Sunday, November 6, 2022

මා නායකයෙකු සහ කළමනාකරුවෙකු කළ අරවින්දි මහත්මිය

රාජ්‍ය සේවයට මා එක් වූයේ තුන්වන පංතියේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයට ය. මා පත්වීම භාර ගැනීමට ගිය දවසේ මා එහි කැටිව ‌ගොස්, එහි ප්‍රධානීන්ට හඳුන්වා දුන් සෝමදාස මහතා, රාජ්‍ය සේවයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඉතා ම හොඳ අංශය වන්නේ ගිණුම් අංශය බව මට පෙන්වා දුන්නේ ය. සෝමදාස මහතා කලින් පළාත් පාලන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ  ප්‍රධානී ලෙස සේවය කර, ඉන් පසු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වී සිටියේ ය.

පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ ඇලෝසියස් මහතාත්, ගණකාධිකාරී රම්‍යා මහත්මියත්, මුදල් සහකාර මදරසිංහ අයියාත් ගෙන් රාජ්‍ය සේවයේ රෙගුලාසි සහ ආයතනික ක්‍රම ගැන මූලික දැනීම අහුලා ගන්නට මාත්, සමකාලිනව රාජ්‍ය සේවයට එක් වූ අනෙක් අයත් සමත් වූයෙමු.

ඇලෝසියස් මහතා ස්ථාන මාරුවක් ගෙන මුදල් අමාත්‍යාංශයට ගිය පසු, අපට ලැබුණේ ඉතා රම්‍ය ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු වූ අතර, ඔහු ගැන යම් තාක් දුරක තොරතුරු මාගේ ඔපිස් කතා සහ ඔපිස් පුරාවෘත්ත පෝස්ට්වල සඳහන් කෙරුනි. ඔහුගේ තිබූ ඉතා ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ පිරිමි පාර්ශ්වය පිළිබඳව දැක්වූ අසාත්මිකතාව ය. එවක දේශීය ණය සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රණවීර මහතා හට මා හදිසි රාජකාරියක් ඉටු කර දුන් වතාවක, මා ද ඉදිරිපිට, රණවීර මහතා, ප්‍රධාන ගණකාධිකාරීවරයා ට මා පෙන්වා, "He's an asset to you" යැයි කියූ බව ද මා හට මතක ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ විදේශාධාර ව්‍යාපෘති පිළිබද රාජකාරි ඉටු කිරීමට, ඇලෝසියස් මහතා මා අනුයුක්ත කළේ මා හට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ පරිගණක ආශ්‍රයෙන් වැඩ කිරීමට පැවති හුරුව නිසා ය. එහෙත් පසුව ආ ප්‍රධාන ගණකාධිකාරීවරයා මා හට පැවසූයේ "ඔය ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්තට, කම්පියුටර් ටිකක් අත පත ගෑවට ඇති වැඩක් නෑ" යන වග ය. 

කෙසේ වෙතත්, පැවති හිරිහැර හා නොසළකා හැරීම් අතර, මාගේ සමකාලීනයෙකු වූ වසන්තා කුමාරි (දැන් ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරිණියකි) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපිකරුවන් ස්ථාන මාරු කරවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට වූ දැන්වීම මා වෙත පෙන්වීම මා හට මහඟු අවස්ථාවක් විය. ඒ සඳහා අයදුම් කිරීමෙන් පසු, මා ද තවත් කිහිප දෙනෙක් ද තෝරා ගනු ලැබුණේ ය. ඒ අනුව, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මුදා හරින ලෙස එවන ලද දැන්වීමට ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ ප්‍රතිචාරය වූයේ, මා වෙනුවට අනුප්‍රාප්තිකයෙකු නොමැතිව මුදා හළ නොහැකි බව ය.

මීට පිළීයමක් අපේක්ෂාවෙන් මා කිහිප දෙනෙකුගේ පිහිට පැතූ නමුත්, මා හට පිහිට වූයේ, එවක පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වවරයෙකු ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා ය. ඔහු ප්‍රධාන ගණකාධිකාරීවරයා දුරකථනයෙන් අමතා, "රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ ඝට්ටණ ඇති කර නොගන්නැයි" උපදෙස් දුන්නේ ය. එතුමා මා හට ලබා දුන් සහයෝගය, අමාත්‍යාංශ ලේකම්වරයාවත් ඉටු කර ‌දීමට මැළි වූ සහයක් විය.

එසේ මා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ස්ථාන මාරු වී රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සේවයට වාර්තා කල පසු දැනගන්නට ලැබුණේ, මා අනුයුක්ත කරන්නට යන්නේ ගිණුම් අංශය වෙත බව ය. ඒ වන විට මාහට ගිණුම් අංශයන් සහ ගණකාධිකාරීවරුන් තිත්ත වී තිබුණි. මා මේ තාක් සේවය කළේ ගිණුම් අංශයේ වන බැවින් මා වෙනත් අංශයකට අනුයුක්ත කරන මෙන් මා ඉල්ලූ අතර, එය දැනගත් ගණකාධිකාරීතුමිය (නියෝජ්‍ය ලේකම් - මුදල්) වූ අරවින්දි ද සිල්වා මහත්මිය මා තමන් වෙත ම අනුයුක්ත කරන මෙන් පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හට දැන්වූ බව, පසුව මා හට කීවේ එම ගණකාධිකාරීතුමිය ම ය.

කෙසේ වුවත්, මා හට හිතා හදා ගන්නට සිදු විය. කොහේ ගියත්, පලාත් පාලන අමාත්‍යාංශයේ සිටි ප්‍රධාන ගණකාධිකාරීවරයා වැනි තවත් මනුෂ්‍යයෙකු මේ ලොව සිටීමට ඉඩ අල්ප බව සිතා යම් තාක් දුරකට හිත හදා ගත් මම ගිණුම් අංශයට ගියෙමි. ඒ ද, අප රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයට වාර්තා කර සතියකට පමණ පසුව ය. අප අංශවලට අනුයුක්ත කිරීම ප්‍රමාද වන බව දුටු ගණකාධිකාරීතුමිය මාගේ විස්තර අසා ගෙන, තම අංශයේ නිලධාරිණියන් ලවා මා අනුයුක්ත කරන ලිපිය ටයිප් කරවා යවා, මා ඇගේ අංශයට අනුයුක්ත කරවා ගත් බව දැනගත්තේ, මා ඒ අංශයට ගිය පසුව ය.

ගිණුම් අංශයේ සේවය කළේ කළමනාකරණ සේවා නිලධාරීන් (ලිපිකරු සේවය දැන් හඳුන්වන නම) මා ද ඇතුළත් ව හත් දෙනෙකි. ශාඛා ප්‍රධානී වූ සනත් සිල්වා මහතාත්, මැන්ඩිස් මහතාත්, මල්ලිකා මහත්මියත්, පුෂ්පා මහත්මියත් ඉතා ම දීර්ඝ සේවා කාලයක් සහිත පළවෙනි පංතියේ ලිපිකරු / කළමනාකරණ සේවා නිලධාරීන් වූ අතර, මාත් තවත් නිලධාරිනියන් දෙදෙනෙකුත් තුන්වන සහ දෙවන පංතියේ ලිපිකරුවන් වූයෙමු.

එසේ තිබිය දී, ගණකාධිකාරීතුමිය මා වෙත පැවරූ ප්‍රථම රාජකාරිය වූයේ ගබඩා භාරකරු රාජකාරියයි. රජයේ දේපළ පිළිබඳව භාරකාරත්වය දැරීම වගකීමක් සහිත රාජකාරියකි. ඕනෑ ම අවස්ථාවක විගණනය කිරීම සඳහා ගබඩාවේ ලේඛන සමඟ සමානව තොගය පවත්වාගත යුතු වේ. ගබඩාවට බඩු භාර ගැනීමත්, එක් එක් අංශවල ඉල්ලීම් අනුව බඩු නිකුත් කිරීමත්, ඒ සියල්ල ලේඛනගත කිරීමත් දෛනික රාජකාරියක් වූ අතර, භාණ්ඩ නිකුත් වීමේ ප්‍රවණතා හඳුනාගෙන යළි ඇනවුම් මට්ටම් තීරණය කරමින්, භාණ්ඩ අවසන් වීමට පෙර නැවත ඇනවුම් කිරීම ඉතා වැදගත් කටයුත්තක් ද විය.

මම ගබඩාවේ කටයුතුවලට හුරු වූ පසුව අරවින්දි මහත්මිය මා හට මැන්ඩිස් මහතා සමඟ ගොස් භාණ්ඩ සැපයුම් කටයුතු ද හුරු වන්නට අවස්ථාව ලබා දුන්නා ය. මැන්ඩිස් මහතා විශ්‍රාම ගිය පසු සැපයුම් කටයුතු ද මා වෙත පවරන ලදි. ප්‍රසම්පාදන හෙවත් සැපයුම් කටයුතු, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම, ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීමේ කටයුතු, ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ පවත්වාගැනීම ආදී වශයෙන් ප්‍රසම්පාදනයේ කාර්ය පරාසය විවිධ සහ විස්තීර්ණ මට්ටමක පවතී. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය කුඩා කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයක් වූ බැවින්, ඉහත කටයුතු තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වූ බැවින්, මා හට එම කටයුතු මනාව ඉගෙන ගැනීමට හැකි විය.

විටින් විට අරවින්දි මහත්මිය මා හට ගිණුම් අංශයක පවතින රාජකාරි සියල්ලක් ම පාහේ පවරමින් සියලු දේ ඉගෙන ගැනීමට මා හට අවස්ථාව ලබා දුන්නාය. ඒ අනුව, ගබඩාව, ප්‍රසම්පාදන, රාජ්‍ය ගිණුම් පවත්වාගෙන යාමේ මෘදුකාංගය සමඟ වැය ලෙජර, මුදල් පොත, වැටුප් ලේඛන, විගණන විමසුම්, වාර්ෂික පාලන වාර්තාව, මාසික ගිණුම් සාරාංශ සකස් කිරීම, බැංකු සැසඳුම් ප්‍රකාශය ආදී උගත යුතු සියල්ල පාහේ මා හට උගෙනීමට අවස්ථාව ලැබුණේ ය.

2008 වර්ෂයේ රාජ්‍ය සේවා කොමිසමෙහි කාලය අවසන් වූ අතර, එවක පැවති රජය, කොමිසමේ සාමාජිකයන් නැවත පත් කළේ නැත. 17 වන සංශෝධනය අනුව, කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කළ යුතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව ය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එක් සාමාජිකයෙකු පත් කරන්නේ ජනාධිපති විසිනි. එම සාමාජිකයා පත් නොකළ නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රිය මට්ටමක පැවතිණ. (19 වන සංශෝධනයෙන් මේ දුර්වලතාව ඉවත් කෙරුණු අතර, සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු පත් නොකළ ද, සිටිනා සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන තත්ත්වයක් පැවතිණ.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමැතිව වෙනත් කොමිෂන් සභා මෙන් ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ද පත් කළ නොහැකි විය. එම සාමාජිකයන් නැවත පත් කෙරුණේ 2010 වර්ෂයේ (මතක ඇති ආකාරයට) 18 වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුවය.

ඉතින් කොමිෂන් සභාව අක්‍රියව පැවති කාලයේ අප කාර්යාලයේ ආයතන, විනය, හා අභියාචනා අංශවල රාජකාරි ඉතා අල්ප විය. එය අවස්ථාව කරගත් එවක සිටි වැඩ බලන ලේකම්වරයා කාර්යාලයේ සියලු දෙනා පුහුණු වැඩසටහන්වලට යොමු කළේ ය. එසේ පැවැත්වුණු එක් පුහුණු වැඩසටහනක් ආවරණය කළේ "කාර්යාල ක්‍රම" ය. සියලු ලිපිකරුවන් ඊට සහභාගී විය යුතු බව ට වැඩබලන ලේකම්වරයා නියෝග කළේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිටි ලිපිකරුවන්ගෙන් ඉතා බහුතරය පළමුවෙනි පංතියේ නිලධාරීන් වූ අතර, අවුරුදු විස්සකට වඩා පළපුරුද්ද තිබූ නිලධාරීන් ය. ලේකම් වරයාගේ නියෝගය අනුව ඔවුන් සියලු දෙනා ට රැස්වීම් ශාලාවට ගොස්, දේශකයා වෙතින්, ගොනුවලට ලිපි අමුණන ආකාරය, සටහන් ලියන ආකාරය, ලිපි සකස් කරන විට කළ යුතු පිරිවිතර ආදී කරුණු අසාගෙන සිටීමට සිදු විය.

ඉහත කී පුහුණු වැඩසටහනක අවසාන දිනයේ දී දේශක වරයා වෙත කළ යුතු ගෙවීම වෙනුවෙන් චෙක්පත නිකුත් කරන්නට ගිණුම් අංශයට සිදු විය. ලිපිකරුවන් සියලු දෙනා දේශනයට සහභාගී වීම ද අනිවාර්ය විය. එහිදී අරවින්දි මහත්මිය ගෙවීම සම්බන්ධ සියලු කටයුතු ඉටු කරවා ගත්තේ අප අංශයේ සිටි නවක කාර්යාල කාර්ය සහායකවරිය ලවා ය. වවුචරය පරීක්ෂා කිරීම, වැය ලෙජරයේ සටහන් කර, ප්‍රතිපාදනවලින් අඩු කිරීම, මුදල් පොතේ සටහන් කිරීම, චෙක්පත ලිවීම යන සියලු කටයුතු, ඉහත කී කාර්යාල කාර්ය සහායකවරියට කියා දුන් අරවින්දි මහත්මිය, නියමිත‌ වේලාව වන විට චෙක්පත දේශකවරයා වෙත නිකුත් කළා ය. ඉහත කටයුත්ත ඉටු කළ කාර්යාල කාර්ය සහායකවරිය පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට ගණකාධිකාරීවරියකි.

වැඩ බලන ලේකම්වරයා විසින්, කාර්යාලයේ දියුණුවට අංශ භාර නිලධාරීන් වෙතින් අදහස් කැඳවූ අවස්ථාවක දී අරවින්දි මහත්මිය මා ගෙන් ද අදහස් විමසුවා ය. අප ඉදිරිපත් කළ එක් යෝජනාවක් වූයේ එස් පහ සහ ඵලදායිතා කව ක්‍රියාත්මක කරවීම ය. එය වැඩබලන ලේකම් වරයාගේ නියෝගයක් ලෙස නැවත අප වෙත ලැබුණු අවස්ථාවේ, අප අංශයේ ඵලදායිතා කව නායකයා ලෙස අරවින්දි මහත්මිය මා යෝජනා කළා ය. අප ගේ කවයේ නම ලෙස ඇය යෝජනා කළේ "ශිත්සුකෙ" ය. අනෙක් අංශයන් "ගගන", "සඳ" වැනි නම් යොදා ගනිද්දී, අපගේ ඵලදායිතා කවය මුල් පියවරින් ම ජාත්‍යන්තර මට්ටමට සමීප විය.

අරවින්දි මහත්මිය හරිත ඵලදායිතා කටයුතු අතර...

අරවින්දි මහත්මිය ගේ කළමනාකරණය යටතේ අප සියලු දෙනා ම ඉතා ම ඉහළින් අභිප්‍රේරණය වී කටයුතු කළෙමු. රියදුරන් වූ බන්දුල සහ චමින්ද ද ඒ අතර වූ අතර, නිර්මාණශීලී කලාකරුවෙකු වූ චමින්ද ඉතා සරළ සහ බහුවිධ භාවිතයක් සහිත පෑන් රඳවනයක් තැනීම සහ ඉවත දමන ඇස්බැස්ටෝස් පුවරු මත ඇඳි චිත්‍ර මඟින් අප ඵලදායිතා කවයේ තත්ත්වය උසස් කළේ ය. බන්දුල රියදුරු මහතා ඵලදායිතා කව ක්‍රියාකාරකම්වලට අවශ්‍ය සහ සුදුසු ලිපිද්‍රව්‍ය සහ වෙනත් දේ අඩුමිලට ගැනීමට හැකි තැන් සහ ක්‍රමවේදයන් දැන සිටියේ ය. කුරුඳුපොලු වලින් අප සකස් කළ රාමුවක් බිත්තියේ රඳවා දැන්වීම් පුවරුවක් සකස් කළෙමු. අපගේ කාර්යාලයේ පාටිෂන් සකස් කර තිබුණේ ලෝහ තහඩු වලිනි. එහෙයින් වෙනත් කිසිවක් නොමැතිව ලිපි රැඳවීමට චුම්බක සහිත ක්ලිප්වලට හැකිවිය. පරිගණකවලට භාවිත වන ස්පීකර්වල වයර් කපා දිගු වයර් යොදා, අංශයේ සිවිලිමට ආසන්නයෙන් සවිකළේ බන්දුල ය. ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් අපගේ ප්‍රගතිය පරීක්ෂා කර, ලකුණු දීමට පැමිණෙද්දී ඒ ස්පීකර් මඟින් මෝසාට් ගේ සිම්ෆනි වාදනය කරවීමට අපි කටයුතු කළෙමු.

චමින්දගේ චිත්‍ර සහ බන්දුල සැපයූ මාළු ටැංකිය

අපේ දැන්වීම් පුවරුව


ගබඩාව සහ ‌ගිණුම් අංශයේ පැරණි ලේඛන සහිත ලේඛනාගාරය විධිමත් කිරීම ද අප විසින් විධිමත් පරිදි ඉටු කළ අතර, පෙර පැවති තත්ත්වය ඡායාරූප මඟින් ඒ ඒ තැන්වල ප්‍රදර්ශනය ද කළෙමු.


චමින්ද හැදූ පෑන් රඳවනය

සමාජ සුභසාධන කටයුතු දෙකක් ද ඒ ආශ්‍රිත කාලයේ දී අපගේ ඵලදායිතා කවය මඟින් සිදු කිරීමට අපට හැකි විය. ඊට මඟ පෙන්වූයේ සහ අප මෙහෙයවූයේ අරවින්දි මහත්මියයි.

මැන්ඩිස් මහතා අප අංශයේ සිටි ජ්‍යෙෂ්ඨතම ලිපිකරුවා විය. ඔහු විශ්‍රාම යාමට මත්තෙන්, ඔහු සතුව මුදල් රෙගුලාසි සහ රාජ්‍ය ගිණුම් පටිපාටිය පිළිබඳ දැනුම සියලු දෙනාට පරිශීලනය කළ හැකි වන සේ පොතක් ලියන්නැයි, අරවින්දි මහත්මිය සහ ශාඛා ප්‍රධානී සනත් සිල්වා මහතා ඔහුගෙන් ඉල්ලූහ. ඒ අනුව අප ඵලදායිතා කවයේ වැඩක් වශයෙන් රාජ්‍ය ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ සරළව දැනුම ලබා ගත හැකි වන පොතක් ද මුද්‍රණය කරන්නට හැකි විය.

එවක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබුණේ විධායක මට්ටමේ නිලධාරීන් හට ලබා දී තිබූ පරිගණක සඳහා පමණකි. එසේ වී නමුත්, අරවින්දි මහත්මිය ඇගේ රාජකාරි පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට මා හට ඉඩ ලබා දුන්නා ය. සිටිනා තනතුරේ ම නොරැඳී, බැංකු තරග විභාග ආදිය ලියන්නට උනන්දු වන ලෙසට මා ද ඇතුළත්ව, තරුණ වයසේ සිටි සියලු ලිපිකරුවන්ට ඇය උපදෙස් දුන්නේ වරක් දෙකක් නොවේ.

මාගේ පියා මියයන විට මා සිටියේ ආර්ථික දුෂ්කරතා ගොඩක ය. අලුතින් ගෙයක් තැනීමට පටන් ගෙන සිටි මා, පංචායුධ කුමාරයා සිලේසලෝම රකුසා සමඟ සටන් කළ පරිදි ම, මා සතුව පැවති සෑම මුදල් ප්‍රභවයක් ම ඊට යොදවා තිබුණි. අවමංගල්‍ය කටයුතුවලින් පසුව, අම්මාගේ උපදෙස් අනුව මම මාසික වැටුපින් අත්‍යවශ්‍ය ම වියදම් පමණක් කරමින් මුදල් ඉතුරු කිරීමට උත්සාහ ගත්තේ තුන් මාසයේ දානයට වියදම් කිරීමට ය. 

මා ලිපිකරු (කළමනාකරණ සහකාර) සේවයේ දෙවන පංතියට සමත් වූූූයේ ඒ අතර ය. ඒ සම්බන්ධව මගෙන් පාටියක් ඉල්ලමින්, අප කාර්යාලයේ නිලධාරිණියන් විටින් විට වද කළේ මා අසීරු තත්ත්වයක සිටියදී ය. ඔවුන් ගේ  ඉල්ලීම ඉටු කරන්නට තරම් මුදල් මා අත නොතිබූ බව දැන සිටි, අරවින්දි මහත්මිය ‌ඇගේ වියදමින් කෙටි කෑම ගෙනවුත් කාර්යාලයේ නිලධාරීන් අතර බෙදා දෙන්නට කටයුතු සැළසුවාය.

මා අද රාජ්‍ය සේවයේ සිටින තැනට මා හට ඒමට උපස්තම්භක වූයේ අරවින්දි මහත්මිය ය. රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතුවලින් අතිශය බහුතරය ප්‍රායෝගිකව අත්දකින්නට සළස්වා ඒවායේ රෙගුලාසි තත්ත්වය සහ භාවිතය මා හට හුරු කරවීම, රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා පැවති විභාගවලදී ඉතා පහසුවක් විය. පාඩම් කර විභාගය ලියනවාට වඩා හොඳින්, අත්දැකීමෙන් ලිවීම කළ හැකි විය. එසේ ම, රාජ්‍ය සේවයේ පවතින වර්තමාන විභාග ආකෘතියේ වැඩි කොටස, සිද්ධි අධ්‍යයනයන් ආශ්‍රයෙන් දැනුම මැන බැලීම ට සකස් වී ඇත. එය කටපාඩමෙන් ලිවීම අසාර්ථක ය.

අනෙක් අතට, තමන්ට පැවරෙන සියලු වගකීම් නියමිත කාලයට ඉටු කිරීම, කාලය කළමනාකරණය කර ගැනීම, කණ්ඩායමකට නායකත්වය දීම, පහළට වගකීම් පවරා අධීක්ෂණය කරමින් කටයුතු කඩිනමින් නිම කරවා ගැනීම, මිනිසුන් අභිප්‍රේරණය කරවීම, රාජකාරිවල නව්‍යතා හඳුන්වා දීම, ආරම්භක ශක්තිය ‌ගොඩනඟා ගැනීම මෙන් ම, ගැටෙනවා නම් ඒ පහළ සමඟ නොව ඉහළ සමඟ බව තේරුම්ගැනීම ආදී ගුණාංග අරවින්දි මහත්මිය වෙතින් මා හට ලැබුණු ආදර්ශයන්ය.

ඉතා ධනාත්මක නායකයෙකු වූ අරවින්දි මහත්මිය, අභියෝගයන් භාරගෙන, සාමාන්‍ය ප්‍රමිතියට වඩා ඉහළින්  ඒවා සම්පූර්ණ කිරීමේ සහජ හැකියාවක් දැක්වූවා ය. වර්තමානයේ ගන්නා තීරණයන් අනුව අවුරුදු ගණනාවක් ඉදිරියේ දී සිදුවිය හැක්කේ කුමක්දැයි පුරෝකථනය කර, සිදුවිය හැකි සියලු විකල්පයන්ට අවශ්‍යවන ක්‍රියාමාර්ග ගැනීමට උපායමාර්ගික කුසලතාව ඈ සතු විය. තමන් දරන ස්ථාවරය නිවැරදි වන විට එල්ලවන තර්ජන, ඒවා කුමන තරම් ඉහළින් එල්ල වූව ද නොබිය ව මුහුණ දීම අරවින්දි මහත්මියගේ මා දුටු තවත් එක් ගුණාංගයක් විය.

පසුගිය දාක නුවරඑළියට පැමිණි අරවින්දි මහත්මිය මා දැකීමට පැමිණියෙන්, සුලුවෙන් හෝ මගේ කෘතඥතාව ඇයට පුද කිරීමට හැකි විය. අප ඉතා ප්‍රසන්න සහ ප්‍රීතිමත් වරුවක් ගත කළෙමු. ඇගේ නිහතමානීත්වය සහ සුහදත්වය මේ ලියන මොහොතේ ද මාගේ හදවත තුළ උණුසම් බවක් ඇති කරවයි. රාජ්‍ය සේවය තුළ කළකිරීමට සහ අවතක්සේරුවට ලක්ව අයාලේ යාමට නියමිත ව තිබූ මගේ ඉදිරි ගමන නිසි මාර්ගය වෙත යොමු කර, ඊට අවශ්‍ය ගුණාංග මා තුළ වර්ධනය කරවීම ගැන මා තුළ පවතින ණයගැතිභාවය පැවසීමට මේ සටහන සුලු වශයෙන් හෝ ප්‍රමාණවත් නොවන බව නිසැක ය.

පිදුරුතලාගල...
(වමේ සිට - මං, මගේ ආදරබර භාර්යාව, අරවින්දි මහත්මියගේ සැමියා වන වෛද්‍ය විජේසූරිය මහතා සහ අරවින්දි මහත්මිය)

ග්‍රෙගරි වැව ළඟදි...
මැද ඉන්නෙ අපේ හුටංබරස් පුංචිරාළ මහත්මයා


චමින්ද ඇඳපු පින්තූර පහතින්...








43 comments:


  1. කෙලෙහිගුණ දැක්වීම උතුමන් නොවැරදී කළ යුතුකමක්
    කෙළෙස් නසලා බුදු වුණාමත් සම්බුදුන් කළ කාරියක්
    එහෙම අය ඇගැයීම අලුතෙන් එන අයට ආදර්ශයක්
    මහත්මිය අරවින්දි නෙළුමක්, ඒත් එක්කම පහන් තරුවක්!

    ReplyDelete
    Replies
    1. හැරී බැලුකොට මෙතෙක් ආ මග උපස්තම්භක කීපයක්
      තිබේ ඒ ගැන ලියා තියනට හොයාගත යුතු කාලයක්
      මා මෙතක් දුර එන්ට පෝෂණ සැපයු ඈ මට මෑණියක්
      දෝත මුදුනත් දී වඳින්නට සුදුසු වූ දේවතාවියක්

      Delete
    2. වඳින අදහන විටදී දෙවියන් අපට සිතු පැතු දෙය ලැබේ//
      (1969 පික් පොකට් film එකට කරුණාරත්න අබේසේකර මහතා ලියූ 'ලෝක නීතිය යුක්ති ධර්මය' ගීතයෙනි.)

      Delete
    3. ඔය ගීතයෙන් අිප ගන්න තේරුම හෙණ පොසිටිව් උණාට, චිත්‍රපටියෙ භාවිත කරපු තේරුම හෙණ ගෝත්‍රිකයි නේද?

      Delete
    4. ෆිල්ම් එක ආවේ 69නෙ. කළේ රොබින් තම්පෝ උන්නැහෙනෙ. එතුමාට ඉන්දියානු අභාෂයෙන් මිදෙන්න ඇහැකි වුණායැ.
      පික්පොකට් එකට පස්සේ කරපු දෙයියන්නේ තීන්දුව ෆිල්ම් එකේ 'සමාන වී ඉපදී' (මිල්ටන් පෙරේරා ගයන) ගීයේ දර්ශන මතකද? පුතාව් මරන්න තීන්දුව ලැබිල අරගෙන යද්දී අම්මා අත වනල සමු දෙනවා. ඒ යුගේ හැටි තමා.

      Delete
    5. ඒ ගීතය බැලුවා. කලින් බලලා නෑ. අර කිව්වත් වගේ, ඒ යුගේ හැටි එහෙම තමා.

      මට මතකයි ඔය පරණ ෆිල්ම් අපි පොඩි කාලෙ ඉතා ම කළාතුරකින් රූපවාහිනියෙ පෙන්නුවා, මහ රෑ. ඒ ෆිල්ම්වල ප්ලොට් එකේ හැටියට සතියක් විතර හිතට අවුල්. ඇයි ඉතිං අන්තිමේ සංසාරේ අනිත්‍ය බව නේ වැඩි හරියක පෙන්නුවේ.

      Delete
  2. රාජ්‍ය සේවයෙ තියෙන්නෙම කැපිලි කෙටිලියි කියල තමයි අපිනං දන්නෙ සහ අහල තියෙන්නෙ. ඒ එක්ක බලනකොට අරවින්දි මහත්මිය වගේ අය හොයාගන්න සෑහෙන්න අමාරු කොට්ටාශයක්.

    ReplyDelete
    Replies
    1. ඉහළට යන්න යන්න ම කැපිලි කෙටිලි පළිගැනීම් වැඩියි ප්‍රසෝ... හැබැයි, තමන්ගෙ රාජකාරියෙ සහ පෞද්ගලික ජීවිතේ සිදුරු නැත්නම් ඒවට බය වෙන්න ඔ්නෙ නෑ. අර කිව්ව වගේ, තව කෙනේට අත දෙන්න පුළුවන් ආකල්ප තියෙන්නෙ, ඉතා ම උසස් මට්ටමේ මනසකට විතරයි.

      මගෙ ඉතා ම හොඳ යාලුවෙක් හිටියා, එයා පරිපාලන සේවා විභාගෙ පාස් වුණේ මට කලින්. එයා උසස් වුණාට පස්සෙ මම එයාගෙන් ඇහුවා, විභාගෙ ට පාඩම් කරපු සටහන් තියෙනවද, විභාගෙ ගැන අදහසක් ගන්න; කොහෙ ද පංති ගියෙ වගේ විස්තර. විශ්වාස කරහං ප්‍රසා, මූ මට නෝට්ස් දුන්නෙත් නෑ, පංති ගියෙ කොහෙද කිව්වෙත් නෑ. මොකද, මං පාස් වුනොත් උන්දැට පාඩුවක් වෙනවද? නෑ. නමුත්, පහළ මානසික මට්ටම නිසා, මම පාස් වෙයි කියලා ඊර්ෂ්‍යාව. කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නැත්තෙ, උසස් මට්ටමක ඉන්න කෙනෙක් විතරයි. එහෙම කෙනෙක් තමයි තව කෙනෙකුට ඉහළට යන්න අත දෙන්නෙ.

      Delete
  3. එකේ ඉඳල යන්නැතුව කෙලිංම තුංවෙනි පන්තියට යනවැයි කියන්නෙ පටංගන්නකොටම වඤ්චාවක්නෙ කරල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. රාජ්‍ය සේවයෙ පත්වීම් පටන් ගන්නෙ ම වඤ්ඤාවෙං...

      Delete
  4. 'මා නයෙකු කල'.. කියල තමයි මුලින්ම මාතෘකාව දැක්කෙ 😂

    ReplyDelete
    Replies
    1. ඒකට තව වැඩිකල් යන්නෙ නෑ ඉඳගෙන.

      Delete
    2. මාසෙකට විතර කලින් ගෙට රිංගපු නයි පැටියෙක් මරලා එහා වත්තට වීසිකලා.
      ඌට ඉතා මෘදු ශරීරයක් තියෙන්නේ. එක පාරින් මරන්න පුළුවන්.

      Delete
    3. නමියා,
      ඇස්කණ්නාඩි දාන්ඩ කාලෙ හරි.

      ප්‍රසෝ,
      උබ ඉතිං ‌කී සැරයක් නං පුෂ් ගෑවද? කෝ, ඉතිං දෂ්ට කළා?

      නමියා,
      දීකිරි ගැන නඩුව...

      ජගත්,
      සමහර විට ඔය මෘදු ශරීරය නිසා වෙන්ඩැති රෝස්පාං කන්නැත්තෙ.

      Delete
    4. නයි එහම නැහැ ..කෑලි කඩලා පරිප්පු වල ගාලා දුන්නම නයි රෝස පාන් කනවා

      Delete
    5. ඇත්ත ද ප්‍රසෝ? https://drackey.blogspot.com/2021/07/blog-post.html?showComment=1627716983920#c3384637826300457647

      Delete
  5. හම්බ වෙන බොසා අනුව තමා අනාගතය තීරණය වෙන්නේ. ඒක හරි කෘතවේදී වීම හොඳ ගතිගුණයක් , ඔයාව වැම්පයර් කෙනෙක් හැටියට පුද සත්කාර කරන අපිව අමතක කරන්නත් එපා ඔන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හොඳම උදාහරණයක් තමයි, "හොරොව්පතාන පලවෙනි ඩීආර්ඕ" පොත ලියපු ඒ. පී. යූ. ගුණසේකර මහත්තය. මං රාජ්‍ය සේවා කොමිසමේ ඉද්දි එයා එතන උපදේශක. එයාගෙ ඩීආර්ඕ පොතේ එයා කියනව, ඩීආර්ඕ පත්වීම ලබාගෙන අනුරාධපුර කච්චේරියට බස් එකේ ගිහින්, එතනින් හොරොව්පතාන යන්න ජීප් එකක් ඉල්ලුවම දිසාපතිගෙන්, දුන්නෙ නෑලු. ඉතින් බස් එකේ මගට ගිහින් කරත්තවල ගිහින් පයින් ගිහින් ගියාලු හොරොව්පතානට. එයා ට හම්බ වුණ පලවෙනි බොස් විදිහෙම අකාරුණික ගති ගුණ ගුණසේකර මහත්තය ළඟත් තිබුණා.

      මම උඩ කියල තියෙන්නෙ අර අපේ අංශයේ හිටපු නවක කාර්යාල කාර්ය සහායක ගෑණු ළමයා, පස්සෙ එකවුන්ටන්ට් කෙනෙක් වුණේ, එයාට දවසක් ගුණසේකර මහත්තය බැණව තිබුණා එයාට බොන්න තියපු වතුර බෝතලේ රස්නෙ මදි කියලා.

      ඒ ළමයට ඇඬුණා. අරවින්දි මැඩම් තමයි එයාගෙ හිත හදලා, ඉහළට යන්න එයා ධෛර්යවත් කළේ.

      මට නං මතක නෑ පුද පූජා කළා ද කියල... 😁🦇

      Delete
    2. හොඳ මිනිස්සු හැම තැනම නැහැ කියන එක තමා ඇත්ත කතාව

      Delete
    3. ඒක ඇත්ත. මගෙ රාජකාරි ජීවිතයට ම හොඳ නායකයො මට මුණ ගැහිලා තියෙන්නෙ තුන් දෙනයි. එක්කෙනෙක් පුද්ගලික අංශෙ. දෙන්නෙක් රාජ්‍ය සේවයේ. ඒ අය ගැනත් ඉදිරයෙ දි ලියවෙනවා. හොඳ වෙලාවට යක්කු වගේ බොස්ලා දෙන්නෙකුයි කොළකැඳයෙකුයි, ලෝකෙ ලොකුම පොල්බූරුවයිත් මුණ ගැහිලා තියෙනවා.

      Delete
    4. ඔය ලොකු නෝනාව නම් අදහන්න වටිනවා.
      මාදම්පාගම පැත්තේ ලොකු මහත්තයා ගැන කියපු කතාව නම් ඇත්ත. හැබැයි මිනිහා සෑහෙන විනය ගරුක සෘජු පොරක්. නමුත් තමන්ගේ යටතේ සිටින නිලධාරීන්ට විශේෂයෙන්ම තමන්ට ආසන්නතම නිලධාරින්ට උදා සහකාර ප්‍රාදේශිය ලේකම් වරයාට තමයි නරකටම සලකන්නේ.
      අර කතාවක් තියෙන්නේ Bad bosses ruin the good emplyees කියලා

      Delete
    5. ඇත්ත උදාර...
      වෙන දෙයක් නම් කියන්න බෑ ප්‍රසිද්ධියෙ. මම දවසක් දැක්කා සමීක්ෂණයක ප්‍රතිඵල, “ඇයි සේවකයන් ස්ථාන මාරු ඉල්ලන්නේ“ කියන ගැටළුව ගැන කරපු. එතන වැඩි ප්‍රතිශතයක් ඉදිරිපත් කරල තිබුණු හේතුව තමයි, “බොස් සමඟ වැඩ කරන්න තියෙන අසීරුතා“ එහෙමත් නැත්නම්, “බොස් අමානුෂිකව සැළකීම“.

      Delete
  6. කලගුණ මතක තිබීම, සැලකීම දියුණුවේ ලක්ෂණයක් කියල... කවුරුහරි කාටහරි කියන මං අහගෙන.
    🙏🙏🙏........

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔ්ක කිව්වෙ මයිකල් ජැක්සන්, ජෝජ් මයිකල්ට.

      Delete
  7. හරිම ලස්සන සටහනක් . එක හුස්මට කියෙව්වා. අජිත් කිව්වා වගේ කෙනෙකුගේ දියුණුවට ගුරුවරු වගේම නියම බොස් ලත් හොද අත්වැලක්. මුල අමතක නොකර ලියූ මේ සටහන හරිම හොද උපහාරයක් . කාගෙන් වුණත් හොද දේ ගන්නත් , වැඩ කරන අය එක්ක සුහදව , සහයෝගයෙන් වැඩ කරන එකත් හොදයි. මේ රටේදී සුදුසුකම් වගේම රැකියාවකට කෙනෙකු තෝරා ගැනීමේදී බලන වැදගත්ම දෙය පරණ බොස්ලගෙන් අහල බලන එක. බොහෝ දෙනෙකුට වැඩ කියල දෙන්න පුළුවන්. ඒත් රැකියාවක වගකීම් ගැනීම්, විශ්වාශවන්ත බව සහ කණ්ඩායම් කටයුතු ඒ ඒ කෙනා කරන හැටි දැනගන්න පුළුවන් පෙර පුරුදු වලින් තමයි. ඔබේ ඉදිරි ගමනට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මෙහෙ දිත් අපි ඉල්ලගෙන කොහෙට හරි ට්‍රාන්සර් යනවනං පරණ බොස්ගෙන් අහනව. නමුත් ඒක ආයතනික මට්ටමෙන් නෙමෙයි. කාගෙන් හරි පළිගන්න ඔ්නෙ උනහම බොසාට, එයා අර මනුස්සයගෙ මොකක් හරි වරදක් අල්ලගෙන විනය කටයුතු කරලා, චෝදනා පත්‍රයක් සහිතව ස්ථාන මාරු කරනවා. එතකොට හිතාගන්න පුළුවන් නේද, අලුත් තැන දි එයා දිහා අනික් අය බලන කෝණය?

      Delete
  8. දක්ෂ මිනිස්සුන්ගෙ දක්ෂකම් ගැන කියවලා මමත් අභිප්‍රේරණය වුනා. කතාවක් තියෙනවනේද යම් තැනක් ගැන අවබෝදයක් ගන්න ඕනෙ නම් එතන නායකයා දිහා බලන්න කියලා.

    "එය දැනගත් ගණකාධිකාරීතුමිය (නියෝජ්‍ය ලේකම් - මුදල්) වූ අරවින්දි ද සිල්වා මහත්මිය මා තමන් වෙත ම අනුයුක්ත කරන මෙන් පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හට දැන්වූ බව".., දක්ෂ මනුස්සයා, intuitively තවත් දක්ෂකයෙක්ව අඳුනගන්නවා. උඩ කමෙන්ට්ස් වලින් කියලා තියෙනවා වගේ තවත් කෙනෙකුට උදව් කරන්නෙ උසස් මනසක් තියෙන අය විතරයි. තව කෙනෙකුට යමක් ලැබෙනවා කියන්නෙ තමන්ට මුකුත් නැති වීමක් නෙවෙයි කියලා අවබෝද කරගන්න හැමෝටම බැහැනෙ, ඒකට හොඳ බුද්ධියක් අවශ්‍යයි. ඒක තේරුම් ගන්න බුද්ධිය නැති අය තමයි ඉරිසියා කරමින් අනුන්ට බාදා කරමින් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම අරවින්දි මැඩම් මාව ඇදල ගත්තෙ, මම ගිණුම් අංශයට අකමැති වුණු නිසා මිසක්, මා ගැන මොකවත් දැනගෙන නෙමෙයි. එතන සිදු වුණේ මැටි ගුලියකින් සුරුවමක් නිර්මාණය කරන්න තිබුණු අභියෝගයට එතුමිය තුළ තිබුණු ආශාව.

      ඊර්ෂ්‍යාව මා තුලත් තියෙනවා යම් දුරකට. නමුත් මම කැමති, මට ලැබෙනවාට ආශා කරන දේ තවත් කෙනෙක් ගාව තිබෙන බව දැකලා ඊර්ෂ්‍යා කිරීමෙන් වෙන්නෙ ඒ දේට මම කැමති නැති බව යටි හිතට කා වැදෙන එක. අවසාන ප්‍රතිඵලය තමන් කැමති දේ තමන්ට නොලැබී යාම.

      අනික ඊර්ෂ්‍යා කරන්නේ හැම විට ම පහත් කෙනෙක්, තමන්ට වඩා උසස් කෙනෙකුට.

      ඔය දේ තේරුම් ගත්ත දා ඉඳලා, මාත් ඊර්ෂ්‍යාව මැඩ පවත්වාගෙන ඉන්නවා.

      Delete
    2. "මා ගැන මොකවත් දැනගෙන නෙමෙයි" අපි බාහිරයට පෙන්වන aura හෝ vibe එක සමහර අයට අත්දැකීමෙන් වඩා නිවැරදිව කියවගන්න පුලුවන්. අම්මලා අපේ යාලුවො ගැන එහෙම කියන සමහර දේ හරියටම හරි වෙන්නෙ ඒකයි.

      "අනික ඊර්ෂ්‍යා කරන්නේ හැම විට ම පහත් කෙනෙක්, තමන්ට වඩා උසස් කෙනෙකුට" ඒක හරි. ඉරිසියාව වෙනුවට inspiration කියන වචනෙ පාවිච්චි කරනවානම් හරි ලේසියි, මගේ උපාය මාර්ගය ඒක.
      එතකොට නෙගටිව් සිතුවිල්ල (ඉරිසියාව) ඉක්මනට පොසිටිව් කරගන්න පුලුවන්.

      Delete
  9. Replies
    1. னයාට ගහපු ටෝච් පාරක් වැදිලද කොහෙද මෙයාට.

      Delete
    2. විසුල,
      මොකක්ද ඒ? ෆොන්ට් අවුලක් ද?

      නයෝ,
      බොටත් වදියි. ඔලුව පාත් කරගනු.

      Delete
    3. ඁමේඁකඁ පේඁනඁවඁදඁ? ඔයාට මේක පේන්නේ කොහොමද?

      Delete
  10. මැන්ඩිස්ලා කොහේ හිටියත් බොක්ක

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්ත. ඔය ඉහළ කියපු මැන්ඩිස් මහත්තයා මරු. මාර කඩිනමින් තමන්ගෙ වැඩ ටික ඉවර කරලා, කකුල් දෙක වන වනා ඉන්නව. අනික් අය අතරෙ සද්ද වෙන මොකක් හරි කතා බහකට අදාළව එයාට කියන්ඩ පරණ කවි / කතාත් තියෙනව.

      Delete
  11. මමත් එනවා දවසක උබව බලල යන්න

    ReplyDelete
    Replies
    1. වරෙං වරෙං හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා... (කලිං කියල වරෙං)

      Delete
  12. අරවින්දි මැඩම් මෙය කියවා එවූ කමෙන්ට් එක
    // I wonder what I did to write so much.
    Anyway, I'm very proud of you.
    Even then, I wished for your future.
    Team spirit made all that possible.//

    ReplyDelete
    Replies
    1. ඒ මිස් සෑහෙන හොඳයි නෙහ්.

      කියන්න ඕනි ඒවා කට්ටියම කියල තියෙන්නෙ😁😁

      එන්න පරක්කු උනා නෙව පොඩ්ඩක්

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි