Sunday, August 23, 2020

අවසානයක් නොවේ - දොළොස්වෙනි කොටස

පළවෙනි කොටස

තුන් වෙනි කොටස


එකොළොස් වෙනි කොටස


"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.


"මම ඇහැරුණේ ඉතාම තියුණු ශබ්දයකින්. 'ස්කාඩී...!" කියන චවනය තප්පර කීපයක් දිගට ඇදලා, කෑගහන හඬ තමයි මට ඇහුණෙ. ඒ, මට කලින් වතාවෙ හෙලවෙන්න එපා කියපු තරුණියගෙ ම කටහඬ... මම හෙමින් පියවි සිහියට එද්දි ඉතාම තද පැණි රස සහ තිත්ත රස මිශ්‍ර වුණු දියරයක් මගෙ උගුර හරහා පහළට ගිය බව මට දැණුනා. ඒ වගේම මා ළඟ එතෙක් නැඹුරු වෙලා හිටපු ගැහැණු රුවක් වේගයෙන් එතනින් දුවපු බව ත් මට යන්තම් පෙනුණා.


"ඒ ගැහැණිය තව කීප දෙනෙක් එක්ක පොර බදන හඬත්, දිවියන් දෙන්නෙක් ගොරවන හඬත් ඊට පස්සෙ ඇහුණා. ඒ අතරෙ අර මුලින් මම කියපු සැක්සන් තරුණිය මා ළඟට ඇවිත් පහත් වෙලා මාව පරීක්ෂා කරන්න වුණා. එයා හිම වගේ සුදුයි... ලා නිල් ඇස් දෙකත් රෝස පාට තොල් දෙකත් ඇරුණහම. දිග සුදු පැහැති  කැරලි ගැසුණු හිස කෙස් ඇගේ මුහුණ දෙපැත්තෙන් පහලට එල්ලුණා. නළල දෙපැත්තෙන් ගොතපු කෙස් රොදවල් දෙකක් ඇගේ හිස පිටුපසට ඇදලා පටළවලා තිබුණා. එයාගෙ සුසුම්වල උණුසුම සහ ලා තෙත් බව පවා මගෙ මුහුණ මතට දැනෙන තරම්, ඈ මා වෙතට පහත් වුණා. එයා මගෙ තොල් අතරෙ ඇගේ ඇඟිලි  එහෙ මෙහෙ යවලා, මගෙ තොල්වල තැවරිලා තිබුණු දියරය ඇගේ ඇඟිලි තුඩුවල තවරා ගත්තා. ඊට පස්සෙ ඒ ඇඟිලි නහයට ළං කරලා බැලුවා.


"ඒ අතරෙ ගැහැණුන් තුන් දෙනෙක් තවත් ගැහැණියක් අල්ලගෙන එතනට ආවා. ඒ අය 'ෆ්‍රේයියා' කියලා අර සැක්සන් තරුණියට කතා කරද්දි, මට ඇතිවුණු හැඟීම විස්තර කරන්න අමාරුයි. මට මතක් වුණේ..."


"වානහයිම් හි ප්‍රධාන දෙවඟන?" මිත්‍ර ඇසීය. 


https://cdnb.artstation.com/p/assets/images/images/007/883/193/large/francesca-resta-freyja-nijiart.jpg?1509124926


"හරියටම හරි..." ඇඩම් විමතියට පත් වූව ද, ක්ෂණිකව පිළිතුරු දුනි. 


"...ප්‍රේමය, ලිංගිකත්වය, සශ්‍රීකත්වය, සේ-ඩර්, යුද්ධය සහ මරණය ඇගේ පරාසය... " මිත්‍ර ඇඩම් දෙස එක එල්ලේ බලමින් කීය. "නමුත් මොකද්ද 'සේ-ඩර්' කියන්නෙ?"


"ඒක ස්කැන්ඩිනේවියානු මායා අභිචාරයක්..." ඇඩම් කීය. "...එයින් අනාගතය දැනගන්න වගේම අනාගතය වෙනස් කරවන්නත් පුළුවන් කියල විශ්වාස කරනවා... ඒත්, ඔබ කොහොමද ඔය තොරතුරු දන්නෙ? නෝර්ඩික් ඇදහිලි සම්පූර්ණයෙන්ම වගේ යටපත් වෙලා ගියා මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර." 


"අපි හැම ආකාරයකම දැනුම රැස් කරනවා ඩ්‍රේක්..." මිත්‍ර පිළිතුරු දුන්නේ ය. "අපට තොරතුරු ලැබෙන මාර්ග බොහොමයක් තියෙනවා. සංචාරකයන් සහ වෙළෙන්දන් එයින් එක ප්‍රධාන කොටසක්..."


"හරි... ඉතින් ඒ ඇය ම ද?" සුමන නැවත ඔවුන්ගේ කතා බහ ඇඩම් ගේ කතාව වෙත යොමු කළේ ය.


"ඔව්. මට ඒ බව තහවුරු වුණා ඊට පස්සෙ සිද්ධ වුණු දේවලින්." ඇඩම් නැවත කතාව පටන් ගත්තේ ය. "මම මේ වෙනකොට සෑහෙන තරම් ඉක්මණකින් ප්‍රකෘතිමත් වෙමින් ඉන්න බව මගෙ ඇඟට දැනෙමින් තිබුණා. කලින් ඇස් අරින්නවත්, සෙලවෙන්නවත් බැරුව හිටියට, මේ වෙද්දි මට ඔලුව උස්සලා අවට හොඳින් දැක බලාගන්න පුළුවන් කම තිබුණා. ඒ වගේම ඇලපතේ තිබුණු වෙඩි වැදුණු සිදුර, අර බහිරවයා මගේ පපුවෙ ඇතිකරපු තුවාලය ට වුණා වගේම, මාංශ පටක වලින් පිරෙමින් තිබුණු බව පෙනුණා. ඒත් මට ඒ ගැන පුදුම වෙමින් ගත කරන්න කාලයක් තිබුණෙ නෑ, ඒ අවට සිදු වෙමින් තිබුණු දේවල් අනුව.


"මම හිටියෙ අඩ අඳුරින් පිරුණු මහා ශාලාවක මැද හරියට වෙන්න ඇඳක් වගේ දෙයක. පිදුරු වගේ ඇඟට දැණුනු  දෙයක් ඒක මත අතුරලා තිබුණා. මගේ ඇඳුම් මොනවත් ඇඟේ තිබුණේ නෑ. ඉණෙන් පහල සියුම් සුදු රෙද්දක් පොරවලා තිබුණා. මම වගේම තවත් සිය ගණනක් ඒ අවට වැතිරවලා තියෙන හැටි මම දැක්කා. ඒ ශාලාවට එළිය ලැබුණේ, ඉතාම උසින් තනා තිබුණු පියස්සේ, තැන තැන තිබුණු රවුම් කවුලු වලින්. ශාලාවෙ සම දුරින් සිටුවපු, දැවැන්ත උස් කණු සිය ගණනක් ඒ පියස්ස දරාගෙන තිබුණා.


"ෆ්‍රේයියා අර ගැහැණුන් දෙසට හැරුණා. එතන කාන්තාවන් තුන් දෙනෙක් තවත් ස්ත්‍රියක් අල්ලාගෙන හිටියා. ඒ ස්ත්‍රිය බිම බලාගෙන හිටියෙ වරදක් කළ තැනැත්තියක් විදිහට. 'ස්කාඩි, නුඹ මොනවද මේ මනුෂ්‍යයට පෙව්වෙ? කවුද නුඹට එහෙම කරන්න කිව්වෙ?' ෆ්‍රේයියා ඉතාම පැහැදිලිව සහ කෙටියෙන් ඇහුවා.


"ස්කාඩි හිස ඔසවන්නේ නැතුව උත්තර දුන්නා. 'ලෝකි මට දුන්නෙ, ඇම්බ්‍රෝෂා...' 


"ෆ්‍රේයියා ආයෙත් අර බෙහෙත දැවටුණු ඇඟිලි නහයට ළං කරලා බැලුවා. ඊටපස්සෙ ඇගිලිතුඩු දිවේ අග යන්තම් ගාවලා, ඉතාම ඉක්මණින් අහකට කෙළ ගැහුවා. 'මේ ඇම්බ්‍රෝෂා නෙවෙයි.' ඇය කිව්වෙ තරමක වේගයෙන්. 'ඇත්ත කියනු!' ඇය ස්කාඩි දිහාවට අත දික්කරලා නියෝග කළා. 


" 'ලෝකි මට කිව්වෙ එහෙමයි.' ස්කාඩි හීන් හඬකින් කිව්වා. 


" 'ලෝකි කිව්වෙ නැද්ද ඇයි මේවා මේ මනුෂ්‍යයට දෙන්නෙ කියලා?' 


" 'මට ඔහු කිව්වෙ මෙච්චරයි. 'අපේ පැවැත්ම සෑහෙන කාලයක ඉඳන් අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. මනුෂ්‍යයන් ලවා ඊට පිළියමක් සොයාගන්න පුළුවන්. ඒ සඳහා මේ අමරණීය බෙහෙත, ෆ්‍රේයියා එකතු කරගත් මරණයට ඉතාම ආසන්න මිනිහෙකුට දෙන්න' 


"ෆ්‍රේයියා ට කේන්ති ගිය බව පෙනුණේ, ඇය එක වරම අඩිය පොළොවෙ ගැහුව විදිහෙන්. 'ඇයි නුඹ මට ඒක කලින් නොකිව්වෙ? මම යුධ පිටියෙන් එකතු කරගන්න මිනිස්සු ගැන ඕඩින්වත් ප්‍රශ්න කරන්නෙ නෑ. ලෝකිට ඕනෙ නම් කපටි උපක්‍රම යොදන්න, ඒක ඇස්ගාඩියානුවන් එක්ක කරගන්න තිබුණා. මෙහෙට ඇඟිලි ගහන්නැතුව...' ඇය කියාගෙන කියාගෙන ගියා. ඇගේ ඇස්වලින් රතු පාටැති දියරයක්... සිහින් ඉරි දෙකක් වගේ කම්මුල් දිගේ පහළට ගළාගෙන ඇවිත්, නිකටෙන් පහළට වැටුණා. ඇය අර ගැහැණුන් තිදෙනාට සංඥා කළා ස්කාඩි එතනින් ඉවත් කරගෙන යන්න...



https://www.youtube.com/watch?v=qnkuBUAwfe0&list=PL13535B9A1EBA7856


"ෆ්‍රේයියා ඇගේ වමතින්, දකුනු අතේ මැද ඇඟිල්ලෙ තිබුණු මුද්දේ තිබුණු ලොකු මැණික් ගල ස්පර්ෂ කළා. එතකොට, ඒ මැණික් ගලේ මතුපිට, හරියටම පියනක් වගේ ගැළවිලා, වම් අතේ දබරැඟිල්ලේ රැඳුනා. එතනට ආ ගැහැණියක් මොනවා හරි දියරයක් තිබුණු කුසලානයක් ගෙනාවා. ෆ්‍රේයියා ඇගේ මුද්දේ මැණික් ගල ඒ කුසලානයට හරවලා වමතින් හෙමින් තට්ටු කළා. ඊ්ට පස්සෙ ඈ කුසලානය අතට අරගෙන මා ළඟට නැඹුරු වුණා.


" 'දැන් ඔබට ගොඩක් සුවයි.' ඇය හෙමින් කියන විට මට මීට කලින් දැනුණු සැනසිලිදායක බව දැනුණා. 'මේ බෙහෙත බොන්න. ලෝකී ඔබට දුන්න දියරයේ අයහපත් බලපෑම් මෙයින් වළකිනවා.' ඈ අර කුසලානය මගෙ තොල් මතට පහත් කළා. ඒකෙ අඩියේ දියර ටිකක් තිබුණා. මම ඒ දියරය බිව්වා. ඒවා උගුරින් පහළට යනවත් එක්කම මට සෑහෙන සැහැල්ලුවක් සහ ප්‍රබෝධමත් ගතියක් දැනුණා. ඒත් එක්කම මම ආපහු නින්දට වැටුණා.


" 'මේ මනුෂ්‍යයාට දීලා තියෙන්නෙ මොනවද, ඒකෙන් ඇතිවන ප්‍රතිඵල මොනවද, කියලා දැනගන්න තුරු මොහු වෙන් කර තබමු.' මට නින්ද යන්න කලින් ඇහුණු අන්තිම වචන ටික ඒ..."


ඇඩම් නිමේෂයක් හෝ දෙකක් නිහඬ ව යමක් මතක් කළේ ය. 


"ෆ්‍රේයියා සටන් බිමේදී මියයන සෙබළුන් ඕඩින් සමඟ බෙදා ගන්නවා කියා අසා තිබුණා." මිත්‍ර තවමත් ඇඩම් ගේ වමත තම ඇඟිලි තුඩින් අල්ලාගත් වන ම... "නමුත් ඈ ඔවුන් සුවපත් කරන බව මම දැන හිටියෙ නෑ."


"එහෙම විශ්වාසයක්, දැනීමක් අපෙත් තිබුණේ නෑ." ඇඩම් එකඟ විය. "මට හිතෙන්නෙ මම වේගයෙන් සුවපත් වුණේ ලෝකී ගේ බෙහෙතින්... මට සෙලවෙන්න, ඇස් අරින්න එපා කියලා ෆ්‍රේයියා මා මැරෙන තුරු... ඇගේ කාර්යය අවසාන කරගන්න බලා සිටියා කියලා මට දැනුණෙ. මගෙ ඉරණම හැටියට මම මැරෙන්න තිබුණෙ එතනදි වෙන්න ඇති.


"මම ආයෙත් අවදි වෙනකොට හිටියෙ හාත්පසින්ම වෙනස් තැනක... ගල් ගුහාවක. මම කලින් හිටපු ශාලාවෙදි මඳ උණුසුමක් දැණුනත්, මෙතනදි මට දැනුණෙ ලේ පවා කැටි ගැහෙන සීතලක්. මම වැතිරිලා හිටියෙ මැරුණු හිම වළහෙකුගෙ හමක් මත. මම යුද බිමේදි ඇඳගෙන හිටපු ඇඳුම මට අන්දවලා තිබුණා. ඒකෙ තැවරිලා තිබුණු ලේ, මඩ, වෙඩි බෙහෙත්, දූවිල්ල වගේ දේවල් සෝදලා, ඇඳුම පිරිසිදුවට තිබුණා. මගෙ කිණිස්ස, කඩුව, පිස්තෝලය පවා මා ළඟිින්ම බිම තියලා තිබුණා.


"මං පොඩ්ඩක් ඔලුව උස්සලා වට පිට බැලුවා. ලා රතු පාට හිරු රැස් ගල් ගුහාවෙ දොරකඩ ඉඳන් ඇතුළට ගළාගෙන එමින් තිබුණා. මට කිසිම කායික අපහසු ගතියක් දැනුණෙ නෑ. ඉතින් මං නැගිට්ටා.


"එතකොටම මට ඉතාම උස් ගැහැණු කටහඬකින් ගායනා කෙරුණු ක්‍යූනිං ගායනයක් ඇහෙන්න පටන් ගත්තා. ඒක මම එතෙක් අහල තිබුණු කිසිම ක්‍යුනිං එකකට වඩා සුන්දරයි. පොඩ්ඩක් හිතාගන්න..." ඇඩම් තෙත්ව දිළිසෙන දෑස්වලින් සුමන සහ මිත්‍ර ගේ දෑස් දෙස බැලීය. "...උදෙන්ම අවදි වුණු කුරුල්ලන්ගෙ නාදය... මඳ සුළඟට උස තණගස් සෙලවෙන හඬ... ඈත තැනිතලාවක් දිගේ ගස් අතරින් හමන සීතල සුළඟෙ නාදය... ඒ ශබ්ද එක්ක ලස්සනට මුසු වුණු තරුණියකගෙ තොල්වලින් පිට කෙරෙන, වචන නැති, විවිධ ලතාවන්ට හැරෙමින් නැගෙන හඬ...


"මම ඇස් පියාගෙන අහගෙන හිටියා. එක මොහ‌ොතකට මම පොඩි දරුවෙක් වෙලා උන්න අතීතයට ගියා. අපේ අම්මා, හරකුන් පාලනය කරන්න ඔය ක්‍යුනිං ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. මම අවදි වෙන්නෙ ඒ හඬට... හවස ගොවිපොලේ ඉඳලා තාත්තත්, සහෝදරයොත් එක්ක ගෙදර එන්න පිටත් වෙන්නෙත් අම්මා හවස ගායනා කරන ක්‍යුනිංවල හඬට...


"මම ගල් ගුහාවෙන් එළියට ආවා. මට තද ආසාවක් තිබුණා මේ ගායනය කරන කාන්තාව දැකගන්න. කටහඬේ හැටියටනම් ඇයට වයස අවුරුදු විස්සක්වත් නැති බව මට හිතුණා. 


"මම ගුහා දොරෙන් එළියට එනවත් එක්කම සෑහෙන ඉහලින් තටු ගහන ශබ්දයක් ඇහුණා. මම ඔලුව උස්සලා බලනකොට... ගල් ගුහාව තිබුණෙ කඳුයායක කොටසක් වුණු, ලොකු කන්දක් පාමුළ. ඒ කන්ද මුදුනේ ඉඳන් දැවැන්ත ෆැල්කන් කුරුල්ලෙක් ඈතට පියාඹා යනවා මම දැක්කා. ඒත් එක්කම මම දැක්කා, ඒ දිහාවටම... කන්දෙ ගස් අතරින් කළු දිවියන් දෙන්නෙකුත් දුවමින් හිටියා... ගොඩක් ඈත.


"ෆ්‍රේයියා ඔබ ගැන විමසිල්ලෙන් ඉඳලා...?" සුමන ඇසීය. "එයාගෙ ෆැල්කන් පිහාටුවලින් හැදුණු ලෝගුව යි, ඇගේ රථය අදින්න යෙදාගන්න දිවියන් දෙන්නයි වෙන්න ඇති ඒ දැක්කෙ?" 


"...ඔව් මටත් හිතෙනවා එහෙම." ඇඩම් එකඟ විය. "ඊට පස්සෙ සෑහෙන කාලයක් යනතුරුත්... ඈ මා ගැන විමසිල්ලෙන් හිටපු බවට ලකුණු තිබුණා


"මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු තණ බිමක් තිබුණෙ. වටේටම කඳු වැටියකින් වට වෙලා. මම තව තවත් ඉදිරියට යනකොට, ඈත... සෑහෙන්න ඈත... දැවැන්ත විලක් තිබුණා. ඒ විල අයිනේ ගැමියන්ගෙ පැල්පත් ටිකකුත්, ගොවිපොලවලුුුුත්, දකින්න ලැබුණා. ඒ හැම දේකටම කලින් මම දැක්කෙ, මිටියාවතේ මැද්ද හරියෙ ගොඩැල්ලකට නැගගෙන ක්‍යුනිං ගායනා කරමින් හිටපු කෙට්ටු තරුණියක්..."


උපුටා ගැනීම යොන්නා යින්ටොන් වෙතින්


දහ තුන් වන කොටස...

18 comments:

  1. බොහොම ඉහලයි. රයිඩර් හැගාර්ඩ්ගෙ කතාවක් කියවනවා වගේ දැණුනා.

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බකුසුහාමි. මේක අසාර්ථකද කියල හෙන අවුලෙං උන්නෙ

      Delete
  2. මම අවු 35+ විතර කාලයක් තිස්සෙ ආසම pantheon එක Norse (නෝර්ස් කියල සාමාන්‍යයෙන් හැදින්වුනාට ස්කැන්ඩිනේවියන් , හා උතුරු ජර්මන් වේරියේශන් සමග).
    ග්‍රීක් (සහ රෝමන්) හා හින්දු දේව මණ්ඩලවලට හා ඒවායේ සමානකම් වලට හුගාක් කැමති වුනාට වඩාත්ම fascinating එක Norse. ඒකෙ දෙවියන් ඉන්නෙම තම මරණය හා අවසානය වන Ragnarok ගැන දැනගෙන. එනිසා තමයි මාර්වල් කොමික්ස්වල (මූවීස් එන්න ඉස්සර ඉදලම) favorite එක තෝර් වුනේ!
    ඩ්‍රැකී වයිකින්ස්ලගෙ බ්ලඩ් ඊගල් විදිහට මැරීම හා intestines ගලක් වටේ ඔතාගෙන මැරෙන එක කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. ඊඊඊව්ව්ව්... මම මේකට මොනව ලියනවද කියල හිත හිතා උන්නෙ. ඔය වධහිංසා ගැන මම දැනගත්තෙත් මේ කමෙන්ට් එකෙන් පස්සෙ. හෙට විස්තරාත්මක උත්තරයක් දෙන්නං. ගොඩක් ස්තූතියි ප්‍රා... අපි දෙන්නට සෑහෙන්න සමාන රසිකත්වයක් ඇති බව දිනෙන් දිනම තහවුරු වෙනව.

      Delete
    2. ලේ උකුස්සා ගැන කියවන්න ලැබුණා. මුණින් අතට බිම දිගා කරවා, පර්ශු කොඳුඇට පෙළෙන් වෙන් කරන විදිහට මුවහත් ආයුධයකින් කපා, පෙණහලු දෙක ඒ විවර වලින් එළියට ඇදලා අත්තටු වගේ පෙනෙන සේ පිහිටුවීම. ඒක රාජකීයයන් හෝ නායකයන් ට දෙන දඬුවමක් කියල කියවන්න ලැබුණා.

      අනික් එක නම් හොයාගන්න බැරි වුණා. ඒත් බඩ කපලා, බඩවැල් එළියට අරගෙන ගහක් වටේ ඇවිව්දවපු සිදුවීමක් නම් කියවන්න ලැබුණා.

      ඒව ගැන හිතන කොට, ලේ උකුස්සා වගේ නම්වලින් ඒ වධ නිර්මාණය කරපු උදවියට මාර හාස්‍ය රසයක් තිබිලා කියල හිතෙනව.

      මේ බලන්නකො අපේ පුරාණ දෙතිස් වධය... ඒවටත් ඔය වගේ නම් තියෙනව.

      1 කසයෙන් තැලීම
      2 වේවැළකින් සහ සතර රියන් පොල්ලකින් තැළීම
      3. අත කැපීම
      4. කකුල කැපීම
      5. අත් කකුල් කැපීම
      6. කන කැපීම
      7. නාසය කැපීම
      8. කන සහ නාසය කැපීම
      9. සිරුර වෑයෙන් කපා සතරැස්‌ කිරීම
      10. වදමල් මාලා දමා බෙර වයමින් වීථිවල ඇවිදවමින් මැරීම
      11. ඇස්‌ ගැලවීම
      12. පැසෙන තෙල් කටාරම්වල දැමීම
      13. කූඩුවල කුසගින්නේ සිටින බල්ලන්ට දැමීම
      14. දිවැස්‌හුලෙහි තැබීම
      15. කඩුවෙන් ගෙල කපා දැමීම
      16. යටිපතුල් පලා ලුණු සහ වැලි දමා බොරලු මත ඇවිදවීම
      17. අඬුවලින් දිව ඇද ලුණු වතුර දමමින් දිව කපා දැමීම
      18. උණු තෙල් සිරුර පුරා වත් කිරීම
      19. ලීකොටයක්‌ මත සිරුර තබා කෑළිවලට කැපීම
      20. පලාලපීඨික වධය නොහොත් සිරුර පොලුවලින් තලා ඇට කටු කුඩු කර දැමීම
      21. පලිස පරිවත්තික වධය. එනම් සිරුර පැත්තකට හරවා කණකට යකඩ උලක්‌ ඇන දෙකකුල් වලින් කැරකවීම
      22. ධාරාපන ජීවික වධය එනම් සිරුර පුරා තියුණු අවියකින් ඇන කාරම් දිය ඉසීමෙන් සම් මස්‌ ඇට නහර දියකර හැරීම
      23. කහපණක වධය එනම් සිරුර මුල සිට අගට හෝ අග සිට මුලට පෙති ගැසීම
      24. ඛලික මාංසික වධය එනම් දෙපැත්ත මුවහත් බිලි කොකුවලින් මස්‌ ඉලිප්පීම
      25. එනෙය්‍යක වධය නොහොත් බිම මුණින් අතට නිදි කරවා දණ හිස හන්දිවලට සහ වැළමිටිවලට යකඩ වළලු දමා ඒවා පොළවට සවිකර ගිනි දැමීම
      26. චිරක වාසික වධය නොහොත් ගෙල සිට උකුල දක්‌වා හෝ උකුල සිට ගෙල දක්‌වා සම ගලවා දැමීම
      27. එරකවත්තික වධය, නොහොත් ගෙල සිට බොලටැහැ දක්‌වා සම ගලවා රැහැණකින් එල්ලා එහා මෙහා පැද්දවීම
      28. "හත්ථපඡ්ජෝතක වධය" නොහොත් අත්පාවල තෙල් පාන්කඩ ඔතා ගිනි දැල්වීම
      29. "ජෝති මාලික වධය" නොහොත් ශරීරය පුරා තෙල් පාන්කඩ ඔතා ගිනි දැල්වීම
      30. "රාහුමුඛ වධය" නොහොත් යවුලින් කට විවර කොට කට තුළ පහන්දැල්වීම එසේ නැතහොත් කන් වලට තෙල් වත්කොට මුඛය තුළ පහන් දැල්වීම
      31. "සංඛචුණ්‌ඩික වධය" නොහොත් හිස කෙස්‌ සහ සම ගලවා හිස්‌ කබලෙහි බොරලු උලා හක්‌ ගෙඩියක්‌ මෙන් සුදු පැහැ ගැන්වීම
      32, "බිලිග වාලික වධය" නොහොත් හිස්‌ කබල ගලවා මොළයට ගිනියම් කරන ලද යකඩ ගුලි තැබීම

      අන්තිමේදි බලනකොට මනුෂ්‍යයා කියන්නෙ ඓතිහාසික වශයෙන් මහා තිරිසනෙක්. නැද්ද?

      Delete
    3. මිනිසාත් සතෙක් තමයි. දැන් තියන වැලියුස් නෙමෙයි ඉස්සර තිබුනෙ. ඒවා ජජ් කරන්න පුලුවන් ඒකාලෙ context එකෙන් මිසක් දැන් අගයන්ගෙන් නෙමෙයි.
      ඔව්. මරන්න බඩවැල් ගහේ එතෙන්න ඇවිද්දවපු එකක් තියනවා. මං කියවල හා මූවි එකක දැකල තියනව සුයිසයිඩ් කරගන්න ගලක් වටේ එතෙන එකක්

      Delete
    4. ඔය බ්ලඩ් ඊගල් සිද්දිය තියෙනවා වයිකින් සීරීස් එකේ (https://en.wikipedia.org/wiki/Vikings_(2013_TV_series)) මට මතක හැටියට කිසිම ශබ්දයක් නොකර වේදනාව පිට නොකර දරාගෙන ඉන්න ඕනේ.

      දෙතිස් වදය දැක්කම පිස්සු ඩබල් වෙනවනේ.

      Delete
    5. ප්‍රා ජේ,

      ඇත්ත. මං එකඟයි. හැම කාල වකවාණුවකම (වර්මතමානයත් එක්කම) මානව හිමිකම් සහ මනුෂ්‍යත්වය ගැන සීරියස්ලි, අවංකවම වද වෙන උදවිය ඉන්නෙ 3%ක් විතර ප්‍රමාණයක්. මනුෂ්‍යයා සතෙක් ම තමයි. වධහිංසා පැමිණවීම සහ මරණය විවිධ සංස්කෘතිවල මාර විදිහට විචිත්‍රවත් කරල තියෙනව. ඒක කලාවක්. ගොඩක් වෙලාවට ඒකෙ මහ කැත, හාස්‍යයකුත් තියෙනව. අර තඹ හරකෙක් ඇතුලට දාලා රෝස්ට් කරන එක, අයන් මේඩන් එහෙම...

      පැතුම්,

      මට පේන්නෙ ඔය සීරීස් එක බැලුවනං මගෙ ලියවිල්ල තව විචිත්‍රවත් වෙන්න තිබුණා. ඒත් ඉතිං මොනව කරන්නද? වෙලාව තමා හරහට හිටින්නෙ...

      දෙතිස් වධයට අමතරව තවත් වධ දීම් තියෙනව, ගස් දෙකක් ළං කරල, ගස් දෙකේ තියල ගැටගහල අතාරින එක එහෙම...

      ඔව්ව කොයි සංස්කෘතියෙත් තියෙනව.

      Delete
  3. මේකේ මුල් කොටස් කියවන්න බැහැ . ක්ලික් කලහම මගේ බ්ලොග් එකටම රිඩරෙක්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. කියවා ගත්ත. ස්කැන්ඩිනේවියානු ජනකතා වලටත් බැස්සා නේද?

      Delete
    2. බහින්න සිද්ධ වුනා. ඇඩමගෙ මුල් තියෙන්නෙ එහෙ නෙ.

      මම ලිංක් ටික ආයෙම හදන්නං. ගොඩක් පිං දුෂ්කරතා මැද කියෙව්වට...

      Delete
  4. +++++++++++++++++++++++++++
    කතාව සුපිරි...... ඔන්න මල් වැටක්ම

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අසංග.

      විශේෂයෙන් අර පොත මට එවීම ගැන... ඒක නියම වශයෙන්ම කාලෝචිත උදව්වක්.

      Delete
  5. නාථ දෙවියන්ගෙ සිද්ධියට සමාන්තරව යුරෝපා කතාවක්. ලස්සනයි. ඉන්ද්‍රජාලික යථාර්ථයක් ද? ඉන්දුනිම්න යථාර්ථයක් ද? ඉතා සියුම්ලෙසත් විස්තෘතවත් කරුණු දාමයක් සේ ගෙතුම සිත් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අපෙ හාමදුරුවනේ. වෙලාවක් තිබුණොත් මගෙ පරණ කතාවත් කියවල බලන්න. මට ඕනෙ වුණේ ඒ කතාවෙ මතු කරපු ප්‍රශ්නවලට මේ කතාවෙන් උත්තර දෙන්න.

      මට ඕනෙ වුණේ, එක කැටගරියකට සීමා නොවෙන කතා ලියන්න. ඒකෙදි මම පරණ කතාවෙදි සාර්ථක වුණා කියල හිතෙනව. මෙතනදි මම එපික් කැටගරියට වැඩිය බර වෙනව. ඒ අතරෙ ඇඩ්වෙන්චර් සහ රොමෑන්ස් පැත්තත් ටච් කරනව.

      නාථ දෙවියන් අතෑරලා නෑ අපෙ හාමුදුරුවනේ. ඇඩම්ගෙ අතීතය ගැන කියලා ඊට පස්සෙ ආපහු නාථ දෙවියන් සහ අපේ දේව මණ්ඩලයෙ වික්‍රමයන් මේ කතාවට ඇතුල් වෙයි. සමහරවිට අපේ භාග්‍යවතුන් වහන්සේ, ගෞතම බුදුන් වහන්සෙත් මේකතාවෙදි සඳහන් වෙන්න ඉඩ තියෙයි...

      තව දුරට ගියොත්, ත්‍රිපිටක භික්ෂුව සහ වානරයවත් ගාවගන්න ඉඩ තියෙයි, දැන්ම ඒ ගැන කියන්න බෑ අපෙ හාමුදුරුවනේ. මේවට වගකියන්න ඕනෙ පුංචි කාලෙදි මට සුරංගනා කතා කියා නොදීපු මගෙ වැඩිහිටියො සහ, ඕනෙම සාම්ප්‍රදායික ගම කතාවක් ඕනෙම පැත්තකට හරවන්න පුළුවන් බව පෙන්නපු අපෙ බාප්ප...

      Delete
  6. මට එක පොඩි අවුලක් විදියට දැනුනේ මේ කියවෙන කාලේදී ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ ඈත රටවල ග්‍රාමීය ඇදහිලි සහ විශ්වාස ගැන මේ තරම් දැනුමක් තියෙන්න පුළුවන් ද කියන එක. සුමන සහ මිත්‍ර ඒවා ගැන කලින් දැනගෙන හිටීම පොඩ්ඩක් නොගැලපෙන ගතියක් දැනුන . සංචාරකයෝ සහ වෙළෙන්දෝ මාර්ගයෙන් දැන ගත්ත උනත් පොඩි අතිශයෝක්ති ගතියක් දැනුනා. හැබැයි මට ඔය කාලේ ගැනවත් ඒ කාලේ අපේ මිනිස්සුන්ගේ භාෂා හැකියාව ගැනවත් කිසිම අදහසක් නැහැ.

    කොහොම වුනත් Norse ඉතිහාසය සහ ඔය දේව මණ්ඩලය කියන්නේ කවදාවත් එපා නොවන දෙයක් තමා.

    මගේ හිතේ ඉස්සර තිබ්බ ෆැන්ටසියක් තමා ඔය තෝර් සහ ග්‍රීක දෙවිවරු සෙට් එකයි, අපේ සහ ඉන්දියන් සෙට් එකයි හෙන ෆයිට් එකක් යන කතාවක්. මම හිතන්නේ මහාභාරත් ටීවී එකේ පෙන්නපු කාලේදී වගේ ඕවගේ ආතල් ඔලුවේ තිබුනේ හෙහ් හෙහ් .

    ReplyDelete
    Replies
    1. //මේ කියවෙන කාලේදී ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ ඈත රටවල ග්‍රාමීය ඇදහිලි සහ විශ්වාස ගැන මේ තරම් දැනුමක් තියෙන්න පුළුවන් ද කියන එක. සුමන සහ මිත්‍ර ඒවා ගැන කලින් දැනගෙන හිටීම...//

      මේක පැත්තට ක්ලික් උනා කියන්නෙ ම මගෙ වැඩේ සාර්ථකයි කියන එක... මට ඕනෙ වුණේ මගෙ කලින් කතාවෙදි වගේ ම උත්තරවලට වඩා ප්‍රශ්න මතු කරන්න, පාඨකයගෙ හිතේ...

      අනුරාධපුර යුගයෙ අනුරාධපුරේ ඇතුලුනුවර මධ්‍යධරණී වාසීන් ඉඳල තියෙනව. කතෝලිකයොත් ඉඳල තියෙනව කියල පෙන්නුම්කරන සාධකයක් තමා ගලක කොටපු නෙස්ටෝරියන් කුරුසය. (අනුරාධපුරේ පුරාවිද්‍යා කටුගෙයි තියෙනව ඒක)

      ඉතිං රජයේ රහස් ඔත්තු සේවය ඔය වෙළෙන්දන් මගින් ආශ්‍රය කෙරෙන සියලුම සංස්කෘතීන් අධ්‍යයනය කිරීම වෙන්න බැරි දෙයක් නෙවෙයි. විශේෂයෙන් යූරෝපීයයන් ගෙන් ආක්‍රමණික සහ වෙළඳ තර්ජන තිබුණු යුගයක.

      නමුත් ඒක ම නෙවෙයි මට මෙතනදි කියන්න ඕනෙ වුණේ. ඒක ඉදිරියෙදි කතා කෙරෙනව...

      අර හින්දු - නෝර්ඩික් ෆැන්ටසිය මරු. ඒ වගේ දේවල් අපේ දේව පුරාණයෙ තියෙනව. දන්නවද?

      දෙවොල් දෙවියො ලංකාවට එද්දි, පත්තිනි දේවිය ගිණිකඳු මවනව එයාට ගොඩ බහින්න බැරි වෙන්න. ඒ ගිණිකඳු හතක් පාගලා නිවා ගෙන තමයි එයා ලංකාවට ගොඩ බහින්නෙ. (ඒක සංකේතනය කරන්න ලු දැනුත් බැතිමත්තු ගිණි පාගන්නෙ.)

      ඊට පස්සෙ එයා පිටියෙ දෙවියන්ට චැලෙන්ජ් කරලා, සටනක් යනව. දෙවොල් දෙවියො එතනදි කැලේ ඉන්න මුවො වළස්සු එහෙම අල්ලලා මරලා පිටියෙ දෙවියන්ට දමල ගහනව. පිටියෙ දෙවියො පන්සිල් ගත්ත බෞද්ධයෙක් නිසා ඒ සටනින් පරදිනව.

      මාර සීන් තියෙන්නෙ ඔය දේව කතාවල. බලමු මටත් ඒ ගැන මොනව හරි කරන්න පුළුවන්ද කියලා.

      Delete
  7. එක හුස්මට කියෙව්වා ..මේ ටික ගෲප් එකෙත් කියෙව්වානෙ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි