Wednesday, November 4, 2020

මරණය ලුසී සහ ඔසිමැන්ඩියස් ගැන...

කෙනෙක් මැරෙනව කියන එක ශිෂ්ඨාචාරය පුරාවට මනුෂ්‍යයන්ගෙ කුතුහලයට සහ බයට හේතුවුණු කාරණයක්. පුද්ගලයෙක් කියන්නෙ ආකල්ප, මතවාද සහ යම් යම් දේ ගැන දරණ ස්ථාවරයන්, මතකයන් සහ දැනුම සහිත තැනැත්තෙක්. ජීවිත කාලය පුරා රැස්කරපු දැනුම, අත්දැකීම් මහා සම්භාරයක්. ඒත් එක්තරා අවස්ථාවකදි එයා මැරෙනව. ඒ මරණයත් එක්ක, එයා දරපු මතවාද, ආකල්ප, මතකයන් ආදී සියල්ලේ පැවැත්ම අහෝසි වෙනව. නිකම්ම නිකං හිස් ප්‍රෝටීන් සහ කාබන් පමණක් අඩංගු, ඉතාම ඉක්මණින් නරක්වෙලා යන්න පටන් ගන්නා දේහයක් බවට පත් වෙනව. කිසිම වැඩක් ප්‍රයෝජනයක් නැති, අඩුගානෙ මේ අපේ තාත්තා, අම්මා, සහෝදරයා කියමින් ගෙදර තියාගන්න බැරි, තියාගත්තොත් කාටවත් ඒ ගෙදර  ඉන්න බැරි බරක් බවට පත් වෙනව.

එතකොට එයා දරපු ආකල්ප, මතවාද, ස්ථාවරයන්, ඇලීම් සහ මතකයන් ට මොකද වෙන්නෙ? ඒ දේ අපි තම තමන්ටත් කවදා හරි සිදුවෙන්න නියමිතයි. එතකොට අපි මෙතෙක් ආදරයෙන් රැස්කරපු දැනුම, අත්දැකීම් සහ වෙනත් භෞතික සහ ආධ්‍යාත්මික දේවලට මොකද වෙන්නෙ? පුද්ගලයෙක් විදිහට අවුරුදු ගණනාවක් සමාජයේ සාමාජිකයෙක් වෙලා හිටපු සංකල්ප ලෝකයට මොකද වෙන්නෙ?

ඒ පුද්ගලයා එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරපු උදවිය එයාගෙන් යම් රැකවරණයක්, ජීවිතයට සහායක් ලැබුවා. ඒ අය එයා මිය ගියාට පස්සෙත් එයාගෙන් ඒ දේවල් ලැබීම අපේක්ෂා කරනව. එහෙමත් නැත්නම් ඒ දේවල් නොලැබී යාවි කියන බයට පත් වෙනව. ඒ විදිහට මට පේන්නෙ ආදි කාල්පික සමාජයේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා, මියගිය මුතුන් මිත්තන්, බලවත් ආත්මයන් බවට පත් වෙලා දිගටම තමන්ගෙගෙන් පැවතෙන්නන්ට රැකවරණය සහ උපකාර කරනව කියලා. ලංකාවෙ ආදිවාසීන් අතර තියෙන නෑ යකුන් ඇදහීම වගේම, කතෝලික ප්‍රජාවෙ තියෙන සාන්තුවරයන් ඇදහීමත්, බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුනුත් මේ විශ්වාසය ට තියෙන සාක්ෂි.

ඒකෙම තවත් මුහුණුවරක් තමයි, මරණයත් එක්ක ම ඇති වෙන බය. තම තමනුත් මැරෙන බව සිහිපත් වීම. ඒ වගේම, ජීවත් වෙද්දි තමන් කුමන හෝ ආකාරයකට බය ගන්වපු මිනිස්සු මරණයෙන් පස්සෙ තමන්ට අහිතකර ආත්මයන් බවට පත්වෙන බව විශ්වාස කිරීම. හොල්මන්, අවතාර, ප්‍රේතාත්ම, රිටිගල ජයසේන මහසෝණා බවට පත් වෙන්නෙ ගෝ්‍ඨයිම්බර හෝ ඔහුගේ අනුගාමිකයන් බලවත් සතුරාගේ මළ ආත්මයට බය විම නිසා.

ආගම් බිහිවීමත් එක්ක ඔය විශ්වාසය මිනිසුන් සමාජයට අහිතකර පුද්ගලයන් බවට පත්වීමෙන් වළක්වාගන්න සියුම් ලෙස යොදාගැනෙනවා. ඒ ඒ සමාජයන් විශ්වාස කරපු හර පද්ධතින්ට දැඩි ලෙස අනුගත වී ජීවත් වුණුු පුද්ගලයන් මරණයෙන් පසු සුගතියක ඉපදී, මනුෂ්‍ය ලෝකයේ පැවති දුෂ්කරතා රහිත සැපවත් ජීවිතයක් ගත කරන බවත්, ඒ හර පද්ධතීන් උල්ලංඝනය කළ අය මරණයෙන් පසු ඊට දඬුවම් විඳින බවත් ආගම් හැම එකක ම දේශනා කෙරෙනවා. හින්දු, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආදී සෑම ආගමකම නිරය සහ ස්වර්ගය ගැන දේශනා කෙරෙනවා. බැතිමතුනුත්, තම තමන්ගේ චර්යාව අනුව ඒ දෙකෙන් වඩා හොඳ එකට යන්න හිතා ජීවිත කාලයක් කටයුතු කරනවා.

සමීපතමයෙකුගේ මරණය එක්කම, පුද්ගලයන් බියපත් වෙන තවත් සංකල්පයක් තමයි, ඒ මරණය තම තමන්ටත් එළඹීම. එතකොට තමන්ගෙ පැවැත්ම එක ක්ෂණයකින් අහෝසි වෙලා යනවා. එතකොට තමන් ගේ ආශාවන්, ඇලීම්, ආදරය කරපු පුද්ගලයන්, ගොඩනගාපු දේ, ඒ සියල්ලටම තමන්ගේ ඇති අල්ලා ගැනීම අත්හරින්න වෙනවා. ඊටත් වඩා, තමන් යැයි අදහාගත්තු පුද්ගලයා එතනින් එහාට පවතින්නේ නෑ.

ඒකත් එක්ක ඇතිවෙන විශ්වාසය තමයි මරණයෙන් මතු පැවැත්ම. මම නැවතත් උපදිනවා කියන එක විශ්වාස කිරීම ලේසියි, මම මෙයින් එහාට පවතින්නේ නෑ කියා දැනගැනීම ට වඩා. නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ඉපදීම, නෑ යකුන් හෝ දෙවියන් බවට පත්වී ඉතා දීර්ඝ කාලීන ජීවිතයක් ලැබීම, මනුෂ්‍ය ලෝකයේ පවතින දුෂ්කරතාවන් රහිත ස්වර්ගයකට එළඹීම වශයෙන් අප අපම සනසා ගනිමින්, කෙදිනක හෝ එළඹෙන මරණයේ බයෙන් තාවකාලික සැනසීමක් ලැබීම ශිෂ්ඨාචාරයක පැවැත්මට උවමනයි.

https://www.verywellmind.com/thmb/StV9BrVOFXRlmzLqIeNmqItjOiw=/
768x0/filters:no_upscale():max_bytes(150000):strip_icc():format(webp)/Preocupation-With-Death-56a09d095f9b58eba4b2110f.jpg

ඇත්තටම මරණයෙන් මතු පැවැත්මක් නැත්නම්, ශිෂ්ඨාචාරයක් පවතින්නේ නෑ. මනුෂ්‍යයන් තහවුරු වශයෙන්ම දන්නවානම්, තමන් මරණයෙන් පස්සෙ එතනින් ඉවරයි කියලා, ඔවුන්ගේ චර්යාව පාලනය කිරීම හෝ, තමා ඇසුරු කරන සමීපතමයන් කෙරෙහි දක්වන ඇල්ම යුතුකම් වගකීම් පද්ධතියේ පැවැත්මත් එතනින් ම ඉවරයි. කොටින්ම මිනිස් සමාජය කියා හර පද්ධතියක් නැති වෙනවා.

ඉතින් ඇත්තටම මනුෂ්‍යයා හෝ පුළුල්ව කියතොත්, සත්ත්ව ප්‍රජාව මරණයෙන් පසු නැවත පැවැත්මක් නැත්නම්, මේ ජීවිතයේ ඇති තේරුම මොකක්ද? මී ළඟ ප්‍රශ්නය ඒක. 

ජීවත් වීම කියන්නේ "ආහාර ගැනීම, පැවතීම, වර්ගයා පවත්වාගැනීම හෙවත් ප්‍රජනනය" කියලා සත්ත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් සිතා ගන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයාට ඊට එහා ගිය දෙයක් උවමනා කරනවා. ලුසී චිත්‍රපටයේ, එක තැනක කියනවා, ලුසී ලබාගත් අවබෝධයෙන් කළ හැකි හොඳ ම දේ "එය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරිම" කියලා. එතකොට ජීවිතයේ උත්තරීතර අරමුණ වෙන්නෙ ඒක ද?

අපි ජයගත් දේවල් අපට අනාගත පරපුරට දායාද කර දී මැරෙන්න පුළුවන් ද? පර්සි ෂෙලී ගේ ඔසිමැන්ඩියස් කවි පෙලේ මෙහෙම කියනවා. 

සංචාරකයෙක් වරක් දුටු දෙයක් ගැන කවියාට කියයි... දැවැන්ත ප්‍රතිමාවක ඉතිරි වී තිබුණේ ඉතාම දැවැන්ත දෙපයක් සහ එය දැරූ පාදස්තලයත්, ඒ ඉදිරිපිට බිම වැටී බාගෙට පසින් වැසුනු හිසක්... ඒ හිසේ දෙතොළ තමා ගේ උසස්කමින් මමත්වයෙන් රැළි වැටී ගොස්... 

ඒ පාදස්තලයේ කොටා තිබුණා, "මගේ නම ඔසිමැන්ඩියස්. රජුන්ගේ ත් රජ. මා කර ඇති වැඩ දෙස බලනු, තොපේ අපේක්ෂා හීන කරනු ඇත..."

ඒත්, ප්‍රතිමා පාදම අවට බැලූ බැලූ අත පැතිර තිබුණේ කාන්තාරය පමණයි.

අපි ඉතිරි කරන යන දේ වුණත් කාලයක් යද්දී මිනිසාගේ දැනුමේ දියුණුව විසින් වැඩකට නැති දේ බවට පත් කරනවා. නොඑසේ නම් අමතක වීම් හෝ ස්වාභාව ධර්මය විසින් ඒවා විනාශ කර දානවා.

මට හිතෙන්නෙ මේ ගැන ගැඹුරින් හිතද්දි පහුගිය පෝස්ට් එකේ පැතුම් හේරත් කියා තිබුණා වගේ. කිසි දෙයක් ගැන ඇලීමකින් තොරව පහන් දැල්ලක් නිවෙනවා වගේ නිවිලා යන්න හිත හදාගන්න උත්සාහ කිරීම තමයි කළ යුත්තේ කියලා. සමහර විට ඒකම වෙන්න ඇති බුදුන්ගේ දර්ශනයෙත්: ජීවිතයේ අවසානය වන නිර්වාණය ගැන කියා ඇත්තේ.

https://www.sciencealert.com/images/2020-08/processed/brain_death_def_candle_1024.jpg



"මරණය ගැන හිතට ආව දේ ලියපං..." කියා ආරාධනා කළ රංග වික්‍රමසිංහ සිහිපත් කරමි...

14 comments:

  1. හිටි ගමන්ම බණක් දෙසා
    වදාරන්නෙ මොකද අසා
    ඒ මදිවට තව විමසා
    ඉන්නෙ 'අරක' පමා නිසා!

    ReplyDelete
    Replies
    1. "අරක" සතියකින් එන්නේ
      ඊට කලින් බැරි වෙන්නේ
      බොරු ගොතන්ඩ කල් යන්නේ
      එතකල් බණ අහපන්නේ

      Delete
  2. හූම්...කියන්නද? වැටක් ගහන්නද? එහෙමත් නැත්නම් "කොකා" සංගමයේ ක්‍රමේට "හැක්.." කියන්නද?

    සෑහෙන හොඳ විග්‍රහයක්. ඒත් වැඩිදෙනෙක් මේ විග්‍රහයට අකමැති වෙන්න ඉඩතියනවා. බෞද්ධ දර්ශණයේ "අත්හැරීම" ගැන කොච්චර කිව්වත්, වැඩිදෙනෙක් කැමති නෑ, වෙනස් විදිහකට හිතන්න.

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. මට ඔ්නෙ වුනෙත් අර "ලුසී" එකේ කිව්ව වගේ, මගෙ ඔලුවට ආව දේවල් ටික අනික් අය වෙනුවෙන් ලියල තියන්ඩ. ඒ නැතුව මටත් කැමති නෑ අතාරින්ඩ...

      හූම් කියමු...

      හැක්!

      Delete
    2. ඇත්තමයි, ලුසී film එක මාවත් හොඳටම තෝන්තු කළා. මරු විද්‍යාත්මක, ඇක්ෂන් film එකක්!

      Delete
    3. ඔව්. ඇත්තටම... ඒකෙත් තියෙනවනෙ ඉතාම ඈත අතීතයට යාමක් එහෙමත්...

      Delete
  3. මේ පන්ඩිත කතා මගේ ඔලුව අවුල් කලා..

    අපි හැමෝම මරණය සිහි කරන්න ඕනා.. මල ගෙදරක මිනිය ඉදිරිපිට ඉඳන් වුණත් ඇත්තටම කරන්න ඕනා.. මේ මගේ කයත් මේ විදියටම ප්‍රාණය සිදිලා දර කොටයක්
    වගේ වෙලා දිරා යනවා කියලා මනසින් සිහිපත් කරන එක.
    හී හී නැතුව කැරම්.ගහන්න කාඩ් ගහන්න යන එක නෙවෙයිනේ. 😂😂
    ඒත් එහෙම හිතනකොට හරිම මූසලයි වගේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා...

      අපේ යාලුවෙක් ගෙ අම්ම නැති වුණේ අපි ඒ ලෙවල් කරද්දි. අපි ඒ කාලෙ හැම මළගෙදරකම වගේ යනව. ගිහිං කාඩ් ගහලා, කතන්දර කියලා, විවිධාකාර ආතල් අරං එනව.

      ඉතිං අර යාලුව අපෙං ඇහුව, "ඒ බං, උඹල මගෙ අම්මගෙ මළ ගෙදර ආවෙ ආතල් ගන්ඩද?" කියල

      Delete
  4. Finally I could come and read . That means problem in
    My browser . I read about that statue story . Very correct in a way .

    ReplyDelete
    Replies
    1. First of all, let me admire your urge to come and read my post. I felt that deep...

      Anyhow, I think you know that, though I quoted Shelly, there's another poet who wrote on "Ozymandias" simultaneously. Both of them meant the same thing...

      And, there was a Sinhala translation I could read in my childhood. It had a poem sounded like the following...

      රජුන් හට ද රජකම් කළ අසම සම
      ඔසිමැන්ඩියස් වෙමි මම ලොව පතළ නම
      සුරුකම් මගෙ බලව් තෙපි දුබලයෙනි හැම
      යන මේ වදන් විය අඩිතාළමෙහි එම

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි