Wednesday, August 26, 2015

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure

අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි...

බොහෝ දෙනා ඩ‍්‍රැක්‍යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප‍්‍රසිද්ධියට හේතු වූයේ බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ඩ‍්‍රැක්‍යුලා නම් ඉංග‍්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ඩ‍්‍රැක්‍යුලාගේ ආගන්තුකයාගෙන් ආරම්භවූ ත‍්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන් මේ දක්වා තිරගත වුනු විවිධාකර චිත‍්‍රපට රැසක ද, දුෂ්ඨ චරිතය ඩ‍්‍රැක්‍යුලා හට හිමි විය.

ඩ‍්‍රැක්‍යුලා නවකථාවේ ම සඳහන් වන පරිදි, ‘‘ඔහු අනිවාර්යයෙන් ම තුර්කි දේශ සීමාවේ තුර්කිවරුන්ට එරෙහිව සටන් වැදී ප‍්‍රසිද්ධියට පත් වුණු වොයිවෝඞ් ඩ‍්‍රැක්‍යුලා විය යුතුයි...’’ (ඩ‍්‍රැක්‍යුලා පරි. 18)

(මෙහි, වොයිවෝඞ් යනුවෙන් හැඳින්වෙන්නේ හන්ගේරියානු රාජධානියට අයත් වූ ට‍්‍රාන්සිල්වේනියාවේ පැවති ඉහළම නිලය යි.)

ඩ‍්‍රැක්‍යුලා චරිතය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ තුන්වන ව්ලාඞ් හෙවත් වලාචියා හි කුමාරයා (1431 - 1476) යන ඓතිහාසික පුද්ගලයායි. ඔහු බැසරැබ් පරම්පරාවේ ශාඛාවක් වූ ඩ‍්‍රැක්‍යුලෙස්ටි පරම්පරාවට අයත් වූ හෙයින්, පීතෘනාමය වන ඩ‍්‍රැක්‍යුලා යන නම භාවිතා කළේය. ඔහුගේ මරණින් පසුව 1550 දී පමණ සිට ඔහු උල තියන ව්ලාඞ්යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගැනුනි. උල තියනයන වචනය රුමේනියානු භාෂාවෙන් ට්සෙපෙස්ලෙස උච්ඡාරණය වන අතර එය ලියන්නේ Tepes යනුවෙනි. මොහු ව්ලාඞ් ටෙපෙස් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අනුවය.

ඇම්බ‍්‍රස් බළකොටුවේ ඇති තෙවන ව්ලාඞ් ගේ ආලේඛ්‍යය (ඔහුගේ ජීවමාන කාලයේ නිර්මිතයකින් 1560 දී කරන ලද පිටපතක් ලෙස සැළකේ.) 

ඔටෝමන් තුර්ති වරු බෝල්කන් ප‍්‍රදේශය අල්ලාගැනීම ආරම්භ වූ කාලය වන 1456 සිට 1462 දක්වා කාලය තුළ ව්ලාඞ්, වලාචියා ප‍්‍රදේශයේ වොයිවෝඞ් තනතුර දරා තිබේ. ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල්, මකරාගේ එකමුතුවෙහි සාමාජිකයෙක් විය. (මකරාගේ එකමුතුව හෙවත් Order of the Dragon යනු 1408 දී සිගිස්මන්ඞ් නම් හංගේරියානු රජු විසින් මුලින්ම ඇතිකරන ලද රාජකීයයන්ගේ සංගමයකි. එය නැවත ශුද්ධවූ රෝමක අධිරාජ්‍යය විසින් නැවත පිහිටුවන ලදි. කුරුස යුද්ධයට සහභාගී වූ රදළ පිරිස් අනුව නිමැවුණු එහි මූලික මෙහෙවර වූයේ කුරුසිය ආරක්ෂා කිරීම සහ ක‍්‍රිස්තියානි ආගමේ සතුරන්හට එරෙහිව සටන් කිරීමය. ක‍්‍රිස්තියානියේ සතුරන් ලෙස මූලික වශයෙන් මෙහිදී හැඳින්වුනේ ඔටෝමන් තුර්කි වරුන් විය.) තෙවන ව්ලාඞ් ද බල්ගේරියාවේ වීරයෙකු ලෙසින් සම්මානයට පාත‍්‍ර වේ. ඒ, ඩැන්‍යුබ් නදියේ උතුරු හා දකුණු ප‍්‍රදේශයන්හි ජනතාව ආරක්ෂා කිරීම හේතුවෙනි. ඔටෝමන් වරුන්ට එරෙහිව ඔහු කළ ආක‍්‍රමණ අනුව බල්ගේරියානු සාමාන්‍ය ජනතාව ගෙන් සෑහෙන පිරිසක් සහ ඉතිරිව සිටි බල්ගේරියානු බෝයර් වරු (රදළයන්) ඔහුගේ නායකත්වය පිළිගනිමින් ඩැන්‍යුබ් නදියේ උතුරු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වී වලාචියා හි කොටසක් බවට පත් වූහ.

ඔහුගේ විරුදනාමය ට අනුකූලවම, සතුරන් උල තැබීමේ පුරුද්ද විලාඞ් ගේ කීර්තියේ කේන්ද්‍රය බවට පත් වී තිබේ. ඔහු ජීවත්ව සිටියදී ම ඔහුගේ කෘරත්වය පිළිබඳව ජර්මනිය සහ යුරෝපයේ අනෙකුත් ප‍්‍රදේශ පුරා ප‍්‍රකටව පැවතිණ. ඔහු විසින් වධයට පත් වූවන් ගේ ගණන දස දහස් ගණනකැයි අනුමාන කෙරේ.

ව්ලාඞ් ලියවිලි වල ඔහුගේ නම ලතින් බසින් ලියා ඇත්තේ ව්ලැඩිස්ලාවුස් ඞ්රැගූලියා වයිවෝඩා පාර්ටියුම් ට‍්‍රාන්සැල්පිනේරුම්’ (Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum) (ට‍්‍රාන්සිල්වේනියා ප‍්‍රාන්තයේ වොයිවෝඞ් වන ව්ලාඞ් ඩ‍්‍රැකූල්) යනුවෙනි. ඩ‍්‍රැකූල් යනු පැරණි රොමේනියානු හා ලතින් භාෂාවන්ගෙන් මකරා යන අර්ථය දෙන නාම ප‍්‍රකෘතිය යි. ඒ අනුව ඩ‍්‍රැක්‍යුලා යනු මකරා ගේ පුත‍්‍රයා යන අදහස දෙන්නකි. නමුත් නූතන රුමේනියානු භාෂාවෙන් ඩ‍්‍රැක් යන නාමය යක්ෂයායන අර්ථය දෙයි. ඒ අනුව යමින් ව්ලාඞ් යක්ෂ ව්ලාඞ්යන විරුද නාමය භාවිතා කළායැයි පවතින මතය සාවද්‍ය ය.


1475 ලියවිල්ලක Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum යන්න සඳහන් වී ඇති ආකාරය

ව්ලාඞ් 1431 ශීත සෘතුවේ දී, හංගේරියනු රාජ්‍යයට අයත්ව තිබූ (දැන් රුමේනියාවට අයත් වන) ට‍්‍රාන්සිල්වේනියාවේ සිගිසෝරා (Sighișoara) ප‍්‍රදේශයේ දී උපත ලැබීය. ඒ වන විට ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියා හි වොයිවෝඞ් තනතුරට පත්ව නොතිබිණි. වලාචියාහි සුප‍්‍රකට වොයිවෝඞ් වරයෙකු වූ වැඩිමහල් මර්සියා (Mircea the Elder) දෙවැනි ව්ලාඞ් ගේ පියා විය. විලාඞ් ගේ මව ගේ නම ප‍්‍රකට නැතත්, මේ කාලය වන විට ඔහුගේ පියා මෝල්දාවියාවේ කුමරියක වූ ස්නේනා හෙවත් වසිලිස්සා (Cneajna / Vasilissa) විවාහ කරගෙන සිටි බව කියැවේ. වසිලිස්සා කුමරිය යහපත් ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් දියණිය මෙන් ම, මෝල්දාවියාවේ මහා ස්ටෙෆන් රජුගේ නැන්දණියද වූවාය. දෙවැනි ව්ලාඞ් හට උප භාර්යාවෝ ද ගණනාවක් වූ හෙයින් ව්ලාඞ් හට දෙවැනි මර්සියා සහ ව්ලාඞ් කලූගරූල් නම් වැඩිමහල් අඩ සොහොයුරන් දෙනෛක් ද, කඩවසම් තෙවන රාඩු (Radu III The Handsome) නම් බාල සොහොයුරෙක් ද වූහ.


සිගිසෝරාහි පිහිටුවා ඇති විලාඞ් ස්මාරකය


දෙවන ව්ලාඞ්

ව්ලාඞ් උපන් අවුරුද්දේ ම ඔහුගේ පියා හට මකරාගේ එකමුතුවට බැඳීම සඳහා න්‍යුරම්බර්ග් හි පදිංචියට යාමට සිදු විය. විලාඞ් සහ රාඩු මුල් ළමාවිය ගත කළේ සිගිසෝරා ප‍්‍රදේශයේ ය. ඔවුන්ගේ පියා වොයිවෝඞ් තනතුරට පත් වූ පසු ළමයින් එවකට වලාචියාහි අගනුවර වූ ටර්ගෝවිස්ට් වෙත රැගෙන යන ලදි. කොන්ස්තන්තිනෝපලයෙන් පත් කරන ලද රෝමක හා ග‍්‍රීක ආචාර්යවරුන් වෙතින්, ටර්ගෝවිස්ට් හි දී රදළයන්ගේ පුතුන් හා කුමාරවරුන් හට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ලද බව, බයිසැන්ටියමේ ප‍්‍රධානී වූ මිඛායිල් ඩෝකස් පවසයි. ඒ අනුව, ව්ලාඞ් ද සටන් ක‍්‍රම, භූගෝල විද්‍යාව, ගණිතය, විද්‍යාව, භාෂාවන් (පැරණි ස්ලාවොනික්, ජර්මන් සහ ලතින්), පැරණි කලාව සහ දර්ශනය උගන්නට ඇතැයි සැළකේ.

1436 දී දෙවන ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියාහි වොයිවෝඞ් පදවියට පත් විය. 1442 දී හංගේරියාවේ උපකාර ලද ඔහු ගේ තරඟකාරී පිරිස් ඔහු සිහසුනෙන් පහ කළද, ඔටෝමන් වරුන්ගේ සහාය ලැබූ ව්ලාඞ් නැවත වොයිවෝඞ් පදවිය නතු කරගත්තේය. ඒ වෙනුවෙන් ඔහු සුල්තාන් හට කප්පම් ගෙවීමට ගිවිසගත්තේය. එසේම සිය සුජාත පුතුන් දෙදෙනා වන ව්ලාඞ් සහ රාඩු තම පාක්ෂික භාවයේ සුරක්ෂණයක් ලෙස, ප‍්‍රාණ ඇපකාරයන් වශයෙන් ඔටෝමන් සුල්තාන් මන්දිරය වෙත යැවීය.

ඔටෝමන් වරු වෙත සිටි කාලයේදී ව්ලාඞ් හට තර්ක ශාස්ත‍්‍රය, කුරානය, තුර්කි භාෂාව සහ සාහිත්‍යය උගත හැකිවිය. සොහොයුරන් දෙදෙනා හට ඔටෝමන් වරුන් විසින් යුධ ප‍්‍රයාණ සහ අශ්වාරෝහක කලාවන් ද උගන්වන ලදි. ඒ අනුව ඔවුන්ගේ පියා හට දෙවන බැසරැබ් වෙතින් වලාචියාහි වොයිවෝඞ් තනතුර ආපසු ලබාගැනීමට ඔටෝමන් වරු උපකාර කළහ.

1447 දී ජෝන් හුනියඩි නම් හංගේරියානු ප‍්‍රතිරාජයා ගේ අනුග‍්‍රහය ලද ස්වදේශික බෝයර්වරු කැරළි ගසා බල්ටෙනි වගුරු ප‍්‍රදේශයේදී දෙවන ව්ලාඞ් මරා දැමූහ. ඔහුගේ වැඩුමල් පුතා මෙන්ම උරුමක්කාරයා ද වූ මර්සියා දෑස් අන්ධ කර ටර්ගොවිස්ට් හිදී පණපිටින් වළලන ලදි.

වලාචියා ප‍්‍රදේශය හංගේරියානු පාලනයට නතු වීම වැළැක්වීම පිණිස, ඔටෝමන් වරු වලාචියා ආක‍්‍රමණය කර තරුණ ව්ලාඞ් කුමාරයා සිහසුනට පත් කළහ. මෙම පාලන කාලය ඉතා කෙටි කාලයකට සීමා කරමින් හුනියඩි නැවත වලාචියා ආක‍්‍රමණය කර, ඔහුගේ හිතෛෂියෙකු වූ ඩනෙස්ටි පවුලේ දෙවන ව්ලැඩිස්ලාව්, වොයිවෝඞ් තනතුරට පත් කළේය.

මෙහිදී, ව්ලාඞ් මෝල්දාවියාවට පළා ගිය අතර, ඔහුගේ මාමා වූ දෙවන බොග්ඩන් ගේ අනුග‍්‍රහය හා ආරක්ෂාව ඔහුට ලැබුණි. බොග්ඩන් 1451 ඔක්තෝබර් මාසයේදී ඝාතනය කරනු ලැබීමෙන් පසු ව්ලාඞ් හංගේරියාවට පළා ගියේය. ඔටෝමන් වරුන් සමඟ වාසයෙන්, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු, ප‍්‍රතිපත්ති, චින්තනය සහ දැක්ම පිළිබඳව ව්ලාඞ් හට පුළුල් අවබෝධයක් විය. එසේම ව්ලාඞ්, අලූතින් පත්ව සිටි ඔටෝමන් සුල්තාන් වරයා වූ දෙවන මෙහ්මඞ් සමඟ වෛරයෙන් පසුවිය. එහෙයින් හුනියඩි සිය පැරණි පතිවාදියා වූ ව්ලාඞ් සමඟ සංහිඳියාවක් ඇතිකරගෙන, සිය උපදේශකවරයෙකු ලෙස පත් කරගත්තේය.


දෙවන මෙහ්මඞ්

1453 දී දෙවන මෙහ්මඞ් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, එය මධ්‍යස්ථානය කරගනිමින් කාපේතියානු කඳුකරය හරහා යුරෝපා මහද්වීපය පුරා සිය අධිරාජ්‍යය පැතිරවීම කෙරෙහි ඔටෝමන් වරුන්ගේ අවධානය යොමු විය. එසේ, ඔවුන් 1481 දී සමස්ත බෝල්කන් අර්ධද්වීපය ම නතු කර ගත්හ. ව්ලාඞ් ගේ පාලන කාලය, අයත් වන්නේ ඉහත කී දශක තුන ට හෙවත්, බෝල්කන් ප‍්‍රදේශය ඔටෝමන් වරුන් විසින් ආක‍්‍රමණය කළ කාල සීමාව තුලට ය.

කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් වසර තුනකට පසු 1456 දී ඔටෝමන්වරු බෙල්ගේ‍්‍රඞ් නගරය වැටලීමෙන් හංගේරියා රාජ්‍යයේ සාමය අවදානමට ලක් විය. ඊට පිළිතුරු ලෙස හුනියඩි සර්බියාවට පහර දුන් අතර, එම යුධ ප‍්‍රයාණය පහසු කිරීමට තමන්ම සර්බියාවට ගියේය. (ඉතා කෙටිකලකට පසු ඔහු වසංගත රෝගයකින් මිය ගියේය.) ව්ලාඞ් තම හමුදාව සමඟ වලාචියා ආක‍්‍රමණය කර, සිය මව්බිම නැවත අල්ලා ගත් අතර, මුහුණට මුහුණ කළ සටනකින් දෙවන ව්ලැඩිස්ලාව් මරණයට පත් විය.

වලාචියා ව්ලාඞ් හට නතු වන විට පැවතියේ අතිශය දුක්ඛිත අඩියක ය. නිරන්තර යුද්ධ හේතුවෙන්, අපරාධ පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වී තිබුණි. කෘෂිකර්මය කඩා වැටෙමින් පැවති අතර, වෙළෙඳාම බොහෝදුරට අතුරුදන් වී තිබිණ. පිටතින් එන තර්ජනයන්ට මුහුණ දීමට ස්ථාවර ආර්ථිකයක් අත්‍යවශ්‍ය වූ හෙයින්, සමාජ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම උදෙසා ව්ලාඞ් දුෂ්කර උපායමාර්ග ක‍්‍රියාත්මක කළේය.

වලාචියා වෙනුවෙන් ව්ලාඞ් ගේ අරමුණු තුනක් විය. ඒවා නම්, රාජ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කිරීම, එහි ආරක්ෂාව සහ තම දේශපාලනික බලය වර්ධනය කර ගැනීම යි. ගොවීන්ගේ සුභසාධනය වෙනුවෙන් ඔහු අලූත් ගම්මාන බිහි කිරීම හා කෘෂිකර්මයේ ඵලදාව ඉහළ නැංවීම ගැන අවධානය යොමු කළේ ය. වලාචියා හි සංවර්ධනය උදෙසා වෙළෙඳාමේ ඇති වැදගත්කම අවබෝධකරගත් ඔහු, ටර්ග්සෝර්, කම්ප්‍යුලූං සහ ටර්ගොවිස්ට් යන නගර වල විදේශීය වෙළෙන්දන්ට සම්බාධක පැනවීමෙන් දේශීය වෙළෙඳුන් හට අනුග‍්‍රහ දැක්වීය.

තම පියා සහ සහෝදරයාගේ ඝාතනයට මෙන්ම, දිගින් දිගටම පවත්නා දේශපාලන අස්ථාවරභාවයට ත්, ප‍්‍රධානතම හේතුව වූයේ බෝයර්වරුන් යැයි ව්ලාඞ් කල්පනා කළේය. එහෙයින්, තම පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු, කැපීපෙනුනු රදළ නායකයන් බොහොමයක් මරා දැමූ අතර, සිය පාලන සභාවේ සාම්ප‍්‍රදායිකව බෝයර්වරුන් හට අයත් වූ තනතුරු, තමන්ට සහ විදේශිකයන් හට පක්ෂපාතීත්වය දැක්වූ ද, පිරිසිදු පරම්පරාවක් නොමැතිවූ ද, පුද්ගලයන් හට ලබා දුන්නේය. පහල නිලයන්ට පත්කිරීමේදී බෝයර්වරුන් වෙනුවට ව්ලාඞ් කැමැත්තක් දැක්වූයේ නයිට් වරුන් සහ නිදහස් ගැමියන් පත්කිරීමට ය. වලාචියාව නැවත ගොඩනැගිමේදී ව්ලාඞ් සොරුන් හට දඬුවම් කිරීමට නව නීති හඳුන්වා දුන්නේය. ඔහු බෝයර්වරුන් හට සැළකුවේ ද ඊට සමාන රළු බවකිනි. ඒ, ඔවුන් තම පෞද්ගලික බල අරගළයන් මඟින් වලාචියාව දුර්වල කරන බව ඔහු විශ්වාස කළ බැවිනි.

ව්ලාඞ් හමුදාව ද ශක්තිමත් කළේය. ඔහුගේ පෞද්ගලික ආරක්ෂක හමුදාව කුඩා වූ අතර, එය කූළී හේවායන්ගෙන් සමන්විත විය. යුද්ධයේදී කොල්ලකෑමට ඉඩහැරීමෙන් ද, උසස්වීම් වලින්ද ඔවුන් හට සංග‍්‍රහ කරන ලදි. ඊට අමතරව ඔහු සාමාන්‍ය ගැමියන් ගෙන් සමන්විත මිලීෂියාවක් ද සකස් කර තිබූ අතර, ඔවුන් යුද්ධයන්හිදී කැඳවන ලදි.

ව්ලාඞ් ටර්ග්සෝර් හි පල්ලියක් ඉදිකරවීය. එය ඊට ආසන්න ස්ථානයකදී ඝාතනය කෙරුණු පියා සහ සහෝදරයා වෙනුවෙන් ඉදි කෙරුණු බව සිතිය හැක. එසේම ඔහු ස්නැගෝව් සහ කොමානා පූජකාශ‍්‍රමයන්හි ආරක්ෂක ගොඩනැගීම් වෙනුවෙන් මුදල් ද පරිත්‍යාග කළේය.

වලාචියානු රදළයන් ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන් සමඟ සබඳතා පැවැත්වූ හෙයින්, ව්ලාඞ් සැක්සන් වරුන් ගේ වෙළෙඳ වරප‍්‍රසාද ඉවත් කළ අතර, ඔවුන්ගේ නගර වලට ද පහර දුන්නේය. 1459 දී ඔහු සැක්සන් ජනපදවාසීන් කිහිප දෙනෙක් උල තැබ්බවීය.

1459 දී මැංචුවා සමුළුවේ දී දෙවන පයස් පාප් තුමා ඔටෝමන් වරුන්ට එරෙහිව නව කුරුස යුද්ධයක් කැඳවීය. මෙම යුද්ධයේ ප‍්‍රධාන භූමිකාව හංගේරියානු රජු වූ ජෝන් හුනියඩි ගේ පුත් වූ මැතියස් කෝර්විනස් හට පැවරිණ. ඒ සඳහා පාප් තුමා ඔහු වෙත රන් කාසි 40,000 ක් ලබා දුන්හ. එම මුදල සෙබළුන් 12,000 ක් සහ ඩැන්‍යුබ් යුධ නැව් 10 ක් රැුස් කර ගැනීමට ප‍්‍රමාණවත් වෙතැයි ඇස්තමේන්තු කරන ලදි. මෙවක, වලාචියා ප‍්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් ලෙස දෙවන මෙහ්මඞ් විසින් ප‍්‍රකාශයට පත් කර තිබූ හෙයින්, ඔටෝමන් වරුන් සිය දේශයෙන් පිටුදැකීමේ අරමුණින් ව්ලාඞ්, මැතියස් කෝර්විනස් සමඟ එක් විය.


එම අවුරුද්දේම පසුභාගයේදී ඔටෝමන් සුල්තාන් වූ දෙවන මෙහ්මඞ් ගේ දූතයන් ව්ලාඞ් හමු විය. ඔවුන් අත මෙහ්මඞ් දන්වා එවා තිබුණේ ප‍්‍රමාද වූ බදු හෙවත් කප්පම ලෙස ඩකට් 10,000 ක් ද ඔටෝමන් හමුදාවට බඳවා ගැනීම පිණිස ආධුනික සෙබළුන් 500 ක් ද එවන ලෙස ය. ව්ලාඞ් එය ප‍්‍රතික්ෂේප කළේය. ඒ, කප්පම් ගෙවීම යනු වලාචියාව ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් බවට ප‍්‍රසිද්ධියේ පිළිගැනීමක් වන හෙයිනි. සිය පූර්වගාමීන් සහ අනුප‍්‍රාප්තිකයන් බහුතරයකගේ මෙන්ම ව්ලාඞ් ගේ ද මූලික අරමුණ වූයේ වලාචියාව තමන්ට හැකි තරම ස්වාධීනව තබා ගැනීමයි. මෙහිදී ඔහු තමන් ඉදිරියේ තුර්කි තානාපතිවරුන් ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් නොකිරීම යන හේතුව මත, ඔවුන්ගේ තලප්පා ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්සවීමෙන්, එම දූතයන් හට මරණ දඬුවම පැනවීය.


තෙවන ව්ලාඞ් තුර්කි තානාපතිවරු හමුවෙයි - තියඩෝර් ඒමන් ගේ චිත‍්‍රයකි. 

මේ අතර සුල්තාන් වරයා, ව්ලාඞ් ඩැන්‍යුබ් නදිය අවට ප‍්‍රදේශ වල බලය පතුරුවාගැනීම පිළිබඳව සිය රහස් ඔත්තු අංශයෙන් දැනගත්තේය. ඔහු නිකොපොලිස් පළාතේ පාළකයා හෙවත් බේ වරයා වූ හම්සා පාෂා ව්ලාඞ් සමඟ සංහිඳියාව ඇතිකරගැනීම හෝ අවශ්‍ය නම් ඔහු පිිටුදැකීම පිණිස යෙදවීය.


හම්සා පාෂා අශ්වාරෝහකයන් 1,000 ක් සමඟ පිටත් විය. ඔවුන් ග්‍යුර්ග්‍යු හි උතුරු කොටසේ ඉතා පටු දුර්ගයක් පසු කරද්දී, ව්ලාඞ් ඔවුන් අපේක්ෂා නොකළ ප‍්‍රහාරයක් එල්ල කළේ්ය. වලාචියා සේනාව තුර්කි වරුන් සහමුළින් වටළාගත් අතර, සියළුම දෙනා පාහේ උළ තියන ලදි. එහිදී අනෙක් අයට වඩා උස් උලක හිඳුවීමෙන් හම්සා පාෂා ගේ උසස් නිල තත්ත්වයට ගරු කිරීමට ව්ලාඞ් නියෝග කළේය.

ඉතිරි කොටස ළඟදීම...

ප / ලි 

මූලාශ්‍රය - විකිපීඩි‍යා
තමන්ගේ යුරෝපා සංචාරක සටහනේදී අප සිහිපත් කිරීම ගැන පොඩි කුමාරිහාමි ට ප්‍රණාමය...

Monday, July 27, 2015

ලොව පුරා ජනකථා අතරින් - ලෝකෙ දිගම කතාව...


සිරා ගේ ආරාධනයෙන්, 
මෙන්ඩා ගේ මග පෙන්වීමෙන්, 
අපේ තාත්තාගේ මුල් ගල් තැබීමෙන් 
මේ කැටගරිය ආරම්භ වන්නේය...

මීට කලින් කණ්ණඩ ජනකතාවක් පෝස්ට් කළා. ඒක මේ කැටගරියේ මුල්ම කතාව විය යුතුයි. ඒත් මේ කැටගරිය ආරම්භ කරන අද, මුලින්ම කියන්නට යන්නේ ලෝකයේ තියෙන දිගම කතාවයි. 

ලෝකෙ දිගම කතාව කිව්වම, මා ළඟ තියෙන්නෙ චීන කතාවක් සහ අප්‍රිකානු කතාවක්. ඕං ඉස්සෙල්ලම චීන කතාව...

චීනෙ හිටියා අධිරාජයෙක්. එතුමා හරිම ආසයි කතන්දර අහන්න. එතුමා කලින් අහලා නැති කතාවක් කියන්නට පුළුවන් වුනු කතන්දර කාරයන්ට එතුමා බොහොම ඉහළින් සැළකුවා.

දවසක් අධිරාජයට හිතුනා ලෝකෙ තියෙන දිගම කතන්දරය අහන්නට. ඉතින් කරපු වැඩේ, චීනය පුරාම අණබෙරයක් යැවුවා, ලෝකෙ දිගම කතාව කියන්න පුළුවන් තැනැත්තාට ඇතෙක් ගෙ බරට රත්තරන් දෙනවාය කියලා.

ඉතින් කතන්දර කාරයො රජමාළිගාවෙ පිරුණා. අධිරාජයා එක එක්කෙනා බැගින් ගෙන්නුවා කතන්දර අහන්නට. එක් කෙනෙක් එදා උදේ පටන් ගත්ත කතාව ඉවර කළේ පහුවදා පාන්දර. ඒ තරමට දිගයි කතාව. නමුත් අධිරාජයාට ඒ කතාව දිග මදි.

තවත් කෙනෙක් දවස් දෙකක් තුනක් ගත්තා කතන්දරය කියන්න. ඒත් අධිරාජයාට දිග මදි වුනා. සමහරු සතියක්, සති දෙකක් විතර කතා කිව්වා.

අධිරාජයා සෑහීමකට පත් නොවෙන තැන කතන්දර කාරයන් මාළිගාවට එන එකත් ටිකෙන් ටික අඩු වුනා. ඒත් දවසක් එක කතන්දර කාරයෙක් ඇවිත්, කතාවක් කියන්න පටන් ගත්තා.

".. ඔන්න එක්තරා කාලයක චීනයේ හිටියා මහා ඉඩම් හිමි ගොවියෙක්..." එයා කතාව පටන් ගත්තා. රජතුමා ඔහු ඉදිරියේ වාඩි වෙලා ඔළුව වන වනා කතාව අහනවා. "..එ් ගොවියාට තිබුණු ඉඩම් චීන මහා ප්‍රාකාරයේ සිට කහ මුහුද දක්වාම පැතිරී තිබුණා. එක පැත්තකින් ධාන්‍ය අස්වනු නෙළාගෙන අනෙක් පැත්තට යනවිට මුලින් අස්වනු නෙළූ පැත්තේ ආයෙත් අස්වනු පැහිලා. ඒ වගේම එයාගෙ අටු කොටු ම තිබුණා අක්කර ගණානාවක. 

ඔහුට හිටියා බොහොම දක්ෂ, ශූර වීර සහ නැණවත් පුතුන් තුන් දෙනෙක්. වැඩිමල් පුතා අශ්වයන් දමනයට විශේෂයෙන් දක්ෂයි. මද්දුම පුතා ගණිත ශාස්ත්‍රයට දක්ෂයි. බාල පුතා ප්‍ර‍ායෝගික බුද්ධිමතෙක්.

ඔන්න දවසක් වී කුරුල්ලෙක් ඇවිත් අර ගොවියාගේ එක අටුවකින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. මුර කාරයො මේක දැක්කා. ඒත් ඉතින් මේ පොහොසත් ගොවියාගේ අටු කොටු කොයිතරම් පිරී තිබුණාද කිව්වොත්, ඔවුන් මේ එක වී ඇටයක් අඩුවීම ගැන මොනවත් ම කළේ නෑ.

https://public.dm2301.livefilestore.com
/y3pNgp52DGKzk3cDVHJDIwuahm4-
Zjsh1LVOPtuvyy1N3TAoQeOFTl7
u34zFv_8UOjmz3TPS2KdQ7IsKWhYaa_
tbaaZmr-XtKJes8qBv3OHsDU/
Gela%20Kalu%20Vikurulla%20-2.jpg?rdrts=112611686

ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා.

ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."

"ඉතින්?" අධිරාජයා ඇහුවා.

"...ඊ ළඟ ද‍වසෙත් අර වී කුරුල්ලාම ඇවිත් තවත් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා."

"හරි ඉතින් ඊට පස්සෙ?" අධිරාජයා නොඉවසිල්ලෙන් ඇහුවා.

"...ඊ ළඟ දවසෙත් වි කුරුල්ලා ඇවිත්..."

"හරි හරි... වී කුරුල්ලා ගියාට පස්සෙ මොකද වුනේ කියනවකො." අධිරාජයා කිව්වා.

"... එහෙම කිව්වට රජතුමනි, මේ පොහොසතාගෙ වී අටු ම තියෙනවනෙ අක්කර ගාණක්. මේ වගේ වී ඇටෙන් ඇටේ අඩුවෙලා, වී වල අඩුව පොහොසතාට දැනෙන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. වී කුරුල්ලගේ මී මුනුපුරන්ගේ කාලයට එනතුරු මේ විදිහට වී ඇටෙන් ඇටේ අරං යන්න වෙනවා. එයින් පස්සෙ තමයි මේ ගොවියාගේ පුත්තු තුන්දෙනාගෙ වික්‍රමාන්විත ක්‍රියා වලට ඉඩ ලැබෙන්නෙ. ඒ නිසා ඉවසා වදාරන්න හොඳා..."

‍අධිරාජයා එකඟ වුනා.

"... ඔන්න ඉතින් අනික් දවසෙත් වී කුරුල්ලා තව වී ඇටයක් අරගෙන ගියා."

"ඇති ඇති..." අධිරාජයා කතාව නැවැත්තුවා. "මට දැන් ඔය මූසල වී කුරුල්ලන්වත් පේන්න බැරුව යනවා මේ කතාව නිසා. මොහුට හොඳින් සළකා. තෑගි භෝග දී පිටත් කරනු. ඒ වගේම - මගේ අණබෙරය නැවැත්වීමට අණ කරනු..." අධිරාජයා මහ ඇමතිට කිව්වා.

---------------------------------

ඔන්න එහෙනම් අප්‍රිකානු කතාව...

කලින් කතාවෙ චීන අධිරාජයා වගේම, අප්‍රිකානු රජෙකුටත් ආසා හිතුනා ලෝකේ දිගම කතාව අහන්න. ඉතින් එයත් කරපු වැඩේ තමන්ගෙ රාජ්‍යය පුරා අණබෙරයක් යැව්වා.

කලින් වගේම එක එක දිගැති කතා අරන් කතන්දර කාරයො මාළිගාවෙ පිරුණා. එක එක දිග කතා අහන්න ලැබුණට රජාට ඒ කතා වල දිග මදි වුනා. ඉතින් අර කතන්දර කාරයන්ට සිද්ධ වුනේ තෑගි භෝග ලබන්න නෙවෙයි. දංගෙඩියට යන්න. අන්තිමේ එක කතන්දර කාරයෙක් ඇවිත් රජ්ජුරුවො කවදාවත් අහලා නැති විදිහේ කතාවක් කිව්වා.

"ඔන්න අප්‍රිකාවෙ හිටියා උබන්බාවු කියලා මිනි‍හ‍ෙක්. එයාට කවදාවත් ම බඩ පිරෙන්න කන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද, ‍කොච්චර කෑවත් එයාගෙ බඩ පිරුණෙ නැති නිසා.

http://ahfesl.free.fr/Images/
Basil_Cartoon_LNW_11.10.10.jpg

"මේ රටේ මහ රජාටවත් බෑ මගෙ බඩ පිරෙන්න කන්න දෙන්න" දවසක් උබන්බාවු කඩමණ්ඩියෙදි කිව්වා.

මේ කතාව කටින් කට ගිහින් රජමාළිගාවටත් ආරංචි උනා. රජතුමාට බොහොම කේන්ති ගියා. එයා කරපු දේ, උබන්බාවු රජ මාළිගාවට ගෙන්නුවා. 

"ඇත්තද බොල, මටවත් තොගෙ බඩ පුරවන්න බැරිය කියන්නෙ?" රජතුමා ඇහුවා. 

"එහෙමයි..." උබන්බාවු බය පක්ෂපාත කමින් උත්තර දුන්නා.

හොඳටම කේන්ති ගියපු රජතුමා, රට පුරා අණබෙරයක් යැව්වා, රටේ හැම මිනිහෙක්ම මොනවා හරි කෑමක් රජමාළිගාවට එවන්න ඕනෙය කියලා.

රජතුමාගෙ කෝපයට බයේ, රටවැසියො තමන්ට කන්න තිබුණ දේ පවා රජ මාළිගාවට එව්වා. ඒ විදිහට රජමාළිගාවෙ මිදුලෙ එකතු වුනා,

හරක් මස් කරත්ත 700
පරිප්පු කල්දේරම් පුරවපු කරත්ත 500
අල කරත්ත 600
බෝංචි කරත්ත 500
මාළු කරත්ත 800
උෟරු මස් කරත්ත 400
කුකුල් මස් කරත්ත 500
කරවල කරත්ත 500
අච්චාරු කරත්ත 200
පපඩම් කරත්ත 200
චිලි පේස්ට් කරත්ත 1 යි

රජ අණ විදිහට රජමාළිගාවෙ මිදුලෙ මේසයක් පුටුවක් තියලා උබන්බාවු ව ඉන්දෙව්වා. සේවකයන්ට කිව්වා අර කරත්ත වලින් කෑම වර්ග අරං උබන්බාවුට බෙදලා දෙන්න කියලා.

ඔන්න ඉතිං උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

ඔහෙම කිය කියා ඉද්දි රෑ වුනා. කතන්දර කාරයා හෙටත් උදෙන්ම එන්නම් කියලා රජතුමාට වැඳලා පිටත් වුනා.

පහුවදා පාන්දරින්ම කතන්දර කාරයා ආවා. රජතුමාත් කතාවෙ ඉතුරු ටික අහන්න ඉඳගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

"හරි හරි ඉතින් කියනවකො ඉතුරු ටික!" රජතුමා කිව්වා.

"ඉතින් රජතුමනි, උබන්බාවු අර එකතු වෙච්ච කෑම වලින් කරත්ත10 ක් වත් තාම කාලා ඉවර නෑනෙ. ඒ ටික ඉවර වුනාම තමා හොඳම හරිය තියෙන්නෙ." 

රජතුමා ඔළුව වැනුවා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාත් සෑහෙන වෙලාවක් ඉවසගෙන හිටියා. මොකද එයාගෙ අණනෙ, ලෝකෙ ලොකුම කතාව කියන එක.

"... කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..." කිය කියා ඉඳලා අර කතන්දර කාරයා රෑ වෙනකල්ම කිය කියා ඉඳලා, රෑ වුනහම ගෙදර ගියා.

පහුවදා කතන්දර කාරයා මාළිගාවට ඇවිත් රජතුමා ඉස්සරහ ඉඳගෙන ආයෙම කතාව පටන් ගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාට හොඳට හිනා ගියා. "හරි හරි..." කියලා රජතුමා කතාව නැවැත්තුවා. හිනා වෙලා හිනාවෙලා අන්තිමේ රජතුමා කතන්දර කාරයට තෑගි බෝග ගොඩක් දීලා පිටත් කළා.

ප/ලි

අටු කොටු වලින් වී ඇටේ ඇටේ හොරකම් කරන වී කුරුල්ලනුත්, උබන්බාවුත්, මහරජ වරුත්, ඇතෙක් බරට රත්තරන් පොරොන්දු වෙලා නිකං තෑගි වලින් ශේප් වෙන අධිරාජයොත්, අණබෙර කාරයනුත්, සියල්ල දැනට ජීවත් ව සිටින හෝ මියගිය, කිසිම දේශපාලනඥය‍ෙකුට, අගවිනිසොරෙකුට හෝ මාධ්‍ය කා‍රයෙකුට හෝ දක්වන කිසිම සමානත්වයක් කතා කතුවරයන් වන ජනප්‍රවාද කාරයන් අදහස් නොකරන බව තරයේ මතක් කර සිටිමි.

Thursday, July 16, 2015

ඉඳුවර දෙනෙත්... ජනකවියේ එන සුන්දර ලලනාවන්, කාලිදාසගේ මරණය, සායිබාබා සහ සිසිර කුමාර මාණික්කආරච්චි...

අද උදේ වැඩට එද්දිං අපිට ඉස්සර කරපු ත්‍රී වීල් එකක පිටිපස්සෙ ගහලා තිබුණා "ඉඳුවර දෙනෙත්" කියලා. ඒක දැකපුවාම මගෙ හිතට ආව මතක ටිකෙන් තව බ්ලොග් පෝස්ටුවක් කොටාගන්න පුළුවං කියලා හිතුණා.

"ඉඳුවර දෙනෙත්" කියන එකේ උපමාවයි උපමේයයි දෙකම තියෙනවා නේද? මං ඇහුවා ඩ්‍රැකියානිගෙන්, අර ත්‍රීවීල් එක පෙන්නලා.
"මානෙල් මල් වගේ ඇස්..."

http://2.bp.blogspot.com/-TltTumGW7YI/
UZAjcl8WHzI/AAAAAAAABE4/
MEQ7LUO5W64/s1600/Lost-In-Her-Eyes-66813.jpg

"සමහර විට ඒ ත්‍රීවීල් කාරයගෙ දරුවට දාපු නම වෙන්නැති." ඩ්‍රැකියානි කිව්වා.

"ඒක ගෑණු ළමයෙකුට නම් ගැළපෙනවා. හැබැයි නමේ හැටියට නම් පුතෙක් වගේ." මං කිව්වා. "ඔය වගන්තිය දැක්කහම මට මතක් උනේ... ඔයා දන්නවද කාලිදාස මැරුණ විදිහ?"

"කාලිදාස මැරිලා ගොඩක් කල්නෙ. අපි පාර දිහා බලාගෙන යමු නේද පරිස්සමට?" ඩ්‍රැකියානි කොහොමත් කතන්දර අහන්න එච්චර මනාපයක් නෑ.

පරණ කතන්දර වල බහුලවම තියෙන උපමාවක් තමා ගෑල්ලමේකුගෙ ඇස්දෙක හරියට මානෙල් පොහොට්ටු වගෙයි කියන එක. ඒ කාලෙ ආකර්ෂණය තියෙන්න ඇත්තෙ නිල් පාට ඇස්වලට වෙන්නැති. ඒ වගේම ගෝමර සහිත හම ලස්සනයි කියලා සම්මතයකුත් තිබුණ නෙව. අද කාලෙ නම් ගෑල්ලමයි අළුහං දුරු කරන්න බේත් නොසෑහෙන්න හොයනව.

වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා

මේක රාජාධිරාජසිංහ රජ්ජුරුවො කියපු කවියක් ලු.

මං පැංචා කාළෙ ඒ කියන්නෙ තුනේ පන්තියෙදි විතර, සිංහල ටීචර් අපිට කිව්වා ජනකවි ලියාගෙන එන්න කියලා. ඒකට පරණ සඟරා පෙරළද්දි මට හම්බුනේ නැතැයි "ජනකවිය තුළින් මතුවන කාන්තාව සහ ආදරය" කියලා ලිපියක්. මාත් ඉතිං ඒකෙ තිබ්බ කවි ඔක්කොම ලියාගෙන ගියා. ඒකෙ තිබ්බ කවියක් තමා ඔය උඩින් තියෙන්නෙ. ඒ වගේ තව කවියක් මට මතකයි එදා පන්ති‍ය‍ෙදි මං පොත පෙරළගෙන සද්ද නගා එහෙම කිව්වා‍.

රාමතේ මොටද මඟපෙරලුමක්  නැතී
මාවතේ මොටද යන එන අතක් නැතී
හාමතේ මොටද මිනිහෙක් සතෙක් නැතී
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැතී
(කියපු එකාගේ සහමුල රෙදිත් නැතී)

මදැයි මානෙල් වගේ ඇස් ගැන කියන්න අැවිත් නෑනෙක් ගාවින් නතර උනා...

මාත් ඉතිං ඩ්‍රැකියානි කියාපු කතාව ගණන් නොගෙන කාලිදාසගෙ කතාව කියාගෙන ආවා දිගටම.

කාලිදාස ලංකාවෙ කුමාරදාස කියලා රජකෙනෙක් එක්ක තදබල මිතුරුකමක් පැවැත්තුවා කියලා තමා කතාවෙ තියෙන්නෙ. හොඳ කවියෙක් වෙච්ච කුමාරදාස රජතුමා තමයි ජානකීහරණය ලිව්වයි කියන්නෙ, රාමායණය ඇසුරින්. ලංකා ඉතිහාසයෙ හැබැයි කුමාරදාස කියලා රජකෙනෙක් නෑ. උගත්තු නම් කියන්නෙ කුමාරධාතුසේන රජතුමා තමා මේ කියන කුමාරදාස රජතුමා කියලා.

සැරයක් කාලිදාස ලංකාවෙ ඇවිත් තියෙනවා තමන්ගෙ යාළුවා හම්බවෙන්න. ඒ ආ ගමන එයාගෙ අන්තිම ගමන වෙලා තියෙන්නෙ මෙහෙමයි.

කුමාරදාස රජ්ජුරුවො ජනපදකල්‍යාණියක් හම්බවෙන්න ගිහින් එයා එක්ක පුරුෂකෘත්‍යය කරලා (ඒ වචනෙ අල්ලගත්තෙ උම්මග්ග ජාතකයෙන්.) ඇළවෙලා ඉන්න ගමන් බිත්‍තියෙ කවි පද දෙකක් ලිව්වාලු.

"පුෂ්පේ පුෂ්පෝත්පත්තිහ්
ශ්‍රෑයතේ නච දෘෂ්‍යතෙ..." කියලා. ඒකෙ තේරුම තමා,

"මලකින් මලක් උපදියි
ඒ බවක් අහලවත් දැකලාවත් නැත..."
මේ කවිය රජතුමාගෙ හිතේ පහළ වෙන්න ඇත්තෙ ජනපදකල්‍යාණිගෙ සුන්දර රූපය දැකලා වෙන්න ඇති.

කවියට යටින් රජතුමා මෙහෙමත් ලිව්වලු.
"මෙහි අනිත් පද දෙක සාර්ථකව ගළපන්නාට කහවණු දහසක් දෙමි. මීට කුමාරදාස රජු."

පස්සෙ දවසක කාලිදාසත් ඔය ජනපදකල්‍යාණි ගාවට ගිය වෙලාවක, මේ කවිපද දෙක දැකලා, ඊට යටින් මෙහෙම ලිව්වලු.

"...බාලේ තව මුඛ්‍යාම්භෝජෙ
නේත්‍රෙ ඉන්දීවර ද්වයම්"

ඒකෙ තේරුම තමා,
"තරුණිය, ඔබේ මුහුණ නම් නෙළුමෙහි
නෙත් නම් මානෙල් මල් දෙකක් වේ..." ඒකෙන් අර රජතුමා අදහස් කරපු කාරණය පැහැදිලි වෙනවා.

https://sweetmfkhan.files.wordpress.com
/2014/02/devdas-dilip-kumar.jpg
ජනපදකල්‍යාණි හිතුවලු මේ යකාට මොකටද කහවණු දාහක් දිනාගන්න දෙන්නෙ, මංම ‍ඒ තෑග්ග ගන්නවා කියලා. කාලිදාස මත් වෙලා හරි මහන්සි වෙලා හරි නින්දට වැටුණට පස්සෙ උන්දැව මරලා හංගලා, රජ්ජුරුවන්ට කවිය ඉදිරිපත් කළා ලු.

රජ්ජුරුවන්ට එකපාරටම තේරුණාලු කාලිදාසගෙ තමයි මේ කවිපද දෙක කියලා. පොර ජනපදකළ්‍යාණිට දඬුවම් කරලා, කාලිදාසගෙ දේහය හොයාගෙන, රජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කළාලු. ආදාහණය කරද්දි, තමන්ගෙ ශෝකය දරාගන්න බැරුව කුමාරදාස රජ්ජුරුවොත් අර චිතකයටම පැනලා දිවිනහගත්තයි කියනවා.

මට මතක හැටියට සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණා, "ඉංදියාවෙ ඉඳං ලංකාවට ඇවිත් ගණිකා නිවාසෙකට රිංගලා මරලා දාපු කාලිදාස කවියා..." වගේ කියමනක්. මතක් වුනාට එකතු කළේ. උන්නැහැ මාර විදිහට නිදහස් චින්තනයකින් ලියපු කෙනෙක්. සැරයක් මතකයි, සායිබාබගෙ පතුරු ඇරලා තිබුණා. ඒ පරිච්ඡේදෙ මෙහෙමත් තිබුණා.

//"අටවක දා සායිබාබාගේ ඇඟට තදින් උණ ගැනේ. මන්ද එතුමා එදින රන් ශිවලිංගයක් වමාරන හෙයිනි." කියා අහවල් පොතේ තිබුණේය. ඒක නම් ශිවාගම්කාරයෙකුට හරිම ජොලියක් එන කතාවකි. සායි බාබා, විෂ්ණුගේ දහ වන අවතාරය හෙවත් කල්කි අවතාරය බවත් මේ පොතේම තිබේ. "එතකොට අපේ ශිව දෙයියංගේ අහවල් එක තොපේ විෂ්ණූ දෙයියංගේ කටේ නේද?" කියා ශිවාගම් කාරයෙකුට අහන්නට පුළුවං ය. එක දෙයියෙකුගේ කුණුහරුප කාරණාව තව දෙයියෙක් ගෙ කටේ තිබීම...//

තවත් පොතක උන්නැහැ වදන් කවිපොතේ කවියක් අන්තිම පදේ වෙනස් කර සඳහන් කර තිබුණා.

"සිද්ද කිහිරැලි සමන් බොක්සැල් - විභීෂණ සිව් වරම් රජ නිති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර - කතරගම දෙවියනුත් සිත රුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ - භද්‍රකාලී දේවි ගණපති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ - කරන මඟුලක් කරනු යහපති"

මං මීට කලින් කාලිදාස ගැන කතාවක් ලිව්වා. ඒ පාර තවත් ‍ඒ වගේ කතා තියෙනවනම් දාන්න කියා කීපදෙනෙක් කියලා තිබ්බා. ඔන්න පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගේ (කොපිරයිට් - රවි) තවත් සංස්කෘත කවි කතාවක් ලිව්වා එහෙනං...



Thursday, July 9, 2015

බාප්පගෙ කතන්දර - 3 කොටස...

නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)

1. කොටස
2. කොටස

බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචි‍ගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.

ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.

http://www.styrorail.ca/images/bluefox.jpg

නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ කළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා. ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා.

දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.

ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"

"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා ‍පාරෙං ෂේප් උනා.

ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.

හංසයා ක‍ැළේ රජ උනා. අලියා මහ ඇමති උනා. කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා.

රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාස‍ලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.

ඔය අතරෙ මහඇමති  අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.

අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව‍ එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.

http://inquiry111westminster.wikispaces.com
/file/view/blindmenandelephant.jpg/
163983601/blindmenandelephant.jpg
ඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.

ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා.

ඉතිරි කොටස ළඟදීම...

Tuesday, June 30, 2015

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රපටයේ ඔහු දැක්වූ රංගන කුසලතාවය සහ මහා පෞරුෂය ඉන් පසුව මාහට Ben Hur, 10 Commandments, True Lies, වැනි චිත්‍රපට වලින් හමු වූ අතර, මා අවසාන වරට නැරඹූවේ ඔහු Planet of the Apes චිත්‍රපටයේ කළ සාමාන්‍ය චරිත නිරූපණයයි. චාල්ටන් හෙස්ටන් මියගිය පුවත මා දුටු විට, ඇත්තටම දැනුනේ මාගේ පියා අහිමි වූ විට ඇති වූ හැඟීමයි.

http://www.karwansaraypublishers.com/
pw/site/assets/files/5120/el-cid.jpg

දෙවනුව මාගේ මනසට ගොඩවූ චරිතාංග නළුවා වූයේ බටහිර ගොපළු සිනමාවෙන් මතු වූ නමක් ගමක් නැති හුදෙකළා දඩයක්කාරයා ය. අති විශිෂ්ඨ නළුවෙක් සහ අධ්‍යක්ෂ වරයෙක් වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඔහුගේ මානවීය ගුණාංග මැනැවින් ඉස්මතු කළේ, Unforgiven වැනි පසුකාලීන සිනමා නිර්මාණ තුළිනි.

http://www.movingimage.us/images/
calendar/media/Unforgiven_1992_5_lowres-detail-main.jpg

තෙවනුව, ගැටවර වියේ පසුවූ මාගේ සිත අරක් ගත්තේ බාබේරියානු කෝනෑන් වූ ද, කෙළවරක් කරන්නට අනාගතයෙන් පැමිණි රොබෝ වරයෙකු වූ ද ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් ය. ක්‍රියාදාම, පවුලේ කථා, විකට චරිත වැනි පුළුල් පරාසයක රංගන ප්‍රතිභාවක් ප්‍රකට කළ ඔහුගේ, මා වඩාත් ම ප්‍රිය කරන්නේ (තවමත්) True Lies සහ Last Action Hero හි දැක්වූ චරිතාංග කළවමයි.

http://images2.cinema.de/imedia/0227/
1890227,3xi6zTx_hymqGeTDzJ9JmG0fe
WbeE2OkkolngvzaAlssgy48osdIEnwqc
JFJ7RUv21bLezPOdtU5J1RRBADAdQ==.jpg

මේ සියල්ල අතර, එක් නළුවෙක් පමණක් පෙනුමෙන්, කඩවසම් සිරුරින්, කටහඬින්, සියල්ලටමත් වඩා - දුෂ්ටයෙකු වීමට දැක්වූ නිර්භීත බවින් මාගේ පෞද්ගලික තරාගත කිරීම් වල ඉහළින්ම සිටියි. ඒ වෙන කිසිවෙකුත් නොව, මාගේ බ්ලොග් අඩවියේ මුහුණුවර සැරසූ, ක්‍රිස්ටෝෆර් ලී ය. රිදී තිරයේ වීරයෙකු වීමට වඩා, දුෂ්ටයෙකු ලෙස ඉස්මතු වීමෙන් කීර්තියට පත්වීම මා ඔහුගේ දකින විශිෂ්ටතම ගුණාංගයයි. ඔහු පණහේ දශකයේ රඟපෑ ඩ්‍රැක්‍යුලා චිත්‍රපට එහි ඇති දිළිඳු බව නිසා ම දැන් දකින විට සිනහ පහළ වූවත්, එයින්ම ඔහු රිදී තිරයේ පුරාවෘත්තයක් බවට පත් වූයේය.

http://vignette3.wikia.nocookie.net/
dracula/images/3/35/Url.jpg/revision
/latest?cb=20130421135630

James Bond චිත්‍රපටයක රන් පිස්තෝලය දරන මිනිසා, Star Wars චිත්‍රපට මාළාවේ ඩූකූ සිටුවරයා, Lord of the Rings හි සරුමාන්, වැනි ප්‍රකට දුෂ්ට චරිත මෙන්ම, Charley and the Chocolate Factory හි විලී වොන්කා ගේ පියා ගේ චරිතය වැනි ජ්‍යෙෂ්ට චරිත ද නිරූපණය කිරීමෙන් මොහු තම පුළුල් පරාසයක පැතිරි හැකියාවන් පෙන්වා තිබේ.

ඩ්‍රැක්‍යුලා මිය ගිය වග මා දැනගත්තේ මධුමදාවියාගේ කවිකොලයේ කැමරාවෙන් එහා ලෝකයෙන් ආ කමෙන්ටුවකිනි. මේ තරම් කල් ගොසින් වුවද, එම ආරංචිය මා දැනගත් විට, මුලින් චාල්ටන් හෙස්ටන් ගේ අභාවය දැනගත් විට ඇති වූ හැඟීමටම ආසන්න හැඟීමක් මා තුළ ඇති විය.

කාලයකින් නොලියා සිටිය ද, ලියන්නට කොතෙකුත් දෑ තිබුණ ද, මාගේ රෝල් මොඩලය වූ ක්‍රිස් ලී ගේ අභාවය වෙනුවෙන් යමක් නොලියා සිටින්නේනම් මා මහ ගුණමකුවෙකි. එහෙයින්...,

ඩ්‍රැක්‍යුලාගේ අභාවය වෙනුවෙන් ඩ්‍රැකී ජූනියර් ගේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමි...

ප/ලි

ටෝනි, වතුර (ජෝ) අබේවික්‍රම, ගාමිණී යන අය මෙම ලියවිල්ලෙන් මඟ හැරියේ කුඩා / මහත් භේදයක් නිසා නොව, ලියවිල්ලේ ආවේගය නිසා බව කරුණාවෙන් සළකන්න...

Wednesday, June 10, 2015

බාප්පගෙ හේනෙ විත්ති... ගජබින්නාලංකාරයෙන්

අපේ බාප්පා, කන්තලේ වගා කරන කාලේ වෙච්ච සිදුවීම් ගැන මීට කලින් ගජබින්නාලංකාරයෙන් කියවලා ඇතිනේ. මේ ත්, ඒ දවස් වල වෙච්ච සිදුවීමක් මයි. මට මේ කතාව මතක් උනේ මැංචෝසන් චාරිකා කියන හස්තසාර, භූගර්භ සාරගර්භ පොත් වහන්සෙ කියවං යද්දි.

බාප්පා වගා කරපු හේනට නිතර ඇවිත් ගිය කෙනෙක් තමා කටුරොද අදිරියං ආතා. කාලයකට කලින් හොඳ ගොවිරාළ කෙනෙක් වෙලා හිටිය එයා, තමන් වගේම සූර වීර ගොයියෙක් වුණ අපේ බාප්පත් එක්ක කතා බහ කරන්න නිතර නිතර එහෙ ආවා ගියා.

මේ කාලෙ බාප්පගෙ හේන අවට කැලේට මහ කරදරකාර වඳුරු සෙට් එකක් බෝ වෙලා තිබුණා. මුං හේනෙ තිබ්බ කිසිම බෝගෙකට වඩා ආසා කළේ, බාප්පා උයන කෑම වලටයි. බාප්පා ඔය තලප ටිකක්, රොටි දෙක තුනක් හදලා, හේනෙ පැලේ තියලා, පහළ දොළට ගිහිං නාගෙන එද්දි ගිණි සැරේට බඩගින්න වැඩි වෙනවා. දොළ පාරකින් නාගෙන හුළං වැදීගෙන එද්දි ඇති වෙන බඩගින්න ඉතිං අමුතුව‍ෙන් කියන්න දෙයක් යැ. (අර ජය ශ්‍රී බෑන්ඩ් එක කියන්නෙ, “මඤ්ඤොක්කා ටික ලිපේ ඉදෙන්නා - පොල් සම්බෝලෙත් සැරට කොටන්නා - දොළේ පැනල නාගෙන එනකොට මට - සිහිල් සුළං වැදි හිරිගඩු පිපුණා...“ කියලා)

ඉතිං ඔහොම ගිණි සැරේට බඩගින්නෙ “යමං පැළට - අද දෙන්නං“ කියලා හිත හිතා, එන බාප්පට යකා ආවේස වෙන්නෙ අර හදල තිබුණ කෑම ටික ට වඳුරො වැඩේ දෙනව දැක්කහමයි. බාප්පා පැළට ළං වෙනකොට අන්තිම කෑල්ලත් කටේ දාගෙන වඳුරො ටික “අහික් - හික් හික්“ ගගා ගස්වලට පැන ගනිද්දි බාප්පට ඉතිං මතක් වෙන්නෙ වඳුරු කුණුහරුප තමා. (“පලා රික“ එවැනි එක් වඳුරු කුණුහරුපයකි.)

http://www.tattoo-wallpapers.com/user-content/
uploads/wall/o/30/funny_monkeys_tattoo.jpg
දවසක් බැරිම තැන මේ ගැන බාප්පා අර අදිරියං ආතත් එක්ක කතා කළා. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා වඳුරන්ට හොඳ උගුලක් ඇටෙව්වා.

පෙරේත වඳුරන්ට අටවන උගුල - 

මුලින්ම වඳුරන් ඉතාම වැඩියෙන් කන කෑම ජාතිය සෑහෙන පමණ සාදාගන්න. එසේ කෑම පිසිද්දී, අමු මිරිස්, ගම් මිරිස්, නයි කොච්චි, පොළොං කොච්චි, පිඹුරු කොච්චි, මාපිල් කොච්චි, කුණකටු කොච්චි ආදී සැර කාරක ඉතාම යහමින් යොදා ගන්න.

වඳුරු රැලේ ඉන්නා වඳුරන් ප්‍රමාණය ගණන් බලා, උන් එකාට එක බැගින්වත් වන සේ සවි ශක්තිය හා බර ඇති පොළු කපාගෙන පැළේ මැද ගොඩ ගසන්න.

කෑම ටික වෙනදා මෙන්ම පැළේ වසා තබා, දොළට නාන්න යන්න.

බාප්පා මේ විදිහට කුරහං රොටි සෑහෙන ප්‍රමාණයක් හැදුවා. රොටි හදද්දි පිටි අනන්න තෙලිජ්ජ ටිකකුත් ගත්තා. (රොටි මිශ්‍රණය තෙලිජ්ජෙන් ඇනුවහම, ඒ තෙලිදිය රොටිය පුච්චන වෙලාව වෙනකොට රා වෙලා.)

පස්සෙ දෙන්නම ගිහිං දොළෙන් නාගෙන හිමින් හිමින් ආවා. ඇවිත් බලනකොට, පැල මැද්දෙ වඳුරො රංචුවම වැටිලා ඉන්නවා ඔළු පළාගෙන. බාප්පට හිනාව නවත්තගන්න බැරි වුනා වෙලා තිබුණ දේ දැකලා.

වෙලා තිබුණෙ මේකයි: වඳුරො ටික රොටි ටිකට උඩ පැන පැන වැඩේ දීලා. ඒවට කළවං කරලා තිබුණු රා වල ආතල් එකට කෑවට, නයි මිරිස් සැර උන්ට දැනෙන්න ගත්තෙ ටිකක් වෙලා කනකොටයි. මිරිස් සැරට ඉහමොළ රත්වෙලා ගිය වඳුරො ටික අතට අහු වෙච්ච පොලු වලින් එකා එකාට හිතූ පදමෙ නෙලාගෙන. වඳුරො රංචුවම අන්තිමේ මැරිලා.

බාප්පටයි අදිරියං ආතටයි එදා වඳුරු මස් එක්ක රොටි කන්න පුළුවන් වුනා. (පස්සෙ උන් දෙන්නත් අර පොලු වලින් ගහගත්තද කියලා නං බාප්පා කිව්වෙ නෑ.)

තව දවසක්දා ඔය අදිරියං ආතා බාප්පගෙන් විටක් ඉල්ලගෙන කොටද්දි, එයා දන්නෙම නැතුව විට හෙප්පුවෙ තිබුණු පළතුරු ඇට වගෙයක් වැටිලා විට කොටන වංගෙඩියට.

ටික දවසකින් හේනෙ පැල අයිනෙ පොඩි පැළයක් හැදුනා. කුවුරුවත් කවදාවත් දැකලා නැති ජාතියක පැළයක්. බාප්පත් මේක ගළවලා විසි කරන්නෙ නැතුව හැදෙන්න ඇරියා. ටික කාලෙකින් කවුරුවත් දන්නෙ නැති විදිහෙ ගහක් හැදුනා. ඒ‍ක‍ෙ ගෙඩිත් හැදුනා, සෑහෙන තරමෙ හකුරු ගෙඩියක් විතර ඇති ගෙඩියක්. මේ මොකද්ද කියලා බලන්න බාප්පා එක ගෙඩියක් කඩලා දෙකට පැලුවා. ඒ ගෙඩියෙ පිට පොත්ත හරි ගණකමයි. දෙකට පැළුවහම මැටි කෝප්පයක් වගෙයි. ඒක ඇතුළෙ, එක එක ජාතියෙ පළතුරු පොඩි පොඩි කෑලි කළවම් වෙලා තිබුණෙ. අන්නාසි, කෙසෙල්, ගස් ලබු, අඹ, මුද්දරප්පළම්, රට ඉඳි, කොමඩු ආදී වශයෙන්... ඒ කියන්නෙ, ඒක කොටිම්ම ෆෘට් සැලඩ් ගෙඩියක්. ඒ ගහ හැදිල ඇත්තෙ අර එදා අදිරියං ආතා විට කාලා කෙළ ගහපු තැනක.

Thursday, May 28, 2015

අමනදීපේ කතාවක්...

ඕං එකෝමත් එක කාලෙක තිබ්බා අමනදීපේ කියලා රටක්. ඒකෙ රජකම් කළේ මහා අමනෝඥ මහ රජතුමා.

http://i.ytimg.com/vi/TmQKihNpsHk/hqdefault.jpg

දවසක්දා එතුමට අහන්න ලැබුණා, මීට කලින් හිටිය එක රජෙක් එතුමන්ගෙ බලපරාක්‍රමය ගැන කියලා තිබුණ කතාවක්.

"දැං ඉතින් මට කොරන්න බැරි රෑ දවල් කොරන එකත්, දවල් රෑ කොරන එකත් විතරයි..."

'ඒ රජා වගේද මං? මං ඕක කොහොම හරි කරනවා' කියලා හිතාගත්ත මහා අමනෝඥ මහරජතුමා, රටවැසියන්ට ආඥාවක් පැණෙව්වා.

අද පටන් අමනදීපේ සියළුම වැසියන් පස්වරුව පෙරවරු කියාද, පෙරවරුව පස්වරු කියාද වෙනස් කරගත යුතුයි. රටවැසියන්ගේ සියළුම කටයුතු ඒ අනුව වෙනස් කළ යුතුයි.

"ඒක නෙවෙයි කරනවනං..." නාකි පුරෝහිත කෙනෙක් ආඥාව ලියවන අතරෙ මහරජාගෙ කණට කරලා කිව්වා: "රටේ බඩුමිල හොඳටම වැඩිවෙලා. ඒකට පිළියමක් කරනවනං හොඳයි නේද?"

"ඇත්ත නේන්නං." මහරජා කිව්වා. "ඕකටම මේකත් ලියාපිය..."

අදපටන් අමනදීපේ තුළ විකුණන සියළුම භාණ්ඩ වල මිල රුපියලක් විය යුතුයි.

එදා පටන් අමනදීපෙ මිනිස්සු රෑට වැඩ කළා, දවල්ට නිදාගත්තා.

"අපේ රට ‍ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් මේක. කාටද පුළුවන් වුනේ දවල් රෑ කරන්නයි, රෑ දවල් කරන්නයි. දැන් මහ රටවල එවුන් හරි තරහෙන් ඇත්තෙ අපේ මහ රජ්ජුරුවො එක්ක" මහරජා වටේ හිටපු උං ප්‍රශස්ති හදලා ගායනා කළා හන්දියක් හන්දියක් ගානෙ.

දවසක් වෙන රටක ගුරුවරයෙකුයි ගෝලයෙකුයි අමනදීපෙට ආවා. ඇවිත් කෑම කන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වුනා. මොකද, යන යන තැන කඩ, සාප්පු, ගෙවල් දොරවල් හැම එකක්ම වහලා. සත්තු පවා ගාල් වල නිදි.

හැබැයි ඉර බැහැගෙන ගියාට පස්සෙ මිනිස්සු අවදිවෙලා, දත කට මැදලා, මූණ හෝදලා, කඩ සාප්පු අරින්නයි, කුඹුරු වැඩ ආදිය පටන් ගන්නයි වුනා. ගුරුවරයටයි ‍ගෝළයටයි හරි පුදුමයි මේක දැකලා. පුදුම වෙවී ඉන්නැතුව දෙන්නා ළඟම තිබුණු හෝටලේට ගිහිං, බඩ දිගඇරෙන්න කෑවා, මොකෝ, දවසක්ම බඩගින්නෙ නෙ හිටියෙ.

දෙන්නට තරු පෙනුනෙ බිල දැක්කහමයි. දෙන්නා කාපු කෑම බීම ඔක්කොටෝම බිල වුනේ, රුපියලයි.

"මේ රට නම් තවත් ඉන්න හොඳ තැනක් නෙවෙයි" ගුරුන්නාන්සෙ ගෝළයට කිව්වා. "මේක මෝඩයින්ගෙ රටක්. දැනට කොයි හැටි වෙතත්, අන්තිමේ මොන මොනව වෙයිද දන්නෑ. අපි ඉක්මණටම වෙන රටකට ගියොත් තමා හොඳ."

"ගුරුන්නාන්සෙ යන්න. මට නම් මේරට හොඳා." ගෝළයා කිව්වා. මොකද, රුපියලකට බඩ පිරෙන්න කෑව හැකිනම්, වෙන රස්සාවක් මොකටද?

ගුරුතුමා කොච්චර කිව්වත්, ගෝළයා කැමති වුනේ නෑ අමනදීපෙ දාල යන්න. ඉතිං ගුරුතුමා පහුවදා උදෙන්ම අමනදීපෙන් පිටවුනා.

ගෝළයා අමනදීපෙ කාලසටහනට හුරු වුනා. දවල්ට නිදාගෙන ඉඳලා, රෑට හෝටලේකට ගිහිං බඩ පිරෙන්න කනවා. දෑතෙ රස්සාවක් නොකර කකා බිබී හිටිය නිසා ගෝළයා අපේ විපක්ෂ නායක වගේ තරබාරු මිනිහෙක් උනා.

දවසක් දවාලක හොරෙක් ගෙයක් බින්දා. ගෙදරක බිත්තියට අවලංගුවෙන් පාරවල් දෙකයි ඇන්නෙ, බිත්තිය කඩාගෙන වැටුනා හොරාගෙ ඇඟට. හොරා මළා. හොරාගෙ අයියා පැමිණිලි කළා මහරජාට.

"මගෙ බාල මල්ලි හොරෙකි. එයා රස්සාව කරන්න ගමේ හිටපු පෝසත්ම මිනිහගෙ ගෙදර බිත්තියකට ඇන්න පාර, බිත්තිය කඩා වැටී මල්ලි මළා. මේ මරණෙට වගකිව යුතු ගෙදර අයිතිකාරයාට දඬුවම් පමුණුවන්න"

පැමිණිල්ල විභාග කරන්න මහරජා, විත්තිකාර පෝසත් මිනිහව කැඳෙව්වා.

"අනේ මහරජතුමා, මං නිර්දෝශයි. බිත්තිය කඩං වැටුණෙ ඒක දුර්වල විදිහට බැඳපු මේසන් බාස්ගෙ වරදින්" පෝසතා කිව්වා. මහරජා මේසන් බාස් කැ‍ඳෙව්වා.

"අනේ මහරජතුමා, බිත්තිය දුර්වල විදිහට බැඳුනෙ අනපු බදාමවල වරදින්. මගෙ ගෝළයා තමා වැරදිකාරයා." මහරජතුමා ඒකත් පිළිගත්තා. ගෙන්නුවා ගෝළයව.

"මගෙ නෙමෙයි වැරැද්ද. බදාමෙට වතුර වැඩි උනා. වතුර වක්කරපු කළේ කට ලොකුයි. කළේ හදපු කුඹලා තමයි වැරදි."

"හැබෑ නේන්නම්" මහරජතුමා කිව්වා. "ගේනවා කුඹලව...!"

"මං කළේ සකපෝරුවෙ හදද්දි, තරුණ ගැටිස්සියෙක් ඒ ළඟින් ගියා. එයා දිහා බලපු නිසයි කළේ කට ඇද වුනේ."

"හැබෑට? ගෙන්නපිය තරුණ ගැටිස්සි...!" මහරජා තොළකට ලෙවකෑවා.

ඒ කාලෙ ගැටිස්සි දැන් වයසයි. "අනේ මහරජතුමෝ. මගෙ රත්තරන් බඩු හදල දෙන්න ජුවෙලරිකාරයෙකුට දුන්නා. එයා නියම දවසට ඒක හදල දුන් නෑ. එයා තමයි ලොකුම වැරදි කාරයා. " ආච්චි අම්මා වැඳ වැටුණා.

"වෙලාවට බඩු හදල දුන්නෙ නැති ජුවෙලරිකාරයව මෙහෙට ගෙන්වනු!" මහරජා අණ කළා. "ඔහේ දැන් යනවා..." රජතුමා අහක බලං, ආච්චි අම්මට කිව්වා.

ජුවෙලරිකාරයා රාජසභාවට ඇවිත් වටපිට බැලුවා. "ආ... මේ ඉන්නෙ." එයා අර පෝසතාව පෙන්නුවා. "මේ මහත්තයගෙ මඟුල් ගෙදරට බඩු හදන්න තිබුණ නිසා තමයි අර ආච්චිගෙ රත්තරන් බඩු ‍හදල දෙන්න පරක්කු වුනේ."

"බේරෙන්න හැදුවෙ නේද?" මහරජා දත්මිටි කෑවා. "මං ඉන්නකම් වැරදිකාරයන්ට බේරිලා යන්න බෑ. උලතියනවා මෙයාව."

"අනේ රජතුමා, මං නෙවෙයි ඒ රත්තරන් බඩු ඕඩරේ මෙයාට දුන්නෙ."

"එහෙනම් කවුද?"

"අ.. අ.. අපේ තාත්තා..."

"ගෙනාපිය මුගෙ තාත්තව. අදම උලතියාපිය"

"පොඩි කේස් එකක් ඇත මහරජ..." දණ්ඩනායක මහරජතුමාට කිව්වා. "අපේ උල මොට්ට වෙලා..."

"ඉතිං හදාපිය අලුත් එකක්. ගෙනල්ල උලතියාපිය මුගෙ අප්පව. මං ඉන්නකම් කාටවත් වැරදි කරලා බේරෙන්න බෑ, අපෙ හාන්දුරුන්නේ, ප්‍රොජාචන්ච්‍රවාදය තියෙනවා..." මහරජා පපුවට ගහගත්තා.

රාජපුරුෂයො හැදුවා අලුත් උලක්. ඒත් කරුමෙ කියන්නෙ, අලුත් උළ මහත වැඩියි. පෝසතාගෙ තාත්තා උලටත් වඩා කෙට්ටුයි.

මේ කාරණේ රජතුමාට සැළ කළාම රජතුමා ඔළුවෙ අත ගහගත්තා.

"අපි මේ රටේ ඉන්න මහතම මිනිහව අල්ලලා උළ තියමු" රාජකීය පුරෝහිත අමනවංශ රජතුමාට උපදෙස් දුන්නා.

ඉතිං අන්තිමේ අර නිකම් ඉඳං රුපියලට කකා හිටිය ගෝලයව රාජපුරුෂයො අල්ලගෙන ආවා.

"අනේ මහරජතුමා, මාව උල තියපු ගමන්ම මගෙ ගුරුතුමාව උල තියන්න..." ගෝළයා මහරජතුමාට වැඳ වැටුණා.

"ඒ මොකද බොල?"

"අලුත හදපු උල හිටවපු නැකතෙ හැටියට, ඒකෙ මුලින්ම උල තියපු කෙනා මේ රටේ මහරජු වෙනවා. දෙවෙනියට උල තියපු කෙනා පුරෝහිත වෙනවා."

මහරජතුමා පුරෝහිතගෙ මූණ බැලුවා. පුරෝහිත රජතුමාගෙ මූණ බැලුවා.

"දාපිය මේකව හිරේ. මුගෙ ගුරාවත් ගෙනත් දාපිය හිරේ." මහරජතුමා අණ කළා. "අද දවල්ම මූව උල තියනවා. මං කියන පිළිවෙලට, ඉස්සෙල්ලම එන එකා පළමුවත්, දෙවෙනියට එන එකා දෙවනුවත් උල තියනු"

ගෝළයා හිරේ දැම්මා. ගුරුන්නාන්සෙවත් ජාත්‍යන්තර රාජපුරුෂයන්ට කියලා අල්ලගත්තා. මහරජයි පුරෝහිතයි හිරගෙදරට රිංගලා, අරුන් දෙන්නට තර්ජනය කරලා, උංගෙ ඇඳුම් උදුරගෙන, ඇඳගෙන, මහරජා පළමුවෙන් උලට ගියා. පුරෝහිත දෙවෙනියට උලට ගියා.

ගුරයි ගෝලයයි අමනදීපෙ රජවුනා.

ඕං ඔහොමයි තව පාරක් රජවෙන්න ගිය මහරජාට අන්තිමට වෙච්ච සන්තෑසිය...

ප/ලි
කන්නඩ ජනකතාවක් ඇසුරිනි.


වැඩිපුර බලපු ලිපි