියක් ගන්න හරි අපි කීයක් වියදන් කරන්න ඕනැද? ඔබ ඇතුළු සියලු බ්ලොග් ලේඛක ලේඛිකාවන් කරන්නෙ එසේ මෙසේ පරිත්‍යාගයක් නෙවෙයි පාඨක පිරිස වෙනුවෙන්. ඔබේ බුද්ධිය, නිර්මාණ ශක්තිය, කාලය, වගේම ඔබේ පවුලේ උදවියගෙ කාලයත් කැප කරල ආත්ම තෘප්තිය සඳහා තම නිර්මාණ පරිත්‍යාග කිරීම කොතරම් වටිනවද?

      Delete
    4. ඒකෙ අනිප්පැත්ත අපෙ හාමුදුරුවනේ.... කෙනෙක් ලියන දෙයක් පත්තරේක පළකරගන්න හරි පොතක් විදිහට පළකරවගන්න හරි තියෙන අවස්ථා හරි අඩුයි. නමුත් මේ මාධ්‍යයෙන් කෙනෙකුට බොහොම පහසුවෙන් තමන්ගෙ භාවයන් ප්‍රකාශ කරන්න පුළුවන්. බෝනස් විදිහට, පාඨකයන්ගෙ අදහසුත් බොහොම ඉක්මණින් දැනගන්න පුළුවන්. ඉතින් මට දැනෙන්නෙ, කිියවන අය ලියන අය වෙනුවෙන් ලොකු උපකාරයක් කරනව කියලයි.

      Delete
  5. ස්කැන්ඩිනේවියන් නමක්ද? කොහොමද ඉන්ග්‍රීසි අකුරුවලින් ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය නම මගෙ පරණ කතාවක දුෂ්ටයට පටබඳින්න හේතු වුණ පෙළඹවිම ඇති වුනේ සයිලන්ට් සහන්ගෙ මේ පෝස්ට් එකෙන්. එයිට ආසන්න කාලයක, සහන්ගෙ නම ෂර්මයිල් ෆර්නැන්ඩස් කියල එයාගෙ කමෙන්ට් එකක තිබුණා.

      මං හිතන්නෙ ඒක ලියන්නෙ, Shirmiel Frenandesky කියල වෙන්න ඔ්නෙ.

      Delete
    2. සයිලන්ට් සහන්ව මතක් කරපු එක හොඳයි. අපරාදේ නේද ලියන එක නතර කලේ. ඒ දවස් වල කියවන්න ආතල් දේවල් ගොඩක් තිබුනා.

      Delete
    3. ඇත්ත. සහන් ලියන එක නතර කළේ අපරාදෙ... ඒ ගැන කතා කරල වැඩක් නෑ. ඔය අද්මිරාල් ෆර්නැන්ඩස්කි ගෙ කතාවක් සහන් ලියාගෙන ආවා මහා අමුතු එපික් කතාවක් විදිහට. පැතුම්ටයි මටයි, අපි දෙන්නටම ඒකෙ පොදු රසාස්වාදයක් තියෙන්න තිබුණා.

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තූතියි මිතිල.... මොනවහරි එකතු කරන්න දෙයකුත් තිබුණනම් පංකාදුයි.

      Delete
  7. උඩරට ඉතිහාසය සෑහෙන්න අධ්‍යයනය කරලා ලියල තියන්නේ. නාථ දෙවියෝ යොදාගත්තා එකෙන් ඒක තේරුනා මට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකු අධ්‍යයනයක් මේ වෙනුවෙන්ම නම් කළේ නෑ. නමුත් අවුරුදු ගාණක් තිස්සේ යන හැදෑරීමක් තියෙනවා....

      නාථ දෙවියෝ ගැන විතරක් නෙවෙයි, ආගම් සහ මිත්‍යාවල ඓතිහාසික විකාශය ගැන මගේ තියෙන අදහස මේ කතාවෙදි පොඩ්ඩක් කතා කෙරෙනව, කතාවට උවමනා විදිහට....

      ගොඩක් ස්තූතියි.

      Delete
  8. ඔබේ පරිකල්පනය පිළිබඳ මගේ ආචාරය ඔබ විහිෂට සොයන්නෙකු බව මගේ හැඟීමයි මා ඔට කලිනුත් යොජනාවක් කළා ඔබේ පරිවර්තන කෘතියක් එළිදක්වන්න
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව්. මට මතකයි යෝජනාව. ගොඩක් ස්තූතියි අගැයීම ට.

      මේ ටික වුණත් මම ලියන්නෙ කාර්යාලයෙදි යි. ගෙදරදි මට වෙලාව නෑ ලියන කියන වැඩ වලට. ඒකට විශ්‍රාම යන්න ම වෙයි කියල පේනව.

      අපි බලමු, ඉස්සර වෙලා මට මේ බැද ගත්ත බෙරේ ගහන්න වෙනව. ඒ කියන්නෙ මේ කතාව ලියල ඉවර කරලා...

      Delete
  9. මේ කොටස මට මිස් වෙලා. මගේ බ්ලොග් රෝලට අප්ඩේට් වුනේ නැහැ. උඹ කාලෙකින් ලිව්වේ නැත්තේ මොකද කියල පහුගිය කොටසට කොමෙන්ට් එකක් දාන්න හිතාගෙන අද ආවේ.. හෙහ් හෙහ් ..

    මට නම් මේ දේව මණ්ඩලේ හරියට පැටලෙනවා. නාත දෙවියෝ ගැන උනත් හරියට යමක් මේක කියවනකම්ම දැනගෙන හිටියේ නැහැ.

    මේ කතාවෙන් දෙවියන්ගේ වැඩ කිඩ සහ ඔය බහිරවයෝ ගැන තව වැඩි විස්තර පුළුවන් නම් ලියපන්.

    මම කලිනුත් කිව්වා වගේ මේවගේ කතා හොයා ගන්න නැති තරම්..

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ, රයිඩර් හැගාර්ඩ් ගෙ ශෛලියට මේක හරවගන්න. පැතුම්ගෙ අදහසින් ඒක තවත් දිරිමත් වුණා. අපි බලමු ඉදිරියට...

      මතකද, හැන්කොක් ෆිල්ම් එකේ තැනක කියනවා, "ශිෂ්ඨාචාර බොහොමයක් අපට ක එක නම් කියනවා. සමහරු අපට දෙවිවරු කියනවා" වගේ කතාවක්...?

      තව මේ ගැන කියන්න ගියොත් මට කතාවෙ තියෙන කුතුහලය පාවා දෙන්න වෙනව...

      ඉස්සරහට බලමු. මම පැතුම්ගෙ අපේක්ෂා සුන් නොකර ඉන්න උත්සාහ කරන්නම්.

      Delete
    2. මම මිට අවුරුදු 14-15 කට වගේ කලින් ඔය දෙවියෝ, භූතයෝ සහ බුදුදහම ගැන සෑහෙන උනන්දුවෙන් හෙව්වා. ඒ කාලේ මට හම්බ වෙච්ච භාවනාවෙන් සහ මනසින් ගොඩක් ඉහල මට්ටමක ඉන්න කෙනෙක් (ඇත්තටම එක වගේ කිහිප දෙනෙක්ම) කිව්වා එයා භාවනාවෙන් සමාධිගත වෙලා ඉන්නකොට ඔය අපි දෙවියන් සහ යක්ෂයන් විදියට හදුන්වන බලවේග සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. එක ඇත්ත දෙයක්. ඔය බලවේග එහෙම මිනිස්සුන්ගෙන් ධර්මය සහ භාවනාව ගැන ඉගෙන ගන්නවා. ඒ මට හමු වුන කෙනා කිව්ව විදියට ඔය මහසෝනා (ඔහු නම කිව්වේ නැහැ) වගේ බලවේග ඔහු හා සම්බන්ධ වෙලා තියෙනවා කිව්වා.

      මම මේක කිව්වේ මේවගේ කතාවක් ගොඩක් දුර ගෙනියන්න සෑහෙන කරුණු තියෙනවා කියල මතක් කරන්න. අර අකාල සන්ධ්‍යා වගේ.

      උඹ ඇත්ත සහ ප්‍රබන්ධ මිශ්‍ර කරන නිසා වැදගත් වෙයි කියල හිතුනා.


      Delete
    3. ඒ කතාව මාත් විශ්වාස කරනව. ඔය මහසෝනා, රීරී යකා, බාලගිරි, කළු කුමාර ආදී බලවේග ගැන මගෙ අදහසත් එයිට සමපාතයි. ඒ උනාට මෙතන මම ලියන්න යන්නෙ වඩා භෞතික සීන් එකක්... අපි බලමුකො ඉස්සරහට.

      ගොඩක් ස්තූතියි පැත්තා.!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි