කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම ඇණුනේ ය. එතෙක් ගැළී සිටි වින්දනාත්මක ආලස්‍යයෙන් මිදුණු ඩ්‍රේක් ක්ෂණිකව බිමට පහත් වී, හිස පහත් කොටගෙන වටපිට බැලීය. කෙටි බැලුම් කිහිපයකින් හාත්පස සෑම අඟලක්ම නිරීක්ෂණය කළ හෙතෙම, කිසිදු අනතුරක් නොමැති බව සැක හැර ගත්තේ ය. ඊගස වටා බැඳුණු තල්පත ඔහු දුටුවේ ඉන් පසුව ය.
ඉක්මණින් තල්පත ලෙහාගත් ඇඩම්, එතැනම බිම වාඩි වී එය දිගහැරියේ ය. එහි වූයේ ලතින් අකුරින් සටහන් කළ කෙටි පණිවුඩයකි.
"gå inn i urteforsten 50 trinn mot nordvest - dolmen"
(ඔසු වනයට ඇතුල් වෙනු. ඊසාන දෙසට පියවර 50 ක්. ගල්මැස්ස)
පණිවුඩය ලියා තිබුණේ නෝවීජියානු බසිනි.
නැවතත් ඉතා පරීක්ෂාකාරීව වට පිට බැලූ නාවුකයා, ඉතා ම සැළකිල්ලෙන් කැළෑවේ ඖෂධ ගස් අතරින් තියුණු ඇස් බැල්ම යොමු කළේ ය. එහෙත් ඔහුට කිසිදු හෝඩුවාවක්, අඩුම තරමින් ගසක සියුුම් සෙළවීමක්වත් දැක ගත හැකි වූයේ නැත. ඇඩම් තල්පත හැකිළුවේ ද වනපෙත දෙස බලාගත්වන ම ය. දෑතට තරමක උණුසුමක් දැනී ඒ දෙස බලත් ම, හකුළන ලද තල්පත වටා කහ පැහැති සියුම් ගිණි දළු වෙළෙනු ඔහු දැක්කේ ය. ප්රතීක ක්‍රියාවලින් මෙහෙයවුණු දෑතින් තල්පත ඉවතට විසි කෙරුණේ ඇඩම් ඒ ගැන සිතීමටත් පෙර ය. තප්පර කිහිපයක දී තල්පත මුළුමණින් ම අළු වී ගියේ ය.
තවමත් අඩ දණින් සිටි ඩ්‍රේක් ගේ වමත තමන් නිතරම ඉණෙහි රුවාගෙන සිටින නාවික දුරදක්නය ට යොමු විය. එහි ඇස ට යොමුවන පැත්තේ කාචය වසා තිබුණු පියන ඉවත් කරගත් ඔහු, එය අනෙක් පිට හරවා සුරතෙහි අල්ල මත තැබී ය. එහි වූයේ මාලිමාවකි.
නැගිටින්නට කලින් ඔහු වම් කළවයෙහි ගැටගසා රඳවාගෙන සිටි කිණිස්ස එතැන ඇති බව ට වමතින් තට්ටු කර සැක හැර ගත්තේ ය. ඇඩම් ඖෂධ වනයට ඇතුල් වූයේ සිය ඇස් සහ කන් තියුණු ව සංවේදී කරගනිමිනි.
වන රොද ට ඇතුළුව පියවර දහයක් පමණ යත්ම යුරෝපීයයාට ඇසෙන්නට වූයේ දිය ගළායන හඬ ය. තවත් පියවර පහක් පමණ යද්දී ගල් අතර ගැටෙමින් සුදු පෙණ විසුුරුවන දොළ පාරක් ගස් අතරින් දිස් විය. දිය පහරින් මට සිළුටු වූ එක එක තරමේ වට ගල්... ඒ අතර පනිමින් උඩුගං බලා පිහිනන කුඩා මසුන්... උන් ඩැහැගැනීමට මාන බලන නිල් වනින් සැරසීගත් පක්ෂීන්...
ඉතා විපරම්කාරීව සහ ප්‍රවේසමෙන් දිය පහර තරණය කළ ඇඩම්, මාළිමාවෙන් පෙන්වන දිශාවට දිගටම පියවර ගැන්නේය. පියවර හතළිහේ දී පමණ ඉදිරියේ පිහිටි ගල් අට්ටාලයක්, ඔහු ගස් අතරින් දුටුවේ ය. කුඩා ගල් තුනක් මත රැඳී තිබූ විශාල සමතල ගල් පතුරක්, ස්වාභාවිකව ඉදි වුණු මේසයක් වැන්නක් නිර්මාණය කර තිබුණේ ය. තවත් ඉදිරියට යද්දී, ගල් මැස්ස පසුපස ගසක මුවාවේ රැඳී සිටි සුදු අශ්වයෙක් නාවුකයාගේ නෙත ගැටුණි. පණස් වන පියවර ඔහු තැබුවේ ගල් මැස්ස පාමුළ ය. එවිගස තම සුරත ග්‍රහණය කළ යමෙකුගේ අතෙහි බර ඔහුට දැනුණේ ය. දකුණුපස හැරී බැලූ නෝර්ඩික් ජාතිකයා දුටුවේ, මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේගේ සිනාමුසු මුහුණ ය.
https://www.dreamstime.com/prehistoric-megalithic-tomb-dolmen-excavated- reconstructed-passage-grave-larges-stones-forest-klein-image198508267 |
"මම ඔබ දුටුවේ නෑ මෙතනට එනකම් ම." ඇඩම් සිය මවිතය නොසැඟවීය.
"ඒක ම තමයි ඩ්‍රේක් රහස් දූරයේ විශේෂත්වය..." මිත්‍ර එතැන වූ පැතළි ගලක් මත වාඩි වෙමින්, තමා ඉදිරියේ වූ තවත් ගළක් වෙත අත දිගු කළේ ය.
ඒ අනුව යුරෝපීයයා ද අසුන් ගත්තේ ය.
"රහස් ගමනක් යාමට ඔබ තෝරාගත්තා." මිත්‍ර කතාවට යොමු විය. "මෙතැන ඉඳන් මේ කාරණාව ගැන සඳහන් වන හැම තැනකදි ම මාව හැඳින්වෙන්නෙ 'වරුණ' නමින්. ඒක වරද්ද ගන්න එපා. ඔබ හෙට පාන්දර කුකුළන් හඬලන්නට කලින් වෙද මුදළිතුමාගේ වළව්වෙන් පිටත් වෙන්න. ඔබ නිළ කටයුත්තක් සඳහා යන බව වෙද මුදළි තුමාට කලින්ම කියා තියන්න. යන වෙලාව කීම උවමනා නෑ. වළව්වෙ කඩුල්ල ළඟ අශ්වයෙක් ඔබ වෙනුවෙන් රඳවලා තියේවි. අශ්වයා භාරව ඉන්න පුද්ගලයා එක්ක කතා කරන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ අශ්වයා පිට නැගලා, ප්‍රධාන පාරට ඇවිත් නුවරින් පිට වෙන එකයි. තවත් අයෙක් අතරමඟදී ඔබට එකතු වෙනවා. ඒ තැනැත්තා මග පෙන්වාවි. ඒ වගේම කරන්න තියෙන රාජකාරියත් විස්තර කරාවි, අවශ්‍ය හැම උපකාරයක් මත් කරාවි."
මිත්‍ර මොහොතකට නිහඩ වී, ඇඩම්ගේ දෑස් දෙස බැලුවේ ය.
"ඊට අමතරව තව මොනවහරි දැනගන්න තියෙනවා ද?"
"මට පැවරෙන රාජකාරිය ගැන මීට වඩා මේ මොහොතෙදි කියන්නේ නැතුව ඇති?" නාවිකයා ඇසී ය. "ඒත් මේ කටයුත්ත ඉටුකළාට පසුව මට ලැබෙන්නෙ මොනවද?"
"මට කියන්න පුලුවන් මෙපමණයි. රාජකීය භාණ්ඩාගාරයට අත්‍යවශ්‍ය යමක් ලබාගැනීමටයි ඔබ යවන්නේ. එය ඔබ ඉටු කිරීමෙන් පෙන්වන දක්ෂතාව වෙනුවෙන්, රජතුමාගේ ප්‍රසාදය ඔබට ලැබේවි. - රජතුමාගේ ප්‍රසාදය කියන්නේ වරප්‍රසාද ගණනාවක එකතුවක් - ඒ වගේම රහස් දූරයේ සාමාජිකයන් ඔබ ගැන තබාගන්නා තක්සේරුව ඉහළ යාවි.
"ඔබ නියමිත වේලාවට පිටත්වීම වැදගත්. ඒ ගැන සැළකිලිමත් වෙන්න." මිත්‍ර වාඩි වී සිටි තැනින් නැගිට්ටේ ය. "එහෙනම්... ජය වේවා!"
උඩුමුල්ලේ නිළමේගේ ආචාරය අනුව ඩ්‍රේක් දැත් එකතු කර ප්‍රති-ආචාර කළේ ය.
---------------------------
ඇඩම් අවදි වූයේ සිය කුටිය අසළම ගසක සිට බකමූණෙකු නැඟූ මූසල රාවයකිනි. සාමාන්‍ය තරමට වඩා තීව්රතාවක් ඒ බකමූණාගේ හඬෙහි වූ බව ඔහුට සිතුණේ නින්ද කැඩීමෙන් වූ බාධාව නිසා වන්නට ඇත. ඔහු පෙරදා රාත්‍රියේ නින්ද ගියේ බොහෝ වේලා ගතවූවා ට පසුව ය. පසුදා ට යෙදුණු රාජකාරි ගමන ගැන විවිධ වූ සිතුවිලි ඔහුගේ සිතෙහි විය.
කවුළුව වෙත ගිය ඩ්‍රේක්, නාවික දුරදක්නය ගෙන අහස ට යොමු කළේ ය. රාත්‍රියේ සිය දුරදක්නයට සවිකරගත් සියුම් උපකරණවල උදව්වෙන් හිමිදිරි අහසේ වූ තාරකා මැන ගත් ඔහුට වේලාව නිශ්චය කරගත හැකි විය.
කලින්දා ලෑස්ති කර තිබූ ප්‍රංශ නාවික ඇඳුම කඩිමුඩියේ ඇඳගත් ඔහු, වම් කකුළේ පැළඳි කෙණ්ඩා ආවරණයේ බැඳ තිබූ කිණිස්සත්, ඉණෙහි එල්ලාගත් දුරදක්නයත්, කබායේ සාක්කුවේ වූ හම් බැම්මෙන් බැඳි ජ'නලයත් නැවතත් පරීක්ෂා කළේ ය. කුටියෙන් එළියට අවුත්, එහි දොර වැසූ හෙතෙම, දිගු හුස්මක් ගෙන, වළව්ව පසු කරමින්, කඩුල්ල දෙසට පිය මැන්නේ ය.
කඩුල්ල වෙත එත්ම, අසුන් දෙදෙනෙකු එහි සිටිනුු යුරෝපීයයාගේ නෙතට ලක් විය. එක් අසෙකුගේ පිට නැග සිටි අයෙකු අනෙක් අසුගේ රැහැන් පට ඩ්‍රේක් වෙත දිගු කළේ ය. එය බුහුටි ලෙස අතට ගත් ඇඩම්, හණික අසුපිටට නැගී අනෙක් අසරුවා අනුව අසු ධාවනය කරවන්නට ගත්තේ ය.
හිරු උදාවට මත්තෙන් පැතිරෙමින් පැවති ළා රත් පැහැ ආලෝකය මුසු මද අඳුර තුලින් පාර පෙනුුනේ යන්තමිනි. තරමක වේගයෙන් ධාවනය කෙරුණු අශ්වයන්ගේ නාසා පුට වලින් නිකුත් වුණු වාෂ්පය, අවට පැතිරි සීතල නිසා තුනී දුම් රැළි මෙන් දිස් විය. මීදුම මුසු සීතල සුළං රැළි සිය කෙහෙරැළි පීරාගෙන පිටුපසට හමා ඇදෙද්දී නාවුකයා තව තවත් අශ්වයා වේගයෙන් ධාවනය කරවන්නට උත්සුක විය.
කීප මොහොතකින්ම ඔවුනට නුවර කඩවත පසු කරන්නට හැකි විය. එහි වූ මුරකාවල, ඇඩම් සහ අනෙක් අසරුවා හැඳින ඔවුනට යාමට ඉඩ හළ හ. එතැන් සිට ඔවුන්ගේ ගමන් මග වැටී තිබුණේ හෙල්, වන ළැහැබ් ආදිය අතරිනි. එහෙයින් නුවරදී මෙන් වේගවත් බවක් පවත්වාගත නොහැකි විය. හාත්පස වූයේ තවත් උදෑසණක් සඳහා අවදි වෙමින් පැවති ස්වාභාවික පරිසරයයි.
--------------------------------
උදෑසණින් අවදි වූ සියොතුන්, කෑ ගසමින් පියාසර කරන්නට පටන් ගනිද්දී අසරුවෝ දෙදෙනා බලන කපොල්ල පසු කළ හ. එතෙක් පසුකළ සියලුම මුරකාවල්හිදී මෙන් ම එහිදී ද සිදු වූයේ කිසිදු ප්‍රශ්නයක් නො අසා ඔවුනට යන්නට ඉඩ දීම යි. බලන පර්වත දුර්ගය මැදින් වැටුණු පටු පාර දිගේ පහතට බසිද්දී ඇඩම් ගේ සහචරයා කාලයකට පෙර අතහැර දැමූ හෙයින් වල් බිහිවෙමින් පැවති අතුරු පාරකට හැරුණේ ය. ඒ පාරේ වංගු හත අටක් පසු කළ පසු ගල් පඩි හත අටක් නැඟ ළඟා විය හැකි යම් කිසි පූජනීය ගොඩනැගිල්ලක් හමුවිය.
මාර්ගෝපදේශකයා අනුව අසු පිටින් බට ඇඩම් හට යම් සැනසිල්ලක් දැනුණි. පාන්දර සිට එක දිගට ම විෂම මාර්ගවල අසු පිට යාමෙන් නැගුණු විඩාවත්, කුසගින්නත් දැනුණ ද, ඔහු එළඹෙන අභියෝගයන්ට සූදානමින් සිටියේ ය.
මගියෝ ගල් පඩි නැඟ ගොඩනැගිල්ලට ළං වත් ම, එහි පියස්සෙන් ඇසුණු සට සට හඩක් සමඟින් වවුලන් රැසක් ඉගිළී ගිය හ. රැළෙන් වෙන් වූ විශාල වවුලන් හතර පස් දෙනෙක් මිනිසුන්ගේ හිස් වටේ කැරකුණේ අභියෝග කරන්නාක් මෙනි. අවසාන පඩි දෙක තුන නඟිද්දී ඇඩම් ගේ නෙතට යොමූ වූයේ ගරාවැටෙමින් පැවති ගොඩනැගිල්ලේ විවෘත ආළින්දයේ බිම වාඩි වී සිටි මිනිස් රුවකි. ඒ දෙසට සිය සුරත දිගු කළ මගපෙන්වන්නා, ආපසු හැරී අසුන් වෙත ගියේ ය.
සංඥාව තේරුම්ගත් ඩ්‍රේක් ගොඩනැගිල්ලේ ආළින්දයට ඇතුල් විය. අසුන් දෙදෙනා ගේ කුර ගැටෙන හඬ ඇසුණේ එවිටම ය. යුරෝපීය යා ආපසු හැරී බලද්දී, එතෙක් ඔහු සමඟ පැමිණි තැනැත්තා අසුන් දෙදෙනා ද රැගෙන ආපසු යමින් සිටියේ ය.
"ඇතුළට ඇවිත් ඈඳිගන්ට"
තමන්ට ඇසුණු මිහිරි කටහඬින් සහ එය කියැවුණු මෘදු ලීලාවෙන් ඇඩම් මවිත විය. ආළින්දයේ සිටියේ කාන්තාවක් බව ඔහු දුටුවේ එවිට ය. කලින් ඔහු දුටු අඳුරු ජරාවාස ගෙබිම වෙනුවට පළසක් ඇතිරූ පිරිසිදු ගෙබිමක්... එහි එරමිණිය ගොතාගත් සුදු ඔසරියකින් සැරසුණු කාන්තාවක්... ඇය ඉදිරිපිට එලා තිබූ ලොකු කෙසෙල් කොළයක් මත පිළිවෙලට තබා තිබූ කිරිබත්, කැවුම්, කෙසෙල්... ඒ ඉදිරිපිට දැල්වෙමින් පැවති පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඔහු දුටුුවේ ය.
ඩ්‍රේක් බිමට පහත් වී සිය උසැති පාවහන් ගැළවූයේ නිරායාසයෙනි. නිරුවත් දෙපතුලින් ඉතිරි අඩි කිහිපය ගොස්, ඔහු කාන්තාව ඉදිරිපිට පළස මත බිම වාඩි විය. සිය දිග දෙපා පහසු ආකාරයකට තබාගන්නට කිහිප විටක් තැත්කළ ඔහු අවසානයේ වීරාසනයට ආසන්න ක්‍රමයක් සකසා ගත්තේ ය. හිස ඔසවා සිය සංග්‍රාහිකාව ගේ මුහුණ බැලුවේ ඒ සියල්ලටම පසුව ය. ඒ හිරිමල් වියේ පසුවූ තරුණියක් බව දුටු ඇඩම් මවිත විය.
මඳ සිනහවක් පාමින් ඔහුගේ දෑස් දෙස බැලූ ඇය කැවිලි සහිත කෙසෙල් කොළය වෙත සිය සුරත දිගු කළා ය. ඇගේ ඇරයුමින් ඔහු හිස්ව තිබූ කුස පුරවාගන්නට පටන් ගත්තේ නිහඬව ම ය.
කිරිබත් වල සීතල කිරි රසයෙන් ද, කැවිලිවලින් නැඟුණු කිතුල් පැණිවල විශිෂ්ට රසයෙන් ද කුස මෙන් ම සිත ද පිරී යද්දී, ඇඩම් සංග්‍රාහිකාව ට ස්තූති කරන්නට හිස එසවී ය. එවිට ඇගේ අතෙහි වූයේ මහත රවුම් බඳකින් සහ දිග ගෙළකින් සමන්විත අඳුරු පැහැ බෝතලයකි. එය දුටු විගස නාවිකයාහට පෝට්වයින් පානයේ සුවඳ හා රසය දැනෙන්නා සේ විය.
https://www.oceanexplorer.se/wp-content/uploads/2019/05/chr1.jpg |
තරුණිය තමා වෙත දිගුකළ බෝතලය බුහුටි ආකාරයෙන් වමතින් අල්ලාගත් ඩ්‍රේක් දකුණතින් එහි මුද්‍රාව කැඩී ය. බෝතලයේ කර වටා අතැඟිලිවලින් පිරිසිදු කර, එය තොල් අතරේ රඳවා උගුරක් මුවට හලාගනිත් ම... දිව මතදී වාෂ්ප වී යන පැසුණු මිදි යුෂවල රසය සහ සුවඳ ඔහු ට විඳින්නට හැකි විය.
පෝට්වයින් බෝතලයෙන් තවත් එක් උගුරක් මුවට හළාගත් ඇඩම් බෝතලයේ ඇබය ගසා බිමින් තැබී ය.
"ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය.
"හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."
ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.
ඉතිරි කොටස...
(පහුගිය කොටසෙදි මම බලාපොරොත්තු වුණා මේ කොටස සතියක් ඇතුලත පළකරන්න. ඒත් කරගන්න බැරි වුණා. අම්මාගේ හදිසි මරණය මට පෞද්ගලික වශයෙන් ඉතාම තදින් බලපෑ කරුණක් වුණා. ඇඳිරිනීතිය නිසා කාටවත් කීවේ නෑ. නිදහසට කරුණු කීම මගේ ප්‍රතිපත්තිය නොවේ. ඒත් ඊළඟ කොටස් ඉතාම ඉක්මණින් ලියන්න පොරොන්දු වෙනවා.)