රොස්කෝ ඩි මැන්ඩෙවිල් පියවි සිහියෙන් දෑස් හැර බැලුවේ දින ගණනාවකට පසුව ය. තමා සිටින්නේ කොහිදැයි දැනගැනීම ඔහුගේ පළමු චේතනාව විය. පොල්තෙලින් දැල්වෙන පිත්තල පහනක්, ඔහු සිටි කුටියේ හරි මැද ට වන්නට වහලයෙන් එල්ලෙමින් තිබුණේ අඩ අඳුරට හුරු දෑසට සහනයක් ගෙන දෙමිනි. එහි එළිය හාත්පස වූ තනි ගලින් කෙරුණු බිත්ති මත දිළිසෙමින්... එක් බිත්තියක වූ ගලින්ම කෙරුණු උළුවස්ස හැරුණු කොට තනි ගලක් සාරා සකස් කළ හරි හතරැස් කුඩා කුටියක තමා සිටින බව යුරෝපීය නාවිකයා දුටුවේ ය.
රොස්කෝ මෙතෙක් වැතිර සිටි පළස මතින් නැගිට දෙපා වකුටු කොටගෙන ඉඳ ගත්තේ ය. තමා ඇඳ සිටියේ තම නාවුක නිල ඇඳුමේ කලිසම පමණක් බව ඔහු දුටුවේ එවිට ය. නැගිටිනවාත් සමඟ සිය හිස වෙලා තිබූ රෙදි වෙලුම්පටි සහ හිස ගල්වන ලද ශාකමය සුවඳින් යුතු සිහිල් ඖෂධය ඔහුට දැනුණි. දෑස් පියාගත් ඔහු ගේ සිතට බිඳෙන් බිඳ අතීත සිදුවීම් ගළා එන්නට විය.
කොට්ටියාරමේ ප්රචණ්ඩ සූර්යතාපය... කාලතුවක්කුවල නොවතින ගර්ජන හඬ... මරණයේ වේදනාවෙන් කෑගසන මිනිස්සු... අකුණු හඬ... ඝන වනාන්තරයේ බියකරු රාත්‍රිය... දොළපාර අසබඩ නවාතැන් ගත් පස් දෙනා... රොල්ෆ් නම් වූ නිර්භීත මිනිසා ගසක අතු පතරේ දී ගිණි ගත් හැටි... නීල්සන් අත පය ගසමින් මාරක ගසේ ඉහළට ඇදී යාම...
බියසුළු නාවිකයා වෙව්ලුවේ ය. වියළී ගිය උගුර තෙමා ගන්නට යමක් ඇත්දැයි ඔහු ගේ විපරම්කාරී දෑස හාත්පස යොමු විය. දකුණත බිම ගසා වාරු ගනිමින් නැගී සිටි ඔහු, කුටියෙන් පිටවීමට තිබූ එකම මඟ වූ ගල් උළුවස්ස වෙත පිය නැගුවේ ය.
උළුවස්සෙන් එපිට වූයේ පටු කොරිඩෝවකි. වංගු ගැහෙමින් ඉදිරියට පැතිරුණු එය, සකස් කර තිබුණේ ද, නාවිකයා මෙතෙක් සිටි කුටිය සේම තනි කළු ගළිනි. එම පටු මාර්ගය, බිත්ති වල සවිකර තිබූ පන්දම් එළිය නොවන්නට මග සොයාගත නොහැකි වන තරමට ම වංකගිරියක සේ තියුණු වංගු සහිතව සකස් කෙරුණක් විය.
වංගු කිහිපයක් පසුකළ රොස්කෝ, එළඹුනේ පුළුල් දොරකඩකට ය. ගල් උළුවස්සේ දකුණු පස ඉහළ ද, බිම ද, සකස් කර තිබූ සිදුරු තුළින් යැවුණු අයෝමය දණ්ඩක්, සරනේරු ක්‍රමයක් ලෙස භාවිත කර ඝනකමැති දැවමය දොර පියනක් එහි යොදා තිබුණි. දොර විවර ව තිබුණෙන්, යුරෝපීයයා ට එහි ඇතුළත විපරම් කළ හැකි විය.
තමන් අවදිවන විට සිටි ශෛලමය කුටිය මෙන් තුන් ගුණයක් පමණ විශාල වූ සම සතරැස් ශාලාවක් ඔහු දුටුවේ ය. එහි මැද, දම්වැලක් මඟින් වහලයෙන් එල්ලුණු පිත්තල පොකුරු පහනක තිර කිහිපයක් දැල්වෙමින් තිබුණි. පහනට යටින් ගෙබිම මත පළස් කිහිපයක් එකපිට අතුරා, පළස් කෙළවර රවුම් කොට්ට තබා තිබුණේ, තුන් දෙනෙකුට වාඩි විය හැකි ආකාරයෙනි. ඒ ආසන පැනවීම් අතර, පළසේ මැද කුසලානයක්, දරණුවක් මත තබන ලද කෙමියක් සහ අන්ඩක් සහිත උස් මැටි බඳුනක් සහ පළතුරු පිරවූ බටපොතු භාජන දෙකක් තබා තිබුණි.
ශාලාවේ වම් පස බිත්තිය අසළ සිටි පැහැපත් තරුණයන් දෙ දෙනෙක්, එතෙක් තමන් අතර පැවති කතා බහ නතර කොට දොර වෙත හැරුණ හ. ඔවුන් ගේ මුහුණේ නැඟුණු මඳ සිනහව දුටු නාවුකයා තුළ ඇති වූයේ සහනදායි හැඟීමකි. තරුණයෝ දෙ දෙනා ඉණෙන් පහළට ධෝතිය වැනි වස්ත්‍ර ඇඳ, පුෂ්ටිමත් උඩුකය වැසෙන සේ උරහිස් මතින් සළුවක් දමාගෙන සිටියහ. ඔවුන්ගේ හිස් වැසුනේ තළප්පාවලිනි.
"ඉන්ත්‍රාර් පොර් ෆවොර්..." එක් අයෙක් සුරත ඉදිරියට දිගු කර රොස්කෝ හට ආරාධනා කළේ ය. නාවිකයා ශාලාවට ඇතුල් වෙද්දී, තරුණයෝ දෙ දෙනා ශාලාව මැද ආසන පණවා තිබූ තැනට ඔහු ද සමග පිය නැගූහ. එතැන් සිට සියලු කතා බහ සිදු වූයේ පෘතුගීසි භාෂාවෙනි.
"කරුණාකර අසුන්ගන්න."
"මම මේ කොහෙද ඉන්නෙ?" රොස්කෝ ස්වදේශිකයන් අනුගමනය කරමින් පළස මත වාඩි වෙමින් ඇසී ය.
"මම ගලගොඩ, මේ උඩුමුල්ලෙ..." සුමන සිය සගයා දෙස අත දිගු කර දැක්වී ය. "අපි කන්ද උඩරට රාජධානියේ නිලමක්කාරයො.
"කැලෑවෙ අතරමං වෙලා, සිහි නැතුව වැටිලා ඉඳලා ඔබ මෙතනට ගෙනාවෙ. අපේ මිනිස්සු ඔබට සත්කාර කළා. සෑහෙන කාලයක් යන තුරු ඔබගේ මනස යථාර්ථය වෙත අවදි වුණේ නෑ. නමුත් දැන් ඔබ සුවපත්..."
"ඔබට පිපාසය ඇති..." මැටි භාජනය දෑතින් ම එසවූ මිත්‍ර එයින් කුසලානයට අවර්ණ දියරයක් වත් කළේ ය. "අප දන්නේ නෑ ඔබේ ආගමික විශ්වාස ගැන. මෙය මත්වන බීමක් නොවේ. පළතුරු යුෂයෙන් පෙරාගත් පානයක්..." ඔහු දැතින් ගත් කුසලානය රොස්කෝ වෙත දිගු කළේ ය.
කුසලානය ඉතා කැමැත්තෙන් පිළිගත් බව නාවුකයාගේ මුහුණින් පෙනුණි. එය ඔසවා මුවට ළං කරද්දී නැඟුනේ පළතුරු වර්ග කිහිපයක් මිශ්‍ර වූ සුවඳකි. උගුරු කිහිපයක් නොනවත්වා පානය කළ පසුව ය එහි අමුතු රසායනයක බඳු රසය ඔහුගේ දිව මතට දැනුණේ...
"ඔබගේ සත්කාරයට මම ණයගැතියි..." පානයෙන් උගුර තෙත් ව, ලිහිල් වූ ඉඳුරන් ඇති ව රොස්කෝ කීවේ ය.
"ඔව්... මේ දිවයිනේ අපි, අප වෙත එන හැම දෙනාටම උපරිමයෙන් ම සත්කාර කරනවා." මිත්‍ර රොස්කෝ ගේ වමතේ මැණික්කටුව අල්ලා ගත්තේ, සහෝදරත්වය සහ සුහදත්වය දැක්වීමේ සංඥාවක් ලෙසිනි. "එහෙත් අපි ඔබ ගැන කිසිවක් දන්නේ නෑ. අපි ඉතා නොඉවසිල්ලෙන් ඔබ ගැන විස්තර දැන්ගන්නට..."
"මම රොස්කෝ ඩි මැන්ඩෙවිල්." නාවුකයා තමා දෙපස වාඩි වී සිටි නිළමක්කාරයන් දෙදෙනාගේ කාරුණික මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලී ය. "මා ගැන මොනවාද ඔබට දැනගන්න උවමනා?"
"ඔබේ සමාජය තුළ ඔබ ඉටු කරමින් උන් කාර්යය..."
"ඊට ඔබ මෙහෙයවූ සාධක සහ ඉතිහාසය..."
"ඔබගේ සගයන් සහ ඔවුන් ගේ කාර්යයන්..."
නිළමක්කාරයෝ දෙ දෙන මාරුවෙන් මාරුවට යෝජනා කළ හ.
"හරි..." රොස්කෝ සුරතේ වූ කුසලානයෙන් තවත් උගුරක් පානය කළේ ය. "මම හැකි තරම් කෙටියෙන් සියල්ල විස්තර කරන්නම්.
"... මුලින් ම කියතොත්, මම නෝමන්ඩියේ ධනවත් වෙළෙන්දෙකු වූ එරික් ඩි මැන්ඩෙවිල්ගේ පුතෙක්. මට වයස තිස් දෙකයි. මම හොඳින් අධ්‍යාපනය ලැබුවා පැරිසියේ නොත්රඩාමයේ දී. පියාගේ අපේක්ෂාව වුනේ, එවක ඉතා ධනවත් සහ බලවත් වෘත්තියක් වූ පූජකවරය මට ලබා දීම. ඒ අනුව මම වයස දාසයේ දී ප්‍රොතෙස්තන්ත සහෝදරවරයෙක් බවට පත් වුණා...
"මට ලෞකික දේ ග්‍රහණය කිරීම උගහට වුණත්, පොත පතේ ලියා තිබෙන දේ ගැඹුරින් සහ විවිධ කෝණයන්ගෙන් දකිමින් අධ්‍යයනය කිරීම ඉතා පහසු කාර්යයක් වුණු බව මට තේරුණා. මම වයසින් සහ දැනුමින් මුහුකුරා යද්දී, මට තේරුණා ධර්මය කියා අප විශ්වාස කරන්නේ කිසියම් දාර්ශනිකයෙක් ජීවිතය ගැන දේශනා කර තිබෙන දෙයක් වුණත්, එය වර්තමාන සමාජයට සහ බල මූලාශ්‍රවලට උවමනා විධියට හැඩ ගස්වා ගෙන බල මූලාශ්‍රයේ පැවැත්ම සහ වර්ධනය වෙනුවෙන් එය යොදාගැනෙන බව. අපි පූජකවරු, යුද්ධ සෙබළු, නාවිකයන්, වෙළෙන්දන්, පරිපාලකයන් ආදී සියලුම කොටස් රාජ්‍යය හෝ ආගම විසින් එක්තරා අරමුණකට මෙහෙයවීමට යොදාගන්නා මෙවළමක් බවට ධර්මය පත් වී ඇති බව මට වැටහුණා...
"දිග කතාවක් කෙටියෙන් කියතොත්, ජීවිතයේ යම් යම් සිදුවිම් නිසා මම කලින් කියූ අවබෝධයත් සමඟ තව දුරටත් මා තෝරාගත් වෘත්තියේ මට රැඳී ඉන්නට බැරි වුණා. මම මුල් කාලයේ දී මා අවබෝධ කරගත් දේ ගැන ඉහළින් ප්‍රශ්න කළා. ඒ නිසා ම ආගමික සංස්ථාවෙන් මෙන්ම නෝමන්ඩියේ සහ පැරිසියේ මා ඇතුළත් වුණු සමාජයෙන් මා පිටමං කෙරුණා.
"අවසානයේ මම නතර වුණේ මාර්සෙයියේ... නැවු තොටේ තිබුණු බීමහල්වල රාත්‍රියේ වැඩකරලා, බේබදු නැවියන්හට කෑම බීම සපයමින් ගතමනාවක් හොයාගන්න මට සිද්ධ වුණා. එතනදි මට මුණ ගැහුණා ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් විශිෂ්ඨ යාත්‍රිකයා...
"ඔහු අනෙක් නැවියන් මෙන් බීමත් වන්නේ නෑ. රම් වීදුරුවක් තොලගාමින් යම් යම් ලියවිලි පරීක්ෂා කිරීම සහ සටහන් තබාගැනීම, සිතියම් අධ්‍යයනය කිරීම ආදී කටයුතු සඳහා තමයි ඔහු බීම හලට ගොඩවන්නේ. ඔහු නිතරම ආවේ යන්තම් සැඳෑ අඳුර වැටීගෙන එන වේලාවේ. ඒ වගේම බීමහල නාවුුකයන්ගෙන් පිරී යන විට ඔහු නිහඬවම මඟහැර යන්නට පුරුදු වී සිටියා.
"ඉතින් සහජයෙන් ම කඩදාසි, පාච්මන්ට් සහ තීන්ත මගේත් ලෙයට කාවැදී තිබූ නිසා මම ඔහු ට සත්කාර කිරීම ඉතා කැමැත්තෙන් කළා. ඔහු සමඟ හුවමාරු වුණු කෙටි පිළිසඳරවලදී අපි තව තවත් එකිනෙකා හඳුනා ගත්තා. ඒ විදිහට අවසානයේදී ඔහු මගේ ජීවිතයට අරමුණක් ලබා දුන්නා.
"ඔහු ඒ වන විටත් ප්‍රංශ රාජකීය නාවුක හමුදාවේ අද්මිරාල්වරයෙක්... කැරීබියානු ප්‍රදේශවලට, සුභ පැතීමේ තුඩුවට සහ මධ්‍යධරණී කළාපයට කිහිප වරක් සාර්ථක ලෙස චාරිකා කර තිබූ ඔහු පෙරදිගට යාත්‍රාකිරීමට නොඉවසිල්ලෙන් පසුවුණේ. ඔහු ගේ සිතේ තිබුණා එක දූපතක් ගැන. පෙරදිග ඉන්දීය සාගරය මැද පවතින, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ගංගා ඇළ දොළවල මැණික් හමුවන, අප දැන සිටි සියලු දේශගුණයන් පවතින, ආදම් ගේ පාරාදීසය සොයා ගැනීම ඔහුගේ අභිලාෂය වුණා...
"ඒ වෙනුවෙන් ඔහු මගෙන් අපේක්ෂා කළේ, බෛබලයේ සුභාරංචි, කුරාණයේ උප ග්රන්ථ, අප්‍රකට ක්‍රිස්තියානි ලියවිලි සහ ටෝරාව ගැන මා තුළ කටපාඩමින් තිබුණු දැනුම, ඔහු වෙනුවෙන් විශ්ලේෂණය කරලා, පාරාදීසයේ උයන සහ උල්පත, ඔහු දැන සිටි නාවුක ශාස්ත්‍රය අනුව ස්ථානීය පිහිටීම උපකල්පනය කිරීම... ඒ වෙනුවෙන් ඔහු විවිධාකාර සංචාරකයන් සංග්‍රහ කර තිබුණු සංචාරක සටහන්වලින් උපුටාගත් සටහන් මට අධ්‍යයනය කරන්න දුන්නා.
"ඔහු මා ඔහුගේ නාවුක කණ්ඩායමේ පූජකවරයෙකු විදිහට බඳවා ගත්තා. රොශ්ෆෝ වරායෙන් පිටත් වුණු පෙරදිග තානාපති වරයා වූ ද ලා හේ ගේ නැව් කණ්ඩායමට අපට ඇතුල් වෙන්නට හැකි වුණා. මගේ අධ්‍යයනය යම්කිසි මට්ටමකටවත් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ ඒ අතරමඟදීයි..."
"ඉතින් ඔබට හැකි වුණා ද, ඔය කියන ආත්මන්ගේ උද්‍යානය සොයාගන්න, සාහිත්‍යය මාර්ගයෙන්?" සුමන ඇසී ය.
"ආදම් ගේ... මම කීවේ ආදම් ගේ උයන..." රොස්කෝ පිළිතුරු දුන්නේ ය. "කිසිම ආගමික පාඨයක තිබුණේ නෑ ස්ථානීය තොරතුරු මොනවත් ම. ඒත් අද්මිරාල් ඇන්ඩර්සන් ළඟ තිබුණා මහා ඇලෙක්සැන්ඩර් ගේ ලේකම් මිටි, චීන පූජකයන්, ග්‍රීක සහ ලතින් වෙළෙන්දන්, ඔටෝමන් යාත්‍රිකයන්, සිතියම් කරුවන්, ස්වාභාව විද්‍යාඥයන් ආදී බොහෝ මූලාශ්‍රවලින් උපුටාගත් සටහන්... ඒ සියල්ල යොමු වුනේ ඉන්දියාවට පහළින් පිහිටි සාගරයෙන් වට වුණු කුඩා දිවයිනක් වෙත..."
* * *
හිමිදිරි පාන්දර... රෑ තිස්සේ ගොදුරු සොයා අහස පුරා රවුම් ගැසූ වවුලන් සිය නවාතැන්වලට පියාඹා යන්නට පටන් ගනිද්දී... තවමත් ගස් උඩ ලැගගෙන උන් කුකුළන් තවත් දවසක් පටන් ගන්නට හඬළද්දී... තණපත් මත වූ පිනි බිඳු හිරු ගේ පළමු රැස් දහරින් ළා රත්පැහැයෙන් දිළිසෙද්දී... ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් මාඑළිය වනාන්තරයේ සීමාවට ළඟා වන්නට සමත් විය.
ඔහුගේ සිත ප්‍රබෝධයෙන් පිරී ගොස් තිබුණේ හිමිදිරියේ පරිසරය මවා පෑ චමත්කාරයෙන් ම පමණක් නොවේ...
කුරුඳු ළිහිණි වික්‍රමයෙන් පසු ඔහුට නැවත තාරා හෙවත් අග්නි හමුවූයේ ඊට පෙර දින ය. ඇගේ රුව දැකීමෙන් පමණක් ම ඔහු තුළ හට ගැනුණු විපර්යාසය ඇගේ සියුම් නිරීක්ෂණයට හසු විය. මා එළිය ගම්මුලාදෑණියාගේ නිවසේ දොරකඩ දී ඔහු අසු පිටින් බසිද්දී, ආලින්දයේ උස් පිළෙහි වාඩිවී සිටි ඈ නැඟිට්ටේ නොඉවසිල්ලෙන් බවත්, ඉදිරියට දිව එන්නට තරම් ඈ තුළ ඇති වූ තදියම ඈ මනාව පාලනය කරගත් බවත්, නාවුකයාගේ දෑසින් ද මඟ හැරුණේ නැත.
අසරුවෝ දෙ දෙනා වනාන්තරයට ඇතුල් වෙද්දී, මඟ පෙන්වීමට සහ ගම්මුලාදෑණියාගේ ආගන්තුක සත්කාරය ප්‍රකාශ කිරීමට ඔවුන් සමඟ පසුගමන් ආ ගැමියෝ කිහිප දෙනා නැවතුණ හ. ඒ පිරිසේ සිටි වැඩිමහල් මනුෂ්‍යයා කොළ අත්තක් කඩා, එතැන වූ මහ නුග ගසෙහි එල්ලා කෙටි යාතිකාවක් කරමින්, රාජකාරිය පිණිස වනයට ඇතුල් වූ අසරුවන් දෙ දෙනා අයියනායක දෙවියන්ට භාර කළේ ය.
* * *
කුඩා දියපහර, නො උස් දිය ඇළි, පාසි බැඳුනු ගල්, කඩා වැටී දිරාපත් වෙමින් පැවති දැවැන්ත කොටන්, කඳුකර තෙත් කළාපීය වනාන්තරයේ පැවති ඝන යටිරෝපණය... ඒ කිසිවක් අසරුවන් දෙ දෙනාට සැළකියයුතු අවහිරයක් වූ බවක් නොපෙනිණ. එහෙත් මාර්ගය වඩ වඩා බෑවුම් සහිත වන විට, ගල් කුට්ටි බහුල වන විට... අසු පිටින් යා හැකි සීමාව ට පැමිණි බව ඔවුන් හට වැටහිණ.
සිනා හඬ නඟමින්, පෙණ බුබුළු නංවමින් ගළා ගිය දිය පහරක් අසළ නැවතුණු දුර්ගා අසු පිටින් බැස්සා ය. ඇගේ පසුපසින් ළඟින් ම ආ ඇඩම් ද ඈ අනුගමනය කළේ ය. දිය පහර අසළට ගිය ඔහු රවුම් ගළක් උඩ වාඩි විය. ගළා යන දියෙහි සිසිලස තම දෑතට දැනෙත්ම දුෂ්කර ගමනේ වෙහෙස නිවී යන්නට පටන් ගන්නා සේ නාවුකයාට දැනුණි. මුහුණට විසිකරගත් දිය බිඳු කිහිපයකින් සෑහෙන තරම් ප්‍රකෘතිමත් වූ හෙතෙම, දිගු ඇඟිලි වකුටු කරගෙන, දිය දෝතක් ගෙන අග්නි වෙත දමා ගැසී ය.
උරහිස් වකුටු කරගනිමින් පසෙකට හැරුණු කාන්තාවගේ පිට කොන්ද සහ හිස පිටුපසින් තද කළුවන් බෝලයක් මෙන් ගැටගසාගෙන සිටි කොණ්ඩය තෙමී ගියේ ය. අශ්වයා ගේ පිට හරහට දමා තිබූ රෙදි උරය තුළට අත යැවූ දුර්ගා කොළපතක් දෙකට නවා සකස් කර තිබූ පසුම්බියක් එළියට ගත්තා ය. එය ද රැගෙන ඈ අද්මිරාල් ගෙන් පියවර කිහිපයක් ඈතින් පිහිටි ගස් සෙවණක් වෙත ඇදුණේ මවාගත් නොමනාපයක් සටහන් වූ මුහුණිනි.
තාරා, කොළපත දිගහැරගෙන, එතුළින් එළියට ගත් අග්ගලාවක් ඇඩම් වෙත පෑවා ය. ඔහු එය ගන්නට සුරත දිගු කරගෙන තමන් වාඩි වී සිටි ගල මතින් එසවෙත් ම, ඈ බුහුටි ලෙස අග්ගලාව කටේ දමා ගත්තේ සමච්ඡල් මඳ සිනහවක් පාමිනි.
කුඤ්චනාද දහසක් එකපිට නැඟෙන්නා සේ කණ හිරිවැටෙන සුළු තියුණු හඬක් ඇසුනේ එක් වරමය. හාත්පස හෙවුණු ගස් අතු පතර කුණාටුවකට අසුවුණාක් මෙන් කරකැවෙන්නට විය. අශ්වයන් දෙ දෙනා කුළප්පු වී වනය තුළට දුවද්දී, දැවැන්ත අත් පසුරු දෙකකින් ඒ සතුන් දෙ දෙනා අල්ලා ගැනෙනු මඟියෝ දෙ දෙනා දුටහ. අත්තටු ගැසෙන හඬ, ගස් අතු වැනෙමින් කඩා වැටෙන හඩ, සමඟ මුසුවූ අශ්වයන්ගේ විළාප හඬ... අතර මැද, නාවුකයා සහ දුර්ගා තමන් සිටි දැවැන්ත ගසෙහි මුල් අතර ගුළි වූහ.
https://www.facebook.com/Mama955/photos/a.1776803785937354/2366976573586736/ චිත්‍ර ශිල්පී - ප්‍රසන්න වීරක්කොඩි |
29 කොටස...