Wednesday, June 22, 2022

සින්ද්බාද් දුටු ලංකාව


...

මා ගොඩබැස්සේ සෙරන්දිප් නම් දිවයිනේ බැවින්, එහි අගනුවරට පැමිණෙන තුරු අපි ගමන් කෙළෙමු. කළු මිනිස්සු ඔවුන්ගේ රජතුමාට මා දැක්වූහ. මම සිංහාසනය සමීපයට ගොස් ඉන්දියා දේශයේ රජවරුන්ට හොබනා පරිද්දෙන් ආචාර කෙළෙමි.  මම එතුමාගේ පා මුල වැටී පොළොව සිඹියෙමි. රජ තෙම මට නැගිටින්ට කියා, මහත් දයාබර ලීලාවකින් මා පිළිගෙන එතුමා ළඟින් හිඳගැනීමට කීවේ ය. එ තුමා පළමුවෙන් මගේ නම ඇසී ය.

"මිනිස්සු මට සින්ද්බාද් නාවිකයා ය කියත්. එසේ කියන්නේ මා විසින් නැව් නැග බොහෝ ගමන් ගිය බැවිනි. මම බගදාද් නගර වැසියෙකැ" යි කීමි.

"එහෙත් ඔබ මගේ රජයට කෙසේ පැමිණියෙහි ද? ඔබ අන්තිම වරට කිනම් ස්ථානයක සිට ආවෙහි දැ?" යි රජ තෙමේ ඇසුවේ ය.

මම රජතුමාට කිසිත් නො සැඟවීමි. ද තමුන්නාන්සේලාට දැන් කී සියල්ල ම එතුමාට කීමි. ඒ ඇසූ රජතෙමේ කොපමණ විස්මයට පැමුණුණේදැයි යතහොත්, මගේ ඒ ගමනේ තොරතුරු රත්රන් අකුරෙන් ලියා එතුමාගේ රාජ්‍යයේ සිදු වූ ප්‍රධාන කාරණා සඳහන් වූ ලේඛනත් සමඟ තැබීමට අණ දින.

අන්තිමේ දී මගේ පහුර ගෙනවුත් එතුමා ඉදිරියෙහි දී බඩු මිටි විවෘත කළෙමු. එතුමා කිහිරි ලී සහ ඇම්බර්ග්‍රීස් රාශිය දැක පුදුම විය. එහි තිබුණ රතුකැට සහ පද්මරාග සමාන වන එක ම මැණිකක් වත් එතුමාගේ භාණ්ඩාගාරයෙහි නො තිබුණේ ය.

රජතුමා මගේ මැණික් දෙස සතුටින් බලා ඉතා හොඳ මැණික් එකිනෙක ගෙන පරීක්ෂා කරන බැව් දැක, මම එතුමා ගේ පාමුල වැටී සමු ගෙන, "දේවයන්වහන්ස, මා පමණක් නොව පහුරේ පටවා තිබෙන මගේ බඩු සියල්ලත් ඔබවහන්සේට කැමැත්තක් කරගන්නා ලෙස ඉල්ලමි" යි කීවෙමි.

එ කල රජතෙමේ සිනාසී, "සින්ද්බාද් ඔබේ බඩුවලින් කිසිත් යමකු විසින් පැහැර නොගන්නා ලෙස පරිස්සම් කරවමි. එහෙත් දෙවියන් වහන්සේ විසින් ඔබට දී තිබෙන දේවලින් කිසිත් නොගන්නෙමි. මම ඔබේ වස්තුව හීන කිරීම වෙනුවට එය දියුණු කිරීමට අදහස් කර සිටිමි. මගේ ත්‍යාගවන්තභාවය ඔබට නොපෙන්වා මගේ රාජ්‍යයෙන් ඔබට යන්ට ඉඩ නොදෙමි" යි කී ය.

ඒ ගැන ම විසින් දුන් පිළිතුර නම් උතුම් හිතක් ඇති ඒ කුමාරයාණන්ගේ අභිවෘද්ධියත්, එ තුමාගේ දයාව දියුණු වීමත් ප්‍රාර්ථනා කොට යාච්ඤා කිරීම පමණකි. එතුමා මා පරිස්සම් කර ගැනීමට මුලාදෑනියකුට භාර දී, එතුමාගේ ම වියදමින් මට සංග්‍රහ කිරීමට මිනිසුන්ට නියම කෙළේ ය. මුලාදෑනි තෙම තමන්ට නියම කරන ලද යුතුකම් මනා ලෙස ඉෂ්ට කරන්නේ මා නැවතී සිටින ස්ථානයට එකී සියලු බඩු ම ගෙනයාමට නියම කෙළේ ය.

නියම කරන ලද වේලාවට මම සෑමදා ම රජතුමා දැකීමට ගොස්, ඉතිරි කාලය නගරය සහ වෙනත් වැදගත් දේවල් බලමින් ගත කෙළෙමි. සෙරන්දිප් නම් දිවයින සූර්යයා කෙළින් පිහිටා තිබෙන බැවින්, එහි දිවා රෑ දෙකට ම දොළොස් පැය බැගින් ඇති විය. එම දිවයින ගව් අසූවක් දිග ද එපමණ ම පළල ද වූයේ ය.

එහි අගනුවර දිවයින මධ්‍යයෙහි පිහිටි ඉතා උස් කඳු අතරේ මිටියාවතෙහි කෙළවරේ වූයේ ය. තුන් දවසක් මුහුදේ යාත්‍රා කළ විට එම කඳු පෙනේ. රතුකැට සහ වෙනත් ලෝහ වර්ග බොහෝ සෙයින් තිබේ. මැණික් ගල් කපා සමතලා කිරීමට පිළිවන් ලෝහ ගල් වර්ගයකින් එහි පර්වත බොහොමයක් සැදී තිබේ. පොල් ආදී නොයෙක් දුර්ලභ ගස් වර්ග එහි වැවේ. එහි තිබෙන ප්‍රධාන ගං මෝදර මුතු පරයක් තිබේ. සමහර මිටියාවත්වල දියමන්ති සම්බ වෙන්ට තිබේ. ආදම් ඒදන් උයනෙන් පහකර ලැබූ පසු සිටි ස්ථානය වන්දනාව පිණිස යාම සඳහා එහි කන්ද මුදුනට මට නගින්ට සිදු විය.

නැවත මම අගනුවරට අවුත් මගේ සිය රටට යාමට අවසර දෙන ලෙස රජතුමාගෙන් ඉල්ලීමි. රජතෙමේ ඉතා ගෞරවාදරයෙන් ඊට අවසර දින. එතුමා මට මහත් තෑග්ගක් දෙන්ට අදහස් කර සිටි බැවින් යන්ට අවසර ගැනීමට මා ගිය කල බලාපොරොත්තු වුණාටත් වඩා වටිනා තෑගි මට දී, අපේ සියරටේ රජතුමාට දෙනු පිණිස ලියුමකුත් මට භාර දී.

"මේ ලියමන සහ තෑගිත් මා එව් බව කියා කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට දී මා කෙරෙහි පැවති මිත්‍ර ධර්මය ගැනත් කියව." යි කීය. මම තෑග්ගත් ලියුමත් ඉතා ගෞරවයෙන් ගෙන රජතුමාගේ වුවමනාව කී පරිද්දෙන් ඉෂ්ට කරන බව කීමි. මා නැවට නැඟීමට මත්තෙන් රජතෙමේ ඒ නැවේ කප්පිත්තා සහ වෙළෙඳුන් ගෙන්වා ඉතා ගෞරවාදරයෙන් මට සංග්‍රහ කළ යුතු බැව් කීවේ ය.

සෙරන්දිප් දිවයිනේ රජතුමා විසින් දෙන ලද හසුන සපයා ගැනීමට ඉතා දුර්ලභ වූ සතෙකුගේ සමක ලියන ලද්දකි. එම හසුන් පතේ අකුරු නිල් පාටින් ලියා තුබුණේ ය. එහි අඩංගුව තිබුණු කරුණු මෙසේ ය.

"ඉදිරියෙහි ගමන් කරන ලද ඇතුන් සියයක් ඇති රතු කැට දස දහසකින් බබලන්නාවූ මාලිගාවක වාසය කරන දියමන්තිවලින් අලංකාර කොට භාණ්ඩාගාරයෙහි රැස් කරන ලද ඔටුණු විසි දහසක් ඇති ඉන්දියා දේශයේ රජ විසින් කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට ලියා එවන ලදි.

"ඔබවහන්සේට අප විසින් එවන ලද තෑගි ඉතා ස්වල්ප නමුත් ඔබවහන්සේට අප කෙරෙහි පැවති කරුණාවේ ලකුණක් වශයෙන් සහෝදරයෙක් නොහොත් මිත්‍රයෙක් මෙන් එය පිළිගත මැනවි. අපිත් ඔබවහන්සේ මෙන්ම උත්තමයන් බැවින් ඔබවහන්සේත් අප කෙරෙහි මිත්‍ර ධර්මයෙන් පැවතීම අපට මහත් ප්‍රයෝජනයකැයි සිතම්හ. ඔබවහන්සේ අපේ සහෝදරයෙකු පරිද්දෙන් සලකම්හ. ඔබවහන්සේට යහපතක් ම වේවා" යනුයි.

එසේ යවන ලද තෑගිවලින් පළමුවෙනි තෑග්ග නම් රතු කැටයකින් කපන ලද අඩියක් උස්වූ අඟලක් ඝන වූ මුතුවලින් පුරවන ලද කෝප්පයකි. දෙවෙනි තෑග්ග නම් රන් මුදල් ප්‍රමාණ කොරපොතුවලින් ගැවසීගත් යමෙකු විසින් අත ගෑ කෙණෙහි ම රෝග සුවවන සුලු ගුණයක් දරන්නාවූ සර්පයෙකුගේ සමකි. තුන්වෙනි තෑග්ග නම් කිහිරි ලී අවුන්ස විසි පන්දාහක් සහ කපුරු මඤ්චාඩි තිහකි. හතරවන තෑග්ග නම් ස්වර්ණාභරණයෙන් සරසන ලද රූපශ්‍රීයෙන් යුත් තරුණ වහල් ස්ත්‍රියකි.

නැව පිටත් වී බොහෝ දවස් යාත්‍රා කළ පසු අපි බැල්සෝරා නගරයට පැමිණියෙමු. එතනින් පිටත් ව බග්දාද් නගරයට ගොස් මා විසින් කළ පළමුවෙනි කටයුත්ත නම් රජතුමාගේ පණිවිඩය ඉෂ්ට කිරීම ය.

මම සෙරන්දිප්හි රජහුගේ ලියුම රැගෙන රූපශ්‍රීයෙන් යුත් වහල් ස්ත්‍රියත් සමග තෑගිත් ගෙන්වාගෙන සුල්තාන් රජතුමාගේ මාළිගාවේ දොරටුවට ගියෙමි. වහාම මා ආ කරුණ දැන්වූ කල ඒ රජතුමාගේ සිංහාසනය වෙතට මම ගෙනයනු ලැබීමි. මම සුදුසු පරිද්දෙන් රජතුමාට ගෞරව කොට ටික වේලාවක් කථා කළායින් පසු හසුන් පත සහ තෑගිත් දුනිමි. රජ තෙමේ සෙරන්දිප් හි රජහුගේ ලියුම කියවා, එතුමා විසින් එහි කියා තිබෙණ තරම් ඇත්තෙන් ම ධනවත් දැයි ඇසී. මම දෙවනුවත් අඩදණින් වැඳ,

"දේවයන්වහන්ස, එතුමාට ඇතිවාට වඩා යමක් නොකියා තිබෙන බවට සහතික වෙමි. මම ඒ ගැන සාක්ෂි වෙමි. එතුමාගේ මාළිගාව මෙන් බැලීමට හොබනා අනර්ඝ දෙයක් නැත්තේ ය. එතුමා නගරයේ ප්‍රදර්ශනය කරන කළ ඇතෙකු පිට සවිකර තිබෙන සිංහාසනයක නැගී යයි. දෙපසින් එතුමාගේ මන්ත්‍රීහු ද, මිත්‍රයන් සහ රජවාසල වෙනත් පිරිසත් යති. එම ඇතා පිට එතුමාට පෙරමුණෙන් සිටින මුලාදෑනියෙක් රත්රන් හෙල්ලයක් ගෙන සිටියි. එම සිංහාසනය පස්සෙන් රත්රන් මුගුරක් ගත් තවත් මුලාදෑනියෙක් නැගිට සිටියි. එම රත්රන් මුගුර මුදුනෙහි අඩි බාගයක් දිග වූ, අඟලක් ඝන වූ, පද්ම රාග මාණික්‍යයක් ඔබා තිබේ. රන්කම් කළ රෙදිවලින් සහ පට පීළීවලින් සැරසුන ආරක්ෂාකාර මිනිස්සු දහයක් පමණ අලංකාර වූ ඇතුන් පිට නැග එතුමා පෙරටුවෙන් ගමන් කරති.

"රජතුමා ප්‍රර්ශනය කරන කල්හි එතුමාගේ ඇතා පිට ම පෙරමුණේ සිටි මුලාදෑනිතෙමේ වරින් වර මහත්සේ් හඬ නගා, 'රතුකැට දස දහසකින් අලංකාර කරන ලද දියමන්ති ඔටුණු විසිදාසක් ඇත්තා වූ සින්ධු දේශයෙහි අති බලසම්පන්න මහ රජතුමා බලව්. සලමොන් රජතුමා සහ බලසම්පන්න වූ මහා රජතුමාටත් වඩා උතුම් වූ මේ නරෝත්තමයා දෙස බලව්' යි කියයි.

"ඔහු මෙසේ කී කල සිංහාසනයට පස්සෙන් සිටින මුලාදෑනි තෙමේ,

" 'මේ ‌බඳු බලසම්පන්නවූ උතුම් මහරජ තුමා පවා මරු වසඟයට පැමිණෙන්නේ ය' යි කියයි.

"එ කල පෙරමුණ සිටින මුලාදෑනි තෙමේ,

" 'සදාකාලයට ම ජීවත් වන උත්තමයාණන් වහන්සේට ප්‍රශංසා වේවා!' යි කියති.

"මේ හැර සෙරන්දීප් හි රජතුමා කොපමණ ධර්මිෂ්ඨ කෙනෙක්දැයි කිවහොත්, එතුමාගේ රාජ්‍යයෙහි විනිශ්චය කාරයෝ නො සිටිය හ .ඒ රාජ්‍යයේ වැසියන්ට විනිශ්චය කාරයන් ඔ්නෑ නොකෙරේ. යුක්තායුක්ත මේ මේ යයි ඔවුනට ම මනා ලෙස වැටහේ ය." යි කීමි.

කාල්ෆ් රජ තෙමේ මා කී කරුණු ගැන බොහෝ සෙයින් සතුටු විය.

"එම රජතුමාගේ ප්‍රඥාව ඔහුගේ ලියුමෙන් පෙණී යේ. එතුමාගේ ප්‍රඥාවට මෙබඳු කුමාරයෙක් හොබනා බවත් නුඹේ කථාවෙන් පසු දැන ගතිමි."යි කීයේ ය.

එතුමා මෙසේ කියා තෑග්ගක් දී මා යැව්වේ ය.


මෙය, පස් වන ප්‍රමාණයේ මව්බස කියවීම් පොතකින් උපුටා ගත්තෙමි. මේ කතාව ඇල්බට් ද සිල්වා විසින් පරිවර්තිත අරාබි නිශොල්ලාසය පොත් පෙලේ තුන්වන වෙළුමේ 387 පිටුවේ සිට පළකර ඇති බව පසුව දැනගතිමි.

30 comments:

  1. Jagath PathiranaJune 22, 2022 at 7:44 AM

    අරාබි නිසොල්ලාසේ සෙරන්දිබ් නමින් රටක් ගැන කතා කීපයක් තියෙනවා ඒ නමින් රටවල් 2 හෝ තුනක් හඳුන්වලා තියෙනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන්. කොහොමත් ඔව්වා කතන්දර විදිහට ම රසවිඳිනවා ඇර වෙන දෙයක් නං නෑ. මේ කතාවෙත් ආදම් ගෙ කන්දක් ගැන එහෙම තියෙනවනෙ. ගොඩක් වෙලාවට වෙළෙන්දන්ගෙ ආගිය තොරතුරුවලින් හදාගත්ත විස්තර වෙන්න පුළුවන්... කොහොමත් ලකදිව් කියලත් දූපත් වගයක් තියෙන එකේ, සෙරන්දිබ් කියන්නෙ සිංහල ද්වීපය ම විතරක් වෙන්න බෑ.

      Delete
  2. වශී බෝලයක් තිබිල නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මැණිකක් ගැන විස්තර තියෙනව තව කාගෙ හරි කතාවක. මට මතක නෑ සමහරවිට ෆාහියන් හාමුදුරුවන්ගෙ හරි හියුං ත්සාංගෙ හරි, මාර්කෝ පෝලෝ ගෙ හරි කතාවක. රජ්ජුරුවො අතේ බැඳගෙන ඉන්න මැණිකකින් හැම තිස්සෙම තමංගෙ මූණ පිහදානවලු, මූණ කාන්තිමත් වෙන්න...

      Delete
  3. යුක්තායුත්ත තේරෙන අය වඳ වීලා
    නුවණ නැති දනන් දැන් නම් රජ වීලා
    කාගෙ මල්ල හරි මංකොල්ලා කාලා
    වැජඹෙති, සෙරන්ඩිබ් රට බල්ලට යවලා!

    ReplyDelete
    Replies
    1. ඔහොම ඈයො හිටියේ මොන කාලෙකද?
      ඇට නැති දිවට කියන්ඩ බැරි මක්ක වෙද?
      ඡන්ද කාලෙ මවනා ප්‍රතිරූප හොඳ
      ඔක්කොම ඔය වගෙයි අන්තිමෙ, හා නැද්ද?

      Delete
  4. //රන් මුදල් ප්‍රමාණ කොරපොතුවලින් ගැවසීගත් යමෙකු විසින් අත ගෑ කෙණෙහි ම රෝග සුවවන සුලු ගුණයක් දරන්නාවූ සර්පයෙකුගේ....//

    සර්පයා නිදහස්

    ReplyDelete
  5. අතීතයේදී, කතන්දර අතිශයෝක්තියෙන් කීම සමාජය පිළිගත්ත දෙයක් කියා සිතනවා. සාමාන්‍ය වීර කතා වල විතරක් නොවේ, බොරුකීම පවක් ලෙස දැකපු ආගම්වල පවා, බණකතාවල මේ ගතිය තියනවා. කතාවක් ලෙස රසවිඳීමට බාධාවක් නැති නමුත්, පුරාවිද්‍යාත්මක සාක්ෂි සෙවීමේදී, මෙය සෑහෙන බාධකයක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කතන්දරවලට කතන්දර විදිහට ම තියෙන්ඩ ඇරීම වඩා හොඳයි කියලා. පුරාවිද්‍යාවට ඔයිට වඩා වැඩ තියේවි, අතීත මුතුන් මිත්තන් ගේ දිවි පෙවෙත ගත කළ හැටි ගැන සොයා බැලීම වගේ...

      කොහොමත්, කවදත්, තොරතුරු කියන්නේ සත්‍යය ප්‍රතිනිර්මාණය කිරීමක්. එතනදී, නිර්මාණකරු සුළුවෙන් හෝ අතින් එකතු කරන යමක් තියෙනවා.

      Delete
  6. ඔය ඇල්බට් ද සිල්වා කියන්නෙ බෙම්තොට ඇල්බට් සිල්වාද? උඹ ඔහු ගැන යමක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම දන්නෙ නෑ. පොතේ සංඤාපණයේ තියෙනවා බෙම්තොට ඇල්බර්ට් සිල්වා කියලා. ඒ හැර වෙන විස්තරයක් නෑ.

      මෙතන යමක් තියෙනවා ඔහු ගැන...

      Delete
  7. Replies
    1. ආාා... එව්ව මෙව්ව නෙමෙයි, හෙරොයින් ඉතුරු ටික ඔ්නෙ.

      Delete
  8. සුතධර හිමිJune 23, 2022 at 5:38 AM

    මුල්ලපිටියේ කේ.එච්.ද සිල්වා විජය ශ්‍රි වර්ධන (මුල්ලපිටියෙ රාළහාමි) ලියා ඇති සිංහල නව කතාවේ පුරෝගාමියා පොතට පාදක වූ ඇල්බට් සිල්වා වෙන්න ඇති මේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අපෙ හාමුදුරුවනේ. එතුමා තමයි. මේ පොත් ටික 1894 ප්‍රකාශයට පත් කළාට පස්සෙ දෙවෙනි මුද්‍රණය ගොඩ‌ගේ විසින් 2001 දි කළා. (මගෙ වාසනාවට මට සල්ලි තිබුණා ඒ දවස්වල පොත් ඔක්කොම ගන්න.) ගොඩගේ ගේ ප්‍රකාශන අයිතිය නිසා මට උපුටා බ්ලොග් එකේ පළ කරන්න බැරි වීම ගැන කණගාටුයි. නැත්නම් සින්ද්බාද් ගෙ හරිම විසිතුරු කතා තියෙනව.

      Delete
    2. මගේ ළඟත් ඔය ගොඩගේ පොත් ටික තියෙනවා. (එහෙදී මම ඔය පොත් ටික අතගාලා බලනවා දැක්ක අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතා ඒ පොත් ටික අරං මට තෑගී කළා.)
      https://nidigepanchathanthare.blogspot.com/2019/09/desert-rose.html
      ඒකෙ සමහර කතන්දර නං එච්චර රසවත් නෑ.

      Delete
    3. කේ බී සුගතදාස මහත්තෙය පරිවර්තනය කළා විඩක්, අරාබි නිසානන්දය කියලා පොත් සෙට් එකක්. ඒකෙ නියම අරාබි නම් එක්ක පරිවර්තනය කරලා තිබුණා. මහින්ද .. (මට අන්තිම නම එකපාරටම මතක් වෙන්නෑ) මහත්තයා පරිවර්තනය කරල තිබුණා ලස්සනට, ඒ පොත එයා ඔන්ලයින් විකුණුවා. මට තැනින් තැනින් කියවන්න ලැබුණා. ඒක පට්ට ම රසවත්.

      Delete
    4. ඒ ඔන්-ලයින් පොත ගන්න ඇහැකි ලින්ක් එකක් තියේද?

      Delete
    5. ෆේස් බුක් එකේ හොයල බලන්ඩ “මහින්ද එක් දහස් එක් රැය“ කියල...

      Delete
  9. /යමෙකු විසින් අත ගෑ කෙණෙහි ම රෝග සුවවන සුලු ගුණයක් දරන්නාවූ සර්පයෙකුගේ සමකි./
    ඔය னයෙක්ගෙ හමක්ය කියල තිබ්බ එක බොලා හිතාමතාම සඟවාහැරිය නේද?

    ඔවු මේ ඒ னයා තමයි.

    ReplyDelete
    Replies
    1. னයෙක් ගෙ තමයි. "පෙර" සමක් කියලත් තිබුණා.

      ඇනෝனයා... එනව මෙතන මට කියන්ඩ! දුහ්!

      Delete
    2. නයින්ට දුහ් කිව්වට ඇහෙනවය? සර්පයන්ට කන් නැහැල්ලු නේද?

      Delete
    3. උන්දැට හොඳට ම ඇහෙන්නෙ "පතෑං" සද්දෙ...

      Delete
    4. මේ னයාත්, ප්‍රස னයාත් ඇර, තවත් னයි ඇද්ද?🤔

      Delete
    5. ඔය ඔක්කොම එකයි මල්ලි. මොන මොන දේ කිව්වත් දෂ්ට කරන්නෑ.

      Delete
    6. @බස්සා, වෙන னයි ඉන්නවනං අර රවිය තමයි ඉතිං.

      @වවුලා, වෙලාව ආවම බලාගමු. මේ දවස්වල හොස්පිටල් වල බෙහෙත් නෑලු.

      Delete
  10. ela

    thawa syndi ekk blog kiyawanna, blog add karanna ma patha enna https://sithuvili.net/

    ReplyDelete
    Replies
    1. හූම්ම්... මයෙ එකත් එල්ලන්ඩ ඒකෙ. මං එන්නංකො බලල යන්ඩ.

      Delete
  11. අපි පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට තමා බොටත් post දාන්න හිතෙන්නෙ..

    ලියවිලා තියෙන විදිහනම් ටිකක් කටෝරයි... පැරණි සිනහල ආබාසෙ නිසා වෙන්ටැති.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි