https://njmonthly.com/wp-content/uploads/cache/2014/07/balloon1/76167853.jpg |
ඇම්බැට්ටයා හරිම දඟකාර ළමයෙක්. පොඩි කාලෙ ඉඳන්ම මෙයා යාලුවන් බොරු කියා රවට්ටන්න පුරුදු වෙලා හිිටියා.
දවසක් එයාගෙ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා, එයාගෙ බත්මුල පාර ගාවට ගෙනත් දෙන්න කියලා ඇම්බැට්ටයාට කිව්වා. ඇම්බැට්ටයා ත් හොඳ ළමයා වගේ බත් මුලත් අරගෙන තාත්තගෙ පස්සෙන් ආවා. ටික දුරක් ආව ට පස්සේ එයා මග නතර වෙලා බත්මුල ලෙහාගෙන කෑවා. ඊට පස්සෙ ආයෙමත් තාත්තගෙ පස්සෙන් ගියා. මහ පාරට ඇවිත් තවත් ටික දුරක් ආවට පස්සෙ තාත්තා පිටිපස්ස හැරිලා පුතාගෙන් බත් මුල ඉල්ලුවා.
"තාත්ත කිව්වෙ බත්මුල පාරට ගෙනත් දෙන්න නෙ. මං පාරට ආවට පස්සෙ පාර අයිනෙ බත්මුල තියලා ආවා." කියලා ඇම්බැට්ටයා උත්තර දුන්නා. තාත්තට බොහොම කේන්ති ගිහිං ඇම්බැට්ටයට පාරක් ගහල ගෙදර එළෙව්වා.
ගෙදරට දුවගෙන ගියපු ඇම්බැට්ටයා අම්මට කතා කළා.
"අම්මෙ, අම්මෙ, මගදි තාත්තට ணයෙක් ගැහුවා. තාත්තා මළා. අන්න මිනිස්සු තාත්තගෙ මිනිය උස්සගෙන එනවා” කියලා කිව්වා. අම්ම මර ලතෝණි දීලා කෑගහල අඬන්න ගත්තා.
“අම්මෙ, අර මිනිස්සු බඩගින්නෙ නෙ එන්නෙ. ඒ අයට කන්න මං උරෙක් මරලා පුච්චලා තියන්නං?” ඇම්බැට්ටයා ආයෙත් ඇහුවා. වැඩි දුර කල්පනා කරන්න තරම් සිහියක් නොතිබුණු, අම්මා හා කිව්වා.
ඉතිං ඇම්බැට්ටයා ඌරෙක් මස් කරලා හොඳට ලුණු ඇඹුල් දාලා රෝස්ට් කරලා, බඩ කට පුරා ඌරු මස් කෑවා.
දවල් වෙද්දි තාත්තා ගෙදර ආවා. ඇම්බැට්ටයා කරල තියෙන තක්කඩිකම අහපු උන්දෑ, පුතාට හොඳටම ගහලා, “මගෙ දෑහැට නොපෙනී පළ!” කියලා එළව ගත්තා.
ඇම්බැට්ටයත් අර ඌරු මස් වලින් ලොකු කොටසක් පොදි බැඳගෙන පාරට බැස්සා. එයා ඉස්සරහට යද්දි, ගමේ මසුරු මුදලාලි ගෙවත්තෙ වැඩ කරනව දැක්කා.
“මුදලාලි, ඌරු මස් ටිකක් දෙන්ඩද?”
නිකං දෙනවනං දෙමළ පත්තරේ හරි මොකද කියලා හිතපු මුදලාලි ඇම්බැට්ටය ට “හා” කිව්වා.
“මං රෑට කන්න ටිකක් අරගෙන, ඉතුරු ටික කුස්සියෙන් තියන්නං.” ඇම්බැට්ටයා කිව්වා. “මට පොඩි වළඳක් දෙනවද මේ මස් ටිකක් අරං යන්න?”
මුදලාලි කුස්සිය පැත්තට හැරුණා වළඳක් දෙන්න.
“නෑ මුදලාලි කර කර හිටපු වැඩේ කරන්න. මං ගිහිං මුදලාලිගෙ හාමිනේ ගෙං ඉල්ල ගන්නං” කියලා ඇම්බැට්ටයා තනියම කුස්සියට ගියා. ගිහිං හාමිනේ ට කිව්වා,
“මේ ඌරු මස් ටික අරගෙන මුදලාලිගෙ කාසි කැටේ මට දෙන්ඩ කියලා මුදලාලි කිව්වා.”
කාසි කැටේ පුරෝලා රත්තං කාසි තිබුණු නිසා හාමිනේ ඒක දෙන්න අදි මදි කළා.
“මෙන්න මුදලාලි දෙන්ඩ බැරිලූඌඌඌ...” ඇම්බැට්ටයා කුස්සියෙ ඉඳං මුදලාලිට කෑගැහුවා.
“පිස්සු නැතුව දීහං බාාාං” මුදලාලි ත් හාමිනේට කෑගැහුවා.
ඉතිං හාමිනේ කාසි කැටේ ඇම්ඩට දුන්නා. උන්දැ ඒකත් අරගෙන ගොඩක් දුර ඇවිත්, හතරමං හන්දියක නතර වුණා.
ඇම්බැට්ටයා හන්දියෙ පාර මැද කීප පොළක පොඩි වළවල් හාරලා, ඒ වළකට රත්තරං කාසියක් ගානෙ දාලා, ආපහු වළවල් ටික වැහුවා. ඊට පස්සෙ ගහකිං පෙනුම තියෙන පොලු කෑල්ලක් කඩලා සුද්ද කරලා තියාගත්තා.
ටිකකිං අස්ස කුර ගැටෙන සද්දයක් ඇහුණා. ඇම්බැට්ටයා අර පොල්ලෙන් අර වළවල් හාරපු තැන් වලට තට්ටු කරන්න පටං ගත්තා. අස්සයෙක් පිටේ ආව මනුස්සයෙක් දැක්කා ඔය වැඩේ.
“ඔය මොකද කරන්නෙ?”
ඇම්බැට්ටයා කතා නැතුව වළවල් හාරපු තැන්වලට තට්ටු කරලා, පස්සෙ ඒ වළවල් හාරලා රන්කාසි ගොඩට ගත්තා. අරගෙන යන්න ගියා.
“ඒක මාර මැජික් පොල්ලක්නෙ. මට දෙනවකො...” අර අස්සයා පිටිං ආව මනුස්සයා ඉල්ලුවා.
“බෑ.”
“මං තමුසෙට මගෙ අස්සයා දෙන්නං”
කීප සැරයක් පෙරැත්ත කරලා ඇම්බැට්ටයා මැජික් පොල්ල දීලා අස්සයා ගත්තා. අරගෙන අස්සයගෙ පිටේ නැඟලා ගියා.
රෑ වෙද්දි ඇම්බැට්ටයා ඈත නගරෙකට ආවා. ඒ නගරෙ, ඉස්තාලයක් තියෙන ගෙයක් හොයාගෙන ගිහිං, එදා රෑ නතර වෙන්න ඉල්ලුවා. ඒ උදවියත් කැමති වුණා. එදා රෑ හොඳට නිදාගෙන, පාන්දරින් ඇහැරුණු ඇම්බැට්ටයා, ඉස්තාලෙට ගිහිං අස්ස බෙටි ඇතුලට රත්තරන් කාසි දාලා, පොඩ්ඩක් බලාගෙන හිටියා. ගෙදර අයිතිකාර මහත්තයා එළියට එනකොටම එයා අස්ස බෙටි පෙරළ පෙරළා රත්තරන් කාසි ඇහිඳින්න පටන් ගත්තා. අර මනුස්සයා පුදුම වෙලා ගල් ගැහිලා බලං හිටියා. පස්සෙ ඇම්බැට්ටයා ළඟට ඇවිත්, එයා මේ පුදුම අස්සයව ඉල්ලුවා. ඇම්බැට්ටයා කැමති වුණේ ම නෑ අස්සයව දෙන්න. පස්සෙ රන්කාසි දහ දාහකට අස්සයව විකුණන්න කැමති වුණා.
ඒ සල්ලිත් අරගෙන ඇම්බැට්ටයා තවත් ගමකට ගියා. එහෙදි රෙදි තිරයකුයි, මෝල් ගහකුයි සල්ලිවලට ගත්තා. පොඩි ගාණක් දෙන්න පොරොන්දු වෙලා ආච්චියෙකුයි එයාගෙ තරුණ මිණිපිරීයි කුළියට අඩ ගහගත්තා. ඒ දෙන්නට ඇම්බැට්ටයා පොඩි රඟපෑමක් කියා දුන්නා. කියා දීලා, හතරමං හන්දියෙ අයිනක තිරය එල්ලලා, තිරය ඇතුළට අර මිණිපිරීව යැව්වා.
ටිකකිං ආච්චියෙකුයි සීයෙකුයි ඔතනිං යන්න ආවා. එතකොට ම ඇම්බැට්ටයා අර කුළියට අඬ ගහගත්තු ආච්චිට මෝල් ගහෙං තට්ටු කරන්න පටන් ගත්තා.
“ඔය මොකද ළමයො ඔය කරන වැඩේ?” අර තමංගෙ පාඩුවෙ තමංගෙ ගමන යන්නැතුව අනුංගෙ දේවලට හොට දාන සීයා ඇහුවා.
“මං මේ ආච්චිව තරුණ කරනවා” කියාපු ඇම්බැට්ටයා, ඒ ආච්චිව තිරය ඇතුළට යැව්වා. ටිකකිං මිණිපිරී තිරය ඇතුලෙන් එළියට ඇවිත් ඇම්බැට්ටයට ස්තූති කළා.
“අපිවත් තරුණ කරන්ඩකො ළමෙයො...” සීයා කිව්වා.
“එක්කෙනෙක් තරුණ කරන්ඩ රන්කාසි දාහයි” ඇම්බැට්ටයා කිව්වා. එතකොට අර කුළියට ගත්ත මිණිපිරී, ඇම්බැට්ටයා කලිං එයාට දීලා තිබුණු රන්කාසි දාහක් ඇම්බැට්ටයට ආපහු දුන්නා.
අර සීයයි ආච්චියි සල්ලි අරං එන්න ගෙදර ගියා. ඒ අතරෙ ඇම්බැට්ටයා අර කුළියට ගත්ත ආච්චියි මිණිපිරීයි ගාස්තුව ගෙවලා ගෙදර යැව්වා.
අර ජෝඩුව සල්ලි අරං ආවට පස්සෙ රන්කාසි දෙදාහම අරගෙන, සීයට මෝල් ගහෙං තඩිබාලා තිරය ඇතුලට යැව්වා. ටික වෙලාවකිං සීයා කෑගහන්න ගත්ත,
“යකෝ අතපය හතර පොලිසියෙං ගුටිකෑව වගේ රිදෙනව. ඒත් තාම මං තරුණ වුණේ නෑනෙ” කියලා
මෝල්ගහත් අරගෙන තිරය ඇතුළට ගිය ඇම්බැට්ටයා අර සීයට සිහිය නැතිවෙනකල් තඩි බෑවා. ඊට පස්සෙ ආච්චිට කියනවා,
“දැන්නං යන්තං සීය තරුණ වේගෙන එනවා. ඒත් ගොඩක් වෙලා යනව. ආච්චිව තරුණ කරන්නං හෙට...”
“අපෝ ඒක කරන්ඩ බෑ පුතේ. ඔය හාදයා තරුණ වෙලා එළියට ආවට පස්සෙ මම නාකි විදිහට ම උන්නොත් උන්දැ මාව දාලා වෙන ගෑණියෙක් එක්ක යයි. මාවත් අදම තරුණ කොරහං...” ආච්චි කිව්වා.
“එහෙනං ආච්චි ගිහිං තව තිරයක් හොයාගෙන එන්ඩ”
ආච්චි ගියා තිරයක් හොයාගෙන එන්න. ඒ අතරෙ සල්ලිත් අරං ඇම්බැට්ටයා මාරු වුණා.
දැන් නං ඇතිවෙන්න සල්ලි හම්බ කරගත්ත නිසා තක්කඩිකං නවත්තලා සමාජයට වැඩදායක පුරවසියෙක් වෙන්ඩ ඇම්බැට්ටයා කල්පනා කළා. ඒත් ඒ වෙනකොට උන්දැගෙ හපන්කම් ගැන රජ්ජුරුවන්ට යනකල් පැමිණිලි ගිහිං තිබුණු නිසා, රාජපුරුෂයො ඇවිත් ඇම්බැට්ටයව අල්ලගෙන රජ්ජුරුවො ළඟට ගෙනිච්චා. රජ්ජුරුවො නඩුව අහලා, ඇම්බැට්ටයා වැරදිකරු කියලා තීරණය කරලා, මරණ දඬුවම දුන්නා. මූට තවත් කපටිකම් කරන්ඩ බැරි වෙන්න ගෝණියක දාලා ගඟට දාන්න තමයි අණ ලැබුණෙ.
ඉතිං අර මං කලින් කියාපු ලොකු අප්පු වගේ මේ බුරුම ඇම්බැට්ටයත් ගෝණියක දාගෙන අගෙන ගියා ගඟට දාන්න. ඒ අතරෙ රාජපුරුෂයන්ට තිබහක් ඇති වෙලා, ගෝණිය පාර අයිනෙ තියලා රා බොන්න ගියා.
ටිකක් වෙලා ගෝණිය ඇතුලෙ හිටපු ඇම්බැට්ටයට ඇහුණා ඇතෙක් ගෙ සීනු සද්දෙ. “දිරි දිරි... පුරු පුරු... වකුටු දහ...” කියන ඇත් ගොව්වගෙ සද්දෙත් ඇහුණා. ඒ ඇහුණා විතරයි ඇම්බැට්ටයා කෑ ගහන්ඩ ගත්තා,
“මට යන්ඩ දියව්! මට රජ වෙන්ඩ බැරියෝ!!” කියලා.
ඇත්ගොව්වා ඇතාව පාර අයිනෙ පාක් කරලා, ඇවිත් ඇම්බැට්ටයගෙන් ඇහුව,
“මොකද මල්ලි සීන් එක?” කියලා.
“රජ්ජුරුවන්ට දරුවො නෑලු. මාව අරං යනව රජ කම දෙන්ඩ. මට බෑ ඔය වැඩේ කොරන්ඩ. ගෙදරට වෙලා ගොවිතැනක් කරගෙන උන්නනං මට ඒ ඇති. මං බෑ කියද්දි මේ උදවිය මාව බලෙං අරං යනව.” ඇම්බැට්ටය කිව්වා.
“තමුසෙට බැරිනං මෙන්න මෙහෙ එළියට එනව.” ඇත්ගොව්වා කියලා ගෝණියෙ කට ලෙහුවා. ඇම්බැට්ටයා ගෝණියෙන් එළියට පැන්නා. ඇත්ගොව්වා රිගුවා ගෝණියට.
“මේ පිස්සු නැතුව එළියට එනව. රජකම කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයි අයිසෙ...” ඇම්බැට්ටයා පෙරැත්ත කළා. ඒත් ඇත්ගොව්වා අහන්නෙම නෑ. බැරිම තැන උන්දැව ගෝණිය ඇතුලට දාලා කට ගැට ගහපු ඇම්බැට්ටයා, ඇතාගෙ පිටේ නැගලා කැළේ ට ගියා.
ගිහිල්ලා, ඇතාට හෙණ්ඩුවෙන් ඇනලා ඇනලා මරලා දැම්මා. ඊට පස්සෙ උගෙ බඩේ ලොකු සිදුරක් හැදුවා. ඒ කරලා ඇම්බැට්ටයා හැංගිලා බලාගෙන හිටියා.
ඇතාගෙ මස් කන්න ගිජු ළිහිණියො ඇවිත්, අර සිදුරෙන් ඇතුළට ගියා. ගිජු ළිහිණියො සෑහෙන ප්‍රමාණයක් ඇතුළට ගියාට පස්සෙ ඇම්බැට්ටයා රෙදි පාංකඩ ලොකු ගිළියක් හදලා අර සිදුර වහලා දැම්මා.
ඊට පස්සෙ පොල්ලක් අරං ඇතාගෙ පිටට නැගලා, පොල්ලෙං ඇතාගෙ බඳට තට්ටු කළා. ඒ සද්දෙට ගිජු ළිහිණියො බය වෙලා, ඇතා අරං ඉගිල්ලෙන්න ගත්තා. ඔන්න ඉතිං ඇම්බැට්ටයා පියාඹන ඇතෙක් පිටේ නැගලා අහසින් එනවා.
රටේ රජ්ජුරුවොත් මේ පුදුම ආරංචිය බලන්න ආවා. ඇවිත් බලන කොට තමන් මරණ දඬුවම දුන්න ඇම්බැට්ටයා.
ඇතාගෙ බඳට තට්ටු කරන එක නතර කළාම ගිජු ළිහිණියො ආපහු පියාඹන එක නතර කළා. එතකොට ඇතා ආපහු බිමට ආවා.
රජ්ජුරුවො ළඟට ගිහිං ඇහුවා, “කොහෙන්ද මේ පියාඹන ඇතා?” කියලා.
“ඔබ වහන්සෙ මට මරණ දඬුවම දුන්නනෙ. මං මැරිලා එලොව ගියා. එහෙ රජ්ජුරුවො මට මේ ඇතා දීලා ආපහු මෙලොව එව්වා.”
රජ්ජුරුවන්ටත් ආස හිතුණා පියාඹන ඇතාට. ඒත් ඇම්බැට්ටයා කැමති වුණේම නෑ ඇතා දෙන්න. අන්තිමේ රජ්ජුරුවන්ගෙන් පස්සෙ රජකම ඇම්බැට්ටයාට දෙනව කියලා රජ්ජුරුවො ඇමතිවරු ඉස්සරහපිට පොරොන්දු වුණාට පස්සෙ තමයි ඇම්බැට්ටයා ඇතා පිටිං බැහැලා, රජ්ජුරුවන්ට අර පොඩි පොලු කෑල්ල භාර දුන්නෙ.
රජ්ජුරුවොත් ආසාවෙන් නැග්ගා ඇතා පිටේ. ඊට පස්සෙ ඇම්බැට්ටයා කියා දීපු විදිහට පොල්ලෙන් තට්ටු කළාම ඇතා උඩින් යන්න ගත්තා. සෑහෙන තරම උඩ ගියට පස්සෙ තමයි අර පාංකඩ ගුළිය රජ්ජුරුවො දැක්කෙ. ‘මේ මොකද්ද’ කියල හිතලා රජ්ජුරුවො පාංකඩ ගුළිය ඇදල දැම්මා. ඒකෙන් ආපහු ඇත් කඳේ සිදුර මතු වෙලා, ඇතුලෙ හිටපු ගිජු ළිහිණී සේරම එළියට ආවා. ඇතා රජ්ජුරුවොත් එක්කම ඉතාම වේගයෙන් බිමට පතබෑවුණා.
අන්තිමේ ඇම්බැට්ටයා රජවුණා.
සැළකිය යුතුයි!
මේ කතාව මම බොහොම පුංචි කාලෙ කියවපු එකකි. ඒක හරි හැටි මතක තිබුණේ නැත. ඒත් මේ ළඟදි මගෙ ඉල්ලීම අනුව කට්ටකාඩුවෙ ලොකු මල්ලි දූවිලි නාගෙන උන්දැගෙ ඉස්ටෝරු කාමරේ අවුස්සා ඒ පොත හොයාගෙන, මේ කතාවයි, තව බෝනස් කතාවකුයි පොටෝ ගහලා මට වට්ස්ඇප් කොරන්නට යෙදුණු හෙයින් මේ ලස්සන කතාව මට බ්ලොග් එකේ තම දරුවන්ට කතන්දර කියා දෙන ආදුරුසමත් දෙමව්පියන් ගේ ලාම්පු සංවේගය උදෙසා පළ කරන්නට හැකි වුණේ ය. ඒ ගැන මේ කතාව කියවන හැම දෙනෙක් ම කට්ටකාඩුවෙ ලොකු මල්ලි ට කුරුතක්ඤ වෙන්ඩ උවමනා ය.
Mee kunen raja unu kathawe anith patthe version eka
ReplyDeleteඇත්තට... මට ඒ පැත්ත පෙනුනෙ නෑ, මේ කමෙන්ට් එක දකිනකම්ම...
Deleteපිස්සු හැදෙයි. බ්ලොග් එකේ නම වෙනස් කරපං "පච ගහ යට" කියලා.
ReplyDeleteහැක්... සුදික බොහොම කාලෙකිං දැකීමත් ලොකු දෙයක් මේ පැත්තෙ...
Deleteඉතිං ඔය ජනකතා සමහරක් කොහොමත් පච තමා. අර ලබුගෙඩියෙ යාගය, ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි එහෙමත් ඒ විදිහයි නෙ.
සමහර කොටස් කලිං අසා තිබුණත් ඔක්කොම කියෙව්වා. ඒත් මගේ වැඩි මනාපය, ඔහෙගෙ සීයගෙ ගජබින්නාලංකාරයට සහ නරලොව හොල්මන් වලටය.
ReplyDelete-බස්සා-
බස්ස අහන්ඩ ඇත්තෙ ලංකාවෙ කතාව. ඒකත් මං මීට කලිං ලියල තියෙනව.
Deleteගජබින්නාලංකාරය දැන් හිඳීගෙන එන්නෙ. අලුත් අලුත් දෑ නොතනන්ඩ මේ බ්ලොග් එක ලොවෙත් නොනගී...
ඔන්න ඔය විදිහටම රජ වෙච්ච ඇම්බැට්ටයෙක් ඊයෙ පෙරේදා අලියගෙ පුකේ ඇබේ ගලවලා පත බෑවිලා දැන් ඉන්නවා අපේ රටේ.. මේ මේ ලංකාවෙ නෙවෙයි අමෙරිකාවෙ.
ReplyDeleteසරත් ලංකාප්‍රිය
හැක්..
Deleteසරත් අයිය,
Deleteඉතිං ඔය ඇබේ ගැළවේච අලියටත් වඩා ඒකෙන් කෙළවුණේ රටේ මිනිස්සුන්ට නෙ.
බෝ දකින්ඩත් ආසයි ලොකු අයියෙ... ආපහු ගෙට්ටුවක් කරමුද?
ප්‍රසෝ,
මං රිප්ලයි කරන්ඩ කලිං හිනා උනා නං, ගෙවපං මට විනෝද බද්ද.
මේ කතාව ලිව්ව හින්ද තව කතා තුන හතරක් එවන්නංකො සුටුස් ගාල....(අපේ ගමේ විදිහට ඈ...ඔය සුටුස් ගාල කිව්වට අඩුම ගානෙ දවස් දෙකක් තුනක් වත් යයි ඈ!!)
ReplyDeleteනෑ මේ ළඟ....විනාඩි පහේ දුර...
Deleteලොකුමල්ලි,
Deleteපොතම ගහල එවන්ඩකො කොටස් වශයෙන්. ඔ්ක බොහොම දුර්ලභ වටිනා පොතක්. සංරක්ෂණය කරන්ඩ ඔ්නෙ. දවස් දෙක තුන නං මොනවද? ඔයා අර පිටු ටික එවලත් මාස ගාණකට පස්සෙනෙ මං මේ පෝස්ට් එක ලියල ඉවර කළේ...
නයෝ,
බෝ පොල්තෙල් ටිකක් ගාගෙන පල්ලමේ එනව වගේ කියල හිතුවද පින්තූර පොටෝ ගහල එවන එක?
අත්තාපල් රහයි -හිනා වෙන්නට කටක් මදි වෙයි
ReplyDeleteතැන තැන කොටස් තිබුණයි -මොකෝ ඒකට මේක කදිමයි!
ඔ්කනෙ කොරන්ඩ බැරි.
Deleteමට කවි හැකියාව අන්තිමයි.
ගොඩක් ස්තූතියි ඈ...
මුද්දක්ද කොහෙද පාරුවෙන්/ඔරුවෙන් ගඟට වැටුනාම වැටුන තැන පස්සෙ හොයන්න පාරුවේ ලකුණක් කරන කතාවත් තියෙන්නේ ඕකෙ වගේ මතකයි
ReplyDeleteබුරුම ජන කතා පොතේ
Deleteඔව් ඔව්... පට්ට කතාව ඒක. ඒ පිහියක් පහුරෙන් ගඟට වැටිලා. ඒ පොතේ පහුරු කතා දෙකක් ම තිබුණා ඉරවඩි ගඟේ... මට ඒ කාලෙ හිතුණා, හැම රටකටම ශිෂ්ඨාචාරයට ප්‍රමුඛ වෙච්ච ගංගාවක් දෙකක් තිබුණා කියලා. අපට කැළණි ගඟ, ප්‍රංශයට සේන්, ජර්මනියට රයින්, බ්‍රිතාන්‍යයට තේම්ස්...
Deleteමා අසා ඇති පරිදි “ඇම්බැට්ටයා“ යනු තනිවම පුක හෝදාගන්න බැරි කුඩා දරුවාය. එය පිරිසිදු හෙල වදනකි.
ReplyDeleteමං හිතාන උන්නෙ කරණවෑමියට කියන්නෙ කියලා. අර, "නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුළ පානවලු. කියන්නෙ.
Deleteඇම්බැට්ටයාගේ නිරුක්තිය කොහොම වෙතත් මේ ළඟදී කියවූ පොතක 'සට්ටඹියා' කියන වචනය ගැන තිබ්බා.
Deleteඒක තනතුරක්, රජ්ජුරුවන්ට අදාළ. රජ්ජුරුවන්ගේ පුක හෝදන කාරිය කරන්නා.
සට්ටම් ගැන කියවෙන හින්දා ඒක නම් ඇත්ත වෙන්න පුලුවන්. වචනයේ වර්තමාන භාවිතයත් ඒ තේරුමට සමානයි. ඔය වගේ තව වචනයක් නෙ තුප්පහියා කියන්නෙත්. ඒක පෘතුගීසි වචනයක් ටොපෑස් වගේ කියවෙන. තේරුම කළවම් කියන එක. පෘතුගීසි සහ සිංහල දෙකම පුලුවන් කෙනාට තමා ඒ කාලෙ තුප්පහිය කිව්වෙ. රොමාගෙ වාසනාව පොතේ ඉන්නව තුප්පහි ජෝසප් කියල බර්ගර් ජාතිකයෙක්.
Deleteඅම්බට්ටර් (அம்பட்டர்) = තමිල්නාඩුවේ කරණවෑමි රැකියාව කරන්නන්ගේ කුලය.
Deleteගොඩක් ස්තූතියි ඉකොනා... එහෙනං ඒ වී=දිහට අර වචනෙ තත්භව වෙන්න ඇති.
Deleteඅර සීයා තරුණ කරන්න ගියපු කැල්ලනං අපි පොඩිකාලෙ ඉස්කෝලෙ සිංහල පොතක තිබුණ කියල මතකයි.
ReplyDeleteමොනව උනත් තවුසෙ රජාට කළේ කැත වැඩේ ඈ.
ඇයි නයෝ. මම ඒ කතාවත් ලිව්වනෙ මීට කලිං.
Deleteමං නෙවෙයි රජාම තමා ඒ වැඩේ කරගත්තෙ...
ண යන්න අවභාවිතය හෙලා දකිමු.
ReplyDelete-னයා-
(ඔවු, ඇම්බැට්ටයගෙ තාත්තට ගහපු එකා තමයි.)
ඇයි උඹ මොනව කරන්ඩද? කොරෝனයා! කන්දකාඩු යන්ඩ ආසද?
Deleteඔහේට වගේ අපිට ලොකු මල්ලිව උඩුකුරුඤ්ඤං වෙන්න උවමනා නෑ. හැක්..
ReplyDeleteදැං බොටයි කුරුතක්ඤ වෙන්ඩ වෙලා තියෙන්නෙ. බලහං, මේ පෝස්ට් එකට නයි කමෙන්ට්ම හයයි. බෝ නැතුව තමා මේ බ්ලොග් වේලි වේලි තිබුණෙ.
Deleteමේ නයා දෙමල ணයෙක්ද ?? Praසන්ண ගේ අවසරයක් නැතිව දෙමල ண දාපු එකට එයා copyright අයිතිවාසිකම් ඉල්ලයි.
ReplyDelete@Sam,
Deleteමුගේ னයා දෙමළ විතරක් නෙමෙයි මුර්ධජ ணයෙක්.
මාත් නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහ ගත්තා වගේ!
Deleteසෑම්,
Deleteමේ තියෙන්නෙ ප්‍රසන්න ගෙ අවස්ථා සම්බන්ධය...
නයෝ,
Deleteබොට මතක නැද්ද, බොගෙ අගිස්ස මූර්ධජ වුනේ ටෝච් පාර වැදිලා උලුක්කුවට කියල?
ඔය කතාව වාගේ සිංහල ජනකතාවක් තිබුනා නේද?
ReplyDeleteආ ඩ්‍රැකියාට දැන් ගොඩාක් වැඩ ඇතිනේ නිරෝධායන ඇදිරි නිතියේ අස්සේ...
ඒ කතාව මං කලින් ලිව්වනෙ...
Deleteඇත්ත. මේ දවස්වල ගෙදර වැඩ. පේන්ට් කරනව. ඔහෙටත් ඇඳිරි නීතිය ද?
ඇම්බැට්ටයා කියලා නම දැම්මේ අපරාදෙ උෟට දාන්න තිබුණේ මුචලින් ද කියලා
ReplyDeleteවිචාරක දියණිය
😂😂😂🏃🏃🏃
Deleteජන කතා කොයි කොයිවත් ඔය වගේ තමා...
දෙමව්පියො මේ කතාව ළමයින්ට කියාදෙන්න එපා. මේකෙන් සත්ව හිංසාව, බොරු කීම, ආදී වැරදි කරන අයට පෝසතුන්, ලොක්කන් වෙන්න පුළුවන් වගේ අදහසක් දෙන්නෙ. මේ වගේ වැරදි ආදර්ශ දෙන, අයහපත් ලියමන් වාර්තාා (report) කර අන්තර්ජාලයෙන් මකා ඒවා මුද්‍රිත පොත් වෙතොත් ගිනි තබා අළු මහමුහුදේ ගිල්විය යුතුයි.
ReplyDeleteඒ මතය වැරදියි. මේ කතාවෙන් ලෝකයේ ඇත්ත තත්ත්වය කියවෙනවා. ළමයින්ට පොඩි කාලෙදිම සත්යාවබෝධය ලැබෙනව ඉතා පහසුවෙන් ධනවත් වෙන උදවිය කොයි වගේද කියන එකයි, ඒ අයට අහුවෙන උදවිය ඉල්ලගෙන කන්නෙ මොන විදිහටද කියන එකයි. ඒ නිසා මේ වගේ කතා තියෙන පොත් වලට මල් තියල වඳින්න ඕනෙ.
Deleteඅර ‘යාං හෑල්ල‘ කියන මලදානෙ නොලියන එකා අහු උනොත් ඌව ගම්පහ යවන්න මම හිතාගෙන ඉන්නෙ.
Deleteඒක නොලියන එක ගැන නං මම කතා කරන එක නතර කළා. මම අන්තිමේ චූටි මැණිකෙ ලව්වා මූට බල කරවන්න උත්හාස කළා. ඒත් වැඩක් උනේ නෑ. උං දෙන්නම එකයි.
Deleteමම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය. එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර දොලකට තල්ලු කලේ "යන අහක පල කියාය." පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී "මාව බේරා ගනියෝ " කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි ගෙදරට අරන් ගියා. කොල්ලගෙන නම ඇහුවම පොර කිවේ "ගියෝ" කියල. ගොවි බිරිඳටත් සතුටුයි. දිග දෙන වයසේ දුවෙකුත් ඉන්නවනේ කියල. කොල්ල ගොවි බිරිඳට කිව්වේ පොරගේ නම "ඉන්නවෝ ". ගොවි දියණිය ටත් මාර ජොලි. වේලි වේලි හිටිය මට කොල්ලෙක් ගෙදරටම ගෙනත් දුන්න කියල දෙය්යන්ට පානකුත් පත්තු කරලා. කෙල්ලට අපේ පොර නම කිව්වේ "ආවෝ" කියල.
ReplyDeleteමාස කීපයකට පස්සේ මේ කිව්වා නාහන කොල්ලට එක තැන ඉන්න එක අරහන්. පොර ගොවියගේ බෝට්ටුවත් අරන් පැනල යනවා. තුන් දෙනාම දැන් කොල්ල හොයනවා.
ගොවි තාත්ත කෑ ගහනවා "ගියෝ " "ගියෝ " කියල. කෙල්ලයි අම්මයි දුවගෙන ඇවිල්ල කොල්ල ඉන්න වද කියල බලල ගොවියට බනිනවා " අපි දන්නවනේ යකෝ මිනිහෝ කොල්ල ගිහින් කියල". ඊළඟට ගොවි බිරිඳ කෑ ගහනව "ඉන්නවෝ" "ඉන්නවෝ "කියල. අනිත් එවුන් දෙන්න දුවල ඇවිත් බලල ගොවි බිරිඳ ට බනිනවා "කෝ ඉන්නවා කිව්වේ. ඔහෙට පිස්සුද අරකද මේකද " කියල.
ඊළඟට ගොවි කෙල්ල හොයනවා කොල්ලව. " ආවෝ " ආවෝ" රත්තරනේ කිය කිය". ගොවියයි බිරිඳයි ඒක ඇවිල්ල දුවගෙන ඇවිත් බලපුවම කවුරුත් නෑ. දෙන්නම අල්ලල තඩි බානවා කෙල්ලට. කතාව තව දුරට යනවා. පස්සේ දවසක කියන්නම්
https://kolambagamaya.blogspot.com/2014/10/blog-post_9.htm
Deleteඔයිට සමාන කතාවක් තියෙනව උඩ කතාව තිබුණු පොතේම. ඒකෙ ඔය වගේම දියපාරකට දාපු කොල්ලෙක්, කීප සැරයක් එක එක මිනිස්සු බේරගන්නව. ඒ හැම සැරේකම මූ නම විදිහට කියන්නෙ ඔය වගේ වෙන නමක්. එක පාරක් ඌ කියනව උගෙ නම "ගිය අවුරුද්දෙ" කියල. ඊට පස්සෙ ඒ බේරගත්ත මිනිහගෙ ගේ මංකොල්ලකාළා පැනල යනව. අර මනුස්සයා පොලිසි ගිහිං කියනව "ගිය අවුරුද්දෙ මගෙ ගේ කොල්ල කෑව" කියල. "තමුසෙ ගිය අවුරුද්දෙ වෙච්ච දේ දැන්ද පැමිණිලි කරන්නෙ?" කියල පොලිසියෙ උදවිය අරයව එළෝ ගන්නව...
Deleteපොඩි කාලේ මේ කතා ටික වෙන වෙනම අහලා තියෙන්නේ වගේ මතක.
ReplyDeleteකියවාගෙන යන කොට තමයි සේරම කතා ටික මතක් වුනේ..
අපේ මුතුහර රැස්වීම වල කතාන්දර කියන වේලාවක් තියෙනවා .
මේ කතාව මම යවන්නම් අපේ කතාන්දර නැන්දාට.
ස්තුතියි.
උෂානි ගොඩක් ස්තූතියි... මම කලින් ලියපු කතන්දරත් තියෙනවා. යවන්න කතන්දර නැන්දට...
Delete