"හොඳයි" ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. "පටන් ගැන්ම වශයෙන් අපට කියන්න... මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.
"කොහොමද එහෙම වුණේ?"
ඇඩම් ගලගොඩ නිළමේ හෙවත් සුමන ගේ දෑස් දෙස කෙළින් බැලුවේ ය.
"ඔබ දුටු අවස්ථාවේ පටන් ඔය ප්‍රශ්නය මම බලාපොරොත්තු වුණා. ඔය ගැන මට දෙන්න තියෙන ඇත්තම උත්තරය... විය හැකි දෙයක් හැටියට ඔබ බාර ගනියිද කියන ගැටළුව මට තියෙනවා... "
"බහිරවයෙකු සමඟ සටන් කළ ඔබට... වැටහෙන්න ඕනෙ, අපට ඕනෑම විදිහක කතාවක් භාරගන්න පුළුවන් බව..." මිත්‍ර අද්මිරාල් ගේ වමත මැණික්කටුව ළඟින් අල්ලාගනිමින්, සිනාමුසු ව කීවේය.
සුමන අද්මිරාල් දෙස බලා, හිස සැළීය. "ඔව්. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි මේ මිහිපිට ගොඩක් අසාමාන්‍ය දේ දැක තියෙනවා."
"දැනට අවුරුදු හතළිහකට විතර කලින්..." ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් කතාව ආරම්භ කළේ ය. "...ඒ වෙනකොට මම අවුරුදු විස්සක තරුණයෙක්. ඒ වෙනකොටත් අවුරුදු දහ තුනක් තිස්සෙ ඇවිලුනු මහා යුද්ධයක් යුරෝපය පුරා පැතිරිලා තිබුණා. ඒක පටන් ගත්තෙ එකම ආගමේ... ඔබ දන්නව කතෝලික සහ රෙපරමාදු ආගම්වල වෙනස... අන්න ඒ ආගම් නැත්නම් නිකායන් දෙක මුල්කරගෙන. නමුත් යටින් පැවතුනේ, රෝම අධිරාජ්‍යය පිටුදකින්න ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රාජධානි තුළ තිබුණු ආසාව."
තමන් කියන දේ මිත්‍ර සහ සුමන කිසිදු අමුත්තක් නොදක්වා අසා සිටින බව ඇඩම් දුටුවේ ය. එයින් හැඟුනේ, සමකාලීන යුරෝපා දේශපාලනය ඔවුනට අමුත්තක් නොවූ බව ය.
"ඔය කියන යුද්ධය අවුරුදු තිහක් පුරා පැවතුණා. ඒ වගේම එයින් මියගිය අති විශාල ජීවිත ගණන... දේපළ හාණිය ගැන නොහිතා, ජීවිත හාණිය ගැන විතරක් හිතුවත් මම අහල තියෙන ඉතාම විනාශකාරී යුද්ධය තමයි ඒ.
"ඒ මහා යුද්ධය අතරෙ මගෙ මවු රට වුණු ස්වීඩනය ලබපු එක ජයග්‍රහණයක් වෙනුවෙන් මටත් හවුල් වෙන්න ලැබුණා. ප්‍රංශ රාජධානියෙ මුදල් ආධාර සමග අපේ රජතුමා වුණු ගුස්ටාවුස් අඩොල්ෆස් ගේ මෙහෙයවීම යටතේ බ්‍රයිටන්ෆෙල්ඩ් සටනට මම අශ්වාරෝහක සෙබළෙක් හැටියට සටන් කළා.
"අපි දහ තුන් දාහක හමුදාවක් පීනමුුන්ඩ වෙරළට ගොඩ බැස්සා. ඒ වෙද්දි රෝම හමුදාව අපව ඒ තරම් අවදානමක් හැටියට ගණන් ගත්තෙ නෑ. ගණන් ගත්තත්, උතුරු ඉතාලියෙ මැන්ටුවා සටනට ඔවුන් හිර වෙලා හිටියා. අපි සතුරන්ගේ පොඩි පොඩි හමුදාවන් පරාජය කරමින් දකුණට එද්දී, අතර මඟින් බඳවාගත්ත කුළී සෙබළුන් එක්ක අන්තිමේදි සැක්සනියෙ සීමාවෙදි, අපේ හමුදාව විසි තුන්දාහක් වෙලා තිබුණා.
"ජොහාන් ට්සර්ක්ලෙයස් හෙවත් ටිලී හි කවුන්ට්වරයා තිස් පන්දාහක රෝමක හමුදාවක් අරගෙන අපට මුහුණ දෙන්න සැක්සනිය දක්වා ආවා, ඒ වෙනකොට අපේ පැත්තට මිත්‍ර හමුදාවනුත් එක්ක සම්පූර්ණයෙන් හතලිස් දෙදාහක හමුදාවක්, දහ තුන්දාහක විතර අශ්වාරෝහක කණ්ඩායමකුත් වඩා සැහැල්ලු කාලතුවක්කු, මස්කිට් වගේ ගිණි අවිත් අතින් අපි සන්නද්ධව හිටියා.
"එදා දවස හරිම අඳුරුයි. මීදුම යන්තම් හරි තුනී වුණේ සෑහෙන තරම දවල් වුණාට පස්සෙ. අපේ ස්වීඩන් අශ්වාරෝහක හමුදාව බැනර් සෙනෙවියා යටතේ දකුණු පැත්තටත්, සැක්සනියෙ පාලකයා වුණු ජොහාන් ජෝජ්ගේ හමුදාව සහ කාලතුවක්කු වම් පැත්තටත් අපේ පාර්ශ්වයෙන් යොදවලා තිබුණා. මැද හරියට වෙන්න අපේ කාලතුවක්කු සහ පාබල හමුදාව තිබුණා, ඉදිරියෙන් හිටපු පාබල හමුදාවට පිටුපසින් ගුස්ටාවුස් රජතුමා සීරුවෙන් හිටියා."
ඇඩම් කෝටු කැබැල්ලකින් බිම වැලි පොළොවේ සටහන් කරමින් හමුදාවන් ස්ථානගතවී සිටි ආකාරය දැක්වී ය.
"ටිලී ගෙ අශ්වාරෝහක හමුදාව අපේ දකුණු පැත්තෙන් පැපන්හයිම් සෙනෙවියා යටතේත්, ෆර්ස්ටන්බර්ග් සෙනෙවියා යටතේ වම් පැත්තේත් යෙදවුණා. ඔවුන් හමුදාව සකසා තිබුණේ තර්සියෝ ව්‍යුහයට යි. ඒ ක්‍රමයට, තනි රේඛාවක් විදිහට සිටි පාබල හමුදාවේ පිටත දාරය, හෙලි කාරයන් සහ මස්කිට් දරන්නන් ගෙන් සමන්විතයි. ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන් වුණේ හෙමින් වුණත්, අශ්වාරෝහකයන්ගේ ආක්‍රමණයට ඔරොත්තු දෙන්න විශාල හැකියාවක් ඒ ක්‍රමයෙන් ලැබුණා.
https://alchetron.com/cdn/battle-of-rocroi-7ec7e2aa-eea6-4a0d-a32b-4c0d3a2695c-resize-750.jpeg |
"එයට විරුද්ධව අපි යොදවා තිබුණේ මැද පාබල හමුදාවේ තීරු දෙකක් සමඟින්, වම් සහ දකුණු පැතිවල අශ්වාරෝහකයින් සහ මස්කිට් කරුවන්. අපි ඔවුන්ට වඩා වැඩියෙන් ගිණි අවි යොදාගත්තා.
"සටන පටන් ගත්තේ මීදුම තුනී වෙනවත් එක්කම. මුල් හෝරා දෙකේ තරම තිබුණේ ම කාල තුවක්කු ප්‍රහාර විතරයි. අපේ සම් බැම්මෙන් එතූ කාලතුවක්කු ඔවුන්ගේ ඒවාට වඩා සැහැල්ලු වීම අපට වාසියක් වුණා. කාලතුවක්කු ප්‍රහාරවලිින් නැඟුනු දුම සහ දූවිල්ල තුනී වෙනවාත් එක්කම ෆර්ස්ටන්බර්ග් ගේ හමුදාව සැක්සන්වරු වෙත කඩා පැන්නා. ඒ එක්කම අනික් පැත්තෙන් පැපන්හයිම් ගේ හමුදාව අපේ දකුණට පහර දෙන්න ආවත්, අපට ඔවුන් වළක්වාගන්න පුළුවන් වුණා. මස්කිට් තුවක්කු කරුවන් වගේම අශ්වාරෝහක අපිත් ඒකෙදි ලොකු දායකත්වයක් දුන්නා. ෆර්ස්ටන්බර්ග් ගේ ප්‍රහාරයට මුහුණ දෙන්න බැරුව සැක්සන් හමුදාව සීසීකඩ යන්න ගනිද්දී, සියලු ශබ්ද යටපත් කරගනිමින් සැක්සන් ගීතිකා ගායනා කරන පූජකයෙකුගේ කටහඬ යුද පිටිය පුරා රැව් දුන්නා. ඒ පූජකවරයා ට පුළුවන් වුණා, කැඩුණු බිඳුනු සැක්සන් හමුදාව ආපහු එකමුතු කරගෙන ඉදිරියට අරගන්න.
"ඒ අතරෙ අපේ රජතුමා ම නායකත්වය දෙමින් අපි දකුණු පැත්තෙන් ඉදිරියට ඇවිත් ටිලී ගෙ හමුදාව වට කළා. අපට ලැබුණු ඉහළම ජය තමයි... තවත් හෝරා හතරක් තරම යද්දි අපට පුළුවන් වුණා රෝම කාලතුවක්කු අල්ලගන්න. එතන ඉඳන් අපි රෝම අධිරාජ්‍ය හමුදාවට දුවන්න ගැහුවා.
"ඔය අතරෙදි මා ළඟින්ම හිටපු අපේ රජතුමා ට වෙඩි වැදුණා. අපි ඒ වෙනකොටත් කාලතුවක්කුවලිිිින් ඇවිස්සුණු දුමෙන් සහ දූවිල්ලෙන් සෑහෙන්න වට වෙලා හිටියෙ. වෙඩි කීපයක් රජතුමාට වැදුණා, අශ්වයගෙ පිටෙන් වැටෙන්න කලින්. එතුමා ගෙ ස්ට්‍රීෆ් නම් සුප්‍රසිද්ධ අශ්වයාටත් ඒ එක්කම වෙඩි වැදුණා. ඒක දැකපු ගමන, එතෙක් මම පවත්වාගත්ත සමබරතාවය සහ පරීක්ෂාකාරී බව මගෙ හිතෙන් අයින් වුණා. මම රජතුමා වැටුණු තැනට යන්න අශ්වයා හරවාගනිද්දිම තමයි, මගෙ ඇළපත හිල්කරගෙන... පුච්චගෙන ඇතුල් වුණු මූණිස්සම් පොකුරක් පිටෙන් පදාසයක් කඩාගෙන එළියට ගියෙ. කාලතුවක්කු හඬ අපැහැදිලි වේගෙන එද්දි, මගේ කන් අගුල් වැටුණා. සුදු මැළි අතකින් මගෙ අත අල්ලගන්නවා යාන්තමින් මම දැක්කා. මම ඔලුව උස්සලා ඒ කවුද කියලා බලන්න හැදුවත් ඒක හරිගියෙ නෑ. මට දැකගන්න පුළුවන් වුණේ සුදු දිග කෙස් තියෙන, සුදුමැළි කෙට්ටු ගැහැණු මුහුණක් විතරයි. ඒ එක්කම මගෙ ඇස් අඳුරු වෙලා ගියා. මම හිතන්නෙ ඒ වෙලාවෙ මම මැරුණා කියල...
"මම පාවෙලා වගේ ඇදිලා යන බව මට තේරුණා... ටික වෙලාවක් ඒ හැඟීම මට තිබුණා. අන්තිමේ කිසිම දෙයක් දැනෙන් නැති ශාන්ත නිසසල බවකට මාව පත් වුණා.
"ආපහු මට මගෙ ශරීරයෙ බර සහ වේදනාවන් ටිකෙන් ටික දැනෙන්න ගනිද්දි, පිදුරුවල සියුම් බූව මගෙ පිටට දැනුණා. මම ඇස් අරින්න හැදුවත්, දීප්තිමත් සුදු එළියකින් මාව අන්ධ කරනවා වගේ දැණුනා. ඇස් ආවරණය කරගන්න මම වම් අත උස්සන්න හැදුවා. ඒත් ඒ ගැන හිතුවට, මගෙ අත පය ක්‍රියාකළේ නෑ. ඒ එක්කම ඉතාම සියුම් ගැහැණු හඬක් මගෙ කණ ගාව කොඳුරනවා මට දැණුනා.
"...'හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම...' ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක තියෙන්නෙ. ඒ වචන කිව්වෙ සැක්සන් තරුණියක් බව මට ඒ කටහඬේ උච්ඡාරණ විලාසයෙන් තේරුණා. එහෙම කියද්දි එයාගෙ හුස්ම මගෙ කන් පෙත්තට දැණුනා. ඒ එක්කම සියුමැළි අතකින් දිග කෙට්ටු ඇඟිලිවලින් මගෙ දකුණු අතේ ඇඟිලි අල්ලගන්නවා මට දැණුනා. ඒ අතේ මෘදු බවත්, උණුසුම් බවත් එක්ක මට පුදුමාකාර සැනසිලිමත් බවක් දැණුනා. ඒ එක්කම මට නින්ද ගියා.
අපිත් යුධ පිටියට අරන් ගියා වාගේ අනගි ලෙස ලියවිලා තියේනවා....
ReplyDeleteඔය දක්ෂතාව ලෙසටම තියෙන රචකයෙක්ගෙ බ්ලොග් එකක් මේ. ගිහින් කියවලා බලන්න...
Deleteඒ බ්ලොග් එක නොවරදවාම බලනවා. තාක්ෂනික දෝෂයක් හින්දා මට කොමෙන්ට් වලින් ප්‍රතිචාර දක්වන්න බැරිවෙලා
Deleteහ්ම්... කොහොමද රුවින් ගෙ ශෛලිය විතරක්? සමහර ආතල් පෝස්ට් තියෙනව, නිකං ආපහු මාතාකාව දැක්කත් හිනා යන. අනික් පෝස්ට්වලින් යුද්ධයෙ ඇත්ත මුහුණුවර ියමෙට ම කියවෙනව.
Deleteනියමයි, ඔහොම යං.
ReplyDeleteමට හිතුණා බකුසුරාළ මේකට කැමති වෙයි කියල... නමුත් මට තව පලිප්පු දාන්න තිබුණා.
Deleteනියමයි, ඔහොම යං. X 2
Deletehttps://www.historyhit.com/swedish-king-gustavus-adolphus-killed-battle-lutzen/
ReplyDeleteඔය රජතුමා මැරෙන වෙලාවෙ ඇඳං හිටපු කෝට් එක පස්සෙ කාලෙක ස්වීඩනයට ආපහු බාර දීලා තිබුණා.
Deleteයකඩෝ, තව කොහේ කොහේ යාද මන්දා.....
ReplyDeleteහොඳා හොඳා හොඳටෝම හොඳා!
සතුටුයි නිදි... නිදි නැතුව එක හුස්මට ලිව්වෙ. කොහොමත් මුන්දැගෙ ඉතිහාසය ගැන කියද්දි යුරෝපයට යන්න වෙනව ම නෙ.
Deleteතර්සියෝ ව්‍යූහය කියන සැලැස්මට 300/3000 වගේ සංඛ්‍යාවනුත් සම්බන්ධ ද? කොහොම වෙතත් ඈත අතීත යුද්ධ නම් වැඩි හරියක් පාලකයා යුද බිමට ගිහින් යුද්ධයට නායකත්වය දී මුහුණට මුහුණ ලා කළ යුද්ධ. ඔබ වචන වලින් පින්තූර අඳිනවා. බොහොම හොඳයි.
ReplyDeleteඒ එක්කම ඔබ රසදාවත ලියන රුවින් ගැන කියන කතාවත් ඇත්ත.
ඔබවහන්සේ අනුමාන කරන විදිහටම, තර්සියෝ ව්‍යුහයට තුනක් සම්බන්ධයි. ස්පාඤ්ඤ භාෂාවෙන් "තුන්වැනි" කියන එක තමයි ඒකෙ තේරුම. ඔතන කට්ටිය ලයින් කරන්නෙ වර්ග තුනක භටයන්. ඒකියන්නෙ හෙල්ලකරුවන්, අසිපත්ධාරීන් සහ ආර්ක්‍යුබසියර් හෝ මස්කිටීයර් කියන තුවක්කු කරුවන්. එතනින් තමයි ඔය තුනේ සම්බන්ධය එන්නෙ. ඒක ඉදිරි පෙළ සඳහා ඉතා ශක්තිමත් සංයෝගයක්.
Deleteයුද්ධය කියන්නෙ ම රාජකීයයන් සහ නායකයින්ට ත්‍රාසජනක ක්‍රීඩාවක්. ඒකනෙ රෝමයෙ කොමඩස් කොලොසියමෙ සටන්වලට පවා සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම රාජ්‍යත්වය රැකගෙන තම පරම්පරාවට උරුම කර දීම එයාගෙ වගකීම. දුටුගැමුණු රජු එලාල රජු සමඟ ද්වන්ද සටනක් කරන්නෙ එහෙම... නූතන ජාතික රාජ්‍යවල තමා පාලකයන් සුදු කරපටි රැකියාවක් කරලා කාලයකදි විශ්‍රාම යන්නෙ. එතකොට පාලකයා යන වගකීම ප්‍රවේණියක් සහ දිවිපුදා රැකගත යුතු සංකල්පයක් වෙන්නෙ නෑ.
වචනවලින් පින්තූර ඇඳීම මට නම් ආයාසයකින් කරන්න වෙන වැඩක් අපෙ හාමුදුරුවනේ. ගොඩක් ස්තූතියි ඒ ඇගයීමට. ඒත් ඒ දේම අනායාසයෙන් කරන කෙනෙක් තමයි රුවින්. එයාගෙ බ්ලොග් එකට ලැබිය යුතු ආකර්ෂණය ලැබිලා නෑ කියල පේන නිසා, මම හැම තිස්සෙම ඒක ප්‍රවර්ධනය කරන්න මහන්සි ගන්නව. ඒ දේම මමත් බ්ලොග්වලට ආව මුල් කාලෙ එවක හිටපු ජ්‍යේෂඨයන් මා වෙනුවෙන් කළා.
සෑහෙන මහන්සි වෙනවා වගේ මේ ඉතිහාස විස්තර හොයන්න. කොහොම උනත් කතාව එලට යනවා. තව කාලයක් ලියන්න පුළුවන් හෙහ් හෙහ් ..!
ReplyDeleteකාලයක් අදින්න නම් අදහසක් නෑ පැත්තො. වැඩේ තියෙන්නෙ මේකෙ පරාසය හෙණ පුළුල්. ඇඩම් හැදුණෙ කොහොමද කියන්නත් ඕනෙ. ඒක වර්තමාන කතාවට ඈඳන්නත් ඕනෙ. (ඒ කියන්නෙ අර ඩිෆෙන්ඩරේ ඇවිත් නතර උන තැනට ගේන්න ඕනෙ.)
Deleteඉතිහාසය නම් ඉතිං මගෙ විනෝදාංශය. ඔය බැට්ල් එක ගැන මම දවස් දෙකයි කියෙව්වෙ. ඊට කලිං ඒ ගැන මොනවත් දැනං උන්නෙ නෑ.
තව මොන මොනව ලියන්න වෙයිද දන්නෑ ඉස්සරහට...
[වැඩේ තියෙන්නෙ මේකෙ පරාසය හෙණ පුළුල්.] මේ හින්ද තමා මම කිව්වේ. අදිනවා කියන එකේ අදහස උවමනාවෙන් දික් ගස්සන එක නෙමේ. නියම විදියේ අවසානයක් දෙන්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා කියලයි මට කියන්න ඕනේ වුනේ .
Deleteඔව් පැත්තා. මට තේරුණා. මට කියන්න ඔ්නෙ උනේ, මේක බොහොම පළල් පරාසයක යනව. ඒත් ගොඩක් දිගට ලියන්නෑ කියල.
Delete