Sunday, November 8, 2020

අවසානයක් නොවේ - දා හත් වන කොටස

"ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි..." මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය.

"හොඳා..." තරුණිය සිනාමුසුව කීවා ය. "තමුන්නාන්සෙ සතුටු වුණා නම් ඒ කියන්නෙ, මගෙ අදහස ඉටු වුණා. දැං ඉතින් ආපු කාරණාව කතා කරගෙන ඉඳිමු."

ඇඩම් හිස සලා එකඟත්වය පළ කළේ ය.

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දා සය වන කොටස

"පළමුවෙන්..." තරුණිය දිග කතාවක් පටන් ගන්නට යන බව පෙනුණේ ය. "...රහස් දූරයේ අලුත්ම සාමාජිකයා හැටියට තමුන්නාන්සෙ, මම බොහොම උවමනාවෙන් පිළිගන්නවා." ඇය දෑත් එකතු කර ආචාර කළා ය. ඇඩම් ද වීරාසනයෙන් හිඳිමින් ම, තමන්ට දැන් ඉතා හුරු පුරුදු වූ එම ආචාර ක්‍රමය අනුකරණය කළේ ය. 

"මේ රාජකාරියෙ දි මට කියන්නෙ දුර්ගා කියලා. අපට පැවරිලා තියෙන්නෙ පාත රටේ තෙත් වනාන්තරයක තියෙන ඉතාම උසස් මට්ටමේ කුරුඳු හැකි තරං නෙලාගෙන කන්ද උඩරටට ගෙනෙන්ට. ඒකට රහස් දූරයක්වත්, තමුන්නාන්සෙ වගේ රණ ශූරයෙක්වත් මොකටද කියලා හිතෙන්න පුළුවන්..."

ඇඩම් කතාවට බාධා කළේ අකමැත්තෙනි. "තමුන්නාන්සෙ කියලා කියනකොට මට හරිම දුරස් බවක් දැනෙනවා. මේ රටේ මිනිස්සු එකිනෙකා ට ගෞරව කරන හැටි මම දන්නවා. ඒත් ඔබට පුළුවන් ද වරුණ කතා කරනවා වගේ, මට ඩ්‍රේක් කියලා කතා කරන්න?"

තරුණිය හිස වම් පසට මඳක් ඇළ කොට එකඟත්වය පළ කළා ය.

"ඔබ කිය කියා හිටියෙ..." ඇඩම් ඇගේ කතාව ට නැවත ආරාධනා කළේ ය.

"ඔව්. ඇයි මේ රාජකාරියට රහස් දූරය යොදා ගන්නෙ කියන එක... කාරණා කීපයක් නිසා... උසස්ම කුරුඳු හැදෙන තැන් ගැන රහස් දූරයේ ඉන්න අපිවත් හරියට ම දන්නෙ නෑ. ඒක දන්නෙ කුරුඳු ළිහිණියො විතරයි. මේ වෙනකොට මේ දූපතේ උන් ඉන්නෙ බොහොම ටික දෙනයි. ලන්දේසි කුරුඳු ගැන දක්වන උනන්දුවත් එක්ක මේ කුරුල්ලො ඉක්මණටම වඳ වෙලා යන්න පුළුවන්. ඒ නිසා උන් නිදහසේ සැරි සරන වනාන්තර ප්‍රදේශ අපි බොහොම කැපවීමෙන් ආරක්ෂා කරනව. 

"හොඳින් වැඩුනු කුරුඳු ළිහිණියෙකුට පුළුවන් අශ්වයෙක් වුණත් ඩැහැගෙන යන්න. ඩ්‍රේක් දන්නවද කුරුඳු ළිහිණියො ගැන?" 

නාවිකයා මද සිනාවක් නඟමින් පිළිතුරු දුන්නේ ය. "ප්‍රංසුවා රබලේ ලියපු පොතකින් මට ඒ ගැන යමක් කියවන්න ලැබුණා. හෙරඩෝටස්, ඇරිස්ටෝටල් සහ ප්ලිනි ඒ ගැන ලියලා තියෙනවා. ප්ලිනි කියන විදිහට මම හිතාගෙන හිටියෙ අරාබි වෙළෙන්දන් තමන්ගෙ කුළුබඩුවල පාරට්ටුව වැඩි කරගන්න ගොතපු කතාවක් කියලා."

"මට තේරුම් ගන්න පුළුවන් ඩ්‍රේක් ගොඩක් කියවලා තියෙනව කියලා." දුර්ගා මඳ සිනාවක් පෑවා ය. 

තත්පර කිහිපයක් ඇය නිහඬව තමා දෙස බලා සිටියේ තමන්ට කතා කිරීමට ඉඩ සැළසීමට බව ඇඩම් තේරුම් ගත්තේ ය. 

"හොඳම කුරුඳු සැන්සිබාරයට ලැබෙන්නෙ ලංකාවෙන් බව මම දැනගෙන හිටියා. ඒත් කුරුඳු ළිහිණි ඉන්නව කියලා කියන්නෙ අරාබියෙ." ඔහු මාතෘකාව ගැන සිය උද්යෝගය නොසඟවා පළ කළේ ය. "මං එක එක වැල්වටාරම් කියලා ඔයාගෙ කතාව දික් ගස්සනවා..."

"නෑ. එහෙම දෙයක් නෑ. මේ ගැන ඔයා දන්නා ප්‍රමාණය මම තේරුම් ගත්තොත් අපි දෙන්නට මේ රාජකාරිය කරන්න ලේසි වෙයි."

"මං දන්නෙ බොහොම පොඩ්ඩයි. කුරුඳු ළිහිණි ඉතාම උස ගස්වල මුදුනේ, කුරුඳු ලී වලින් කූඩු හදනව. අරාබි කාරයො ඒවා ගන්න, හරක් වගේ සත්තු ලොකු කුට්ටිවලට කපලා ඒ ගස් අවට බිම විසුරුවනවා. ඒ ලොකු මස් කුට්ටි කුරුඳු ළිහිණි ඩැහැගෙන ගිහින් කූඩුවෙන් තියාගත්තම, මස් කුට්ටියෙ බරට කූඩුව කැඩිලා, කුරුඳු කෝටු බිම වැටෙනවා..."

දුර්ගා සිය සිනහව නවත්වාගන්නට අසාර්ථක වෑයමක් දැරුවා ය. දෑතින්ම මුව වසා ගත් ඇය බිමට නැඹුරු වූවා ය. ඇගේ දෙඋර වෙවුලන හැටි දුටු යුරෝපීයයා දුර්මුඛ විය.

මිනිත්තු කිහිපයක් තිස්සේ හුස්ම අල්ලාගන්නට තැත් කළ තරුණිය, අන්තිමේ හිස ඔසවා තමන් ඉදිරියේ සිටි මිනිසාගේ වික්ෂිප්ත මුහුණ දෙස බැලුවා ය. සිනාවෙන් ආලෝකමත් වූ ඇගේ මුහුණෙහි වූ සුරූපී බව හා දෑසේ තියුණු බව ඇඩම් දුටුවේ පළමු වතාවට ය. 

"ඔය විස්තර ඔක්කොම අමතක කරන්න වෙනව..." ඇය කියද්දී, සිනහවෙන් ඇදී ගිය රතුවන් දෙතොළතරින් සිහින් සුදුවන් සුන්දර දත් යන්තම් පෙනුනි. "පළවෙනිම දේ තමා, අපි හරක් මරන්නෙ නෑ. ඒ වගේම කුරුඳු වගේ වටිනා වෙළෙඳ බඩුවක් වෙනුවෙන්වත් මහා පරිමාණයෙන් සත්තු මරන්නෙ නෑ. අපේ නෑ නෙ වෙළෙඳ සංස්කෘතියක්... දෙවෙනි දේ තමා, කුරුඳු ළිහිණි මැරුණු සත්තුන්ගෙ මස් කන්නෙ නෑ. උන් කන්නෙ පණපිටින්..."

"ඉතින් ඔයතරම් හිනාවෙන්නෙ මොනවටද?"

"හිනාවෙන්නෙ... ඔය කතා ලියපු උදවිය කුරුඳු ළිහිණි කොයිතරම් මෝඩ සත්තු ද කියලා හිතපු එක ගැන. උන් කුරුළු ලෝකයෙ ඉන්න බුද්ධිමත් ම, ඒ වගේම සූක්ෂ්ම ඉවක් තියෙන සත්තු..."

"හරි. යුරෝපයෙ කතා කාරයො ඔය විස්තර අහගන්නෙ වෙළෙන්දන්ගෙන් නෙ. ඒවා වරදින්න පුළුවන්. ලියනකොට අතිනුත් දාල තමයි ලියන්නෙ. එතකොට ඇත්තටම කොහොමද, කුරුඳු ළිහිණින්ගෙන් කුරුඳු පැහැර ගන්නෙ?"

"පණ ඇති ඇමක් දෙනවා..." ඇගේ මුහුණට නැවතත් බැරෑරුම් බව ආරෝපණය විය. "දැන් අපි ගමන පිටත් වෙමු. මම සැළැස්මෙ විස්තර පස්සෙ කියන්නම්. ඔයා ඒක ඔයාගෙ අත්දැකීමුත් එක්ක දියුණු කරන්න."

දුර්ගා තමන් ඉදිරිපිට වූ පොල්තෙල් පහන සුරතට ගෙන නැගිට්ටා ය. ඈ අනුව නැගී සිටි යුරෝපීයයා, ආපසු හැරී දොරකඩට ගියේ තම පාවහන් ගැනීමට ය. තරුණිය ද ආපසු හැරී දේවාලයේ අඳුරු ඇතුල් ගැබ දෙසට යන ගමන් ඇඩම් දෙස බලා, හිස සළා, තමන් අනුව එන ලෙස සංඥා කළා ය. ඔහු පාවහන් අතට ගෙන ඈ පසුපස ගොස් දේවාලයේ ඇතුල් ගැබ ට වැදුණේ ය. එහි වූ දිරාපත් වෙමින් පැවති තිරය ට ඔබ්බෙන්, ජීවමාන ප්‍රමාණයේ වූ කාන්තා පිළිරුවක් විය. එහි හිසේ වූ කිරුළ, ඇඳ පෙරව සිටි රතුපැහැ සාරිය, ඔසවාගෙන සිටි දකුණතෙහි වූ සළඹ හා වමතෙහි වූ කොළ සහිත රිකිල්ල නාවුකයා දැකගත්තේ දුර්ගා ගේ අතෙහි වූ පොල්තෙල් පහනෙහි මඳ ආලෝකයෙනි. දේව පිළිමයේ පසුපස වූ බිත්තියේ ගින්නෙන් වෙළී ගිය නගරයක් සිතුවම් කර තිබුණි. එහි දුර්වර්ණ වෙමින් පැවති සායම සහිත කපරාරුව තැනින් තැන හාණි වී ඇති බව පෙනුණි. 

පොල්තෙල් පහන දේව ප්‍රතිමාවේ පාමුළ වූ පුදසුන මතින් තැබූ දුර්ගා, පිළිමයේ දකුණු පසින් ගොස් එහි පිටුපස ට ආවා ය. ඈ අනුව ගිය ඩ්‍රේක් දුටුවේ පිළිමය පිටුපස වූ ඉතා පටු දොරකි. එය වැසී තිබුණේ බිත්තියේ වූ සිතුවමේ ම අනුරූපී කොටස ඇඳ තිබූ රෙදි තිරයකිනි. එය අතින් මෑත් කරමින් තරුණිය දොරෙන් ඇතුල් වූවා ය. යුරෝපීයයා ද ඈ අනුව ගියේ ය. 

දොරෙන් ඔබ්බෙහි වූයේ අඳුරෙන් වැසුනු පටු කොරිඩෝවකි. එහි වන් සැණින් නාවිකයාගේ සියුම් ඉඳුරන්ට තෙත් බර වාතස්කන්ධයෙහි වූ පාංශුමය සුවඳ දැනුණේ ය. තත්පර දෙක තුනකින් ම එහි වූ අඳුරට ඇඩම් ගේ දෑස හුරු විය. තමන් ගමන් කරමින් සිටියේ කබොක් ගලින් උසැති බිත්ති සහ ගෝළාකාර වහළ සැදුණු උමගක බව ඔහු දුටුවේ ය. තරුණිය ද නොනැවතී ඉදිරියට ගියේ, ඔහු තමා පසුපසින් එන්නේ දැ'යි විටින් විට හැරී බලමිනි. ඒ උමග වංකගිරියක් සේ අතු බෙදෙමින් ගොස් තිබුණුු හෙයින්, මඟ නොවරදින සේ සිය මාර්ගෝපදේශිකාව අසළින්ම ගමන් කිරීමට ඇඩම් ප්‍රවේසම් විය.

මිනිත්තු කිහිපයක ගමනකින් පසුව ඔවුන් ඉදිරියෙහි වූ තවත් තිරයක් මෑත් කරගෙන තරුණිය මඳ අඳුරු කුටියකට ඇතුල් වූවා ය. එහි ද කාන්තා පිළිරුවක් වූ බව ඇඩම් දුටුවේ ය. වැතිරී සිටි පුරුෂයෙකු ගේ සිරුර මත සිටගෙන සිටි දේවතාවියගේ දෙපසින් අත් හතරක් අඹා තිබුණි. ඒ අත්වල වූයේ කඩුවක්, කතුරක්, නිල් නෙළුමක් සහ ලේ බඳුනකි. ඇගේ ගෙළ වටා වූ හිස් කබල් මාලයත්,රත් පැහැ ඇසුත් මවා පෑවේ බිහිසුණු ස්වරූපයකි. එහෙත් සියවස් කිහිපයක් තිස්සේ ගත කළ රළු ජිවිතය නිසා දෝ, නාවිකයාගේ ස්නායු එයින් සසළ වූ බවක් නොපෙනිණ.

 https://qph.fs.quoracdn.net/main-qimg-9d8ee2e8c7e5a82c83a56abe9ada1763

ඒ කුටියේ ඉදිරිපස තිරය පසු කළ මඟියෝ දෙදෙනා ආවේ තවත් දේවාලයක අන්තරාලයකට ය. එය සම පරතර සහිතව ලී කණු සිටුවා වහළය ගැසූ විවෘත ආළින්දයක් විය. වටේ හෙවුණු ගස් වැල් වලින් ද, අතරක් නොමැතිව නැඟුනු රැහැයියන්ගේ හඬින් ද දැනවූයේ ගුප්ත - පාළු හැඟීමකි.

"මෙතනදි අපට උදව්වට තවත් කීප දෙනෙක් එකතු කරගන්නවා." දුර්ගා කීවා ය. "ඇමක් දීලා, කුරුඳු ළිහිණියා ගේ අවධානය වෙන පැත්තකට හරවන අතරේ කුරුඳු එකතු කරගන්න ඒ අය අපට උවමනා වෙනවා. මේ අය මට කියන්නෙ 'තාරා' කියලා. ඒක ගණන් ගන්න එපා."

සිය උඩුකය දකුණු ඇළයට ඉදිරියට මඳක් නැවූ ඇඩම්, දකුණත දිගු කර මඳ සිනහවකින් යුතුව ඇය දෙස බැලුවේ ය. "ඔයා කියන දෙයක් තමයි ඉතින්..."

ඔහු වෙත ඇස් කොණින් බැලූ තරුණිය මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව අත ඔසවා, අන්තරාලයේ බාල්කයක එල්ලා තිබූ සීනුව හතර වරක් නාද කළා ය. 

ගත වූයේ තප්පර කිහිපයකි. අවට හෙවුණු ඝන වනය මැදින් පුෂ්ටිමත් පුරුෂයන් හතර දෙනක් දුවගෙන ආවෝ ය. ඉණෙන් පහතට දිවි සම් ඇඳ සිටි ඔවුන් ගේ අත්වල දුනු හී ද, උරහිසෙහි අත් පොරව බැගින් ද විය.


ඉතිරි කොටස...

33 comments:

  1. රහස් දූරයේ වැඩ රාජකාරි අස්සේ "ලව් ඊස් ඉන් දි එයා" වගේ වගේ !!
    ඔය කියන කුරුඳු ලිහිණියෙකුත් අඩුම තරමින් බෙල් 212 ක් තරම් වත් වෙන්න ඕනෑ නේද??

    ReplyDelete
    Replies
    1. love is in the air කියලා දැනුන නම්, දුර්ගා ගෙ අදහස ඉෂ්ට වෙයි කියල හිතෙනව...

      මං හිතන්නෙ, හරකෙක්ගෙ කොටසක් උස්සගෙන යනව නං, කුරුදු පොලු වලින් කූඩුවක් හදනව නම්, කුරුඳු ළිහිණියෙක් සෑහෙන තරම් ලොකු ඇති. ඇත්කඳ ළිහිණියෙකුත් සෑහෙන ලොකුයි නෙව...

      Delete
  2. පත්තිකි දේවාලයෙන් ගිහිල්ලා කාලි දේවාලයෙන් මතුවිම පෙන්නුවේ ගැහැනියකගේ චරිත ස්භාවයද?
    චිත්තාකර්ෂණීය ලෙසින් ලියලා තියෙනවා. කතාව ගලා යන්නේ කොහේටද වෙනින් පාරකද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවයට පිංසිද්ධ වෙන්න, මට රට හැම තැනම හිංදු මිතුරන් ඉන්නවා. ඒ එක මිත්‍රයෙක් දවසක් මාත් එක්ක ඔය ගැන කතා කළා. එයා කියනව මෙහෙම:

      "ශිව ගේ භාර්යාව සති. 'කාලි' සහ 'අන්නා පූර්ණ' කියන්නෙත් එයාගෙම ස්වරූප දෙකක්. ඉතින් ඔය ස්වරූප දෙකම මනුෂ්‍ය කාන්තාවන්ගෙ තියෙනව. එකම කාන්තාව අම්මා විදිහට අන්නාපූර්ණ ස්වරූපය නිරූපණය කරන අතරෙම, තමන්ගෙ පවුල සහ ආදරණීයයන් වෙනුවෙන්, එහෙම නැත්නම් ඒ සම්බන්ධව තමන් දරණ මතය හෝ සැළකිල්ල වෙනුවෙන් කාලි ගෙ චරිතය රඟපානවා.

      ඒ කියන්නෙ, පුරාණ මනුෂ්‍යයන් දෙවියන් නිර්මාණය කරද්දි, මනුෂ්‍ය ස්වභාවය විවිධ දේව චරිත තුලින් නිරූපණය කරලා තියෙනව..."

      ඒ අතරෙ... ඔය දුර්ගා සහ ඇඩම් මතුවෙන්නෙ කාලි දේවාලයකින් නම් නෙවෙයි... තාරා දෙවඟනට කැපවුණු පුරාණ දේවාලයකින්

      Delete
  3. හොඳයි. පරිසරය වැනිල්ල බොහොම අපූරුයි.

    - බස්සා -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      කෙටියි... :(

      Delete
    2. ඇත්ත. හරි, එහෙනං මෙන්න ටිකා....ක් දිගට. මට කතාවක පරිසරය වැනිල්ල, තදින් බලපානව. කතාව කොච්චර හොඳ වුනත්, වැනිල්ල හරියට "වනලා" නැත්නම්, මට අවශය චිත්ත රූප සටහන මවා ගන්න අපහසු වෙනවා. ඒ වගේම, අර අර අහාරපාන ගැන විස්තරයත්(ආගන්තුක සත්කාරය), හරිම අපූරුයි. මට නං ඒකෙන් කතාවෙ රසය තවත් වැඩි වෙනවා. මේ ඇවසි/අනවැසි විස්තර සීරුමාරුවෙන් බේරාගෙන, පාඨකයා බැඳතබාගැනීම හොඳින් කෙරීගෙන යනවා. අවුලක් වෙච්ච වෙලාවට කියඥ්ඥං

      -බකුස් -

      Delete
    3. ගොඩක් ස්තූතියි බකුසුහාමි. ඇත්තටම මීට වඩා සැළකිල්ලෙං මට වනන්න තිබුණා මේක මුලිම්ම වෙන කොහෙ හරි ලියලා, මාස කීපයක් තිස්සෙ එඩිට් කළා නං. ඒ උනාට එහෙම කරන්න මට විවේක මනසක් නෑ. මේ ටික ලිව්වෙ ඊයෙ දවාලෙ පොඩි රාළ නිදා ගත්ත වෙලාවෙයි, රෑ එකොළහේ ඉඳං එක හමාර විතර වෙනකලුයි. එක හුස්මට. ඇත්තටම බකුස් වගේ රසවතෙකුට ඒකෙ අවුලක් පේන් නැත්තං, ඒ කියන්නෙ මට ඒ ටික හොඳටම ඇති.

      Delete
  4. නන්නත්තාර කරවයි කියවන අයව
    දැනුවත් කරයි ඒ අතරේ මදි නැතිව
    අද චුට්ටනෙ කියමි ඩ්රැකියෝ බය නැතිව
    හනිකට ගොඩක් ලියහං නිවනක් නැතිව!

    ReplyDelete
    Replies
    1. රාවණ ගැනත් ලීමට දේවල් තියෙනා
      ඔය ටික ලියාගන්ඩත් දවසක් ගෙවුනා
      මීළඟ කොටස හෙට ඉඳලම අරඹන්නා
      ශනිදා වෙද්දි ඊළඟ ටික පළ වෙන්නා

      Delete
  5. Replies
    1. තරු පහක් දෙන්න බෑ නේද? :(

      Delete
    2. ආාාං ඒකනෙ. මේක තරු පහේ කමෙන්ට් එකක්.

      Delete
  6. ඔය තියෙන්නේ නියමෙට. කුරුඳු ලිහිණි කියලා සත්තු ගැන මම මීට කලින් අහල තිබුනේ නැහැ . අර නිදී කිව්වා වගේ අපිට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා මේකේ. එල

    ReplyDelete
    Replies
    1. https://en.m.wikipedia.org/wiki/Cinnamon_bird

      Delete
    2. පැත්තා,

      ඔය තියෙන්නෙ ප්‍රා ජේ දාල තොරතුරු ප්‍රභවය... මාත් දැනගත්තෙ ඔතනිං. කලිං දවසක, ඇඩමට පණිවිඩයක් එවන්න මිතිකල් කුරුල්ලෙක් හොයද්දි අහම්බෙන් තමා සිනමොලොගස් ගැන දැනගත්තෙ...

      ප්‍රා,

      ගොඩක් ස්තූතියි මා ප්‍රිය ඇවිදින විශ්වකෝෂයාණනි...

      Delete
  7. https://en.m.wikipedia.org/wiki/Roc_(mythology)

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/SanjulaSenevirathneOfficial/photos/a.368050390199813/866628063675374/?type=3&source=57&__tn__=EH-R

      Delete
  8. https://www.coursehero.com/file/p4ak19b/It-shows-how-smart-merchants-throw-large-chunks-of-meat-on-the-diamonds-in-the/

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු අයියෙ මට ඔය සිද්දිය කියවන්න ලැබුණා ඉතාම පොඩි අවදියෙ, පරණ ඉස්කෝල පොතකිං. ඒකෙ තිබුණා "සිංබාත" කියල නැවියෙක් ලොකු දියමන්ති පොදියක් හදාගෙන, තඩී මස් කුට්ටියකට තියල තමංවම ගැට ගහගන්න කතාවක්. ටිකකිං දැවැන්ත කුරුුල්ලෙක් ඇවිත් අර මස් කුට්ටිය අරං අහසින් යනව, වෙරළෙ ඉන්න මිනිස්සු කෑ කෝ ගහල, කලබල කරල, අර කුරුල්ලා ඒ මස් කුට්ටිය අතාරිනව...

      Delete
  9. මම ඔය සින්බෑඩ් කතාව නම් දනනවා. ඒත් කුරුඳු ලිහිණියා කතාව අහල නැහැ. තාරා දෙව්දුවත් සම්බන්ධ කර ගත්තා නේද කොහොම හරි. ප්‍රතිමාවක් තියනවා (ලංකාවෙන් අරන්ගිය) බ්‍රිටිෂ් මියුසියම් එකේ. එළ

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු අයියෙ. මාත් මුලිම්ම තාරා දෙවඟන ගැන දැනගත්තෙ ඔය දැවැන්ත ලෝකඩ පිළිමෙන් තමා. ඒකට මියුසියම් එක දීලා තියෙන වැදගත්කම දැක්කම, ඒක ආපහු ලංකාවට නොදෙන තරමට මම කැමතියි. මොකද, මනුෂ්‍ය සංස්කෘතියෙන් සහ සභ්‍යත්වයෙන් ඉදිකෙරුණු කෘති සංරක්ෂණය කිරීම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම යුතුකම. ඒකට දේශ සීමා අදාළ නෑ.

      තාරා දෙවඟන, මව් දෙවඟනගේ ම දිගුවක් කියල හිතෙනවා. එයා මුල්කාලෙ නිරූපණය කරන්නෙ ගැබිණි කාන්තාවක් විදිහට. කිරි සයුර කළඹද්දි හම්බ වෙන හලා හල විෂයෙන් විශ්වය විනාශ වෙන්න නොදී ශිව ඒක බීලා, සිහිසුන් වුණාම එයා සනීප කරන්නෙ තාරා දෙවඟන එයාගෙ මව් කිරිවලින්. ඉතින් මාතෘත්වය, සුවපත් කිරීම ආදී කාන්තාවක් ගෙන් අපේක්ෂා කරන රැකවරණය ගැන සංකල්පය දේවත්වයට නැගීමේ වර්ධනීය අවස්ථාවක් තමයි තාරා...

      අන්තිමේදි කියන්න හිතුණේ. ඔය ඔක්කොම දෙවිවරු එකයි. මව් දෙවඟන, කිරි අම්මා, පත්තිනි, තාරා, කාලි, සති...

      සින්බෑඩ් ලංකාවටත් ආවනෙ පස්වෙනි හරි හයවෙනි හරි ගමනෙදි. ඒකත් මේකට සම්බන්ධ වෙයිද දන්නෑ...

      Delete
    2. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ත්වයන්ගෙ සහකාරිය වෙන්නෙත් තාරා දෙවඟන. බලන්නකො ඒකත් ගැළපෙන අපූරුව...

      Delete
  10. මේක දෙයියෙක් නෙමෙයි දේවාලයක්නෙ.
    මාත් හොයාගන්න ඕන කුරුඳු ලිහිණියෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ තරං ලොකු කුරුල්ලො දැන් කාලෙ නෑ. පොඩ්ඩක් බලහං කරාබුනැටි ළිහිණියෙක් හරි එනසාල් ළිහිණියෙක් හරි අල්ලගන්ඩ. ඔය පැත්ත හද්ද ඩොටේ නෙ, සමහර විට ඇති.

      Delete
  11. මේ කතාවෙ කොහෙට හරි னයෙකුත් දාහං. නැත්තං අගයක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. මහෙකළ නාගය තමයි මේකට අඩුවෙලා තියෙන්නෙ තව. වැඩේ තියෙන්නෙ ඒ කාලෙ හැටියට හුලුඅත්තකිං තමා ගහන්ඩ වෙන්නෙ...

      Delete
  12. //ඇමක් දීලා, කුරුඳු ළිහිණියා ගේ අවධානය වෙන පැත්තකට හරවන අතරේ//

    ඒකටනං னයෙක් මදි කියන එක කණගාටුවෙන් උනත් බොට කියන්න සිද්ධ වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකට ඔය නාටු නයි හරියන්නෑ තමා. කුරුල්ලගෙ හොට පිරෙන්ඩ, බඩ පිරෙන්ඩ දෙන්ඩ වෙන්නෙ තඩි වල් ඌරෙක්.

      Delete
  13. මම මේ බලං ඉන්නෙ කවදද අවසානය කියලා මුල ඉඳං කියවං එන්න... මහ ගෙදර (උන්ගෙ අප්පගෙ) හරි දෙවෙනි ඉනිම හරි වගේ දික් වෙනවනම් ඉතිං අතෑරලා දාන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. හනේ සෙන්නා බ්‍රදර්...

      මේක කවදා ඉවර වෙයිද කියලා මම දන්නෑ. ඒ්ත් මේ යන වේගෙ හැටියට ජනවාරි වෙන්න කලිං, රහස් දූරයට කෙළවෙලා, ඒ්ක ආපහු සෙට් වෙලා, මැරිච්ච මිනිහට පණදීලා, ඇඩම ඒක්ක අන්තිම පයිට් එකත් ගිහිල්ලා තියෙන්න පුලුවං.

      දැං උඹ දන්නවනෙ අන්තිමේ වෙන දේවල්. දිගටම කියවහං මට කරන උදව්වක් විදිහට...

      Delete
    2. බලමුකො එහෙනම් උදව්වක් විදිහට කියවලා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි