මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...
* * *
හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.
ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.
මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.
මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.
හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ.
'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'
'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'
'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'
'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'
එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.
එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.
'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'
'ඒක අමූලික බොරුවක්'
'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'
'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'
එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.
'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'
'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.
'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'
'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.
'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.
"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.
'නෑ...! මම විමතිය පළ කළෙමි.'
'ඔව් අනේ'
"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."
ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.
'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'
'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'
හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.
'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'
'ඔව් අනේ, ලෙඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'
'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.
'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.
'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'
'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.
'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.
'ඔයාට මහන්සිද ඩාලිං...?'
'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.
මීට පෙර පළ කළ කොටස්...
1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

No comments:
Post a Comment
කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!