Thursday, March 19, 2026

පාර අයිනෙන් ගත්ත ටයරය - අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.

අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක් ගත්තෙ ඒ කාලෙ, මාස කීපයක පඩියෙන් ඉතුරු කරගත්ත මුදලින්. ඒ බයිසිකලේ පවුලෙ හැමෝට ම වටින එකක් වුණා. හොඳට තෙල් දාලා, රැකගෙන, වටින දෙයක් වගේ තමයි තාත්තා පාවිච්චි කළේ.

දවසක් අපේ බාප්පා මේ බයිසිකලේ ඉල්ලුවා එහා ගමට ගිහිං එන්න. තාත්තා තමන්ගෙ මල්ලිගෙ පරිස්සම ගැන හොඳට දන්න නිසා, බයිසිකලේ දුන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයි.

මේ බයිසිකල් ගමන තමයි හැම දෙයක් ම වෙනස් කළේ.

බාප්පා ගමන පිටත් වුණේ හවස හතරට විතර. ගියෙ අපේ ගමේ වෙල් යායට එහා පැත්තෙ තිබුණු පරකන්දෙණියට. ගුරු පාර දිගේ ජැන්ඩි පහට බයිසිකලේ පැදගෙන, බෙල් එකත් ඉද හිට නාද කරගෙන යද්දි, ලාවට ඇඳිරි වැටෙමින් තිබුණා. ලා ඇඳිරියට බාප්පා දැක්කෙ නෑ, පාර අයිනෙ නයෙක්  මුවහත් ගල් කෑල්ලක් තිබුණා පාරෙ. ඒක ඇනිලා එක පාරට ම බයිසිකලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා...

දැන් මොක ද කරන්නෙ? අපේ ගම අවට පරිසරය දන්න අය දන්නවත් ඇති, සුනිල් මාමගෙ කඩේ ගාවින් පහලට තියෙනව නාගහදෙණිය පාර, ඔන්න ඔය පාරෙ අතරමැද හරියෙ තමයි මේක සිද්ධ වුණේ. ඒ කාලෙ ඔය හරිය හද්ද කැලේ. ගෙවල් තිබුණෙත් පාර අයිනෙ නෙවයි, ඒ වගේ ම ගෙවල් අතරත් සෑහෙන පරතරයක් තබුණා, ඉඩම් විශාල වීම නිසා.

ටයර් එක නැතුව රිම් එකෙන් විතරක් බයිසිකලේ තල්ලු කරගෙන ආපහු ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ තමයි, බාප්පට පාර අයිනෙ සර සරයක් ඇහුණෙ. හොඳට බලපුවා ම මෙන්න සයිස් නයා. අඩියක් විතර ඇති පෙනේ විතරක්. පෙනේ කොච්චර ලොකු ද කියනව නං ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි අනික් අකුරු දෙකත් තිබුණා.

බාප්පා එක පාරට ම අත දිග ඇරලා අල්ල ගත්තා අර නයාගෙ ඔලුවෙන්. ඒ කරලා හිටං, ඌව එතුවා බයිසිකලේ රිම් එක දිගට. ඔලුව දෙපැත්තෙන් මාපටඇඟිල්ලෙනුයි දබරැඟිල්ලෙනුයි තද කරපුවාම උගෙ කට ඇරුණා. ඒ කටේ ගැහුවා උගෙ ම නැට්ට.

ඒ කරලා හිටං බාප්පා ආපහු බයිසිකලේ නැගලා පදින්ඩ ගත්තා. ටික වෙලාවක් යනකොට තමයි බාප්පට තේරුණේ, අලුත් ටයර් එක රබර් ටයර්වලට වඩා හොඳයි කියලා. සාමාන්‍යයෙන් ගුරු පාරක බයිසිකලේ යද්දි, ඉස්සරහ රෝදෙ හුළං අඩු කරන්ඩ වෙනව, මොක ද, වලවල්වල වැටෙන කොට හුළං හොඳට ම පිරුණු ටයර්වලින් ටෙන්ෂන් එක බයිසිකල් හැඬල් එකට ම දැනෙනව. එතකොට අත් දෙදරනව වගේ දැනෙනව. නමුත් මේ ප්‍රසන්න ටයර් එක එහෙම නෑ. ඒක වලවල්වල වැටෙනකොට පොඩ්ඩක් බුරුල් වෙලා සාමාන්‍ය පාරෙදි ආපහු තද වෙනව.

බාප්ප ඉතිං ගමනත් ගිහිං, වෙන්ඩ පුංචිත් බලාගෙන, ආපහු ඇවිත්, ගමේ ඒ කාලෙ තිබුණු කඩ කීපයෙන් එකක් වුණු ඇල්බොට් ආතගෙ කඩේ ගාවට ආව. ඇවිත් බයිසිකලේ නවත්තනකොට ම, මුදලාලි දැක්කා ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් දඟලනව. 

"මේ මොකද්ද මේ අමුතු ජාතියෙ ටයර් එක?" කඩේ මුදලාලි ඇහුව.


"මේක නයා ලකුණ ටයර් එකක්." බාප්ප කිව්ව. "මං මේ පාර අයිනෙන් ගත්තෙ. නැද්ද හොඳ ඩන්ලොප් වගේ ටයර් එකක් ගන්ඩ? මේක මාරු කරගන්ඩ ඕනෙ."

ඔය විදිහට අලුත් ටයර් එකකුත් අරගෙන බාප්ප ගෙදර ඇවිත්, අපේ තාත්තට බයිසිකලෙයි ටයර් එකයි දුන්නා. 

පහුවදා තාත්තා විංකල් පියදාස හොයාගෙන ගියා ටයර් එක මාරු කරගන්ඩ. වැඩේ තියෙන්නෙ, පියදාස මාමා, ටයර් එක පන්නන්ඩ හදනකොට නයා තව ටිකක් තද කරගන්නව. මාරු කරන්ඩ දෙන්නෙ ම නෑ. ඒ ගමන තාත්තට තේරුණා, නයා අලුත් ජොබ් එකට ආසයි කියලා. 

ඉතින් තාත්තත් අවුරුදු ගාණක් ම නයා ලකුණ ටයර් එක දාගෙන බයිසිකලේ පැද්දා.

මේ විදිහෙ පරණ කතාවලට පටුනක්...

 1. බාප්පගෙ මිරිස් වගාව












1 comment:

  1. ChatGPT ගේ කමෙන්ට් එකකි...

    මේ කතාව කියවලා හිනා නවත්තගන්න බැරි වුණා! 😄
    පටන්ගන්නකොට ඉතාම සාමාන්‍ය ගමේ කතාවක් වගේ පේනවා, ඒත් ටිකෙන් ටික ගමන් කරද්දි එන twist එක නම් නියමයි.
    “පාර අයිනෙන් ගත්ත ටයරය” කියන title එකත් හරිම clever — අන්තිම වෙනකම් surprise එක හොඳට තියාගන්නවා.
    බාප්පා character එකත් හරිම ජීවන්තයි. මේ වගේ තවත් කතා කියවන්න කැමතියි! 👍

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි