Saturday, May 25, 2024

විජය පත්තර මතක

මා ළඟ තිබුණා, විජය පත්තර ටිකක්, 1983 විතර ඉඳලා ඉදිරියට. මේ ළඟ දි ඒ එකක තිබුණු කැලේ කතාවක කතාවක් මතක් වෙලා මං හුටංබරස් ට කිව්වා. ඊට පස්සෙ මට ඒ ටික හොයන්න ඕනෙ වුණා. මේ පෝස්ට් එක ඒ සෙවීමේ ප්‍රතිඵලය.

පරහකට තියෙන්නෙ, 2010 දි විතර මගෙ පොත් අල්මාරියට වේයො ගිහිං සෑහෙන ප්‍රමාණයක් රස විඳලා තිබුණු එක. ඉතිං පත්තර කොටස් ටිකක් අපට රස විඳින්න අමාරුයි.

මෙන්න මුලින් ම සිබිල් නැන්දා කරපු කවරයක්. මං ආස ම ඒකෙ කවියෙ තියෙන සරල බවට යි, පින්තූරවල තියෙන ජීවමාන ඉරියව් වලටයි.


මේ කවරය තිබුණු පත්තරේ ම තමයි "මකාගෙ යලක්" පළවෙනි කොටස තිබුණෙ. මේ ඒක...


මී ළඟට සූත්තර පුංචා කොටස් කීපයක්...





ගෝවින්ද ලියපු "මට මතකයි" ආටිකල් එකත්, අතීත රස වෑහෙන ලියමනක්. මේ එයින් එකක්...


අන්තිමට... අපේ බකමූන්ස් අමතක කරන්ඩ පුළුවනෑ...? මේ උන්දැගෙ ලියමන් දෙකක්, විජය පත්තරෙන්.



මේ ටික ලියලා ඉවර වෙද්දි, කැලේ කතාව පීඩීඑෆ් වෙලා ඉවරයි. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

61 comments:

  1. විජය පත්තරේ ගැහැව්වෙ විජය රජ්ජුරැවො ලංකාවට එන්න කලිංද හිටං

    ReplyDelete
    Replies
    1. නෑ ඊට ටිකකට පස්සෙ. ඉස්සෙල්ලාම පුස්කොළ පත්තරයක් විදිහට තමයි කරලා තියෙන්නෙ. පස්සෙ කුවේණිගෙ කපු කටින මැසිම හදාපු බාස්, මුද්‍රණ යන්තරයක් හදලා දීලා. ඔව්, වොව් හෙළ යක් පුතෙක්ගෙ තාක්ෂණය තමයි.

      Delete
    2. කුවේණිගෙ මැසිමෙ තමයි ඉස්සෙල්ලම ගහල තියෙන්නෙ.

      Delete
    3. ඔව් , කුවේණියි, චන්ද්‍රිකයි අතර ඉන්ටර්වල් එකේදි, බකුසු මාමගෙ කුඩේ අඹතලේදි උඩ ගිය කාලෙ

      Delete
    4. කුඩේ උඩ ගියේ නෑ රාළහාමී, ලිස්සලයි ගියේ.
      වවුල්පාල, හෙම්බිරිසාවට කොත්තමල්ලි ටිකක් බීහං.

      Delete
    5. අනේ මංද, අත්තකට මාරුවුන කෑල්ලකුත් තියනව ඒ කතාවෙ ..

      Delete
    6. නමිනං මල්ලී,
      මගුලක් කතා කරනව. ඔව්වෑ අල ගිය මුල ගිය තැං හොයන්නැතුව, දීල තියෙන ටිකෙං යමක් ඉගෙන ගෙන, රටට දැයට වැඩදායක පුරවැසියෙක් වෙන්ඩ හිතා ගනිං ගුටි නොකා!

      බකුස්,
      ඒක දැක්ක ගමං දැන ගත්තා, රිටිගල ජයතුංගගෙන් යමක් ඉල්ලනව කියල.

      ප්‍රසෝ,
      මොනව ද ගොයියො ඔය පහළ ඇනෝවෙක් කියල තියෙන්නෙ? මං නං දන්නෙ කපු ටැක ටැක උන්න කතාව විතරයි.

      ප්‍රා,
      ඒක හැළ බකුස් තාක්සණේ වෙන්ඩැති?

      බකුසො,
      කොත්තමල්ලි නෙමෙයි යකො! මට සෙනසුරාද හවස ඇක්සිඩන්ට් එකක් හැප්පුණා. මං බොහො ම විනීත විදිහට පාරෙ අයිනෙං යද්දි පයිං, කුඩෙත් ඉහළගෙන, පිටිපස්සෙං ආව ඇල්ටො එකක් මාව හප්පල, කාණුවට දැම්ම. කුඩේ කුඩු! එහෙම තියාගෙන තමයි මේ පෝස්ට එක දැම්මෙ. (බලන්ඩ මගෙ කැපවීම විතරක්!) ඉතිං කොත්තමල්ලි විතරක් නෙමෙයි ඇන්ටිබයොටික් එකකුත් බොනව උදේ හවස. චූ කරනකොට ඇන්ටිබයොටික් සුවඳයි...

      ප්‍රා,
      ඇත්ත. පේනව නේ ද ඒ ලිපියෙ ම තියෙනව ආඳා ලක්ෂණ...
      (රහසිං... ආඳමාලු රහද දන්නෑ?)

      Delete
    7. https://steemit.com/cooking/@andriadi/the-eels-are-a-delicious-meal-and-can-increase-sexual-passion

      Delete
    8. හා හා... ලිංක් එකත් රහසිං දාන්ඩ

      Delete
  2. මසුරං වැඩක් ඩ්‍රැකියො.💐👌🙏
    ආයෙ එන්නං, තව දහසැරයක්වත් ඇවිත් ටික, ටික කියවන්න ඕනෙ හරියටම රස විඳින්න.😁
    සිබිල් නෝනගෙ කතා සහ චිත්‍ර කිව්වම, ආයෙ වෙන මොනවද?👌

    ReplyDelete
    Replies
    1. මසුරං දත් අහනව... මට මාාාර ආසයි ඒ කාලෙ විජය පත්තරේ ගිය ආටිකල් ටිකට. ඔය කාලෙ තමයි හර්නැන්ඩෝ කෝටේස් ගෙ දේශ ගවේෂණ, හිරිගල් දූව - සොල්දර බංගලාව වගේ ළමා කතා එහෙම ගියෙ. මං ඒ රසයට, මේ ළඟදි හුටංබරස් ට විජය පත්තරෙයක් අරං දුන්නා. ඒකෙ තියෙන දේවල් පොර ඊට වඩා විස්තර ඇතුව ගූගල් එකෙං හොයා ගන්නව.

      කොහොමත් අතීතය කියන්නෙ ආපහු එන්නැති අත්දැකීමක්...

      Delete
  3. සිබිල් වෙත්තසිංහගෙ කතාවල තියන රසය නම් අසමානයි. කලක් නවයුගය සඟරාවටත් ලස්සන කතා පෙළක්ම ලිව්වා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත. විජය පත්තරේට සිබිල් නැන්දා ලිව්වෙ සූත්තර පුංචා විතරයි වගේ මතක. හැබැයි වෙන වෙන ලිපි ගොඩකට එයා චිත්‍ර ඇන්දා. ඔය බස්සගෙ ලිපියත් ඒ වගේ එකක් මයෙ හිතේ.

      Delete
  4. හප්පේ මොන තරම් වටිනා වැඩක්ද වවුල් රාලහාමි මේ කරලා තියෙන්නෙ.. දැන් ඉන්න දරුවන්ට මෙ සුන්දරත්වය නැතුව IC අස්සෙ අතරමං වෙලාද කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෙන්නා... අපි පත්තරවලින් ගත්ත දැනුම දැන් ළමයි ඊට වඩා ‌ඇඩ්වාන්ස් විදිහට ඉන්ටනෙට් එකෙන් ගන්නව.

      Delete
  5. විජය පත්‍තරේ කියෙව්වට එච්චරම වයසයි කියල අදයි දැනගත්තෙ විජයට.කොහොම උනත් නියමයි ඩ්‍රැකියො ආයෙත් පොඩි කාලෙට ගියා වගේ හැඟීමක් දැනුනා.අපේ පොඩි මෑන්ට කියවන්න දෙන්න ඕනේ.. 😍😍

    ReplyDelete
    Replies
    1. විජය පත්තරේ ඒ කාලෙත් අවුරුදු හයක් විතර පරණයි. මට මතකයි, විජය පත්තරේ උපන් දිනේ කියල, ඒ අදාළ සතියෙ පත්තරේ මුල් පිටුව වෙන ම අඳිනවා.

      සොඳුරු සඳ පැටියට වැඩක් වෙයි, සූත්තර පුංචා, කැලේ කතාව වගේ ඒව නං... එව්ව මරු!

      Delete
  6. ඒක මරු.
    ඔය මකාගෙ යලක් කතාව පළවෙනි කොටස වෙන්න බෑ. මොකද මට මතක හැටියට ඔය කතාව පත්තරේ ඉස්සෙල්ල තිබ්බෙ ඇතුලෙ පිටුවක පොඩි කොටසක් විදියට විතරයි.

    ReplyDelete
    Replies
    1. පළමු කොටස තමයි

      Delete
    2. ප්‍රසන්න සහ ඇනෝ,

      ඔය තමයි පළවෙනි කොටස. ඊට කලිං පත්තරේ ඇතුළෙ එක තීරුවක ට පළ කරපු කතාව නිකං ම "මල් මාමා". ඒකෙ තමයි අර ගම්මුලාදෑනියගෙ අලිය ලවා මල අද්දවලා, ඊට පස්සෙ අලියගෙ නැට්ට කැඩිලා, ඒකට වන්දි ගෙවන්න ඇත් ගොව්වත් එක්ක මල් යක්ෂයා කියල දේවාලයක් දාගෙන නාඩගමක් නැටුවෙ.

      Delete
  7. හැලපකඩේ බ්ලොග් අඩවියේ හැලපයා හදිසි හෘද අබාධයක් සෑදී මිය ගිය බවට සදහන් වන පුවත සත්‍යයක්ද?

    ReplyDelete
  8. අම්මපා හරිම පන්කාදුයි.රස වෑහෙන අපූරු මතක සටහන්.
    පත්තරේ ගත්ත ගමන් කියවන්නෙ මකාගෙ යලක්.ඒ වගේම දහස් ගනනක් අතරින් උනත් දැස් වහගෙන අදුනගන්න පුලුවන් සිබිල් නැන්දගෙ චිත්‍ර ටිකත් අකුරු රටාවත්.

    ReplyDelete
    Replies
    1. හම්මට...! සරත් අයියටත් රස වැටුණ කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමෙයි.

      Delete
  9. විජය පත්තරේ වැඩියෙන්ම අසාවෙන් කියවපු කොටස තමා සූත්තර පුංචා කතාව..

    ReplyDelete
    Replies
    1. ඉහලින් කොමෙන්ට් කෙටුවේ මංතුමා බැව් මෙතැන කොටා සිටිමු ...

      Delete
    2. ඇත්ත. මාත් වැඩිම වාර ගණනක් කියෙව්වෙ ඒක. දැන් බලනකොට සමහර ඒව නං ඒ තරම් දෙයක් නෑ කියල හිතෙනව. නමුත් අපේ ළමා මනසට ඒවා ගොඩක් රසවත් වුණා.

      ඔය විදිහට ප්‍රොෆයිල් පැටලෙන්නෙ නෑ රෙගියුලර් ලියනවනං...

      Delete

  10. නයා අසික්සිත කමෙන්ට් එකක් දාල (දායක සබාව )
    කුවේණිගෙ මැසිමෙ තමයි ඉස්සෙල්ලම ගහල තියෙන්නෙ.//

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ එහෙම කැත කොමෙන්ට් දාන්නෙ මෙතන.
      කො.ක.ස.ස.
      හැක්..

      Delete
    2. https://tabs.ultimate-guitar.com/tab/james-brown/sex-machine-tabs-61364

      Delete
    3. දායක සබාව කියල කිව්වෙ, මේ පන්සලේ ලොකු හාංදුරුවො වත්ද?🤔😋

      Delete
    4. DGMB, විජය කුමාරයගෙ ඒ ජාතියෙ බයි ගතියකුත් තිබුනද. සිංහබාහු පරපුර අනිත් ඔක්කොම කලාට ඒක කරපු වග අහල තිබුනෙ නෑනෙ. හිරේ ගිහිල්ලා පස්සෙ නැවේ සේලර්ස්ලා එක්ක ඉන්න කාලෙ පුරුදුවෙන්න ඇත්තෙ, පංසලක වෙන්න බෑ, පංසල් ක්‍රීඩාවලට වයස වැඩියිනෙ.

      Delete
    5. ත්‍රයි ලෝක විජය පත්තරයක් ගහපුවම වයසත් ප්‍රශ්නයක්යැ.

      Delete
    6. අපොයි එහෙම කොහොමද සෑසනේ ගෙනියන්නෙ ලමා සාමනේරලා ඇබිත්තලා නැතුව !

      Delete
    7. ලලිත්,
      ඇත්ත. නයා ශික්ෂණය කරන්න අහිගුණ්ඨිකයෙකුට කියන්න වෙනව.

      ප්‍රසෝ,
      අන්න අර කණ්ණාඩියෙ ඉන්නව ඒ හාදයා.

      ප්‍රා,
      https://www.youtube.com/watch?v=ZNaXb3uuekk&pp=ygUXamFtZXMgYnJvd24gc2V4IG1hY2hpbmU%3D

      බකුස්,
      කොමෙන්ට් වාගීශ්වර අන්තර්ජාලයේ කීර්ති ශ්‍රී ලලිතානන්ද නායක ස්ථවිර

      ප්‍රා,
      හොලිවුඩ්වල LGBT ප්‍රවණතාව අපේ සම්මානිත මහාචාරියලට හුරු වුණොත් ඒ වගේ දේවලුත් වෙන්ඩ බැරි නෑ.

      ප්‍රසෝ,
      බෝත් එක්ක බෑ මේක කොරන්ඩ. මං යනව වන ගත වෙන්ඩ.

      ප්‍රා,
      ඔය කතාව මටත් කිව්ව හිංග බහුද්දයෙක්. "ඔය මොන චෝදනාව ආවත්, ගරුතර මහා සංඝයා හින්දා තමයි සාසනේ රැකිල තියන්නෙ" කියල. රේරුකානේ හාමුදුරුවො (වගේ මට මතක) කියල තිබුණා, ශාසනය කියන්නෙ සිමෙන්ති ගොඩවල්, පොත් ගොඩවල් ආදිය නෙමෙයි කියලා.

      Delete

  11. මම 1993 විතර ඉදලා තමා විජය පත්තර කියෙව්වේ. ඒ දවස් වල පත්තරේ තිබ්බා ඔරිගාමි කොලම් එකක්. ඒක නිසයි පත්තරේ ගත්තේ. ඊටත් කලින් තිබ්බ විජය පත්තර වගේකුත් අපේ ගෙදර තිබ්බා. 1989 වගේ ඒවා. ඒ කාලේ විජය පත්තරේ ඕ/ලෙවල් ළමයින්ට විභාග ප්‍රශ්ණපත්‍ර තිබ්බා. ඒ ප්‍රශ්ණපත්‍ර කරන්න අක්කලා අයියලා අරන් ආපු පත්තර මංගාව තිබ්බා. මොකද එක පැත්තක ප්‍රශ්ණ පත්තරේ තිබ්බාට අනික් පැත්තේ තිබ්බේ එක එක කතා. රොබින් හූඩ් කථාව තිබ්බා පත්තර පිටු කීපෙක.

    මේවා දැක්කම හරි දුකයි ඒ කාලේ ආයි එන් නෑ කියලා. ඒ කාලේ ඕනේ උනේ ඉක්මනට ලොකු වෙන්න. දැන් ඕනේ ආයි ඒ කාලෙට යන්න.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි ඡේදයෙ හැම වචනයක් ගානෙ ම එකඟයි.

      අසූ ගණංවල මරු ළමා පත්තර සෙට් එකක් තිබුණා, අපට ගාණට සෙට් වෙන. යහළු, බින්දු, මිහිර, little star එහෙම... අපි සතියකට සැරයක් එන ඒ පත්තරේ එක්ක මාර මානසික ආස්වාදයක් ලැබුවා. මොක ද, ඒ කාලෙ තොරතුරු මූලාශ්‍ර හෙණ අඩුයි නෙ. ඉන්ටනෙට් නෑ, ටීවී උණත් තිබුණෙ ගමේ ගෙවල් කීපයක විතරයි. අපි අසූ ගණංවල මුල මුවන්පැලැස්ස අහන්ඩත් ළඟ ගෙදරකට යනව. බැටරි කෑලි අමුණපු සුරුට්ටු පෙට්ටියක් ඈඳපු වෑර්ලස් එකකිං.

      Delete
  12. සිබිල් නෝනගෙ කතාවල අමුතුම ලස්සනක් තියනවා. සමහරවිට ඒ ඇගේ අපූරු චිත්‍ර ශෛලිය නිසා වෙන්නත් ඇහැකි. ඒ චිත්‍රත් එක්ක කතාවෙන් ලස්සන පරිසරයක් මැවෙනවා. ඒක හරියට අපේ පැරණි ගමක, සුරංගනා කතා වර්ෂන් එක වගේ එකක්.

    පුළුවන් කමක් තියේ නං, මේ වගේ තියන සිබිල් නෝනගෙ කතා කලෙක්ෂන් එකක පීඩීඑෆ් එකක් දෙනවා නං පිං!

    ReplyDelete
    Replies
    1. මගේ මනාපෙත් ඒ යෝජනාවට
      වැඩේ කරන්නත් ලේසියි ඩ්‍රැකීහට

      Delete
    2. බකුස්,
      යෝජනාවට මාත් එකඟයි. ඒකට පොඩි පියවර කීපයක් තියෙනව අනුගමනය කරන්න.
      1. ඔෆිස්සෙකේ ස්කෑනරය අරං එනව ක්වාටස් එකට.
      2. පරණ පත්තර සෙට් එක ඇදල අරං පිටු පෙරල පෙරල තෝරනව ස්කෑන් කරන්න හොඳ කොටස්.
      3. ඩ්‍රැකියානිගෙං බැණුං අහනව, කාපට් එකේ පත්තර ඩස්ට් එක වැටෙණවට.
      4. උන්දැ ආදරේට ගෙනත් දෙන මාස්ක් දෙක, එක පිට එක දාගන්නව.
      5. ටික වෙලාවක් යද්දි, "ඔ්ක ම බදාගෙන හිටියහ ම හරි!" කියල අහ ගන්නව.
      6. ඉන්ටරෙස්ටිං කෑල්ලක් දැක්කහ ම වැඩේ අමතක කරලා, ඒක කියෝ කියෝ ඉන්නව.
      7. ඉතුරු ටික හෙට කරන්නං කියල තියලා, නිදා ගන්ඩ යද්දි, කාමරේ හැඩි කළාට බැණුං අහගන්නව.

      නිදි,
      පංකාදුයි නිදි ඒ යෝජනාවනං
      සූත්තර පුංචා මී ළඟ වර ගෙන එන්නම්

      Delete
    3. හෙහ්,හෙහ් අංක 5 තමයි හොඳම කෑල්ල.😁
      වැඩේ අමාරුව තේරුනා. මෙහෙම හරි යමක් දෙන එකට අපේ ප්‍රණාමය.🙏

      Delete
    4. 🤣👍🙏 මගෙ කම්මැලිකමත් ඒකට එකතු කරන්ඩ ඕනෙ...

      Delete
    5. 6 - ඉන්ටරෙස්ටිං කෑල්ලක් දැක්කහම ඔක්කෝම අමතකයි හිටං 🤭

      Delete
    6. එහෙම තමයි... පතෑං...!

      Delete
  13. මං එකතු කරල තිබ්බ විජය මිහිර දෙකම.
    මම ගෙදර නැති කාලෙක බොහෝ දුරට 2008-10 කාලෙ වෙන්නෝන,
    මුල් කාලෙ එකතු වුණ ළමා පත්තරයි පහු කාලෙ එකතු වුණ නිර්මල, තරුණයා වගේ පත්තරයි ඔක්කම අම්ම දීල තිබුණ බෝතල් පත්තර කාරයෙක්ට. අපරාදෙ.

    අදටත් මතක් වෙද්දි දුකයි.


    ReplyDelete
    Replies
    1. අම්මා එහෙම නොදුන්නා නං, සමහරවිට ඒවා මේ වෙනකොට මීයො, වේයො කාලා වෙන්නත් තිබුනා. කිසිම දෙයක් සදාකාලික නෑ. එකම ක්‍රමය හැකි තරමක් ස්කෑන් කරලා සංරක්ෂණය කරන එක විතරක් වෙන්නත් ඉඩ තියනවා.

      Delete
    2. මහේෂ්,
      මගෙත් තිබුණ ඔය වගේ ම මිහිර, විජය, විදුසර සෙට් එකක් ම. නුවරඑළියෙ එද්දි, අපරාාාාදෙ ඒ ටික කුණු ලොරියකට ගිහිං දුන්න. (මං තාම දුක් වෙනව ඒ ගැන.)

      බකුස්,
      එකාතකට, අපේ පරණ මතක තෘප්තිමත් කිරීම ඇරුණු කොට, ඒ පත්තරවල තිබුණු තොරතුරු නං ඊට වඩා අප්ඩේට් වෙලා, සවිස්තරාත්මකව අපේ ඇඟිලි තුඩු අගට ලැබිලා තියෙනවා. ඒ නිසා, භෞතික ඉඩ කඩ කියන අවාසියත් එක්ක ගළපගන්න වෙනව.

      Delete
  14. මකාගේ යලක් තාම යනවද?

    ReplyDelete
    Replies
    1. දැන් යන්නෙ වෙන නමකින් නේ? කාලයක්, ටකටකස් කියලත් කාලයක් ඇන්දා...

      Delete
  15. මම අහලා තිබෙන විදියට සිබිල් නැන්දාගේ එක් ඇසක් කුඩා කාලේ සිටම පෙනෙන්නේ නැහැ. නමුත් ඇගේ නිසඟ හැකියාවට ඒක බාධාවක් වෙලා නැති හැටි අපූරුයි නේද. දැන් නම් දිව්‍ය ලෝකේ ඉඳන් චිත්‍ර අඳිනවා ඇති :)

    නිතර ආවා ගියත්, උපන් ගෙයි කම්මැලිකම අදහස් කොටන්න හරස් වෙනවා. ඒත් අද නම් මුකුත් නොලියා යන්න හිත දුන්නේ නැහැ. අතීත කාමය අවුස්සන සාහිත්‍ය රසයෙන් අනූන ඩ්‍රැකීගේ පොස්ට් අත හැරෙන්නේ කලාතුරකින්. දිගටම ලියන්න. කොමෙන්ට් කලත් නොකලත් අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. උදාර හරි. විකිපීඩියාත් කියනව, උපතින් ම එක ඇසක් අන්ධයි කියලා...
      https://en.wikipedia.org/wiki/Sybil_Wettasinghe

      සිබිල් නැන්දගෙ චිත්‍ර, කුඩ හොරා, දුවන රැවුල සහ සූත්තර පුංචා නම් ඉතා ම ඉහළ නිර්මාණ. හැබැයි තවත් ළමා පොත් දාහක් විතර තියෙනව ඒ තරම් මගෙ හිතට ඇල්ලුවෙ නෑ.

      උදාර මට මතක හැටියට අවුරුදු දොළහක් විතර එක දිගට මෙහෙ ඇවිත් කියවනවා. ගොඩක් ස්තූතියි. මේ වගේ කමෙන්ට් තමයි අපට සේලයින් සහ ඔක්සිජන් දෙන්නෙ.

      Delete
  16. මේ ටික බලද්දී පරණ පත්තර වල සුවඳත් මතක් වුණා!
    මාත් මේ ෆෑන් ක්ලබ් එකේ තමයි. විජය පත්තරේ එනකම් සතියම ඇඟිලි ගනිනවා. ආව ගමං පිටු බෙදාගන්න අක්කලා එක්ක රණ්ඩු වෙනවා. පැයෙන් දෙකෙන් ඔක්කොම කියවලා ඉවරයි! මකාගෙ යලක් බඩවැල වගේ අදින බවක් ඒ කාලේ අපිට නොතේරුණු හැටි! :D
    ස්තූතියි ඩ්‍රැකී පරණ මතක ඇවිස්සුවාට!

    ReplyDelete
    Replies
    1. ආාා... ඔයත් අපිත් එක්ක ම එක ම බෝට්ටුවෙ වෙන්න ම ඔ්නෙ ඉතිං. ඔයා ලියන දේවල් සහ තාත්තගෙ කීර්තියත් එක්ක, එහෙ ම නොවුණොත් තමයි පුදුම.

      ඊළඟට මකාගෙ යලක් ත් පීඩීඑෆ් කරන්න හිතාගෙන ඉන්නව. ඔයා විජය කියවන්න ගත්තෙ කොයි කාලෙ ද?

      Delete
    2. 87 තමයි අපි ලංකාවට ආවේ. ඊටපස්සේ වෙන්න ඕන.

      සුරංගි අක්කාගෙන් අහන්න කියලා කොලමක් තිබ්බා මතකද? ඒක ලීව කිත්සිරි සමරනායක හොරණට කිට්ටුව හිටියේ. එයාගේ තාත්තා අපේ තාත්තාගේ යාලුවෙක්. සුරංගි එයාගේ දුව.

      Delete
    3. ඈහ්...! ඒක අලුත් තොරතුරක්. සුරංගි අක්කා මයෙ හිතේ මේ මෑතක් වෙනතුරු ම පළ වුණා. ශෛලිය විටින් විට වෙනස් වුණා. නමුත් අසූ ගණංවල ලියපු කොලම් ටික තමයි ගොඩක් ම රසවත්.

      87 න් පස්සෙ නම් මල්මාමා හිරේ වැටුණු හැටි, පොලිසියෙන් මල ගලවන්න රුපියල් පණස්දාහක තෑග්ගක් නියම කරපු හැටි, මල්මාමා උඩිං ගිහින් හෙලිකොප්ටරේක එල්ලුණු හැටි එහෙම කියවල නැතුව ඇති?

      Delete
    4. ඇත්තම කියනවා නම් මල් මාමා ට හරියටම මොකක් වුන කාලේදීද බලන්න ගත්තේ කියලා මතක නැහැ! ඒත් ඊළඟ එපිසෝඩ් එක එනකම් හුස්ම නාල්ලා බලාගෙන හිටි ත්‍රාසය නම් මතකයි! :D
      නොස්ටැල්ජියාව මෙහෙම කූරු ගාද්දී නේද නියම ම? ඔන්න මාත් නොස්ටැල්ජික් පෝස්ට් එකක් ලීවා :)
      https://hotchocolatedays.blogspot.com/2024/05/blog-post_29.html

      Delete
    5. ඇත්ත මලී... ඔයාගෙ සටහන කියෙව්වා. ඒ ගැන ලියන්න දිග.... කතාවක් තියෙනව. අද කමෙන්ට් එකක් විදිහට දානව.

      Delete
  17. ලස්සන සටහනක් . ආපහු මාව අතීතයට ගියා . අන්තර්ජාලය නැති ඒ කාලෙ විජය , මිහිර පත්තර අපට දැනුම සහ විනෝදය ගෙන දුන් සම්පත් තමා. පියල් අතින් ඇදල තිබුණු මල් මාමා කථාවක පිටපතක් මගේ ගාව 2008 වෙනකම් තිබුනා. දැන්නම් නැහැ .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අපි ඔක්කොම එක්තරා යුග කීපයක් පහු කරගෙන ඇවිත් තියෙන්නෙ නේ? පත්තර - කැසට් - වීඑච්එස් - සීඩී - ඉන්ටනෙට් - ඩීවීඩී - බ්ලූරේ - ක්ලවුඩ්... ඔය ඔක්කොම එක පරම්පරාවක් ඇතුළත අපට ටච් වුණා.

      Delete
  18. මිහිර පුවත්පත නැවැත්වීම ගැන සෝකෙට පත්වෙලා, මිහිර ගැන ලිපියක් ලියලා පරණ බ්ලොග් කියව කියවා යද්දි තමයි අහම්බයකින් ‍මේ කදිම සටහන හමු වුණේ. අපි බොහෝ දෙනෙක්ට ‍නොස්ටැල්ජික මතකයක් ‍ගෙනෙන දෙයක් තමා මිහිර-විජය බලාගෙන ගියාම!

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි