මෙතෙක් කොටස්
1 කොටස
2 කොටස
සමහර තුර්කි මූලාශ්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග්රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ. බයිසැන්ටියානු ඉතිහාසඥ කැල්කොකොන්දිල් ට අනුව, ව්ලාඩ් ගේ බාල සහෝදරයා වූ රාඩු, ඔටෝමන් වරුන් විසින් ටර්ගොවිස්ට් අගනුවර රඳවා ගොස් තිබුණි. ව්ලාඩ් ට එරෙහි පිරිස් රැුස් කර ගැනීමත්, ඔවුන් මඟින් අවසානයේ දී ව්ලාඩ් බලයෙන් පහ කොට වලාචියා හි රූකඩ පාළකයා බවට පත් වීමත් රාඩු වෙතින් අපේක්ෂා කෙරුණි.
 |
කඩවසම් රාඩු
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/e/e2/Radu_cel_Frumos
_of_Wallachia_2.png/220px-Radu
_cel_Frumos_of_Wallachia_2.png |
රාඩු සහ ඔහුගේ ජැනිසරි සේනාවෙන් දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා අපේක්ෂා කළේ ඕනෑම දෙයක් කැප කර ඔටෝමන් අධිරාජ්‍යය ජයග්‍රහණය කරා ගෙනයාමයි. රාඩු සහ ඔහුගේ දරුණු ජැනිසරි බළ ඇණි වෙත, වෙඩි බෙහෙත් සහ ඩිනාර් සැපයීම සුල්තාන් වරයා විසින් අනවරතව පවත්වාගන්නා ලදි. එහෙයින් ඔවුන් හට ව්ලාඩ් ගේ බල ප්‍රදේශය තුළට කාවැදීම පහසු විය. අවසානයේ, මනාව සන්නද්ධ ව සිටි තම බළඇණි සමඟින් රාඩු, ව්ලාඩ් ගේ සුප්‍රකට රක්ෂස්ථානයක් වූ පොයිනරි බළකොටුව වටළන්නට සමත් විය. එහිදී ඉතා දුෂ්කර ජයක් අත් කර ගත් රාඩු, මෙහ්මඩ් විසින් වලාචියා හි බේ වරයා හෙවත් ප්‍රාදේශීය පාලකයා බවට පත් කරන ලදි.
පොයිනරි හිදී ව්ලාඩ් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ව්ලාඩ් විසින් බලතල කප්පාදු කරන ලද බෝයර් වරු, තම මුල් ආස්ථානයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාඩු සමඟ එකතු වීමය. එසේම, ඔවුන් හංගේරියානු රැකවරණයට වඩා, නැගී එන ඔටෝමන් අධිරාජ්‍යයේ රැකවරණය යටතේ සිටීම හොඳයැයි අදහස් කරන්නටද ඇත. එසේම, බෝයර් වරුන්ගේ පවුල් සැඟවී සිටි ස්ථාන (බොහෝවිට ස්නැගෝව් අවට වන රොද වල) තම ඔත්තුකාරයන් සහ පාවාදෙන්නන් මඟින් හෙළිදරව් කරගත් රාඩු, ඔවුන් මඟින් බෝයර් වරුන් තම පාර්ශ්වයට එක් කර ගැනීමට තර්ජනාත්මක බළපෑම් කරන ලද බව ද කියැවේ.
1462 සැප්තැම්බර් 8 වන විටත් ව්ලාඩ් තවත් යුධ ජයග්‍රහණ තුනක් අත් කරගෙන සිටියේය. එහෙත්, 1462 දී ඔටෝමන් වරු ව්ලාඩ් ට්රාන්සිල්වේනියාවට පළවා හරින්නට සමත් වූහ. එහිදී ඔහුගේ බිරිඳ ඔටෝමන් වරුන්ට අසුවනවාට වඩා මරණය උතුමැයි සළකා, ව්ලාඩ් ගේ බළකොටු මාළිගයේ කුළුණක සිටි ආර්ගස් නදියට පැන දිවි නසා ගත් බව සඳහන් වේ. ඩ්රැක්යුලා රහස් මඟකින් ට්රාන්සිල්වේනියානු කඳුකරයට පළා ගියේ ය.
දිගින් දිගට පැවතුණු යුද්ධ ව්‍යාපාරය විසින් ඔහු සතු අරමුදල් හින්දවා තිබුණි. එහෙයින් තවදුරටත් ඔහුගේ අගම්පඩි හමුදාවට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවිය. ව්ලාඩ් සිය පැරණි යුධ සගයා වූ මැතියස් කෝවිනස් ගේ ආධාර අපේක්ෂාවෙන් හංගේරියාවට ගියේය. එහිදී ආධාර වෙනුවට ඔහුට ලැබුණේ අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා මත අන්තර් භෞම බන්ධනාගාරයට දැමීමයි. පාප් වහන්සේගෙන් තෙවන කුරුස යුද්ධය සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික පරිහරණයට වියදම් කර සිටි කෝවිනස්, යුද්ධයකට පැටළීමට අදහස් කළේ නැත. ඔටෝමන් වරුන් සමඟ සාමයට එකඟ වන බවට ව්ලාඩ් ගෙන් ලිපියක් ලියවා ගත් ඔහු, එම ලිපිය මඟින් පාප් වහන්සේ වෙත යුද්ධය අතහැර දැමීමට හේතු දක්වා සිය අගනුවරම රැඳින.
පොඩු ද‘ම්බොවිෂේ පාළම අසළ ඔරේෂියා හි බළකොටුවෙහි ව්ලාඩ් සිර ගත කරන ලදි. ඉන් පසු බුඩා නගරය අසළ විසිග‍්‍රෑඩ් වෙත ගෙන යන ලදුව එහි වසර 10 ක් ගත කරන්නට ඔහුට සිදු විය. එයින් පසු ඔහු බුඩා හි සිර කර තබන ලදි.
ව්ලාඩ් සිරගතව සිටි කාලසීමාව විවාදාපන්නය. එය 1462 සිට 1474 දක්වා බව රුසියානු අත්පිටපත් මූලාශ්‍ර අනුව සළකාගත හැක. බුඩා හි රාජ්‍යතාන්ත්‍රික ලිපි ගනු දෙනු හැදෑරීමේදී එය ඊට වඩා කෙටි කාලයක් බව පෙනේ. මෙම කාලය තුළ කෙමෙන් කෙමෙන් ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ හිතවත් බව දිනාගන්නට සමත් වූ බව පෙනී යන්නේ, අවසානයේ ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ පවුලේ සාමාජිකාවක (කෝවිනස් ගේ සහෝදරියකැයි ද සමහර තැන් වල සඳහන් වේ.) ආවාහ කරගැනීමට සමත් වීමෙනි. එම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1476 දී ඩ්රැක්යුලා වලාචියාහි සිහසුනට නැවත පත් වන විට ඔවුන්ගේ වැඩුමල් දරුවාගේ වයස අවුරුදු 10 ක් විය.
ව්ලාඩ් සිය සිර ජීවිතයේදී පවා තම පැරණි පුරුදු අත් නොහළ බව රුසියානු මූලාශ්‍ර වල සඳහන් වේ. ඔහු බොහෝ විට කුරුල්ලන් සහ මීයන් අල්ලාගෙන ඔවුන් වධයට පත් කිරීමටත්, අඟ පසඟ සිඳීමටත් පුරුදු ව සිටියේය. සමහර සතුන් ගේ හිස් කැපූ ඔහු තවත් සමහර සතුන්ගේ ඇඟෙහි තාර ගා, පිහාටු අළවා අතහැරියේ ය. නමුත් බොහොමයක් සතුන් ට ඔහු කළේ කුඩා උල් වල උල තැබීමය.
රාඩු අනුගමනය කළ ඔටෝමන් ලැදි පාලන ප්‍රතිපත්තිය ව්ලාඩ් හට නැවත නැගිටීමට උපකාරී විය. එසේම, ඩැන්යුබ් නදියෙන් උතුරෙහි පිහිටි ප්‍රදේශයන් කෙරෙහි ඔටෝමන් අධිරාජ්‍යයෙන් එල්ල වූ පීඩනය වැඩි වත්ම, මෝල්දාවියාවේ වොයිවෝඩ් වරයා මෙන්ම ව්ලාඩ් ගේ ඥාතියෙකු ද වූ මහා ස්ටෙෆන්, තම පෞද්ගලික අභිප්රායන් ද මුල් කරගෙන, ව්ලාඩ් ගේ නිදහස වෙනුවෙන් මැදිහත් විය.
ඒ අතර, ව්ලාඩ් 1475 දී ඕතඩොක්ස් නිකායෙන් රෝමානු කතෝලික දහම වෙත මාරු විය. එය ද මැතියාස් කෝවිනස් සතුටු කිරීමට කරන ලද්දක් ලෙස පෙනේ.
1475 දී රාඩු හදිසියේ මිය යාමෙන් පසු 1476 නොවැම්බර් 26 දින තෙවන ව්ලාඩ් ඩ්රැක්යුලා හංගේරියානු ආධාර ඇතිව සිය තෙවන පාලන කාලය ප්‍රකාශ කළේය. ට්රාන්සිල්වේනියාවේ ස්ටෙෆන් බේතරි කුමාරයාගේ සහ ව්ලාඩ් ගේ ඒකාබද්ධ හමුදා වලාචියාව ආක්‍රමණය කළහ. ඒ වන විට රාඩුගේ ඇවෑමෙන් වලාචියාව පාලනය කළේ ඩැනෙස්ටි පරම්පරාවේ මහළු බැසරැබ් ය. ව්ලාඩ් ගේ හමුදා හමුවේ, බැසරැබ් සිය හමුදාද සමඟ පළාගියේ ය. එහෙත් ව්ලාඩ් සිය සිහසුන නැවත අල්ලාගෙන නොබෝ දිනකින්ම ස්ටෙෆන් බේතරී සමඟ ව්ලාඩ් ගේ හමුදාවෙන් බහුතරයක්ද ආපසු ට්රාන්සිල්වේනියාවට ගියහ. ඩ්රැක්යුලා නැවත සිය බළ සේනා සකස් කර ගන්නට මත්තෙන් ඔටෝමන් හමුදා වලාචියාවට ඇතුල් වූහ. ඔවුනට මුහුණ දීමට ව්ලාඩ් හට සිදු වූයේ හාර දහසකට ත් අඩු සේනාවක් සමඟිනි.
ව්ලාඩ් ගේ තෙවන පාලන සමය මාස දෙකකින් අවසන් වූයේ ඔටෝමන් වරුන් සමඟ පැවති සටනකදී ඔහු ඝාතනය වීමෙනි. ඔහුගේ මරණය සිදුවූයේ කවදාදැයි නිශ්චිත නැතත්, ඒ 1476 දෙසැම්බර් මස අග දිනක යැයි සැළකේ. කෙසේ වෙතත් 1477 ජනවාරි 10 වන විට ඔහු මියගිය බව ප්‍රසිද්ධ වී තිබුණි. ඔහු මිය ගිය ස්ථානය ද නිශ්චිත නැත. එය බුකාරෙස්ට් සිට ග්‍යුර්ග්‍යු දක්වා වැටී ඇති මාර්ගයේ යම් තැනකදී සිදු වූ බව පිළිගැනේ. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන මත කිහිපයක් වේ. සමහරුන් වාර්තා කර ඇත්තේ ඩ්රැක්යුලාගේ පාර්ශ්වය ජයග්‍රහණයට ඉතාම ආසන්නව සිටි අවස්ථාවේ ද්‍රෝහී වලාචියානු බෝයර් වරුන් ඔහු ඝාතනය කළ බවයි. තවත් මූලාශ්‍ර වලට අනුව, ව්ලාඩ් සිය පාක්ෂික මෝල්දාවියානු අංගාරක්ෂක භටයන් තමන් වටා සිටියදීම, පරාජය වී වැටුණු බවය. ජයග්‍රාහී ව්ලාඩ් තමන්ගේම සේනාවේ අය විසින් වැරදීමකින් එල්ල කළ පහරකින් මිය ගිය බව තවත් අය කියති.
ව්ලාඩ් ගේ මළසිරුරෙන් වෙන් කරන ලද හිස ජයග්‍රහණයේ ස්මාරකයක් ලෙස කොන්ස්තන්තිනෝපලයට ගෙන යන ලද අතර, එහිදී මෙහ්මඩ් ගේ අණ පරිදි එය උලක ගසා ප්‍රදර්ශනය කරවා ඇත. ව්ලාඩ් ගේ ප්‍රතිවාදියා වූ බැසරැබ් ලයෝටා විසින් ව්ලාඩ් ගේ සිරුර ගෞරවාචාරයෙන් තොරව මිහිදන් කරන ලදි. ඔහු මිහිදන් කරන ලද්දේ, ව්ලාඩ් විසින් 1461 දී ආරම්භ කරන ලද කොමානා තාපසාරාමයේ බව සැළකේ. මෙකී කොමානා ආශ්‍රමය පසුකාලීනව විනාශ කෙරුණු අතර, 1589 දී නටඹුන් මතින් නැවත ගොඩනගන ලදි.
ව්ලාඩ් භූමදාන කර ඇත්තේ බුකාරස්ට් නගරයට නුදුරු ස්නැගෝව් හි දූපතක පිහිටි ආශ්රමයක බව කියැවෙන කිසිදු ලිඛිත සාධකයකින් ඔප්පු නොවූ ජනශ්රැතියක් 19 වන සියවසේදී රුමේනියානු ඉතිහාසඥයන් හෙළිදරව් කරගත්හ. මෙම ආරාමයේ නිර්මාපකයා ද ව්ලාඩ් බව ට කැන්ටකුසිනෝ වංශකතාවේ වන සඳහන මීට සාක්ෂියක් වන බව ඔවුන්ගේ මතය විය. නමුත්, 1855 තරම් ඈතකදී ඇලෙක්සැන්ඩෘ ඔබොබෙස්ක්‍යු විසින් මෙම ආශ්‍රමය 1438 ට ද කලින් සිට පවතින බව පෙන්වා දී ඇත. 1933 ජූනි මාසයේදී ඞීනූ වී රොසෙට්ටි විසින් මෙම ස්ථානය කැණීම් කරන ලදි. එයින් ස්නැගෝව් ආශ්‍රමය 14 වන සියවසේ අගභාගයේදී ඉදි කරන ලද්දක් බව තහවුරු විය. මෙම ආශ්රමයේ පල්ලියේ ඇති ව්ලාඩ් ගේ යැයි විශ්වාස කෙරෙන නමක් කොටා නැති සොහොන් කොතට යටින් සැබැවින්ම සොහොනක් නෙමැති බව ද එහිදී අනාවරණය විය. රොසෙට්ටි 1933 දී පැවසූ අන්දමට, ‘‘ව්ලාඩ් ගේ සොහොන යැයි කියන සොහොන් කොතට යටින් සොහොන් ගැබක් තිබුණේ නැත. තිබුණේ අශ්ව ඇටකටු සහ හනු කොටස් රාශියක් පමණි.’’ ව්ලාඩ් ගේ මරණයේ වසර 500 සංවත්සරය වෙනුවෙන් ලිපි මාළාවක් ලියූ මාධ්‍යවේදියෙකු වන සිමියොන් සැවේන්‍යු, මෙම පල්ලියේ වෙනත් ස්ථානයක තිබූ නමක් රහිත සොහොන් කොතක් පිළිබඳව ප්‍රසිද්ධ කළේය. කෙසේ වෙතත් බහුතරයක් රුමේනියානු ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ ව්ලාඩ් ගේ සොහොන කොමානා ආශ්රමයේ පවතින බවය.
ඔහු ඉතිරි කර ගිය දේ.
ව්ලාඩ් ඩ්රැක්යුලා ජීවත්ව සිටියදී පවා, ඔහු වධ දීමෙන් හා මැරීමෙන් පරපීඩක සතුටක් ලැබූ කුරිරු පාලකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ජීවත්ව සිටි කාලයේදී, අඳින ලද සමහර ගුප්ත-සිතුවම් වල කෲර පාලකයන් හෝ වධකයන් ගේ රුව ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇත. ඔහුගේ මරණින් පසු ඔහුගේ කෲර ක්‍රියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන ලද පත්‍රිකා, 1480 සිට 1560 ගණන් වෙනතෙක්ම ජර්මනියේ ද, සාර් රජවරු යටතේ රුසියාවේ මඳ වශයෙන් ද, නැවත නැවත පළ කෙරී තිබේ.
 |
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/9/9c/Jezus_pred
_Pilatom.jpg/371px-Jezus_pred_Pilatom.jpg |
ජේසුස් වහන්සේ විනිශ්චය කරන පොන්ටියස් පිලාත් ලෙස ව්ලාඩ් ගේ රුව ඇතුළත් වූ සිතුවමක්. (1463) ල්‍යුබ්ලියානා ජාතික කෞතුකාගාරයෙනි.
ව්ලාඩ් විසින් මරා දැමුණු ගණන 40,000 සිට 100,000 දක්වා වෙතැයි සැළකේ. එය, සියවස් හතරක් තිස්සේ යුරෝපයේ සිදුවූ මායාකාරියන් සංහාරය කිරීමේ ව්‍යාපාරයන් හි ඝාතනයන් මුළු එකතුවට සමාන සංඛ්‍යාවකි. ජර්මානු කතා වල සඳහන් වන පරිදි, ඔහුගේ අනින් මිය ගිය ගණන අඩුම වශයෙන් 80,000 ක් වත් වන අතර, ඒ ඔහු සහමුළින්ම ගිණිතබ්බවා විනාශ කරන ලද ගම්මාන සහ බළකොටු වල සිටියවුන් ගණනට අමතරවය.
 |
https://upload.wikimedia.org/
wikipedia/commons/e/eb/Tepest.jpg |
1470 - 1480 කාලයේ අඳින ලද ශාන්ත ඇන්ඩෘ කුරුසියේ ඇණ ගැස්වීම සිතුවමක ඒජීයස් නම් රෝමක ආණ්ඩුකාරවරයා ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇති ආකාරය
වියානාහි බෙල්වඩියර් චිත්රාගාරයෙන්
වධ දී මරාදැමීමට ඔහු ඉතාම ප්‍රිය කළ ක්‍රමය වූයේ උල තැබීමයි. ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 15 වන සියවසේ අග භාගයටත්, 16 වන සියවසේ මුල් කාලයටත් අයත් වන ජර්මානු ලී කැටයම් කිහිපයක් වේ. ආක්රමණික ඔටෝමන් හමුදාවන්, ඩැන්යුබ් නදී තීරයේ වූ දහස් ගණනක් උලතබන ලද මිනිසුන් දැක බියපත්ව ආපිට හැරුණු බව වාර්තා වී තිබේ. එසේම 1462 දී ව්ලාඩ්ගේ අගනුවර වූ ටර්ගොවිස්ට් හි ප්‍රාකාරයෙන් පිටත උල තබන ලද මළ සිරුරු 20,000 දුටු, මනෝවිද්‍යාත්මක යුධ ප්රයාණයන්හි දක්ෂයෙකු වූ දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා රෝගග‍්‍රස්තව ආපිට කොන්ස්තන්තිනෝපලයට හැරී ගියේය.
 |
https://upload.wikimedia.org/
wikipedia/commons/4/43/Impaled.gif |
ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 1499 දී කෙරුණු ජර්මානු ලී කැටයමක්
ව්ලාඩ් ගේ කෲරත්වය ගැන පැවති ප්‍රවාද, මැතියාස් කෝවිනස් විසින් සිය දේශපාලනික උවමනාවන් මත අතිශයෝක්තියෙන් පතුරුවාහරින ලද ඒවා බව ද සැළකේ. ඔටෝමන් වරුන්ට එරෙහිව යුද වදිනු පිණිස යුරෝපයේ පැවති බහුතරයක් කතෝලික රාජ්‍යයන් වෙතින් අරමුදල් ලැබූ කෝවිනස්, 1462 දී තුර්කියට එරෙහි ව්ලාඩ් ගේ සටනට ආධාර නොකළේය. එය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ව්ලාඩ් ගේ කෲරත්වය හා විශ්වාස කළ නොහැකි බව සනාථ කිරීමට විවිධ ප්‍රවාද පතුරුවා හළ බව සැළකේ. මැතියාස් අග්නිදිග ට්රාන්සිල්වේනියාවේ අයබදු සිය ප්‍රයෝජනයට ගත් අතර, ව්ලාඩ් ලීවාසේ පෙනෙන පරිදි 1942 නොවැම්බර් 07 දිනැති ව්‍යාජ රාජද්‍රෝහී ලිපි සකස් කළ බව ද කියැවේ.
ජර්මානු ජනතාව ඩ්රැක්යුලා ගැන දැනගත්තේ 15 වන සියවසේ මුල් භාගයේදී කියවන්නන් අතර සංසරණය වූ අත් පිටපත් මඟිනි. එයින් මුල්ම අත්පිටපත ලියැවී ඇත්තේ ව්ලාඩ් අත්අඩංගුවට පත්වීමටත් පෙර හෙවත් 1462 දී යැයි සැළකේ. එය පසු කාලයකදී ජර්මනියේදී මුද්‍රණය කෙරුණු අතර, සමකාලීනව හොඳ අලෙවියක් ද ඊට ලැබිණ. මුල් පිටපතට යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් ද සහිතව වරින් වර සංස්කරණය කෙරී ඇත.
අත්පිටපත් සහ පත්‍රිකා වලට අමතරව, ව්ලාඩ් ගේ කතාවේ ජර්මානු අනුවාදය මයිකල් බිහයිම් ගේ ‘‘වොන් අයිනෙම් වුට්රිච් ඩර් හයිස් ට්රැකල් වයිඩා වොන් ඩර් වලාචි’’ හෙවත්, වලාචියාහි ඩ්රැක්යුලා නම් උමතු මිනිසාගේ කතාව යන කාව්‍යයට ද ඇතුළත් විය. 1463 ශීත සෘතුවේ දී මෙම කාව්‍යය ලියා, තෙවැනි ෆෙඩි්රක් ශුද්ධවූ රෝම අධිරාජයාගේ රාජ සභාවේදී ගායනා කරන ලදි.
මෙකී මයිකල් බිහයිම් ගේ කාව්‍යයට අමතරව, ව්ලාඩ් ගේ කතා ඇතුළත් අත්පිටපත් 4 ක් ද, පත්‍රිකා 13 ක් ද ලියැවී ඇත. දැනට ඇති අත්පිටපත් සියල්ල 15 වන සියවසේ අග කාර්තුවේ සිට 1500 වසර දක්වා කාල පරාසයකට අයත් වන අතර, පත්‍රිකා 1488 සිට 1559-1568 කාලයට අයත් වේ.
මෙම පත්‍රිකා වලින් අටක් 1501 ට කලින් කෙරුණු ආදී කාලීන මුද්‍රිතයන් ය. ව්ලාඩ් පිළිබඳ ජර්මානු කතා 46 ක වන අතර, අත් පිටපත්වල හෝ පත්‍රිකාවල හෝ, බිහයිම් ගේ කාව්‍යයේ හෝ එම කතා සියල්ලම අන්තර්ගත නොවේ. ඒ සියල්ල ආරම්භ වන්නේ පැරණි පාලකයා වූ ජෝන් හුනියඩි, ව්ලාඩ් ගේ පියා මැරවීමෙන් සහ ව්ලාඩ් හා ඔහුගේ සොහොවුරා සිය පැරණි ආගම ප්‍රතික්ෂේප කර ක්‍රිස්තියානි ඇදහිල්ල ආරක්ෂා කර පෝෂණය කිරීමට දිව්රුම් දීමෙනි. ඉන් පසු එළැඹෙන සිද්ධීන්වල අනුපිළිවෙල එක් එක් අත්පිටපත් සහ පත්රිකාවන්හි වෙනස් වෙනස් අන්දමට නිරූපණය වේ.
ව්ලාඩ් ගේ කතාවේ රුසියානු හෙවත් ස්ලාව් අනුවාදය හැඳින්වෙන්නේ ස්කැසනී ඔ ඩ‍්‍රැකුලේ වෝවොඩෙ හෙවත් හමුදා නායක ඩ්රැක්යුලා ගේ කතාව ලෙසිනි. එය ලියැවුණ බවට සැළකෙන්නේ 1481 - 1486 අතර කාලයේදීය. දැනට මෙහි ඉතිරිව ඇත්තේ, 15 - 18 සියවස් අතර කෙරුණු අනු අත්පිටපත් අතරින් විසි දෙකක් පමණි. ඩ්රැක්යුලා පිළිබඳ රුසියානු කතා පුවත් කාලක‍්‍රමාණුගත හෙවත් කාල අනුපිළිවෙලට සඳහන් නොවන අතර, එම අත් පිටපත් එකක් වත් සම්පූර්ණ ද නැත. ඒවා සැකසී ඇත්තේ ව්ලාඩ් පිළිබඳ ජනප්‍රවාද වල එන ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය වෘතාන්ත ද එකතු කිරීමෙනි. මෙම කතා ආරම්භ වන්නේ කෙටි හැඳින්වීමක් ද සහිතව, ඔටෝමන් දූතයන් ගේ හිස් වලට තලප්පා තබා ඇණ ගැස්වීමේ සිදුවීමෙනි. අවසන් වන්නේ ව්ලාඩ් ගේ මරණයෙන් සහ ඔහුගේ පවුලේ විස්තර වලිනි.
ඩ්රැක්යුලා පිළිබඳ රුසියානු කතාන්තර 19 ක් වන අතර, එයින් දහයක් ජර්මානු කතා හා සමාන වෙයි. එහෙත්, ඔහු පිළිබඳව රුසියානු ජනතාව හෙළා ඇති දෘෂ්ටි කෝණය ජර්මානුවන්ට වඩා වෙනස් ය. රුසියානු කතා වල ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්, නිර්භීත රණශූරයෙක් සහ සාධාරණ රජෙක් ලෙස නිරූපණය වේ. ඔහුගේ ක්රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ. කතා දහ නවයෙන් ම අතිශයෝක්තියට නඟන ලද ප්රචණ්ඩත්වය නිරූපණය වන්නේ හතරක පමණි. මෙයින් සමහර ප්‍රවාද පසුකාලීනව බිහිසුණු ඉවාන් රජු හට ආරෝපණය කර ඇති බව ද පෙනේ.
ව්ලාඩ් ඩ්රැක්යුලා වටා ඇති ජනප්‍රවාද
ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප්‍රකට වෘත්තාන්ත නවයක් වේ.
මෙම ලිපිය දිග වැඩි වන බැවින් එම වෘත්තාන්ත මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
මූලාශ්‍ර -
විකිපීඩියා