Wednesday, September 28, 2022

මට වෙන කිසිවක් එපා


ඒ වසන්ත උත්සවයයි. දැකුම්කලු ඇඳුමෙන් සැරසුණු ජනයා නගරයෙන් පිටත පටු මාවත් ඔස්සේ ඇදී එන්නට වූහ. සිය ගුහා තුළින් පිට ව දීප්තිමත් ඉර අව්ව බලා ඇදෙන පැහැපත් හාවුන් රංචුවක් මෙන් මහා ජනකාය අතුරු සිදුරු නැති වෙළඳ පොළ දෙසට යුහුසුලු ව ගමන් ගත්හ. දෙපසින් ගමන් කළ අම්මාටත්, තාත්තාටත් මැදි ව කුඩා පිරිමි ළමයෙක් හැල්මේ දිව්වේය. උදෑසන සිරියෙන් පිබුදු වූ ඔහුගේ සිත, සුපිපි කුසුමින් හා මිහිරි ගීත රාවයෙන් සපිරි කෙත් යාය දෙසට ඇදී ගියේය.

"එන්න, දරුවා එන්න," මඟ දෙපස වෙළඳ සැල්වල සෙල්ලම් බඩු බලමින් ලැග්ගෙන්නට වූ ළමයාට දෙමවුපියෝ අඬගැසූහ.

ඔහු දෙමවුපියන් ළඟට දිව්වේය. දෙමවුපියන්ගේ අඬගැසීමට ඔහුගේ දෙපා අවනත වූව ද, දෙනෙත් සෙල්ලම් බඩුවල ම ඇලී තිබිණි. තමා එන තුරු නැවතී සිටි දෙමවුපියන්ගේ බැල්ම තේරුම් ගත හැකි වූව ද, ඔහුට සිය  හදවතෙහි ආසාව මැඩ ගත නොහැකි විය.

"මට ඕනෑ අර සෙල්ලම් බඩුව," ඔහු කෙඳිරි ගෑවේය.

පියා ළමයා දෙස රවා බැලුවේය. එදා දවසේ වූ උද්‍යෝගයෙන් පිබිදුණු අම්මා ද ඔහුගේ ඉල්ලීම ගණනකට නොගත්තාය.  ඈ ළමයාට ඇඟිල්ල අල්ලා ගැනීමට දෙමින් "බලන්ඩකො පුතා, අර මොනව ද තියෙන්නෙ කියල තව ඉස්සරහ," යි කීවාය.

"අ-ම්-මේ" ඉකි ගැසූ ඔහුගේ දෙනෙත් ඉදිරිපස වූ විසිතුරු දර්ශනයෙන් පිරී ගියේය. මෙතෙක් තමන් ගමන් කරමින් සිටි ගුරු පාරෙන් උතුරට හැරුණු ඔවුහු කෙත් යායක් මැදින් වැටී තිබුණු අඩි පාරකට පිවිසුණෝය.

ඒ රන්වන් මලින් පිරුණු අබ කෙත් යායකි. එහි සුළඟින් නැඟෙන රැලි පෙළ, ඈත පෙනෙන ආලෝක ධාරා සාගරය කරා නොයෙක් අතු ගංගා සහිතව ගලා බස්නා රත්තරන් ගංගාවක තරංග මාලාව වැන්න. එය අවසන් වන තැන එක් පසෙක මැටියෙන් තැනූ ගෙවල් සමූහය ඊට පහළින් දක්නට ලැබුණු කසාවතින් සැරසුණු ජනකාය නිසා වඩාත් ඉස්මතු වී පෙනිණි. මිනිසුන්ගේ කට හඬින් සහ නළා හඬින් මුළු පෙදෙස ම ඒක කෝලාහල විය.

ප්‍රීතියෙන් කුල්මත් වූ ළමයා දෙමවුපියන්ගේ මුහුණු බැලුවේ ඔවුනුුු තමන් මෙන් ම ප්‍රීති වෙත් දැයි විමසන්නට මෙනි. ඔහු අඩි පාරෙන් ඉවත පැන වසු පැටවෙකු මෙන් කෙත් යායේ ඒ මේ අත දුවන්නට විය. අබ කෙත් යාය පිගෙන එන සිසිල් මඳ සුළඟ ඔහුගේ දෙපා වැළඳ ගත්තේය.

දම්පාට පියාපත් විදහාගෙන පියාසර කරන කූරන් රංචුවක් එහි වූහ. ළමයා කූරෙකු අල්ලා ගැනීමට තැත් කළේය. ඌ පියාපත් හකුළාගෙන පැළෑටියක වසන තුරු ම පසු පස දිව්වේය. ළමයා කූරා අල්ලා ගැනීමට අත දිගු කරත් ම ඌ පියාපත් විදහාගෙන ඉගිළී ගියේය. ළමයාගේ කන ළඟ කරකැවුණු මීමැස්සෙක් ඔහුගේ තොලෙහි වැසීමට සූදානම් විය.

"එන්න ළමයා, පාරට එන්න," මව අඬගැසුවාය.

දෙමවුපියන් කරා දිව ගිය ළමයා ඔවුන්ගේ ඇඟෙහි ගැටෙමින් ප්‍රීතියෙන් ගමන් කළේය. එහෙත් අව්ව තැපීමට ගුල්වලින් පිටතට ඇදෙන කෘමීන් සහ පණුවන් කෙරෙහි සිත් ඇදී ගියෙන් ඔහු නැවතත් පහු වුණේය.

"එන්න පුතා, එන්න," ළිඳක් අසල සෙවණෙහි හිඳගත් දෙමවුපියෝ ළමයාට අඬගැසුවෝය. ඔහු ඔවුන් වෙතට දිව ගියේය.

මල් පිපුණු නොයෙක් ගස්වැල්වලට ඉහළින් අතු පතර විහිදා නැඟී සිටි විශාල නුග ගහක් එහි විය. මල් සුවඳ මඳනල සමග මුසු විය.

රුක් ගොමුවට පිවිසුණු ළමයාගේ හිස මත මල් පෙති පතිත විය. දෙමවුපියන් අමතක කළ ඔහු වැටෙන මල්පෙති ඇල්ලීමට පටන් ගත්තේය. මොහොතකින් පරවියෙකුගේ හඬ ඇසූ ඔහු, "පරෙයියෙක්, පරෙයියෙක්" කියමින් දෙමවුපියන් ළඟට දිව ගියේය. ඔහු අත වූ මල් පෙති බිම වැටුණේය. දෙමවුපියන්ගේ මුහුණුවල වූයේ කුතුහලයෙන් පිරි බැල්මකි. කොවුලෙකු නැඟූ ආදර රාවයෙන් ඔවුන්ගේ හදවත සැහැල්ලු විය.

"එන්න පුතා." නුග ගස වටා යමින් සිටි ළමයා කැඳවා ගත් ඔවුහු අබ කෙත් යායේ සිට වෙළඳ පොළ දක්වා වැටී තිබුණු පාර දිගේ ගමන් කළහ.

වෙළඳ පොළ දෙසට වැටී තිබුණු හැම පාරකම මහ සෙනග පිරී සිටියහ. එහි පිවිසෙන දොරටුව අසල වූ කලබලයෙන් ඔහු අන්දුංකුන්දුං විය.

වෙළෙන්දෙක් දොරටුව අසල රස කැවිලි විකුණමින් සිටියේය. රිදී සහ රන් පැහැති කඩදාසිවලින් සරසන ලද මේසය වටා සෙනග රොක් වී සිටියහ. ළමයා දෙනෙත් මහත් කොට සීනි බෝල දෙස බැලුවේය. ඔහුගේ කටට කෙළ ඉණුවේය. "මට ඕනෑ සීනිබෝල." ඔහු ‌කොඳුළේය. එහෙත් සිය ඉල්ලීම දෙමවුපියන්ගේ සැලකිල්ලට භාජන නොවනු ඇතැයි සිතූ ඔහු නොනැවතී ඉදිරියට ගමන් කළේය.

මිනිහෙක් සුළඟ‌ේ ලෙළදෙන කහ, රතු, නිල් සහ දම් පාට බැලුන් රැසක් ගැට ගසා ගත් රිටක් ඉහළට ඔසවාගෙන සිටියේය. ඒ බැලුන් සියල්ල ම අත්කර ගන්නට ඇත්නම් යයි හැඟෙත් ම ලොකු ළමයින්ට බැලුන් ඕනෑ නැහැ යි දෙමවුපියන් කියනු ඇතැයි ඔහුට සිතිණි.

නයි නටවන්නෙක් ඔහුගේ නළාව පිඹිමින් සිටියේය. පෙට්ටිය තුළ දරණ ලා ගෙන සිටි னයා නළා හඩ ඇසෙත් ම දර්ශනීය ලෙස හිස එසවූයේය. ළමයා නයි නටවන්නා දෙසට ගියේය. එහෙත් එබඳු තැන්වලට නොයන ලෙස දෙමවුපියන් කලින් කර තිබුණු අවවාදය සිහි වූ ඔහු ආපසු පියා ළඟට දිව්වේය.

වේගයෙන් කරකැවෙන 'මෙරිගෝ රවුමක්' එහි විය. එහි නැඟී සිටි සියලුදෙනා ම ප්‍රීතියෙන් කෑ ගැසූහ. ළමයා එදෙස බලා සිටියේ එහි යෑමට ආසාවෙනි. ඔහුගේ මුවගට මඳ සිනාවක් නැඟුණි. ඔහුගේ ඇස් ද මෙරිගෝ රවුම අනුව කරකැවුණේය; විස්මයෙන් කට බාගෙට ඇරුණේය. තමා ද ඒ සමග ම රවුම් ගසන ලෙසක් ඔහුට දැනුණි. මෙරිගෝ රවුමේ වේගය කෙමෙන් බාල විය. එය නතර වන තෙක් ළමයා ඇඟිල්ලක් කටේ දමාගෙන බලා සිටියේය. දෙමවුපියන් නිතර ම කරන වැළැක්වීම මැඩගෙන ඔහුගේ ආසාව ඉස්මතු විය. අන්තිමේදී ඔහු ඉල්ලීමක් කිරීමට තරම් එඩිතර විය.

"අනේ තාත්තේ,... අම්මේ,... මමත් යන්ඩ ඕනෑ මෙරිගෝ රවුමේ." ඔහු කීවේය. එහෙත් එයට පිළිතුරක් නොලැබුණි. ඔහු දෙමවුපියන්ගේ මුහුණු බැලීමට ආපසු හැරුණේය.

ඔවුහු එහි නොවූහ. ඔහු අනෙක් පස හැරී බැලුවේය. ඔවුහු එහි ද නොවූහ. අනතුරු ව ඔහු පිටු පස බැලුවේය. දෙමවුපියන්ගේ සලකුණකුදු එහි නොවූයේය.

ළමයාගේ උගුර කට වේළුණේය. යටිගිරියෙන් මහ හඬක් නැඟුණි. සිරුරේ වූ හදිසි ගැස්මක් සමග ම ඔහු මහ හඬින් කෑ ගසමින් දුවන්නට පටන් ගත්තේය.

"අනේ... අම්මේ... තාත්තේ."

ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා බැස්සේය; බියෙන් මුහුණ විරූපී විය. වරක් ඔහු එක් අතකට දිව්වේය. යළිත් වරක් අනෙක් අතට දිව්වේය. අනතුරු ව යා යුතු අතක් නොදැන ඔළුව හැරුණු හැරුණු අතට දිව්වේය.

"අම්මේ... තාත්තේ..."

ඔහු වැලපුණේය. ඔහුගේ උගුර බැරෑඬි විය. හිසෙහි වූ කසාවන් තලප්පාව ගැලවුණේය; ඇඳුම් ඩහදියෙන් තෙත් විය; සිරුරෙහි වූ දූවිලි ඩහදිය සමග මුසු වී මඩ තැවරුණාක් මෙන් වූයේය.

මඳ වේලාවක් ඔබ මොබ දිවීමෙන් තෙහෙට්ටුවට පත් ඔහු නැවතුණේය. ඔහුගේ කෑගැසීම ඉකි බිඳීමට හැරුණි. මඳක් ඈතින් තණ බිමෙහි කතාබස් කරමින් සිටි ගැහැනුන් හා පිරිමින් කණ්ඩායමක් ඔහු දුටුවේ කඳුළු බිඳු අතරිනි. ඔවුන් අතර, අම්මාත්, තාත්තාත් සිටිත් දැයි සොයා බැලීමට ඔහු වෙහෙසුණේය. එහෙත් ඔවුන්ගේ සේයාවකුදු එහි නොවූයේය. ඒ සෙනග විනෝදයෙන් කතාබස් කරමින් හා සිනා සෙමින් සිටියහ.

අනතුරු ව ඔහු දිව ගියේ අතුරු සිදුරු නැති ව සෙනග රැස් ව සිටි දේවාලය දෙසටය. හැම තැන ම සෙනගය. ළමයා ඉකි බිඳිමින් අම්මේ... තාත්තේ යි කොඳුරමින්, සෙනග අතරින් රිංගාගෙන ගියේය. දේවාලයේ දොරකඩ සෙනග උරෙනුර ගැටී තෙරපෙන්නට වූහ. අසරණ ළමයා ඔවුන්ගේ කකුල් අතරින් රිංගා යාමට තැත් කළේය. මිනිසුන්ගේ පා ගැටීමෙන් ඔහු ඒ මේ අත විසි වී ගියේය. ඔහු තමාට හැකි තරම් උස් හඬින් "අම්මේ... තාත්තේ."යි කෑ නොගැසුවේ නම් මිනිසුන්ගේ පයට පෑගෙනු නිසැකය. ඔහුගේ කෑගැසීම් ඇසුණු එක් මිනිහෙක් ඉතා අමාරුවෙන් පහත් වී ළමයා ඔසවා ගත්තේය.

"මේ ළමයා කොහොම ද මෙතනට ආවෙ? ඔයා කාගේ ද?" ඔහු ඇසුවේ මහත් ආයාසයෙන් සෙනග පොදියෙන් මෑත් වෙමිනි. ළමයා පෙරටත් වඩා තදින් හැඬුවේය.

"මට අම්මා ඕනෑ, මට තාත්තා ඕනෑ."

මිනිහා මෙරිගෝරවුම ළඟට ළමයා කැඳවාගෙන ගියේය. "පුතා කැමති ද අස්සයෙක් පිට යන්න?" ඔහු ඉතා මුදු මොළොක් ලෙස ඇසුවේය.

ළමයා ඉකිබිඳ අඬන්නට විය.

"මගෙ අම්මා ඕනෑ මට, මගෙ තාත්තා ඕනෑ මට."

මිනිහා නයි නටවන්නා ළඟට ළමයා කැඳවාගෙන ගියේය.

"අහන්නකො ඒ නළාවෙ අඬ," ඔහු කීවේය.

ළමයා කන් දෙකේ ඇඟිලි ගසා ගත්තේය. "මට ඕනෑ අම්මා, මට ඕනෑ තාත්තා," දෙගුණ වූ වේගයෙන් කෑ ගැසුවේය.

මිනිහා බැලුන් වෙළෙන්දා ළඟට ළමයා කැඳවාගෙන ගියේ බැලුන්වල විසිතුරු පැහැයෙන් ඔහු සැනසිය හැකි යයි සිතමිනි.

"ඔයා ආස ද මේ පාටපාට බැලුන්වලට?" ඔහු ඇසුවේය.

ළමයා අහක බලාගෙන ඉකිබින්දේය.

"මට ඕනෑ මගෙ අම්මා, මට ඕනෑ මගෙ තාත්තා."

ළමයා සැනසීමට තැත් කළ කරුණාවන්ත මිනිහා මල් වෙළෙන්දා ළඟට ගියේය.

"බලන්නකො මේ මල්වල සුවඳ. ඔයා කැමති ද මේ මල් මාලයක් කරේ දාගන්ඩ?" ඔහු ඇසුවේය.

නාසය හකුළුවාගෙන ඉවත බැලූ ළමයා ඉකිබිඳ හඬන්නට විය.

රසකැවිලි ගෙන දී හෝ ළමයා නැළවීමට සිතූ මිනිහා ඔහු රස කැවිලි වෙළෙන්දා ළඟට කැඳවාගෙන ගියේය.

"ඔයා කැමති මොනවාට ද?" ඔහු ඇසුවේය.

"මට... අම්මා... ඕනෑ..."

"මට... තාත්තා... ඕනෑ..."



- මුල්ක් රාජ් ආනන්ද් ගේ

The Lost Child කෙටි කතාව ඇසුරින් මව්බස කියවීම් පොතකට ඇතුලත් කර තිබූ කතාවකි. 

මුල්ක් රාජ් ආනන්ද්

  

Sunday, September 18, 2022

කයි කතන්දර - දෙමළ / සිංහල කවි

කයි කතන්දර ගැන මගෙ පරණ පෝස්ට් එකක දි සඳහන් කළා මට මතකයි. එතන දි සඳහන් කරපු බොරළැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබිලා මට මතක හිටපු කයි කතන්දර ගැන වෙන ම ලියන්න හිතාගෙන හිටියා. මේ ඒකෙ පළවෙනි ලිපිය. මෙතන මම කියන්න යන්නෙ දෙමළ භාෂාව මවුබස කරගත්ත ලාංකිකයො කීපදෙනෙක් හැදුවා කියා කියවෙන කවි කීපයක් ගැන.


දවසක් මරක්කල මනුස්සයෙකුත් ගියා බණක් අහන්න. හාමුදුරුවො සාමාන්‍යයෙන් බණ කියන්න කලිං කියනවනෙ ගාථාවක්. ඒ කල්ල හිටං තමුන්වහන්සේ වදාරණ බණ ඒ ගාථාව ආශ්‍රයෙන් තමයි පැහැදිළි කරන්නෙ. ආන්න ඒ වගේ මේ අවස්ථාවෙදිත් හාමුදුරුවො මුලින් ම දේශනා කළ ගාථාවක්...

‍ගංගාය වාලුකා ඛියෙ - උදකං ඛියෙ මහණ්ණවෙ

මහියා මත්තිකා ඛියෙ -ලක්ඛෙන මම බුද්ධියා

පහුවදා කඩපිලේ දි කවුරුත් කතා වෙනව කලින් දා රෑ අහපු බණ ගැන. ඔතන අර මරක්කල මනුස්සයත් හිටියා. එයාටත් නළියනව තමුං අහපු බණ ගැන මොනව ම හරි කියන්න. ඉති උන්දැත් කිව්වා,

"අප්පුආමිලට කියන්ඩ, ඊයෙ රා වණ ඩිංග නං බෝම ඔන්දයි තමා. මාත් ඒක ඔක්කොම එල්ලි වෙනකාං තමා ආගෙන ඉටියා..."

"අනේ පලයං තම්බි යන්ඩ." කඩේ උන්න ගැටයෙක් සමච්ඡලේට කිව්වා. "උඹල දන්න බණ..."

"ඒම කියන එක අරි නෑ මල්ලි. ඒම කියන්න යෙපා. මට ඒ වණ කවිය ෂේරම පාඩම් ඉටියා."

"හා කියහං බලන්ඩ කටපාඩං හිටපු ටික..."

තම්බිත් උගුර එහෙම පාදලා, බොහොම ආඩම්බරෙන් කිව්වා අර ගාථාව...

ගඟිය කියේ වලිය කියේ - උදය කියේ මාණවියේ

මයිය කියේ මතිය කියේ - ලකියා මම බුදියා

*    *    *

මජීදු නානා කියලා මනුස්සයෙක් උන්නා ඔය විදිහෙ. එයත් නිතරම අල්ලපු ගමේ තිබුණු පිරිවෙනට යනව එනව. ඒ පිරිවෙනේ උන්න පණ්ඩිත හාමුදුරුවො අනික් ගෝලයන්ට සිංහල කවි ප්‍රබන්ධ කරන හැටි කියා දෙනවා බලා ඉන්න එයා හරි ම කැමතියි.

දවසක් හාමුදුරුවො ඇහුවා, 

"තම්බි උපාසක, දැන් උන්නැහෙත් කාලෙයක් තිස්සේ මේ පිරිවෙනට යනවා, එනවා. කවි උගන්නන හැටිත් බලාගෙන ඉන්නවා. තාම බැරි උනා ද, තමුන්නැහැට කවියක් හදන්ඩ?"

"‌මක්කද ආමුදුරුවනේ බැරි? මටත් පුළුවන් තමා කයියක් දෙකක් අදන්ඩ..."

"ආ, එහෙනම් හදල කියමු බලන්ඩ..."

ටිකක් කල්පනා කර කර හිටපු මජීදු නානා, මේ කවිය කිව්වා...

මම උපන්න ගම නං පට්ටිපොල ගම

මම ඇදිච්ච ගම නං අකුරණ ළඟ කුරුගොඩ ගම

මම කෂාද වන්ද ගම නං රම්බඩ ගඟ වත්ත ගම

මම දෙනට පදිංචි ගම නං මාඳිපොල ගම

*    *    *

නගරබද ගෙදරක තොවිලයක් නැටුවා. ඒ ළග ගෙදරක උන්නා ලංසි පවුලක්. එහෙ වැඩට උන්නෙ දෙමළ කොල්ලෙක්. ඔය ළමයටත් ආසා හිතුණා තොවිලෙ බලන්න යන්න. ඉතිං එයා ගිහිං ගෙදර නෝනගෙන් ඇහුවා "මාත් යන්ඩද නෝනා නැටුම් බලන්න?" කියලා.

නෝනටත් හරි කුතුහලයි තොවිලෙ ගැන. ඒත් ඉතිං යන්නත් බෑ. සාමාන්‍යයෙන් ටිකක් ස්ටේටස් තියාගෙන ඉන්න ගෙවල්වල නෝනලා එහෙම යන්නෑනෙ... ඉතිං එයා කිව්වා, "හා හොඳයි. ගිහිං වරෙං. හැබැයි උඹ බලපු නැටුංවල හැම විස්තරයක් ම මට ඇවිත් කියන්ඩ ඕනෙ." කියලා.

ඉතිං අර කොලුවත් හරි සන්තෝසෙන් ගිහින් එළි වෙනකම්ම නැටුම් බලලා සතුටු වුණා.

ආපහු එද්දිත්, තොවිල් නැටුමයි එතනදි කියන දිග කවිවල රිද්මෙයි කොල්ලගෙ හිතේ... ඉතිං ආපහු ගෙදර ඇවිත් නෝනට තොවිලෙ නැටුම් විස්තර කිව්වෙත් තොවිලෙදි අහන්ඩ ලැබුණු කවිවල ශෛලියට තමන් හදාගත්ත කවියකින්...

යෙක මිනියෙක් මා දඬු කඳ කර බැඳගෙන දිඩි බිඩි බිඩි දිඩි බිඩි බිඩි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් කාෂි මල්ල පය බැඳගෙන ගඩි ගිජි ගිජි ගිඩි ගිජි ගිජි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ 

යෙක මිනියෙක් අඟුරු කබල අතට අරං දුම් ගෂ ගෂ දුම් ගෂ ගෂ යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් සුදු රෙද්දක් පොරවාගෙන බුදි බුදි බුදි බුදි බුදි බුදි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

*    *    *

ඉස්සර හිටියානේ ගෙයින් ගෙට පයින් ගිහින් වෙළඳාම් කරන මුස්ලිම් වෙළෙන්දො. ඒ අයට ඉස්සර මිනිස්සු කිව්වා මරක්කල වෙළෙන්දො කියලා. රෙදි පොට්ටනියක් හරි තොරෙම්බල් කූඩයක් හරි නැත්තං වෙන මොකක් හරි ඔලුව උඩ තියාගෙන ගමකට ඇවිදින්, දවසක් හරි දවස් කීපයක් හරි ඒ ගමේ ගෙයින් ගෙට ගිහින්, ආගන්තුක සත්කාරයක් විඳිමින්, ප්‍රවෘත්ති රැස් කරමින් සහ බෙදා හරිමින් මේ මරක්කල මිනිස්සු වෙළඳාමකුත් කරගෙන හොඳ ආදායමකුත් රැස් කරගත්තා.

මේ විදිහෙ මරක්කල පොට්ටණි වෙළෙන්දෙක් උන්නා, එයා එක ගමකට ආවම, නතර වෙනවා දවසක් දෙකක් එක ගමරාළ කෙනෙක්ගෙ ගෙදර. දවසක් උන්නැහැ ආව වෙලාවෙ දැක්කා ගම හාමිනේ කස කස ඉන්නව. ඒ මොකද කියල අහපුවාම දැනගන්න ලැබුණෙ, හොරි හැදිලා කියලා.

පරණ මිනිස්සු මොනව හ ලෙඩක් හැදුනම ගමේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නව. ඒ අතරෙ ගොඩ වෙදකමුත් කරනව. හරි යන් නෑ වගේ නං වෙලාවකුත් බලලා, සාත්තරේකුත් අහනව. 

එහෙම අහපු සාත්තරෙකට කියල තියෙනව, හොරි හැදුණෙ අපලෙකටය, තොවිලෙයක් නටන්ඩ වෙනවය කියලා. ඒත් ඉතිං ගමරාළ හරි දුප්පත්. තොවිලෙ නටවන්ඩ සල්ලි බාගෙ නෑ.

ඔය ටික අහගෙන හිටපු මරක්කල මුදලාලිට හිත උණු උනා. එයා කිව්වා, 

"ආ... මට සල්ලි එපා. මං නටන්නං තොවිලෙ. මට මේ මේ කළමනා ටික හොයල දෙන්ඩ" කියලා. ගමරාළත් කල්පනා කළා, මේකත් කරල බලමු කියලා. ඒ අනුව අර කියපු අඩුම කුඩුම ටික හොයල එදා රෑ ම තොවිලෙ පටං ගත්තා.

මරක්කල මුදලාලිත් දන්න දන්න විදිහට සිංහලෙන් තොවිල් කවි හද හදා කිය කියා නැටුවා. එහෙම කියපු එක කවියක් මේ...

පනියාරුන් කියන කැවුම් ගෙනත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

වාලෛප්පලම් කියන කෙෂෙල් ගෙඩිත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

*    *    *

ඔය වගේ තවත් මරක්කල වෙළෙන්දෙක් හිටියා, හොඳ ලස්සනට ගළපලා කවි හදලා කියන. දවසක් එයා එළගොන්දෙණියේ පොඩි අප්පුහාමිගෙ ගෙදරට ගොඩ වුණා. කොහිලකොටුවෙ ලොකු අප්පුහාමිගෙ දෝණියන් කරකාර බැඳගත්තු මේ කියන පොඩි අප්පුහාමි ඉතාම හොඳ රසවතෙක්. ඉතින් එයා ඔය මරක්කල වෙළෙන්දට යන්න දෙන්නෙ නෑ, කවියක් දෙකක් කියනකම්. ඒ පරක්කුව වෙනුවෙන් ආගන්තුක සත්කාරයට අමතරව, පොඩි අප්පුහාමි තමුන්ට උවමනා නැති වුණත් අරයගෙන් මොනවා හරි බඩුවක් දෙකකුත් ගන්නවා මයි. ඒ නිසා මරක්කල උන්නැහැත් බොහොම කැමැත්තෙන් තමයි පොඩි අප්පුහාමි ගෙ ගෙදරට ගොඩ වෙන්නෙ.

ඉතින් දවසක් මරක්කල උන්නැහැ ඔය ගෙදරට ගොඩ වෙනකොට ම ඇතුල් කාමරේක පොඩි කසුකුසුවකුත් එක්ක බොහොම කෞතුක දෙයක් දකින්න ලැබුණා. ඒ වගක් නොපෙන්නා උන්නැහැ උගුර පාදලා ගෙදර උස් පිලේ ඉඳගෙන ඔලුව උඩ තිබුණු බරත් පැත්තකින් තිබ්බා.

ඒ වෙලාවෙ පොඩි අප්පුහාමි ගෙදර උන්නෙ නෑ. ඒ බව වචනෙන් දෙකෙන් කියපු පොඩි අප්පුහාමිගෙ , ඉක්මණට ඉක්මණට ගේ ඇතුලට වුණා. ආන්න එහෙමයි ඒ කාලෙ වැදගත්  හැදිච්ච සීලාචාර කාන්තාවො.

ටික වෙලාවකින් පොඩි අප්පුහාමිත් ආව. මරක්කල උන්නැහැ දැක්ක විතරයි උන්නැහැගෙ මහන්සියත් නැති වුණා. ඉතිං පෙරැත්තෙ කවියක් කියන්න කියලා...

මරක්කල වෙළෙන්දා කැමති වුණේ නෑ එදා කවි කියන්න. මනුස්සයගෙ හිතට හරි මදි. නමුත් පොඩි අප්පුහාමි සෑහෙන්න පෙරැත්ත කරනව.

"බෑ අප්පුආමි. අද බෑ. අද නං මං කවි කිව්වොත් මහ විනාසයක් තමා වෙනවා..."

"එහෙම වෙන්නෙ කොහොමද තම්බි? කවියක් කිව්වට මොකද්ද වෙන විනාසෙ? ඔන්නොහෙ අද කවියක් කියලම තමයි යන්නෙ..." පොඩි අප්පුහාමිත් අර මනුස්සයට නිදහසක් දෙන්නෙම නෑ.

බැරිම තැන මරක්කල මුදලාලි කිව්ව කවියක්... ඒක තමයි ඔය පහළ තියෙන්නෙ.

කොයිලකොටුවෙ ලොකු අප්පුආමිකෙ දෝණියන්

එළගොන්දෙණියෙ පොඩි අප්පුආමිට කෙනාවයි

පංශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි

ශිවුරු පොදිය පොතු මල්ලේ හංගාලයි


Tuesday, September 13, 2022

මා ලේඛකයෙකු කළ කුමාරසිංහ මහතා

සුනිල් කුමාරසිංහ අතුකෝරල සහෘදයාණන් මාහට මුණ ගැසුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේදී ය. 

ඔහු සමඟ කතා බහ කරද්දී මා දුටු ඉතා නිහතමානී සහ සරල මනුස්සකම සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු තුළ දකින්නට නොමැති තරම් විය. පැය ගණනක් වුව ද එකදිගට වෙහෙසක් නොමැතිව ශාස්ත්‍රීය දේ පිළිබඳ කතා කරන්නට ඔහු සතුව මහා දැනුම් සම්භාරයක් විය. මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස මෙන්ම සාහිත්‍යය පැත්තෙන් ද ඔහු සතුව මහා දැනුම් උල්පතක් විය. ඔහු පොත් ගණනාවක කතු වරයා වන අතර, ඔහුගේ ශාස්ත්‍රීය ලිපි මාසයකට දෙකක් තුනක් වත්, දිවයින බදාදා අතිිිරේකයේ පළ වේ.

කුමාරසිංහ මහතා වන්නිලැත්තන්ගේ රුකුල් පොජ්ජට මං‌ගච්ඡා ගත් පින්තූර පොජ්ජකි

කුමාරසිංහ මහතා සමග මාගේ ඇසුර තවත් දැඩි වූයේ මගේ පියාගේ අභාවයත් සමඟිනි. මාගේ පියා සමග මා බෙදා හදාගත් සාහිත්‍ය, දේශපාලන සහ සාමාජීය කතිකාව නොනැවත ගෙනයාමෙන් ඔහු නොදැනුවත්වම පියාගේ අභාවයෙන් මා තුළ ඇතිවූ රික්තකය පිරවූයේ ය.

වයසින් ඔහු හා මා අතර තරමක පරතරයක් පැවතිය ද, මාගේ ජීවිතයේ ඉදිරි කඩඉම්වලදී කුමාරසිංහ මහතා යහළුවෙකු මෙන් මා සමග සිටියේය. පියාගේ දානමය කටයුතු, ගෙට ගෙවදීම, මාගේ විවාහය, ආදී මාගේ ජීවිතයේ සියලු කඩඉම්වලදී ඔහු මා සමග සමීපව කටයුතු කළේ ය. 

උපේක්ෂාව, මානව දයාව මෙන් ම, සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් නොපැකිළව පෙනී සිටීම යන ගුණාංග සම්බන්ධව ඔහු මා හට ජීවන ආදර්ශයක් විය. බුදුන් උපන්නේ ලංකාවේ ය යන ප්‍රපංචය සමාජගත වූ අලුත, මාත් යහළුවන් පිරසකුත් හිරිවඩුන්න බෝධිය බලන්නට ගිය බව ඔහු වෙත කී විට, ඔහු තනිව ම එහි ගොස් කරුණු රැස් කළේ ය. එහි ඇති ඇත්ත නැත්ත ගැන ගැඹුරින් සොයා බැලූ හෙතෙම, හිරිවඩුන්න පන්සලේ හාමුදුරුවන් මෙන් ම ග වැසියන් සමග ද සාකච්ඡා කර, ඉහත කී මතවාදයේ සවිඥානික මගඩියක් මිස සත්‍යයක් නැති බව හෙළි කර ගත්තේ ය.

වන්නිලැත්තෙක් සමඟ...

මා සිය පවුලේ හිතවතෙකු කරගත් කුමාරසිංහ මහතා, අප කැටිව සුහද චාරිකාවන් ද කිහිපයක් ගිය බව මතක ය. තමන් පදිංචිව සිටි ප්‍රදේශයට කිට්ටු වාරණ පුරාණ විහාරය, අලවල, ඇතා උඩ කන්ද ආදී ප්‍රදේශයන්හි පුරවත,  සහ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ දැක්වූ නොමඳ ඇල්ම හා කුතුහලය ඔහුට විශේෂත්වයක් විය. 

දිවයිනේ ප්‍රකට ලේඛකයින් රැසක් සමග සමීප සබඳතා පැවැත්වූ ඔහු සිය ලේඛන කාර්යයේ දී ඒ සබඳතා බුහුටිව යොදවා ගත්තේ ය.

සේනාරත්න වීරසිංහ සහ සුනිල් ගුණවර්ධන (ලේඛකයෙක් සහ කවියෙක් සමඟ)

මා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවය කරන කාලයේ කුමාරසිංහ මහතාගේ තවත් එක් සුවිශේෂී මිතුරෙකු වූ රන්ජිත් ප්‍රේමරත්න මහතා තම පෞද්ගලික ධනයෙන් සහ උත්සාහයෙන් "රන්බිම" නමින් පුවත්පතක් පටන් ගත්තේ ය. ඊට උපකාර කරනු වස් මෙන් ම, තම මිතුරන්ට හැකියාවන් එළිදක්වන්නට මඟක් වශයෙන් ද කුමාරසිංහ මහතා කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙකුට ම "මොනවා හරි ලියන්නැ"යි ආරාධනා කළේ ය. ඒ ආරාධනය ලැබුවන්ගෙන් කෙනෙකු මම ද වීමි. ඒ අනුව මා මුලින්ම ලීවේ "තිසා වැවේ ඉවුරේ සක්වල චක්‍රය" ය.

මා එය ලියා කුමාරසිංහ මහතා හරහා රන්බිම ට යැවූ පසු, ඔහු මා සමග අපූරු කතාවක් කීවේ ය.

ආධුනිකයෙක් පුවත්පතකට ලිපියක් යැවූ පසු, එය ඊළඟ කළාපයේ පළ කෙරෙන්නේ නැත. අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට මෙන් එය පළ වීම තරමක් කාලයකට පසු කරන පුරුද්දක් ඒ ක්ෂේත්‍රයේ ඇත. ඔහු ඒ පිළිබඳව මා හට පහදා දී, මා හට ද එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඇතිවන්නට ඉඩ ඇති කළකිරීම වැළැක්වීම සඳහා ඒ ගැන පැයක් පමණ මා සමග කතා කළේ ය.

කෙසේ නමුත්, සක්වල චක්‍රය ඊ ළඟ කළාපයේ ම පළ වූ අතර, කල් යාමේ දී මම රන්බිම පත්තරයේ නිරන්තර ලියන්නෙක් බවට පත් වීමි. ඒ ලිවීමේ පරිචය ම මා හට බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට ද පසුව ඉවහල් වූ අතර, මා මුල්කාලයේ බ්ලොග් පිටුවේ පළකළ ලිපි අතරින් බහුතරය, රන්බිම පත්තරයේ පළ වූ ලිපි ම විය. මා සහ ඔහුගේ තවත් මිතුරෙකු වූ දයානන්ද රත්නායකයන් අනුව කුමාරසිංහ මහතා ද බ්ලොග් පිටුවක් ආරම්භ කළේ ය. ඒ සරු බීජ යි.

රන්බිම පුවත්පතේ, "කවි - පැන - පිළිතුරු" තීරුවක් ආරම්භ වූ අවස්ථාවේ ඔහු ඒ සඳහා විකට කවි පැන කීපයක් සකස් කර යැව්වේ ය. ඒවා, ඔහු  හිටිවන කියද්දී, ටයිප් කර ගත්තේ මා ය. ඉන් මට දැනටමතක ඇත්තේ එකකි...

උදයට කෑවෙ මැද බෙරි වුණ ආප්ප ද?

ජූජක බමුණ ‌උඹෙ මාම ද බාප්ප ද?

තවත් කාලයක් යද්දී, කුමාරසිංහ මහතා මා අමතා කීවේ, මාධ්‍යවේදී හැඳුනුම්පත ගැනීම වැදගත් වන බව ය. ඔහු සතුව එවැන්නක් තිබූ අතර, ඕනෑම තැනකට ප්‍රවේශ වීමට ඒ හැඳුනුම්පත ඉවහල් විය. ඔහුගේ උත්සාහය අනුව, රන්ජිත් ප්‍රේමරත්න මහතා මා වෙත රන්බිම පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හැඳුනුම්පතක් ලබා දුන් අතර, හදිසියේ පුවත්පත නැවතුණු නිසා මිස, මා හට මාධ්‍යවේදී හැඳුනුම්පත ද ලබා ගන්නට හැකි වන්නට තිබුණි.

කුමාරසිංහ මහතා ඉතා කරුණාවන්ත සහ මානව දයාවෙන් හෙබි කාන්තාවකගේ දයාබර සැමියා වූ අතර, ඉතා දක්ෂ සහ නිහතමානී දියණියකගේ පියා ද වෙයි. මා ඔහුගේ නිවස වන "මෙත්සහනි"යට ගොඩවැදුණු සෑම අවස්ථාවක ම ඔහුගේ මව ද, බිරිඳ ද, දියණිය ද අප වෙත ලබා දුන්නේ තමන්ගේ නිවසේ දී පවා නොලැබෙන, ගෘහීය හැඟීමකි.

කුමාරසිංහවරු...

මා රාජ්‍ය සේවයේ උසස්වීම් ලබා කාර්යබහුල වීමත් සමග, කුමාරසිංහ මහතාගේ කිට්ටු ඇසුරින් මෑත් වූ නමුත්, ඔහු හා සබඳතාව තබා ගත්තෙමි. ඒ අතර, කොවිඩ් රෝගය වැළඳීම, බිරිඳ අසනීප වීම, මව මියයාම යන අභාග්‍ය සම්පන්න අවස්ථාවන්හි දී කුමාරසිංහ මහතා සමඟ සිටීමට මා හට නොහැකි වීම ගැන අදටත් ඇත්තේ පසුතැවීමකි.

අවසානයේ එතුමාගේ පිය බිරිඳගේ අකල් වියෝව ආරංචි වූ පසු මා හට හැකියාව තිබුණේ ඔහුට දුරකථනයෙන් ඇමතීමට පමණකි. මනුෂ්‍යයෙකුහට පවුල යනු කෙතරම් ශක්තියක් ද යන්න මා හට පසක් කළේ ඔහු සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයයි. කොවිඩ් රෝගයෙන් ඔත්පළව සිටි ඔහු ඉතා දුර්වල ලෙස කතා කළ අතර, අවශ්‍ය ම අවස්ථාවේ කිසිවක් ඔහු වෙනුවෙන් නොකළ මා කතා කළේ පසුතැවීමකින් පෙළෙමිනි.

මේ නොබෝ දිනක මා හට තැපෑලෙන් ලැබුණු තෑග්ගකින් මෙම ලිපිය ලිවීමට මා හට සිත් පහළ විය. ඒ, කුමාරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ තක්ෂිලා රණවීර මහත්මිය ලියූ කවි එකතු කර පළ කෙරුණු පොතකි. ඒ පොත මෙන් ම, ඒ පොත බහා එවූ ලිපි කවරය ද, මාගේ පොත් එකතුවේ වැදගත් තැනක් හිමි කරගන්නේ ය.

අන්තිමේ දී... තමන්ගේ ප්‍රිය භාර්යාව වෙනුවෙන් ජීවන සහකරුවාහට කළ හැකි දේ වලින් කුමක් නම්, මීට වඩා උසස් වේ ද?


මේ පොත ගන්නට ඇත්තේ කොහේ දැයි මා දන්නේ නැත. නමුත් හැකිනම් අනිවාර්යයෙන් මිලදී ගෙන කියවා බලන ලෙස ඔබට ආරාධනා කරමි. එහි අඩංගු කවි එතරම් ම උසස් වන අතර, අපගේ හදවතේ යම් තැනක නිදන් ව ඇති භාවයන් ට ආමන්ත්‍රණය කරන නිර්මාණ වේ.

Tuesday, September 6, 2022

ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි...

මහා අමුතු ඉංග්‍රීසි ළමා කවි කීපයක් අපි මීට කලින් ලිපිවලින් කියවලා තියෙනවානේ. මේ ඒ ලිපිවලට ලිංක්. 

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපන්නුවේ ආච්චි, හිලරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

මේ මෑතකදී පුතා එක්ක ඒජ් ඔෆ් එම්පයර්ස් සෙල්ලම් කරද්දි, තවත් ඒ වගේ අමුතු කවියක් මතක් වුණා. ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ තියෙනවා, චීට් කෝඩ් එකක්, jack be nimble කියලා. ඒක ගැහුවම, කැටපියුල්ට්වලින් විදින්නේ ගල් වෙනුවට හරක් සහ මිනිස්සු. 

ජැක් බි නිම්බල් කවිය මේ:

ඒකෙ පද ගත තේරුම:

ජැක් වේගවත් වෙන්න

ජැක් ඉක්මණ් වෙන්න

ජැක් පනින්න

ඉටිපන්දමට උඩින්

ගොඩක් අය විශ්වාස කරනව මේ කවියෙන් කියවෙන්නෙ එක්දාස් හයසිය ගණංවල මුල භාගයේ හිටපු ශෝං ඇල්බෙයා හෙවත් බ්ලැක් ජැක් නම් මුහුදු කොල්ලකාරයා ගැන බව.

බ්ලැක් ජැක් නාවික හමුදාවන්ට අසු නොවී බේරෙන්න දැක්වූයේ පුදුමාකාර දක්ෂ කමක්. ඔහුගේ වේගවත් බව සහ උපායශීලීත්වය මේ කවියෙන් කියවෙනවා කියා සැළකෙනවා.

ඉට අමතරව, ඉටිපන්දමට උඩින් පැනීම පරණ ඉංග්‍රීසි ක්‍රීඩාවක් බව දැනගන්න ලැබුණා, වෙළෙඳපොලේ සහ පොදු ස්ථානවල කරපු. නමුත් ඒ ගැන වැඩි යමක් හොයාගන්න බැරි වුණා.

පුංචි ජැක් හෝනර්...

ඒ වගේ තවත් කවියක් තමයි ලිට්ල් ජැක් හෝනර්. 

මේ තියෙන්නෙ ඒ කවිය. 


පුංචි ජැක් හෝනර්

මුල්ලෙ ඉඳගත්තා

ඔහුගෙ නත්තල් පයි එක කමින්

ඔහු මාපටැඟිල්ල ඒකට ඔබලා

ප්ලම් එකක් එළියට අරගෙන

කිව්වා

මං කොච්චර හොඳ ළමයෙක් ද කියලා...

මේ කවියෙන් කියවෙන්නේ ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා ගේ ස්ටිවර්ඩ් වුණු තෝමස් හෝනර් ගැනයි කියා සැළකෙනවා. ඔහුගේ අතේ ප්‍රධාන පූජකවරයා, අටවන හෙන්රි රජු වෙත යැව්වා නත්තල් පයි එකක්. ඒ පයි එක ඇතුළේ සඟවලා ඔහු මන්දිර දොළහක ඔප්පු රජු වෙත යැව්වා, රජතුමාගේ හිත දිනා ගන්න. ඒ කාලය වන විට රජතුමා පූජකාශ්‍රම විසුරුවා හැරීමේ තීරණයක් ගෙන ක්‍රියාත්මක කරමින් සිටියා. ඉතින් තමන් ගේ තෑග්ග මඟින් ඒ තීරණය තමන්ට අවාසි සහගත ලෙස ක්‍රියාත්මක වීම වළක්වාගැනීමට ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා කල්පනා කළා.

මේ පයි එක ගෙනියන අතර, තෝමස් හෝනර් එයින් එළියට ඇදලා ගත්තා, මෙල්ස් මන්දිරයේ ඔප්පුව. මේ ගමනට ටික කාලයකට පස්සේ ඔහු ඒ මන්දිරයේ පදිංචියට ගියා. මේ කතාව ප්‍රතික්ෂේප කරන හෝනර්ගේ පරම්පරාවේ උදවිය, ඔහු එය රජුගෙන් මිලයට ගත්තා යැයි කියනවා.

මේරි මේරි...

මේ කවියත් අර වගේ ම තේරුම ව්‍යාකූල එකක්. මේ තියෙන්නේ කවිය.


පද අනුව තේරුම මෙහෙමයි:

මේරි, මේරි, තරමක් ප්‍රතිවිරුද්ධයි

කොහොමද ඔයාගෙ ගෙවත්ත වැවෙන්නේ?

රිදී සීනුයි, බෙලි කටුයි

සහ ලස්සන කෙල්ලොයි පේළියට

මේ කවියේ කියවෙන මේරි, අටවන හෙන්රි රජුගේ දුව වුණු, පළමුවන මේරි නම් කතෝලික රැජිණයි. මීට කලින් අන්ධ මීයො තුන්දෙනා ගේ කවියෙත් මේ රැජිණ ගැන කියවුණා මතකයි. 

එතුමියගේ කෙටි රාජ්‍ය පාලන කාලය තුළ ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ට එරෙහිව දියත් වුණු කුරිරු මර්ධනය නිසා මේ රැජිණ ප්‍රසිද්ධ වුණා. "ගෙවත්ත" ලෙස කවියේ කියවෙන්නේ, සොහොන් පිටිවල වර්ධනය. රිදී සීනු සහ බෙලිකටු පැහැදිළිවම වධ දීමේ යන්ත්‍ර සහ වධ දීම සංකේතවත් කරන අතර, ලස්සන කෙල්ලන් හෙවත් මේඩ්ස් අනිවාර්යයෙන් ම යකඩ ගැහැණිය හෙවත් අයන් මේඩ්න් නම් වධක යන්ත්‍රය ගැන කරන සඳහනක්.

මූලාශ්‍ර:

https://allnurseryrhymes.com/jack-be-nimble/

https://www.pirateshowcancun.com/jolly-roger-crew/captain-black-jack

https://www.education.com/magazine/article/hidden_history_of_nursery_rhymes/#:~:text=Little%20Jack%20Horner%20%2D%20The%20story,were%20hidden%20in%20the%20pie.

Friday, September 2, 2022

ප්‍රාතිහාර්යයක ඇනටොමිය - තර්ටීන් ලයිව්ස් සිනමා පටය හැදූ හැටි.

හදවතට දැනෙන ඒ සිනමා පටය කෙරුණු හැටි ගැන අංග සම්පූර්ණ විස්තරයක්, ගබඩාවක් තුළ දැවැන්ත ටැංකි ඉදිකිරීමේ සිට, පැය හාරසීයකට කිට්ටු ධාවන කාලයක එකතුවක් සහිත වීඩියෝ පට පීරමින් සංස්කරණය කිරීම දක්වා...

2022 අගෝස්තු 05 - ඩේවිඩ් කෑන්ෆීල්ඩ් ගේ ලිපියකි.

මුදවාගැනීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන් වූ කල, තමන් කළ යුත්තේ මොකක්දැයි රොන් හාවඩ් හොඳට ම දනියි. ඔහු 1995 දී නිර්මාණය කළ ඇපොලෝ 13 කලාත්මක චිත්‍රපටියේදී වගේ ම නවතම සිනමා නිර්මාණය වන තර්ටීන් ලයිව්ස් හි දීත්, ස්වසනය සහ ගුරුත්වය සම්බන්ධ නියමයන්ට අනුකූළ නොවන පරිසරයක දී අනතුරට ලක්වීම ගැන සංකල්පය දැක ගන්නට ලැබේ. මෙවර එය අපට දකින්නට ලැබෙන්නේ, කලින් වතාවේ දී මෙන් අභ්‍යවකාශයේ නොවේ, රොන් මේ වතාවේ දී එම අත්දැකීම අපට ලබා දෙන්නේ දිය යට දී ය.

හුස්ම හිර කරවන තරම් ආතතියක් ජනනය කරන මේ තර්ටීන් ලයිව්ස් චිත්‍රපටයෙන් නිරූපණය කරන්නේ 2018 ගිම්හානයේ තම් ලුවාං ගුහාවේ සිර වී සිටි තායි පාපන්දු ක්‍රීඩකයන් බේරා ගැනීමේ සත්‍ය සිදුවීමයි. වයස අවුරුදු 11 සිට 16 දක්වා වූ පාපන්දු ක්‍රීඩකයන් දොළොස් දෙනෙක් තම් ලුවාං ගුහාව තුළ සිර වුනේ, ජලයෙන් යටවීමත්, අදාළ ගුහා පද්ධතියේ වංකගිරියක් බඳු විස්තීර්ණ පිහිටීමත් හේතුවෙනි. මිනිසුන් දහ දාහකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දියත් වුණු, ඉතාමත් ප්‍රවේසම් සහගත සහ උපාය මාර්ගික ලෙස සැළසුම් කරන ලද, අන්තර්ජාතික මට්ටමේ මුදාගැනීමේ ප්‍රයත්නයන් ගේ ප්‍රතිඵලයක් හැටියට ඒ සියලු ම දෙනා එක ජීවිතයක් වත් අහිමි නොවී බේරා ගැනීමට හැකි වුණත්, ඒ සඳහා සති දෙකකට වැඩි කාලයක් ගත විය.

මේ සත්‍ය කතාව සිනමාවට නැගෙන්නට කලින් ඇමරිකානු මහජන විකාශන සේවාව හෙවත් පීබීඑස් මඟින් වාර්තා වැඩසටහන් මාලාවකටත්, ද රෙස්ක්‍යු නම් වාර්තාමය වැඩසටහනකටත් නැගී තිබේ. මේ වතාවේ රොන් හාවඩ් ගේ සුපුරුදු සිනමාත්මක කුසලතාවන් මඟින් මේ කතන්දරය අංග සම්පූර්ණ හොලිවුඩ් පෝෂණයෙන් යුක්තව ඉදිරිපත් වී තිබේ. වීරත්වය සහ පරිත්‍යාගය අනූන කතන්දර කීමට හාවඩ් සතු නැඹුරුවත්, දක්ෂ ලෙස ආතතිය කැවීමේ හැකියාවත් මෙහි දී කැපී පෙනේ. 

මුදවාගැනීමේ මෙහෙයුමේ සැබෑ වීරයෝ
වමේ සිට: රික් ස්ටැන්ටන්, ‌ජෝන් වොලන්තන් සහ රොබට් චාල්ස් හාපර් තම් ලුවාං ගුහා සංකීර්ණය අසළ

සත්‍ය කතාවට කරන ලද මේ අනුවාදයේ දී බ්‍රිතාන්‍ය ජාතික කිමිදෙන්නෙක් වන ජෝන් වොලන්තන් (කොලින් ෆැරෙල් විසින් නිරූපිතයි) සහ රිචඩ් “රික්” ස්ටැන්ටන් (විගෝ මෝටෙන්සන් විසින් නිරූපිතයි) සිරවූ දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීම සඳහා අතිශයින්ම අවදානම් සහගත එසේ ම අත්‍යවශ්‍ය ක්‍රමවේදයන් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම, ලොමු දැහැ ගැන්වෙන ජවනිකා මඟින් නිරූපණය වේ. ඒ වගේ ම, ගුහාවේ පිටත ප්‍රදේශවාසීන්, සිර වී සිටි අයගේ පවුලේ උදවිය සහ රජයේ නිලධාරීන් ගේ උත්සාහයන් ද මෙහෙයුමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වූ බව පැහැදිලි වන සිදුවීම්වලටත් සමාන ධාවන කාලයන් ලබා දී තිබේ.

සමස්තයක් ලෙස ගත් විට, රොන් හාවඩ් සහ කණ්ඩායම, ගෝලීය අවධානයට පාත්‍ර වූ මේ සත්‍ය කතාව ඇසුරින් හද ගැස්ම වැඩි කරවන තරම් හැඟීම් දනවන, ඇදහිය නොහැකි තරම් සියුම් විස්තර සහිත ප්‍රතිනිර්මාණයක් තැනීමට සමත් වී තිබේ. ඔවුන් මේ විස්මිත නිර්මාණය කළේ කොහොමද, සහ ඒ ඒ දේ සිදු කළේ ඇයි ද, යන්න ගැඹුරින් විමසීමට දැන් අපි සූදානම්.

නිර්මාණයේ පසුතල ලෝකය

හාවඩ් සහ ඔහුගේ පළමු සහාය අධ්‍යක්ෂ විලියම් එම්. කොනර් ගේ මුල් අදහස වූයේ තායිලන්තයට ගොස් මෙම සිදුවීම ට පසුබිම වූ ගුහාවලදී ම තම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කිරීමට වුවත්, කොවිඩ් 19 වසංගතය ලොව පුරා අරක් ගනිමින් ඒ සැළසුම අවුල් කර දැම්මේ ය. සිනමාකරු ඒ වන විටත් මේ නිර්මාණයට නැතිවම බැරි ශිල්පීන් සම්බන්ධ කරගෙන සිටියේ ය. ඒ අතර නිෂ්පාදන සැළසුම්කාරිනී මොලී හියුස් (හිල්බිලී එලිජි - 2020 සිනමා පටයට හවුල් වූ අතර හැරී පොටර් චිත්‍රපට කිහිපයක ම කලා අධ්‍යක්ෂවරිය ද විය), සහ කීර්තිමත් තායි සිනමාකරු සයොම්භූ මුක්දීප්‍රොම් (කෝල් මී බයි යුව’ නේම් සහ සස්පිරියා චිත්‍රපටවල සිනමැටෝග්‍රැෆර් වේ. ඔවුන්ට සිදු වූයේ මේ චිත්‍රපටය වෙනත් තැනක රූගත කරන්නට ය. ඒ සඳහා ලබාගත හැකි විස්තර පදනම් කරගෙන ගුහාවේ වැඩි හරිය නැවත නිර්මාණය කරන්නට සිදු විය.

ඇසි දිසි මැවුම්කරු
සොයම්භූ මුක්දීප්‍රොම් - සිනෙමැටොග්‍රැෆර්

මුක්දීප්‍රොම් සහ තවත් මුල් ස්ථානය ගැන දන්නා උදවිය සමඟ වැඩ කරන්නට හාවඩ් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙත ගියේය. “එහි භූ විෂමතාව ඇත්තෙන් ම උතුරු තායිලන්තයට නෑකම් කියනවා” යැයි හාවඩ් කියයි. චිත්‍රපටියෙන් සහ එහි පිටුපසින් සිටි අයගේ ප්‍රයත්නයෙන්, රොන් හාවඩ් හට උවමනා කළේ මේ සංස්කෘතිකමය වශයෙන් සංවේදී සහ වැදගත් කතාන්තරය සත්‍ය වශයෙන් ම සිදු වූ හැටි කියා පෑමටය.  

එහෙයින්, මුක්දීප්‍රොම්, හාවඩ් සමග මේ සිනමා පටය තැනීමේ කාර්යයේ මුල් කාලයේ සිට ම කටයුතු කළ අත්‍යවශ්‍ය සාධකයක් විය. “එය ඇත්ත සිදුවීමක්. ඊටත් වඩා, එය ප්‍රසිද්ධියට පත් වූ එකක්. - මෙය සිදුවීමත් එක්ක ම මම ඉතා සමීපව එය හඹා ගියා. ඒ වගේ ම සිදුවීම මාව ඇද බැඳ ගත්තා. ඒ කාලයේ දී ම මම කල්පනා කරන්නට පටන් ගත්තා, මේ සිදුවීම චිත්‍රපටයකට නඟන ආකාරය ගැන,” යි මුක්දීප්‍රොම් කියයි. “රොන් මා වෙත තිර පිටපත එවූ විට, මම අතිශයින් ම උද්දාමයට පත් වුණා. මොකද, මම සිතා සිටි ආකාරයෙන් ම ඒ තිරරචනය සිදු කර තිබුණා. ඇත්තට ම මේ සිදුවීම ගැන තනන්නට යන තවත් චිත්‍රපටයකට සහභාගි වන ලෙස මට ආරාධනා කර තිබුණා, නමුත් මේ තිරපිටපත තරම්, ඒ තිරරචනය මට හිතට වැදුණේ නෑ.” 

කඳුකරයේ වෝටර් මෑන්
තනෙට් නටිස්‍රි

ගුහාව ඇතුළත තිබූ දැඩිතර කාර්යබහුල භාවයත්, එළියේ පැවති නිහඬ මනුෂ්‍යත්වයේ උපේක්ෂාවත් යන දෙපැත්ත ම මේ චිත්‍රපටියේ ආකෘති ගත කර තිබෙන්නේ සම සමව ය. ගුහාවෙන් එළියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දහස් ගණනක් ජනතාව, සහ ලොව දස දෙසින් පැමිණි මාධ්‍යවේදීහු එක්රැස්වූහ. ඔවුන් එකිනෙකාට සහය වෙමින්, අලුත් ම තත්ත්වය දැන ගැනීමට නොසන්සුන්ව බලා සිටියහ. මේ දෙලොව අතර තිබූ වෙනස, මුල සිටන් ම හාවඩ් ග්‍රහණය කරගත් මූලික සංකල්පය විය. විශේෂයෙන් ම චිත්‍රපටියේ පසු භාගයේ සිට නිරූපණය වන තායි වැසියන් ගේ - උදාහරණයක් ලෙස මුදා ගැනීමේ කණ්ඩායමට ගුහා සංකීර්ණය අභ්‍යන්තරයේ මඟ සොයා ගැනීමට පහසු වන ලෙස, ආසන්නයේ කඳුකරයේ පැවති දිය කඳුරුවල දිශාව වෙනස් කරන්නට තැත් කරන තනෙට් නටිස්‍රි (නොෆෑන්ඩ් බූන්යායි විසින් නිරූපිතයි) සහ බොජුන්හල් හිමියාගේ - ක්‍රියා කලාපය කැපී පෙනෙන ලෙස නිරූපිත ය. 

මේ චිත්‍රපටිය ඉහත කී උපකතාව ඉතා සමීපව ග්‍රහණය කරයි. ඒ සඳහා හියුස් ක්වීන්ස්ලන්ඩ් හි කඳුකරයේ විචිත්‍ර තැනක ඇත්තෙන් ම මිනිස් අතින් තැනූ වේල්ලක් ප්‍රති නිර්මාණය කළා ය. “අපිට පුළුවන් වුනා ඇත්ත ම තනෙට් සමඟ කතා කරන්න. ඔහු ළඟ ගොඩක් රූප සටහන් සහ සැළසුම් තිබුණා. ඔහු ඒවා සමග අපිත් එක්ක සෑහෙන වෙලාවක් ගත කළා.” හියුස් කියන්නේ, එම වේලි පද්ධතිය ඇය සැළසුම් කළ ආකාරය විස්තර කරමිනි. “අපි එය කැමරාවට පහසු වන විදිහට සරල කරලා තැනුවා. ඇත්තටම අපි උකහා ගත් දෙයට වඩා, බොහෝ සංකීර්ණ වැඩ කොටසක් තනෙට් ගේ පැත්තෙන් කර තිබුණා. මූලික කරුණුවලට බැස්සොත්, අපි අපට පුළුවන් තරම් සරල ලෙස වැසිජලය ගුහාවට කාන්දුවන තැන් වසා දැමීම, වැලි කොට්ට ඇහිරීම් සහ දිය පහර හැරවීම්වලින් සමන්විත මේ කතාව නිරූපණය කළා.”

විස්මිත පසුතල ඉදිකෙරූ මොලී හියුස්

අතරමංවූවන්ගේ පවුල්වල අය, ස්වේච්ඡා සේවකයන් සහ මාධ්‍යවේදීන් එක් රැස් වී සිටි, ගුහාවෙන් පිටත කඳවුරු බිම සිනමාකාරයන්හට නිරන්තරයෙන් සිනමාත්මක සොයාගැනීම්වලට ඉඩ සැළසුවේ ය. හියුස් පවසන්නේ, “මම මීට පෙර කවදාවත් මේ වගේ ව්‍යාපෘතියක වැඩ කරලා නෑ. අපිට බලන්නට සහ වැඩ කරන්නට ඉතා විශාල ප්‍රමාණයක් ඡායාරූප තිබුණා, අපි කැමති සහ පසුතලයට සුදුසු වන පරිදි තෝරාගන්න...” කලා අධ්‍යක්ෂ ලෙක් චයියන් චන්සුට්ටිවට් ද ඇතුළත් වුණු තායි සැළසුම් කණ්ඩායමක සහාය ඇයට ලැබුණේ ය. අධ්‍යයනය කරන්නට ලැබුණු දේ අතර තිබූ සියුම් විස්තර (බෞද්ධ භික්ෂූන්ගේ අත් පළඳනා වැනි දේ පවා) ඇය පසුතලයට එකතු කර විචිත්‍රවත් කළා ය. 

කූඩාරම් සහ වාහන ආදී සුවිශේෂී උපාංග සහ ආකෘති ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, ඒවා ආනයනය කරවන්නට ඇය බල කළා ය. “තායි නළුවන් සිනමා පසුතලයට පැමිණි පසු, ඔවුන් දුටු දේ ඔවුන්ට විශ්වාස කරන්නට පවා බැරි තරම් වුණා” ඔවුන් සවිස්තරාත්මකව තනා තිබූ පසුතලය නළුවන් දුටු හැටි හාවඩ් ආවර්ජනය කරමින් කියයි. “ඔවුන් එය දැකලා ප්‍රසන්න වුණා. ඒ අය කීවා, ‘අපිට හිතාගන්නවත් බැරි වුණා, විදේශිකයන් වන ඔබ මේවා එතරම් නිවැරදි ලෙස ග්‍රහණය කරගෙන ඇත්තේ කෙසේ ද කියා.’ ”

සාමාන්‍ය, එදිනෙදා දකින්නට තිබෙන මනුෂ්‍ය හැසිරීම් සහ හැඟීම් ප්‍රකාශන ග්‍රහණය කරගන්නේ, චිත්‍රපටියේ මේ කොටසිනි. හාවඩ් ගේ කණ්ඩායම, නළුවන්ට විවිධාකාර කටයුතු ඉටු කරන හැටි පුහුණු කළහ. යන්ත්‍ර සූත්‍ර සහ පොම්ප ක්‍රියා කරවීම, වතුරබට රෝල් කිරීමට සහ දිග ඇරීම, ටැංකි පිරවීම, ආහාර පිසීම, බර යන්ත්‍ර පැදවීම, මෙන්ම යාඥා කිරීම පවා... වාර්තා වැඩසටහන් සහ පීබීඑස් වැඩසටහන් මාලාවේ දැක්වුණු ආකාරයන් පදනම් කරගනිමින් ඔවුහු ඒවා නැවත නැවතත් පෙරහුරු කළහ. “මට දැනුණා ඒවා පසුබිමින් නිරූපණය වෙනවා කියා. නමුත් ඒවායින් බොහොමයක් කොයි තරම් විශිෂ්ට ද කියතොත්, මම ඒ කොටස් ඉදිරිපසට අරගෙන දෙබස් සහිත කොටස් එක්ක ගැලතුවා.”යි හාවඩ් කියයි. “එය නිර්මාණයට යම්කිසි ආකාරයක ශක්තියක්, සජීවී යතාර්ථවත් බවක් එකතු කළා.”

ගුහාව

“පටන් ගැන්මේ දී මට දැනුණේ ගොඩක් ම පීඩනයක් යටතේ වැඩ කරනවා වගේ.” ගුහාවේ දර්ශන රූ ගත කිරීම ගැන කතා කරමින් මුක්දීප්‍රොම් කියයි. “පස්සෙ මට එළඹුනු සියලු දේ හසුරුවාගන්න සිදුවීමත් එක්ක, මට පීඩනය අමතක වුණා, විය යුතු දේ සහ කළ යුතු දේ ගැන විතරක් අවධානය යොමු කළා.” හියුස් පවසන්නේ ද ඊට සමාන ම කතාවකි. “අපි ප්‍රවේශය ගත්ත ආකාරය විශේෂයි, එයින් අපට කිසිම විටක දේවල් මහා පරිමාණයෙන් දැනුණේ නෑ. පස්සෙ අපි තැනූ නිර්මාණය නරඹද්දී අපි මූණෙන් මූණ බලාගත්තා, ‘අපි මේක කළා කියා අදහන්නත් බෑ. අපි ඒක හරියට ම කරලා තිබෙනවා’ යි කියන්නාක් වගේ.”

නිෂ්පාදකයෝ ගුහාවට එළඹුනේ පියවරින් පියවර ය. වර්ණ සංයෝජනය මූලික ම අංගයක් විය. පීබීඑස් වැඩසටහන් මාලාවේ රූපරාමු අධ්‍යයනය කරමින් හියුස් සහ මුක්දීප්‍රොම් වර්ණවලට වැඩි බරක් දීමට එකඟ වූහ. “තායිලන්තයට ආවේණික විදිහට ම වර්ණ ඉතා ම විස්තීර්ණයි, ඒ වගේ ම වර්ෂාව සහ නිරන්තරයෙන් වෙනස්වන කාලගුණික රටාවන් සමග යෙදෙන අඳුරු අළු පැහැයන් එක්ක එය ප්‍රතිලෝමව සමබරවී යෙදී තිබෙනවා.” යි හාවඩ් කියයි. 

නියම තම් ලුවාං ගුහාවල සංයෝජන දත්ත ඔවුන්ට ලැබුණේ ඉන් පසුවය. එය හාවඩ් සහ හියුස් සියුම් විස්තර සහිතව අධ්‍යයනය කළහ. “ගුහාවල තිබුණු ගල් පස් කුට්ටි; ඒවා ඉතා තදින් සවි වී තිබුණා ද, ඒවා ගිරි ලඹ ද, ඒවා දියපාරවලින් හැඩගැසුණු ඒවාද ආදී විස්තර හියුස් තේරුම්ගත්තාට පස්සේ - ඇය මගේ තිර රචනා සටහන් බලාගෙන, තමන්ගේ කණ්ඩායමත් එක්ක සිනමා පසුතල ආකෘති නිර්මාණය කරන්නට පටන් ගත්තා” යි හාවඩ් කියයි.

“මම වැඩකරන අතර විවිධ අවස්ථාවල රික් හෝ ජෝන් ගෙන් ඇසුවා, “ඔයා හිතනවද මේක ඇත්තටම මේ විදිහට සිදුවෙයි කියලා?’ ” සත්‍ය කතාවේ සිටි කිමිදුම් කරුවන්ගේ සහාය ලබා ගත් හැටි හියුස් විස්තර කරමින් කියයි. 

පසුතල සකස් කරමින්

හියුස් සහ ඇගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගබඩා කාමරයක් තුළ අඩි සියයක් දිග ටැංකි හතරක් ඉදි කළ හ. මේ ටැංකි අධි තාක්ෂණික ජල පොම්ප සහ පිරිසිදුකාරක පද්ධතියකින් ද සමන්විත විය. ඊ ළඟට ඔවුහු බිම මත උමං ජල මාර්ග පද්ධතියක් නිපදවූ අතර, පසුව ඒවා ඔසවා, ටැංකිවලට සවිකර, ටැංකි පිරවීමට යොදා ගත්හ. මේ ටැංකිවලට වතුර පුරවන ලද්දේ, ගුහාවන් තුළ තිබුණු විවිධ ප්‍රදේශවලට අනුරූපීව, වෙනස් වෙනස් දර්ශන අටක් පමණ නිරූපණය කරන්නට හැකි වන ආකාරවලිනි. ඒ මුදවාගැනීමේ කණ්ඩායම ගුහා පද්ධතිය තුළට ගමන් කරද්දී පැවති වෙනස් වෙනස් පසුබිම් ප්‍රති නිර්මාණය කිරීමට ය. 

ගබඩාව තුළ ඉදිකළ ටැංකියක මැවූ ගුහාවේ ‌උමං මඟක්

ඒ වගේ ම දිය යට දර්ශනවල අපැහැදිලිබව, චිත්‍රපට කණ්ඩායමට වඩා නිදහසේ තම පරිකල්පනය භාවිත කිරීමට ඉඩ ලබා දුන්නේ ය. “සොයම්භූ සහ ඔහුගේ කණ්ඩායම සොයාගත්තා ඉතා ම ස්වාභාවික ආකාරයකට ආලෝකකරණය කරන්නට හැකි ක්‍රමවේද, එයින් කිමිදුම්කරුවන්ගේ හිස්මත වූ පන්දම්වල ආලෝකයෙන් ඔබ්බේ ඇතිවන කෘත්‍රිම දිළිසීම් වාගේ අනවශ්‍ය ආලෝකයන් මග හරවා ගන්න පුළුවන් වුණා.”යි හාවඩ් විස්තර කරයි. ඊට වැඩිමනත් වශයෙන් මුක්දීප්‍රොම් විස්තර කරන්නේ ඔහු දිය යට ඡායාරූපකරණය ගැන පරීක්ෂණ කිහිපයක් කළ බවයි. “ඒ, අපට පෙනෙන දෙය එලෙසින් ම පටිගත කරන්නට හැකි සුහුරු ක්‍රමයක් හමුවන තෙක්...”

හාවඩ්, නිරන්තරයෙන් කිමිදුම් යන්ත්‍රවලට විඩියෝ මොනිටර සවිකළ අතර, සිනමා පසුතලයේ කැමරා කෝණ කිහිපයකින්ම විඩියෝ කරන්නට කටයුතු කළේ ය. “ගුහා ඇත්ත ඒවා ලෙස නිරූපණය කිරීම අමාරුයි. සමහර ඒවා ආලෝකමත් කරන්නට සිදුවන අතර, එතන දී පසුබිම් වර්ණ සහ රටා සංයෝජනය ගැනත් වද වෙන්නට වෙනවා.” හියුස් ගේ නිර්මාණ ගැන කියද්දී හාවඩ් සඳහන් කරයි. “ඒ වගේ ම ඒවා කාලයක් පවතින්නත් සෑදිය යුතුයි. මොකද, අපි එකිනෙක පසුතලවල සති ගණන්... දවස් නොවෙයි, සති ගණන් රූ ගත කිරීම් කළා. ඒ නිසා පසුතල වෙනස් නොවී කාලයක් පැවතිය යුතුව තිබුණා.” එලෙසින් ම, ඒ පසුතල කාලයක් නොනැසී පැවතුණේ ය. හාවඩ් ස්තූතිවන්ත වන්නේ, ස්ටුවර්ට් ක්‍රේග් යටතේ හැරී පොටර් චිත්‍රපටවල විචිත්‍රවත් පසුතල නිර්මාණය කරමින් හියුස් ලබා තිබූ පළ පුරුද්ද ගැන ය.

තවත් ටැංකියක් සහිත පසුතලයක් - දරුවන් සිරවී සිටි ස්ථානය ලෙස තනන ලද...

නමුත් මෙයින් කියැවෙන්නේ ඔවුන් සැබෑ පසුබිමට හැම අතින් ම සමාන පසුතල නිර්මාණය කළ බව නොවේ. හියුස් ඇගේ නිර්මාණයන් ගැන විස්තර කරමින් එක් නිදසුනක් විස්තර කරයි. ගුහාව ඇතුළේ සිට පිටත කඳවුරට ආරංචියක් ලැබෙන ආකාරය චිත්‍රපටියේ වඩා ඉස්මතු වන සේ නිරූපණය කරයි. හියුස් මෙය සකස් කළේ, අලුත් ආරංචියක් ලැබෙන තුරු ‌ගුහාවේ අන්තරාලයේ ගරාදි වැට අසළ, ඉහළ සිට පහත බලාගෙන සිටින චරිතවලිනි. “මම ඇත්තටම ආසයි, ‘ප්‍රවෘත්ති ගමන් කරන හැටි’ වචනයේ හුදු අර්ථයෙන් දකින්නට සැළැස්වීමේ අදහසට...” හියුස් කියයි. “මම ඒ නිසා ගුහාවේ දොරකඩ සිට කඳවුරේ දොරටුව දක්වා වන සම්බන්ධතාවය ගොඩ නැගුවේ ඒ විදිහට. හැම නිතර ම කෙනෙකු ඉහළ ඉඳන් පහළ බලාගෙන අලුත් තොරතුරු එනතුරු බලා ගෙන ඉන්නා හැටියට.” 

සැළසුම් නිර්මාණ සහ සිනමා නිෂ්පාදනය ඉතාමත් අංග සම්පූර්ණ ලෙස අවසන් වූයේ, එම මුදාගැනීමේ මෙහෙයුම ප්‍රතිනිර්මාණය කිරීමේ ඩිජිටල් අංශයේ කටයුතු ඉතාම සුළු වශයෙන් යොදාගනිමිනි. “මම හිතුව ප්‍රමාණයටත් වඩා අඩුවෙන්, උවමනා වුණේ ” හාවඩ් කියයි... “මොලී ඉතා විශාල කොටසක් ඉටු කළා.” 

සංස්කරණය

ගුහා දර්ශන සැළසුම් කිරීම සහ රූගත කිරීම්වලින් පසු - පසු නිමැවුම් කටයුතු දක්වා කොටස් වුවත් පහසුවෙන් නිම කරන්නට හැකි වුණේ නැත.

ඔලිවර් ටානි - ශබ්ද සංස්කාරක

මේ ලිපියට පාදක වුණු හාවඩ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී, මෙම චිත්‍රපටියේ අධීක්ෂක ශබ්ද සංස්කාරක වුණු, පස් වතාවක් ඔස්කා සම්මානවලට නම යෝජනා වුණු ඔලිවර් ටානී (කැප්ටන් ෆිලිප්ස් සහ 1917 චිත්‍රපටවල දක්ෂ ශබ්ද සංස්කරණයන් ඉටු කළ) තේරුම් කර දුන්නේ, ඔහුට වඩා ඉස්මතු කරන්නට උවමනා වුණේ ගුහාවෙන් පිටත සහ ගුහාව ඇතුළත ශබ්ද පරිසරයේ ඇති වෙනස බවයි. “උමතුබවට ආසන්න ශක්තියක් ගැබ්වුණු ශබ්දමය පරිසරයක් ගුහාවෙන් බැහැර පැවතුණු අතර, එය ඉතාමත් වෙනස් වුණා, ගුහාව තුළ සිරවූ දරුවන් සහ කිමිදුම්කරුවන් හට අත්විඳින්නට සිදුවූ හුදෙකලාබව සහ අහිතකර පාරිසරික තත්ත්වයන් එක්ක බලන කොට...” යි ඔහු කියයි.

කඳවුරේ පැවතුනේ එදිනෙදා අත්විඳින කණට හුරුපුරුදු ව්‍යාකූලත්වයක්. - දිය යට පරිසරය, එය ඊට හාත්පසින්ම වෙනස්. “වාතය තුලින් ශබ්දය ගමන්ගන්නවාට වඩා හතර හෝ පස් ගුණයක් වේගයෙන් ශබ්දය දිය යටින් ගමන් කරනවා. ඒ වගේ ම මිනිසුන් දිය යට දී කණ් බෙරය ඇත්තට ම යොදා ගන්නේ නෑ ශබ්දය ග්‍රහණය කරගන්නට. ඒ නිසා දිය යට දී ශබ්දය ඇසෙන පුද්ගලයාට සාපේක්ෂව, එය නිකුත් වෙන ස්ථානය හඳුනාගන්නට ඉතාමත් අසීරුයි.” යැයි ටානි විස්තර කරයි. “අපි ඒ සංකල්පය යොදා ගන්නවා, දිය යට දර්ශනවල ශබ්ද ප්‍රතිනිර්මාණය කරන්නට. අපි හිතා මතා ම හැම ශබ්දයක් ම විසිරී යන ලෙස සහ අපසාරීව විහිදෙන විදිහට පටිගත කළා. එයින් ඒ ශබ්ද හට ගත් තැන හඳුනාගන්නට අපහසු තත්ත්වයක් නිර්මාණය වුණා. ප්‍රේක්ෂකයන්ට ඒ ශබ්ද ඇසෙන්නේ දිය යට සිටින කිමිදුම්කරුවෙකුට ඇසෙන විදිහටමයි. එයින් ප්‍රේක්ෂකයන්ට ඉතා ම සජීවී අත්දැකීමක් ලැබෙනවා.”

එය දිය යට රූගත කරන ලද දර්ශනවලට අසමාන නොවේ. හාවඩ් එය විස්තර කරන හැටියට; “එය හරියට ඔබ නිරන්තරයෙන් වළාකුළු පද්ධතියක ගැටෙමින් උස් කඳු කපොල්ලක වාහනයක් ධාවනය කරනවා වගෙයි.” ඒ ශබ්ද දිශාවනතියෙන් තොරයි, අපැහැදිලියි -  ඒ වගේම, ශබ්දයෙන් පිරුණු පොකුණක ගිලෙන්නාක් මෙන් ප්‍රේක්ෂකයාහට දැනේ. 

චිත්‍රපටයේ හදවතට දැනෙන ජවනිකාව වන, කිමිදුම්කරුවන්, දරුවන් මුදවාගන්නා අවස්ථාවේ දී ශබ්දය විශාල දායකත්වයක් සපයයි. දරුවන් ආපසු ආරක්ෂිතව පිටතට ගෙන ඒමට නම්, ඔවුන් ඒ සඳහා හසුරුවාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු වන බව කිමිදුම්කරුවන් තේරුම් ගන්නේ ඒ අවස්ථාවේ දී ය. නරඹන්නන්ට පෙනෙන්නේ දරුවන්  සිහියෙන් නොසිටින බව පමණක් වුවත්, ඔවුන් තවමත් පණපිටින් සිටින බව දැනෙන්නේ ඇසෙන ශබ්දවලිනි. 

සිනමා ප්‍රතිනිර්මාණයේ අවසාන හරියේ දී, කිමිදුම්කරු ජෝන් වොලන්තන් ශබ්ද පරිපාලක කණ්ඩායම සමඟ දිය යට පිහිටි ගුහා ප්‍රදේශයක ශබ්ද පටිගත කිරීමක් සිදු කළේ ය. එහිදී දිය යට හයිඩ්‍රොෆෝන් භාවිත කළ අතර, සැබැවින් ම ඇසුනේ කුමක්දැයි දැනගැනීම සඳහා දිය තලයට ඉහළින් මයික්‍රොෆෝන් යොදවා තිබුණි. “දිය යට ශබ්ද සකස් කරද්දී, හුස්ම ගන්නා ශබ්දයේ රිද්මය අපි බොහෝ විට භාවිත කළා, එය වරකදී සම අන්තරයන්ගෙන් යුක්ත වත්, එහෙම නැතුවත් භාවිත වුණා.”යැයි ටානි කියයි. “අපට සිදු වුණා ප්‍රේක්ෂකයන් නිතරම දරුවන්ගේ ක්‍රමානුකූල හුස්ම ගැනීම් ශබ්ද ගැන සාවධානව තබා ගන්න. ඒ අවස්ථාවෙදි ඔවුන්ට දැනෙනවා කිමිදුම්කරුවන්ට ඇසෙන දෙය ම ඔවුන්ටත් ඇසෙන බව. ඒ වගේ ම දරුවන් තවමත් ජීවත්ව සිටින බව ඒත්තු යනවා.”

ජේම්ස් විල්කොක්ස් - දීර්ඝ වීඩියෝ ඇසුරින් අඩිය අඟලට සකස් කළ විශිෂ්ඨයා

අන්තිමේදී, සමස්ත චිත්‍රපටියම එකලස් කර සම්පූර්ණ කිරීමේ කටයුත්ත තවදුරටත් ඉතිරි වේ. හාවඩ් ගේ ජීනියස් රූපවාහිනී මාලා වැඩසටහනේ මුල් කොටස මෙන්ම, හිල්බිලි එලිජි ද කපා සකස් කළ සංස්කාරක ජේම්ස් විල්කොක්ස්හට මේ අසීරු ඉළක්කය ජය ගැනීම පැවරුණි. එය අසීරුයැයි අදහස් කළේ, ඔහු මෙම සංස්කරණ කාර්යය පටන් ගනිද්දී, පැය 382 ක විඩියෝ දර්ශන පීරා සකස් කරන්නට ඔහුට පැවරුණු හෙයිනි. “අවංකවම කියතොත්, සමහර දවස්වල මට හිතුණා, මේ ඔක්කොම බලල ඉවර කරන්න මට පුළුවන් වෙයි ද, මම ම දන්නෙ නෑ කියලා.”යි ඔහු කියයි.

විල්කොක්ස් තම කටයුත්ත පටන් ගත්තේ චිත්‍රපටය පුළුල්ව අවබෝධ කරනිමිනි. අනතුරට ලක්වීම, අපේක්ෂාව, අන්තිමේ දී ගළවා ගැනීම, ඒ සමස්ත ප්‍රවාහය තුලින් දිව යන ආධ්‍යාත්මික මූලිකාංග ඔහු අධ්‍යයනය කළේ ය. “රොන් නිතරම කතා කරපු දෙයක් තමයි, ‘ප්‍රාතිහාර්යයක ඇනටොමිය’ කියන දේ.” විල්කොක්ස් සිහිපත් කරයි. “මම හිතන්නෙ ඒ බොහොම දක්ෂ ක්‍රමයක්, මේ චිත්‍රපටිය මොන විදිහෙ දෙයක් විය යුතු ද කියලා පුළුල් ප්‍රවේශයක් හඳුනා ගන්න එක...” එයින් හැඟවුනේ, තායි සංස්කෘතිය සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික හරය ගැන සමීප අවධානය යොමු කිරීම මගින් ‘ප්‍රාතිහාර්යය’ යන සංකල්පයට අනුරූපීව ස්පර්ශ කළ හැකි, ගැළපෙන සන්දර්භයක් නිර්මාණය කිරීම සහ ලබා දුන් විඩියෝ කොටස් සිය ගාණක්  අතර සක්මන් කරමින් ආත්මීය වශයෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු කොටස් හඳුනා ගැනීම යි. 

චිත්‍රපටියේ මුල් විනාඩි 10 හෝ 15 සහමුලින්ම පැවතුනේ තායි භාෂාවෙන් බව විල්කොක්ස් පෙන්වා දෙයි. “මම කල්පනා කළේ මේක හරියට පරිවර්තනය කරගන්නේ කොහොමද කියායි. මම කොහොමද මේ භාෂාවේ අන්තර්ගත සංස්කෘතික අංග හරියට අල්ලා ගන්නේ? මම කොහොමද දෙබසක් නිවැරදිව ග්‍රහණය කරගන්නේ?” යි විල්කොක්ස් කියයි. “අසීරුතාවට හේතුව වුණේ මේ දරුවන් තායිලන්තයේ අය වීම පමණක් නොවේ, ඔවුන් උතුරු තායිලන්ත ජාතිකයන්. එයිනුත් සමහරු මියන්මාර් දේශසීමාවේ වැසියන්. ඔවුන්ගේ කතා බහ බැංකොක් වාසීන්ගේ ව්‍යවහාරයත් එක්ක ඉතාම වෙනස්.” 

ඉතින් ඔහු විඩියෝ දර්ශන කාණ්ඩ වශයෙන් තෝරා, සංස්කරණය කර, සංස්කරණ මැදිරියට ගෙන්වාගත් භාෂණ පරිවර්තිකාවකට යාබද කාමරයේ සිට ඒවා නැරඹීමට ඉඩ හැරියේ ය. ඒ කොටස් ධාවනය කරවන කාලය, ධාවනය නවත්වන තැන් සහ චරිත ප්‍රාණවත්ව නිරූපණය කිරීම්, ඔහු සකස් කළේ ය. “ඒ වන විට මට දැනෙන්නට පටන් ගත්තා, ‘ඔව් මට දරුවෙකුගේ මව ගේ හැඟීම දැනෙනවා. ඔව්, මට තේරෙනවා කිමිදුම්කරුවන් ඔවුන්ගේ දරුවන් සොයාගන්නට ප්‍රමාද වන විට ඇයට දැනෙන කළකිරීම. ඔව්, මට තේරෙනවා ආණ්ඩුකාරවරයා සහ දේශපාලනය මේ තත්ත්වය සමග මැදිහත් වන හැටි.’ ආදී වශයෙන්...”

විල්කොක්ස් ගේ මේ සමීප සංස්කරණ ප්‍රවේශය, ගුහාව ඇතුළත දර්ශන වලදී ද දක්නට හැක. රික් සහ ජෝන් පළමුවරට දිය යට කිමිදෙන දර්ශන ඉතාමත් උවමනාවෙන් සිදුකළ සංස්කරණයක් හැටියට ඔහු පෙන්වා දෙයි. “මම අදහස් කළා මේ වෙනම ලෝකයක බඳු පරිසරයක සිදු වූ බේරා ගැනීමේ මෙහෙයුම ප්‍රේක්ෂකයන්ට අත්දැකීමක් තරමට සමීප කළ යුතුයි කියා. ඒක ඇත්තෙන් ම පෘථිවිය මත දකින්නට තිබෙන සාමාන්‍ය පරිසරයක් නෙවෙයි. එය අතිශයින් ම කැතයි, අප්‍රසන්නයි, ඒ වගේ ම මඩෙන් පිරිලා. ගුහාවල දියේ කිමිදීම් ගණනාවක් මේ කතාන්දරයේ තියෙනවා. ගිරිලඹවලින් ගහණ පරිසරයක්. බේරා ගැනීමට යන අය මග දිගට හූරාගෙන, තුවාල කරගෙන යායුතු ගමනක්.” ඔහු කියයි. “මාර්ගය හරියට පේන්නෙත් නැහැ. නමුත් මට තෝරාගැනීමක් කරන්න අවස්ථාව ලැබෙනවා නම්, මම කැමතියි තෝරාගන්න කිමිදුම්කරුවන් ගුහාව තුළට යන අවස්ථාවේ ඔවුන් දුටු දේ අත් දකින්න.”

ඔබට මේ අත්දැකීම, කිමිදුම්කරුවන් සහ සිරවූ දරුවන් සමඟ සමීපව විඳින්න සළස්වන්නේ නිෂ්පාදන සැළසුම්, සිනමා නිමැවුම, ශබ්ද සහ අනිකුත් අංග රාශියත් සමඟ, ප්‍රධාන වශයෙන් ම සංස්කරණය විසිනි. “එය තවත් එක් චිත්‍රපටයක්, කුසලතා පූර්ණ මිනිසුන් රාශියක් එකතු වී, ඔවුන් සතු සියල්ල වැය කරමින්, ඔවුන් ගේ එක් එක් අංශයන් විසින් ඉටු කළ යුතු වූ සියල්ල නොපිරිහෙළා ඉටු කරමින් දායාද කළ තවත් එක් චිත්‍රපටියක්” හාවඩ් පවසයි. “එය ඔවුන්ගේ උසස්තම ජයග්‍රහණය යි.”

*    *    *

නිදි හෙවත් නිමල් අයියාගෙන් දුරකථන ඇමතුමක් ලැබීම වූ කල, දාර සයිස් මරාලයක් ඉහ මත කඩා වැටෙන්නට ආසන්න වීමක් බව නිමල් අයියාගේ යාලුවෝ හොඳින් ම දනිති. එහෙම එකක් පසු ගිය දා මගේ හිස මතත් කඩා වැටුණ අතර, ඒක හොඳටම රස විඳින්නට ද අවස්ථාව ලැබුණේ ය.

තායිලන්තයේ ‌කොහෙදෝ ගුහාවක් ඇතුලේ ෆුට් බෝල් කණ්ඩායමක් හිර වී සිටි බවත්, ඒ අය බේරා ගත්ත බවත් හොඳාකාරව ම මතක තිබුණේ ය. නමුත් මේ චිත්‍රපටිය ගැන මොකවත් ම දෙයක් මගේ ඔලුවේ තිබුණේ නැත. මුන්දෑ ඒ චිත්‍රපටිය හොඳටම රස විඳ, ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කර, ඒ සඳහා තොරතුරු හොයද්දී කියවන්නට ලැබුණු "මේකින් ‌ඔෆ්" වර්ගයේ ලිපියක් මට එවා වදාළ සේක. මං වහන්සේ ගෙන් එතුමෝ අපේක්ෂා කළෝ කුමක්ද යත්, ඒක පරිවර්තනය කරලා, බ්ලොග් පෝස්ට් එකක් මාත් ලියා, අපි දෙන්නාම එකම දවසේ පළ කිරීම ය. (ලියන්ඩ දෙයක් හෝ ඉස්පාසුවක් නැතුව උන්න මටත් ඒක මාර වාසියක් විය)

නිමල් අයියාගේ ආරාධනයෙන්, උන්දැ මට එවා තිබුණු ලිංක් එකේ තිබුණු ඉහත කී ලිපිය කොපි කර, (ඔරිජිනල් ලිපියට ලිංක් එක) චූටි ළාමක වදන් පිටු අටක ලියවිල්ලක් හැටියට ‌අලවා ගත්තෙමි. ඉන් පස්සේ අතරින් පතර තිබුණු ඇඩ් අයින් කළ විට ඒක පිටු හයක ලියවිල්ලක් බවට පත් විය. ඒ ලියවිල්ල පරිවර්තනය කරන්නට පටන් ගත් විට, අර එක්තරා යුරෝපීය සුරංගනා කතාවක දී මෙන් වැඩේ අතර මග නවත්තන්නට බැරි මොකක් හරි සාපයක් ද ඒ ලියවිල්ලේ තිබුණු බව මට පසක් විය.

පරිවර්තනය කරගෙන යන අස්සේ, එක වෙලාවක, තව කොච්චරක් තියෙනවාදැයි බලන්නට පොඩ්ඩක් ලියවිල්ල උඩට කළ විට පෙනුනේ, තව තියෙන්නේ ඡේද දෙකක් විතරක් බවය. ඒ පාර දැනුණු ආතලය කොයිතරම් ද කියතොත්, එවේලේ ම නිදි අයියාට මැසෙන්ජර් එකේ පණිවිඩයක් යවා, "තව ඡේද දෙකයි තියෙන්නේ" බවත්, "හෙට උදෙන් ම සංස්කරණය නොකළ පරිවර්තනය එවන්නං" බවත් ලියා තැබුවෙමි. ඒක සෙන්ඩ් වෙන අස්සේ වෙලාව බැලුවිට පාන්දර එක හමාරට විතර වී තිබුණි. මට කොන්ත්‍රාත්තුව බාර දී තමුන්නැහැ බුදි දැයි අහන්නට කෝල් එකකුත් දී බලන්නට හිතුණු නමුත්, ඒ වගේ විනම්බෑසි කරන්නට සුදුසු වයස අපි දෙන්නා ම මේ ‌වන විට පහු කර ඉන්නෙමු.

පරිවර්තනය කියා කීවාට, මම කර ඇත්තේ අනුවාදයක් බව කිව්වේ ද නිදි ම ය. වචනෙට වචනය පරිවර්තනය කළා නං මේ මුල් ලිපියේ තියෙන දිග වාක්‍ය ශෛලියේ හැටියට සිංහලෙන් ලියවෙන්නේ තේරුම් ගන්න බැරුව අන්ද මන්ද වෙන අන්දමේ කුණුහබ්බ පරිවර්තනයකි. ඒ නිසා මම කෙරුවේ වාක්‍ය කියවා තේරුම්ගෙන ඒක පැහැදිලි වෙන විදිහේ වාක්‍ය කීපයක් ලියන එක ය. ඒ වගේ ම අන්තිම මොහොතේ දී මගෙ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක කියවා එඩිට් කරන්නට ද නිදි අයියා උපකාර කළේ ය.

පරිවර්තනය කළාට පස්සේ, සමහර තැන් මම ලියා ඇත්තේ චිත්‍රපටියේ තිබෙන කොටස් ගැනම ද කියා තහවුරු කරගන්නට උවමනා විය. මොකද කියතොත්, සමහර විට මේක කියවන උදවිය මේ වෙන කොටත් මේ චිත්‍රපටිය බලලා තියෙන සහ, මේක කියෙව්වාට පස්සෙවත් බලන්නට ඉඩ ඇති නිසා ය. ඒ හින්දා ම පහුගිය ඉරිදා උදෙම්ම නැගිට (උදේ පාන්දර හතට විතර) නයිට් ටයිම් ඩේටා මඟින් මේ චිත්‍රපටියත් බාගත කරගෙන බලන්නට පටං ගත්තෙමි. ටොරන්ට් ලිංක් එක මෙතනින්.

මේ පරිවර්තනයෙන් මට ලැබුණු වාසි ‌හෙණ ගොඩකි. ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක් බලන්නට මට උත්තේජනය, පෙළඹවීම සහ අවස්ථාව ලැබුණේ ය. ප්‍රාණවත් සහ සජීවී විදිහට ලිපියක් ලියන්නේ කොහොමදැයි ආදර්ශයක් ලැබුණේ ය. පරිවර්තනය කිරීමෙන් පස්සෙ චිත්‍රපටිය බැලූ නිසා, චිත්‍රපටිය ඉතාම සියුම් ලෙස රසවිඳින්නට ද ඉඩ ප්‍රස්ථාව ලැබුණේ ය. විශේෂයෙන් ම ශබ්ද සංයෝජනය, ඉතා ම තියුණු සංස්කරණයන්, සංගීතය මුසු කිරීම සහ විශිෂ්ට පසුතල නිර්මාණයන් ගැන විස්මයට පත් වීමට ලැබුණේ ය.

ඒ සියල්ලට නිදි රාළට ස්තූතිවන්ත වෙන අතර, නිදි මේ ගැන ලියපු මුල් ලිපිය, මෙතනින් ගොහින් කියවා ගන්නා ලෙස ආරාධනා කරමින්, මගේ වචන සුවල්පය මෙයින් හමාර කරන්නට අදහස් කරමි.

Thursday, September 1, 2022

රසෙහි විස


අසෙකු පිටින් පැමිණි තානායම්කරු බිමට බැස්සේ මැහැල්ලගේ ගොවිපළ ළඟදීය. ඔහු උසය, මහතය. ඔහුගේ මුහුණ රතු වී තිබිණ.

තමා නැගී ආ අසු කණුවක බැඳ ඔහු ගොවිපළට ඇතුළු විය.

මැහැල්ලගේ ගොවිපළ පිහිටා තිබුණේ තානායම්කරුගේ ඉඩමකට යාබද වය. මේ ඉඩම ලබා ගැනීමට ඔහුගේ සිත් තුළ ලොකු ආසාවක් හටගෙන තිබිණ. බොහෝ අවස්ථාවල ඊට උත්සාහ ගත් නමුත් වැඩක් වූයේ නැත. මැහැල්ල ඉඩම විකුණා දැමීම උදක් ම ප්‍රතික්ෂේප කළාය.

“මම ඉපදුණේ මෙතැන ම යි: මැරෙන්නෙත් මෙතැන ම යි.” ඔහු ඉඩම ඉල්ලූ සෑම අවස්ථාවේම ඕ මේ කෙටි පිළිතුර දුන්නාය.

ජුලේ චිකෝ පැමිණෙන විට මැහැල්ල මිදුලේ මිඳ අලගෙඩි ලෙලි අරිමින් සිටියාය.

ඇගේ වසය අවුරුදු සැත්තෑ දෙකක් පමණ වෙයි. ඈ ඉතා කෙසඟය, කුදුය. ඇගේ හම රැළි වැටී ඇත. එසේ වුව ද ඈ කෙල්ලක මෙන් කඩිසරය, උද්‍යෝගීමත්ය.

චිකෝ ඉතා මිත්‍ර ලීලාවෙන් ඇගේ පිටට තට්ටු කොට ඈ ළඟ තිබුණු පුටුවක හිඳ ගත්තේය.

“අම්මේ,”

“මොක ද පුතා?”

“අම්මා හොඳ සනීපයෙන් සිටිනවා දකින්න මම හරි ආසයි.”

“මට නම් කියන්න වරදක් නැහැ. ඉතින් කොහොම ද ඔබේ සැප සනීප?”

“හුඟක් දුරට හොඳයි. කලින් කල වාත රෝගයක් නම් හැදෙනවා. වෙන කියන්න අමාරුවක් නැහැ.”

“ඒක හොඳයි.”

ඈ වැඩි යමක් නොකියා, තමාගේ වැඩය දිගට ම කරගෙන යන සැටි ඔහු කුහුලින් බලාගෙන සිටියේය.

මැහැල්ල පොකිරිස්සෙකුගේ අඬු වැනි ඇඟිලිවලින් දිය බඳුනේ තිබුණු අලගෙඩි ගෙන, පොතු හැර, අනෙක් අතින් ගත් පිහියෙන් කපා, බඳුනකට දමයි. කුකුළෝ එතැනට පැන අල කෑලි හොටින් ගෙන හැකි තරම් වේගයෙන් පැන දුවති.

චිකෝගේ සිත නොසන්සුන්ය. යමක් කියන්ට ඔහුගේ තොල් පොපියයි.

“අම්මේ... මම කියන්නේ...”

“මොක ද පුතා?”

“‌එහෙනම් අම්මා ඉඩම් කෑල්ල විකුණන්නේ නැහැ... ඒක ස්ථිරයි?”

“මම නම් ඉඩම් කෑල්ල කීයටවත් විකුණන්නේ නැහැ. ඔබේ හිත හදා ගන්න. කී දේ කිව්වා මයි... තවත් ඒ ගැන කතා කරන්නන එපා.”

ඔහු මඳ වේලාවක් සිතිවිල්ලට වැටී සිටියේය.

“ඒකට කමක් නෑ අම්මේ. අපි දෙන්නාට ම එකඟ වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා.

මේ ඉඩම මට විකුණුවත් ඔබට එය බුක්ති විඳින්න පුළුවන්... මම කියන දේ ඔබට තේරෙනව ද?... මම කියන දේට ඇහුම්කන් දෙන්න.”

මැහැල්ල අල පොතු ඇරීම මොහොතකට නැවැත්තුවාය. ගන සැරේට වැවුණු ඇහි බැම යට පිහිටි ඇස් දෙක දල්වා ඔහු දෙස බැලුවාය.

“මම කරුණු විස්තර කරලා දෙන්නම්.” කියමින් චිකෝ කතාව පටන් ගත්තේය.

“මම හැම මාසෙට ම අම්මාට ෆ්‍රෑන්ක් 150 ගණනේ දෙන්නම්... මම කියන දේ තෙරෙනවා නොවේ ද?... මගේ අතින් ම ඒ මුදල දෙන්නම්. ඔබේ ජීවිතයේ කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. ඔබේ ගොවිපළ ඔබට ම අයිතියි. දැන් වගේමයි. ඔබට කරන්ට තිබෙන වැඩේ නම් මම මාස්පතා දෙන මුදල බාර ගැනීම පමණයි... ඔබ ඊට කැමති ද?”

චිකෝ  ඈ දෙස කාරුණික බැල්මක් හෙළුවේය. එහෙත් මැහැල්ල ඔහු දෙස ශංකාකූල බැල්මක් හෙළුවේ තමා උගුලකට වැටේ දැයි සිතමිනි.

“ඒ යෝජනාව නම් හොඳයි. ඒ වුණාට ඔබට ගොවිපළ අයිති වන්නේ නැහැ නොවේ ද?” මැහැල්ල ප්‍රශ්න කළේ මඳක් පැකිළෙමිනි.

“ඒකට කමක් නැහැ.” ඔහු කීය. “දෙවියන්ගේ කැමැත්ත අනුව ජීවිතාන්තය දක්වා ම ඔබට මෙතන ඉන්නට පුළුවනි. ඔබේ මරණින් පස්සේ මෙය මට අයිති කරන ඔප්පුවක් ලියා දෙන්න. ඔබට දරුවන් නැහැ. ඔබ ලේලිලාට බෑණලාට වැඩි සැළකිල්ලක් දක්වන්නේත් නැහැ... මගේ යෝජනාවට කැමති වන්න. ජීවිතාන්තය දක්වා ම ගොවිපළ තියාගන්න... මම මාස්පතා නොවරදවාම ෆ්‍රෑන්ක් 150ක් දෙන්නම්. මේ යෝජනාව නම් ගජ වාසියක්!...”

මේ යෝජනාව මැහැල්ලගේ බලවත් විස්මයට ‌හේතුවක් විය. ඇගේ සිත නොසන්සුන් විය.

යෝජනාවට එකඟ වීමට ඈ තුළ කැමැත්තක් ඇත. එහෙත් ඈ මඳක් පැකිළුණාය.

“ඊට එකඟ වෙන්න බැරිය කියල මම කියන්නේ නැහැ. ඒ වුණාට ඒ ගැන හිතලා බලන්න ඕනෑ. තව සතියකින් විතර මේ පැත්තේ ආවාම ආයිත් මේ ගැන කතා කරගන්න බැරියැ. එදාට මම ස්ථිර වචනයක් දෙන්නම්...”

එදා චිකෝ ගෙදර ගියේ රටක් දිනාගත් රජෙකු මෙනි.මැහැල්ල සිතිවිල්ලට වැටුණාය. එදා රෑ ඈට නින්ද ගියේ නැත. ඈ දවස් හතරක් ම ගත කළේ, බලවත් මානසික අසහනයකින් සහ අවිනිශ්චිත ස්වභාවයකින් යුක්තවය. මේ යෝජනාවට එකඟ වුව හොත්, කිසියම් විපත්තියක් තමාට සිදුවන්නට ඉඩ ඇත යන හැඟීම ඇගේ යටි හිතේ නළියන්නට විය.

“මාසෙකට නිකම් ෆ්‍රෑන්ක් එක සිය පණහක්. කොතරම් වාසියක් ද? සල්ලි ගැටෙන හඬක් මට ඇහෙනවා. සල්ලි! සල්ලි...!”

වස්තු කාමය ඇගේ සිත දැඩි ලෙස වෙළා ගත්තේය. කෙසේ වුව ද මේ යෝජනාවට එකඟ වීමට නීතිඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය යි ඈ කල්පනා කළාය.

“ඔබ ඒ යෝජනාවට එකඟ වුණාට කමක් නැහැ. කොහොම වුණත් මාසෙට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ඉල්ලන්න.මේ ගොවිපළ අඩුම ගානේ ෆ්‍රෑන්ක් හැට දාහක් වටිනවා. ඔබ තව අවුරුදු පහළොවක් වත්  ජීවත් වුණොත් ෆ්‍රෑන්ක් හතළිස් දාහක් විතර ලබා ගන්න පුළුවනි...” නීතිඥයා කීවේය.

මාසයකට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ලබා ගැනීම පිළිබඳව කල්පනා කිරීමෙන් ඈ සතුටින් ඉපිළ ගියාය. එහෙත් සැක සිත ඇයට වද දෙයි. ඒ නිසා නීතිඥයාගෙන් තව තවත් ප්‍රශ්න අසමින් සියලු සැක දුරු කර ගැනීමට ඈ උත්සාහ ගත්තාය.

බොහෝ වේලාවක් නීතිඥයා සමඟ සාකච්ඡා කිරීමෙන් සැක දුරු කරගත් මැහැල්ල ඔප්පු ලියන්නට කටයුතු සූදානම් කොට ගෙදර ගියාය.

සුරා බී මත්වුණු කලක මෙන් ඇගේ සිත, හිස කැරකෙන බව ඇයට දැනුණේය.

චිකෝ මැහැල්ල හමුවීමට යළිත් පැමිණියේය. ඔහුගේ යෝජනාවට එකඟ වීමට නොහැකි බවක් හඟවන්නට ඈ කෙතරම් තැත් කළ ද, ඔහු මීට එකඟ නොවේය යි බියක් ද ඈ තුළ පැවතිණ. ඒ අතර ම ෆ්‍රෑන්ක් දෙසීය පණහක් දීමට ඔහු කැමැති කරවා ගැනීම දුෂ්කර වේ යයි ද ඕ කල්පනා කළාය.

“මම ඔබේ යෝජනාව ගැන කල්පනා කර බැලුවා. ඒකේ සුලු වෙනසක් ඇති කළොත් වඩාත් හොඳය යි මට හිතෙනවා.”

“කියන්න බලන්න.”

“මට ෆ්‍රෑන්ක් එකසිය පණහක් මදි; මට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් දෙන්න.” මේ යෝජනාවෙන් බලවත් පුදුමයට හා කළකිරීමට පත් වුණූ ඔහු ඊට නොකැමති විය. තම යෝජනාවට ඔහු අවනත කර ගැනීම සඳහා ඈ තර්ක කරන්නට වූවාය. “මම තව අවුරුදු හතරකට පහකට වැඩිය ජීවත් වන්නේ නැහැ. දැන් මගේ වයස අවුරුදු හැත්තෑ තුනයි. මම හොඳට ම දුබලයි. ඊයේ හැන්දෑවේ මම හිතුවේ මැරෙවිය යි කියලා. ඇඳ ළඟට බඩගාගත්තේ හරිම අමාරුවෙන්.”

චිකෝ අවනත වුණු බවක් පෙනෙන්නට නොතිබුණි. “අම්මා අර පල්ලියේ කණුව වාගේ ශක්තිමත්. ඔබ අවුරුදු සීයක් විතර ජීවත් වේවි. බාග වෙලාවට අම්මට ඉස්සෙල්ලා මම මැරිලා යන්නත් පුළුවනි.”

ඔවුහු මේ ගැන බොහෝ වේලාවක් වාද විවාද කළහ. අඩු මුදලක් ලබන්ට මැහැල්ල කිසිසේත් ම කැමැති නො වුවාය. බැරිම තැන තානායම්කරු ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ගෙවන්නට කැමැති විය. ඔහු මාස්පතා ඇයට ෆ්‍රෑන්ක් දෙසීය පණහ බැගින් දෙන්ට පටන්ගත්තේය.

අවුරුදු තුනක් ගෙවී ගියේය. මැහැල්ල මැරෙන ලකුණක් වත් දක්නට නොලැබිණ.

දැන් චිකෝට ඉවසුම් නැත. ඔහුට හැඟුනේ තමා අවුරුදු පහක් පමණ ඈට නිකරුණේ මුදල් දුන් බවයි. කළ මෝඩකම් නිසා විනාශය තමන් කරා ම ළඟා වේය යි ඔහු සිතන්ට විය.

ඔහු විටින් විට ඈ බලන්ට ගියේ අස්වැන්න නෙළාගැනීමට හැකි දැයිසොයා බැලීම පිණිස කෙතට යන ගොවියෙකු පරිද්දෙනි. ඈ හෙළූ කපටි බැල්ම දුටු චිකෝ කල්පනා කෙළේ, තමා කළ කපටිකම නොපිටට පෙරළා ඈ බලවත් සන්තෝෂයට පත් වී සිටින බවය. ඈ නිදුකින් සිටිනු දැකීම ගැන ඔහු යටි හිතින් කෝප විය.

“මේ නාකි කෝලම මැරෙන පාටක් නෑ.” ගෙදර යන ගමන් ඔහු තමාට ම කියාගත්තේය. කළ යුත්තේ කුමක්දැයි ඔහුට නොවැටහේ. ඇගේ කුලල මිරිකා දමන්ටත් ඔහුට වරක සිතේ. තමන් සතු සියලු වස්තුව සොරකම් කරගනු ලැබූ කල්හි දිළිඳු ගැමියෙකුගේ සිතෙහි හටගන්නා ද්වේශයට බඳු ද්වේශයක් ඔහු තුළ හටගත්තේය. ඈ විනාශ කර දමන්නේ කෙසේ දැයි ඔහු කල්පනා කරන්නට විය.

ඔහු දිනක් ඈ හමුවීමට පැමිණ, අත් පිරිමදිමින් කතා කළේය.

“අම්මා රෑ කෑමට අපේ ගෙදරට එන්නේ නැත්තේ ඇයි? අපි අතරේ ඇයි හොඳයියක් නැතෙයි කියලා ගම්මු කතා කරනවා. ඒක මට ලොකු වේදනාවක්. අපේ ගෙදරට එන්න ඔබට සල්ලි වියදම් වන්නේ නැහැ. මට නැති බැරි කමකුත් නැහැ. අම්මා දවසක රෑ කෑමට එනවා නම් මම හරි සතුටුයි.”

ඈට දෙවරක් ආරාධනා කිරීම අවශ්‍ය නොවීය.

“අපි තව දවස් දෙකකින් වෙළෙඳපොළට එනවා; එදා රෑ කෑමට අපි ඔබේ ගෙදර එන්නම්.”

චිකෝ සිය ප්‍රසාදය පළ කෙළේය.

ඈ නියමිත දින නියමිත වේලාවට රෑ කෑමට පැමිණියාය. ඔහු ඇයට සැළකුවේ රාජ කුමාරියකට සලකන පරිද්දෙනි. ඉතා ප්‍රණීත ආහාර පානාදිය ඇය වෙනුවෙන් පිළියෙල කොට තිබිණ. මැහැල්ල කෑමට බීමට ගිජු ස්ත්‍රියක් නොවූවාය. ඒ නිසා පාන් පෙත්තක් සහ සුප් බඳුනක් පමණක් ගෙන ඈ තෘප්ත වූවාය.

චිකෝ පෙරැත්ත කළ නමුත්, වැඩි යමක් කෑමට ඇය පොළෙඹවා ගැනීමට නොහැකි විය.

“එහෙනම් මොකුත් බොමුද?”

“අපොයි එපා.”

“එහෙනම් කෝපි වීදුරුවක්?”

“දැන් එපා”

“ඉස්තරම් බ්‍රැන්ඩි වර්ගයක් තියෙනවා. ටිකක් බිව්වට කමක් නැහැ.”

“බ්‍රැන්ඩිද?”

“ඔව්, ඔව්. ඉස්තරම් වර්ගයේ ඒවා...” චිකෝ උනන්දු විය.

“බ්‍රැන්ඩි ටිකක් බීමට... නම් මගේ අසතුටක් නැහැ.” ඈ මඳක් පැකිළෙමින් කීවාය.

“රෝසල්, ඉස්තරම් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් ගේන්න. ඉස්තරම් වර්ගයේ එකක්.” චිකෝ මෙහෙකරුට කීවේ ලොකු උනන්දුවකිනි.

මෙහෙකරුවා දිග බෝතල දෙකක් ද, වීදුරු දෙකක් ද රැගෙන ආවේය.

“බොන්න ටිකක්, හරිම අගෙයි.” චිකෝ කීය.

මැහැල්ල වීදුරුව තොල ගාමින් ටිකින් ටික බ්‍රැන්ඩි බීවාය. සෙමෙන් බීවේ වැඩි සන්තෝෂයක් ලබනු පිණිසය. අන්තිම බිංදුව බීමෙන් පසු සතුටු සිනාවක් නගා, “මේ බ්‍රැන්ඩි නම් ඉතාම ඉස්තරම්.” කීවාය.

ඈ මෙසේ කියන විට චිකෝ තවත් වීදුරවකට බ්‍රැන්ඩි වත්කොට අවසානය. එය ප්‍රතික්ෂේප කිරීමට ඇය ඉදිරිපත් වූ නමුත් ඊට කල්ගියා වැඩිය.

ඒ වීදුරුවත් ඈ ටිකෙන් ටික බීවාය.

එය බී අවසන් වූ පසු චිකෝ ඈට තව වීදුරුවක් පිළගැන්වූවේය. ඈ එය උදක් ම ප්‍රතික්ෂේප කළ නමුත්, එයත් පිළිගන්නා ලෙස ඔහු ඈට පෙරැත්ත කරන්නට වූයේය.

“මේවා හරියට කිරි වාගෙයි. මට නම් කිසි ම කරදරයක් නැතිව වීදුරු දහයක් දොළහක් වුණත් බොන්න පුළුවනි. ඉසේ රදයක් හැදෙන්නෙ නැහැ. දිවේ ගෑවෙන කොට ම වාෂ්ප වී යනවා වගේ දැනෙනවා. මේක නම් හරි ම හොඳ බීමක්...”

ඈ තුන් වෙනි වීදුරුව අතට ගත්තේ ඔහුගේ මේ පෙරැත්තය නිසා මයි.

“මේ බලන්න., මේකෙ ඇති රසය දැන් ඔබට දැනෙන්න ඇති. අපි හොඳ යාළුවන් බව පෙන්වීමට තව උගුරක් බොන්න.”චිකෝ කාරුණික ලෙස කීවේය.

ඈ අවසර ගෙන එතැනින් නික්මුණාය. සුරා මතින් ඇගේ හිස බමන්නට පටන් ගත් බව ඈට දැනෙයි.

පසු දින තානායම්කරු ඇගේ නිවසට පැමිණියේ බීම බෝතල් කීපයක් ද රැගෙනය.

“මේ ඊයේ බීපු ජාතිය මයි, ටිකක් බොමු.

ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.

“ලැජ්ජා වෙන්න එපා, ඕනෑ තරම් බොන්න. මම බෝතල කීපයක් තියලා යන්නම්. ඉවර වුණාම තව ඉල්ලන්න. මම තව ගෙනත් දෙන්නම්.”

දින හතරකට පසු ඔහු නැවතත් පැමිණියේය. ඔහු එන විට මැහැල්ල පාන් කමින් සිටියාය.

ඔහු ඈ ළඟට ගියේය. තම මුහුණ ඇගේ මුහුණට ළං කෙළේය.

ඇගේ මුවින් සුරා ගඳ වහනය වන බව දත් ඔහු සතුටට පත් විය.

“මට දෙන්නකො ‘ස්පෙෂල්’ බ්‍රැන්ඩි වීදුරුවක්.” ඔහු කීය.

“හොඳයි, හොඳයි.” ඈ කීවේ සිනහ මුසු මුහුණෙනි.

ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.

මැහැල්ල බීමත් වී දවස් ගෙවන විත්තිය ගම රට පුරා පැතිරී ගියේය.

බීමත් වී තැන තැන වැතිරී සිටි ඕ තොමෝ කිහිප වතාවක් ම ඔසවාගෙන එනු ලැබුවාය.

චිකෝ ඊට පසු ඈ හමුවීමට ගියේ නැත. කිසිවෙකු ඈට පැමිණි ව්‍යසනය ගැන කතා කළ විට ඔහු ව්‍යාජ ශෝකී ස්වභාවයක් ආරූඪ කරගෙන මෙසේ කියයි:

“මේ නහින දෙහින කාලෙ බීමට පුරුදු වීම නම් කණගාටුවට කාරණයක්. මෙහෙම බිව්වොත් වැඩි කල් අල්ලන්නේ නැහැ.”

නත්තල් සමයේ දී සුරා මතින් මත්වුණු ඈ, සිහි නැතිව හිම මත ඇදගෙන වැටුණාය.

ඈ නැවත එ තැනින් නැඟිට්ටේ නැත.

චිකෝගේ අදහස මුදුන්පත් විය. ගොවිපළ ඔහුට අයත් විය.

“ඈ හරි මෝඩයි. බීමට පුරුදු  වුණේ නැත්නම් තව අවුරුදු දහයක් වත් ඈට ජීවත් වෙන්න තිබුණා...” යි ඔහු තමාට කියා ගත්තේය.

-         ගීද මෝපසාං ගේ ‌ ලෙ පෙටි ෆු  කෙටිකතාව ඇසුරින්

කියවීම් පොතක ඇතුළත් කර තිබූ කතාවකි 

ගී ද මෝපසාං


වැඩිපුර බලපු ලිපි