Saturday, September 20, 2025

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.

'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.

'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.

'මෙහෙ දියං මගේ හැරමිටිය...'

'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'

'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'

'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'

'කළගුණ සලකන්න...'

'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'

'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.

'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...

බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'

'අනේ පුත‌ේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.

'මෙහේ හෝල් එකේ...'

'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'

'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.

'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'

'ඔව්...'

'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'

'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'

'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'

'ආච්චියේ...'

'ඇයි පුතේ...'

'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.

'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'

'නෑ ආච්චියේ.'

'එහෙනං...?'

'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'

'ඇයි පුතා යන්නේ නැද්ද...?'

'නෑ... මමත් යනව...'

'එහෙනං...?'

'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'

'කවුද ඉතිං එක්කරං යන්නේ...?'

'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.

'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'

ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.

'යමු නේද ආච්චියෙ...'

ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.

'මොනවයින්ද ඕන...?'

'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.

'රුපියල් තිහයි...'

සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.

බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.

අතක්පි‌ට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.

'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.

'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.



විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.

'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'

'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'

'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'

'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'

'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'

ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.

'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'

ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.

'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.

'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'

කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.

ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වැඩිදුර රසවින්දනය සඳහා... මේ විඩියෝ එක නැරඹීමෙන් ඔබට "පිංගුත්තර විස්ථාපන කැකිරි වල් පෙරේතයෙකු" යනු කවරෙක්දැයි තේරුම් ගත හැකි වනු ඇත.

මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...


32 comments:

  1. නියමයි. මම හිතුවෙ චන්ද්‍ර අනගිරත්තගෙ එකක් කියලයි. ආයෙ එන්නම් පස්සෙ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ ඇවිල්ල කියවන්න තරං දෙයක් නෑ මෙතන.
      කවුද අනගිරත්ත කියන්නෙ.

      Delete
    2. පතෑං.
      ඩ්‍රැකියා නං කැලරන්ස් ෆිල්ම් එකට වහ වැටිලා වගේ. එකාතකට ඒකත් එක වාසනාවක්.👌

      Delete
    3. ඔවුවොවු, කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වදින ගමනක් ගානෙ කිමද නෑවේ ඇයි නෑවේ කියන්න ගිහිල්ල කොයි වෙලාවක හරි මූ කනව ඩ්‍රැකියානිගෙන් මෝල්ගස් පාරක් අල කොමා කම දෙපිටිං යන්න.

      Delete
    4. Mr. D. G. M.
      අනගිරත්න හැර තවත් කතා ඇතා ද, මහරජ?

      නයෝ,
      අනගිරත්න ගැනත් මේ පොතේ කතාවක් තියෙනව.

      බකෝස්,
      ක්ලැරන්ස් ෆිල්ම් එක බාගත හැකි ලිංක් මොනවද ඇත්තෙ?

      ප්‍රසෝ,
      තවුසෙ ඉතිං තට්ටයගෙ ඇලේ නොමිලේ වතුර ටිකෙන් නා ගත්තෙත් නෑනෙ...

      Delete
  2. සිල් ගත්ත කතාව නම් නියමෙට තියෙයි. ඩ්‍රැකීගෙන් ක්ලැරන්ස් ගැන කියවලම ගිටාරයේ රිද්මය චිත්තරපටියත් බැලුවා. නරක නැහැ. අලුත් නළු නිළියෝ දෙන්නා හොදින් වැඩේ කරලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි, මිස්ටර් සයිලන්ට් කන්ට්‍රෝල්. ඔව් ඉතිං ෆිල්ම් එක සරලයි, සංගීතය නම් සුපිරියි...

      Delete
  3. මෙකෙ නිකං னයි දෙන්නෙක් අවභාවිතා වෙලා තියෙනව වගේ පේනව මට.
    අංගුලිමාල කියල තවුසෙල ආච්චිට නිල් එකක්නෙ පෙන්නන්න හදල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෛ දෙන්නෙක් කිව්වෙ, මුචලින්දයි ප්‍රසයි ද?
      මතක ද සූරසේන පිචර් පෙන්නුවා, පන්සලේ?

      Delete
  4. ඔහේ බවුන්ඩේසන් බැලුවෙයි.

    ReplyDelete
  5. ඊයෙ එල්ලෙ ගහන්න ගිය මනුස්සය බැට් එකක් ගිල්ලැයි.

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනව. එදා හවස ආපහු එද්දි ලේවල සීනි අඩුවෙලා, මතක පටියේ හිස්තැන් ගොඩයි.

      Delete
  6. අනේ මේකට කොමෙන්ටිකක් දාල ලංක අල ගණං යන එක නවත්තගන්න පොඩි සහයෝගයක් දෙන්නකො කට්ටිය.
    -සභාපති, කො.ක.ස.-

    ReplyDelete
    Replies
    1. අලම හිටෝපිය
      ගණන් බලාපිය
      ඔයිය වැඩිය තව
      පෝස්ට් කොටාපිය

      Delete
    2. //කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!//

      Delete
    3. සභාපතියා,
      සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පරමාද උන බව කරුණාවෙන් අලකන්ඩ.

      බකූෂ්,
      විකීගෙ වික්‍රම කතාවෙ කැප්ටන් කිව්ව එක සැරයක්, බ්‍රේක් ගහපං ගණං බලාපං කියල.

      ප්රා,
      අඩු ගානෙ, අවාරෙට පොල් වැටෙනව වගේ පෝස්ට් එකක් දැම්මම නොවැරදීම කියවන්න එන එකත් ලොකු හෛයක්

      Delete
  7. ඔයැයි ක්ලැරන්ස් ගැන තව පෝස්ටුවක් දාන්න කලින් අපිත් ක්ලැරන්ස් බැලුවා.මාත් ලිව්වද කොහෙද පෝස්ටුවක්.කෝ ඔහේලා අපේ බ්ලොග් වලට එනව කියලයැ.

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන සඳ. දැම්ම ම එනව කියවන්න.

      Delete
  8. https://ansathudinapotha.blogspot.com/2025/09/blog-post.html?sc=1758615969424#c6500566762267052593

    ReplyDelete
  9. අඩේ මේක රහයි බොලේ.අනගි රහ තියේ.

    ප්‍රසා අනාගිරත්න මහත්තයා කියන්නේ ලෙජන්ඩ් එකක්.
    බෝ ගැනත් ලියල තිනවා.මුදලාලිගේ ගෙදරට නයා ආව හැටි කියල.
    මේං කොට පාරෙන්.
    //දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් විවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය කතා හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන්” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

    පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින චන්ද්‍ර අනිගිරත්න සංකීර්ණ සමාජය හා කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සිදුවීම් පිළිබඳ සිය පුළුල් දැනුම මෙහි එන සෑම ලිපියකින්ම පිළිබිඹු කර දක්වයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ජාතික කිරි මණ්ඩලයේ සේවයෙන් පසු, කලක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කර, 1971 අප්‍රේල් කැරැල්ලෙන් ඉක්බිතිව, ප්‍රධාන පුනරුත්තාපන නිලධාරියෙකු වශයෙන් බන්ධනාගාර අංශයේ හා කෑගලු දිස්ත්‍රික්කයේ කටයුතු කළ අනගිරත්න ඉන්පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන සහකාර පදවියට පත් විය. ඉන්පසු ඩෙන්මාර්ක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ සමාජ මානව විද්‍යඥයකු ලෙස කටයුතු කළ ඔහු සිය දීර්ඝ වෘත්තීමය ජිවිතය අවසන් කළේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ආරම්භ කළ මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ ප්‍රවෘත්ති නිලධාරී හා සංස්කාරක වශයෙනි.

    ReplyDelete
    Replies
    1. අනගිරත්න ගැන නෙමෙයි මම ඇහුවෙ අනගි‘රත්ත‘ ගැන. හැක්..

      Delete
    2. හුටා! ඕන් බලහං එතනත් නයනු පුරස්නක්. නයනු නං බෝම තමයි

      Delete
    3. අනගිරත්න ගැන මෙච්චර විස්තරයක් මම දැණන් උන්නෙ නෑ. ස්තූතියි.

      ඔය වල් නයි බාවා ඔහොම්මමයි, මට දස්ට කරන්න චෑන්ස් එකක් ලැබුනොත් අරින්නෙම නෑ. මේ වලිගෙ පිටින් අලි මැරෙන රටේ, ඔය පොඩි ප්‍රින්ටින් බිස්ටේක් එකක් ඔච්චර දෙයක්ද?

      Delete
    4. සිරි,
      ඇත්තට ම මම දැනං උන්නෙ නෑ, චන්ද්‍ර අනගිරත්න එ තරම් ම ලොකු සේවයක් කරපු කෙනෙක් කියලා. බොහෝ ම ස්තූතියි ඒ විස්තර ටිකට.

      ප්‍රසා,
      රත්ත කිව්වෙ අසූව දශකයෙ විතර පොඩි කොල්ලංගෙ ඉන්ජුට් එකට නේ?

      සිරි,
      සිංහලේ විතරයි ඔය නයනු ප්‍රශ්න තියෙන්නෙ. (වෙන භාෂාවල තියෙන්නෙ වෙන වෙන අකුරු, "න" ශබ්දයට)
      ඒක කිව්ව ම මතක් වුණේ. මං දවසක් අපේ වොලී ට කිව්ව, නැපෝලියන් ගෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක්. "බෑ, කියන්නෙ ප්‍රංශ වචනයක් නෙවෙයි". ඒ ගමන ඌ මට කියනව. "ඇත්ත නෙ. බෑ කියන්නෙ ප්‍රංශ වචනයක් නෙමෙයි තමයි. ඒක සිංහල වචනයක්." කියල.

      බකුෂ්,
      බොට සංඤකත් බෑ, න යන්නත් බෑ. හැබෑට බොට මොනව ද පුළුවං?

      Delete
    5. සුරුස් ගාලා ලිස්සන්න, ආන්න ජංසං කියන්න නං ඇහැකි. අපි ඇවිල්ලා ඉතාලි වංශවත්තු.

      Basso

      Delete
    6. ඉතා-ලිය කියන්නෙ, ගෑණු ගොඩක් නේ? that explains things...!

      Delete
  10. ක්ලැරන්ස් ෆිල්ම් එක බැලුවා. ඔව්, සංගීතය තමයි main attraction එක. කතාව නම් ඉතින් La La Land, Sound of Music වගේ ෆිල්ම්ස් කීපයක 'ආභාශය' අරගෙන 😊, ක්ලැරන්ස්ගෙ සිංදු ටිකකට මියුසිකල් ස්ටෝරි එකක් හදන්න ගත්ත උත්සාහයක් විතරයි කියලා මට හිතෙන්නෙ. නමුත් ඉතින් එහෙම ක්ලැරන්ස් ගැන කතා කරන්න, ෆිල්ම් එකේ අධ්‍යක්ශක තුමාගෙ perspective එක අනුව ක්ලැරන්ස්ට tribute එකක් කරන්න ගත්ත උත්සාහය අගය කරන්න එපැයි.

    රඟපෑම්වල ලොකු දෙයක් නෑ. සාරංගගෙ හැඟීම් පෙන්වීම නම් පොඩ්ඩක් over. දිනක්ශි ගත්තා කියලා ස්මහරු බැනලා තියෙනවා දැක්කා මටනම් ඇයගෙ රඟපෑම නැචුරල් (although not outstanding). ඉතාම පොඩි කොටසක උනත් හොඳම රඟපෑමක් (විශේශයෙන්ම මුහුනේ ඉරියව්) විදිහට මගේ හිත ගත්තෙ සඟබෝ කොරයාගෙ චරිතය රඟපාන නලුවා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි