Monday, April 11, 2022

පාස්කු හාවා සහ බිත්තර...

ජේසුස් වහන්සේ මරණින් නැගිට්ටායැයි විශ්වාස කෙරෙන පාස්කු ඉරිදා, හාවෙක් පාට කරපු බිත්තර හංගමින් කරන්නේ මොකද්ද?


හිටපු ගමන් මට ඇති වෙච්ච ප්‍රශ්නය ඒකයි. ඉතින් පටන් ගත්තා ඒ ගැන හොයන්න.

තවත් එදා අප දුටු චිත්‍රපටියකට ඔත්තුවක්

රෝමානු සංස්කෘතිය යුරෝපයේ, විශේෂයෙන් ඇංග්ලෝ, සැක්සන්, ගොත් ප්‍රදේශවල පැතිරෙන්නට කලින්, ඒ ප්‍රදේශවල මුල්බැහැගෙන තිබුණේ නෝර්ඩික් කළවමක් සහිත පේගන් ඇදහිලි. නත්තලේ පේගන් මුල් ගැනත් මේ වගේ ම හොයා බැලිල්ලක් මම මීට කලින් සිදු කළා.

ඉයෝස්ට්‍ර, ඔස්ටේර, හෝ ඇස්ටාර්ටේ නමින් ඇතැම් ප්‍රදේශවල හඳුන්වන, ඊස්ත්‍රා හෝ ඌස්ත්‍ර (Eostre) යැයි ඇංග්ලෝ සැක්සන් උච්ඡාරණය සහිත නමින් හැඳින්වුණේ, හිමිදිරියට සහ සරු බවට අධිගෘහිත පේගන් දෙවඟන. ඇය සැමරීම වසන්තයේ උදාවත් සමඟ ම හෙවත් අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළ සිදුවුණු පේගන් උත්සවයක්. ආදී ජර්මානු කැලැන්ඩරයේ, අප්‍රේල් මාසයට සමපාත වූ මාසය හැඳින්වුණේ ඌස්ත්‍රමානුද් හෙවත් ඊස්ටර් මාසය යනුවෙන්. 

පේගන් සූර්ය කැලැන්ඩරයට අනුව, වසන්ත සෘතුව ආරම්භ වී පළමු පුර හඳට පසුව එළඹුණු ඉරිදාව තමයි දැන් පාස්කු ඉරිදාව ලෙස හැඳින්වෙන්නේ. 

වසන්ත කාලයේ හාවුන් ඉතාම කාර්ය බහුල ලෙස තම ප්‍රජාවගේ සරුබව පෙන්නුම් කරන නිසා, සරළව කිව්වොත් ඉතාම කාර්ය බහුල ලෙස වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියේ නිරත වෙන නිසා, සරු බව සංකේතවත් කරන  ඊස්ත්‍රා දේවතාවියගේ සංකේතය විදිහට හාවුන් යොදා ගන්නට ඇතැයි සැළකෙනවා.

අනික් අතට, ශීත සෘතුවේ ඉතාම අල්ප විදිහට කිකිලියන් බිත්තර දැමුවත්, වසන්තය උදා වීමත් එක්ක ඔවුනුත් සක්‍රිය වෙනවා.

වසන්තයේ උදාව ඉතාම වර්ණවත්. මොකද හැම තැනකම අලුත් දළු දැමූ ගස් අතු රිකිලි, වර්ණවත් මල්, අළු පැහැය වෙනුවට අහසේ දීප්තිමත් නිල් පැහැය දකින්න ලැබෙනවා. ඒ විදිහට ම තද පාටවල්වලින් බිත්තර වර්ණවත් කිරීම පේගන් සිරිතක් විදිහට හඳුනා ගැනෙනවා.

පාස්කුවට පෙර දින රාත්‍රිය ගිණිමැල දල්වාගෙන සමරන ලද බව 19 වන සියවසේ විසූ ජේකබ් ග්‍රිම් (ග්‍රිම් සොහොයුරන්ගෙන් කෙනෙක්) ලියනවා. පසුවදා උදෑසනින් ම ළිඳිකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් වතුර ශුද්ධ වූ හෝ සුවපත් කරවන බලයක් ඇති වතුරක් ලෙස විශ්වාස කෙරුණා. 

ජේකබ් ග්‍රිම් කියන හැටියට, ඊස්ත්‍රා කියන්නේ හිමිදිරියේ ගළාඑන හිරු එළිය. අරුණළු ගලන්නේ ඉහළ සිට පහළට නොවෙයි. හිරු මුලින් ම සිතිජයෙන්හි උඩට නැගෙද්දී, රතුවට හුරු පළමු ආලෝක දහර ගලාගෙන එන්නේ හරස් අතට. එහි දකින්නට තිබෙන චමත්කාරය නව ජීවනය සංකේතවත් කෙරුණා. වසන්ත සෘතුවේ මුල්ම දවස්වල දකින්නට ලැබෙන හිරු එළිය කොහොමත් ජීවය ගැන පොරොන්දු ඇතිකරවන්නක්.

ඉතින් පසුකාලීන ක්‍රිස්තියානියට ජේසුස් වහන්සේ නැවත මරණින් නැගිටීම සංකේතවත් කරන්නට ඊට වඩා හොඳ කාලයක් හිතාගන්නට බැරි වුණා විය හැකියි.

අනික් අතට, බෛබලයේ සුභාරංචි හතරට ම අනුව ජේසුස් වහන්නේ කුරුසයේ ඇණ ගසන ලද්දේ යුදෙව් කැලැන්ඩරයට අනුව නිසාන් මාසයේ (වර්තමාන මාර්තු - අප්‍රේල්) 14 වන දිනයේ වන අතර, යුදෙව්වන් අතර ප්‍රචලිත "පළමු පලවැල භුක්ති විඳීමේ උත්සවය" දිනයේ උන්වහන්සේ මරණයෙන් නැගිට්ට බව සළකා ගත හැකියි. මේ ‌තොරතුර අනුව බහුතරයක් දෙනා පිළිගන්නේ උන්වහන්සේ කුරුසිපත් කරන ලද්දේ සිකුරාදා දිනයක බවයි. මේ ගැන සොයා බැලූ අයිසෙක් නිව්ටන් කියන්නේ, පොන්ටියස් පිලාත් ගේ පාලන කාලය ඇතුළත (ක්‍රි. ව. 31 - 36) නිසාන් මස 14 වන දින සිකුරාදා දිනයක් වන්නට ඉඩ තිබෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මස 3 වන දිනයේ වන බවයි.

මූලාශ්‍ර

http://www.arcane-alchemy.com/blog/2020/3/5/all-about-eostre-the-pagan-goddess-of-dawn#:~:text=Eostre%20is%20the%20Germanic%20goddess,name%20for%20Spring%20Equinox%20celebrations.

https://www.countryliving.com/life/a41715/easter-bunny-origins/

https://www.goodhousekeeping.com/holidays/easter-ideas/a31226078/easter-bunny-origins-history/

https://en.wikipedia.org/wiki/Chronology_of_Jesus

27 comments:

  1. කෝ යකෝ මං දාපු comment එක.....

    ReplyDelete
    Replies
    1. මං ඒක කෑවා.

      #GoHomeNamiya! 

      Delete
    2. බස්සාස් හිට් ද කොමෙන්ට්

      Delete
    3. හුටා යකෝ මං හිතුවෙ මේක බස්සගෙ බ්ලොග්ස් එක කියල. යටිං බස්සගෙ කොමෙන්ට් එක දැක්කට පස්සෙ තමයි බැලුවෙ උගේ එකේ ඌම කොමෙන්ට් කරන්නෙ ඇයි කියල. හැක්..

      #னyaEatWawula

      Delete
    4. දඩිබිඩි නයාට වලිගෙ පෑගිලා හූ!!!

      #னyaHitByWrongTorch

      Delete
    5. අපි නමියගෙ කමෙන්ට් එක නැතිවීම ගැන හොයන්න කොමිසමක් පත් කරමුද? පත් කරපු එවුන් මාසෙන් පැනලා දිව්වොත්...

      Delete
    6. නමියගෙ කමෙන්ට් එකට කොවිඩ් හැදිලා ලංකා හොස්පිටල් ඇතුල් කළා.

      Delete
  2. ඩ්‍රැක්ස්..... ඔය පාස්කු හාවයි, බිත්තර කේෂ් එකයි දැනගන්න මාත් හිටියෙ හිට.

    ReplyDelete
    Replies
    1. හිටං හිටිය නං කකුල් රිදෙනව ඇති නෙ. කියවල ඉවර උනහම වාඩි වෙමු.

      Delete
  3. හ්ම්....සිත් ඇදගන්නා සුළු විග්‍රහයක්.🙏👌

    අතුරු ප්‍රශ්ණයක්: බෛබලයේ?? මොකක්ද මේ කොම්බු දෙකේ සෙල්ලම. මම කීප තැනකම දැක්කා?

    සූසෛඩ්, බෛයන්, පෛ-ත-ගරස්

    ReplyDelete
    Replies
    1. ඓ,ඖ ස්වර යෙදිය යුත්තේ සකු වදන් ලිවීමේදී පමණයි.
      මෙය රීතියක්.
      ඒ අනුව
      බෛබලය
      ඓස්
      වෛරස
      ඓයා
      ඖට්විෂ්ට් වැනි වදන් වැරදියි.

      ලංකාවේ එසීන් වරයෙකුත් ඉන්නවා. එතුමා හරියට දෙවියන් වහන්සේ අදහන විදිය කියලාදෙයි.
      https://www.youtube.com/channel/UCzJhTere9ziQZN0EUfuWv0g

      Delete
    2. බකුස්,
      මම කියවල තියෙන ගොඩක් තැන් වල බෛබලය කියල ලියන්නෙ කොම්බු දෙකෙන්. දෙමළෙ නං අයි කියල ලියන්නෙ ම අදාළ පිල්ලමෙං මිසක් අයි කියල නෙමෙයි.

      ජගත්,
      ස්ථිර ක්‍රමයක් අක්ෂර වින්‍යාසයට නැති බව මට හිතෙන්නෙ. ඒක කාලෙන් කාලෙට සමාජයේ වැඩිදෙනා භාවිත කරන ක්‍රමය. එහෙම සර්වකාලීන ස්ථාවර සම්මතයක් නෑ.

      Delete
  4. Last Kingdom series එකට පාදක වුන බර්නාර්ඩ් කෝර්න්වෙල්ගෙ සැක්සන් පොත්වල නෝර්ස් (සහ සමාන) සහ ක්‍රිස්තියානි ආගම් දෙකම එකට තිබුන කාලෙ ගැන ටිකක් තියනව.
    ක්‍රිස්තියානින් ඊස්ටර් සමරනකොට පේගන්ස්ලා eostre උත්සව කරන එකයි, ක්‍රිස්තියානි පූජකයින් ඒවා අඩු කරන්න තැත්කරන එකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...! කියවන්න ඔ්නෙ,පෙන්ෂන් ගියාම.

      Delete
  5. ඒක දැනගත්ත එක වටිනව.

    කොහොමත් னයින්ට බිත්තර කියන්නෙ ඉතිං.....

    ReplyDelete
    Replies
    1. බිත්තර කාහං, අඳුකොල මැල්ලුං එක්ක.

      Delete
  6. මතකද අපි, යෙෂුවා වහන්සේ වේසා ගැහැණිය ගැන කී කතාව ගැන වාද කලා.
    අපි දෙදෙනාටම එතනදී වරද්දාගත්තා.
    අප කල වරද වන්නේ දේව වචනය ලෝකාකාරව තේරුම්ගන්නට උත්සාහ ගැණීමයි.
    එය තේරුම් ගන්න ඕනේ දේව වචනය තුලින්මයි.

    බයිබලයේ එසකියල් පොතේ දෙවි යුදෙව් ජාතියට කියලා තියෙනවා.
    උඹ මට විරුද්ධව වේසාකම් කලාය.
    අනිත් වේසා ගෑණු නම් වේසාකම් කරන්නේ උන්ගේ නැතිබැරිකම නිසාය. ඒත් උඹ කලේ සල්ලි දීලා මිනිස්සු ගෙන්වා ගත්තා වගේ දෙයකි.
    උඹ වේසාකම්කල එකා එක්කම ඉඳු.

    එනම් යෙහෝවා වහන්සේගේ පැත්තෙන් බැලුවොත් මුළු යුදෙව් ජාතියම වේසා ගැහැණියකට සමානයි.

    යෙෂුවා වහන්සේගේ සිද්ධියෙදි එතන හිටපු යුදෙව් ආගමික නායකයෝ මේ කතාව දැනගෙන හිටියා. ජීවිතේට පව් නොකල කෙනෙක් ඉන්නවා නම් පලමු ගල ගහන්න කිව්වේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔය වගෙ කතාවක් පෙන්ග්වින් දිවයිනේ තියෙනව.

      "ස්ත්‍රියක් සිය ශරීරය මුදලට විකුණන්නේනේ නම් ඇය කරන්නේ පාපයකි
      මොක කජ්ජක්වත් නොලබා සිය ශරීරය විකුණන්නේ නම් ඇය කරන්නේ ඊටත් වඩා පාපයකි"

      Delete
  7. බලාගෙන යනකොට නිසාන් මාච් එකේ නම හැදිලා තියෙන්නෙත් යුදෙව් කැලැන්ඩරේට අනුව ඈ.

    ReplyDelete
    Replies
    1. මාච් එක විතරයැ? නිසාන් සනි කියන්නෙ, මාර්තු අප්‍රේල් මාස දෙකේ හොඳට ඉර පායනව කියන එකනෙ.

      Delete
  8. උගත්කමයි තොරතුරු දැන ගැනුමයි කොච්චර අගීද කියා පෙනෙයි
    ඉස්සර ඩ්රැකීගෙ නිර්මාණයකත් මේවයෙ තතු තිබුණා මතකයි
    කඳ බඩ තිබ්බට විතරක් මදි බව මහීෂයන්හට නොම තේරෙයි
    බලය ඇතත්, මොළයක් නැති අය දැන් 'උම්බෑ' කියනව රට පෙනෙයි!

    ReplyDelete
    Replies
    1. කිව්වත් සමහර උදවිය උම්බෑ
      හරක් ම කියලා කියන්න නම්බෑ
      කරනා කියනා දේ ගැන හිතලා
      කියමුද හරක්ද නැද්ද කියාලා

      Delete
  9. සටහනට තුති, බයිබලය ලියු විදිහට නම් මටත් මුලදි පැටලුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අහස්...🛸 ඔය මං කියවලා තියෙන විදිහ

      Delete
  10. ඇවිත් ගියා ඔන්න මාත්🤗

    ReplyDelete
    Replies
    1. තේ කහට ඩිංගක් බීල ම යමු?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි