Friday, October 30, 2020

අවසානයක් නොවේ - දා සය වන කොටස

කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ඊගස වටා බැඳුණු තල්පත ඔහු දුටුවේ ඉන් පසුව ය.

ඉක්මණින් තල්පත ලෙහාගත් ඇඩම්, එතැනම බිම වාඩි වී එය දිගහැරියේ ය. එහි වූයේ ලතින් අකුරින් සටහන් කළ කෙටි පණිවුඩයකි. 

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

පහළොස්වන කොටස

"gå inn i urteforsten 50 trinn mot nordvest - dolmen"

(ඔසු වනයට ඇතුල් වෙනු. ඊසාන දෙසට පියවර 50 ක්. ගල්මැස්ස) 

පණිවුඩය ලියා තිබුණේ නෝවීජියානු බසිනි. 

නැවතත් ඉතා පරීක්ෂාකාරීව වට පිට බැලූ නාවුකයා, ඉතා ම සැළකිල්ලෙන් කැළෑවේ ඖෂධ ගස් අතරින් තියුණු ඇස් බැල්ම යොමු කළේ ය. එහෙත් ඔහුට කිසිදු හෝඩුවාවක්, අඩුම තරමින් ගසක සියුුම් සෙළවීමක්වත් දැක ගත හැකි වූයේ නැත. ඇඩම් තල්පත හැකිළුවේ ද වනපෙත දෙස බලාගත්වන ම ය. දෑතට තරමක උණුසුමක් දැනී ඒ දෙස බලත් ම, හකුළන ලද තල්පත වටා කහ පැහැති සියුම් ගිණි දළු වෙළෙනු ඔහු දැක්කේ ය. ප්‍රතීක ක්‍රියාවලින් මෙහෙයවුණු දෑතින් තල්පත ඉවතට විසි කෙරුණේ ඇඩම් ඒ ගැන සිතීමටත් පෙර ය. තප්පර කිහිපයක දී තල්පත මුළුමණින් ම අළු වී ගියේ ය.

තවමත් අඩ දණින් සිටි ඩ්‍රේක් ගේ වමත තමන් නිතරම ඉණෙහි රුවාගෙන සිටින නාවික දුරදක්නය ට යොමු විය. එහි ඇස ට යොමුවන පැත්තේ කාචය වසා තිබුණු පියන ඉවත් කරගත් ඔහු, එය අනෙක් පිට හරවා සුරතෙහි අල්ල මත තැබී ය. එහි වූයේ මාලිමාවකි. 

නැගිටින්නට කලින් ඔහු වම් කළවයෙහි ගැටගසා රඳවාගෙන සිටි කිණිස්ස එතැන ඇති බව ට වමතින් තට්ටු කර සැක හැර ගත්තේ ය. ඇඩම් ඖෂධ වනයට ඇතුල් වූයේ සිය ඇස් සහ කන් තියුණු ව සංවේදී කරගනිමිනි.

වන රොද ට ඇතුළුව පියවර දහයක් පමණ යත්ම යුරෝපීයයාට ඇසෙන්නට වූයේ දිය ගළායන හඬ ය. තවත් පියවර පහක් පමණ යද්දී ගල් අතර ගැටෙමින් සුදු පෙණ විසුුරුවන දොළ පාරක් ගස් අතරින් දිස් විය. දිය පහරින් මට සිළුටු වූ එක එක තරමේ වට ගල්... ඒ අතර පනිමින් උඩුගං බලා පිහිනන කුඩා මසුන්... උන් ඩැහැගැනීමට මාන බලන නිල් වනින් සැරසීගත් පක්ෂීන්... 

ඉතා විපරම්කාරීව සහ ප්‍රවේසමෙන් දිය පහර තරණය කළ ඇඩම්, මාළිමාවෙන් පෙන්වන දිශාවට දිගටම පියවර ගැන්නේය. පියවර හතළිහේ දී පමණ ඉදිරියේ පිහිටි ගල් අට්ටාලයක්, ඔහු ගස් අතරින් දුටුවේ ය. කුඩා ගල් තුනක් මත රැඳී තිබූ විශාල සමතල ගල් පතුරක්, ස්වාභාවිකව ඉදි වුණු මේසයක් වැන්නක් නිර්මාණය කර තිබුණේ ය. තවත් ඉදිරියට යද්දී, ගල් මැස්ස පසුපස ගසක මුවාවේ රැඳී සිටි සුදු අශ්වයෙක් නාවුකයාගේ නෙත ගැටුණි. පණස් වන පියවර ඔහු තැබුවේ ගල් මැස්ස පාමුළ ය. එවිගස තම සුරත ග්‍රහණය කළ යමෙකුගේ අතෙහි බර ඔහුට දැනුණේ ය. දකුණුපස හැරී බැලූ නෝර්ඩික් ජාතිකයා දුටුවේ, මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේගේ සිනාමුසු මුහුණ ය. 

https://www.dreamstime.com/prehistoric-megalithic-tomb-dolmen-excavated-
reconstructed-passage-grave-larges-stones-forest-klein-image198508267

"මම ඔබ දුටුවේ නෑ මෙතනට එනකම් ම." ඇඩම් සිය මවිතය නොසැඟවීය.

"ඒක ම තමයි ඩ්‍රේක් රහස් දූරයේ විශේෂත්වය..." මිත්‍ර එතැන වූ පැතළි ගලක් මත වාඩි වෙමින්, තමා ඉදිරියේ වූ තවත් ගළක් වෙත අත දිගු කළේ ය.

ඒ අනුව යුරෝපීයයා ද අසුන් ගත්තේ ය. 

"රහස් ගමනක් යාමට ඔබ තෝරාගත්තා." මිත්‍ර කතාවට යොමු විය. "මෙතැන ඉඳන් මේ කාරණාව ගැන සඳහන් වන හැම තැනකදි ම මාව හැඳින්වෙන්නෙ 'වරුණ' නමින්. ඒක වරද්ද ගන්න එපා. ඔබ හෙට පාන්දර කුකුළන් හඬලන්නට කලින් වෙද මුදළිතුමාගේ වළව්වෙන් පිටත් වෙන්න. ඔබ නිළ කටයුත්තක් සඳහා යන බව වෙද මුදළි තුමාට කලින්ම කියා තියන්න. යන වෙලාව කීම උවමනා නෑ. වළව්වෙ කඩුල්ල ළඟ අශ්වයෙක් ඔබ වෙනුවෙන් රඳවලා තියේවි. අශ්වයා භාරව ඉන්න පුද්ගලයා එක්ක කතා කරන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ අශ්වයා පිට නැගලා, ප්‍රධාන පාරට ඇවිත් නුවරින් පිට වෙන එකයි. තවත් අයෙක් අතරමඟදී ඔබට එකතු වෙනවා. ඒ තැනැත්තා මග පෙන්වාවි. ඒ වගේම කරන්න තියෙන රාජකාරියත් විස්තර කරාවි, අවශ්‍ය හැම උපකාරයක් මත් කරාවි."

මිත්‍ර මොහොතකට නිහඩ වී, ඇඩම්ගේ දෑස් දෙස බැලුවේ ය.

"ඊට අමතරව තව මොනවහරි දැනගන්න තියෙනවා ද?"

"මට පැවරෙන රාජකාරිය ගැන මීට වඩා මේ මොහොතෙදි කියන්නේ නැතුව ඇති?" නාවිකයා ඇසී ය. "ඒත් මේ කටයුත්ත ඉටුකළාට පසුව මට ලැබෙන්නෙ මොනවද?"

"මට කියන්න පුලුවන් මෙපමණයි. රාජකීය භාණ්ඩාගාරයට අත්‍යවශ්‍ය යමක් ලබාගැනීමටයි ඔබ යවන්නේ. එය ඔබ ඉටු කිරීමෙන් පෙන්වන දක්ෂතාව වෙනුවෙන්, රජතුමාගේ ප්‍රසාදය ඔබට ලැබේවි. - රජතුමාගේ ප්‍රසාදය කියන්නේ වරප්‍රසාද ගණනාවක එකතුවක් - ඒ වගේම රහස් දූරයේ සාමාජිකයන් ඔබ ගැන තබාගන්නා තක්සේරුව ඉහළ යාවි.

"ඔබ නියමිත වේලාවට පිටත්වීම වැදගත්. ඒ ගැන සැළකිලිමත් වෙන්න." මිත්‍ර වාඩි වී සිටි තැනින් නැගිට්ටේ ය. "එහෙනම්... ජය වේවා!"

උඩුමුල්ලේ නිළමේගේ ආචාරය අනුව ඩ්‍රේක් දැත් එකතු කර ප්‍රති-ආචාර කළේ ය.

---------------------------

ඇඩම් අවදි වූයේ සිය කුටිය අසළම ගසක සිට බකමූණෙකු නැඟූ මූසල රාවයකිනි. සාමාන්‍ය තරමට වඩා තීව්‍රතාවක් ඒ බකමූණාගේ හඬෙහි වූ බව ඔහුට සිතුණේ නින්ද කැඩීමෙන් වූ බාධාව නිසා වන්නට ඇත. ඔහු‌ පෙරදා රාත්‍රියේ නින්ද ගියේ බොහෝ වේලා ගතවූවා ට පසුව ය. පසුදා ට යෙදුණු රාජකාරි ගමන ගැන විවිධ වූ සිතුවිලි ඔහුගේ සිතෙහි විය.

කවුළුව වෙත ගිය ඩ්‍රේක්, නාවික දුරදක්නය ගෙන අහස ට යොමු කළේ ය. රාත්‍රියේ සිය දුරදක්නයට සවිකරගත් සියුම් උපකරණවල උදව්වෙන් හිමිදිරි අහසේ වූ තාරකා මැන ගත් ඔහුට වේලාව නිශ්චය කරගත හැකි විය. 

කලින්දා ලෑස්ති කර තිබූ ප්‍රංශ නාවික ඇඳුම කඩිමුඩියේ ඇඳගත් ඔහු, වම් කකුළේ පැළඳි කෙණ්ඩා ආවරණයේ බැඳ තිබූ කිණිස්සත්, ඉණෙහි එල්ලාගත් දුරදක්නයත්, කබායේ සාක්කුවේ වූ හම් බැම්මෙන් බැඳි ජ'නලයත් නැවතත් පරීක්ෂා කළේ ය. කුටියෙන් එළියට අවුත්, එහි දොර වැසූ හෙතෙම, දිගු හුස්මක් ගෙන, වළව්ව පසු කරමින්, කඩුල්ල දෙසට පිය මැන්නේ ය. 

කඩුල්ල  වෙත එත්ම, අසුන් දෙදෙනෙකු එහි සිටිනුු යුරෝපීයයාගේ නෙතට ලක් විය. එක් අසෙකුගේ පිට නැග සිටි අයෙකු අනෙක් අසුගේ රැහැන් පට ඩ්‍රේක් වෙත දිගු කළේ ය. එය බුහුටි ලෙස අතට ගත් ඇඩම්, හණික අසුපිටට නැගී අනෙක් අසරුවා අනුව අසු ධාවනය කරවන්නට ගත්තේ ය. 

හිරු උදාවට මත්තෙන් පැතිරෙමින් පැවති ළා රත් පැහැ ආලෝකය මුසු මද අඳුර තුලින් පාර පෙනුුනේ යන්තමිනි. තරමක වේගයෙන් ධාවනය කෙරුණු අශ්වයන්ගේ නාසා පුට වලින් නිකුත් වුණු වාෂ්පය, අවට පැතිරි සීතල නිසා තුනී දුම් රැළි මෙන් දිස් විය. මීදුම මුසු සීතල සුළං රැළි සිය කෙහෙරැළි පීරාගෙන පිටුපසට හමා ඇදෙද්දී නාවුකයා තව තවත් අශ්වයා වේගයෙන් ධාවනය කරවන්නට උත්සුක විය. 

කීප මොහොතකින්ම ඔවුනට නුවර කඩවත පසු කරන්නට හැකි විය. එහි වූ මුරකාවල, ඇඩම් සහ අනෙක් අසරුවා හැඳින ඔවුනට යාමට ඉඩ හළ හ. එතැන් සිට ඔවුන්ගේ ගමන් මග වැටී තිබුණේ හෙල්, වන ළැහැබ් ආදිය අතරිනි. එහෙයින් නුවරදී මෙන් වේගවත් බවක් පවත්වාගත නොහැකි විය. හාත්පස වූයේ තවත් උදෑසණක් සඳහා අවදි වෙමින් පැවති ස්වාභාවික පරිසරයයි.

--------------------------------

උදෑසණින් අවදි වූ සියොතුන්, කෑ ගසමින් පියාසර කරන්නට පටන් ගනිද්දී අසරුවෝ දෙදෙනා බලන කපොල්ල පසු කළ හ. එතෙක් පසුකළ සියලුම මුරකාවල්හිදී මෙන් ම එහිදී ද සිදු වූයේ කිසිදු ප්‍රශ්නයක් නො අසා ඔවුනට යන්නට ඉඩ දීම යි. බලන පර්වත දුර්ගය මැදින් වැටුණු පටු පාර දිගේ පහතට බසිද්දී ඇඩම් ගේ සහචරයා කාලයකට පෙර අතහැර දැමූ හෙයින් වල් බිහිවෙමින් පැවති  අතුරු පාරකට හැරුණේ ය. ඒ පාරේ වංගු හත අටක් පසු කළ පසු ගල් පඩි හත අටක් නැඟ ළඟා විය හැකි යම් කිසි පූජනීය ගොඩනැගිල්ලක් හමුවිය. 

මාර්ගෝපදේශකයා අනුව අසු පිටින් බට ඇඩම් හට යම් සැනසිල්ලක් දැනුණි. පාන්දර සිට එක දිගට ම විෂම මාර්ගවල අසු පිට යාමෙන් නැගුණු විඩාවත්, කුසගින්නත් දැනුණ ද, ඔහු එළඹෙන අභියෝගයන්ට සූදානමින් සිටියේ ය.

මගියෝ ගල් පඩි නැඟ ගොඩනැගිල්ලට ළං වත් ම, එහි පියස්සෙන් ඇසුණු සට සට හඩක් සමඟින් වවුලන් රැසක් ඉගිළී ගිය හ. රැළෙන් වෙන් වූ විශාල වවුලන් හතර පස් දෙනෙක් මිනිසුන්ගේ හිස් වටේ කැරකුණේ අභියෝග කරන්නාක් මෙනි. අවසාන පඩි දෙක තුන නඟිද්දී ඇඩම් ගේ නෙතට යොමූ වූයේ ගරාවැටෙමින් පැවති ගොඩනැගිල්ලේ විවෘත ආළින්දයේ බිම වාඩි වී සිටි මිනිස් රුවකි. ඒ දෙසට සිය සුරත දිගු කළ මගපෙන්වන්නා, ආපසු හැරී අසුන් වෙත ගියේ ය.

සංඥාව තේරුම්ගත් ඩ්‍රේක් ගොඩනැගිල්ලේ ආළින්දයට ඇතුල් විය. අසුන් දෙදෙනා ගේ කුර ගැටෙන හඬ ඇසුණේ එවිටම ය. යුරෝපීය යා ආපසු හැරී බලද්දී, එතෙක් ඔහු සමඟ පැමිණි තැනැත්තා අසුන් දෙදෙනා ද රැගෙන ආපසු යමින් සිටියේ ය.

"ඇතුළට ඇවිත් ඈඳිගන්ට" 

තමන්ට ඇසුණු මිහිරි කටහඬින් සහ එය කියැවුණු මෘදු ලීලාවෙන් ඇඩම් මවිත විය. ආළින්දයේ සිටියේ කාන්තාවක් බව ඔහු දුටුවේ එවිට ය. කලින් ඔහු දුටු අඳුරු ජරාවාස ගෙබිම වෙනුවට පළසක් ඇතිරූ පිරිසිදු ගෙබිමක්... එහි එරමිණිය ගොතාගත් සුදු ඔසරියකින් සැරසුණු  කාන්තාවක්... ඇය ඉදිරිපිට එලා තිබූ ලොකු කෙසෙල් කොළයක් මත පිළිවෙලට තබා තිබූ කිරිබත්, කැවුම්, කෙසෙල්... ඒ ඉදිරිපිට දැල්වෙමින් පැවති පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඔහු දුටුුවේ ය.

ඩ්‍රේක් බිමට පහත් වී සිය උසැති පාවහන් ගැළවූයේ නිරායාසයෙනි. නිරුවත් දෙපතුලින් ඉතිරි අඩි කිහිපය ගොස්, ඔහු කාන්තාව ඉදිරිපිට පළස මත බිම වාඩි විය. සිය දිග දෙපා පහසු ආකාරයකට තබාගන්නට කිහිප විටක් තැත්කළ ඔහු අවසානයේ වීරාසනයට ආසන්න ක්‍රමයක් සකසා ගත්තේ ය. හිස ඔසවා සිය සංග්‍රාහිකාව ගේ මුහුණ බැලුවේ ඒ සියල්ලටම පසුව ය. ඒ හිරිමල් වියේ පසුවූ තරුණියක් බව දුටු ඇඩම් මවිත විය. 

මඳ සිනහවක් පාමින් ඔහුගේ දෑස් දෙස බැලූ ඇය කැවිලි සහිත කෙසෙල් කොළය වෙත සිය සුරත දිගු කළා ය. ඇගේ ඇරයුමින් ඔහු හිස්ව තිබූ කුස පුරවාගන්නට පටන් ගත්තේ නිහඬව ම ය.

කිරිබත් වල සීතල කිරි රසයෙන් ද, කැවිලිවලින් නැඟුණු කිතුල් පැණිවල විශිෂ්ට රසයෙන් ද කුස මෙන් ම සිත ද පිරී යද්දී, ඇඩම් සංග්‍රාහිකාව ට ස්තූති කරන්නට හිස එසවී ය. එවිට ඇගේ අතෙහි වූයේ මහත රවුම් බඳකින් සහ දිග ගෙළකින් සමන්විත අඳුරු පැහැ බෝතලයකි. එය දුටු විගස නාවිකයාහට පෝට්වයින් පානයේ සුවඳ හා රසය දැනෙන්නා සේ විය. 

https://www.oceanexplorer.se/wp-content/uploads/2019/05/chr1.jpg

තරුණිය තමා වෙත දිගුකළ බෝතලය බුහුටි ආකාරයෙන් වමතින් අල්ලාගත් ඩ්‍රේක් දකුණතින් එහි මුද්‍රාව කැඩී ය. බෝතලයේ කර වටා අතැඟිලිවලින් පිරිසිදු කර, එය තොල් අතරේ රඳවා උගුරක් මුවට හලාගනිත් ම... දිව මතදී වාෂ්ප වී යන පැසුණු මිදි යුෂවල රසය සහ සුවඳ ඔහු ට විඳින්නට හැකි විය.

පෝට්වයින් බෝතලයෙන් තවත් එක් උගුරක් මුවට හළාගත් ඇඩම් බෝතලයේ ඇබය ගසා බිමින් තැබී ය.

"ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය.

"හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."

ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.


ඉතිරි කොටස...


(පහුගිය කොටසෙදි මම බලාපොරොත්තු වුණා මේ කොටස සතියක් ඇතුලත පළකරන්න. ඒත් කරගන්න බැරි වුණා. අම්මාගේ හදිසි මරණය මට පෞද්ගලික වශයෙන් ඉතාම තදින් බලපෑ කරුණක් වුණා. ඇඳිරිනීතිය නිසා කාටවත් කීවේ නෑ. නිදහසට කරුණු කීම මගේ ප්‍රතිපත්තිය නොවේ. ඒත් ඊළඟ කොටස් ඉතාම ඉක්මණින් ලියන්න පොරොන්දු වෙනවා.)

36 comments:

  1. ජීවිතය අනියතයි.
    ඔබේ මව්තුමියගේ අභාවය ගැන අපගේ සාතිශය සංවේගය කරුණාකර පිළිගන්න.
    ඈ පැතූ දේ එම ආකාරයටම ඉටුවේවා යයි අපි ප්‍රර්ථනා කරමු .
    ඔබටත් ජයවේවා!

    හැට්ටර් සමාගම

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලිට ගොඩක් ස්තූතියි. ජීවිතය මරණය ගැන ගොඩක් දේවල් අපට තේරෙනව මලේ ගෙදර මරණයක් සිද්ධ වුණහම... ඒ වගේම අපේ ජිවිතත් කොයිතරම් අනියත ද කියන එක...

      අම්මා මොනව පැතුවද කියලා තමයි මාත් කල්පනා කළේ. එයා උපතින් කතෝලික. නමුත් පොඩිකාලෙ අපට ගාථා එහෙම කියා දුන්නෙත් පන්සල් එක්කරං ගියෙත් එයාම තමා. ඉතින් මට උවමනා වුණා දෙපාර්ශ්වයෙම වතාවත් කරන්න. ඇඳිරි නීතියත් එක්ක බැරි වුණා. අම්මගෙ සහෝදරියො - සහෝදරයො ඉන්න ඉන්න තැන්වල කතෝලික වතාවත් කළා. මම පාංශු කූලෙ දීලා හත්දවසෙ බන කියෙව්වා...

      Delete
  2. අම්මාගේ අභාවය පිළිබඳව කනගාටු වෙන අතරම ඇයට සැනසීම- සදා සුවය- නිවන පතමි!

    ඩ්රැකී, දැන් නම් කතාව කියවද්දී හිතෙන්නේ ඉතා සාර්ථක ලෙස නිමවුණු ඉංග්‍රීසි film එකක් බලනවා වගෙ කියලයි. ඒක ෆැන්ටසි- විද්‍යා- ෆික්ෂන්- ඉතිහාස- ඇඩ්වෙන්චර්.... මොන ගණයට දාන්නද කියලා නම් චිත්‍රපට කප්පිත්තෙකුටවත් බැරි වෙයි.

    ප්‍රතීක ක්‍රියාවකින්- වගේ යෙදුමකින් මට පේන්නේ ඔයා ජීව විද්‍යාවත් දන්නා බවයි. ඒ අතරට එකතු වෙන කාල තරණ සංකල්පය... මේක තේරෙන විදිහට නම් කාල තරණය නෙවෙයි වගේ.... එක්කෝ සමාන්තර විශ්ව සංකල්පය; නැතිනම් පස්වෙනි-හයවෙනි මානයක් වෙන්නත් පුළුවන් නේද?
    නෝවීජියානු ඇදහිලි, පෝට් වයින්, කිතුල් පැණි රස වැහෙන සිංහල රස කැවිලි, වීරාසනය වගේ දේවල් මට නම් කියන්නේ ඔයා ඇසුරු කරන විෂය ක්ෂේත්‍රයන්වල පුළුල් බවයි. මම ඒවා ගැන එතරම් දන්නා කෙනෙකු නෙවෙයි. යන්තමට කියවා තියෙනවා පමණයි.

    ඒත් මම නම් මේ ව්‍යායාමයට හරිම කැමතියි. ඒ මෙම කතාව කියවන අයව තවත් කරුණු හදාරන්නට පොළඹවන නිසා.

    ඉවසිලි නැතිව ඉන්නේ.... ඉක්මනට ඊළඟ කොටස ලියන්න....

    ReplyDelete
    Replies
    1. අම්මගෙ අභාවය ගැන දැක්වූ සහකම්පණය ගැන ස්තූතියි නිදි... තාත්තගෙ මරණෙන් පස්සෙ මට මරණය සහ ජිවිතය ගැන මාර අවබෝධයක් ලැබුණා. අම්ම නං මැරෙනව කියල දන්නෙවත් නැතුව මැරුණෙ. එයා ට තව ඉන්න තිබුණා කියල හිතුණහම දුකයි. නමුත් ඇඟ පත වේදනාවල් ගැන කියන හැම වෙලාවකම අනේ මම ඉක්මණට මැරෙන්නෑනෙ කිය කියා උන්නෙ.

      මේක හොඳ ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ දැනෙනවනං, නිදි වගේ රසවතෙකුට, ඒක මට ලොකු අගය කිරීමක්. ඒ වගේම නිදි දන්නව ඇතිනෙ, දැං කාලෙ හැදෙන ෆිල්ම් හෝ සාහිත්‍ය කෘති ඔය විදිහට එක කැටගරියකට දාන්න බැරි බව?

      ප්‍රතීක ක්‍රියා ගැන අපි දැනගන්නෙ දෙවෙනි කැලෑසියෙදි විතර නේද? අත තාප ප්‍රභවයක ගැටුණොත් සිතීමකින් තොරව එයින් ඉවතට විසි වෙනව. ඒක වෙන්නෙ මොළයට යන ස්නායුවකින් නොවෙයි, සුෂුම්නාවට යන ස්නායුවල බලපෑමෙන්. ලොකු ජීව විද්‍යාත්මක දැනුමක් මට නෑ ලොකු අයියෙ...

      මට මේ කතාවෙ වස්තු බීජය ආවෙ the Braveheart ෆිල්ම් එක බලද්දි. ඒ කියන්නෙ, කලින් කතාවෙ හිටපු වැම්පයර්, නුවර යුගයේ ලංකාවට ආව යුරෝපීයයයෙක් කියන එක. ඊට පස්සෙ සයිලන්ට් සහන්ගෙ මීමුත්තා ස්කැන්ඩිනේවියන් අද්මිරාල් කෙනෙක් වුණා. ඉතින් ඇඩම් ඇන්ඩර්සන් ට නෝර්ඩික් පසුබිමක් ලැබුණා. ඒ විදිහට කතාව ගොඩනගද්දි ඔය උඩ කියපු හැම දෙයක් ගැනම හොයන්න වුණා.

      "සුදුවැද්දා" කියවද්දි තමයි පෝට්වයින් ගැන මුලින්ම කියවන්න ලැබුණෙ.

      එක්ස් ෆයිල්ස්, මිලේනියම් වගේ ටෙලි බලද්දි හැම තිස්සෙම, කතාව බැලුවට පස්සෙ අපට හොයලා දැනගන්න කරුණු ගොඩක් ඉතුරු වුණා. මට ඒ ගතිය මගෙ කතාවලට එකතු කරන්න උවමනා වුණා. ඒක අවුලක් නැති බව ඔයාගෙ කමෙන්ට් එකෙන් දැනුණා.

      මේ සතිය ගෙවෙන්න කලින් ඉතුරු කොටස දාන්න උත්සාහ කරනවා.

      Delete
  3. මව්තුමියට නිවන්සුව අත්වේවා.

    //කපුටන් කෑ ගසමින් පියාසර කරන්නට පටන් ගනිද්දී අසරුවෝ දෙදෙනා බලන කපොල්ල පසු කළ හ.//
    කපුටන් ඉන්නේ කුණු බහුල නාගරික පෙදෙස්වල නේ. සියොතුන් කියලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      මම ලිව්වෙ පොඩි කාලෙ මතකයක්. උදෙම්ම කුකුළන් ට පස්සෙ අවදි වෙන්නෙ කපුටන්. ඒ කාලෙ අප‌ේ ගමේ උන්නෙ ගං කපුටො. දැන් නං උන් දකින්න නෑ. ටවුමෙ උන්නෙ කොළඹ කපුටො. අවුලක් නෑ. වෙනස් කිරීම අවස්ථාවෝචිතයි කියලා දැනුණා. වෙනස් කළා. ඒකට ස්තූතියි...

      Delete
  4. කියන්න හිටපු එකක්වත් දැන් මතක නෑ. ඔක්කොම අවුල්. මව්තුමියට නිවන්සුව!

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම... බස්සට ආපහු ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න පුළුවන් වීම ගැන සතුටුයි.

      දෙවනුව... අම්ම ගැන දැක්වූ සහකම්පනය ගොඩක් දැනුනා. ඒ ගැන ගොඩක් ස්තූතියි.

      තෙවනුව... කලින් අවස්ථාවලදි වගේ මේ කතාව පෝෂණය කරන්න කමෙන්ට් නොකිරීම ගැන ගොඩක් දුකයි.

      Delete
  5. Replies
    1. මතකද Asterix and the golden sickel?

      Delete
    2. වැඩිපුර තියෙන්නෙ යුරෝපයේ ඒත් අනිත් ප්‍රදේශවලත් තියනවා.

      Delete
    3. ලංකාවෙත් තියෙනව කීපයක්...

      Delete
    4. https://sinhala.archaeology.lk/tag/%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83/

      Delete
  6. මිෂන් ඉම්පොසිබල් ජාතියෙ තල්පතක් ඇයි මේකට?

    ReplyDelete
    Replies
    1. ඒක බොළඳයි වගේද? මට ඕනෙ වුනේ රහස් දූරය ටිකක් උලුප්පන්න...

      Delete
    2. පසුව හරි එක්ස්ප්ලේන් කරන්න බැරි අද්භූත හෝ අමුතු දේවල් ඓතිහාසික නවකතාවල මම කැමති නෑ. ෆැන්ටසිවල මැජික් කියල කියන ඒවානම් ok.

      Delete
    3. පස්සෙ එක්ස්ප්ලේන් කරන්න නං පුලුවන්. මං ඇහුවෙ, කොපි කිරීම බොළඳ වැඩක් වගේ පේනවද?

      Delete
    4. කොපි කලා කියල නම් පේනව.
      බොළඳ කියන්න බෑ.

      Delete
    5. ස්තූතියි. එහෙනම් එහෙමම තියෙන්න අරින්නම්. ඉදිරියෙදි ඒක කරපු හැටි ගැන කියන්නම්.

      Delete
  7. අම්මාගේ අභාවය ගැන කනගාටුයි. එතුමියට නිවන් සැප පතමි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෑම් මහත්තය...

      Delete
  8. මුලින්ම ඔබගේ මව් තුමියගේ අභාවය පිළිබඳ මාගේ කණගාටුව පිළිගන්න.

    අර තල්පත ගිනි ගන්නකොට මටත් මතක් උනේ MI තමයි.
    (MI යනු ලොකු මල්ලීගේ මහඉලුප්පල්ලම නොව මිෂන් ඉම්පොසිබල් බව සැලකුව මනාය)

    අර වයින් බෝතලේ ඇබේ නිකං හරි අමුතුයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. පොරොප්පෙ ගහල ලාකඩවලින් සීල් කරල

      Delete
    2. එහෙම සීල් කරන්නෙ මුහුදෙන් transport කරද්දි මුහුදු වතුරෙන් බේරගන්න වෙන්ඩැති...

      Delete
    3. සහකම්පණය ගැන ගොඩක් ස්තූතියි ප්රසන්න.

      ඇම් අයි ඉෆෙක්ට් එකට විකල්පයක් හොයාගන්ඩ වෙයි කියල පේනව

      Delete
  9. මව් තුමියට සුභ ගමන්.
    කතාව ලියන්න මනස හදා ගත්තේ කොහොමද? එක තකට ලිවීමත් සැනසුමක්. මේ කටහ්ව ටිකක් නවගත්තේගමගේ සන්සාරන්‍යය අසබඩ පොතේ ගතියකුත් ආව . දැන් මේ 1700 ගණන්වල කතාවක්ද? නැත්නම් වසර සීමාවක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මේකට දිගට උත්තර දෙන්න තිබුණු නිසා පරක්කු වුණේ.

      ඇත්තටම අජිත්අයියට මේ වෙන්වීම ගැන මට දැනිය යුතු හැඟීම හරියටම තේරුණා කියල තේරුණා. ඇත්ත. හිත හදාගන්න අමාරු වෙන්න උවමනයි.

      ඒ්ත්, මරණය පිළිබඳ හැම වැඩකටම ගියෙ මම. අම්මා සිහි නැතුව වැටුණා ගෙදරදි. හොස්පිටල් එක්කගෙන ගියෙ මම. හදිසි ප්‍රතිකාර ඒ්කකයට දාල, එතනිං ස්කෑන් කරන්න අරගෙන යද්දිත් මම ගියා. ඒතනින් වාට්ටුවට දාද්දිත් මම ගියා. ඊට පස්සෙ ළඟ නවතින්න කෙනෙක් තියලා, බටයක් දිගේ දෙන්න පුළුවන් කෑම ජාති ඒහෙමත් අරගෙන දීලා, ගෙදර ඇවිත් ඇඟ හෝදගත්තට පස්සෙ, නැතිවුණා කියන ආරංචිය ආවෙ. රෑ දොළහට විතර තව යාලුවෙකුත් ඒක්ක යන්න වුණා, වාට්ටුවෙ ටිකට් ඒක අත්සන් කරන්න. පහුවෙනිදා උදේ මෝචෙරියට ගිහින් අඳුනගත්තා. පස්සෙ රටේ තියෙන මේ තත්ත්වෙත් ඒක්ක මිනිය කැපුවා. ඊට පස්සෙ මල් ශාලාවෙ උදවියට දේහය බාර දෙද්දිත් අඳුනගන්න මම ගියා. ඒ් හැම අවස්ථාවකදිම අම්මව දකිද්දිථ මට අපේ ජීවිතේ මොන තරම් අස්ථිර දෙයක්ද කියන ඒක තේරුණා.

      ඔය අත්දැකීම ම මට ඊට අවුරුදු දහයකට කලින් තාත්ත මැරුණ වෙලාවෙත් ලැබුණා.

      ඇත්තටම සචේතනිකව, හැඟීම් ආකල්ප සහ මතවාද ඒක්ක ඉන්න මනුස්සයෙක්, මොහොතකින් කිසිම දෙයක් නැති හිස් දේහයක් බවට පත් වෙන කොට, අපි මේ විශ්වාස කරගෙන, අදහගෙන ඉන්න ලෝකය ඇත්තටම මොන වගේ දෙයක් ද කියලා වැටහෙණවා.

      ඊට පස්සෙ අවමඟුල් උත්සවය. මතකවස්ත්‍ර දීම, හත්දවසෙ දානෙ... ඔය දේවල්ට කාර්යබහුල වෙද්දි, අම්ම අප අතරෙ නෑ කියන ඒක අපටත් හොරෙන්ම අපේ හිතට කාවැදිලා, ඒ් වෙනසට අපි හුරු වෙලා ඉවරයි.

      ඉතින් ලොකු දුකක් පෙන්වන්න වෙලාවක් තිබුණෙ නෑ.

      නවගත්තෙගමගෙ ආභාසයක සෙවනැල්ලක් වැටිලා කියලා මටත් පෙනුනෙ මේ කමෙන්ට් ඒකට පස්සෙ ආපහු කියවද්දි. ඒ්ත් ඒ තැනට ඒ් ටික ඔ්නෙම උනා.

      මේ කතාවෙ මේ හරිය 17වන සියවසේ අග හරිය. ඊට පස්සෙ වර්තමාන කාලයට ආපහු එනව.

      Delete
  10. //ඇත්තටම සචේතනිකව, හැඟීම් ආකල්ප සහ මතවාද ඒක්ක ඉන්න මනුස්සයෙක්, මොහොතකින් කිසිම දෙයක් නැති හිස් දේහයක් බවට පත් වෙන කොට, අපි මේ විශ්වාස කරගෙන, අදහගෙන ඉන්න ලෝකය ඇත්තටම මොන වගේ දෙයක් ද කියලා වැටහෙණවා.// ඕක තමයි අපට අන්තිමටම වැටහෙන්න ගන්නේ. මගේ තාත්තාට පෙන්වල එයට ආඩම්බර වෙන්න කියල මම මෙහෙ ජිවිතේ ගොඩ නගන කොට එයා ගියා. මම ඇවිල්ල ඔය කීව වගේ වැඩ කටයුතු කරලා හත් දවසේ දානේ දෙනකොට තමා මට දැනුනේ - එයා තව දුරටත් නැහැ. එතැන් හිස් බවක් තියෙන්නේ කියල. සෝෂල් මිඩියා වලට එන්නත්, ලියන්න පටන් ගත්තෙත් ඊට පස්සේ, ඒ අඩුව අපට නොදැනීම පිරවෙනවා. - මට සමහර වෙලාවට එහෙම කියවනකොට තව කියවපු දෙයක් මතක් වෙනවා. ඒක ස්වභාවිකයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මේක නැවත නැවතත් කියෙව්වා... ගොඩක් ස්තූතියි අජිත් අයියෙ. මටත් මගේ දියුණුව තාත්තට පෙන්නන්න බැරි වුණා. මම ඒ පාරට වැටුණු බව විතරයි එයා දැක්කෙ. අන්තිමේ අපි විශ්වාස කරන අගයන් මොනවද, මොකටද, කියන ප්‍රශ්නය එනව. ඇත්තටම මේ ජීවිතේ තේරුමක් නෑ. අපි ඉතුරු කරල යන දේවල්, අපි අනාගත පරපුරට දායාද කරල යන දේවල් විතරයි පොඩ්ඩක් හරි අගයක් ඇති දේවල් විදිහට දැනෙන්නෙ.

      ඊට පස්සෙ මතක් වෙනව පර්සි ෂෙලී ගෙ "ඔසිමැන්ඩියස්"

      ඔසිමැන්ඩියස් පිළිරුවේ පාදමේ ගහල තියෙනව, "My name is Ozymandias, king of kings: Look on my works, ye Mighty, and despair!" නමුත් පිරිමයෙ ඉතිරි වෙලා තියෙන්නෙ පාද දෙකයි, කඩා වැටුණු හිසයි විතරයි. "look on my works" කිව්වට, පිළිරුව හාත්පස ඉතුරු වෙලා තියෙන්නෙ කාන්තාරය විතරයි...

      ඒ කියන්නෙ, අපි ඉතුරු කරල යන දේ වුණත් පවතින්නෙ කෙටි කාලයක් විතරයි?

      ඇත්තට, අපේ සියගෙ සීය වුණු අන්දිරිස් කිත්ත ගැන මම දන්නෙ නම විතරයි. සුවාරිස් මුත්ත හරි, විලියොං ආත හරි හදපු මහගේ වුණත් අනූ ගණංවල කඩා වැටුණා. ඒ අය මොන විදිහෙ මිනිස්සුද කියල දන්නෙ අපේ තාත්තල කියන කතා අනුව විතරයි. ඒ අය අපට දායාද කරල ගිහිං ඇත්තෙ ජාන විතරයි...

      Delete
    2. මම හිතුවේ උඹ ටික කාලෙකට ලියන එකක් නැහැ කියල. නමුත් ඔය විදියට ඇත්ත තේරුම් අරන් ආයෙත් උඹේ ජීවිතය ගෙවන්න පටන් ගත්ත එක හොඳයි. ඒක ලොකු දෙයක්.

      අර MI සීන් එක නම් ගැලපෙන්නේ නැහැ කියල මටත් හිතුනා. ඒවගේ දෙයක් කරන තාක්ෂණයක් (බෙහෙත් වගේ දේවල්) මේ කියවෙන කාලේදී තිබිල තියෙනවද ?

      [ඒ කියන්නෙ, අපි ඉතුරු කරල යන දේ වුණත් පවතින්නෙ කෙටි කාලයක් විතරයි?]

      මේක ගැන මගේ අදහස නම් අපි මහන්සි වෙන්න ඕනේ අනුන්ට ඉතිරි කරලා යන්නවත්, අනුන්ට කරලා යන්නවත් නෙමේ. අපිට පහන් දැල්ලක් නිමෙනවා වගේ සැහැල්ලුවෙන් නිමිල යන්න පුළුවන් මට්ටමට අපේ හිත හදා ගන්න මහන්සි වෙන එක, ඊට පස්සේ තමන් ළඟම අයටත් ඒ දේ වටහල දෙන්න උත්සාහ කරන එක තමා කරන්න ඕනේ. නැත්නම් අර ඔසිමැන්ඩියස් වගේ තමා. කළා කියල හිතුවට කරපු දෙයක් නැහැ අන්තිමට

      Delete
    3. ඔව් පැත්තා... මම මේකට උත්තර දෙන්න පරක්කු වුණාට සමා වෙයං. "පහන් දැල්ලක් නිමෙනවා වගේ සැහැල්ලුවෙන් නිමිල යන්න..." පුළුවන් මට්ටමට හිත හදාගන්න එක කියන්නෙ ම නිවණ වෙන්නැති කියල හිතුණා. ඒක මහ අමාරු වැඩක් නෙ... අපේ පැවැත්මෙ කිසි තේරුමක් නෑ කියලා තේරුම් ගන්න එක...?

      /මම හිතුවේ උඹ ටික කාලෙකට ලියන එකක් නැහැ කියල./ එහෙම නතර වෙලා ඉන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි නෙ අපි ගෙවන්නෙ පැත්තා... අපෙන් පවුල සහ සමාජය අපේක්ෂා කරන දේවල් නතර කරලා ඉසුඹුවක් ගන්න බෑ.

      අර එම් අයි සීන් එක කරන්න බෙහෙත් ඔ්නෙ නෑ නේද? මතකද කොහොමද ආකිමිඩිස් නැ් ගිණි තිබ්බෙ කියලා?

      Delete
    4. "ආකිමිඩිස් නැව් ගිණි තිබ්බේ" ලෙස වෙනස් විය යුතුයි...

      Delete
  11. මවගේ අභාවයට කණගාටුයි ඩ්‍රැකී. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ගොඩ දවසකට පස්සෙ එන්න ලැබුණෙ බ්ලොග් එක පැත්තේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ටෙක් මල්ලි.. මං ඒ පැත්තෙ ගියෙත් ගොඩ කාලෙකිං

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි