Saturday, January 30, 2021

අවසානයක් නොවේ - 28

27 කොටස...

රොස්කෝ ඩි මැන්ඩෙවිල් පියවි සිහියෙන් දෑස් හැර බැලුවේ දින ගණනාවකට පසුව ය. තමා සිටින්නේ කොහිදැයි දැනගැනීම ඔහුගේ පළමු චේතනාව විය. පොල්තෙලින් දැල්වෙන පිත්තල පහනක්, ඔහු සිටි කුටියේ හරි මැද ට වන්නට වහලයෙන් එල්ලෙමින් තිබුණේ අඩ අඳුරට හුරු දෑසට සහනයක් ගෙන දෙමිනි. එහි එළිය හාත්පස වූ තනි ගලින් කෙරුණු බිත්ති මත දිළිසෙමින්... එක් බිත්තියක වූ ගලින්ම කෙරුණු උළුවස්ස හැරුණු කොට තනි ගලක් සාරා සකස් කළ හරි හතරැස් කුඩා කුටියක තමා සිටින බව යුරෝපීය නාවිකයා දුටුවේ ය. 

රොස්කෝ මෙතෙක් වැතිර සිටි පළස මතින් නැගිට දෙපා වකුටු කොටගෙන ඉඳ ගත්තේ ය. තමා ඇඳ සිටියේ තම නාවුක නිල ඇඳුමේ කලිසම පමණක් බව ඔහු දුටුවේ එවිට ය. නැගිටිනවාත් සමඟ සිය හිස වෙලා තිබූ රෙදි වෙලුම්පටි සහ හිස ගල්වන ලද ශාකමය සුවඳින් යුතු සිහිල් ඖෂධය ඔහුට දැනුණි. දෑස් පියාගත් ඔහු ගේ සිතට බිඳෙන් බිඳ අතීත සිදුවීම් ගළා එන්නට විය. 

කොට්ටියාරමේ ප්‍රචණ්ඩ සූර්යතාපය... කාලතුවක්කුවල නොවතින ගර්ජන හඬ... මරණයේ වේදනාවෙන් කෑගසන මිනිස්සු... අකුණු හඬ... ඝන වනාන්තරයේ බියකරු රාත්‍රිය... දොළපාර අසබඩ නවාතැන් ගත් පස් දෙනා... රොල්ෆ් නම් වූ නිර්භීත මිනිසා ගසක අතු පතරේ දී ගිණි ගත් හැටි... නීල්සන් අත පය ගසමින් මාරක ගසේ ඉහළට ඇදී යාම...

බියසුළු නාවිකයා වෙව්ලුවේ ය. වියළී ගිය උගුර තෙමා ගන්නට යමක් ඇත්දැයි ඔහු ගේ විපරම්කාරී දෑස හාත්පස යොමු විය. දකුණත බිම ගසා වාරු ගනිමින් නැගී සිටි ඔහු, කුටියෙන් පිටවීමට තිබූ එකම මඟ වූ ගල් උළුවස්ස වෙත පිය නැගුවේ ය. 

උළුවස්සෙන් එපිට වූයේ පටු කොරිඩෝවකි. වංගු ගැහෙමින් ඉදිරියට පැතිරුණු එය, සකස් කර තිබුණේ ද, නාවිකයා මෙතෙක් සිටි කුටිය සේම තනි කළු ගළිනි. එම පටු මාර්ගය, බිත්ති වල සවිකර තිබූ පන්දම් එළිය නොවන්නට මග සොයාගත නොහැකි වන තරමට ම වංකගිරියක සේ තියුණු වංගු සහිතව සකස් කෙරුණක් විය.

වංගු කිහිපයක් පසුකළ රොස්කෝ, එළඹුනේ පුළුල් දොරකඩකට ය. ගල් උළුවස්සේ දකුණු පස ඉහළ ද, බිම ද, සකස් කර තිබූ සිදුරු තුළින් යැවුණු අයෝමය දණ්ඩක්, සරනේරු ක්‍රමයක් ලෙස භාවිත කර ඝනකමැති දැවමය දොර පියනක් එහි යොදා තිබුණි. දොර විවර ව තිබුණෙන්, යුරෝපීයයා ට එහි ඇතුළත විපරම් කළ හැකි විය. 

තමන් අවදිවන විට සිටි ශෛලමය කුටිය මෙන් තුන් ගුණයක් පමණ විශාල වූ සම සතරැස් ශාලාවක් ඔහු දුටුවේ ය. එහි මැද, දම්වැලක් මඟින් වහලයෙන් එල්ලුණු පිත්තල පොකුරු පහනක තිර කිහිපයක් දැල්වෙමින් තිබුණි. පහනට යටින් ගෙබිම මත පළස් කිහිපයක් එකපිට අතුරා, පළස් කෙළවර රවුම් කොට්ට තබා තිබුණේ, තුන් දෙනෙකුට වාඩි විය හැකි ආකාරයෙනි. ඒ ආසන පැනවීම් අතර, පළසේ මැද කුසලානයක්, දරණුවක් මත තබන ලද කෙමියක් සහ අන්ඩක් සහිත උස් මැටි බඳුනක් සහ පළතුරු පිරවූ බටපොතු භාජන දෙකක් තබා තිබුණි. 

ශාලාවේ වම් පස බිත්තිය අසළ සිටි පැහැපත් තරුණයන් දෙ දෙනෙක්, එතෙක් තමන් අතර පැවති කතා බහ නතර කොට දොර වෙත හැරුණ හ. ඔවුන් ගේ මුහුණේ නැඟුණු මඳ සිනහව දුටු නාවුකයා තුළ ඇති වූයේ සහනදායි හැඟීමකි. තරුණයෝ දෙ දෙනා ඉණෙන් පහළට ධෝතිය වැනි වස්ත්‍ර ඇඳ, පුෂ්ටිමත් උඩුකය වැසෙන සේ උරහිස් මතින් සළුවක් දමාගෙන සිටියහ. ඔවුන්ගේ හිස් වැසුනේ තළප්පාවලිනි. 

"ඉන්ත්‍රාර් පොර් ෆවොර්..." එක් අයෙක් සුරත ඉදිරියට දිගු කර රොස්කෝ හට ආරාධනා කළේ ය. නාවිකයා ශාලාවට ඇතුල් වෙද්දී, තරුණයෝ දෙ දෙනා ශාලාව මැද ආසන පණවා තිබූ තැනට ඔහු ද සමග පිය නැගූහ.  එතැන් සිට සියලු කතා බහ සිදු වූයේ පෘතුගීසි භාෂාවෙනි. 

"කරුණාකර අසුන්ගන්න."

"මම මේ කොහෙද ඉන්නෙ?" රොස්කෝ ස්වදේශිකයන් අනුගමනය කරමින් පළස මත වාඩි වෙමින් ඇසී ය.

"මම ගලගොඩ, මේ උඩුමුල්ලෙ..." සුමන සිය සගයා දෙස අත දිගු කර දැක්වී ය. "අපි කන්ද උඩරට රාජධානියේ නිලමක්කාරයො. 

"කැලෑවෙ අතරමං වෙලා, සිහි නැතුව වැටිලා ඉඳලා ඔබ මෙතනට ගෙනාවෙ. අපේ මිනිස්සු ඔබට සත්කාර කළා. සෑහෙන කාලයක් යන තුරු ඔබගේ මනස යථාර්ථය වෙත අවදි වුණේ නෑ. නමුත් දැන් ඔබ සුවපත්..."

"ඔබට පිපාසය ඇති..." මැටි භාජනය දෑතින් ම එසවූ මිත්‍ර එයින් කුසලානයට අවර්ණ දියරයක් වත් කළේ ය. "අප දන්නේ නෑ ඔබේ ආගමික විශ්වාස ගැන. මෙය මත්වන බීමක් නොවේ. පළතුරු යුෂයෙන් පෙරාගත් පානයක්..." ඔහු දැතින් ගත් කුසලානය රොස්කෝ වෙත දිගු කළේ ය.

කුසලානය ඉතා කැමැත්තෙන් පිළිගත් බව නාවුකයාගේ මුහුණින් පෙනුණි. එය ඔසවා මුවට ළං කරද්දී නැඟුනේ  පළතුරු වර්ග කිහිපයක් මිශ්‍ර වූ සුවඳකි. උගුරු කිහිපයක් නොනවත්වා පානය කළ පසුව ය එහි අමුතු රසායනයක බඳු රසය ඔහුගේ දිව මතට දැනුණේ...

"ඔබගේ සත්කාරයට මම ණයගැතියි..." පානයෙන් උගුර තෙත් ව, ලිහිල් වූ ඉඳුරන් ඇති ව රොස්කෝ කීවේ ය.

"ඔව්... මේ දිවයිනේ අපි, අප වෙත එන හැම දෙනාටම උපරිමයෙන් ම සත්කාර කරනවා." මිත්‍ර රොස්කෝ ගේ වමතේ මැණික්කටුව අල්ලා ගත්තේ, සහෝදරත්වය සහ සුහදත්වය දැක්වීමේ සංඥාවක් ලෙසිනි. "එහෙත් අපි ඔබ ගැන කිසිවක් දන්නේ නෑ. අපි ඉතා නොඉවසිල්ලෙන් ඔබ ගැන විස්තර දැන්ගන්නට..."

"මම රොස්කෝ ඩි මැන්ඩෙවිල්." නාවුකයා තමා දෙපස වාඩි වී සිටි නිළමක්කාරයන් දෙදෙනාගේ කාරුණික මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලී ය. "මා ගැන මොනවාද ඔබට දැනගන්න උවමනා?"

"ඔබේ සමාජය තුළ ඔබ ඉටු කරමින් උන් කාර්යය..."

"ඊට ඔබ මෙහෙයවූ සාධක සහ ඉතිහාසය..." 

"ඔබගේ සගයන් සහ ඔවුන් ගේ කාර්යයන්..."

නිළමක්කාරයෝ දෙ දෙන මාරුවෙන් මාරුවට යෝජනා කළ හ.

"හරි..." රොස්කෝ සුරතේ වූ කුසලානයෙන් තවත් උගුරක් පානය කළේ ය. "මම හැකි තරම් කෙටියෙන් සියල්ල විස්තර කරන්නම්. 

"... මුලින් ම කියතොත්, මම නෝමන්ඩියේ ධනවත් වෙළෙන්දෙකු වූ එරික් ඩි මැන්ඩෙවිල්ගේ පුතෙක්. මට වයස තිස් දෙකයි. මම හොඳින් අධ්‍යාපනය ලැබුවා පැරිසියේ නොත්‍රඩාමයේ දී. පියාගේ අපේක්ෂාව වුනේ, එවක ඉතා ධනවත් සහ බලවත් වෘත්තියක් වූ පූජකවරය මට ලබා දීම. ඒ අනුව මම වයස දාසයේ දී ප්‍රොතෙස්තන්ත සහෝදරවරයෙක් බවට පත් වුණා...

"මට ලෞකික දේ ග්‍රහණය කිරීම උගහට වුණත්, පොත පතේ ලියා තිබෙන දේ ගැඹුරින් සහ විවිධ කෝණයන්ගෙන් දකිමින් අධ්‍යයනය කිරීම ඉතා පහසු කාර්යයක් වුණු බව මට තේරුණා. මම වයසින් සහ දැනුමින් මුහුකුරා යද්දී, මට තේරුණා ධර්මය කියා අප විශ්වාස කරන්නේ කිසියම් දාර්ශනිකයෙක් ජීවිතය ගැන දේශනා කර තිබෙන දෙයක් වුණත්, එය වර්තමාන සමාජයට සහ බල මූලාශ්‍රවලට උවමනා විධියට හැඩ ගස්වා ගෙන බල මූලාශ්‍රයේ පැවැත්ම සහ වර්ධනය වෙනුවෙන් එය යොදාගැනෙන බව. අපි පූජකවරු, යුද්ධ සෙබළු, නාවිකයන්, වෙළෙන්දන්, පරිපාලකයන් ආදී සියලුම කොටස් රාජ්‍යය හෝ ආගම විසින් එක්තරා අරමුණකට මෙහෙයවීමට යොදාගන්නා මෙවළමක් බවට ධර්මය පත් වී ඇති බව මට වැටහුණා...

"දිග කතාවක් කෙටියෙන් කියතොත්, ජීවිතයේ යම් යම් සිදුවිම් නිසා මම කලින් කියූ අවබෝධයත් සමඟ තව දුරටත් මා තෝරාගත් වෘත්තියේ මට රැඳී ඉන්නට බැරි වුණා. මම මුල් කාලයේ දී මා අවබෝධ කරගත් දේ ගැන ඉහළින් ප්‍රශ්න කළා. ඒ නිසා ම ආගමික සංස්ථාවෙන් මෙන්ම නෝමන්ඩියේ සහ පැරිසියේ මා ඇතුළත් වුණු සමාජයෙන් මා පිටමං කෙරුණා.

"අවසානයේ මම නතර වුණේ මාර්සෙයියේ... නැවු තොටේ තිබුණු බීමහල්වල රාත්‍රියේ වැඩකරලා, බේබදු නැවියන්හට කෑම බීම සපයමින් ගතමනාවක් හොයාගන්න මට සිද්ධ වුණා. එතනදි මට මුණ ගැහුණා ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් විශිෂ්ඨ යාත්‍රිකයා...

"ඔහු අනෙක් නැවියන් මෙන් බීමත් වන්නේ නෑ. රම් වීදුරුවක් තොලගාමින් යම් යම් ලියවිලි පරීක්ෂා කිරීම සහ සටහන් තබාගැනීම, සිතියම් අධ්‍යයනය කිරීම ආදී කටයුතු සඳහා තමයි ඔහු බීම හලට ගොඩවන්නේ. ඔහු නිතරම ආවේ යන්තම් සැඳෑ අඳුර වැටීගෙන එන වේලාවේ. ඒ වගේම බීමහල නාවුුකයන්ගෙන් පිරී යන විට ඔහු නිහඬවම මඟහැර යන්නට පුරුදු වී සිටියා.

"ඉතින් සහජයෙන් ම කඩදාසි, පාච්මන්ට් සහ තීන්ත මගේත් ලෙයට කාවැදී තිබූ නිසා මම ඔහු ට සත්කාර කිරීම ඉතා කැමැත්තෙන් කළා. ඔහු සමඟ හුවමාරු වුණු කෙටි පිළිසඳරවලදී අපි තව තවත් එකිනෙකා හඳුනා ගත්තා. ඒ විදිහට අවසානයේදී ඔහු මගේ ජීවිතයට අරමුණක් ලබා දුන්නා.

"ඔහු ඒ වන විටත් ප්‍රංශ රාජකීය නාවුක හමුදාවේ අද්මිරාල්වරයෙක්... කැරීබියානු ප්‍රදේශවලට, සුභ පැතීමේ තුඩුවට සහ මධ්‍යධරණී කළාපයට කිහිප වරක් සාර්ථක ලෙස චාරිකා කර තිබූ ඔහු පෙරදිගට යාත්‍රාකිරීමට නොඉවසිල්ලෙන් පසුවුණේ. ඔහු ගේ සිතේ තිබුණා එක දූපතක් ගැන. පෙරදිග ඉන්දීය සාගරය මැද පවතින, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ගංගා ඇළ දොළවල මැණික් හමුවන, අප දැන සිටි සියලු දේශගුණයන් පවතින, ආදම් ගේ පාරාදීසය සොයා ගැනීම ඔහුගේ අභිලාෂය වුණා...

"ඒ වෙනුවෙන් ඔහු මගෙන් අපේක්ෂා කළේ, බෛබලයේ සුභාරංචි, කුරාණයේ උප ග්‍රන්ථ, අප්‍රකට ක්‍රිස්තියානි ලියවිලි සහ ටෝරාව ගැන මා තුළ කටපාඩමින් තිබුණු දැනුම, ඔහු වෙනුවෙන් විශ්ලේෂණය කරලා, පාරාදීසයේ උයන සහ උල්පත, ඔහු දැන සිටි නාවුක ශාස්ත්‍රය අනුව ස්ථානීය පිහිටීම උපකල්පනය කිරීම... ඒ වෙනුවෙන් ඔහු විවිධාකාර සංචාරකයන් සංග්‍රහ කර තිබුණු සංචාරක සටහන්වලින් උපුටාගත් සටහන් මට අධ්‍යයනය කරන්න දුන්නා.

"ඔහු මා ඔහුගේ නාවුක කණ්ඩායමේ පූජකවරයෙකු විදිහට බඳවා ගත්තා. රොශ්ෆෝ වරායෙන් පිටත් වුණු පෙරදිග තානාපති වරයා වූ ද ලා හේ ගේ නැව් කණ්ඩායමට අපට ඇතුල් වෙන්නට හැකි වුණා. මගේ අධ්‍යයනය යම්කිසි මට්ටමකටවත් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ ඒ අතරමඟදීයි..."

"ඉතින් ඔබට හැකි වුණා ද, ඔය කියන ආත්මන්ගේ උද්‍යානය සොයාගන්න, සාහිත්‍යය මාර්ගයෙන්?" සුමන ඇසී ය.

"ආදම් ගේ... මම කීවේ ආදම් ගේ උයන..." රොස්කෝ පිළිතුරු දුන්නේ ය. "කිසිම ආගමික පාඨයක තිබුණේ නෑ ස්ථානීය තොරතුරු මොනවත් ම. ඒත් අද්මිරාල් ඇන්ඩර්සන් ළඟ තිබුණා මහා ඇලෙක්සැන්ඩර් ගේ ලේකම් මිටි, චීන පූජකයන්, ග්‍රීක සහ ලතින් වෙළෙන්දන්, ඔටෝමන් යාත්‍රිකයන්, සිතියම් කරුවන්, ස්වාභාව විද්‍යාඥයන් ආදී බොහෝ මූලාශ්‍රවලින් උපුටාගත් සටහන්... ඒ සියල්ල යොමු වුනේ ඉන්දියාවට පහළින් පිහිටි සාගරයෙන් වට වුණු කුඩා දිවයිනක් වෙත..."

*    *    *

හිමිදිරි පාන්දර... රෑ තිස්සේ ගොදුරු සොයා අහස පුරා රවුම් ගැසූ වවුලන් සිය නවාතැන්වලට පියාඹා යන්නට පටන් ගනිද්දී... තවමත් ගස් උඩ ලැගගෙන උන් කුකුළන් තවත් දවසක් පටන් ගන්නට හඬළද්දී... තණපත් මත වූ පිනි බිඳු හිරු ගේ පළමු රැස් දහරින් ළා රත්පැහැයෙන් දිළිසෙද්දී... ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් මාඑළිය වනාන්තරයේ සීමාවට ළඟා වන්නට සමත් විය. 

ඔහුගේ සිත ප්‍රබෝධයෙන් පිරී ගොස් තිබුණේ හිමිදිරියේ පරිසරය මවා පෑ චමත්කාරයෙන් ම පමණක් නොවේ...

කුරුඳු ළිහිණි වික්‍රමයෙන් පසු ඔහුට නැවත තාරා හෙවත් අග්නි හමුවූයේ ඊට පෙර දින ය. ඇගේ රුව දැකීමෙන් පමණක් ම ඔහු තුළ හට ගැනුණු විපර්යාසය ඇගේ සියුම් නිරීක්ෂණයට හසු විය. මා එළිය ගම්මුලාදෑණියාගේ නිවසේ දොරකඩ දී ඔහු අසු පිටින් බසිද්දී, ආලින්දයේ උස් පිළෙහි වාඩිවී සිටි ඈ නැඟිට්ටේ නොඉවසිල්ලෙන් බවත්, ඉදිරියට දිව එන්නට තරම් ඈ තුළ ඇති වූ තදියම ඈ මනාව පාලනය කරගත් බවත්, නාවුකයාගේ දෑසින් ද මඟ හැරුණේ නැත.

අසරුවෝ දෙ දෙනා වනාන්තරයට ඇතුල් වෙද්දී, මඟ පෙන්වීමට සහ ගම්මුලාදෑණියාගේ ආගන්තුක සත්කාරය ප්‍රකාශ කිරීමට ඔවුන් සමඟ පසුගමන් ආ ගැමියෝ කිහිප දෙනා නැවතුණ හ. ඒ පිරිසේ සිටි වැඩිමහල් මනුෂ්‍යයා කොළ අත්තක් කඩා, එතැන වූ මහ නුග ගසෙහි එල්ලා කෙටි යාතිකාවක් කරමින්, රාජකාරිය පිණිස වනයට ඇතුල් වූ අසරුවන් දෙ දෙනා අයියනායක දෙවියන්ට භාර කළේ ය.

*    *    *

කුඩා දියපහර, නො උස් දිය ඇළි, පාසි බැඳුනු ගල්, කඩා වැටී දිරාපත් වෙමින් පැවති දැවැන්ත කොටන්, කඳුකර තෙත් කළාපීය වනාන්තරයේ පැවති ඝන යටිරෝපණය... ඒ කිසිවක් අසරුවන් දෙ දෙනාට සැළකියයුතු අවහිරයක් වූ බවක් නොපෙනිණ. එහෙත් මාර්ගය වඩ වඩා බෑවුම් සහිත වන විට, ගල් කුට්ටි බහුල වන විට... අසු පිටින් යා හැකි සීමාව ට පැමිණි බව ඔවුන් හට වැටහිණ.

සිනා හඬ නඟමින්, පෙණ බුබුළු නංවමින් ගළා ගිය දිය පහරක් අසළ නැවතුණු දුර්ගා අසු පිටින් බැස්සා ය. ඇගේ පසුපසින් ළඟින් ම ආ ඇඩම් ද ඈ අනුගමනය කළේ ය. දිය පහර අසළට ගිය ඔහු රවුම් ගළක් උඩ වාඩි විය. ගළා යන දියෙහි සිසිලස තම දෑතට දැනෙත්ම දුෂ්කර ගමනේ වෙහෙස නිවී යන්නට පටන් ගන්නා සේ නාවුකයාට දැනුණි. මුහුණට විසිකරගත් දිය බිඳු කිහිපයකින් සෑහෙන තරම් ප්‍රකෘතිමත් වූ හෙතෙම, දිගු ඇඟිලි වකුටු කරගෙන, දිය දෝතක් ගෙන අග්නි වෙත දමා ගැසී ය. 

උරහිස් වකුටු කරගනිමින් පසෙකට හැරුණු කාන්තාවගේ පිට කොන්ද සහ හිස පිටුපසින් තද කළුවන් බෝලයක් මෙන් ගැටගසාගෙන සිටි කොණ්ඩය තෙමී ගියේ ය. අශ්වයා ගේ පිට හරහට දමා තිබූ රෙදි උරය තුළට අත යැවූ දුර්ගා කොළපතක් දෙකට නවා සකස් කර තිබූ පසුම්බියක් එළියට ගත්තා ය. එය ද රැගෙන ඈ අද්මිරාල් ගෙන් පියවර කිහිපයක් ඈතින් පිහිටි ගස් සෙවණක් වෙත ඇදුණේ මවාගත් නොමනාපයක් සටහන් වූ මුහුණිනි. 

තාරා, කොළපත දිගහැරගෙන, එතුළින් එළියට ගත් අග්ගලාවක් ඇඩම් වෙත පෑවා ය. ඔහු එය ගන්නට සුරත දිගු කරගෙන තමන් වාඩි වී සිටි ගල මතින් එසවෙත් ම, ඈ බුහුටි ලෙස අග්ගලාව කටේ දමා ගත්තේ සමච්ඡල් මඳ සිනහවක් පාමිනි.

කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසු‌නේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර මැද, නාවුකයා සහ දුර්ගා තමන් සිටි දැවැන්ත ගසෙහි මුල් අතර ගුළි වූහ.

https://www.facebook.com/Mama955/photos/a.1776803785937354/2366976573586736/
චිත්‍ර ශිල්පී - ප්‍රසන්න වීරක්කොඩි

29  කොටස...  

(entrar por favor / ඉන්ත්‍රාර් පොර් ෆවොර් = කරුණාකර ඇතුල් වන්න (පෘතුගීසි භාෂාවෙන්))

56 comments:

  1. දෙසන දහම කල් යද්දී - වෙනස් වෙතී
    පූජකයන්ගෙ නයුවන්ගේ - අතට යතී
    කොයි කාලෙදිත් කොයි දේසෙදිත් - එහි වෙනසක් වෙන්නෙ නැතී
    දහම මුවාවෙන් අදහම රජ කෙරෙතී

    -

    ඉතිහාසය ලෝකෙ - එක හැලියක දාලා
    පුරා-ජන කතා සේරම එක් කරලා
    සිතැඟි ලුණු ඇඹුල් පදමට මුසු කරලා
    හදන සූපෙ ඇත්කඳ ලිහිණිත් වැටිලා?

    ReplyDelete
    Replies
    1. ආගම විටින් විට එක එක නිකායන්
      බෙදෙ‌මින් වෙනස් වී යන්නේ මනාවන්
      ඒ ඒ කාලෙ සමාජ උවමනාවන්
      අනුව දුප්පතුන් මෙහෙයන ඉනාවන්

      ඇඩමයි ටිරායි තාමත් හමුවුනේ නැත
      දෙවිවරු තාම වැඩි සෙල්ලං දැම්මෙ නැත
      රහස් දූරෙ හැකියාවන් ලිව්වෙ නැත
      හොඳ හොඳ කෙරුං තව තව ඉදිරියට ඇත...

      Delete
    2. කෙරුං කියුං කියවන්නං ලියපු ගමන්!

      Delete
    3. වාක්‍යයත් පද හතරේ කවියක්ය..

      Delete
  2. // පෙරදිග ඉන්දීය සාගරය මැද පවතින, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ගංගා ඇළ දොළවල මැණික් හමුවන, අප දැන සිටි සියලු දේශගුණයන් පවතින, ආදම් ගේ පාරාදීසය සොයා ගැනීම ඔහුගේ අභිලාෂය වුණා...// පැණියෙන් නම් ඉතිරෙනවා තමා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පැණි කතාවට හිනාවෙලා, මයෙ උතුර-දකුණත් මාරු වුනා. කමෙන්ට් එක පෝස්ට් කලේ වැරදි තැන කියහංකො.

      Delete
    3. අජිත් අයියා,

      ඇත්තට මේ රටේ උදවිය මේ වගේ සෙප්පඩ විජ්ජාවලට රැවටෙන හැටියට, අපි කීප දෙනෙක්ට වෙනම ජාන උරුම වෙලා ද කියලා හිතෙනවා.

      නිදිපා...

      බකුස්,

      බොට මේ කලුවරේ උතුර දකුණ විතරක් මාරු වෙලා බේරුණොත් ඇති...

      Delete
    4. බකුස්ට කොහොමද කළුවරේ මාරුවෙන්නේ , කලුවරෙනේ පේන්නේ

      Delete
    5. ඔ්ං බලමුකො... මේ කතාව ලියන්ඩ කරන සෙවිල්ලට වඩා සෙවිල්ලක් කමෙන්ට්වලට උත්තර ලියද්දි කරන්ඩ වෙලා නෙව

      Delete
  3. කම්මැලි නැතිව විස්තර ලියන්නේ කොහොමද කියල කල්පනා කලේ. හැබැයි ඉතින් අපි කියවන්න මනාපයි

    ReplyDelete
    Replies
    1. කම්මැළි කියන්නෙ අජිත් අයියේ... පට්ට කම්මැලියි. ඒ උනාට මගෙ හිතේ තියෙන පිංතූරෙ කොහොම හරි මම එළියට දාන්න ඔ්නෙ. ඒ ගැන හිතමින් තමයි ලියන්නෙ. ඒ සිදුවීමට අදාළ මියුසික් එකක් හෙඩ් ෆෝන් එකට දාගත්තම හිත එහෙ මෙහෙ යන්නෑ. අනික ගොඩක්ම ලියන්නෙ ඔෆිස් එකේ දි. මේ දවස්වල අපේ ලොක්කන්ට එක එක වැඩ. ඉතිං මගෙ වැඩ ගොඩ ගැහෙද්දි මේසෙ උඩ, ඒ දිහා නොබලා ලියනවා...

      Delete
    2. හා..හා කම්මැලි නැතුව ලියනව හොඳයි. මට හිතෙන්නෙ, මේ කාලෙ වැඩිය ඉන්නෙ ගල් ආඳො සහ හොර බළල්ලු කියලයි. අර බලලා හිමීට ලුහුටලා යන කස්ටිය. ඒත් අපි බලාගෙන ඉන්නවා, අලුත් කොටස එන තෙක්.

      Delete
    3. බළලා හිමීට මාරු වෙන ගතිය මටත්තියෙනව. ඒත් අපේ කමෙන්ට්වලට උත්තර දෙන උදවියටයි, මගෙ හිතට අල්ලන ලියවිලිවලටයි මම කමෙන්ට් කරනව... ඉස්සර අපි දවස පටන් ගන්නෙ බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකෙන් නෙව. දැන් එහෙම නෑ. බ්ලොග් එකේ බ්ලොග් රෝලෙන් දැකලා තමයි මම කියවන්න යන්නෙ.

      මේ දවස්වල ඔන්ලයින් මාස්ටරයක් කරනව, ඉස්පාසුවක් නෑ ලියන්න. ඒත් අතාරින්න බෑ... ලියනව, මේක බලලා පෝෂණය කරන සහ රසවිඳින උදවිය වෙනුවෙන්...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //මේ දවස්වල ඔන්ලයින් මාස්ටරයක් කරනව//

      බොහොම හොඳයි. ගතානුගතික අධ්‍යාපන ක්‍රම, විවි නන්නත්තාර වෙලා, උඩු-යටිකුරු තාක්ෂණය පාදක වෙච්ච් ඔන්-ලයින්, නොමිලේ දැණුම ලබාගත හැකි යුගයක, ආන්න එහෙම තමා ඉදිරියට යන්න ඕනෙ. ජයවේවා!

      Delete
    6. ඉදිරියටම යව් හෙළයෙනි ඉදිරියටම යව්

      Delete
    7. බකුස්...

      ඔන්ලයින් හිංද ම යි ඇප්ලයි කළේ. දැං ගෙදර ඉඳං කඩේ යන ගමං, පොඩි එකා එක්ක සෙල්ලං කරන ගමං ඔන්ලයින් ලෙක්චර් අහනව. රෙකෝඩ් කරගෙන රෑට ආයෙම අහනව... තව මාස දහයක් විතර තියෙනව කියල මතක් කර කර...

      අජිත් අයිය,

      කොහොමත් ඒක නැතුව ඉදිරියට යන්ඩ බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ.

      Delete
  4. මේ... ඔය කතාවෙ බස්සො නැහ්ද? පොඩි පාට් එකක් එහෙම තියෙනවා නං, අපිටත් කියන්න, ඈ?

    හිමිදිරි පාන්දර... රෑ තිස්සේ ගොදුරු සොයා අහස පුරා රවුම් ගැසූ වවුලන් සිය නවාතැන්වලට පියාඹා යන්නට පටන් ගනිද්දී... තවමත් ගස් උඩ ලැගගෙන උන් කුකුළන් තවත් දවසක් පටන් ගන්නට හඬළද්දී...කණාටු වූ ගසක ලැගවුන් මූකලං බස්සෙක් "හූම්..හූම්" අනුකරණයෙන් හඩතැලීය. ඒ හඩ අසා කලබලවූ මීමින්නෙක්, කැළය බිඳගෙන දිවීමට ගත්තේය. ඊයක වේගයෙන් පහත් වූ මූකලං බස්සා, මීමින්නාව ඩැහැගෙන නැවත සිය බෙනය වෙත පියෑඹීය.

    දැන් අහනව එහෙම නෙමෙයි, කොයි රටේද බස්සො, මීමින්නොන්ව දඩයං කරන්නෙ කියල එහෙම? අලි ඉගිල්ලෙන රටේ, පනමට පොල් හැටේ!

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙව්ව තමයි, DIY කමෙන්ට්...

      කතාවට බස්සෙක් ඇතුලත් කරන්න යෝජනා කරලා,
      ඒ කොටසත් බස්සම ලියලා,
      ඒ ගැන මට අහන්ඩ තියෙන ප්‍රශ්නෙත් අහලා,
      ඒකට උත්තරත් දීලා...

      මෙන්න මෙතන තියෙනව මම බස්සා ග්ලෝරිෆයි කරපු විදිහ මේ කතාවෙදි. බස්සගෙ ලස්සනම ලස්සන පොටෝ එකකුත් එක්ක ම.

      Delete
    2. හරිම අසාධාරණය. ඔය අමද්‍යප නිදිව වත් අමුණන්න බැරිද ධනසේකර වලව්වේ අයිතිකාරයා කියලවත්

      Delete
    3. https://bizarre-and-amazing.blogspot.com/2018/09/devil-bird.html?m=1

      Delete
    4. අජිත් අයිය,

      මෙතන පොඩි සඳහනක් තියෙනව නිදි ගැන... හැක්!

      //පුවක් කෑල්ලක් කටට විසි කරගනිමින් මහළු නිමල් පාරට අඩිය තැබුවා පමණි. එවිගස, එතැනින් පාස් වුණු කාර් රථය පිටුපසින් ඇදී ගිය සුළං පාරට හසු වූ පුවක් කෑල්ල මඟ වැරදී ඔහුගේ උරහිසට උඩින් ගොස් බිමට වැටුණි.

      "කොහෙ යනවද මංද මේ යක්කු..." යි මුමුණමින් පුවක් කෑල්ල සොයන්නට ආපිට හැරී පහත් වුණු මහල්ලාගේ පසුපසෙහි වැදී නොවැදී මෙන් මෝටර් සයිකලය ඉගිළුණි.//

      Delete
    5. ප්‍රා,

      වටිං ගොඩිං හරි අපේ ආදර බර බකුස් උන්නැහැට උළමා කිව්ව එහෙනං ඈ...?

      Delete
    6. බකුස් ලීව ටික නම් මරු ඈ , බ්ලොග් එකේ බකුස් චාරිකා කියල එකක් යමුකෝ බකුස් , ඒ දවස් වල දිවයිනේ උකුස්ස වගේ ,
      ඩ්රකි , අපේ ෆොරෙවර් තරුණ නිදි ට මහල්ලා කීව එකට මම විශ්වාස භංගයක් ගේනවා. නිදි අපට වඩා තරුණයි

      Delete
    7. නිදි තරුණයි නේන්නම්. සමහරවිට මට නිදි ව, අතීත කතාවෙ ගන්තලාවෙ දිසානායක රටේ මහත්තයා එක්ක ගාවන්න පුළුවන් වෙයි. සේරුවිල විහාරාධිපති තැන්පත් අතිපූජ්‍ය ලුණුගල ධර්මකීර්ති උන්නාන්සෙට එතකොට එයත් එක්ක එකමුතුව මේ කතාව ගොඩනගන්න පුළුවන් වෙයි නෙව.

      Delete
  5. අාදම් =අාත්මන්
    ලිලී= ඒව?

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි නුගේ, පරණ කොටස් කියෝගෙන ඉදිරියට එනව දැකීම...

      ලිලිත් කියන්නෙ ආදම් ගේ මුල් භාර්යාව, ඒව ට කලින්. එයා පිරිමියාට දෙවැනි විය යුතු බව ආදම් බළ කළ විට ඇය පියාපත් විහිදලා ඉගිළිලා ගියා.

      බැබිලෝනියන් ඇදහීම ට අනුව, ලිලිත් කියන්නෙ ගැහැණු ඩීමන් කෙනෙක්...

      කොහොමත්, මායාකාරියන් ගේ ආදීතමයා හෝ, නපුරු ගැහැණු ආත්මයක් ලෙස හෝ ඇය සැළකෙනවා, ඉතා ඈත අතීතයේ සිට. ඒක හරියට ම තාරා දෙවඟන හෝ මවු දෙවඟනගේ නරක ප්‍රතිවාදියා විදිහට සැළකීමට හැකි සංකල්පයක්.

      Delete
  6. වැනිල්ල මරු, ඈ. නිකං මැවිල පේන ගානට ලියල තියනවා. ඔහෙම යං.

    ReplyDelete
    Replies
    1. බකුස්ගෙ අගය කිරීම නිසා තමයි මම ඒ පැත්ත ගැන සැලකියයුතු අවධානයක් දෙන්න පටන් ගත්තේ.

      Delete
    2. වැනිල්ල හරිම වැදගත්. වැනිල්ලෙන් තමා කතාවෙ වේදිකාව සැරසෙන්නෙ. කතාව හොඳ වුනත්, වැනිල්ල හරි නැත්නම්, ඒක අඩුවක්. ඒ නිසා වනන්න ඕනෙ ලොවෙත් නැති වෙන්නම :)

      Delete
    3. හ්ම් හ්ම්...

      මම වැනිල්ලට උපන්නෙමි කියා හිතාගෙන උන්නෙ, පළවෙනි කතාවෙ වැනිලි එක්ක. දැං දැං ඒ උනාට, "මට මහළු වයසේ - බැරිය සිව්දෙස වැනුම පෙර සේ..."

      Delete
  7. උඩුමුල්ලෙ තියෙන්නෙ කොහෙද?
    උඩුමුල්ල නම් නුගේගොඩ, බත්තරමුල්ල , මුල්ලේරියාව වගේ පැතිවල.

    ඔය කාලෙ වෙනකොට නෝර්මන්ඩිවල සෙට්ල්වුන නෝර්ස් අය නෝර්මන්ස්ලා වෙලා, භාෂාව norman-french වෙලා, නම් frenchified වෙලා සෑහෙන කාලයක් නේද?
    නෝර්ස් ඔරිජින් නම් හුගක් ඉතිරිවෙලා තිබුන. විශේෂයෙන් මුල් නම් විදිහට.
    http://www.viking.no/the-viking-heritage/the-viking-linguistic-heritage/norman-family-names-of-viking-origin/

    ඩ්‍රැකී සම්පූර්ණයෙන්ම 100% නෝර්ස් නමක් නෝර්මන් වෙළෙන්දෙක්ට යොදා ගන්න හේතුවක් තියනවද?

    (මට මේ කතාවෙ වැඩිපුරම නෝටිස් වෙන්නේ නම් සහ මිතොලොජි )

    ReplyDelete
    Replies
    1. පිළිතුරු...

      01. මුල්ලේරියාව ආශ්‍රිතව තියෙන්නෙ උඩහමුල්ල කියලයි මතක. මට උඩු මුල්ල හම්බුණේ ගූගල් මැප් එකේ, පිළිමතලාවට කලිං දෙවිනුවර දේවාලෙ ආශ්‍රිතව. ඉතිං මිත්‍ර "දැඩිමුණ්ඩ" දෙවියන්ට ගාවන්න කියලා ඒ ගම යොදාගත්තා.

      02. මටත් හිතුණා ඒක... ඒ නම දෙපැත්ත මාරු කළොත් හරියයි නේද? "එරික් ක්‍රිස්ටියන්සන්" කියලා? නෝමන්ඩියෙ වෙළෙන්දෙදෙක් කියලා ලියවුනේ, රොබින්සන් කෲසෝ ගෙ තාත්ත ගැන තිබුණු මතකය අනුව... එයා නම් යාමත්වල වෙළෙන්දෙක් කියලයි මතක...

      Delete
    2. ප්‍රා,

      'ඩි මැන්ඩෙවිල්' පෙළපත් නාමය කොහොමද? 'රොස්කෝ ඩි මැන්ඩෙවිල්' තාත්තා 'එරික් ඩි මැන්ඩෙවිල්' වෙළෙන්දෙක් 'මනුෂ්‍ය යක්ෂයෙක්' වීමත් හොඳයි. වහල් වෙළඳාමත් එක්ක බැලුවම.

      සර් ජෝන් මැන්ඩෙවිල්වත් මම ගාවල ගත්තා තුන්වෙනි කොටසෙදි...

      Delete
    3. De Mandeville නම් නෝර්මන්. හැබැයි රදල

      Delete
    4. ඒත් බිස්නස් නොකරන්න හේතුවක් නෑ. විශේෂයෙන් මේ කතාවට අදාළ කාලෙ

      Delete
    5. හ්ම් හ්ම්... රදළ නිසා වෙන්නැති පුතා පල්ලියට ඇතුලත් කළේ කියලත් හිතන්න පුළුවන්. ගොඩක් ස්තූතියි මේ දක්වපු සහයෝගටෙ. නම් වෙනස් කළා...

      Delete
    6. මේ කතාවේ නාමකරණ නිසි බලධාරියා ප්‍රා ජේ උත්තමයද කොහෙද

      Delete
    7. එතුමෝ මේ කතාව ඔඩිට් කරන සේක...

      Delete
  8. සුපිරි.....

    මේකට ලව් කෑල්ලක් විතරයි දැන් අඩු.

    ReplyDelete
    Replies
    1. ආදරය තමයි මේ කතාවෙ ටර්නිං පොයින්ට් එක අසංග... තුන්කොන් පෙමක් වෙන්නත් පුළුවන් අග්නි - ඩ්‍රේක් - මුතු මැණිකේ.

      Delete
    2. මුතු මැණිකෙ ඩ්‍රෙක් ය ගැලපෙන්නේ නෑ.අග්නි නම් ගැලපෙනවා.වීරත්වය අතිනුත්,අමරණීයත්වය අතිනුත්..
      අතීතයේ බහුභාර්යා විවාහ තිබුන නිසා දැනට මුකුත් කියන්න බෑ.

      Delete
    3. ප්‍රේමය ට ගැළපීම් අදාළ නෑ නුගේ... තමන් වෙනුවෙන් මැරෙන්න ගිය එකම ඇති.

      කාන්තාවන් ට ගොඩක් ම හිතට වදින්නෙ, පිරිමියෙක් තමන් ගැන සොයා බැලීම, තමන් ගැන සැළකිලිමත් වීම, අගය කිරීම, සවන් දීම සහ ප්‍රතිචාර දැක්වීම වගේ කාරණා. ඒවා ගෑණු ළමයෙකුට හිතට ගොඩක් ම දැනෙනව. එහෙව් එකේ, මැරෙන්න ගියාම...!

      Delete
  9. [පොර් ෆවොර්] මේ වචනේ දැක්ක ගමන් මට මතක් උනේ Mind your language.. :)

    උඹ මේක ලියන්න සෑහෙන මහන්සියක් වෙනවා කියල නම් පේනවා... අනිත් එක මුල් කොටස් වලට වඩා කලින් කොටසයි මේ කොටසයි ලස්සනයි... අර උඩ කිව්වා වගේ වැනිම ඉතා වැදගත්...

    ඔපිස් යන කාලේ නම් බ්ලොග් ලියන්න වෙලාව මටත් තිබුනා තමා...

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ පොර තමයි. හුවාන් සර්වන්තෙස්...

      පොර දවසක් කියනව, ටීවී එකේ අහිතකර ප්‍රතිවිපාක ගැන සාකච්ඡා කරද්දි, "TV is very bad for foot" කියල. මිස්ටර් බ්‍රවුන් පොර නිවැරදි කරනව, "වෙරි බෑඩ් ෆො අයිස් නේද?" කියල. අරූ ඒක පිළිගන්නෙම නෑ. පොර කියනව, "එයාගෙ අංකල් කෙනෙක් ගෙ කකුලට බොහොම නරක විදිහට ටීවී එක බලපෑව" කියල. ඒ කොහොමද කියල ඇහුවම කියනව, "ටීවී එක එයාගෙ කකුල උඩට වැටුන" කියල...

      වැනිල්ල ආපහු හදාගන්න තමයි හදන්නෙ.

      ඇත්තට පැත්තා, අර ස්කෘලොක් ලොක්කව ගොඩගත්තෙ නෑ නේද තාම?

      Delete
    2. ඊයේ යාන්තම් තව කොටසක් ලියන්න ගත්තා... අද හෙට දාන්නම්...

      Delete
    3. ආාාන්න... ඒ නිවුස් එකත් ඇති හිත හැදෙන්න.

      Delete
  10. //එතැන වූ මහ නුග ගසෙහි එල්ලා කෙටි යාතිකාවක් කරමින්, රාජකාරිය පිණිස වනයට ඇතුල් වූ අසරුවන් දෙ දෙනා අයියනායක දෙවියන්ට භාර කළේ ය.//දැක්කට එච්චර මීටර් වුනේ නෑ.මාත් මේ කතාවෙ ඉන්නවා කියල...

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්ඩ නුගේ... මටත් ඒක මීටර් වුනේ නෑ... හැක් හැක්!!

      Delete
  11. නිවාඩු වෙලාවක බලන්‍න.විශ්වයේ අපි කොච්චර පොඩිද කියලා...https://neal.fun/size-of-space/මාව කතාවට එක්කහු කරගත්තට
    තෑගි:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තෑග්ගට. ඇත්තට අපි කොයිතරම් පුංචියි ද කියන අදහස ගොඩක් වටිනවා, දරාගන්න බැරි දුකක් ඇති වුණු වෙලාවට හිත හදාගන්න.

      Delete
  12. ඉවර වෙන්නෙම නෑ වගේ නේ ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කතාවට නම දාල තියෙන්නෙ ඒ් විදිහට... :)

      Delete
  13. එල ද බ්‍රා
    ආසයි බ්ලොග් වල වල බැහැගෙන ඉන්න....ඒත් ප්‍රශ්න එමටයි....තව ටික කාලයක් දියන්

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!