Sunday, September 20, 2020

අවසානයක් නොවේ - දහ තුන් වන කොටස...

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

දොළොස් වෙනි කොටස

"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."

ඇඩම් එක් නිමේෂයකට නිහඬවූයේ ය. අතීතයේ සිදු වූ දේවල් නැවත ස්මරණය කිරීමත්, එය මනසින් විඳීමත්, නාඳුනන විදේශයක, අගන්තුකයන් දෙදෙනෙකු ඉදිරිපිටදී... සුදුසු නැති බව ඔහුට වැටහුුණුු බව පෙනුණි.

"කෙටියෙන් කියතොත්, මම ඒ මිටියාවතේ දි දැක්කෙ, මම හිටපු කාලයට වඩා අවුරුදු හාර සීයකට විතර කලින් තිබුණු සමාජයක්... ඒ කියන්නෙ මම කාලය හරහා අතීතයට ගෙනත් දාලා තිබුණා... සමහරවිට මම බ්‍රයිටන්ෆෙල්ඩ් සටනේ දි මිය යන්න තිබුණු කෙනෙක් නිසා, සුවපත් වුණාට පස්සෙ මම මගේම කාලයට ආපහු ඒම මඟින් මොනවා හරි රටාවක් වෙනස් වෙන්න තිබුණා වෙන්න පුළුවන් කියල මට පස්සෙ හිතුණා. මොකද, මාව ගෙනත් දාල තිබුණෙ එහෙම පිටින්ම ලෝකයෙන් හුදෙකලා වුණු මිටියාවතකට. විල ඇරුණු කොට අනික් හැම පැත්තෙන්ම තිබුණේ ඈතට ඈතට පැතිරුණු ගන කැළෑව. ඒ කැළෑවෙ ගස් මුදුන් වලට ඉහළින් බැලුවාම පෙනුනෙ බොහෝම ඈතින් පිහිටපු, හිමෙන් සුදු පාට වෙලා තිබුණු කඳුවැටි පේළියක්...

"ඒ ගැමි සමාජයට මාව භාරගත්තෙ සෑහෙන තරම් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ. ගම පාලනය වුණේ වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් හැදුණු කමිටුවකින්. මම කියපු විස්තර ඒ අය මුලින් පිළිගත්‌තෙ නැතත්, මෙහෙදි වගේම මාව එක පවුලකට භාර දුන්නා. මම ඒ පවුලෙ ගොවිතැන්, දඩයම්, කටයුතුවලට උදව් වෙමින් ටික කාලයක් හිටියා. ටික කාලෙකට පස්සෙ, මම අර මුලින් ම දුටුව තරුණිය: ඉන්ග්‍රිඩ් මම විවාහ කරගත්තා. තුවක්කු වලින් සටන් කරපු සෙබළෙක් වෙලා හිටපු මම, දුන්න, ඊතල, පොරොව, හෙල්ල වගේ ආයුධවලින් දඩයම් කරන, හරකුන් බලාගන්න සාමාන්‍ය ගැමි මනුස්සයෙකුගේ ජීවිත කාලයක් ඒ ගමේ ගත කළා... මගෙ භාර්යාව මිය යන තුරු ම..."

දෑස් පියාගත් ස්කැන්ඩිනේවියානුවා හිස පහත් කරගෙන මඳ වේලාවක් ගත කළේ ය. අවුරුදු හාර සියයක් ගත වීත්, අතීත මතකයන් තවමත් ඔහු හැර ගොස් නැති බව ස්වදේශිකයන් දෙදෙනාට පෙනුණි... 

ඇඩම් නැවත හිස ඔසවන විට ඔහුගේ මුහුණ ඇදී ගොස් තිබුණේ ය. "මම අන්තිමේ තීරණය කළා ඒ ප්‍රදේශයෙන් පිට වෙන්න. ඒ වෙනකොට මම එහෙට ඇවිත් අවුරුදු හැටක්... ඒත් මගෙ සිරුර වයසට ගියෙ නෑ. දඩයම් කරද්දි, ගොවිතැන් කරද්දි, මුල් කාලෙ ගැමියො සමහරෙක් එක්ක රණ්ඩු කරද්දි, මට ඇතිවුණු ‍‍තුවාල ඉතාම ඉක්මණින් සුවපත්වුණා. අත පය කැඩුණු අවස්ථා පවා තිබුණා. ඒත් ඒවත් දවසක් ගතවෙන්න කලින් සනීප වුණා. 

"ඉතින් ඒ ගම වටේ තිබුණු ගන කැළෑවෙදි, එහෙම නැත්නම් කඳු වැටියෙදි, මට අනතුරක් වුණත් මගේ ගමන් වේගය අඩු වෙනවා මිසක්, මගෙ ගමන නවතින්නෙ නෑ. ඒ ගමට මාව බැඳ තිබුණු එකම බැඳීම ඉන්ග්‍රිඩ් විතරයි. නමේ අර්ථයෙන්ම එයා සුන්දර ගැහැණියක්, බාහිරින් වගේම හදවතිනුත්..."

"ඔබට දරුවො හිටියෙ නෑ?" මිත්‍ර ඇසී ය.

"නෑ. මට හිතෙන්නෙ ඒකත් අර ලෝකී ගෙ බෙහෙතෙ අතුරුඵලයක්... මොකද මට ඊට පස්සෙ කවදාවත් දරුවෙක් ලබන්න පුළුවන් වුනේ නෑ. 

"ඉතින් මම ඉන්ග්‍රිඩ් ආදාහණය කරපු දාට පහුවෙනිදා උදෙන්ම පිටත්වුණා. මම ගෙනිච්චෙ දඩයමක් කරගන්න ආයුධ ටිකක් විතරයි. කැළෑව පහුකරන්න මට දවස් හතරක් ගත වුණා. කඳුවැටිය මැදක් දුර නගිද්දි සීතලට මිදුණු පිනි එහෙමත් නැත්නම් හිම හමුවුණා. හිම ගොඩේ ලෙස්සමින් ඉතාම අමාරුවෙන් සතියක් විතර ගමන් කරලා මම කඳුයායෙන් අනික් පැත්තට යාගත්තා. එතනිනුත් සති දෙක තුනක් පයින්ම ගාටලා තමයි ආපහු ශිෂ්ට ලෝකයට ආවෙ.

"ඉතින් ඒක තමයි මගෙ කතාව... ඉතාම කෙටියෙන්. මම මේ වෙනකොට අවුරුදු හාරසිය හැටක් විතර ජීවත් වෙලා තියෙනව. ඉතාම මාරාන්තික තුවාල සෑහෙන තරමක් ලබලා තියෙනවා. ඒ එකකවත් කැළලක්වත් ඉතුරු වුණේ නෑ. සමහර වෙලාවට මට හිතෙනවා මේක මහ ශාපයක් කියලා. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිත කාලයක් ගත කරලා මැරිලා යන්න තියෙනව නම්, අපි ප්‍රිය කරන මනුස්සයන්ගේ වෙන්වීම් මේ තරම් දරාගන්න සිද්ධ වෙන්නෙ නෑ. නමුත් මම මටම කියාගන්නවා මට මේ ලැබිල තියෙන්නෙ තෑග්ගක්. ලෝකි මේ තෑග්ග මට දුන්නෙ යම් කිසි කාර්යයක් ඉෂ්ට කරගන්න. ඒක මම තවම ඉටු කරලා දිලා නෑ. සමහරවිට ඒක ඉටු කළාම මට ආපහු පරණ තත්ත්වයට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඒ කාර්යයෙ ප්‍රතිඵල මටත් භුක්ති විඳින්න පුළුවන් වෙයි..."

"මොකක්ද ලෝකි ගෙ අරමුණ වෙන්න ඇත්තෙ?" සුමන විමසීය.

"මට ඒ ගැන කිසිම හෝඩුවාවක් මේ වෙන තුරු ලැබිලා නෑ."

"ඔබ හිතනවද, අවුරුදු හාරසීයක් තිස්සෙ දෙවියෙක් බලාගෙන ඉඳියි කියලා? එහෙම නැත්නම් ලෝකී ඒ වෙලාවෙ කරපු දේ ප්‍රතිඵලය අවුරුදු හාරසීයක් හෝ ඊට වැඩි කාලයක් ඉදිරියට අපේක්ෂා කරයි කියලා...?"

"මිත්‍ර, ඒ ගැන දැනුමක් ඩ්‍රේක් තුළ තියෙන්න විදිහක් නෑ. එහෙම නේද?" සුමන ගේ ප්‍රශ්නය ට මිත්‍ර, එකඟ වන බව ඟවමින් හිස වැනී ය. 

"අපි ඔබගේ කතාව අසමින් තව කොපමණ වෙලාවක් වුණත් ඉන්න ආසයි." සුමන කීය. "ඒත් අප දැන් යා යුතුයි. වෙද මුදළි තුමා ඔබත් කැටුව යන්නට බලාගෙන ඇති. අපි ආපහු ඔබ කැඳවන දවසෙදි ඔබගෙන් අපි අපේක්ෂා කරන මෙහෙවර ගැන ඔබට කියන්නම්. එහෙනම්..." සුමන සහ මිත්‍ර නැගිට දෑත් එකතු කොට අද්මිරාල් වෙත ආචාර කළහ. "ආයු‌බෝවන්!"

ඇඩම් සමාචාර කරද්දී, ටිකිරි බණ්ඩාර සහ ධනසේකර මුදලිතුමා ‌එතැනට ආහ.

--------------------------------

ඝනව වැඩුණු කේතුධර වනාන්තරය පසුකරගෙන ඇඩම් (ඩ්‍රේක්) ඇන්ඩර්සන් කඳු මුදුන ඉළක්ක කරගනිමින් ඉහළට දුවමින් සිටියේ ය. පසුපසින් දිව එන වෘකයන්ගේ හතිළෑම් හඬ පියවරක් පියවරක් පාසා තමන්ට ළං වන බව ඔහුට ඇසුණි. බෑවුම් සහිත භූමියේ තැන තැන පිහිටි ගල් කුට්ටි සහ පඳුරු මතින් පනිමින් ඒකාකාරී වේගයෙන් දිව ගිය ඇඩම් කන්දේ මැද හරියේ පිහිටි ගල් පොත්ත මතට නැගගත්තේ ය. එසැණින් ඔහු ආපසු හැරුණේ උරයේ එල්ලාගෙන සිටි දුන්න පන්නා වමතට ගනිමිනි. හියොවුරෙන් හීයක් ඇදගෙන දුන්නෙහි රඳවා කණ දක්වා ඇදගනිමින් ඩ්‍රේක් තමන්ට ළඟින්ම පහතින් සිටි වෘකයා ඉළක්ක කොට මුදා හළේ ය. කෙඳිරියක් නගමින් ඊතල පහර කෑ මෘගයා පහළට පෙරළී ගියේ, උගේ පසුපසින් දුවගෙන ඒමින් සිටි සහචරයන් කිහිප දෙනෙකු බිම වට්ටවමිනි. පිට පිට ඊතළ තුන හතරක් ම මෙසේ විදින්නට සමත් වූ ඇඩම් දුන්න අත් නොහැර ආපසු හැරී කඳු මුදුනට දුවන්නට ගත්තේ, වෘක රැළ තව තවත් ළං වනු දැකීමෙනි.  ඔහු පසුපස හැරී බැලුවේ එක් වරකි. එසැණින් ගුවනට මුදාහැරුණු ඊතල රැසක්, තම හිසට ඉහළින් සිවුරුහඬලමින් ඇදී ගොස් වෘකයන්ගේ ඇඟෙහි වදිනුු ඩ්‍රේක් දුටුවේය. වෘකයන්ගේ විළාප හඬ කඳුකරය පුරා රැව් නැඟුණි. 

බිම අඩ දණින් වැටුණු ඇඩම් හති ලෑවේ ය. තම මුහුණ කෙලින් පහත් වූ ගැහැණු අතක්... බීම පිරවුණු සම් මල්ලක් අල්ලාගෙන සිටි ගැහැණු අතක්... ඔහු හිස ඔසවා බලද්දී, දුටුවේ සුන්දර සිනහවක් රැඳුණු තරුණියකගේ මුහුණකි. දුන්න වමතින් අත නොහළ ඇඩම්, දකුණත දිගු කර සම් මල්ල අල්ලා ගත්තේ ය. එය මුවට ළං කරද්දී ඉන් නැඟුනු මීපැණි සහ කුළු බඩුවල සුවඳින් පමණක් හෙතෙම සෑහෙන තරමට ප්‍රකෘතිමත් විය. දෙතොලින් ඇතුල් වී දිව තෙමාගෙන උගුර හරහා ගළා ගිය මීඩ් පානයේ රසය ඔහු දෑස් පියාගෙන වින්දේ ය.

https://shadow-of-dc.fandom.com/wiki/Frigg_Freydottir?file=Received_10156728354023714.jpeg

ඔහු නැවත දෑස් විවර කරද්දී, තරුණිය තමා ඉදිරිපිට තණපත් මත වාඩිවී සිටිනු දුටුවේ ය. 

"නුඹට මේ මිටියාවතෙන් පිට වීමට උවමනා බව මම දන්නවා..." ඇය ඉතා පහත් හඬින් මිමිණුවා ය. "...මම ඇස්ගාඩ් සිට මෙහි ආවේ නුඹට උපකාර කිරීමටයි."

"ඇස්ගාඩ්?" 

"ඔව්. වික්‍රමාන්විත ක්‍රියා, දේශ ගවේෂණ, ආදී නොයෙක් දේ නුඹගේ ඉදිරි ජීවිත කාලයේ දී හමු වේ වි. නුඹට ලෝකී ලබා දුන් බලය නිසා ඒ සියල්ලට නිර්භීතව, මුහුණ දෙන්නට සහ ඒ වික්‍රමයන් රසවිඳින්නට නුඹට හැකියි. ඒ සියලු දේ අතර, නුඹ ගේ ඉළක්කය විය යුත්තේ අමරණීයත්වය..."

තිගැස්සී අවදි වූ ඇඩම් වටපිට බැලී ය. හාත්පස පැතිරි සීතල දැනුණ ද, ඔහු සිටියේ දහදිියෙන් තෙත්වූ ගතිනි.

මීළඟ කොටස ...

8 comments:

  1. එල එල. ලංකාවේ ඉතිහාසය සහ මේ ස්කැන්ඩිනේවියන් ඉතිහාස කතා මිශ්‍ර කරපු වෙන කතාවක් නම් කවදාවත් කියවල නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කරන්නද පැත්තා... මුන්දැගෙ ඉතිහාසය කියන්න ස්කැන්ඩිනේවියාවට ම යන්න වෙනව. අපි බලමු තව ඉස්සරහට...

      Delete
    2. https://en.wikipedia.org/wiki/Danish_India

      Delete
    3. ඔය විස්තරේ මේ කතාවට ගොඩක්ම වැදගත්... පිං!

      Delete
  2. ඉතාම ඉක්මනින්....
    ඉක්මනක්ම වේවා!

    ReplyDelete
  3. පසුගිය කොටස් ආපහු බලලා තමයි මේ කොටස බලන්න වෙන්නේ. බොගේ ඊලග කොටස එනකොට අපිට මේ කොටසත් අමතක වෙලා...

    ReplyDelete
    Replies
    1. මෙදා පාර එහෙම නොකරන්ඩයි හිතාගෙන ඉන්නෙ. අඩුම ගානෙ ලබන ඉරිද වෙනකොටවත් තව කොටසක් ලියල ඉවර කරනව...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි