Saturday, March 20, 2021

අවසානයක් නොවේ 31

අග්නි සිය දෙතොල් මත සිරස් අතට සුරතේ දබරැඟිල්ල තබා, නිහඬ වන ලෙස සන් කළා ය.

හිස ඔසවා අවට බැලූ ඩ්‍රේක් ගේ දෑසට එක්වරම ලක්වුණේ, තැන තැන විසිරෙන ගිණි පුපුරු වැනි කණා මැදිරියන් ය. රහස් දූරයේ සෙසු සාමාජිකයෝ ගල් තලාව මත එළන ලද සම්කඩවල් මත වැතිර සුව නින්දේ පසුවූහ.

හඬ නොනැගෙන සේ නැගිටගත් තාරා අනුව, ඇඩම් ද සීරුවෙන් නැගිට්ටේ ය. තමා පසුපස එන ලෙස අතින් සන් කළ තරුණිය සෙමෙන් සෙමෙන් ගල් ගුහාව අභ්‍යන්තරය දෙසට පිය නැගුවා ය.

30 කොටස...

සමින් සකස් කළ හැට්ටයක් සහ දෙදණ තෙක් පහතට වැටුණු ඉණකඩක් ඇඳ සිටි ඈ, දෑත් ඔසවා සිය දිගු කොණ්ඩය කරකවා ගුළියක් සේ හිස මුදුනේ ගැට ගසා ගත්තා ය. ඈ දෑත් ඔසවන විට ඉහළට නැඟුනු පටු, හුරුබුහුටි උරහිස් ද, ළැම ද, කොණ්ඩය ගැටගසද්දී නිරාවරණය වූ දිගු ගෙළ ද, එහි වූ කියඹු රොද ද, දෙස නාවුකයා මොහොතක් - දෙකක් බලා සිටියේ ය.

දකුණු දණ බිම ගසා පහත් වූ ඇඩම්, බුහුටි ලෙස සිය නාවුක කිණිස්ස සහිත සම් කොපුව වම් කෙණ්ඩයෙහි තබා සම්පටිවලින් ගැට ගසා ගත්තේ ය. සිය හිස ඉද්දර වූ තද නිල්පැහැ කබාය, සම්මානිත කඩුපත සහ උසැති පාවහන් යුවල දෑතට ගත් හෙතෙම, දුර්ගා පිටුපසින් ගල් ගුහාවේ ඇතුළට ගියේ, සිය දෙපයේ ඇඟිලි පුරුක් අතරින් සියුම් ශබ්දයක් හෝ නොනැඟෙන පරිද්දෙනි.

ගල් ගුහාව කෙළවර වූයේ ගල් පියස්ස බිම වූ ගල් තලාව හා ඒකාබද්ධ වීමෙනි. තනි කළු ගල් පර්වතයක් අනාදිමත් කාලයක සිට හැමූ සුළඟට මුුසු වූ සියුම් වැලි කැටවලින් ගෙවී, වැස්සේ සිසිලසට හා අව්වේ ගිණියමට ඛාදනය වී, දැවැන්ත ගල් ගුහාව සෑදී තිබූ බව පෙනුණි. 

ඉතා සැහැල්ලුවෙන් පියවර තබා යමින් සැළකිය යුතු වේගයකින් ගුහා අභ්‍යන්තරයට පිය නඟා ආ කාන්තාව, මොහොතක් නතර වූවා ය. ඇඩම් ඈ අසළට එත් ම, ඈ සුරතේ වූ කුඩා පන්දම අගට වමත ළං කොට අසුරු ගසන්නාක් මෙන් සිය මැදැඟිල්ලේ සහ මහපටැඟිල්ලේ තුඩුවල තැවරුණු යමක් එකට ඇතුල්ලුවා ය. එසැණින් ගිණි පුපුරු නංවමින් පන්දම ඇවිළුණේ නාවුකයා මවිතයට පත් කරවමිනි.

දෙ දෙනාගේ හිස්වල ගෑවෙන මට්ටමකට පහත් ව තිබූ ගුහාවේ ගල් පියස්ස, අඩි දෙක තුනක දුරින් පොළොවට ම පහත් වී තිබුණේ ය. එහෙත්, අග්නි සිය සුරතේ වූ පන්දම ඒ මේ අත වනද්දී, ඒ මේ අත දිශාගතවූ පන්දම් ආලෝකයෙන්, පහත් වූ ගල් පියස්සේ පැවති සිරස් අතට විහිදි පුළුල් පැල්මක් පෙනී නොපෙනී යන්නට විය. 

තාරා, වමත පසුපසට දිගු කර ඇඩම් ගේ දකුණතෙහි මැණික් කටුව අසලින් අල්ලා ගද්දී, ඇගේ ඇඟිලි අතර වූ සියුමැලි සුමුදු බව හා උණුසුම නාවුකයාට නොමඳව දැනුණි. පන්දම ඉස්සර කරගත් තරුණිය ගල් පැල්ම ඔස්සේ ඇතුළට රිංගා යද්දී, යුරෝපීයයාට ද කරන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත.

එය අඩි හතක් පමණ උස් වූ, මඳ බෑවුමක් සහිත පටු මාර්ගයක් විය. හැකි පමණ තම පුළුල් උරහිස් හකුලාගත් ඇඩම්, දුර්ගා පිටුපසින් පිය නැඟුවේ ප්‍රවේසමිනි. කාන්තාවට ඉදිරියෙන් වූ පන්දම් එළියෙන් ඇගේ නාරි ලාලිත්‍යවත් හැඩය කැපී පෙනුනේ ය. නාවුකයාගේ දෑසට ලක්වුණු ඇගේ සිරුරේ පිටුපස අඳුරේ තිබුණ ද, පන්දම් එළියේ දීප්තියෙන්, කළුගල් පිළිමයකට රන් පැහැයෙන් පිටත රේඛා ඇන්දාක් මෙන් අසිරිමත් දසුනක් මැවීය. 

ඩ්‍රේක් ගේ සිතෙහි නැගෙමින් තිබූ සිතුවිලි හඳුනාගත්තාක් මෙන් දුර්ගා එක් වරම නතර විය. පන්දම සහිත සුරත ඉදිරියට දිගු කරගත් වනම තිබියදී, ඈ බඳින් සහ ගෙළින් වම්පසට අඩ වශයෙන් හැරී, සිය සහචරයා ගේ දෑස් දෙස බැලුවා ය.

"තව ටික දුරයි..." ඈ කෙඳුරුවා ය.

ඇඩම් හිස දකුණුපසට මඳක් ඇළ කර එකඟතාව පළ කළේ ය.

සියුම් සිනහවක සේයාවක් පැතිරුණු මුහුණින් යුතුව, තාරා නැවතත් ගමන ඇරඹුවා ය. සිරුරට ඉතා ම ආසන්නයේ පැවති ගල් බිත්තිවලින් නැඟුණු දැඩි සිසිලස තිබියදී අපූර්ව උණුසුමක් සිය දෙකණ පිටුපසින් නැඟී ලේ නහර ඔස්සේ සිරුර පුරා පැතිර යනු ඇඩම් හට දැනුණි.

දිය බිංදු ජලතලයක් මතට වැටෙන සිහින් හඬ, මඳ වෙලාවක් තිස්සේ ම දෝංකාර දෙමින් ඇසෙමින් පැවතිණි. තවත් පියවර දහයක් පමණ යද්දී, පටු ගල් කොරි‌ඩෝව අවසන් වී, දෙදෙනා ම ඉඩ කඩ ඇති පුළුල් ගුහාවකට පිවිසුණහ. එය හරියට ම කළගෙඩියක් වැනි ගෝලාකාර හැඩැති ගුහාවක් වූ අතර, එයින් පිටවීමට තවත් මඟක් නොවූ බව ඇඩම් දුටුවේ ය. ගුහාවේ පියස්සේ හරි මැද ට වන්නට පිහිටි පටු රවුම් විවරයකින් හඳ එලිය තීරුවක් ගළා විත්, ගුහාවේ  මැද වූ පොකුණකට වෑස්සිණ. තරමක බේසමක් වැනි ඒ පොකුණේ දියමත වැටෙන සඳ එළිය ඇති කළ පරාවර්තනය කළු නිල් පැහැයෙන් දිදුළන ගුහා බිත්ති මත නළියමින් මන්දාලෝකයකින් ගුහා අභ්‍යන්තරය පුරවා තිබුණි. ගුහාවේ ශෛලමය පියස්සෙන් පහළට එල්ලුණු සිහින් ගිරි ළඹයක් දිගේ වෑස්සෙමින් පැවති සියුම් තෙතමනයකින්, විටින් විට දිය බිංදු සැදී පොකුණු දිය මතට වැටෙයි. එයින් සඳ එළියෙන් රදී පැහැ ගැන්වී දිළිසෙන ජල තලයේ නිරන්තර දිය රැළි නැංවිණ. 

තාරා, පන්දම බිම ගසා නිවා දැමුවා ය. ඉන් නැඟුනු ගිණි පුපුරු කිහිපයක් ඉහළ ගොස් මොහොතකින් වියැකී ගියේ ය. කුඩා පොකුණ අසළට ඈ දිවගියේ දැරියකගේ බඳු කෙළිලොල් බවකිනි. පොකුණ අසළ බිම දෙපා නවා වාඩි වූ ඈ, නාවුකයාට ද, එහි එන ලෙස හිසින් සංඥා කළා ය.

දෑතේ වූ කබාය, පාවහන්, හා අසිපත ගුහා බිත්තිය අසළ ප්‍රවේසමෙන් තැබූ ඩ්‍රේක්, තරුණිය අසළ බිම වාඩි විය. 

"පොඩ්ඩක් අහගෙන ඉන්න... මේ වතුර බිංදු වැටෙන සද්දෙ..." තාරා සිය වමතේ ඇඟිලිතුඩු ඇඩම් ගේ දිගු ඇඟිලි අතරින් යවා අල්ලාගනිමින් කීවා ය. "මනස නිසංසල වෙන්න ඊට වඩා දෙයක් නෑ..."

ඩ්‍රේක් සෙමෙන් හිස සලමින් ඊට එකඟ විය. ඔහුගේ ඇඟිලි ද, තරුණියගේ ඇඟිලි අතර වෙලුනේ ය.

මඳ වේලාවකින් ඇඩම් තාරා දෙසට නැඹුරු වූයේ පැකිළෙමිනි. ඇය ඊට ප්‍රතිචාර වශයෙන් සිය උඩුකය මඳක් කරකවමින් ඔහු දෙසට හැරුණා ය. දෙ දෙනාගේ දැස්, එකිනෙක බැඳෙමින්... උණුසුම් හුස්ම එකපිට එක වැටෙන තරමින්... සමෙහි උණුසුම එකිනෙකාට දැනෙන තරමින්... දෙ දෙනා ළං වූයේ කිසිවක් ගැන නොසිතා ය.

අග්නි ගේ මුහුණ මතුපිට ට නාවුකයාගේ හුස්ම වැටෙද්දී, ඇගේ දෙතොල් යාන්තම් විවර වුණි. අඩවන් දෑසින් ඈ දුටුවේ පරාවර්තිත සඳ එළියෙන් දිළිසෙන ලා රත්පැහැ දෑස් යුවළකි.

ගුහාවේ බිම සැදුණු ගල්තළාව නොසිතූ ලෙස සුමට විය... සිසිල් විය... එහෙත් සුළු මොහොතකින් එහි උණුසුම පැතිර ගියේ ය.

*    *    *

නාවුකයාට තමන් සිහිනයක් බඳු මන්ද මෝහනයකින් අවදි වන්නා සේ දැනුණේ ය. සිය නිරුවත් සමට තුරුළු වුණු තරුණියගේ පහස නොවන්නට, එය සිහිනයක් ම බව ඔහු අදහාගන්නට තිබුණි. ඔහු සිය හැඩිදැඩි වමත මත වැතිර සිටි අග්නිය තුරුළු කරගෙන, සුරතේ ඇඟිලි ඇගේ ලිහුණු කෙස් කළඹ අතරින් යවා ඇගේ හිස පිරිමැද්දේ ය. 

https://www.pikist.com/free-photo-sswpt
"මම සමහරවිට ආපහු ඔයා දකින එකක් නෑ."

නාවුකයාගේ පුළුල් පපුවේ සිය මුහුණ සඟවාගෙන සිටි තාරා, සෙමෙන් මිමිණුවා ය.

"මම සමහරවිට ආපහු ඔයා දකින එකක් නෑ."

"ඇයි ඒ?" ඇඩම් ගැළී සිටි ආලස්‍යය අතුරුදන් වූයේ එක්වරම ය.

"රහස් දූරයේ බහුතර තීරණයට මම එකඟ නෑ ඩ්‍රේක්. ඒ වගේම ඒ තීරණයට විරුද්ධව වැඩ කරන්න මගෙ හෘද සාක්ෂිය මට බළකරනවා."

"ඒ කියන්නෙ, අපි මේ කැරැල්ලට උදව් කරනවා...?"

"අපි නෙවෙයි." ඈ හිස ඔසවා සිය සහකාරයාගේ දෑස් දෙස බැලුවා ය. "අපි නෙවෙයි ඩ්‍රේක්... ඔයා සුමනත්, වරුණත් වගේ ම රජතුමාගෙ රාජකාරියට බැඳුණු කෙනෙක්. ඔයාගෙ රාජකාරිය තමයි රජතුමා ආරක්ෂා කරන එක. ඒත් මම එහෙම නෙවෙයි. මට තියෙන්නෙ වෙනම වගකීමක්..."

දිගු හුස්මක් හෙළා නාවුකයා සිය පපුවේ පැවති බර සැහැල්ලු කර ගත්තේ ය.

"ඔය හැම දේකට ම වඩා මට දැනෙනවා, මට ඔයා එක්ක වඩා පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් බව." ඔහු ඇඟිලි තුඩින් දුර්ගාගේ නිකට අල්ලා ඉහළට එසවී ය. ඔහුගේ ලා රතු පැහැ දෑස් දෙස බැලූ තරුණිය එහි පැවති අධිෂ්ඨානය දුටුවාය. 

"කැරැල්ල සාර්ථක වුණොත් සමහරවිට ඔයාලට නිදහස ලැබෙන්නත් ඉඩ තියෙනවානේ." ඇගේ දෙතොල් හා දෙකොපුල් මඳ සිනහවකින් සැරසුණේ ය. "රාසිං දෙයියන්ට නේ උවමනා තමන්ගෙ රාජධානියෙ සුදු හම ඇති නිල් ඇස් ඇති පරම්පරාවක් බිහිකරව ගන්න. උන්දැ ආසයි අමුතු සත්ත්වයන්, අමුතු මිනිස්සුන් එකතු කරන්න. ඒත් මී ළඟ රජු ට ඒ වගේ උමතු ආශාවන් නොතිබෙන්න ඉඩ තියෙනව."

*    *    *

රිටිගල ජයතුංග වෙදැදුරු තැන දෑස් පිස දමමින් දොරකඩින් එළියට ආවේ ය. දෙගොඩහරි ජාමයේ තමන් නින්දෙන් අවදි කෙරුණේ සුලුපටු පුද්ගලයෙකු සඳහා නම් නොවන බව ඔහු නිගමනය කර තිබුණි. 

"ඇයි?" ඔහු තමන් අත වූ පිත්තල පහන ඔසවා එළිපත සිටි උසැති මිනිසා ගේ හිස සිට දෙතුල තෙක් නිරීක්ෂණය කළේ ය. රන්වන් කෙස්, තියුණු රත්පැහැ ඇස්, ප්‍රංශ රාජකීය නාවුක හමුදා නිල ඇඳුම, කොපුවෙන් අඟලක් - දෙකක් එළියට ඇදී තිබුුුණු යුරෝපීය සම්මානිත අසිපත... ජයතුංග වෙදැදුරු දකුණු පය ට සිය සිරුරේ බර පවරා, වම් පයින් ආරක්ෂක පහරක ට සූදානම් විය. අමුත්තාට පිටුපසින් සිටි කාන්තාව ඔහු දුටුවේ පසුව ය.

"අපි ආවෙ ජයසේන මුණගැහෙන්න..." දුර්ගා කීවේ පැකිළීමකින් තොරව ය.


තවත් කොටසක් ලියාගන්ට හැකි වුණු වේලාවක...

40 comments:

  1. සදාචාරාත්මක සුරුංගාරෙ ලෙසටම ලියල තියනවා. තව කියන්න තියන එව්වා කොටස් වශයෙන් කියඤ්ඤං ඈ?

    මයෙ අප්පේ උඹේ බ්ලොග් රෝලෙ දිග? අත් වැරැද්දකින් අගට ගියා, එනවා එනවා මොන? පස්සෙ අග්නි පස්ස හැරිලා බලලා "තව ටිකයි" කිව්වා.

    තවත් කොටසක් ලියාගන්ට හැකි වුණු වේලාවක... 😂😂😂

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ... බොගෙයි නිදි ගෙයි කමෙන්ට් දෙක උදෙම්ම දැක්කම, මුළු දවසම හුස්මක් කටක් ගන්නැතුව වැඩ කරන්ඩ හයියක් ලැබුණා. ඔය කොටස් වශයෙන් කියන එව්වත්, ඉක් ඉක්මණින්ම කියවන්ඩ ලැබෙයි කියල බලාගෙන ඉන්නව.

      බ්ලොග් රෝල මම දාගෙන ඉන්නෙ අනික් උදවියට කරන අතදීමක් විදිහටයි, මම ගියපු රසවිඳපු තැන් මට ම මතක තියාගන්ටයි කරන වැඩක් විදිහට.

      අවසාන වගන්තිය නං ඉතිං... සහමුලිම්ම ඇත්ත, මේ දවස්වල...

      Delete
  2. කරකවල අත අරින එක නං මහම අන්දොස් කාරණාවක්
    දොස් කියතැකිද කොහොමටත්, එය මාත් ඉඳහිටලා කරන්නක්
    මේ කතාවට අඩුව තිබුණේ ආදරේ 'අනුපාන චුට්ටක්'
    එයත් හරි දැන්, බලං ඉන්නලු එනතුරා ඩ්රැකියට වෙලාවක්!

    ReplyDelete
    Replies
    1. (කවියක් ලියහල්ලකො දැං ඉතිං මේකට...)

      ලියන්ඩම උවමනා උන හින්දා ලිව්වෙමි
      හුස්ම ගන්ඩත් ඉඩක් නොමැති වී ඉන්නෙමි
      තව මාස දෙකතුනක් ගතවෙද්දි ලියන්නෙමි
      ඒ වෙද්දි මේ දෙන්නා තුන්දෙනා කරන්නෙමි

      කොහොමද ඒක?

      Delete
    2. අඩු මාසෙන් කරන්නට යන දෙන්න තුන
      පරෙස්සමින් ඩ්රැකියෝ හුස්මක් ගන්න
      කොතෙක් වැහැරුණත් ඇතෙකුව නාවන්න
      බැරිය කොරහෙ ඉවසාගෙන හිටපන්න!

      Delete
    3. දෙන්නා තුං දෙනා වෙන්නෙ
      අහවල් කාරියෙන් නෙවෙයි
      ඇඩමට බෑ උපද්දන්න
      ලෝකිගෙ බේතේ ප්‍රතිඵල

      දෙන්න තුං දෙනා වෙන්නට
      තව තව ක්‍රම තිබේ ලොකා
      ඒක උවමනයි පසුවට
      වෙන්නට යන මහ ගැටුමට

