Thursday, November 10, 2022

කයිකතන්දර 4 - රජකාලේ කවි

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබෙන රජකාලේ කයි කතන්දර කීපයක් අද ලිපියෙන් ඉදිරිපත් කරනවා. 

ඕලන්ද බටහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ බතාවියාවේ ලුතෙරන් මිනිස්ටර් වූ යාන් බ්‍රැන්ඩෙස් විසින් 1785 දී අඳින ලද රාජාධිරාජසිංහ රජතුමාගේ ආලේඛ්‍යය

මහනුවර රාජධානි කාලේ තිබුණු එක් විනෝද ක්‍රීඩාවක් වුණේ ඇත් පොර. කැලෑවෙන් අල්ලාගත් වල් ඇතෙක්, රජතුමා ළඟ ඉන්නා හීලෑ කරන ලද ඇතෙක් සමඟ පොර ඇන්නවීම තමයි මේ ක්‍රීඩාව. රෝමක ඇරීනාවේ තිබුණු වල් සතුන් සමඟ මිනිසුන් පොර ඇන්නවීමත්, ස්පාඤ්ඤයේ ගොන් පොරත් වගේ ත්‍රාස ජනක ක්‍රීඩාවක් වෙන්නට පුළුවන්.

රාජාධි රාජසිංහ රජතුමා දවසක් මේ වගේ පොරයක් ඇන්නුවා. කල් තියා ප්‍රසිද්ධ කරන නිසා මිනිස්සුත් රාශියක් ආවා මේක බලන්න. 

ඉතින් ඇත්තු දෙන්නා බොහොම වෙලාවක් පොර ඇනගෙන, අන්තිමේ හීලෑ ඇතා ඇන්න පාරකට, වල් ඇතා පිටිපස්සට විසි වෙලා, මැටි ගන්න හාරපු වළක වැටිලා ඉඳ ගැන්නුනා.

මේ ගැන කවියක් කියන්න කියලා රජතුමා ළඟ හිටපු ගලගොඩ නිළමෙ ට කීවා. එතුමා හිටිවන ම මේ කවිය කීවා, පැරදුනු වල් ඇතා කියන විදිහට...

ඉන්නා විලස ඉන්ටත් මට නොදී කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොඳ ද කළේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලොලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු වලේ

*    *    *

රාජාධි රාජසිංහ රජතුමාගේ සේවාකම් කරපු තරුණයෙක් උන්නා, තිරුවා කියන නමින්. මේ කොල්ලා විහිළුවට හරිම කැමතියි. ඒ වගේ ම රජ වාසලේ හැමෝමත් මෙයාට ගොඩක් කැමතියි. 

තිරුවා නිසි කල පනින්න කිට්ටුව අහල ගමකින් මනමාලියෙක් කැන්දාගෙන ආවා. ඒ තරුණිය හොඳ හැඩකාර ළමිස්සියක්. 

රජතුමාට මේ දැරිවි දකින්න ආසා වුණා. කීප රවක් ම තිරුවා ට කිව්වා “උඹෙ මනමාලි එක්ක වරෙං වාසළට“ කියලා.

“අනේ හාංදුරුවනේ, උන්දැට පරංගි හැදිලා“ කියලා තිරුවා හැම වතාවෙ ම ඒක මගෑරියා. 

තිරුවා කියන්නේ බොරු බව සැක කරපු රජතුමා දවසක් තිරුවා ට අඹගමුවේ ගිහින් කරන්න රාජකාරියක් පැවරුවා. 

අඹගමුව වර්තමාන ගිණිගත්හේන නගරය අවට තිබෙන ප්‍රදේශයක්. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාදයට යන මාර්ගය දිව්‍යාංගනාවන්ගෙ උපකාරයෙන් හොයාගත්තා කියා ප්‍රසිද්ධ කරන්න කාලෙකට කලින් මහා විජයබාහු රජතුමා සිරිපා කරුණා කරලා, ශ්‍රීපාද රාජකාරිය සහ ආශ්‍රිත තොරතුරු ගැන විධිවිධාන පිහිටුවලා හිටුවපු අඹගමුව සෙල්ලිපියත් තියෙන්නේ ඔය ප්‍රදේශයේ ම තමයි.

ඉතින් තිරුවා ගෙදර ඇවිත්, වාසළ පයිංඩයකට අඹගමු යන විත්තිය අඹුවට කියලා, බත්මුලකුත් බැඳගෙන එදා ම හවස පිටත්වුණා. ටික දුරක් ගිහිං බත්මුල කාලා, ආපහු ඇවිත් ගෙදර ඉස්සරහ හදලා තිබුණු අතු මැස්ස යට හැංගුණා.

එදා කළුවර වැටුණට පස්සෙ රජතුමා ඇවිදිං තිරුවගෙ ගෙදර, දොර ඉස්සරහ ඉඳං මේ කවිය කිව්වා.

තිරු අයියා අද කොතැනක යන්දෑදෝ
අඹගමුවේ වෙල හරියේ යන්දෑදෝ
පහිය අතට ගෙන බුලතුත් කන්දෑදෝ
තිරු අයියා හෙට හවසට එන්දෑදෝ

ඒක ඇහිලා තිරුවගේ අඹුව දැනගත්තා රජතුමා තමයි ඇවිත් තියෙන්නෙ කියලා. එයා දොර අරින්න කලිං තිරුවා මෙහෙම කවියක් කියාගෙන අතුමැස්ස යටින් එළියට ආවා...

දෙනෝ දහස් එක ඔරුවේ පැදන් යතී
ඔරුව මිසක් තොට ගෙනියන කෙනෙක් නැතී
කෙරුව රති සැපට ආලය පළක් නැතී
තිරුව මමයි මම අඹගමු ගියේ නැතී

*    *    *

මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා. රජතුමා උන් වහන්සේට බොහොම ගෞරව කරනවා. ඒ ගැන ඊර්ෂ්‍යා කරපු කීප දෙනෙක් රජතුමාට කේළම් කිව්වා, උන්වහන්සේ ගේ ආවාසෙට රෑට රෑට ස්ත්‍රියක් එන යන බව.

ඒක පරීක්ෂා කරන්න රජතුමා දවසක් ගෑණු ඇඳුම් ඇඳගෙන හාමුදුරුවන්ගෙ ආවාසෙට ගිහින්, ජනේලෙන් අත දාලා සෙළෙව්වා. අතේ දාගෙන හිටපු වළලු හඬ ඇහිලා අවදි වුණු හාමුදුරුවෝ, මෙහෙම කොළොප්පමක් කරන්න මේ රටේ ඉන්නෙ රජතුමා ම තමයි කියා දැනගෙන, මේ කවිය කීවා.

සකල මුව තඹර සිය ගත සිවුමැළියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙළියේ
අසල නම් නිතර දැකුමට සිතු ඇලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ

ඒක ඇහුණු රජතුමා පිළිතුරු කවියක් කීවා මේ විදිහට.

අමර ගුරු හරණ සත දත් පිනාවන්
විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
පවර නමැති මොරතොට පති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්

*    *    *

අන්දරේ හිටියා කියන්නේත් මේ රාජාධි රාජසිංහ රජතුමාගේ සභාවේ. දවසක් රජතුමා දිය කෙළියට මහවැලි ගඟට ගිය වෙලාවක අන්දරේගෙන් ඇහුවා, “උඹට මේ වෙලාවෙත් කවි කියන්න පුළුවන් ද?“ කියා. අන්දරේ වහසි බස් කියමින් කීවා, “දේවයන් වහන්ස, කියන මිනිහා කොයි වෙලාවෙත් කියයි...“ කියලා.

ඒ ගමන රජතුමා පිරිසට අණ කළා “මුගෙ අත පය බැඳලා, ගඟට දාපියව්“ කියලා. ගඟට දාද්දි අන්දරේට කිව්වා, “එහෙනම්, දැනුත් කවියක් කියහං බලන්ඩ“ කියලා.

දියේ ගිලි ගිලී උඩට එන වාරයකට පදය ගානේ අන්දරේ මේ කවිය කිව්වා.

කොච්චර දුක් ද අප වැනි අයට හිමි තුමා
මෙච්චර දුකට පිහිටක් නූනු කල කිමා
රිවිකුළ රජුන් හට ඇත්තේ ගති පුදුමා
කවි කියවන්ට හැදු වේලාවක මහිමා


*    *    *

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුවේ හිටි කවියෙක්, ලෝකුරු නයිදේ. දවසක් රජතුමා කවිකාර මඩුවෙ කවියන්ට අභියෝගයක් කළා, පුළුවන්නං බොරු හතක් තියෙන කවියක් කියන්න කියලා. ඒ ගමන ලෝකුරු නයිදේ කියාපු කවිය...

කිළී කුණු නැති වඳිගෙ පුතෙක් - ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර - පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා - අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා - දැක්කිය සුරපුරට උදක්

මේ කවියෙ බොරු අටක් තියෙනවා හැබැයි.

*    *    *

දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලයේ කන්ද උඩරට හිටි ප්‍රංශ ජාතිකයෙකුගේ දරුවෙක්, දස්කොන් අදිකාරම. දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ වාසලේ අදිකාරම් තනතුර දැරුවා. නරේන්ද්‍රසිංහ රජතුමාගේ ප්‍රමිලා බිසවට නටාපු බලියාගයකදි අදිකාරම සහ බිසව අතර පැවතුණු ප්‍රේම සම්බන්ධය ගැන එළිදරව් වෙලා, රජතුමාගෙ අණින්, හිසගසා දමන්ට ගෙනියන විටදී, දස්කොන් අදිකාරම මේ තේරවිල්ල රජතුමාට යැව්වා කියා කියවෙනවා...

සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤා
ලාහෙන් මැනලා අබ තුන් පෑලක පියලි ගණන් කරලා දෙඤ්ඤා
සත් අවුරුද්දක් කන්කුණ්ඩා ගියපාරේ අඩි ගැනලා දෙඤ්ඤා
එක් පැයකට මා නොමරා ඇරියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤා

56 comments:

  1. ඩ්‍රැකිය ලියල රජකල කවි පෝස්ටුවක්
    අනේ ඉතිං පංකාදුම ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ක විකාරයෝ දැන් වැහි වැහැලා ඇත්තේ
      නිදියා තමයි මේවට වග කිව යුත්තේ

      Delete
    2. 'කවිය හද බසයි' වියතුන් මතය එයයි
      ඇත්තම ඇත්ත එය, මේ 'නිදි'හටත් හිතෙයි
      ලබැඳි කවි උපන් විත්තිත් මනෝහරයි
      එව්වා නිසා හද බස 'නැඟිටලා' වගෙයි

      ඇන්කොර් ප්‍රසා!
      බොරු හතේ කවිය අපේ තාත්තා නිතර කියූ එකක්. පොඩි වෙනසක් තිබ්බා. තුරඟ අඟින් වෙනුවට එයා කිව්වේ 'කූඹි අඟින්' කියලයි!

      Delete
    3. කවි බස ‌කොහොම කොයි හැටි ඌවත් නිදියෝ
      ගැටගහගන්ඩ ‌හරියට වද විය යුතු යෝ
      විරිත් හදපු උදවිය අහු උනොත් නයෝ
      ටෝච් පාර දෙමි ආපහු නො හදපියෝ

      කූඹි අඟින් කියලත් පදයක් තියෙන උඩ තියෙන කවියෙ.

      Delete
  2. ඉතිං තිරුව ඊට පස්සෙ යහතිං හිටියැයි.

    ReplyDelete
    Replies
    1. තිරුවා පිටුවහල් කළා ගොඩකවෙලට.

      Delete
    2. මං නම් හිතුවෙ මරන්න ඇති කියල😪

      Delete
    3. මරණ්ඩ වටිනව තමා ඔය ගොඩකවෙල එව්වො...

      Delete
  3. ජී එච් පෙරේරාගේ මුණුපුරෙකු හිටියා මගේ පන්තියේ.

    ReplyDelete
    Replies
    1. අසාඩ් පෙරේරා?

      Delete
    2. ඉස්සුවා නැට්ට,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.....................දැම්මා ගොම

      Delete
    3. මා ළඟ තියෙන පොත පළ කරවලා තියෙන්නෙ, දෙ වෙනි පාරට, ජී එච් පෙරේරාගෙ අභාවයෙන් අවුරුදු 33ක් පිරීම නිමිත්තෙන්, එයාගෙ පුතෙක් වන විමලසිරි පෙරේරා කියල කෙනෙක්. සමහර විට රසික කියන්නෙ එයාගෙත් පුතෙක් වෙන්ඩ ඔ්නෙ.

      ප්‍රා,
      ඒ කවුද?

      උදාර,
      ඒ කියමන ඒ තරම් හරි නෑ නේද?

      Delete
    4. විමලසිරි පෙරේරා කිව්වේ සරසවිය පත්තරේ ආරම්භක කතුවරයාට විය යුතුයි. එතුමාගේ බිරිය එන්. එම්. පෙරේරා ගුරුතුමිය තමයි මහරගම විද්‍යාකර විද්‍යාලයෙ 4 පන්තියට (1964 දී) මම ඇතුළුවෙද්දී පන්ති භාර ගුරුතුමී.

      Delete
    5. සරසවිය ගැන මම දැනං හිටියෙ ආතර් යූ අමරසේන මහත්තයා සංස්කාරක වෙලා හිටිය කාලෙ විතරයි. මම හිතං හිටියෙ එයා පටං ගත්තෙ කියලා.

      Delete
    6. ඔයාට චුට්ටක් පැටලිලා මහත්තයෝ. ආතර් යූ අමරසේන මහත්තය කර්තෘකම කළේ දවස නිවසින් ගහපු කලා පත්තරේ 'විසිතුර' එකේ.

      Delete
    7. මදැයි... මට මතක තිබුණෙ ගුලි ලියපු දිවලකඩ ගුණදාස පොතේ තිබුණු සඳහනක්. හෙණ කල් එක කියවලා...

      Delete
  4. තිරුවාගෙ කවි දෙක මම අසා ඇත්තේ මේ විදියටයි. ජනකවි නිසා ඔවුවයෙ පොඩි පොඩි වෙනස්කම් ඇති නෙව.

    ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
    තිරුව මෙමම් අඹගමුවට යවා ඇත
    බොරුව කියා තී රවටනුවයි නො සිත
    හරුව දොර මෙපුර මහරජ මමයි කත

    ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් ඇත
    ඔරුව එතත් නොඑතත් මට කමක් නැත
    කෙරුව හරිද රජතුමනුත් රැවටී ගත
    තිරුව මමයි මම අඹගමු ගියේ නැත

    රාජාධි රාජසිංහ කියන්නෙ නායක්කර් රජෙක් වුනාට හොඳට සිංහලෙන් කවි කියන්ට හෙම පුළුහන් නෙව.

    ReplyDelete
    Replies
    1. හොඳට සිංහලෙන් කවි කියන්ට වගේම, උන්දෑ රූට රූට කොටු පනින්නත් රුසියා.

      Delete
    2. පළමුවෙම්ම, බුරතීනෝ ගෙ කමෙන්ට් එකක් දැකීම ඉතා ම සතුටට පත් වෙන කාරණයක්.

      ඇත්ත. ඔය ඉහළ තියෙන ඒවා ඇත්තටම රජවරු කියපුවා වෙනවටත් වඩා, ජන කවියො හදලා ඒ ඒ උදවියට ආරෝපණය කරපුවා කියලා හිතන්න කරුණු තියෙනවා.

      නායක්කරු කුමාරවරු, දෙමළ වුණත් හින්දු වුණත්, හැදුණෙ වැඩුණෙ ලංකාවෙ නෙ. ඒ නිසා සිංහල සහ බුදු දහමත් හරිම හුරුයි. අනික, ඒ කාලෙ උසස් කුළවතුන් අත්සන් කරන්නෙ දෙමළෙන්. හරියට ඇද කාලෙ අපට ඉංග්‍රීසි අධිනිශ්චය වෙලා තිබුණා වාගේ.

      බස්සා,

      වෙල්කම් බෑක් ආපහු පාරක්. රූට රූට කොටු පැනීම ගැන නිකොලායි ගොගොල් මරු කියමනක් කියනව. ඉන්ඩ මං හොයලා දාන්නං මෙතන.

      Delete
    3. නායක්කර්වරු දෙමළ නෙවී, තෙළිඟු නෙව ද? මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා ප්‍රොෆ් ගණනාථ ඔබේසේකරගෙ Many Faces of the Kandyan Kingdom කියන පොතේ.

      Delete
    4. මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ බුරා. තෙළිඟු තමයි නේද? දැන් ඉතිං ඔය කියන පොත හොයනකල් නින්ද යන්නෑ.

      Delete
  5. ඔය අන්තිම කවිය මම අහලා තියෙන්නේ බරණ ගණිතයා කිව්වා කියලයි. බරණ ගණිතයා ගැන සැක හිතුණ රජතුමා ඔහු මරණයට නියම කළ වෙලාවේ ගණිතයා ගැනලා බලන කොට දැනගත්තලු මරණීය දණ්ඩනය දුන්නත් නැතත් තව පැයකින් මියයාමට නියමිතයි කියලා. ඊට පස්සෙ ඔය කවිය කී විට රජතුමා ඒ ඉල්ලීමට ඉඩ දුන්නලු. පැයක් ගිය තැන ගණිතයා ඉබේම මැරිලා වැටුනලු.

    ReplyDelete
    Replies
    1. ඔව්. ශෛලිය අනුව නම් බරණ ගණිතයා වෙන්න ම ඔ්නෙ. දස්කොන් අදිකාරම ලිව්වය කියන්නෙ "නෝක්කඩුමාලය". මම තව තැනක දැක්කා, රජතුමාගෙ ආරක්ෂාව හින කරන්න රජතුමාගෙ හතුරො, ඔය දස්කොන් පුමිලා හුටපටය බොරුවට පැටළෙව්වය කියලත්.

      Delete
    2. ඔය ගැන තොරතුරු ගොඩක් උඩරට විත්ති පොතේ තියෙනවා.

      Delete
    3. ඔය උඩරට විත්ති පොත මා ළඟ තිබුණා, තාත්තගෙ. වේයො රස වින්දා නෙව... දුකයි දුකයි දුකයි.

      Delete
  6. ඉන්නා විලස ඉන්නට ඉඩ නොදී කැලේ
    එක්කං ඇවිත් දුන්නයි අලියාට බලේ
    'පොට්ට චාන්ස්' වැදිලයි ඒ ලැබුණෙ නිලේ
    උදාවී වගෙයි 'විකලේ- කල' මෙවෙලේ

    ReplyDelete
    Replies
    1. අලියා උන්නෙ නෑ පෙනුනට විලස කැලේ
      එකම කස්ටියක් සුරැකිව ඉඳිති බලේ
      ජහමනයා පාරට බට වෙලේ මලේ
      මගඩි නාටකේ දක්වා මුළා කළේ

      Delete
  7. හුම්... කවි නේද. මාත් කයියක් ගොතන්නද 😂????

    ReplyDelete
    Replies
    1. බොලා එකා කයි පහ පහ කියන්ඩ ඕනෙ.

      Delete
    2. ඇයි උඹ කවි මඩුවක් දාන්න අදහස් කරාන ඉන්නවද😂

      Delete
    3. නමියට කියපු එක තේරිලා නෑ😂

      Delete
    4. ඒකනෙ අවුසද හෙණ්ඩුවක් අරං ගිහිං ගුටි කෑවෙ.

      Delete
  8. මටනම් හිතෙන්නෙ අර රජතුමා කියල හුද්ද ඇඳල තියෙන්නෙ... උන්දලගෙ රටේ එකෙක්වද කොහෙද

    ReplyDelete
    Replies
    1. නෑනේ... කලු මනුස්සයෙක්වනෙ ඇඳල තියෙන්නෙ. සමහරවිට එක එක උදවිය කියපු විස්තර අහගෙන ඇඳපු එකක් වෙන්ඩැති.

      Delete
  9. මම පොඩිකාලේ හැකරැල්ලෝ අල්ලාගෙන උන්ගේ පුකට ඉරටකෑලි ගහනවා. එතකොට උන් සීරුවෙන් ඉදිරියට යනවා.
    මම හිතන්නේ ගිය අතේමේ මම රජ්ජුරුවන්ගේ උල තබන්නා වෙලා ඉන්න ඇති

    ReplyDelete
    Replies
    1. අම්මෝ ජගත් ඒකෙ තියෙන කුරිරුකම. මාත් පොඩිකාලෙ කුරුමිණියො අල්ලල පුච්චනව. පස්සෙ අවුරුදු හතේ දි විතර තේරුණා ඒක කොච්චර නපුරු වැඩක් ද කියල.

      Delete
    2. බිඩියට ගන්ජා දලා ගෙම්බන්ට පොවලා තියනවා

      Delete
    3. පව් වැඩේ යකො. ගෙම්බා මැරෙනව ඔය වැඩෙන්.

      Delete
  10. අන්තිම කවිය කියපු හාදයාට මොකද වුණේ?

    ReplyDelete
    Replies
    1. එයාගෙ හිස ගසා දැම්මනෙ. එයා මැරුණට පස්සෙ නවින් සංදීප කුමාර කියන නමින් ආපහු ඉපදුනා.

      Delete
    2. ඒකියන්නෙ නවීන් කියන්නෙත් ලේසි පහසු පුදගලයෙක් නෙමේ කියන එක නෙහ්😇😌

      Delete
    3. ඔව් ඔව්... රාජකීය කොටු කාරයෙක්...

      Delete
    4. නවියෝ..
      ලපේ තිබුන තැන හරියටම කියපන්

      Delete
    5. මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්ට පුලුවන්ද හැබෑට ඕවා

      Delete
    6. නවීන්, එහෙනං කණට කරල කියන්ඩ.

      Delete
  11. හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ගොඩාාාක් ස්තූතියි අනුරුද්ධ මහත්මයා...

      Delete
  12. උබගේ ප්‍රාන්තේ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම උනත් හම්බුවෙන්ඩ පිනක් නෑ නෙව... සැක්!

      Delete
  13. Replies
    1. ඒක ඒතරං වැඩක් යැ
      පද හතරක් ගැට ගහපන්
      අකසර ගැන පස්සෙ හෙමින්
      හිතලා එය ඔප කරපන්

      Delete
  14. දස්කෝන් කියන්නේ ඒ කාලේ ඉදලාම මම කැම්තිම පොරක්...

    ReplyDelete
    Replies
    1. සාජන්ට් නල්ලතම්බිගෙ ප්‍රසිද්ධ “මමයි කනත්තේ භෘංගයා“ සිංදුවෙ කෑල්ලක් තිබුණා, “දස්කොන් වාගේ බෙල්ල කැපේවී දෝ...“ කියලා. ඕක අපේ අයිය කියන්නෙම, “ගස්ගොන් වාගේ...“ කියලා.

      Delete
    2. අයියා ඉතිහාසේ දන්නා කෙනෙක් වෙන්නැති. අර උන්නැහේ ගැස්කොන් නෙව.

      Delete
    3. හහ් හා... ඔව් ඔව්... පේඩ්‍රෝ ගැස්කොන්. අයිය ඒක දන්නෙ නෑ. දන්නෙ ගස් බැඳලා හරකුන්ගෙ බෙල්ල කපන වග විතරයි.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි