Thursday, December 24, 2020

නත්තල් සැමරුමේ පේගන් මුල්

ජේසුතුමන් ඉපදුනා යැයි සැළකෙන කාලයට බොහෝම කාලයකට පෙර ඉඳන් ම දෙසැම්බර් මාසයේ අග උත්සවයක් පැවැත්වීම නෝර්ඩික් සහ පේගන් සංස්කෘතියේ පැවතුණු බව පේනවා. උතුරු යුරෝපයේ ශීත සෘතුව ඉතාම කටුකයි, ශීතාධිකයි, ඒ වගේම දවල් දවස බොහොම කෙටියි. ඒ ලක්ෂණ අනික් පිට හැරෙන්න පටන් ගන්නෙ වර්තමාන කැළැන්ඩරයේ දෙසැම්බර් මාසෙ අග සතිය වෙනකොටයි. ශීතල අඩුවෙන්නත්, දවල් දවස දිගු වෙන්නත් පටන් ගන්නේ ඒ දවස් වන කොට. 

ශීත සෘතුවේ ගෙවල්වවලට කොටුවෙලා ගත කරන කටුක කාල සීමාව ප්‍රීතියෙන් ගත කරන්න නෝර්ඩික් මිනිස්සු පුරුදු වෙලා හිටියා. තාත්තලා සහ පුත්තු දැවැන්ත ලී කොට ගෙදරට ගෙනැවිත් මහ ගිණි මැළයක් ගහනවා. ඒ ගිණි මැළය නිවෙන තුරු (සාමාන්‍යයෙන් දවස් දොළහක් විතර යනව...) ඔවුන් කමින් බොමින් විනෝද වෙනවා. ඒ මහා කොට දැවෙමින් නඟින ගිණි පුපුරුවල ගාණටම, මීළඟ වසන්තයේ දී තමන්ගේ සත්ත්ව කොටුවල ඌරන් සහ වෙනත් සතුන් පැටවු ගහනු ඇති බව ඔවුන් විශ්වාස කළා. 

යුරෝපයේ බොහොම පැතිවල දෙසැම්බර් අග උත්සව පවත්වන කාලයක් වුණා. ඒ කාලෙ පවතින ශිත දේශගුණයත් එක්ක, හරකුන්ට කෑම සපයන්න තියෙන අසීරුව නිසා අලුත් හරක් මස් කෑමට හැකිවුණු, අවුරුද්දේ එකම කාලයත් මේ ශීත කාලය ම වුණා. අනික් අතට, අවුරුද්ද පුරා පෙරපු බියර් සහ වයින් බොහොමයක් පානය ට සුදුසු මට්ටමට පදම් වුනේ ශීත කාලයෙදි...

ඒ වගේම කොළපාටට ඉතුරු වුණු එකම ගස් වර්ගය වුණු සයිප්‍රස් ගහ, ශීත කාලය ගෙවිලා ගිහිං ආපහු ආලෝකය සහ ජීවය උදාවෙන බව ට තිබුණු සංකේතයක් වුණා. ඒ ගස් වල රතු ඇපල් ගෙඩි සහ ඉටිපන්දම් එල්ලලා සැරසීමෙන් වෝඩන් ‌හෙවත් ඕඩින් සමරන්න පර්මානු ගෝත්‍රවල මිනිස්සු පුරුදු වෙලා හිටියා..

ජර්මනියේ මිනිස්සු ඇදහූ වෝඩන් හෙවත් ඕඩින් (නෝර්ඩික් ඇස්ගාඩ් නායක දෙවියන් ගෙම පේගන් මුහුණත කියමුකො) ගැන සිහිපත් කරන කාලයකුත් වුණා මේ ශීත සෘතුව. ශීත සෘතුවේ දී ඕඩින් අහසින් ගමන් කරමින් මිනිස්සුන්ව නිරීක්ෂණය කළ බවත්, ඒ මිනිස්සු අතරින් අනාගතයේදී සෞභාග්‍යය උදා කරවන්නේත්, විපතට හෙළන්නේත් කවුද කියා තීරනය කල බවත් ජර්මානුවෝ විශ්වාස කළා. මේ නිසා මිනිස්සු ගේ ඇතුළටම වෙලා ඉන්න පෙළඹුනා. ඕඩින් අහසේ ගියේ ස්ලෙප්නීර් නම් කකුල් අටක් ඇති අශ්වයෙක්ගේ පිටේ. ළමයි තමන්ගෙ බූට්වලට කැරට්, පිදුරු වගේ දේවල් පුරවලා ගිණි උඳුන ළඟ එල්ලලා තිබ්බා, අර අශ්වයාට කන්න. ඕඩින් ඒ බූට්වලට පොඩි පොඩි තෑගි දාල යනවා කියා විශ්වාස කෙරුණා. (හරියටම නත්තල් සීයා අහසින් යමින්, හොඳ ළමයින්ට තෑගි දීම වගේ ම තමයි. දෙන්නාම රතු ඇඳපු බවත්, දෙන්නාටම දිග සුදු රැවුළක් තිබුණු බවත් තව සමානකම්.) 

https://www.les2peresnoel.com/images/mythe-pere-noel/Odin.png
ඕඩින්

යුරෝපයේ පැවතුණු තවත් සම්ප්‍රදායක් තමයි වැසේලින්... ඒ නම එන්නෙ ඇංග්ලෝ සැක්සන් පදයක් වුණු "වේස් හේල්" හෙවත් යහපත් සෞඛ්‍යය කියන නමින්. ඔවුන් අවුරුද්දකට වරක් කුඩා කණ්ඩායම් විදිහට ගම පුරා  යමින් හඬ නගා ගායනා කරන පුරුද්දක් ඒක. ඒ ගීත හඬ නගා ගායනා කිරීමෙන් නපුරු ආත්ම පළවා හැරීමත්, යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කිරීමත් අපේක්ෂා කෙරුණා. දහතුන්වන සියවසේ දී ශාන්ත ෆ්‍රැන්සිස් තුමා මේ පුරුද්ද ආශ්‍රයෙන් නත්තල් කැරොල් ගායනා ආරම්භ කළා.

රෝමයේ දී ශීත සෘතුව උතුරු යුරෝපයේ තරම් ම කටුක වුණේ නෑ. රෝමකයෝ ශීත සෘතුව පටන් ගන්නට සතියකට කලින් සැටර්නේලියා උත්සවය පටන් ගන්නවා. කෘෂිකර්මාන්තයට අධිපති සැටර්න් දෙවියන් සමරන්න. එය මාසයක් පුරා පැවැත්වෙනවා. එතනදි රෝම සමාජය කණපිට හැරෙනවා. වහලුන් අධිපතියන් වෙනවා, සාමාන්‍ය දිළිඳු ජනතාව නගරය පාලනය කරනවා. ව්‍යාපාර සහ පාසල් වහන නිසා හැමෝටම විනෝද වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයේ දී හැමෝම හැමෝටම සෞභාග්‍යය පතුරුවා හැරීමේ ආකල්පයෙන් සුළු තෑගි දෙන පුරුද්දක් තිබුණා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ හොඳ අස්වැන්නක් ගෙට ගෙන ඒමට හැකිවේවා කියන අරමුණින්.

මේ ශීත සෘතුවේදීම රෝමකයෝ ජුවිනේලියා හෙවත් රෝමයේ දරුවන් සමරන භෝජන සංග්‍රහය පවත්වනවා. ඒ වගේම, (වඩා වැදගත්) ඉහළ පංතියේ මිනිස්සු මිත්‍ර හෙවත් යටත් කළ නොහැකි හිරු දෙවියන්ගේ උපන් දිනය සැමරුවා. ඒ දෙසැම්බර් 25 දින. ගළකින් උපන් ළදරු දෙවියෙක් වුණු මිත්‍ර ගේ උපන් දිනය සමහර රෝමකයන්ට අනුව අවුරුද්දේ වැදගත්ම දිනය වුණා.

https://hellenicfaithcom.files.wordpress.com/2017/09/mithras-rock-born-trio.jpg
මිත්‍ර

රෝමකයෝ තමන්ගෙ ගේ අවට ගස්වල එක එක ලෝහමය සංකේත එල්ලලා සැරසීමත් කළා, සැටර්නේලියා කාලයේ දී. මේ සංකේත වලින් හැඳින්වුනේ සැටර්න් දෙවියන් හෝ තමන්ගේ පවුලේ දෙවියන්. මේ සම්ප්‍රදායත්, ජර්මානුවන්ගේ ගස් රතු ගෙඩි සහ ඉටිපන්දම්වලින් සැරසීමත් එකතු වීමක් නත්තල් ගහේ දකින්න තියෙනවා.

හෝලි කියන්නේ කටු වගේ දැති තියෙන තද කොළ පාට කුඩා කොල සහ තද රතු පාට ගෙඩි සහිත ගස් විශේෂයක්. ඒ ගස් සැටර්න් දෙවියන්ට පූජනීයයි. ඉතින් සැටර්නේලියා උත්සවයේ දී රෝමකයෝ තෑගි දෙනකොට ඒ හෝලි ඉති වලින් තෑගි ඔතන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිරෙනවත් එක්කම, ආණ්ඩු මේ නව ආගම අදහන්නන් දඩයම් කරද්දි, ක්‍රිස්තියානි ආගමිකයෝ තෑගි හුවමාරු කරගනිද්දි, ඒ අය සැටර්නේලියා සමරනවා වගේ පේන්න හෝලි ඉති වලින් තෑගි දැවටීම කරගෙන ගියා දිගටම.

https://pixers.uk/posters/holly-leaves-and-berries-57328225

ක්‍රිස්තියානි ආගම ආරම්භ වුණු මුල් කාලයේ අවුරුද්දේ වැදගත්ම දිනය වුනේ පාස්කුව. හතර වෙනි සියවසේ දී තමයි පල්ලිය තීරණය කළේ ජේසු තුමාගේ උපත සමරන්න. ඒත් බෛබලයේ ඒ දිනය ගැන කිසිම සඳහනක් වුණේ නෑ. ජේසු උපන් දිනයේ දේව දූතයන්, බැටළුවන් බළා ගනිමින් එළිමහනේ හිටපු එඬේරුන් ට ජේසු තුමා ඉපදුනු බව කිව්වා. ඒ කියන්නේ ජේසු තුමා උපදුනු දිනය ශීත සෘතුවේ නම් වෙන්න ම බෑ. ශීත සෘතුවේ එඬේරුන්ට පුළුවන් කමක් නෑ එළිමහනේ රෑ ගත කරන්න. ඒ නිසා ජේසු ඉපදුනේ වසන්ත කාලයේ වෙන්න පුළුවන්. 

පළමුවෙනි ජූලියස් පාප් තුමා තමයි දෙසැම්බර් 25 දිනය තෝරාගත්තේ. ඒ සැටර්නේලියා උත්සවය යටපත් කරලා කතෝලිකාගමට උපාර්ජනය කරගන්න කියලා සැළකෙනවා. එයින් ක්‍රිස්තියානිය හැමෝටම වැළඳගන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. මේ සම්ප්‍රදාය ඊජිප්තුවට 432 දීත්,  එංගලන්තයට හයවෙනි සියවසේ දීත් පැතිරුණා.

ඉතින්... මං පහුගිය නත්තල් කළාපයක ශාන්ත නිකලස් තුමා ගැන ලිව්වා. එතනදි  ජගත් පතිරණ කියා හිටියා මේ නත්තල් සීයා සම්ප්‍රදාය ඊටත් වඩා ඈතට යන බව. හොයාගෙන යද්දි තමයි මේ විස්තර හම්බුණේ. මේක අවස්ථාවක් කරගන්නවා ජගත් ට ස්තූති කරන්න, මගේ කුතුහලය අවුස්සලා, මට දැනුවත් වෙන්න අවස්ථාව සලස්සලා දුන්නට.

සැප්‍රීතිත්ත්ක් වේවා!!!

https://www.qwaym.com/wp-content/uploads/2017/11/norse-god-odin.jpg

මූූූූූලාශ්‍ර

https://www.history.com/topics/christmas/history-of-christmas

https://chefin.com.au/blog/these-6-christmas-traditions-are-actually-pagan-customs/

https://www.cbsnews.com/news/the-unexpected-pagan-origins-of-popular-christmas-traditions/#:~:text=Though%20December%2025%20is%20the,traditions%20celebrating%20the%20winter%20solstice.&text=%22In%20ancient%20Rome%20there%20was,Saturnalia%20that%20celebrated%20the%20solstice.

https://holidappy.com/holidays/twelve-christmas-traditions-with-pagan-origins


43 comments:

  1. බොහොම අපූරු ලිපියක්. සෑහෙන්න මහන්සිවෙලා පාටයි? මං නං එක හුස්මට ඇදලා ඇරියා.

    මෙන්න මගෙන් , මහන්සියට නත්තල් තෑග්ගක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බකුස්... මාත් මේක ඒක හුස්මට ඇදල ඇරීමක් තමා තියෙන්නෙ. ඔය පහළ මූලාශ්‍ර කියවන ගමං, උවමනා කොටස් ටික මගෙ භාෂාවෙන් ලියාගත්තා. පැය හතරක් විතර ඒක දිගට ලිව්වා.

      අර ලිංක් ඒක මරු. ස්ටීව් ගෙ අනික් වීඩියෝත් බලන්න හිතාගත්තා. දැන් ඩවුන්ලෝඩ් කරනව...

      ඔය පැත්තෙ කොහොමද තොරතුරු?

      Delete
    2. එච්චර සුභ නෑ, ප්‍රස්ථාරය යන්නෙ වැරදි පැත්තට. හෙට ඉඳන් ලොක් ඩවුන්. මේ විශම චක්‍රය, වැක්සීන් බෙදන තෙක් කඩා ගත්තොත්, බලාපොරොත්තුවක් තියනවා,
      ලන්ඩන් පැත්තෙ කැරකැවෙන අලුත් වයිරස් ස්ට්‍රෙන් එක මෙහාට නාවොත්.

      සිසිලිය කියන්නෙ නිධානයක්. හාරන්න, හාරන්න නිදන් මතුවෙනවා :)

      Delete
    3. ඇපොයි... මට පේන්නෙ මෙහෙ තව හොඳයි වගේ. අපට පැණි කීපයකුත් තියෙනව. කමිෂන් එකක් ගන්ඩ හරි වැක්සීන් එක ගෙන්නලා දෙයි කියන අපේක්ෂාවත් තියෙනව...

      සිසිලිය කිව්වම මතක් වෙන්නෙම මොන්ත ක්‍රිස්තෝ පොතේ තියෙන දූපත් ටික... අරේ වාඃ වාඃ...!!

      Delete
  2. දැන් බලාපං උඹ පැය ගාණක් මහන්සිවෙලා විස්තර හොයලා මේ අපූරු විස්තරය ලිව්වා. දැන් අපි වගේ කම්මැලි බස්සො, ඔහොම විස්තර හොයයිද, නෑ නෙව?

    මම බොහෝ විට කියෙව්වොත්, විශේෂයෙන්ම දැණුමක්/තෘප්තියක් ලබාගත්තොත්, අඩුම ගානෙ වැටක්වත් නොගහා යන්නෙ නෑ. ඒක මේ මහන්සිවෙලා, අපට දැණුම ලබාදෙන ලියන්නොන්ට කරන පොඩි කෙලෙහිගුණ දැක්වීමක්. කියවලා, ලුහුටලා යන ගල් ආඳොන්ගෙ පු** කොටන්න ඕනෙ.

    හා, නැහ්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... ඒ උනාට කේන්ති ගන්ඩ එපා. මේකෙන් යමක් ගත්ත නම්, ඒ ගත්ත දේට කැමතිනම්, කමෙන්ට් එකක් දාලා අගය කරයි. නැත්තං නිකම්ම යයි. ඔව්ව ඔහොම තමයි. මං ලියන්නෙ එකෙක් දෙන්නෙක් ට හරි හිතට දැනෙයි කියල...

      Delete
  3. කිතු දහමේ සහ බුදු දහමේ සමානකමක් තියෙනවා.
    බුද්ධාගමේ කියලා තියෙනවා පිං අනුමෝදන්වෙනවා කියලා දෙයක්.
    එනම් වෙනත් කෙනෙක් කරන පිංකමක් ගැන සිතලා සත පහදවා ගත්තොත් එයින්ද තමන්ටත් පිනක් සිදුවීම.

    කිතුනු විශ්වාසය පදනම්වෙලා තියෙන්නෙත් මේ පිං අනුමෝදන්වීම මතයි.

    කිතුනුවා විශ්වාස කරන විදියට ජේසුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේගේ සමාදාන මංගල්‍යය සම්පූර්ිණ කරන්න.
    යුදෙව් සමාදාන මංගල්‍යෙය්දී කරන්නේ කැලැල් නැති බැටළුවෙක් පූජකයෙක්ට බාරදීලා ඔහු ලවා තමන්ගේ පවු එම සතාට ආරෝපනය කරවා උගේ බෙල්ල කැපීමයි.

    ජේසුස් වහන්සේ කුරුසිය මත මියයාමට පෙර මිනිස් වර්ගයාගේම පව් තමන්ට ආරෝපනය කරගත්තා.

    එමනිසා අපිට තවදුරටත් පව් සමාකරගන්න බිලිපූජා තියන්න අවශ්‍ය නෑ.

    අපි කලයුත්තේ ජේසුගේ බිලිපූජාවේ පින් අනුමෝදන් කරගැනීමයි.

    (ජේසු යුදෙව්වන්ට මල පනින විදියට හැසිරුනේ උන් අතින් මියයන්නයි. එය ඔහුගේ මිශන් එකට අවශ්‍ය දෙයක්
    ඩාක් සීරීස් එක බලනකොටයි ක්‍රිස්තු චරිතය නියම විදියට තේරුනේ)
    )

    ReplyDelete
    Replies
    1. /කිතුනුවා විශ්වාස කරන විදියට ජේසුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේගේ සමාදාන මංගල්‍යය සම්පූර්ිණ කරන්න.
      යුදෙව් සමාදාන මංගල්‍යෙය්දී කරන්නේ කැලැල් නැති බැටළුවෙක් පූජකයෙක්ට බාරදීලා ඔහු ලවා තමන්ගේ පවු එම සතාට ආරෝපනය කරවා උගේ බෙල්ල කැපීමයි.

      ජේසුස් වහන්සේ කුරුසිය මත මියයාමට පෙර මිනිස් වර්ගයාගේම පව් තමන්ට ආරෝපනය කරගත්තා.

      එමනිසා අපිට තවදුරටත් පව් සමාකරගන්න බිලිපූජා තියන්න අවශ්‍ය නෑ./

      මේ කතාවට ඒකඟ වෙන්න පුළුවන්. ඒ්ත් පරණ කාලෙ යුදෙව්වො බිලි පූජා තිබ්බෙ පවු සමා කරගන්න නෙවෙයි නේද? දෙවියන් වහන්සේ සතුටු කරන්න. මොකද ඒ් දෙවියන් බොහොම නපුරු, විපාක ඇති කරවන දෙවි කෙනෙක්...

      Delete
  4. බොහොම ස්තුතියි. හුඟක් දේවල් දැන ගත්තා. අපිට නම් දැන් summer, ඒත් නත්තල් දවසට උෂ්නත්වය අන්ශක කීපයක් අඩු වෙනවා බොහෝ විට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...! කොහෙද අප්පා ඔය රට?

      මට මතක් වුණේ, අපට හෙණ ගහ ගහා වහින නිරිත දිග මෝසම් වැස්ස තියෙන අගෝස්තු කාලෙ, අපේ අම්ම කියනව, ඒ ගොල්ලන් පොඩි කාලෙ කියන්නෙ ග්‍රීස්ම නිවාඩුව කියලලු. ඇත්ත. එයා පොඩි කාලෙ උන්නෙ වියළි කළාපෙ.

      Delete
    2. හා හා හා. මේ බස්සො නිදාගන්නෙම නැද්ද. කොයි වෙලේ බැලුවත් කමෙන්ට් කරනවනෙ.

      ඩ්‍රැකී: එක මෙහේ සාමාන්ය variation එකක් මිසක් නත්තල් දවස නිසාම වෙන දෙයක් නෙවෙයි. මම නිකමට ලිව්වෙ නිරීක්ශනයක්.

      Delete
    3. බකුස්,

      ඔන්න ඔය සිංදුව නම් මම ආසම කරන ඉතාම සරළව හිත ඇද ගත්ත සිංදුවක්. ලස්සන ව්‍යංග්‍යාර්ථ රාශියක් ඔය සිංදුවෙ වීඩියෝ එකේ යටින් යනව...

      Delete
    4. ලෝටස්,

      මට මතක් වුණේ, අර පනංගල අයියා පොතේ තියෙන සඳහනක්. එයා කියනව වෙසක් දවසට මල් සුවඳ, කුරුල්ලන්ගෙ නාද, සුළඟ එහෙම වෙනස් වෙනව කියලා...

      Delete
  5. දේශගුණයට අනුව සමාජයේ සිරිත් විරිත් හැඩ ගැහෙන ආකාරය අපුරුයි ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. හ්ම්... කාලෙකින් සිරිස් දැක්කෙ. දැන් ඒ තරම් විවේකයක් නැතුව ඇති නේ? බොලා දකින්නත් ආසයි අප්පා, මේ කොරෝනාව ඉවර වෙච්ච දාක අපි හමුවෙමු.

      Delete
  6. ලියතත් මෙහෙම වෙහෙසී තොරතුරු හොයලා
    කියවන හැම දෙනා 'නොකොටන' බව දැනිලා
    නරක් කර නොගෙන හිත දිරිමත් වීලා
    ලියමු අනාගතයෙත් කියවයි කියලා

    කියවන අයගෙ ඩේටා පිච්චෙනවාය
    ඒකම වුණත් හොඳටම වැදගත් වේය
    කාලය පවා සෑහෙන්නට වැය වේය
    'අකුරු කරන්නත්' හැමටම බැරි වගෙය

    ලියන කියන දේ මතු කර දෙන සතුට
    ප්‍රමාණවත් වැටුපක් ලෙස හැඟෙනකොට
    ප්‍රතිචාරත් ටිකක් හරි මේ ලැබෙනකොට
    කොච්චර තුටුද blog ලියනා හැම දෙනට?

    ReplyDelete
    Replies
    1. නිදි කියන දෙය හරියටම හරි. ඒත් මම නම් සමහර වෙලාවට කමෙන්ට්ස් දාන්නෙ භයෙන් භයෙන්, විශෙෂයෙන්ම ලන්කාවෙ අය clannish නිසා, තමන්ගෙ මිතුරු සමාගමට අයිති නැති අපි වගේ අය කමෙන්ට්ස් කරනවට අකමැති වෙන්න පුලුවන්. ඒ නිසා මම නම් බ්ලොග් ලියන කෙනාගෙ ප්‍රතිචාර සැරයක් දෙසැරයක් බලලා තමයි කමෙන්ට් කරන්නෙ. passive aggressive ගතියක් පේනවානම් කමෙන්ට් කරන එක නවත්නවා. අනිත් එක තමයි බලන අයට හිතෙන්නත් පුලුවන්නෙ මෙයා හැමතැනම කමෙන්ට්ස් දානව කියලා. ඒ නිසා බ්ලොග් ලියන කෙනාට encourage කිරීමක් විදිහට, වෙලාවත් තියෙන විදිහට කමෙන්ට්ස් දාන කැමැත්තක් ඇති වුනත්, ඉතාම පරිස්සමින් කරන්නෙ. අපිට කෙනෙකුට හිතින් විතරක් ස්තුතිවන්ත වෙන්නත් පුලුවන්නෙ

      Delete
    2. ලෝටස්...

      මෙතන එහෙම දෙයක් නෑ. කිසි කෙනෙක්ගෙ ආධිපත්‍යයකට මෙතන යටත් නෑ. අඩුම තරමින් මගෙ වත්. මාව උණත් විවේචනය කරනවනං, මම ඒක භාර ගන්නව.

      බොහොම පහත් විදිහට අලුත් බ්ලොගර් කෙනෙක්ව විවේචනය කරපු සහ නුවුවමනා විදිහට ඊර්ෂ්‍යා සහගත අදහස් පළ කරපු අවස්ථා කීපයක් නම් මම ඉවත් කළා. ඒ මිස මෙතන බොහොම නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න හැකි, ඒ වගේම පාඨකයන්ට අයිති තැනක්.

      Delete
    3. නිදි,

      ඔබෙ කතාව ඇත්තයි පිළිගන්නේ ය
      මගෙ තෘප්තිය ඇත්තේ ලියවිල්ලේ ය
      ලියනා විටදි මගෙ අදහස් පළ වේ ය
      ඒකම මට ප්‍රමාණවත් සතුටක් ය

      එනමුත් ලියා පළ කර කාලය යද්දී
      කවුරුත් කියවලා නැති බව වැටහෙද්දී
      හින් දුකක් මගෙ හිත ඇතුළට ගෙවදී
      අගය කෙරුම මහ ඉහළින් හිතට වදී

      ලොවක් වුණේ නම් බ්ලොග් අඩවිය නොමැතී
      අපි වාගේ කම්මැලියෝ නොම ලියතී
      මැරෙන්නට කලින් මොකවත් ඉතිරි නැති
      ජීවිතයක වටිනාකම මොටද ඉති

      Delete
    4. නිදි,

      කවියටද, අදහසටද?

      Delete
  7. Replies
    1. ඉයන් දැක්කෙ කාලෙකින්...

      Delete
  8. යුරෝපයේ හුගක් පල්ලි හැදුවෙත් පේගන්ස්ලා holy කියල සැලකුව sites වල. රාජ්‍ය ආගම විදිහට බුද්ධාගම ස්ථාපනයවුනාට පස්සෙ
    බෞද්ධ සිද්ධස්ථානත් එහෙම තැන්වල හැදුවද කියල සාධක දැන් හොයාගන්න අමාරුවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් මහා වංශය එලිපිට ම පිළිගන්නව, එක තැනක. අර ගිරි නිගන්ඨයගෙ ආරාමය කඩලා, එතන අභයගිරි විහාරය හදවන බව කියන තැන...

      ඔය වගේ මට හිතෙන තව තැන් කිපයක් තමයි, සමන් දේවාලය, මඩු පල්ලිය සහ නවගමුව... දෙවුන්දර නම් මුල් කාලෙ උපුලවන් , පස්සෙ දැඩිමුණ්ඩ, දැන් විෂ්ණු...

      Delete
    2. මට තව හිතෙනව, ශ්‍රී පාදය කියන්නෙත් මුල් කාලෙ කන්දෙ දෙයියො අදහපු තැනක්, පස්සෙ කාලෙ බෞද්ධ වෙලා කියල. මොකද, ඒ කන්ද නගින කොට සමන් දෙයියන්ට කොයිතරම් බයෙන් ද නගින්න වෙලා තියෙන්නෙ? කට වරද්ද ගැනිලි එහෙම...

      Delete
    3. ගිරි නිඝන්ටයගේ සිද්ධිය ජාත්‍යන්තර එකක්.
      ඉස්සර අනුරාධපුරේ ජෛන ආගම අදහපු ධනවත් වෙලෙන්දෝ ඉන්න ඇති.

      ඒ වගේම චෝල ප්‍රභූවරුත් අදහල තියෙන්නේ ජෛන.

      දේවානම්පියතිස්සගේ කාලේ බුද්ධාගම ප්‍රධාන ආගම වුනාට පස්සේ ලංකාවේ ජෛන ආගමිකයන් එයට විරුද්ධ වෙලා තියෙනවා.

      සේන ගුතික අස් වෙලෙන්දොත්, එලාරත් අනුරාධපුරයේ රජවුනේ මෙම පිරිසගේ සහය ඇතුව. එලාර දිගටම හිටියනම් සිංහලයෝ ජෛන.

      වලගම්බා රජුගෙන් පස්සෙනම් ජෛන ආගමක් ඉතුරුවෙලා නෑ.

      Delete
    4. ඒ නිසා වෙන්න ඔ්නෙ, මහාවංශය ගිරි නිගණ්ඨයා ද්‍රෝහියෙක් විදිහට ඒ තරම් තදට කියා හිටින්නෙ. ජෛන ආගම මහා විහාරයට ඒ තරම්ම ඇහේ ඇණුනු කටුවක් වෙන්න ඇති.

      Delete
    5. පුරුතුගීසිකාරයින්ගේ කාලේ කොළඹ අවට කතෝලික පල්ලි හදලා තියෙන්නේත් පැරණි පන්සල් කඩලා, ඒ තැන්වල ලු.

      ඉන්දියාවේ අයෝධ්‍යාවල තාමත් හින්දු-මුස්ලිම්වලි තියෙන්නේත් ඒ වගේම කේස් එකක නිසායි.

      මක්කමත් කලින් තිබුණේ පන්සලක්, ඒක ආරක්‍ෂා කළේ කහපාට ඇඳුම් ඇඳගත් අය ය කියලා කියවෙනවා.

      Delete
    6. අජිත් අයියා,

      මහාවංශය කියනව, වට්ට ගාමිණි අභය රජුගෙ නමයි ගිරි නිඝන්ඨයාගෙ නමයි එකතු කරලා අභයගිරි කියල නම දැම්ම කියල. ටී. ජී. කුලතුංග සර් කියනව එහෙම කියන්නෙ අභයගිරියට අපහාස කරන අදහසින් කියල...

      Delete
    7. රසික,

      නාරද යි කොලට් යි (මට සම්පූර්ණ නම් මතක නෑ.) ලියපු 'අල්ලාහු අක්බර්' කියන පොතේ ත් තියෙනව මක්කම තිබුණෙ සිරිපතුලක් කියල. මහමදිකයො කියන්නෙ මක්කම පල්ලිය හදද්දි මහම්මත් තුමා කකුල් තියාගෙන හිටපු ගලේ, එතුමගෙ පා සටහන හිටිය ය, ඒක කාබා පල්ලියෙ මහ කලු ගලේ තියෙනවය කියල. සමහරවිට ඒකත් අශෝක අධිරාජයගෙ දූත කණ්ඩායමක් පිහිටුවපු පන්සලක් ම වෙන්න පුළුවන්. සිරිපතුල් වන්දනාව කරපු...

      Delete
  9. බිරින්දෑ තවමත් දෙසැම්බර් හය මේස් වලට තෑගි දානවා. ජර්මනියේ විශේෂයෙන් බැවේරියාවේ සහ පෝලන්තයේ සැන්ට ක්ලවුස් නෙමේ සෙන්ට් නික්ලෞස් තමයි තෑගි ගේන්නේ දෙසැම්බර් 6. මේවා පොඩි තෑගි චොකලට්, නට්ස්, බිත්තර, ස්විට්ස් - මේස් එකට් හෝ සපත්තුවට තමා නිකලස් දාල යන්නේ. දෙසැම්බර් 25 අනිත් එක. ඒක තම පැගන් ෆෙස්ටිවල් එක.

    ReplyDelete
    Replies
    1. ආන්න... ඔය තියෙන්නෙ ජර්මානු සංස්කෘතිය ගැන සජීවී ප්‍රකාශයක්. ඒක ගොඩක් වටිනව, අපි මේ තවත් කෙනෙක් ලියපු දේවල් කියවල ලියන ඒවටත් වඩා. මට පුළුවන්නං අර පේගන් කතන්දර ගැනත් ඔය විදිහටම ඉනෙස් අක්කගෙන් තහවුරුවක් ගන්න, තවත් දාහක් විතර වටිනව.

      Delete
  10. යුදෙව්වන්ව මර්ධනය කරලා, ජීසස්ව මරලා දාපු හයිරංකාර රෝමන්ලා අවුරුදු තුන්සීයක් ඇතුළත, ජීසස්ව අදහන්න තරමට වෙනස්වීම දේශපාලනික කාරණයක් වුණාට, පුදුම පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්... මට පේන විදිහට, රෝමයෙ ගියපු වෙනම දේශපාලන ගේම් එකක් නේද? තිබුණු ආගමික සංස්ථාව වෙනුවට රෝමයෙ ම පාළකයෙක් කතෝලික ආගම සංවිධානය කරල, ශුභාරංචි ටික සකස් කරලා, පතුරුවලා අරින්න පටන් ගැනීම... එතනදි සමහර ශුභාරංචි හළපු බවත් කියවෙනව. ළඟදි හම්බුණු ඓතිහාසික ලියවිලි වගයක් ගැනත් කියවන්න ලැබුණා. ඒවයෙ නම් ජේසු ගැන සඳහන් වෙන්නෙ ම නෑ. තව අදහසක් තමයි ජේසු කියල කෙනෙක් හිටියෙම නෑ කියන එකත්... යුදෙව් දහම ට ආව ප්‍රතිසංස්කරණ එකතු කරලා සාවුල් ම හදාපු ආගමක් කියල කියනව කතෝලිකාගම.

      මොකක් නමුත්, කතෝලිකාගම ස්ථාපිත කිරීම ම දේශපාලනික ගැටයක් තමයි.

      Delete
  11. මෙව්වා කියෙව්වම හිතුනෙ කලින් තිබ්බ කාලා බීලා ආතල් ගන්න උත්සවයක් ආගමික උත්සවේකට හරවන්න සෑහෙන උත්සාහයක් දරා තියෙනව කියන එකයි. කොහොම වුනත් මේ ටික ලියන්න පැය හතරක් මාන්සි වෙන්න ඉඩ දීපු එකට ඩ්‍රැකියානි උපාසිකා මාතාවටත්, බේබි ඩ්‍රැකී හාමුටත් ඉස්තූති වෙන්ට ඔ්නාය.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සුරංග... කලින් තිබුණෙත් ආගමික උත්සව ම තමයි. ඕඩින්, සැටර්න්, මිත්‍ර කියන්නෙ දෙවිවරු. ඒ අයගෙ යම් යම් දින සැමරීමක් වගේ දෙයක්. ඒකෙදි කාල බීල නටල විනෝද වෙන එක සංස්කෘතික අංග... අපිත් එය වෙසක් එකට දන්සැල් දෙනව, පස්සෙ දන්සැල ඉවර වෙලා බීල නටනව වගේ දේවල් කරන්නෙ. ආං ඒ වගේ දෙයක් මේක.

      පස්සෙ වෙනත් ආගමික උත්සවයකින් යටපත් වෙලා එහෙමත් නැත්තං වෙනත් ආගමක උත්සවයක් බවට රූපාන්තරණය කරල තියෙනව. ඒ උනත් අර කාල බීල නටල ආතල් ගන්න එක වෙනස් වෙලා නෑ...

      Delete
  12. "ශීත සෘතුවේ ගෙවල්වවලට කොටුවෙලා ගත කරන කටුක කාල සීමාව ප්‍රීතියෙන් ගත කරන්න නෝර්ඩික් මිනිස්සු පුරුදු වෙලා හිටියා."

    සියවස් ගානකට පස්සෙ මිනිස්සු මේ අව්රුද්දෙ මේ විදිහට නත්තල සැමරුවා.. හිම වෙනුවට වෛරසයක් තිබුන එක තමා වෙනස...

    අපූරු ලිපියක් ඩ්‍රැකියො.. හරි ආසාවෙන් කියෙව්වෙ.. අපිටත් අර වගේ ගෙවල් ඇතුලට වෙලා ගිනි මැල ගහගෙන දවස් ගානක් පාටි දාන්න පුළුවන් වුනානම් ගති නේහ්...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෙන්නා මාත් ආසයි. ඒත් තද සීතල සහ ගේ මැද ෆයර් ප්ලේස් එක අවශ්‍යයි. ඒ වගේම අතීත කාලය... ජනගහනය ඉතාම අඩු...

      Delete
  13. මේක හරි රහයි.
    ඉතිහාස කතා පටන් ගත්තේ අපි හිතන් ඉන්න විදිහටම නෙවේ කියන්න මේක හොද සාක්ෂියක්.
    තොරතුරු සැහෙන්න හොයල කියවන අපිට ලොකු දැනුමක් ලබා දුන්නට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කේවීඅයි... ඔයාගෙ ලිවීම හරි රහයි. දිගටම ලියන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි