"ඩේන්වරු තන්ජෝරයේ බළකොටුව ආපහු පිළිසකර කෙරුවා." රුද්‍ර කී ය. "ඔවුන්ගේ නිරීක්ෂක දූතයන් නිතරම එහෙමෙහ යනවා. ඔවුන් උනන්දුයි ස්වදේශික ඇදහිලි සහ බෙහෙත් ක්‍රම ගැන. ඒ වගේම හිමාලය ට ආසන්න ප්‍රදේශවල තියෙන ඖෂධීය ගුණයක් තියෙන උල්පත් ගැනත් ඔවුන් සොයන බව පේනවා...
"මට කතා කරන්න තියෙන තවත් කාරණයක් තමයි... තන්ජෝරයේ බළකොටුව මේ තාක් කල් බොහොම දුෂ්කරතා මැද පවත්වාගෙන ආවා, ඒකෙ අණදෙන නිලධාරියා. මෑතක ඩේන් රටේ සිට ආධාර එක්ක අලුත් පාලකයෙක් ආවා. හිටපු පාලකයා ආපිට මවු රටට යනවා වෙනුවට, භාරතයේ කඳුකර ඉසව් සහ දාර්ශනිකයන් ගැන ගවේෂණය කරන්න පටන් ගත්තා.
"ඒ ගැන අපට සෙවිල්ලෙන් ඉන්න පුළුවන්. ඔබේ සහාය උවමනා වෙන්නේ..." රුද්‍ර සිය කොන්ද සෘජුව තබාගනිමින් ගෙළ හරවා තම සංග්‍රාහකයින් තිදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලි ය.
"මේ හිටපු පාළකයා කුරුල්ලන් යොදාගෙන පණිවුඩ හුවමාරු කරගන්න බව අපට පෙනුණා. සාමාන්‍යයෙන් යුරෝපා මිනිස්සු ඒ වැඩේට පරවියන් යොදාගත්තත්, මේ මනුෂ්‍යයා ළඟ ඉන්නේ තරමක ලොකු බස්සන් වගේ කුරුල්ලන් ජාතියක්."
"ඔබ පශුපති නේ..." මිත්‍ර කීවේ ය. "සතුන් ගැන අපටත් අහගන්න වෙන්නේ ඔබෙන් නේ..."
"ඔව්. මම දන්නවා ඒ කුරුල්ලන් මොකුන්ද කියා. ඒ ගැන නොවෙයි මට ගැටළුව තියෙන්නේ. ඒ කුරුල්ලෙක් ලංකාවට ඇවිත් ගියා දැන් වාර කීපයක්..."
"මෙහේ ඉන්න නෝඩික් ජාතිකයන්, තන්ජෝරයේ නෝඩික් වැසියන් එක්ක සබඳතා පැවැත්වීම පුදුමයක් නෙවෙයි." සුමන කීවේ ය. "ඒත්, ඒකට නිශාචර කුරුල්ලන් යොදාගැනීමේ යම් රහසක් තියෙනවා."
"මතකනේ..." රුද්‍ර සිය ඇස් සිහින් කළේ ය. "සින්දිබදු, ඇලෙක්සැන්ඩර්, ෆාහියන්, ඉබ්න් බතුතා, මාර්කෝ පෝලෝ... ඒ හැමෝම භාරතයේ යම් කිසිවක් හොයලා, ඔබේ රටටත් ආවා."
"ඒකම තමයි මේ හමුවීම යොදාගත්තේ..." ඉන්ද්‍ර පැවසී ය. "මේ මනුෂ්‍යයන්ට උවමනා මොකක් වෙන්න පුළුවන් ද?"
රුද්‍ර වට්ටියේ තිබූ අවසාන මසන් අහුරත් කටේ ලා ගෙන සෙමෙන් සපන්නට විය. ඔහුගේ දෑස සෙමෙන් පියවී ගියේ නිතැතිණි.
නිහඬව ගෙවුණු මිනිත්තු කිහිපයකට පසු රුද්‍ර දෑස් පියාගත් වන ම සෙමෙන් කතා කරන්නට පටන් ගති.
"ඔබත්, අපිත් දෙගොල්ලන්ගේ ම ඖෂධීය දැනුම කැටි කරලා, දිය උල්පතක් මත ගෑවා මීට බොහෝම කාලයකට කලින්... ඒක තිබුණේ ලක්දිව ප්‍රධානම කඳුවැටියක් මුදුනේ. එය නියම පදමට මත ගෑවෙන්නට කලින් විවිධාකාර දේ නිර්මාණය වුණා..."
"ඔව්. එයින් සැදුණු විෂ සහිත ඖෂධය ඔබ බීවා නේ..." මිත්‍ර සිහිපත් කළේ ය.
රුද්‍ර දෑස් විවර කරත්ම, සුමන මිත්‍රගේ හිසට අවවාදාත්මකව තට්ටු කරනු දුටුවේ ය.
"මම අදහස් කළේ... අපේ මහා ඖෂධය බේරගන්න ඔබ තමන්ම කැප කරලා ඒ විෂ බීවා. ඒක අහකට විසි කළා නම් එය වැටුණු තැන පවා විනාශ වෙන්න තරම් දැඩි විෂක්..." මිත්‍ර තම ප්‍රකාශය නිවැරදි කළේ ය.
"ඔව්. ඒ හළාහල විෂ මගේ සිරුරට සහ මනසට සදාකාලික බලපෑමක් කළා. දැනටත් සමහර වෙලාවට මගේ ගෙළ වටේ නාගයෙක් දරණ ගසාගෙන තදකරනවා වගේ දැනෙනවා. මා බේරුණේ අග්නි ගේ වෙදකමින්. කෝ, ඇය වෙනත් රාජකාරියක ගිහින් ද?"
https://i.pinimg.com/736x/ec/d0/aa/ecd0aad7ffdda4cc45dfadcdf27e1c16.jpg |
"ඔව්. ඇත්තටම රාජ-කාරියක් ඉටු කරන්න පහත රටට ගියා"
"මට කියන්න උවමනා කළේ..." රුද්‍ර පළතුරු වට්ටිය බිමින් තැබී ය. "අපි එදා, ඒ මුල්ම කාලේ උන්නා වගේ එකට කටයුතු කරන්න සිදු වෙනවා. මේ අභියෝගය දැනට ඉතාම සුළු දෙයක් වුණා ට, අපේ රටවල සිදුකෙරෙන මේ රහස් ගවේෂණය ගැන හැකි තරම් තොරතුරු අපි රැස් කරන්නත්, ඒ තොරතුරු හුවමාරු කරගන්නත් පටන් ගත යුතුයි."
"ඒක තමයි..." ඉන්ද්‍ර කීවේ ය. "අග්නි ගියෙත් ඒ වගේ කටයුත්තකට. මේ රටට ආව නෝඩික් ජාතිකයන් තුන් දෙනාගෙන් නායකයා එක්ක යම් කිසි රාජකාරියක් කරන අතර, ඔහු ගැන හැකි තරම් තොරතුරු දැනගැනීමට යි. ඈ ගියේ."
"කවුද ඔවුන්ගේ නායකයා?"
"ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්. අද්මිරාල් කෙනෙක්, ඒ වගේම රණ ශූරයෙක්..."
"ඇත්තද? මම අර කලින් කිව්ව තන්ජෝරයේ හිටපු පාලකයා, දැන් අර පාමීර් කඳුකර ප්‍රදේශයේ ගවේෂණ කරන්නේ... ඔහුගේ නම එස්කිල්ඩ් ඇන්ඩර්සන්"
* * *
අන්ධකාරය ගනකම ඇති කළුවන් පොරවණයක් සේ හාත්පස වෙළාගෙන තිබුණේ ය. එලිමහනේ ගැවසි කණාමැදිරියන් ටිකෙන් ටික ඉහළට ඇදී ගොස් පුළුල් අහසේ පැතිර තිබූ තරු සමඟ එක් වන්නා සේ ඇඩම් ට දැනුණි. පිළිස්සූූ දඩමසින් සහ සෝම පානයෙන් ඔහුුුුගේ කුස පිරී තිබූණි. දහවල වික්‍රමාන්විත ක්‍රියාවලින් ලද තෘප්තියෙන් ද, වනචාරින්ගේ ගායනා සහ නැටුම්වලින් ද, හාත්පස පැතිරි සාමදානයෙන් ද ඔහුගේ සිත තෘප්තිමත්විය.
ඝන වනාන්තරය මැද රියන් සීයක පමණ වටා ප්‍රමාණය එළි පෙහෙලි වි තිබුණේ, පැතිර තිබූ ගල් තළාව හේතුවෙනි. පසුපස ගල් කන්දෙහි, කාලය සහ සැඩ සුළඟ විසින් සාරා සකස් කර තිබූ දැවැන්ත ගල් ලෙණක් විය. එහි සිට පහතට බෑවුම් වී ආ ගල් තලයේ අනෙක් කෙළවර ගිණි මැළයක් දැල්වෙමින් පැවතිණ. ඉන් ගිණිපුපුරු ඉහළට නැඟෙමින් අඳුරේ ඉගිළෙන කණාමැදිරින් සමඟ මුසුවිය.
ගිණිමැළය අසළ ගලක් මත වාඩි වී සිටි කුරුම්බර, සිය උදරය දෙපසට තාලයකට දෑතින් තට්ටු කරමින් ඇද පැද ගීයක් ගායනා කරමින් සිටියේ ය. ඒ ගීයේ පද, ඉතා පුරාණ භාෂාවකින් සැදුණකි. සිංහලේ පූර්වජ භාෂාවක් වූ එහි වක්‍රොක්ති බහුල වූ බැවින්, එම ගීයෙන් කියවෙන කතාව තේරුම් ගැනීමට උත්සාහ කිරීම නාවිකයා අත්හැර දැම්මේ ය. ගීයට අත්වැල් ඇල්ලූ අනෙක් මිනිසුන් තිදෙනා, ගිණිමැළය වටා තාලයකට පාද බිම ගසමින් නැටූ හ.
ඇඩම්, සිටියේ ගිණිමැළයට මඳක් ඈතිනි. ගල් තලාව මත ඇළවි, සිය වැළමිටි දෙක බිම ගසා පිට කොන්දෙන් අඩ වශයෙන් එසවී ගෙන සිටි ඔහුගේ දණහිස් මඳක් නැවී තිබිණ. ඔහු ගිණිමැළය වටා පැවති ආදිකාල්පික දර්ශනය රසවින්දේ ය. තම ලේ නහර දිගේ මොළයට ගමන් කරමින් තිබූ සෝම පානය ඒ රසවින්දනයට උපකාරී වූ බව ඔහුට දැනෙමින් පැවතිණ.
යුරෝපීයයා, හිස හරවා තමාගේ වම්පසින්, මඳක් ඈතින් ගල් තලාව මත වැතිර සිටි දුර්ගා දෙස බැලී ය.
ඈ උඩුකුරුව වැතිරී, සිය දෑත් මත හිස තබාගෙන ඉහළ අහස දෙස නෙත් යොමාගෙන සිටියා ය. "මොකද හිතන්නෙ ඩ්‍රේක්?" ඈ අහස දෙස බලාගත් වනම ඇසුවාය. "අපි මේ මොහොතේ විඳින මේ සාමදානය, කන්ද උඩරට දී හරි, යුරෝපයේ දී හරි ඔයාට විඳින්නට ලබිලා තියෙනවද?"
"මාත් කල්පනා කළේ ඒක තමයි..." ඩ්‍රේක් එකඟ විය. "ඊටත් වඩා මම කල්පනා කළේ මොකද්ද දන්නවද?"
"මොකද්ද?" ඈ නෙත් කොණින් ඔහු දෙස බලද්දී. ඇගේ දෙතොළ සමච්ඡලයට මෙන් වක් වෙනු ඔහු ගිණි මැළයේ එළියෙන් දුටුවේ ය.
"දිය යට කෙනෙකුට සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙකක් හෝ තුනක්. ඒත් ඔයා ඊට වඩා කාලයක් හිටියා. ඊටත් වඩා, මගෙ හුස්ම හිර වෙන්න එද්දි ඔයා මට හුස්ම පිරෙව්වා..."
ඇගේ සිහින් මුණු මුණු සිනහවෙන් ඇඩම් ගේ කතාව මඳකට නැවතිණ. ඈ සිනාසෙද්දී, ඇගේ ළය ගැහෙමින් උස් පහත් වන ආකාරය අඩ අඳුරේ ඔහුගේ නෙතට චමත්කාරී දසුනක් විය.
"ඔයාම නේද මට කිව්වෙ, අර ඊශ්වර දෙවියන් බේරාගත්තතා වගේ ඔයාවත් තාරා දෙවඟන බේරාගනියි කියලා..." ඇගේ සරදම්කාරී සුරතල් හඬ...
දුර්ගා, නැවියා දෙසට හෙවත් දකුණැලයට හැරී, සිය සුරත, වැළමිටෙන් නවා එහි අත්ල මත හිස රඳවා ගත්තා ය.
"කතන්දරවල තියෙන හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත නෙවෙයි ඩ්‍රේක්. ඒත් මට ඉතාම සුළු දේවලින් ජිවිතය පවත්වාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා."
මිනිත්තු කිහිපයක් තිස්සේ ඇගේ මුහුණ දෙස ඇඩම් බලා සිටියේ ය. ඇගේ සුපුරුදු සරදම්කාරී විලාසය එවේලේ දකින්නට නොවී ය.
"ඒ්ත, මට කියන්න," දුර්ගා නිහැඬියාව බින්දා ය. " ඔයා මොකද අර වගේ අනතුරුදායක දෙයක් කළේ?"
"ඇත්තටම ඔයා නොහිටින්න මම මැරෙන්න තිබුණා තමයි." ඩ්‍රේක් කීය. "ඒත් ඇත්තටම, මගෙ තත්ත්වයට ඔයා පත් වෙලා හිටියනම්, ඔයාට තේරේවි.
"හිතන්න, ඔයාට තුවාල වෙනව. වේදනාව දැනෙනව. ඒත් ඉක්මණටම සුවපත් වෙනව. මාරාන්තික තුවාලයක් වුණහම මැරෙන්න තරම් වේදනාව ඇති වෙනව. එහෙම වුණහම මැරෙන එක සැනසිමක්. ඒත් ඔයා ආපහු තරමක වෙලාවක් ගිහින් සුවපත් වෙනව. අවුරුදු හාරසීයක් තිස්සෙ නිරන්තරයෙන් ඔහොම වෙනව කියන්නෙ, තනිකර වේදනාවෙන් පිරුණු ජීවිතයක්...
"ඒක කායික වේදනා ගැන. අනික් අතට හිතන්න ඔයා කාට හරි ආදරය කරනව. තමන්ගෙ ජීවිතය කැපකරන්න තරම් ආදරය කරනව. ඒත් එයා අන්තිමේ මිය යනව. ඔයා ට මැරෙන්න හිතෙනව. ඒත් මැරෙන්නෙ නෑ...
"ඉතින් ඒ විදිහට දිගට ජීවත් වෙන්න සිද්ධ වුණහම..."
දුර්ගා සිය වමත දිගු කර ඇඩම් ගේ සුරත අල්ලා ගත්තා ය. ඇගේ අත්ලේ සහ සිහින් ඇඟිළිවල සුමුදු බව සහ උණුසම ඔහුගේ අත්ලෙහි ගොරෝසු සමට දැනිණ.
"මට තේරෙනව." මොහොතකට පසු ඈ සිහින් හඬින් කීවා ය. "සම්පූර්ණයෙන් ම නොවුනත්, මට ඒ හැඟීම තේරෙනව... ඉතින් ඔයා මොකද කරන්න හිතන්නෙ? මට උදව් කරන්න පුළුවන් දෙයක් ඇති...?"
සිතේ ඇතිි දෙය ඈ හා කීමට තමන් පැකිළෙන්නේ ඇයි දැයි යුරෝපියයාට තේරුම් ගත නොහැකි විය. කීප මොහොතක් උත්සාහ කර සිතෙහි පෙළ ගස්වා ගත් වචන, අවසානයේ ඔහු මුවින් පිට කරගත්තේ ය.
"ඔයා වතුර යට දි දැක්කම... මම කිව්වෙ, අර කලින් කියපු දේ. ඒ කියන්නෙ... ඔයා හුස්ම අල්ලගෙන ගොඩක් වෙලා හිටපු එක, ඒ වගේම මට හුස්ම දුන්න එක...
"ඒක දැක්කම මට හිතුණා, ඔයා මට වඩා සම්පූර්ණයි කියලා..."
"මට තේරෙනවා ඔයා අහන දේ ඇඩම්..." දුර්ගා මෘදුව තෙපළා ය. "මේ අනික් අය වගේ නෙවෙයි මම... ඔයා දැකල තියෙන හැම දේකටම වඩා මම වෙනස්. ඒ මම හැදිලා තියෙන හැටි. මට සෑහෙන කාලයක් තිස්සෙ ඔයාට ඔය තියෙන ගැටළුව වගේ දෙයක් තිබුණා.
"නියම ම ප්රශ්නය තමයි... අපි මොන හේතුවකට ද, මෙහෙම හැදිලා තියෙන්නෙ කියන එක. මට ඒක තේරුම්ගන්න සෑහෙන කාලයක් ගතවුණා. ඒ වෙනතුරු මාත් ඔයා වගේම අවිනිශ්චිත... දෙගිඩියාවක පාවෙමින් හිටියෙ...
"පස්සෙ මට මේ හැම දේකම හැබෑ තේරුමක් නැති බවත්, අපි තේරුමක්, අරමුණක් ඇති කරගන්න උවමනා බවත්, තේරුම් ගියා. ඇත්තටම වුණේ, මට ඒක තේරුම් ගන්න උදව් කළා එක තැනැත්තෙක්. එයා අමරණීය කෙනෙක් නෙවෙයි. එයා සියල්ල අතහැරලා, කිසිම දෙයක් ගැන අරමුණක් නැතිව අවසානයෙ මරණයට මුහුණ දුන්නා. නමුත් මට එයා අරමුණක් දුන්නා.
"තේරුම් ගන්න තියෙන්නෙ ඩ්‍රේක්..." ඈ සිය සිහින් ඇඟිලි වලින් ඔහුගේ ඇඟිළි මිරිකා ගත්තී ය. "...යම් කිසි වෙනස් දෙයක් අපට ලැබෙන්නෙ, අනික් කාටවත් නොලැබී අපට ලැබෙන්නෙ, මේ ලෝකය වෙනුවෙන් යමක් ඉටු කරන්න... ඔයා හිතන්න - ඔයා දන්න දේවල් අනුව ඔයා හිතන්න ඒ මොකද්ද කියලා..."
ආදිකාල්පික වටපිටාව හා සෝම පානය ඔහුගේ සිතුවිලි ලිහිල් ස්වභාවයකට පත් කර තිබුණි. ඔහු අසළ ගල් තළාව මත වැතිර සිටි සුන්දර තරුණිය සිය මිත්‍රත්වය පිරිනමා තිබුණි... සිය සිතෙහි මෙතෙක් කල් තෙරපෙමින් තිබූ මහා ගැටළුව ට පිළිතුරු ඇගෙන් අපේක්ෂා කළ හැකි බව ඩ්‍රේක් හට වැටහුණි...