      Delete
  3. අවසානයක් නොවේ මෙසේ අවසාන නොවී දිගින් දිගටම පැවතීම ගැන සියලු සක්වල ජීවීන්ගේ මෙව්වා එක පල කිරීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ රාළේ... මේක අවසාන වෙන්න නියමිතයි. තව ටික දුරයි (අර අග්නි කිව්ව වගේ)

      Delete
  4. //ඇඩම් ඈ අසළට එත් ම, ....කුඩා පන්දම අගට වමත ළං කොට අසුරු ගසන්නාක් මෙන් සිය මැදැඟිල්ලේ සහ මහපටැඟිල්ලේ තුඩුවල තැවරුණු යමක් එකට ඇතුල්ලුවා ය. එසැණින් ගිණි පුපුරු නංවමින් පන්දම ඇවිළුණේ//

    දැන් අග්නි අතට කුඩා පන්දම ආවෙ කොහෙන්ද? ඇඩමුත් ලඟට ආව එකේ පත්තු වුනේ ඇඩම්ගෙ කුඩා පන්දමද?

    ReplyDelete
    Replies
    1. ඈ බකුස්..., එතකොට මං බබලතුංගෙ අතට එන හැම එකක්ම ආව හැටි කියන්ඩ වෙයිද? දැකල නැත්ද ඔය කාන්තාවො ළඟ තියෙන හෑන්ඩ් බෑග් සහ තව තව බෑග්වල තියෙන ආම්පන්න කන්දරාව?

      අනික, අර උපුටපු සඳහන, සංකේතයක් විදිහට සළකන්ඩ පුළුවං නේද?

      Delete
    2. අවුලක් නෑ. ඔහොම යං. සුරුංගාරෙ තියනවා නං, ඕන xxx ප්‍රීති වෙසක්.

      Delete
    3. හූටිං ඇන්ඩ් ලාෆිං... හැක්!

      Delete
    4. https://www.wikihow.com/Create-a-Fire-in-Your-Hand
      https://en.wikipedia.org/wiki/Pyrokinesis

      ඇණ ගහනකොටත් ගිණි පුපුරු එනවයි කියල ඒන්ශන්ට් බස්සෙක් කිව්ව

      Delete
    5. ධනපාල උන්නාන්සෙ ඇණයි මිටියයි අරන් කැරකෙන්නෙ වැටවල් ගන්න විතරක් නෙමෙයි කියල හිතෙන්නෙ මට විතරමද? :)

      Delete
    6. +පාල නෙමෙයි, රිටිගල ජයතුංග...

      Delete
  5. වැඩ ගොඩාක් අස්සේ මේක ලියන එකට කොළොම්පුරේගේ බලවත් ප්‍රසංසාව ....

    ReplyDelete
    Replies
    1. නොලිව්වනං මිඩ් ටර්ම් එක ඉවර වෙද්දි මට පිස්සු වැටෙන තරම් පීඩනයක් තිබුණා... ඒක මයි ලිව්වෙ.

      Delete
  6. මෙච්චර දිගට කොහොම ලියනවද මන්දා! ඉස්කෝල යන කාලෙ කියවපු මාරක කතා, හොල්මන් කතා මතක්වෙනවා. කියවලා රෑට බයේ හිටපු හැටිත් මකක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න නම් මේ කතාව මදි. මගෙ පරණ කතාව කියවන්න...

      Delete
  7. දාපු දවසෙම කියෙව්වට අදයි කොමෙන්ට් එකක් දාන්න වෙලාවක් සෙට් වුනේ... අග්නි යැව්වා වගේ නෙමේ .. ඔය යන තැනක ගිහින් කරන කියන දේවල් ලියන්න වෙයි... මොකද ගෑනු පරාණයක් නැති වෙච්ච ගමන් කියවන්න තියෙන මෙව්වා එක බාගයක් අඩු වෙනවා .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. අග්නි ගිහිං තියෙන්නෙ කවුරු එක්ක කියල ද හිතුණෙ? රහස් දූරයට පිටිං වැඩ කරනවනං එයා එක්ක යන්න ඉතුරු වෙන්නෙ කවුද?

      Delete
    2. ඇඩම් ට ඉතින් රජා ලොකු වෙන්න තරම් කාලයක් රහස් දුරේ හිටියේ නැහැනේ... කෙල්ල එක්ක යන්න ඇති බාදාවක් නැහැනේ.. හැබැයි ඉතින් රිටිගල ජයසේනත් එක්ක කරන වැඩකට ඇඩම් එක්ක යන එක හිතා ගන්න බැහැ...

      Delete
    3. හරි හරි පැත්තා... මං එතන ලියල තියෙනව හරි මදි තමයි. මී ළඟ කොටස ඔයිට වඩා ස්පෙසිෆික්...

      අනික, මේ කතාව පහුගිය කතාවත් එක්ක ෆේස්බුක් එකේ දාන්න ගත්ත දා ඉඳල, මට පැය ගණං දිගට කෝල් කරමින් මේ කතාව පෝෂණය කරන රංග ටික කාලෙකට ඉස්සර කිව්වා, මේකට රිටිගල ජයසේනත් ගාව ගම්මු කියල.

      Delete
    4. //..ෆේස්බුක් එකේ දාන්න ගත්ත දා ඉඳල..// Alas! another one bites the dust

      එසමයෙහි බකුසානෝත් වැඩිය මහත නැති බකුසු රජව අසූදහසක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරුමුල පරිහරණය කෙරෙමින් ඒ කොන්ක්‍රීට් වනාන්තරයේ වසන්නාහුය.

      ඒ බකුසානෝත් ජාලය සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු, බුකියට බට පියවර මදැක බුකියෙන් ගොඩ නැගී පියවර නොදැක ඒ කාන්තයෙන් මේ අමුනුෂ්‍යපරිගෘහිත වූ බුකියක් වුවමැනවැයි දැන් බුකිගත නොවී උන්නාවූ තොප විසින් කෙළද ඉතා යහපත් වන්නේය. මේ අමුනුෂ්‍යධිගෘහිත පොකුණෙකැයි කිවුය. සකරබුරාක්‍ෂසයාද ඒ වඳුරන් දියට නොබස්නවුන් දැක නිල්වූ බඩ හා ධවල වූ මුක ඇතිව රත්වු අතුල්පත් පතුල්තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබැකොට නික්ම කුමක්නිසා උනුද බුකියට බැස දිය-බුං ගසවයි කීය.

      Delete
    5. තවද එක් සමයෙක්හි ඩ්‍රැකියාන කෙනෙකුන්ගේ මවුන්ගේ අභාවය වූ කල, සංවේගය පළ කරනු වස් තට්ටාධිපතියන් කැටිවැ බුලත් වට්ටියාධිපති ඇනෝපීලසාභිධාන කෙළෙඹි පුත් එහි වැද මහත් වූ කතා බහක් ඇති වියැ. එසමයෙහි බ්ලොග නම් වූ පරසක්වලට ඇලුම් පෑ තට්ටයාණෝත් ඩ්‍රැකියානෝත් "එම්බල කිම, දැන් දැන් බ්ලොගයේ මක්ෂිකාවෝ කරක් ගසන්නටත්, ෆේස්බුකයටම පුඟුලෝ රොද බඳින්නටත් කාරනා කිමදැ"යි අනෝපීලසානුවන් වෙතින් අසා පී කල්හි, "කොල හණ මිටි කරපින්නාගත් නාකි නමුත් නොහැකි බවට පත් නොවූ යොබ්බනයෙනි, දැන් දැන් ට්‍රෙන්ඩය වනාහී ෆේස්බුකය මැ වන්නේ ය. බ්ලොගයට වනාහී නැග යාම තවත් නම් නොවන්නේ ම යැ. ෆේස් බුකය සිඟිති ආතලයන්ට ආකරයකැ. තොප ලියමන් සංරක්ෂණයක් කරන්නට ඉටා ගන්නහු වන්නෝ නම්, පළමුව බිලොගයේ ලියාපී නමුත්, දෙවනු, තොප තොපගේ නමින් ෆේස්බුකයේ ගිණුමක්දැ, එයිනික්බිති ෆේස්බුකයේ තොප බ්ලොගයේ නමින් පිටුවක් දැයි තනා පියා, එහි ද පළ කළ මනා වන්නේ යැ. ඒ මන්ද යත්, හුදී දනෝ වැඩියක්ම හුදෙක් කම්මැලි හුටෝ වත් ම යැ. උන් කල් පවත්නා, වින්දනයක්, උගැන්මක් අන්තර්ජාලපයෙන් සොයන්නාහු ඉතා දුර්ලභ යැ, උදක් ම තප්පරයේ දෙකේ ළාමක ආතලයක් ම පතන්නෝ, බ්ලොග් නොවදිති..." යනාදීන් කියා තට්ටාධිපතියාණන් හා ඩ්‍රැකියානුවන්ගේ මෝහය දුරු කර පියා වදාළහ. ඒ අසාගෙන මළගෙදර ආවතේවයට තුමූ ම පත් කරගෙන උන් බේබද්දෙක් සෝවාන් ඵලයට පැමිණිය හ. තව බියර් බෝතලයක් පානය කර වදාරා හුන්නේ නම් උන්දෑ සිවු පිළිසිඹියන්නට පවා ඉඩ හසර තිබුණේ යැයි ද මෙයින් දත යුතු යැ.

      Delete
    6. සබඳ ඩ්‍රැකියාන,

      නුඹ වහන්සේ බුකිගත වන්නේ හුදෙක් ප්‍රචාරක කටයුතු සඳහා පමණක් බවත්, අනෙක් පුගුලන් මෙන් බ්ලොග් ලෝකයෙන් චුත නොවන බවත් පහදා දීම ඉතා යහපත් වන්නේයැ, එපවත් අසා මහත් වූ සොම්නසට පැමිණියෙමි

      Delete
    7. //ඒ අසාගෙන මළගෙදර ආවතේවයට තුමූ ම පත් කරගෙන උන් බේබද්දෙක් සෝවාන් ඵලයට පැමිණිය හ//

      සාදු....සාදු...සාආආආආ....

      Delete
    8. වන්නාටය, සබඳ බකුස. වන්නාටය. මම් වනාහී මහා කම්මැලියාණ කෙනෙක. එසේ හෙයින් මම් වහන්සේ නමින් ෆේස්බුකයේ පිටුවක් පවත්වා නොගනිම්මයැ. ලියනා පමණක් බ්ලොගයේ ම ලියන්නෙම් වෙමි. කවර හෝ දිනෙකැ මේ ලියනා මංගල්‍යයන් මතුදිනෙකැ පුත්‍රයාහට අතිජාත පියාණ කෙනෙකුන් වන පිණිසැ පහරුවේ පහරවන්නෙමැයි අධිෂ්ඨාන කරගෙන ඉඳින්නෝ යැ.

      Delete
  8. මෙහෙම හරි බ්ලොග් එක ලියවෙන එක ගැන සතුටුයි ඩ්‍රැකී අයියා ❤❤

    ReplyDelete
    Replies
    1. ආාා ටෙක් මල්ලි. උඹ තනියම නියම වැඩක් දෙනව, අපි බලාගෙන ඉන්නව...

      Delete
  9. Replies
    1. කවුද ඩෝ නැවතීමේ තිත විතරක් තිව්වෙ?

      Delete
  10. කියෙව්වා ෆෝන් එකෙන්. ඔන්න අද තමා ලැප් එකෙන් ලොග් උනේ. කමෙන්ට් එකක් දාන්ට..

    ReplyDelete
    Replies
    1. ආාා... කාලෙකින් දැක්කෙ. මගෙ පරණ ප්‍රශ්නෙට උත්තර ලැබුණ් නෑ බොගෙන්.

      Delete
  11. වැරදිලා අන්තිම එක කියවල මේකට ආව , ලංකාවේ හිටි දවස් වල මග හැරුන නිසා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... මං දැක්ක ඇවිත් ගිය බව

      Delete
  12. ඔක්කොම මේකෙන් කියවන්න ආවා මම ඒ ගමන

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි