Friday, September 2, 2022

ප්‍රාතිහාර්යයක ඇනටොමිය - තර්ටීන් ලයිව්ස් සිනමා පටය හැදූ හැටි.

හදවතට දැනෙන ඒ සිනමා පටය කෙරුණු හැටි ගැන අංග සම්පූර්ණ විස්තරයක්, ගබඩාවක් තුළ දැවැන්ත ටැංකි ඉදිකිරීමේ සිට, පැය හාරසීයකට කිට්ටු ධාවන කාලයක එකතුවක් සහිත වීඩියෝ පට පීරමින් සංස්කරණය කිරීම දක්වා...

2022 අගෝස්තු 05 - ඩේවිඩ් කෑන්ෆීල්ඩ් ගේ ලිපියකි.

මුදවාගැනීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන් වූ කල, තමන් කළ යුත්තේ මොකක්දැයි රොන් හාවඩ් හොඳට ම දනියි. ඔහු 1995 දී නිර්මාණය කළ ඇපොලෝ 13 කලාත්මක චිත්‍රපටියේදී වගේ ම නවතම සිනමා නිර්මාණය වන තර්ටීන් ලයිව්ස් හි දීත්, ස්වසනය සහ ගුරුත්වය සම්බන්ධ නියමයන්ට අනුකූළ නොවන පරිසරයක දී අනතුරට ලක්වීම ගැන සංකල්පය දැක ගන්නට ලැබේ. මෙවර එය අපට දකින්නට ලැබෙන්නේ, කලින් වතාවේ දී මෙන් අභ්‍යවකාශයේ නොවේ, රොන් මේ වතාවේ දී එම අත්දැකීම අපට ලබා දෙන්නේ දිය යට දී ය.

හුස්ම හිර කරවන තරම් ආතතියක් ජනනය කරන මේ තර්ටීන් ලයිව්ස් චිත්‍රපටයෙන් නිරූපණය කරන්නේ 2018 ගිම්හානයේ තම් ලුවාං ගුහාවේ සිර වී සිටි තායි පාපන්දු ක්‍රීඩකයන් බේරා ගැනීමේ සත්‍ය සිදුවීමයි. වයස අවුරුදු 11 සිට 16 දක්වා වූ පාපන්දු ක්‍රීඩකයන් දොළොස් දෙනෙක් තම් ලුවාං ගුහාව තුළ සිර වුනේ, ජලයෙන් යටවීමත්, අදාළ ගුහා පද්ධතියේ වංකගිරියක් බඳු විස්තීර්ණ පිහිටීමත් හේතුවෙනි. මිනිසුන් දහ දාහකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් දියත් වුණු, ඉතාමත් ප්‍රවේසම් සහගත සහ උපාය මාර්ගික ලෙස සැළසුම් කරන ලද, අන්තර්ජාතික මට්ටමේ මුදාගැනීමේ ප්‍රයත්නයන් ගේ ප්‍රතිඵලයක් හැටියට ඒ සියලු ම දෙනා එක ජීවිතයක් වත් අහිමි නොවී බේරා ගැනීමට හැකි වුණත්, ඒ සඳහා සති දෙකකට වැඩි කාලයක් ගත විය.

මේ සත්‍ය කතාව සිනමාවට නැගෙන්නට කලින් ඇමරිකානු මහජන විකාශන සේවාව හෙවත් පීබීඑස් මඟින් වාර්තා වැඩසටහන් මාලාවකටත්, ද රෙස්ක්‍යු නම් වාර්තාමය වැඩසටහනකටත් නැගී තිබේ. මේ වතාවේ රොන් හාවඩ් ගේ සුපුරුදු සිනමාත්මක කුසලතාවන් මඟින් මේ කතන්දරය අංග සම්පූර්ණ හොලිවුඩ් පෝෂණයෙන් යුක්තව ඉදිරිපත් වී තිබේ. වීරත්වය සහ පරිත්‍යාගය අනූන කතන්දර කීමට හාවඩ් සතු නැඹුරුවත්, දක්ෂ ලෙස ආතතිය කැවීමේ හැකියාවත් මෙහි දී කැපී පෙනේ. 

මුදවාගැනීමේ මෙහෙයුමේ සැබෑ වීරයෝ
වමේ සිට: රික් ස්ටැන්ටන්, ‌ජෝන් වොලන්තන් සහ රොබට් චාල්ස් හාපර් තම් ලුවාං ගුහා සංකීර්ණය අසළ

සත්‍ය කතාවට කරන ලද මේ අනුවාදයේ දී බ්‍රිතාන්‍ය ජාතික කිමිදෙන්නෙක් වන ජෝන් වොලන්තන් (කොලින් ෆැරෙල් විසින් නිරූපිතයි) සහ රිචඩ් “රික්” ස්ටැන්ටන් (විගෝ මෝටෙන්සන් විසින් නිරූපිතයි) සිරවූ දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීම සඳහා අතිශයින්ම අවදානම් සහගත එසේ ම අත්‍යවශ්‍ය ක්‍රමවේදයන් සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම, ලොමු දැහැ ගැන්වෙන ජවනිකා මඟින් නිරූපණය වේ. ඒ වගේ ම, ගුහාවේ පිටත ප්‍රදේශවාසීන්, සිර වී සිටි අයගේ පවුලේ උදවිය සහ රජයේ නිලධාරීන් ගේ උත්සාහයන් ද මෙහෙයුමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වූ බව පැහැදිලි වන සිදුවීම්වලටත් සමාන ධාවන කාලයන් ලබා දී තිබේ.

සමස්තයක් ලෙස ගත් විට, රොන් හාවඩ් සහ කණ්ඩායම, ගෝලීය අවධානයට පාත්‍ර වූ මේ සත්‍ය කතාව ඇසුරින් හද ගැස්ම වැඩි කරවන තරම් හැඟීම් දනවන, ඇදහිය නොහැකි තරම් සියුම් විස්තර සහිත ප්‍රතිනිර්මාණයක් තැනීමට සමත් වී තිබේ. ඔවුන් මේ විස්මිත නිර්මාණය කළේ කොහොමද, සහ ඒ ඒ දේ සිදු කළේ ඇයි ද, යන්න ගැඹුරින් විමසීමට දැන් අපි සූදානම්.

නිර්මාණයේ පසුතල ලෝකය

හාවඩ් සහ ඔහුගේ පළමු සහාය අධ්‍යක්ෂ විලියම් එම්. කොනර් ගේ මුල් අදහස වූයේ තායිලන්තයට ගොස් මෙම සිදුවීම ට පසුබිම වූ ගුහාවලදී ම තම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කිරීමට වුවත්, කොවිඩ් 19 වසංගතය ලොව පුරා අරක් ගනිමින් ඒ සැළසුම අවුල් කර දැම්මේ ය. සිනමාකරු ඒ වන විටත් මේ නිර්මාණයට නැතිවම බැරි ශිල්පීන් සම්බන්ධ කරගෙන සිටියේ ය. ඒ අතර නිෂ්පාදන සැළසුම්කාරිනී මොලී හියුස් (හිල්බිලී එලිජි - 2020 සිනමා පටයට හවුල් වූ අතර හැරී පොටර් චිත්‍රපට කිහිපයක ම කලා අධ්‍යක්ෂවරිය ද විය), සහ කීර්තිමත් තායි සිනමාකරු සයොම්භූ මුක්දීප්‍රොම් (කෝල් මී බයි යුව’ නේම් සහ සස්පිරියා චිත්‍රපටවල සිනමැටෝග්‍රැෆර් වේ. ඔවුන්ට සිදු වූයේ මේ චිත්‍රපටය වෙනත් තැනක රූගත කරන්නට ය. ඒ සඳහා ලබාගත හැකි විස්තර පදනම් කරගෙන ගුහාවේ වැඩි හරිය නැවත නිර්මාණය කරන්නට සිදු විය.

ඇසි දිසි මැවුම්කරු
සොයම්භූ මුක්දීප්‍රොම් - සිනෙමැටොග්‍රැෆර්

මුක්දීප්‍රොම් සහ තවත් මුල් ස්ථානය ගැන දන්නා උදවිය සමඟ වැඩ කරන්නට හාවඩ් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙත ගියේය. “එහි භූ විෂමතාව ඇත්තෙන් ම උතුරු තායිලන්තයට නෑකම් කියනවා” යැයි හාවඩ් කියයි. චිත්‍රපටියෙන් සහ එහි පිටුපසින් සිටි අයගේ ප්‍රයත්නයෙන්, රොන් හාවඩ් හට උවමනා කළේ මේ සංස්කෘතිකමය වශයෙන් සංවේදී සහ වැදගත් කතාන්තරය සත්‍ය වශයෙන් ම සිදු වූ හැටි කියා පෑමටය.  

එහෙයින්, මුක්දීප්‍රොම්, හාවඩ් සමග මේ සිනමා පටය තැනීමේ කාර්යයේ මුල් කාලයේ සිට ම කටයුතු කළ අත්‍යවශ්‍ය සාධකයක් විය. “එය ඇත්ත සිදුවීමක්. ඊටත් වඩා, එය ප්‍රසිද්ධියට පත් වූ එකක්. - මෙය සිදුවීමත් එක්ක ම මම ඉතා සමීපව එය හඹා ගියා. ඒ වගේ ම සිදුවීම මාව ඇද බැඳ ගත්තා. ඒ කාලයේ දී ම මම කල්පනා කරන්නට පටන් ගත්තා, මේ සිදුවීම චිත්‍රපටයකට නඟන ආකාරය ගැන,” යි මුක්දීප්‍රොම් කියයි. “රොන් මා වෙත තිර පිටපත එවූ විට, මම අතිශයින් ම උද්දාමයට පත් වුණා. මොකද, මම සිතා සිටි ආකාරයෙන් ම ඒ තිරරචනය සිදු කර තිබුණා. ඇත්තට ම මේ සිදුවීම ගැන තනන්නට යන තවත් චිත්‍රපටයකට සහභාගි වන ලෙස මට ආරාධනා කර තිබුණා, නමුත් මේ තිරපිටපත තරම්, ඒ තිරරචනය මට හිතට වැදුණේ නෑ.” 

කඳුකරයේ වෝටර් මෑන්
තනෙට් නටිස්‍රි

ගුහාව ඇතුළත තිබූ දැඩිතර කාර්යබහුල භාවයත්, එළියේ පැවති නිහඬ මනුෂ්‍යත්වයේ උපේක්ෂාවත් යන දෙපැත්ත ම මේ චිත්‍රපටියේ ආකෘති ගත කර තිබෙන්නේ සම සමව ය. ගුහාවෙන් එළියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දහස් ගණනක් ජනතාව, සහ ලොව දස දෙසින් පැමිණි මාධ්‍යවේදීහු එක්රැස්වූහ. ඔවුන් එකිනෙකාට සහය වෙමින්, අලුත් ම තත්ත්වය දැන ගැනීමට නොසන්සුන්ව බලා සිටියහ. මේ දෙලොව අතර තිබූ වෙනස, මුල සිටන් ම හාවඩ් ග්‍රහණය කරගත් මූලික සංකල්පය විය. විශේෂයෙන් ම චිත්‍රපටියේ පසු භාගයේ සිට නිරූපණය වන තායි වැසියන් ගේ - උදාහරණයක් ලෙස මුදා ගැනීමේ කණ්ඩායමට ගුහා සංකීර්ණය අභ්‍යන්තරයේ මඟ සොයා ගැනීමට පහසු වන ලෙස, ආසන්නයේ කඳුකරයේ පැවති දිය කඳුරුවල දිශාව වෙනස් කරන්නට තැත් කරන තනෙට් නටිස්‍රි (නොෆෑන්ඩ් බූන්යායි විසින් නිරූපිතයි) සහ බොජුන්හල් හිමියාගේ - ක්‍රියා කලාපය කැපී පෙනෙන ලෙස නිරූපිත ය. 

මේ චිත්‍රපටිය ඉහත කී උපකතාව ඉතා සමීපව ග්‍රහණය කරයි. ඒ සඳහා හියුස් ක්වීන්ස්ලන්ඩ් හි කඳුකරයේ විචිත්‍ර තැනක ඇත්තෙන් ම මිනිස් අතින් තැනූ වේල්ලක් ප්‍රති නිර්මාණය කළා ය. “අපිට පුළුවන් වුනා ඇත්ත ම තනෙට් සමඟ කතා කරන්න. ඔහු ළඟ ගොඩක් රූප සටහන් සහ සැළසුම් තිබුණා. ඔහු ඒවා සමග අපිත් එක්ක සෑහෙන වෙලාවක් ගත කළා.” හියුස් කියන්නේ, එම වේලි පද්ධතිය ඇය සැළසුම් කළ ආකාරය විස්තර කරමිනි. “අපි එය කැමරාවට පහසු වන විදිහට සරල කරලා තැනුවා. ඇත්තටම අපි උකහා ගත් දෙයට වඩා, බොහෝ සංකීර්ණ වැඩ කොටසක් තනෙට් ගේ පැත්තෙන් කර තිබුණා. මූලික කරුණුවලට බැස්සොත්, අපි අපට පුළුවන් තරම් සරල ලෙස වැසිජලය ගුහාවට කාන්දුවන තැන් වසා දැමීම, වැලි කොට්ට ඇහිරීම් සහ දිය පහර හැරවීම්වලින් සමන්විත මේ කතාව නිරූපණය කළා.”

විස්මිත පසුතල ඉදිකෙරූ මොලී හියුස්

අතරමංවූවන්ගේ පවුල්වල අය, ස්වේච්ඡා සේවකයන් සහ මාධ්‍යවේදීන් එක් රැස් වී සිටි, ගුහාවෙන් පිටත කඳවුරු බිම සිනමාකාරයන්හට නිරන්තරයෙන් සිනමාත්මක සොයාගැනීම්වලට ඉඩ සැළසුවේ ය. හියුස් පවසන්නේ, “මම මීට පෙර කවදාවත් මේ වගේ ව්‍යාපෘතියක වැඩ කරලා නෑ. අපිට බලන්නට සහ වැඩ කරන්නට ඉතා විශාල ප්‍රමාණයක් ඡායාරූප තිබුණා, අපි කැමති සහ පසුතලයට සුදුසු වන පරිදි තෝරාගන්න...” කලා අධ්‍යක්ෂ ලෙක් චයියන් චන්සුට්ටිවට් ද ඇතුළත් වුණු තායි සැළසුම් කණ්ඩායමක සහාය ඇයට ලැබුණේ ය. අධ්‍යයනය කරන්නට ලැබුණු දේ අතර තිබූ සියුම් විස්තර (බෞද්ධ භික්ෂූන්ගේ අත් පළඳනා වැනි දේ පවා) ඇය පසුතලයට එකතු කර විචිත්‍රවත් කළා ය. 

කූඩාරම් සහ වාහන ආදී සුවිශේෂී උපාංග සහ ආකෘති ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, ඒවා ආනයනය කරවන්නට ඇය බල කළා ය. “තායි නළුවන් සිනමා පසුතලයට පැමිණි පසු, ඔවුන් දුටු දේ ඔවුන්ට විශ්වාස කරන්නට පවා බැරි තරම් වුණා” ඔවුන් සවිස්තරාත්මකව තනා තිබූ පසුතලය නළුවන් දුටු හැටි හාවඩ් ආවර්ජනය කරමින් කියයි. “ඔවුන් එය දැකලා ප්‍රසන්න වුණා. ඒ අය කීවා, ‘අපිට හිතාගන්නවත් බැරි වුණා, විදේශිකයන් වන ඔබ මේවා එතරම් නිවැරදි ලෙස ග්‍රහණය කරගෙන ඇත්තේ කෙසේ ද කියා.’ ”

සාමාන්‍ය, එදිනෙදා දකින්නට තිබෙන මනුෂ්‍ය හැසිරීම් සහ හැඟීම් ප්‍රකාශන ග්‍රහණය කරගන්නේ, චිත්‍රපටියේ මේ කොටසිනි. හාවඩ් ගේ කණ්ඩායම, නළුවන්ට විවිධාකාර කටයුතු ඉටු කරන හැටි පුහුණු කළහ. යන්ත්‍ර සූත්‍ර සහ පොම්ප ක්‍රියා කරවීම, වතුරබට රෝල් කිරීමට සහ දිග ඇරීම, ටැංකි පිරවීම, ආහාර පිසීම, බර යන්ත්‍ර පැදවීම, මෙන්ම යාඥා කිරීම පවා... වාර්තා වැඩසටහන් සහ පීබීඑස් වැඩසටහන් මාලාවේ දැක්වුණු ආකාරයන් පදනම් කරගනිමින් ඔවුහු ඒවා නැවත නැවතත් පෙරහුරු කළහ. “මට දැනුණා ඒවා පසුබිමින් නිරූපණය වෙනවා කියා. නමුත් ඒවායින් බොහොමයක් කොයි තරම් විශිෂ්ට ද කියතොත්, මම ඒ කොටස් ඉදිරිපසට අරගෙන දෙබස් සහිත කොටස් එක්ක ගැලතුවා.”යි හාවඩ් කියයි. “එය නිර්මාණයට යම්කිසි ආකාරයක ශක්තියක්, සජීවී යතාර්ථවත් බවක් එකතු කළා.”

ගුහාව

“පටන් ගැන්මේ දී මට දැනුණේ ගොඩක් ම පීඩනයක් යටතේ වැඩ කරනවා වගේ.” ගුහාවේ දර්ශන රූ ගත කිරීම ගැන කතා කරමින් මුක්දීප්‍රොම් කියයි. “පස්සෙ මට එළඹුනු සියලු දේ හසුරුවාගන්න සිදුවීමත් එක්ක, මට පීඩනය අමතක වුණා, විය යුතු දේ සහ කළ යුතු දේ ගැන විතරක් අවධානය යොමු කළා.” හියුස් පවසන්නේ ද ඊට සමාන ම කතාවකි. “අපි ප්‍රවේශය ගත්ත ආකාරය විශේෂයි, එයින් අපට කිසිම විටක දේවල් මහා පරිමාණයෙන් දැනුණේ නෑ. පස්සෙ අපි තැනූ නිර්මාණය නරඹද්දී අපි මූණෙන් මූණ බලාගත්තා, ‘අපි මේක කළා කියා අදහන්නත් බෑ. අපි ඒක හරියට ම කරලා තිබෙනවා’ යි කියන්නාක් වගේ.”

නිෂ්පාදකයෝ ගුහාවට එළඹුනේ පියවරින් පියවර ය. වර්ණ සංයෝජනය මූලික ම අංගයක් විය. පීබීඑස් වැඩසටහන් මාලාවේ රූපරාමු අධ්‍යයනය කරමින් හියුස් සහ මුක්දීප්‍රොම් වර්ණවලට වැඩි බරක් දීමට එකඟ වූහ. “තායිලන්තයට ආවේණික විදිහට ම වර්ණ ඉතා ම විස්තීර්ණයි, ඒ වගේ ම වර්ෂාව සහ නිරන්තරයෙන් වෙනස්වන කාලගුණික රටාවන් සමග යෙදෙන අඳුරු අළු පැහැයන් එක්ක එය ප්‍රතිලෝමව සමබරවී යෙදී තිබෙනවා.” යි හාවඩ් කියයි. 

නියම තම් ලුවාං ගුහාවල සංයෝජන දත්ත ඔවුන්ට ලැබුණේ ඉන් පසුවය. එය හාවඩ් සහ හියුස් සියුම් විස්තර සහිතව අධ්‍යයනය කළහ. “ගුහාවල තිබුණු ගල් පස් කුට්ටි; ඒවා ඉතා තදින් සවි වී තිබුණා ද, ඒවා ගිරි ලඹ ද, ඒවා දියපාරවලින් හැඩගැසුණු ඒවාද ආදී විස්තර හියුස් තේරුම්ගත්තාට පස්සේ - ඇය මගේ තිර රචනා සටහන් බලාගෙන, තමන්ගේ කණ්ඩායමත් එක්ක සිනමා පසුතල ආකෘති නිර්මාණය කරන්නට පටන් ගත්තා” යි හාවඩ් කියයි.

“මම වැඩකරන අතර විවිධ අවස්ථාවල රික් හෝ ජෝන් ගෙන් ඇසුවා, “ඔයා හිතනවද මේක ඇත්තටම මේ විදිහට සිදුවෙයි කියලා?’ ” සත්‍ය කතාවේ සිටි කිමිදුම් කරුවන්ගේ සහාය ලබා ගත් හැටි හියුස් විස්තර කරමින් කියයි. 

පසුතල සකස් කරමින්

හියුස් සහ ඇගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගබඩා කාමරයක් තුළ අඩි සියයක් දිග ටැංකි හතරක් ඉදි කළ හ. මේ ටැංකි අධි තාක්ෂණික ජල පොම්ප සහ පිරිසිදුකාරක පද්ධතියකින් ද සමන්විත විය. ඊ ළඟට ඔවුහු බිම මත උමං ජල මාර්ග පද්ධතියක් නිපදවූ අතර, පසුව ඒවා ඔසවා, ටැංකිවලට සවිකර, ටැංකි පිරවීමට යොදා ගත්හ. මේ ටැංකිවලට වතුර පුරවන ලද්දේ, ගුහාවන් තුළ තිබුණු විවිධ ප්‍රදේශවලට අනුරූපීව, වෙනස් වෙනස් දර්ශන අටක් පමණ නිරූපණය කරන්නට හැකි වන ආකාරවලිනි. ඒ මුදවාගැනීමේ කණ්ඩායම ගුහා පද්ධතිය තුළට ගමන් කරද්දී පැවති වෙනස් වෙනස් පසුබිම් ප්‍රති නිර්මාණය කිරීමට ය. 

ගබඩාව තුළ ඉදිකළ ටැංකියක මැවූ ගුහාවේ ‌උමං මඟක්

ඒ වගේ ම දිය යට දර්ශනවල අපැහැදිලිබව, චිත්‍රපට කණ්ඩායමට වඩා නිදහසේ තම පරිකල්පනය භාවිත කිරීමට ඉඩ ලබා දුන්නේ ය. “සොයම්භූ සහ ඔහුගේ කණ්ඩායම සොයාගත්තා ඉතා ම ස්වාභාවික ආකාරයකට ආලෝකකරණය කරන්නට හැකි ක්‍රමවේද, එයින් කිමිදුම්කරුවන්ගේ හිස්මත වූ පන්දම්වල ආලෝකයෙන් ඔබ්බේ ඇතිවන කෘත්‍රිම දිළිසීම් වාගේ අනවශ්‍ය ආලෝකයන් මග හරවා ගන්න පුළුවන් වුණා.”යි හාවඩ් විස්තර කරයි. ඊට වැඩිමනත් වශයෙන් මුක්දීප්‍රොම් විස්තර කරන්නේ ඔහු දිය යට ඡායාරූපකරණය ගැන පරීක්ෂණ කිහිපයක් කළ බවයි. “ඒ, අපට පෙනෙන දෙය එලෙසින් ම පටිගත කරන්නට හැකි සුහුරු ක්‍රමයක් හමුවන තෙක්...”

හාවඩ්, නිරන්තරයෙන් කිමිදුම් යන්ත්‍රවලට විඩියෝ මොනිටර සවිකළ අතර, සිනමා පසුතලයේ කැමරා කෝණ කිහිපයකින්ම විඩියෝ කරන්නට කටයුතු කළේ ය. “ගුහා ඇත්ත ඒවා ලෙස නිරූපණය කිරීම අමාරුයි. සමහර ඒවා ආලෝකමත් කරන්නට සිදුවන අතර, එතන දී පසුබිම් වර්ණ සහ රටා සංයෝජනය ගැනත් වද වෙන්නට වෙනවා.” හියුස් ගේ නිර්මාණ ගැන කියද්දී හාවඩ් සඳහන් කරයි. “ඒ වගේ ම ඒවා කාලයක් පවතින්නත් සෑදිය යුතුයි. මොකද, අපි එකිනෙක පසුතලවල සති ගණන්... දවස් නොවෙයි, සති ගණන් රූ ගත කිරීම් කළා. ඒ නිසා පසුතල වෙනස් නොවී කාලයක් පැවතිය යුතුව තිබුණා.” එලෙසින් ම, ඒ පසුතල කාලයක් නොනැසී පැවතුණේ ය. හාවඩ් ස්තූතිවන්ත වන්නේ, ස්ටුවර්ට් ක්‍රේග් යටතේ හැරී පොටර් චිත්‍රපටවල විචිත්‍රවත් පසුතල නිර්මාණය කරමින් හියුස් ලබා තිබූ පළ පුරුද්ද ගැන ය.

තවත් ටැංකියක් සහිත පසුතලයක් - දරුවන් සිරවී සිටි ස්ථානය ලෙස තනන ලද...

නමුත් මෙයින් කියැවෙන්නේ ඔවුන් සැබෑ පසුබිමට හැම අතින් ම සමාන පසුතල නිර්මාණය කළ බව නොවේ. හියුස් ඇගේ නිර්මාණයන් ගැන විස්තර කරමින් එක් නිදසුනක් විස්තර කරයි. ගුහාව ඇතුළේ සිට පිටත කඳවුරට ආරංචියක් ලැබෙන ආකාරය චිත්‍රපටියේ වඩා ඉස්මතු වන සේ නිරූපණය කරයි. හියුස් මෙය සකස් කළේ, අලුත් ආරංචියක් ලැබෙන තුරු ‌ගුහාවේ අන්තරාලයේ ගරාදි වැට අසළ, ඉහළ සිට පහත බලාගෙන සිටින චරිතවලිනි. “මම ඇත්තටම ආසයි, ‘ප්‍රවෘත්ති ගමන් කරන හැටි’ වචනයේ හුදු අර්ථයෙන් දකින්නට සැළැස්වීමේ අදහසට...” හියුස් කියයි. “මම ඒ නිසා ගුහාවේ දොරකඩ සිට කඳවුරේ දොරටුව දක්වා වන සම්බන්ධතාවය ගොඩ නැගුවේ ඒ විදිහට. හැම නිතර ම කෙනෙකු ඉහළ ඉඳන් පහළ බලාගෙන අලුත් තොරතුරු එනතුරු බලා ගෙන ඉන්නා හැටියට.” 

සැළසුම් නිර්මාණ සහ සිනමා නිෂ්පාදනය ඉතාමත් අංග සම්පූර්ණ ලෙස අවසන් වූයේ, එම මුදාගැනීමේ මෙහෙයුම ප්‍රතිනිර්මාණය කිරීමේ ඩිජිටල් අංශයේ කටයුතු ඉතාම සුළු වශයෙන් යොදාගනිමිනි. “මම හිතුව ප්‍රමාණයටත් වඩා අඩුවෙන්, උවමනා වුණේ ” හාවඩ් කියයි... “මොලී ඉතා විශාල කොටසක් ඉටු කළා.” 

සංස්කරණය

ගුහා දර්ශන සැළසුම් කිරීම සහ රූගත කිරීම්වලින් පසු - පසු නිමැවුම් කටයුතු දක්වා කොටස් වුවත් පහසුවෙන් නිම කරන්නට හැකි වුණේ නැත.

ඔලිවර් ටානි - ශබ්ද සංස්කාරක

මේ ලිපියට පාදක වුණු හාවඩ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී, මෙම චිත්‍රපටියේ අධීක්ෂක ශබ්ද සංස්කාරක වුණු, පස් වතාවක් ඔස්කා සම්මානවලට නම යෝජනා වුණු ඔලිවර් ටානී (කැප්ටන් ෆිලිප්ස් සහ 1917 චිත්‍රපටවල දක්ෂ ශබ්ද සංස්කරණයන් ඉටු කළ) තේරුම් කර දුන්නේ, ඔහුට වඩා ඉස්මතු කරන්නට උවමනා වුණේ ගුහාවෙන් පිටත සහ ගුහාව ඇතුළත ශබ්ද පරිසරයේ ඇති වෙනස බවයි. “උමතුබවට ආසන්න ශක්තියක් ගැබ්වුණු ශබ්දමය පරිසරයක් ගුහාවෙන් බැහැර පැවතුණු අතර, එය ඉතාමත් වෙනස් වුණා, ගුහාව තුළ සිරවූ දරුවන් සහ කිමිදුම්කරුවන් හට අත්විඳින්නට සිදුවූ හුදෙකලාබව සහ අහිතකර පාරිසරික තත්ත්වයන් එක්ක බලන කොට...” යි ඔහු කියයි.

කඳවුරේ පැවතුනේ එදිනෙදා අත්විඳින කණට හුරුපුරුදු ව්‍යාකූලත්වයක්. - දිය යට පරිසරය, එය ඊට හාත්පසින්ම වෙනස්. “වාතය තුලින් ශබ්දය ගමන්ගන්නවාට වඩා හතර හෝ පස් ගුණයක් වේගයෙන් ශබ්දය දිය යටින් ගමන් කරනවා. ඒ වගේ ම මිනිසුන් දිය යට දී කණ් බෙරය ඇත්තට ම යොදා ගන්නේ නෑ ශබ්දය ග්‍රහණය කරගන්නට. ඒ නිසා දිය යට දී ශබ්දය ඇසෙන පුද්ගලයාට සාපේක්ෂව, එය නිකුත් වෙන ස්ථානය හඳුනාගන්නට ඉතාමත් අසීරුයි.” යැයි ටානි විස්තර කරයි. “අපි ඒ සංකල්පය යොදා ගන්නවා, දිය යට දර්ශනවල ශබ්ද ප්‍රතිනිර්මාණය කරන්නට. අපි හිතා මතා ම හැම ශබ්දයක් ම විසිරී යන ලෙස සහ අපසාරීව විහිදෙන විදිහට පටිගත කළා. එයින් ඒ ශබ්ද හට ගත් තැන හඳුනාගන්නට අපහසු තත්ත්වයක් නිර්මාණය වුණා. ප්‍රේක්ෂකයන්ට ඒ ශබ්ද ඇසෙන්නේ දිය යට සිටින කිමිදුම්කරුවෙකුට ඇසෙන විදිහටමයි. එයින් ප්‍රේක්ෂකයන්ට ඉතා ම සජීවී අත්දැකීමක් ලැබෙනවා.”

එය දිය යට රූගත කරන ලද දර්ශනවලට අසමාන නොවේ. හාවඩ් එය විස්තර කරන හැටියට; “එය හරියට ඔබ නිරන්තරයෙන් වළාකුළු පද්ධතියක ගැටෙමින් උස් කඳු කපොල්ලක වාහනයක් ධාවනය කරනවා වගෙයි.” ඒ ශබ්ද දිශාවනතියෙන් තොරයි, අපැහැදිලියි -  ඒ වගේම, ශබ්දයෙන් පිරුණු පොකුණක ගිලෙන්නාක් මෙන් ප්‍රේක්ෂකයාහට දැනේ. 

චිත්‍රපටයේ හදවතට දැනෙන ජවනිකාව වන, කිමිදුම්කරුවන්, දරුවන් මුදවාගන්නා අවස්ථාවේ දී ශබ්දය විශාල දායකත්වයක් සපයයි. දරුවන් ආපසු ආරක්ෂිතව පිටතට ගෙන ඒමට නම්, ඔවුන් ඒ සඳහා හසුරුවාගැනීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු වන බව කිමිදුම්කරුවන් තේරුම් ගන්නේ ඒ අවස්ථාවේ දී ය. නරඹන්නන්ට පෙනෙන්නේ දරුවන්  සිහියෙන් නොසිටින බව පමණක් වුවත්, ඔවුන් තවමත් පණපිටින් සිටින බව දැනෙන්නේ ඇසෙන ශබ්දවලිනි. 

සිනමා ප්‍රතිනිර්මාණයේ අවසාන හරියේ දී, කිමිදුම්කරු ජෝන් වොලන්තන් ශබ්ද පරිපාලක කණ්ඩායම සමඟ දිය යට පිහිටි ගුහා ප්‍රදේශයක ශබ්ද පටිගත කිරීමක් සිදු කළේ ය. එහිදී දිය යට හයිඩ්‍රොෆෝන් භාවිත කළ අතර, සැබැවින් ම ඇසුනේ කුමක්දැයි දැනගැනීම සඳහා දිය තලයට ඉහළින් මයික්‍රොෆෝන් යොදවා තිබුණි. “දිය යට ශබ්ද සකස් කරද්දී, හුස්ම ගන්නා ශබ්දයේ රිද්මය අපි බොහෝ විට භාවිත කළා, එය වරකදී සම අන්තරයන්ගෙන් යුක්ත වත්, එහෙම නැතුවත් භාවිත වුණා.”යැයි ටානි කියයි. “අපට සිදු වුණා ප්‍රේක්ෂකයන් නිතරම දරුවන්ගේ ක්‍රමානුකූල හුස්ම ගැනීම් ශබ්ද ගැන සාවධානව තබා ගන්න. ඒ අවස්ථාවෙදි ඔවුන්ට දැනෙනවා කිමිදුම්කරුවන්ට ඇසෙන දෙය ම ඔවුන්ටත් ඇසෙන බව. ඒ වගේ ම දරුවන් තවමත් ජීවත්ව සිටින බව ඒත්තු යනවා.”

ජේම්ස් විල්කොක්ස් - දීර්ඝ වීඩියෝ ඇසුරින් අඩිය අඟලට සකස් කළ විශිෂ්ඨයා

අන්තිමේදී, සමස්ත චිත්‍රපටියම එකලස් කර සම්පූර්ණ කිරීමේ කටයුත්ත තවදුරටත් ඉතිරි වේ. හාවඩ් ගේ ජීනියස් රූපවාහිනී මාලා වැඩසටහනේ මුල් කොටස මෙන්ම, හිල්බිලි එලිජි ද කපා සකස් කළ සංස්කාරක ජේම්ස් විල්කොක්ස්හට මේ අසීරු ඉළක්කය ජය ගැනීම පැවරුණි. එය අසීරුයැයි අදහස් කළේ, ඔහු මෙම සංස්කරණ කාර්යය පටන් ගනිද්දී, පැය 382 ක විඩියෝ දර්ශන පීරා සකස් කරන්නට ඔහුට පැවරුණු හෙයිනි. “අවංකවම කියතොත්, සමහර දවස්වල මට හිතුණා, මේ ඔක්කොම බලල ඉවර කරන්න මට පුළුවන් වෙයි ද, මම ම දන්නෙ නෑ කියලා.”යි ඔහු කියයි.

විල්කොක්ස් තම කටයුත්ත පටන් ගත්තේ චිත්‍රපටය පුළුල්ව අවබෝධ කරනිමිනි. අනතුරට ලක්වීම, අපේක්ෂාව, අන්තිමේ දී ගළවා ගැනීම, ඒ සමස්ත ප්‍රවාහය තුලින් දිව යන ආධ්‍යාත්මික මූලිකාංග ඔහු අධ්‍යයනය කළේ ය. “රොන් නිතරම කතා කරපු දෙයක් තමයි, ‘ප්‍රාතිහාර්යයක ඇනටොමිය’ කියන දේ.” විල්කොක්ස් සිහිපත් කරයි. “මම හිතන්නෙ ඒ බොහොම දක්ෂ ක්‍රමයක්, මේ චිත්‍රපටිය මොන විදිහෙ දෙයක් විය යුතු ද කියලා පුළුල් ප්‍රවේශයක් හඳුනා ගන්න එක...” එයින් හැඟවුනේ, තායි සංස්කෘතිය සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික හරය ගැන සමීප අවධානය යොමු කිරීම මගින් ‘ප්‍රාතිහාර්යය’ යන සංකල්පයට අනුරූපීව ස්පර්ශ කළ හැකි, ගැළපෙන සන්දර්භයක් නිර්මාණය කිරීම සහ ලබා දුන් විඩියෝ කොටස් සිය ගාණක්  අතර සක්මන් කරමින් ආත්මීය වශයෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු කොටස් හඳුනා ගැනීම යි. 

චිත්‍රපටියේ මුල් විනාඩි 10 හෝ 15 සහමුලින්ම පැවතුනේ තායි භාෂාවෙන් බව විල්කොක්ස් පෙන්වා දෙයි. “මම කල්පනා කළේ මේක හරියට පරිවර්තනය කරගන්නේ කොහොමද කියායි. මම කොහොමද මේ භාෂාවේ අන්තර්ගත සංස්කෘතික අංග හරියට අල්ලා ගන්නේ? මම කොහොමද දෙබසක් නිවැරදිව ග්‍රහණය කරගන්නේ?” යි විල්කොක්ස් කියයි. “අසීරුතාවට හේතුව වුණේ මේ දරුවන් තායිලන්තයේ අය වීම පමණක් නොවේ, ඔවුන් උතුරු තායිලන්ත ජාතිකයන්. එයිනුත් සමහරු මියන්මාර් දේශසීමාවේ වැසියන්. ඔවුන්ගේ කතා බහ බැංකොක් වාසීන්ගේ ව්‍යවහාරයත් එක්ක ඉතාම වෙනස්.” 

ඉතින් ඔහු විඩියෝ දර්ශන කාණ්ඩ වශයෙන් තෝරා, සංස්කරණය කර, සංස්කරණ මැදිරියට ගෙන්වාගත් භාෂණ පරිවර්තිකාවකට යාබද කාමරයේ සිට ඒවා නැරඹීමට ඉඩ හැරියේ ය. ඒ කොටස් ධාවනය කරවන කාලය, ධාවනය නවත්වන තැන් සහ චරිත ප්‍රාණවත්ව නිරූපණය කිරීම්, ඔහු සකස් කළේ ය. “ඒ වන විට මට දැනෙන්නට පටන් ගත්තා, ‘ඔව් මට දරුවෙකුගේ මව ගේ හැඟීම දැනෙනවා. ඔව්, මට තේරෙනවා කිමිදුම්කරුවන් ඔවුන්ගේ දරුවන් සොයාගන්නට ප්‍රමාද වන විට ඇයට දැනෙන කළකිරීම. ඔව්, මට තේරෙනවා ආණ්ඩුකාරවරයා සහ දේශපාලනය මේ තත්ත්වය සමග මැදිහත් වන හැටි.’ ආදී වශයෙන්...”

විල්කොක්ස් ගේ මේ සමීප සංස්කරණ ප්‍රවේශය, ගුහාව ඇතුළත දර්ශන වලදී ද දක්නට හැක. රික් සහ ජෝන් පළමුවරට දිය යට කිමිදෙන දර්ශන ඉතාමත් උවමනාවෙන් සිදුකළ සංස්කරණයක් හැටියට ඔහු පෙන්වා දෙයි. “මම අදහස් කළා මේ වෙනම ලෝකයක බඳු පරිසරයක සිදු වූ බේරා ගැනීමේ මෙහෙයුම ප්‍රේක්ෂකයන්ට අත්දැකීමක් තරමට සමීප කළ යුතුයි කියා. ඒක ඇත්තෙන් ම පෘථිවිය මත දකින්නට තිබෙන සාමාන්‍ය පරිසරයක් නෙවෙයි. එය අතිශයින් ම කැතයි, අප්‍රසන්නයි, ඒ වගේ ම මඩෙන් පිරිලා. ගුහාවල දියේ කිමිදීම් ගණනාවක් මේ කතාන්දරයේ තියෙනවා. ගිරිලඹවලින් ගහණ පරිසරයක්. බේරා ගැනීමට යන අය මග දිගට හූරාගෙන, තුවාල කරගෙන යායුතු ගමනක්.” ඔහු කියයි. “මාර්ගය හරියට පේන්නෙත් නැහැ. නමුත් මට තෝරාගැනීමක් කරන්න අවස්ථාව ලැබෙනවා නම්, මම කැමතියි තෝරාගන්න කිමිදුම්කරුවන් ගුහාව තුළට යන අවස්ථාවේ ඔවුන් දුටු දේ අත් දකින්න.”

ඔබට මේ අත්දැකීම, කිමිදුම්කරුවන් සහ සිරවූ දරුවන් සමඟ සමීපව විඳින්න සළස්වන්නේ නිෂ්පාදන සැළසුම්, සිනමා නිමැවුම, ශබ්ද සහ අනිකුත් අංග රාශියත් සමඟ, ප්‍රධාන වශයෙන් ම සංස්කරණය විසිනි. “එය තවත් එක් චිත්‍රපටයක්, කුසලතා පූර්ණ මිනිසුන් රාශියක් එකතු වී, ඔවුන් සතු සියල්ල වැය කරමින්, ඔවුන් ගේ එක් එක් අංශයන් විසින් ඉටු කළ යුතු වූ සියල්ල නොපිරිහෙළා ඉටු කරමින් දායාද කළ තවත් එක් චිත්‍රපටියක්” හාවඩ් පවසයි. “එය ඔවුන්ගේ උසස්තම ජයග්‍රහණය යි.”

*    *    *

නිදි හෙවත් නිමල් අයියාගෙන් දුරකථන ඇමතුමක් ලැබීම වූ කල, දාර සයිස් මරාලයක් ඉහ මත කඩා වැටෙන්නට ආසන්න වීමක් බව නිමල් අයියාගේ යාලුවෝ හොඳින් ම දනිති. එහෙම එකක් පසු ගිය දා මගේ හිස මතත් කඩා වැටුණ අතර, ඒක හොඳටම රස විඳින්නට ද අවස්ථාව ලැබුණේ ය.

තායිලන්තයේ ‌කොහෙදෝ ගුහාවක් ඇතුලේ ෆුට් බෝල් කණ්ඩායමක් හිර වී සිටි බවත්, ඒ අය බේරා ගත්ත බවත් හොඳාකාරව ම මතක තිබුණේ ය. නමුත් මේ චිත්‍රපටිය ගැන මොකවත් ම දෙයක් මගේ ඔලුවේ තිබුණේ නැත. මුන්දෑ ඒ චිත්‍රපටිය හොඳටම රස විඳ, ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කර, ඒ සඳහා තොරතුරු හොයද්දී කියවන්නට ලැබුණු "මේකින් ‌ඔෆ්" වර්ගයේ ලිපියක් මට එවා වදාළ සේක. මං වහන්සේ ගෙන් එතුමෝ අපේක්ෂා කළෝ කුමක්ද යත්, ඒක පරිවර්තනය කරලා, බ්ලොග් පෝස්ට් එකක් මාත් ලියා, අපි දෙන්නාම එකම දවසේ පළ කිරීම ය. (ලියන්ඩ දෙයක් හෝ ඉස්පාසුවක් නැතුව උන්න මටත් ඒක මාර වාසියක් විය)

නිමල් අයියාගේ ආරාධනයෙන්, උන්දැ මට එවා තිබුණු ලිංක් එකේ තිබුණු ඉහත කී ලිපිය කොපි කර, (ඔරිජිනල් ලිපියට ලිංක් එක) චූටි ළාමක වදන් පිටු අටක ලියවිල්ලක් හැටියට ‌අලවා ගත්තෙමි. ඉන් පස්සේ අතරින් පතර තිබුණු ඇඩ් අයින් කළ විට ඒක පිටු හයක ලියවිල්ලක් බවට පත් විය. ඒ ලියවිල්ල පරිවර්තනය කරන්නට පටන් ගත් විට, අර එක්තරා යුරෝපීය සුරංගනා කතාවක දී මෙන් වැඩේ අතර මග නවත්තන්නට බැරි මොකක් හරි සාපයක් ද ඒ ලියවිල්ලේ තිබුණු බව මට පසක් විය.

පරිවර්තනය කරගෙන යන අස්සේ, එක වෙලාවක, තව කොච්චරක් තියෙනවාදැයි බලන්නට පොඩ්ඩක් ලියවිල්ල උඩට කළ විට පෙනුනේ, තව තියෙන්නේ ඡේද දෙකක් විතරක් බවය. ඒ පාර දැනුණු ආතලය කොයිතරම් ද කියතොත්, එවේලේ ම නිදි අයියාට මැසෙන්ජර් එකේ පණිවිඩයක් යවා, "තව ඡේද දෙකයි තියෙන්නේ" බවත්, "හෙට උදෙන් ම සංස්කරණය නොකළ පරිවර්තනය එවන්නං" බවත් ලියා තැබුවෙමි. ඒක සෙන්ඩ් වෙන අස්සේ වෙලාව බැලුවිට පාන්දර එක හමාරට විතර වී තිබුණි. මට කොන්ත්‍රාත්තුව බාර දී තමුන්නැහැ බුදි දැයි අහන්නට කෝල් එකකුත් දී බලන්නට හිතුණු නමුත්, ඒ වගේ විනම්බෑසි කරන්නට සුදුසු වයස අපි දෙන්නා ම මේ ‌වන විට පහු කර ඉන්නෙමු.

පරිවර්තනය කියා කීවාට, මම කර ඇත්තේ අනුවාදයක් බව කිව්වේ ද නිදි ම ය. වචනෙට වචනය පරිවර්තනය කළා නං මේ මුල් ලිපියේ තියෙන දිග වාක්‍ය ශෛලියේ හැටියට සිංහලෙන් ලියවෙන්නේ තේරුම් ගන්න බැරුව අන්ද මන්ද වෙන අන්දමේ කුණුහබ්බ පරිවර්තනයකි. ඒ නිසා මම කෙරුවේ වාක්‍ය කියවා තේරුම්ගෙන ඒක පැහැදිලි වෙන විදිහේ වාක්‍ය කීපයක් ලියන එක ය. ඒ වගේ ම අන්තිම මොහොතේ දී මගෙ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක කියවා එඩිට් කරන්නට ද නිදි අයියා උපකාර කළේ ය.

පරිවර්තනය කළාට පස්සේ, සමහර තැන් මම ලියා ඇත්තේ චිත්‍රපටියේ තිබෙන කොටස් ගැනම ද කියා තහවුරු කරගන්නට උවමනා විය. මොකද කියතොත්, සමහර විට මේක කියවන උදවිය මේ වෙන කොටත් මේ චිත්‍රපටිය බලලා තියෙන සහ, මේක කියෙව්වාට පස්සෙවත් බලන්නට ඉඩ ඇති නිසා ය. ඒ හින්දා ම පහුගිය ඉරිදා උදෙම්ම නැගිට (උදේ පාන්දර හතට විතර) නයිට් ටයිම් ඩේටා මඟින් මේ චිත්‍රපටියත් බාගත කරගෙන බලන්නට පටං ගත්තෙමි. ටොරන්ට් ලිංක් එක මෙතනින්.

මේ පරිවර්තනයෙන් මට ලැබුණු වාසි ‌හෙණ ගොඩකි. ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක් බලන්නට මට උත්තේජනය, පෙළඹවීම සහ අවස්ථාව ලැබුණේ ය. ප්‍රාණවත් සහ සජීවී විදිහට ලිපියක් ලියන්නේ කොහොමදැයි ආදර්ශයක් ලැබුණේ ය. පරිවර්තනය කිරීමෙන් පස්සෙ චිත්‍රපටිය බැලූ නිසා, චිත්‍රපටිය ඉතාම සියුම් ලෙස රසවිඳින්නට ද ඉඩ ප්‍රස්ථාව ලැබුණේ ය. විශේෂයෙන් ම ශබ්ද සංයෝජනය, ඉතා ම තියුණු සංස්කරණයන්, සංගීතය මුසු කිරීම සහ විශිෂ්ට පසුතල නිර්මාණයන් ගැන විස්මයට පත් වීමට ලැබුණේ ය.

ඒ සියල්ලට නිදි රාළට ස්තූතිවන්ත වෙන අතර, නිදි මේ ගැන ලියපු මුල් ලිපිය, මෙතනින් ගොහින් කියවා ගන්නා ලෙස ආරාධනා කරමින්, මගේ වචන සුවල්පය මෙයින් හමාර කරන්නට අදහස් කරමි.

Thursday, September 1, 2022

රසෙහි විස


අසෙකු පිටින් පැමිණි තානායම්කරු බිමට බැස්සේ මැහැල්ලගේ ගොවිපළ ළඟදීය. ඔහු උසය, මහතය. ඔහුගේ මුහුණ රතු වී තිබිණ.

තමා නැගී ආ අසු කණුවක බැඳ ඔහු ගොවිපළට ඇතුළු විය.

මැහැල්ලගේ ගොවිපළ පිහිටා තිබුණේ තානායම්කරුගේ ඉඩමකට යාබද වය. මේ ඉඩම ලබා ගැනීමට ඔහුගේ සිත් තුළ ලොකු ආසාවක් හටගෙන තිබිණ. බොහෝ අවස්ථාවල ඊට උත්සාහ ගත් නමුත් වැඩක් වූයේ නැත. මැහැල්ල ඉඩම විකුණා දැමීම උදක් ම ප්‍රතික්ෂේප කළාය.

“මම ඉපදුණේ මෙතැන ම යි: මැරෙන්නෙත් මෙතැන ම යි.” ඔහු ඉඩම ඉල්ලූ සෑම අවස්ථාවේම ඕ මේ කෙටි පිළිතුර දුන්නාය.

ජුලේ චිකෝ පැමිණෙන විට මැහැල්ල මිදුලේ මිඳ අලගෙඩි ලෙලි අරිමින් සිටියාය.

ඇගේ වසය අවුරුදු සැත්තෑ දෙකක් පමණ වෙයි. ඈ ඉතා කෙසඟය, කුදුය. ඇගේ හම රැළි වැටී ඇත. එසේ වුව ද ඈ කෙල්ලක මෙන් කඩිසරය, උද්‍යෝගීමත්ය.

චිකෝ ඉතා මිත්‍ර ලීලාවෙන් ඇගේ පිටට තට්ටු කොට ඈ ළඟ තිබුණු පුටුවක හිඳ ගත්තේය.

“අම්මේ,”

“මොක ද පුතා?”

“අම්මා හොඳ සනීපයෙන් සිටිනවා දකින්න මම හරි ආසයි.”

“මට නම් කියන්න වරදක් නැහැ. ඉතින් කොහොම ද ඔබේ සැප සනීප?”

“හුඟක් දුරට හොඳයි. කලින් කල වාත රෝගයක් නම් හැදෙනවා. වෙන කියන්න අමාරුවක් නැහැ.”

“ඒක හොඳයි.”

ඈ වැඩි යමක් නොකියා, තමාගේ වැඩය දිගට ම කරගෙන යන සැටි ඔහු කුහුලින් බලාගෙන සිටියේය.

මැහැල්ල පොකිරිස්සෙකුගේ අඬු වැනි ඇඟිලිවලින් දිය බඳුනේ තිබුණු අලගෙඩි ගෙන, පොතු හැර, අනෙක් අතින් ගත් පිහියෙන් කපා, බඳුනකට දමයි. කුකුළෝ එතැනට පැන අල කෑලි හොටින් ගෙන හැකි තරම් වේගයෙන් පැන දුවති.

චිකෝගේ සිත නොසන්සුන්ය. යමක් කියන්ට ඔහුගේ තොල් පොපියයි.

“අම්මේ... මම කියන්නේ...”

“මොක ද පුතා?”

“‌එහෙනම් අම්මා ඉඩම් කෑල්ල විකුණන්නේ නැහැ... ඒක ස්ථිරයි?”

“මම නම් ඉඩම් කෑල්ල කීයටවත් විකුණන්නේ නැහැ. ඔබේ හිත හදා ගන්න. කී දේ කිව්වා මයි... තවත් ඒ ගැන කතා කරන්නන එපා.”

ඔහු මඳ වේලාවක් සිතිවිල්ලට වැටී සිටියේය.

“ඒකට කමක් නෑ අම්මේ. අපි දෙන්නාට ම එකඟ වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා.

මේ ඉඩම මට විකුණුවත් ඔබට එය බුක්ති විඳින්න පුළුවන්... මම කියන දේ ඔබට තේරෙනව ද?... මම කියන දේට ඇහුම්කන් දෙන්න.”

මැහැල්ල අල පොතු ඇරීම මොහොතකට නැවැත්තුවාය. ගන සැරේට වැවුණු ඇහි බැම යට පිහිටි ඇස් දෙක දල්වා ඔහු දෙස බැලුවාය.

“මම කරුණු විස්තර කරලා දෙන්නම්.” කියමින් චිකෝ කතාව පටන් ගත්තේය.

“මම හැම මාසෙට ම අම්මාට ෆ්‍රෑන්ක් 150 ගණනේ දෙන්නම්... මම කියන දේ තෙරෙනවා නොවේ ද?... මගේ අතින් ම ඒ මුදල දෙන්නම්. ඔබේ ජීවිතයේ කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. ඔබේ ගොවිපළ ඔබට ම අයිතියි. දැන් වගේමයි. ඔබට කරන්ට තිබෙන වැඩේ නම් මම මාස්පතා දෙන මුදල බාර ගැනීම පමණයි... ඔබ ඊට කැමති ද?”

චිකෝ  ඈ දෙස කාරුණික බැල්මක් හෙළුවේය. එහෙත් මැහැල්ල ඔහු දෙස ශංකාකූල බැල්මක් හෙළුවේ තමා උගුලකට වැටේ දැයි සිතමිනි.

“ඒ යෝජනාව නම් හොඳයි. ඒ වුණාට ඔබට ගොවිපළ අයිති වන්නේ නැහැ නොවේ ද?” මැහැල්ල ප්‍රශ්න කළේ මඳක් පැකිළෙමිනි.

“ඒකට කමක් නැහැ.” ඔහු කීය. “දෙවියන්ගේ කැමැත්ත අනුව ජීවිතාන්තය දක්වා ම ඔබට මෙතන ඉන්නට පුළුවනි. ඔබේ මරණින් පස්සේ මෙය මට අයිති කරන ඔප්පුවක් ලියා දෙන්න. ඔබට දරුවන් නැහැ. ඔබ ලේලිලාට බෑණලාට වැඩි සැළකිල්ලක් දක්වන්නේත් නැහැ... මගේ යෝජනාවට කැමති වන්න. ජීවිතාන්තය දක්වා ම ගොවිපළ තියාගන්න... මම මාස්පතා නොවරදවාම ෆ්‍රෑන්ක් 150ක් දෙන්නම්. මේ යෝජනාව නම් ගජ වාසියක්!...”

මේ යෝජනාව මැහැල්ලගේ බලවත් විස්මයට ‌හේතුවක් විය. ඇගේ සිත නොසන්සුන් විය.

යෝජනාවට එකඟ වීමට ඈ තුළ කැමැත්තක් ඇත. එහෙත් ඈ මඳක් පැකිළුණාය.

“ඊට එකඟ වෙන්න බැරිය කියල මම කියන්නේ නැහැ. ඒ වුණාට ඒ ගැන හිතලා බලන්න ඕනෑ. තව සතියකින් විතර මේ පැත්තේ ආවාම ආයිත් මේ ගැන කතා කරගන්න බැරියැ. එදාට මම ස්ථිර වචනයක් දෙන්නම්...”

එදා චිකෝ ගෙදර ගියේ රටක් දිනාගත් රජෙකු මෙනි.මැහැල්ල සිතිවිල්ලට වැටුණාය. එදා රෑ ඈට නින්ද ගියේ නැත. ඈ දවස් හතරක් ම ගත කළේ, බලවත් මානසික අසහනයකින් සහ අවිනිශ්චිත ස්වභාවයකින් යුක්තවය. මේ යෝජනාවට එකඟ වුව හොත්, කිසියම් විපත්තියක් තමාට සිදුවන්නට ඉඩ ඇත යන හැඟීම ඇගේ යටි හිතේ නළියන්නට විය.

“මාසෙකට නිකම් ෆ්‍රෑන්ක් එක සිය පණහක්. කොතරම් වාසියක් ද? සල්ලි ගැටෙන හඬක් මට ඇහෙනවා. සල්ලි! සල්ලි...!”

වස්තු කාමය ඇගේ සිත දැඩි ලෙස වෙළා ගත්තේය. කෙසේ වුව ද මේ යෝජනාවට එකඟ වීමට නීතිඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය යි ඈ කල්පනා කළාය.

“ඔබ ඒ යෝජනාවට එකඟ වුණාට කමක් නැහැ. කොහොම වුණත් මාසෙට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ඉල්ලන්න.මේ ගොවිපළ අඩුම ගානේ ෆ්‍රෑන්ක් හැට දාහක් වටිනවා. ඔබ තව අවුරුදු පහළොවක් වත්  ජීවත් වුණොත් ෆ්‍රෑන්ක් හතළිස් දාහක් විතර ලබා ගන්න පුළුවනි...” නීතිඥයා කීවේය.

මාසයකට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ලබා ගැනීම පිළිබඳව කල්පනා කිරීමෙන් ඈ සතුටින් ඉපිළ ගියාය. එහෙත් සැක සිත ඇයට වද දෙයි. ඒ නිසා නීතිඥයාගෙන් තව තවත් ප්‍රශ්න අසමින් සියලු සැක දුරු කර ගැනීමට ඈ උත්සාහ ගත්තාය.

බොහෝ වේලාවක් නීතිඥයා සමඟ සාකච්ඡා කිරීමෙන් සැක දුරු කරගත් මැහැල්ල ඔප්පු ලියන්නට කටයුතු සූදානම් කොට ගෙදර ගියාය.

සුරා බී මත්වුණු කලක මෙන් ඇගේ සිත, හිස කැරකෙන බව ඇයට දැනුණේය.

චිකෝ මැහැල්ල හමුවීමට යළිත් පැමිණියේය. ඔහුගේ යෝජනාවට එකඟ වීමට නොහැකි බවක් හඟවන්නට ඈ කෙතරම් තැත් කළ ද, ඔහු මීට එකඟ නොවේය යි බියක් ද ඈ තුළ පැවතිණ. ඒ අතර ම ෆ්‍රෑන්ක් දෙසීය පණහක් දීමට ඔහු කැමැති කරවා ගැනීම දුෂ්කර වේ යයි ද ඕ කල්පනා කළාය.

“මම ඔබේ යෝජනාව ගැන කල්පනා කර බැලුවා. ඒකේ සුලු වෙනසක් ඇති කළොත් වඩාත් හොඳය යි මට හිතෙනවා.”

“කියන්න බලන්න.”

“මට ෆ්‍රෑන්ක් එකසිය පණහක් මදි; මට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් දෙන්න.” මේ යෝජනාවෙන් බලවත් පුදුමයට හා කළකිරීමට පත් වුණූ ඔහු ඊට නොකැමති විය. තම යෝජනාවට ඔහු අවනත කර ගැනීම සඳහා ඈ තර්ක කරන්නට වූවාය. “මම තව අවුරුදු හතරකට පහකට වැඩිය ජීවත් වන්නේ නැහැ. දැන් මගේ වයස අවුරුදු හැත්තෑ තුනයි. මම හොඳට ම දුබලයි. ඊයේ හැන්දෑවේ මම හිතුවේ මැරෙවිය යි කියලා. ඇඳ ළඟට බඩගාගත්තේ හරිම අමාරුවෙන්.”

චිකෝ අවනත වුණු බවක් පෙනෙන්නට නොතිබුණි. “අම්මා අර පල්ලියේ කණුව වාගේ ශක්තිමත්. ඔබ අවුරුදු සීයක් විතර ජීවත් වේවි. බාග වෙලාවට අම්මට ඉස්සෙල්ලා මම මැරිලා යන්නත් පුළුවනි.”

ඔවුහු මේ ගැන බොහෝ වේලාවක් වාද විවාද කළහ. අඩු මුදලක් ලබන්ට මැහැල්ල කිසිසේත් ම කැමැති නො වුවාය. බැරිම තැන තානායම්කරු ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ගෙවන්නට කැමැති විය. ඔහු මාස්පතා ඇයට ෆ්‍රෑන්ක් දෙසීය පණහ බැගින් දෙන්ට පටන්ගත්තේය.

අවුරුදු තුනක් ගෙවී ගියේය. මැහැල්ල මැරෙන ලකුණක් වත් දක්නට නොලැබිණ.

දැන් චිකෝට ඉවසුම් නැත. ඔහුට හැඟුනේ තමා අවුරුදු පහක් පමණ ඈට නිකරුණේ මුදල් දුන් බවයි. කළ මෝඩකම් නිසා විනාශය තමන් කරා ම ළඟා වේය යි ඔහු සිතන්ට විය.

ඔහු විටින් විට ඈ බලන්ට ගියේ අස්වැන්න නෙළාගැනීමට හැකි දැයිසොයා බැලීම පිණිස කෙතට යන ගොවියෙකු පරිද්දෙනි. ඈ හෙළූ කපටි බැල්ම දුටු චිකෝ කල්පනා කෙළේ, තමා කළ කපටිකම නොපිටට පෙරළා ඈ බලවත් සන්තෝෂයට පත් වී සිටින බවය. ඈ නිදුකින් සිටිනු දැකීම ගැන ඔහු යටි හිතින් කෝප විය.

“මේ නාකි කෝලම මැරෙන පාටක් නෑ.” ගෙදර යන ගමන් ඔහු තමාට ම කියාගත්තේය. කළ යුත්තේ කුමක්දැයි ඔහුට නොවැටහේ. ඇගේ කුලල මිරිකා දමන්ටත් ඔහුට වරක සිතේ. තමන් සතු සියලු වස්තුව සොරකම් කරගනු ලැබූ කල්හි දිළිඳු ගැමියෙකුගේ සිතෙහි හටගන්නා ද්වේශයට බඳු ද්වේශයක් ඔහු තුළ හටගත්තේය. ඈ විනාශ කර දමන්නේ කෙසේ දැයි ඔහු කල්පනා කරන්නට විය.

ඔහු දිනක් ඈ හමුවීමට පැමිණ, අත් පිරිමදිමින් කතා කළේය.

“අම්මා රෑ කෑමට අපේ ගෙදරට එන්නේ නැත්තේ ඇයි? අපි අතරේ ඇයි හොඳයියක් නැතෙයි කියලා ගම්මු කතා කරනවා. ඒක මට ලොකු වේදනාවක්. අපේ ගෙදරට එන්න ඔබට සල්ලි වියදම් වන්නේ නැහැ. මට නැති බැරි කමකුත් නැහැ. අම්මා දවසක රෑ කෑමට එනවා නම් මම හරි සතුටුයි.”

ඈට දෙවරක් ආරාධනා කිරීම අවශ්‍ය නොවීය.

“අපි තව දවස් දෙකකින් වෙළෙඳපොළට එනවා; එදා රෑ කෑමට අපි ඔබේ ගෙදර එන්නම්.”

චිකෝ සිය ප්‍රසාදය පළ කෙළේය.

ඈ නියමිත දින නියමිත වේලාවට රෑ කෑමට පැමිණියාය. ඔහු ඇයට සැළකුවේ රාජ කුමාරියකට සලකන පරිද්දෙනි. ඉතා ප්‍රණීත ආහාර පානාදිය ඇය වෙනුවෙන් පිළියෙල කොට තිබිණ. මැහැල්ල කෑමට බීමට ගිජු ස්ත්‍රියක් නොවූවාය. ඒ නිසා පාන් පෙත්තක් සහ සුප් බඳුනක් පමණක් ගෙන ඈ තෘප්ත වූවාය.

චිකෝ පෙරැත්ත කළ නමුත්, වැඩි යමක් කෑමට ඇය පොළෙඹවා ගැනීමට නොහැකි විය.

“එහෙනම් මොකුත් බොමුද?”

“අපොයි එපා.”

“එහෙනම් කෝපි වීදුරුවක්?”

“දැන් එපා”

“ඉස්තරම් බ්‍රැන්ඩි වර්ගයක් තියෙනවා. ටිකක් බිව්වට කමක් නැහැ.”

“බ්‍රැන්ඩිද?”

“ඔව්, ඔව්. ඉස්තරම් වර්ගයේ ඒවා...” චිකෝ උනන්දු විය.

“බ්‍රැන්ඩි ටිකක් බීමට... නම් මගේ අසතුටක් නැහැ.” ඈ මඳක් පැකිළෙමින් කීවාය.

“රෝසල්, ඉස්තරම් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් ගේන්න. ඉස්තරම් වර්ගයේ එකක්.” චිකෝ මෙහෙකරුට කීවේ ලොකු උනන්දුවකිනි.

මෙහෙකරුවා දිග බෝතල දෙකක් ද, වීදුරු දෙකක් ද රැගෙන ආවේය.

“බොන්න ටිකක්, හරිම අගෙයි.” චිකෝ කීය.

මැහැල්ල වීදුරුව තොල ගාමින් ටිකින් ටික බ්‍රැන්ඩි බීවාය. සෙමෙන් බීවේ වැඩි සන්තෝෂයක් ලබනු පිණිසය. අන්තිම බිංදුව බීමෙන් පසු සතුටු සිනාවක් නගා, “මේ බ්‍රැන්ඩි නම් ඉතාම ඉස්තරම්.” කීවාය.

ඈ මෙසේ කියන විට චිකෝ තවත් වීදුරවකට බ්‍රැන්ඩි වත්කොට අවසානය. එය ප්‍රතික්ෂේප කිරීමට ඇය ඉදිරිපත් වූ නමුත් ඊට කල්ගියා වැඩිය.

ඒ වීදුරුවත් ඈ ටිකෙන් ටික බීවාය.

එය බී අවසන් වූ පසු චිකෝ ඈට තව වීදුරුවක් පිළගැන්වූවේය. ඈ එය උදක් ම ප්‍රතික්ෂේප කළ නමුත්, එයත් පිළිගන්නා ලෙස ඔහු ඈට පෙරැත්ත කරන්නට වූයේය.

“මේවා හරියට කිරි වාගෙයි. මට නම් කිසි ම කරදරයක් නැතිව වීදුරු දහයක් දොළහක් වුණත් බොන්න පුළුවනි. ඉසේ රදයක් හැදෙන්නෙ නැහැ. දිවේ ගෑවෙන කොට ම වාෂ්ප වී යනවා වගේ දැනෙනවා. මේක නම් හරි ම හොඳ බීමක්...”

ඈ තුන් වෙනි වීදුරුව අතට ගත්තේ ඔහුගේ මේ පෙරැත්තය නිසා මයි.

“මේ බලන්න., මේකෙ ඇති රසය දැන් ඔබට දැනෙන්න ඇති. අපි හොඳ යාළුවන් බව පෙන්වීමට තව උගුරක් බොන්න.”චිකෝ කාරුණික ලෙස කීවේය.

ඈ අවසර ගෙන එතැනින් නික්මුණාය. සුරා මතින් ඇගේ හිස බමන්නට පටන් ගත් බව ඈට දැනෙයි.

පසු දින තානායම්කරු ඇගේ නිවසට පැමිණියේ බීම බෝතල් කීපයක් ද රැගෙනය.

“මේ ඊයේ බීපු ජාතිය මයි, ටිකක් බොමු.”

ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.

“ලැජ්ජා වෙන්න එපා, ඕනෑ තරම් බොන්න. මම බෝතල කීපයක් තියලා යන්නම්. ඉවර වුණාම තව ඉල්ලන්න. මම තව ගෙනත් දෙන්නම්.”

දින හතරකට පසු ඔහු නැවතත් පැමිණියේය. ඔහු එන විට මැහැල්ල පාන් කමින් සිටියාය.

ඔහු ඈ ළඟට ගියේය. තම මුහුණ ඇගේ මුහුණට ළං කෙළේය.

ඇගේ මුවින් සුරා ගඳ වහනය වන බව දත් ඔහු සතුටට පත් විය.

“මට දෙන්නකො ‘ස්පෙෂල්’ බ්‍රැන්ඩි වීදුරුවක්.” ඔහු කීය.

“හොඳයි, හොඳයි.” ඈ කීවේ සිනහ මුසු මුහුණෙනි.

ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.

මැහැල්ල බීමත් වී දවස් ගෙවන විත්තිය ගම රට පුරා පැතිරී ගියේය.

බීමත් වී තැන තැන වැතිරී සිටි ඕ තොමෝ කිහිප වතාවක් ම ඔසවාගෙන එනු ලැබුවාය.

චිකෝ ඊට පසු ඈ හමුවීමට ගියේ නැත. කිසිවෙකු ඈට පැමිණි ව්‍යසනය ගැන කතා කළ විට ඔහු ව්‍යාජ ශෝකී ස්වභාවයක් ආරූඪ කරගෙන මෙසේ කියයි:

“මේ නහින දෙහින කාලෙ බීමට පුරුදු වීම නම් කණගාටුවට කාරණයක්. මෙහෙම බිව්වොත් වැඩි කල් අල්ලන්නේ නැහැ.”

නත්තල් සමයේ දී සුරා මතින් මත්වුණු ඈ, සිහි නැතිව හිම මත ඇදගෙන වැටුණාය.

ඈ නැවත එ තැනින් නැඟිට්ටේ නැත.

චිකෝගේ අදහස මුදුන්පත් විය. ගොවිපළ ඔහුට අයත් විය.

“ඈ හරි මෝඩයි. බීමට පුරුදු  වුණේ නැත්නම් තව අවුරුදු දහයක් වත් ඈට ජීවත් වෙන්න තිබුණා...” යි ඔහු තමාට කියා ගත්තේය.

-         ගීද මෝපසාං ගේ ‌ ලෙ පෙටි ෆු  කෙටිකතාව ඇසුරින්

කියවීම් පොතක ඇතුළත් කර තිබූ කතාවකි 

ගී ද මෝපසාං


Wednesday, August 17, 2022

මමයි දුම්රියේ ගායකයා සහ තවත් අය...

දුම්රියේ රසවත් දේ දකින්නට නම් යා යුත්තේ දවල් දහයත් තුනත් අතර සහ හවස හතෙන් විතර පස්සෙ. කාර්ය බහුල වෙලාවලත් සමහර විට මම මේ කියන්නට යන උදවිය දුම්රියේ ඉන්නවා වුණාට, වඩාත් ඉඩකඩ සහිතව ගමන් කරන්නට පුළුවන් මම ඔය ඉහතින් කියා තියෙන වෙලාවල් අතරේ නිතරම වගේ මේ කියන රසවතුන් හමු වෙනවා.

ඔයින් එක්කෙනෙක් තමයි, “මමයි දුම්රියේ ගායකයා“. මේ තැනැත්තා අවුරුදු හැටක් වතර වයස, ඉතා ම පිරිසිදුවට කළිසම සහ කමිසය ඇඳ  පොඩි ටියුලිප් බෑග් එකක් දකුණතින් අරගෙන දුම්රියට නගින්නේ. ගොඩක් ම උදේ වරුවෙ තමයි මෙයා ඉන්නෙ. මෙයා කිසිම වාදන භාණ්ඩයක් නැතුව ඉතා ම සරළ විදිහට, ප්‍රසිද්ධ තනුවලට තමන් පද එකතු කරලා හදාගත්ත ගීත ගායනා කරන්නේ මඳ සිනාවකුත් සමඟින්. ඒ ගීත අතරින් මට මතක හිටිය ගීත කීපයක් මේ:

දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී//

කරාටේ දන්නවා සේ පෙනේ//

කරන්ට් වැදුණ සේ පෙනේ - ඇගේ දැඟලිලි

දැක්කොත් මධුරී ඩික්සිත් - ආලේ නොකරා බැරී...


බණින්නෙපා ප්‍රිය බාරිට - ගහන්නෙපා

ඔබ සමගින් ඈ ඇවිදින් ඇත්තේ

ඔබගෙන් සැනසුම් ලබන්නටයි


මමයි දුම්රියේ ගායකයා - මේ ආවා - මේ ආවා

දවාලෙ පායන සූර්යයා - මේ ආවා - මේ ආවා

රෑට ඇවිදින අවතාරේ...

ටිකට් චෙකර්ලා තට්ටෙ පළාවී දෝ

මං බය නෑ - මං බය නෑ//

ගාඩ් මහත්තය උදව් කරාවී දෝ

මගෙ මිතුරා - හොඳ මිනිහා//


ඔහු බෑඩ් බෝයි සිංදුවටත් මේ වගේ පද මාලාවක් හදාගෙන තිබුණා. ඒකේ තිබුණා බෝයි කියා අවසන් වෙන වචන සීයක් විතර. (ටාසන් බෝයි, ලයිෆ් බෝයි, කව් බෝයි, ඔය ආදී වශයෙන්...)

ගීත හතක් අටක් ගායනා කරන ඔහු ඊට පස්සේ මෙහෙම කියනවා...

“දැන් මේ මහ්තතුරු නෝනලා මට බණිනවත් ඇති, ‘මේ මනුස්සයා සිංදු කියනවා විතරයි. සල්ලි එකතු කරන්න එන්නෙත් නෑ‘ කියලා. මගෙ හැටි එහෙම තමයි. මම කෝච්චි පෙට්ටියකට නැග්ගොත් සිංදු විස්සක් තිහක් කියලා තමයි බහින්නේ.“

ඒ කියනවා වාගෙම, එයා ගණේමුල්ලෙන් නැග්ගොත්, සිංදු කීම ඉවර කරලා සල්ලි එකතු කරන්නේ කැළණියත් පහු වෙලා. 


තව කෙනෙක් හිටියා තරුණ පහේ. වයස තිහක්වත් නැති තරම්. එයා කෝච්චියට නගින්නේ ලොකු ලී රාමුවකට එක්ස්රේ කාඩ් දෙකක් විතර හයිකරලා හදාගත්ත වාදන භාණ්ඩයක් අරගෙන. ඒ රාමුවේ හයි කරලා තියෙනවා, කසළ ගොඩවල්වලින් අහුලාගෙන පිරිසිදු කරගත්ත කැඩුණු බෝණික්කෝ, ප්ලාස්ටික් මල් පොකුරු වගේ දේවල්. එයා කෝච්චි පෙට්ටියට නැගලා මෙහෙම කියනවා.

“ඔයාලට හිතෙනවද දන්නෑ මං පිස්සන් කොටුවෙ ඉඳන් එන්නෙ කියලා. මං එන්නෙ එහෙ ඉඳලා නෙවෙයි...“ එයා දවසක් අර රාමුවෙ හයි කරල තිබුණු බෝණික්කෙක් පෙන්නලා කියනවා, “මෙයාගෙ අම්මා ඕස්ට්‍රේලියාවෙ ගාමන්ට් එකේ. මං ලංකාවෙ පේමන්ට් එකේ...“

මෙයා ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නෙ රෑට. මට මතකයි, 2002 හෝ 2003 දෙසැම්බර් 31 වෙනිදා, මම මරදානෙන් නැගපු දුම්රියට මේ මනුස්සයත් මරදානෙන් නැග්ගා. නැගලා තමන්ව ඉදිරිපත් කරන්න කරන කතාවෙ අන්තිමට, “මම ඔයාල හැමෝටම කැළැන්ඩරයක් ලබා දෙනවා“ කියල, පොකට් කැලැන්ඩර් වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. එහෙම බෙදන ගමන් කියනව, “ජීවිතේ මල් - නිකං දෙන කල්“ කියල. ඒක ඇහුණුු පොඩි අඩියක් ගහල හිටපු මගියෙක් කියනව, “අපේ ජීවිත පල්!“ කියල.

ප්‍රසන්ට් කරන කතාවෙන් පස්සෙ මෙයා අර රාමුවෙ හයි කරල තියෙන පොඩි නළාවක් පිඹ පිඹ, අර රාමුවෙ එක්ස්රේ කාඩ්වලට ගහමින් සිංදු කියනව එක දිගට... ඒ සිංදුවල නං කියන්න තරම් දෙයක් නෑ. අර කලින් ගායකයා වගේ ම, ප්‍රසිද්ධ සිංදුවලට මවු ගුණ සම්බන්ධ පද අලුතින් දාලා කියන්නෙ.

මේ ඉන්දියාවෙ පොටෝ එකක්

සමහර යාචකයො ඉන්නව දුම්රියෙ පෙට්ටියකට නැගලා, සිංදු තුනක් විතර එතන ම ඉඳන් කියන. සමහර යාචකයො ඉන්නව රබානක් ගගහ, සිංදුව කියාගෙන හෙමින් හෙමින් කෝච්චිය ඇතුලෙන් ඉස්සරහට යන. එහෙම කෙනෙක් ගෙන් සම්පූර්ණ සිංදුවක් අහන්න ඕනෙ නම්, එයාගෙ පස්සෙන් යන්න වෙනව කෝච්චි පෙට්ටි පහක් විතර ඉස්සරහට.

දුම්රිය යාචකයන්ගෙ තියන එක සාරධර්මයක් තමයි, තමන් කෝච්චි පෙට්ටියකට නගිනකොට වෙන යාචකයෙක් ඒ පෙට්ටියෙ හිටියොත්, ආපහු බැහැල වෙන පෙට්ටියකට යන එක. දවසක් ඔය උඩ කිව්ව වගේ, පෙට්ටියෙ නතර වෙලා ඉඳන් සිංදු තුන හතරක් කියන වර්ගයේ යාචකයෙක් රබානක් ගහ ගහ සිංදු කිය කිය ඉන්න කොට, ඇස් පේන්නැති යාචකයෙක් පිටිපස්සෙ පෙට්ටියෙ ඉඳන් ඒ පෙට්ටියට ආව බට නළාවක් පිඹ පිඹ. අර ‘නතර වෙලා‘ ගණයේ යාචකයා, තමන්ගෙ සිංදුව නතර කරලා, අර ‘ජංගම‘ වර්ගයේ යාචකයගෙ බටනළා වාදනයේ තනුවට හරියන්න රබාන ගහන්න පටං ගත්තා, එයා ඒ පෙට්ටියෙන් යන කල් ම.

දුම්රියේ ගායක යුවළක් හිටියා රාගමින් නගින. දෙන්න ම අවුරුදු පණහට කිට්ටු කරලා. පිරිමියා සර්පිනාවක් හරි ඩෝලැක් එකක් හරි අරගෙන එන්නෙ. ඒ දෙන්නා දුම්රියේ බිම වාඩි වෙලා යුග ගීත කියනව. ඒ දෙන්නගෙන් පිරිමි කෙනා කෙට්ටුයි. වයසට ම අලු පාට වුණු කොණේඩෙ පිටිපස්සෙන් වවලා, උඩුරැවුළත් කොන් දෙක පාතට වැටෙන්න වවලා. හරියට ම කෑකෝ පප්ප වගේ මයි.

සමහර ගායකයො එනවා තනියම ත්‍රී පීස් වගේ ගහන. ගිටාර් එක හෝ ඩොලැක් එකට කම්බි වලින් හයි කරපු හාමෝනියම් එකකුත් ගහන ගමන් සිංදු කියන.

මට මතකයි අපි පොඩි කාලෙ වීදි ගායක යාචකයො ගැන “මාවතේ අපි“ කියලා වැඩසටහනක් කළා රාජ්‍ය අනුග්‍රහයෙන්. ඕක කළේ ප්‍රේමදාස ජනාධිපති ගෙ කාලෙ. ඒ වැඩසටහන අන්තිමේ එල්ෆින්ස්ටන් එකේ ලයිව් කරපු සංදර්ශනයකින් තමා අවසන් වුණේ. ඒ ගැන අපේ ලොකු අයියා - ක්ලැරන්ස් විජේවර්ධන ලස්සන සිංදුවක් කළා...


දුම්රියේ අහන්න දකින්න තියෙන දේවල් නම් එමටයි. ගොඩක් ම රෑ අට හමාරට සහ නමයහමාරට කොළඹ කොටුවෙන් අදින ඉහළ දුම්රිය මාර්ගයේ කෝච්චි දෙකේ දි මම හිතන්නෙ අදටත් ඔය වගේ රසවත් දේවලින් නිදිමත සහ වෙහෙස දුරු කරගන්න අවස්ථාව තියෙනව. 

Wednesday, August 10, 2022

ඇත්ත බොරු

ඔමේගා යනු ඇමරිකානු ආණ්ඩුවේ රහස් ඔත්තු සංවිධානයක්. ඒකේ සිටින දක්ෂ ම සහ කැපවීමෙන් කටයුතු කරන නියෝජිතයෙක් හැරී ටස්කර්. ඔහු ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි, ක්ෂණික තීරණ මත ක්‍රියා කරන තැනැත්තෙක්. වරක් ඔහු තමන්ට පහර දෙන්නට ඇවිත් මෝටර් බයික් එකක් පැහැරගෙන පළා යන ත්‍රස්තවාදියෙකු පස්සෙන් ළුහුබඳින්නේ පොලිස් අශ්වයෙකු පිටින්. ත්‍රස්තවාදියා බයික් එක හෝටලයකට ඇතුල් කරගෙන, ලිෆ්ට් එකට නඟිනවිට, හැරීත් තමන්ගේ අශ්වයා පිට සිටිමින් ම අනිත් ලිෆ්ට් එකට නඟිනවා.


ආණ්ඩුවේ රහස් තමන්ගේ පවුලේ උදවිය සමඟවත් බෙදා ගත නොහැකියි. ඉතින්... හෙලන් ටස්කර් හෙවත්, හැරී ගේ බිරිඳ දන්නෙත් හැරී යම්කිසි පරිගණක අලෙවි සමාගමක නියෝජිතයෙක් බවයි. 

හැරී ගේ රාජකාරි දවසක් සාමාන්‍යයෙන් අනතුරුදායක සහ වික්‍රමාන්විත ක්‍රියාවන්ගෙන් බහුලයි. ඒ අවස්ථාවන්ට හැරී මුහුණ දෙන්නෙත් ඉතාම සාමාන්‍ය සහ එදිනෙදා හුරුපුරුදු දේවලට මුහුණ දෙන්නා වාගේ.


හැරී ගේ බිරිඳ හෙලන් පුරුද්දට වාගේ ඔහුගෙන් අහනවා, අද දවස මොන විදිහට ද ගත වුණේ කියලා. ඔහු ඉතා ම සාමාන්‍ය විදිහට ඊට උත්තර දෙනවා. ඔහුට කියන්නට බැහැ ඇත්ත සිදුවීම ගැන. ඉතින් ඔහු කියන බොරු විස්තර හෙලන් ට ඉතා ම නීරසයි. ඇය කැමතියි යම් කිසි වික්‍රමාන්විත සිදුවීම් ගැන අහන්න, කතා කරන්න, නැත්නම් තමන්ගේ ජීවිතයට යම් කිසි ත්‍රාසයක් එකතු කරගන්න.

ඔවුන් දෙදෙනාගේ දුව, ගැටවර වයසේ. සාමාන්‍ය පවුලක දරුවෙක් වාගේ ම ඇයත් දෙමාපියන්ගෙන් දුරස්තරයි. තාත්තා ගේ රාජකාරි සහ ජීවිත රටාව ඇයට අල්ලන්නේ නෑ.

ඔය අතරේ තමයි හෙලන් ට හමු වෙන්නේ සයිමන්. ඔහු හෙලන් ට පෙන්වන්නේ, රාජ්‍ය රහස් ඔත්තු සේවාවක නියෝජිතයෙක් හැටියට. 

ඒ සම්බන්ධය ගැන දැනගන්නා හැරී ටස්කර් මොකද කරන්නෙ? ඒ අතරෙ ඔහු පිටුපසින් පන්නන ක්‍රිම්සන් ජිහාඩ් ත්‍රස්තවාදියන් එක්ක ඔහු ගනුදෙනු කරලා බේරාගන්නේ කොහොමද?

බලන්න චිත්‍රපටිය... (ටොරන්ට් එක)


ටයිටැනික් සහ ටර්මිනේටර් 2 ෆිල්ම් හදපු ජේම්ස් කැමරන් ගේ ඒ කාලෙට ම අයත් නිර්මාණයක්‌ මේක. ටර්මිනේටර් 2 ෆිල්ම් එකට පස්සෙ සහ ටයිටැනික් ට කලින් වැඩිම වියදමක් දරා නිපදවපු, ඒ වගේ ම ආදායම් වාර්තා තබපු ෆිල්ම් එකක්. බලල නැත්නම් බැලුවට පාඩුවක් නෑ.

අවසාන ෆයිට් එක තමයි හොඳ ම. හැරී ටස්කර් ගෙ දුව පැහැර ගන්නා ත්‍රස්තවාදීන් එක්ක සටන් කරන්නට හැරී යන්නේ මැරීන් හමුදාවේ මිග් ප්‍රහාරක යානයකින්.

අඃ... තව ඩිංගෙන් අමතක වෙනවා. ඉතා ම ලස්සන ටැංගෝ ඩාන්ස් දෙකක් ඇතුළත් මේ චිත්‍රපටියට.


තවත් වරක් අමතක උනා කියන්ඩ... හැරියගෙ බොස් හැටියට රඟපාන්නෙ මං දේවත්වයෙන් වගේ සළකන, එල් සිඩ් ෆිල්ම් එකේ සිඩ්... චාල්ටන් හෙස්ටන්.

Wednesday, June 22, 2022

සින්ද්බාද් දුටු ලංකාව


...

මා ගොඩබැස්සේ සෙරන්දිප් නම් දිවයිනේ බැවින්, එහි අගනුවරට පැමිණෙන තුරු අපි ගමන් කෙළෙමු. කළු මිනිස්සු ඔවුන්ගේ රජතුමාට මා දැක්වූහ. මම සිංහාසනය සමීපයට ගොස් ඉන්දියා දේශයේ රජවරුන්ට හොබනා පරිද්දෙන් ආචාර කෙළෙමි.  මම එතුමාගේ පා මුල වැටී පොළොව සිඹියෙමි. රජ තෙම මට නැගිටින්ට කියා, මහත් දයාබර ලීලාවකින් මා පිළිගෙන එතුමා ළඟින් හිඳගැනීමට කීවේ ය. එ තුමා පළමුවෙන් මගේ නම ඇසී ය.

"මිනිස්සු මට සින්ද්බාද් නාවිකයා ය කියත්. එසේ කියන්නේ මා විසින් නැව් නැග බොහෝ ගමන් ගිය බැවිනි. මම බගදාද් නගර වැසියෙකැ" යි කීමි.

"එහෙත් ඔබ මගේ රජයට කෙසේ පැමිණියෙහි ද? ඔබ අන්තිම වරට කිනම් ස්ථානයක සිට ආවෙහි දැ?" යි රජ තෙමේ ඇසුවේ ය.

මම රජතුමාට කිසිත් නො සැඟවීමි. ද තමුන්නාන්සේලාට දැන් කී සියල්ල ම එතුමාට කීමි. ඒ ඇසූ රජතෙමේ කොපමණ විස්මයට පැමුණුණේදැයි යතහොත්, මගේ ඒ ගමනේ තොරතුරු රත්රන් අකුරෙන් ලියා එතුමාගේ රාජ්‍යයේ සිදු වූ ප්‍රධාන කාරණා සඳහන් වූ ලේඛනත් සමඟ තැබීමට අණ දින.

අන්තිමේ දී මගේ පහුර ගෙනවුත් එතුමා ඉදිරියෙහි දී බඩු මිටි විවෘත කළෙමු. එතුමා කිහිරි ලී සහ ඇම්බර්ග්‍රීස් රාශිය දැක පුදුම විය. එහි තිබුණ රතුකැට සහ පද්මරාග සමාන වන එක ම මැණිකක් වත් එතුමාගේ භාණ්ඩාගාරයෙහි නො තිබුණේ ය.

රජතුමා මගේ මැණික් දෙස සතුටින් බලා ඉතා හොඳ මැණික් එකිනෙක ගෙන පරීක්ෂා කරන බැව් දැක, මම එතුමා ගේ පාමුල වැටී සමු ගෙන, "දේවයන්වහන්ස, මා පමණක් නොව පහුරේ පටවා තිබෙන මගේ බඩු සියල්ලත් ඔබවහන්සේට කැමැත්තක් කරගන්නා ලෙස ඉල්ලමි" යි කීවෙමි.

එ කල රජතෙමේ සිනාසී, "සින්ද්බාද් ඔබේ බඩුවලින් කිසිත් යමකු විසින් පැහැර නොගන්නා ලෙස පරිස්සම් කරවමි. එහෙත් දෙවියන් වහන්සේ විසින් ඔබට දී තිබෙන දේවලින් කිසිත් නොගන්නෙමි. මම ඔබේ වස්තුව හීන කිරීම වෙනුවට එය දියුණු කිරීමට අදහස් කර සිටිමි. මගේ ත්‍යාගවන්තභාවය ඔබට නොපෙන්වා මගේ රාජ්‍යයෙන් ඔබට යන්ට ඉඩ නොදෙමි" යි කී ය.

ඒ ගැන ම විසින් දුන් පිළිතුර නම් උතුම් හිතක් ඇති ඒ කුමාරයාණන්ගේ අභිවෘද්ධියත්, එ තුමාගේ දයාව දියුණු වීමත් ප්‍රාර්ථනා කොට යාච්ඤා කිරීම පමණකි. එතුමා මා පරිස්සම් කර ගැනීමට මුලාදෑනියකුට භාර දී, එතුමාගේ ම වියදමින් මට සංග්‍රහ කිරීමට මිනිසුන්ට නියම කෙළේ ය. මුලාදෑනි තෙම තමන්ට නියම කරන ලද යුතුකම් මනා ලෙස ඉෂ්ට කරන්නේ මා නැවතී සිටින ස්ථානයට එකී සියලු බඩු ම ගෙනයාමට නියම කෙළේ ය.

නියම කරන ලද වේලාවට මම සෑමදා ම රජතුමා දැකීමට ගොස්, ඉතිරි කාලය නගරය සහ වෙනත් වැදගත් දේවල් බලමින් ගත කෙළෙමි. සෙරන්දිප් නම් දිවයින සූර්යයා කෙළින් පිහිටා තිබෙන බැවින්, එහි දිවා රෑ දෙකට ම දොළොස් පැය බැගින් ඇති විය. එම දිවයින ගව් අසූවක් දිග ද එපමණ ම පළල ද වූයේ ය.

එහි අගනුවර දිවයින මධ්‍යයෙහි පිහිටි ඉතා උස් කඳු අතරේ මිටියාවතෙහි කෙළවරේ වූයේ ය. තුන් දවසක් මුහුදේ යාත්‍රා කළ විට එම කඳු පෙනේ. රතුකැට සහ වෙනත් ලෝහ වර්ග බොහෝ සෙයින් තිබේ. මැණික් ගල් කපා සමතලා කිරීමට පිළිවන් ලෝහ ගල් වර්ගයකින් එහි පර්වත බොහොමයක් සැදී තිබේ. පොල් ආදී නොයෙක් දුර්ලභ ගස් වර්ග එහි වැවේ. එහි තිබෙන ප්‍රධාන ගං මෝදර මුතු පරයක් තිබේ. සමහර මිටියාවත්වල දියමන්ති සම්බ වෙන්ට තිබේ. ආදම් ඒදන් උයනෙන් පහකර ලැබූ පසු සිටි ස්ථානය වන්දනාව පිණිස යාම සඳහා එහි කන්ද මුදුනට මට නගින්ට සිදු විය.

නැවත මම අගනුවරට අවුත් මගේ සිය රටට යාමට අවසර දෙන ලෙස රජතුමාගෙන් ඉල්ලීමි. රජතෙමේ ඉතා ගෞරවාදරයෙන් ඊට අවසර දින. එතුමා මට මහත් තෑග්ගක් දෙන්ට අදහස් කර සිටි බැවින් යන්ට අවසර ගැනීමට මා ගිය කල බලාපොරොත්තු වුණාටත් වඩා වටිනා තෑගි මට දී, අපේ සියරටේ රජතුමාට දෙනු පිණිස ලියුමකුත් මට භාර දී.

"මේ ලියමන සහ තෑගිත් මා එව් බව කියා කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට දී මා කෙරෙහි පැවති මිත්‍ර ධර්මය ගැනත් කියව." යි කීය. මම තෑග්ගත් ලියුමත් ඉතා ගෞරවයෙන් ගෙන රජතුමාගේ වුවමනාව කී පරිද්දෙන් ඉෂ්ට කරන බව කීමි. මා නැවට නැඟීමට මත්තෙන් රජතෙමේ ඒ නැවේ කප්පිත්තා සහ වෙළෙඳුන් ගෙන්වා ඉතා ගෞරවාදරයෙන් මට සංග්‍රහ කළ යුතු බැව් කීවේ ය.

සෙරන්දිප් දිවයිනේ රජතුමා විසින් දෙන ලද හසුන සපයා ගැනීමට ඉතා දුර්ලභ වූ සතෙකුගේ සමක ලියන ලද්දකි. එම හසුන් පතේ අකුරු නිල් පාටින් ලියා තුබුණේ ය. එහි අඩංගුව තිබුණු කරුණු මෙසේ ය.

"ඉදිරියෙහි ගමන් කරන ලද ඇතුන් සියයක් ඇති රතු කැට දස දහසකින් බබලන්නාවූ මාලිගාවක වාසය කරන දියමන්තිවලින් අලංකාර කොට භාණ්ඩාගාරයෙහි රැස් කරන ලද ඔටුණු විසි දහසක් ඇති ඉන්දියා දේශයේ රජ විසින් කාලිෆ් හරූන් අල් රෂීද් රජතුමාට ලියා එවන ලදි.

"ඔබවහන්සේට අප විසින් එවන ලද තෑගි ඉතා ස්වල්ප නමුත් ඔබවහන්සේට අප කෙරෙහි පැවති කරුණාවේ ලකුණක් වශයෙන් සහෝදරයෙක් නොහොත් මිත්‍රයෙක් මෙන් එය පිළිගත මැනවි. අපිත් ඔබවහන්සේ මෙන්ම උත්තමයන් බැවින් ඔබවහන්සේත් අප කෙරෙහි මිත්‍ර ධර්මයෙන් පැවතීම අපට මහත් ප්‍රයෝජනයකැයි සිතම්හ. ඔබවහන්සේ අපේ සහෝදරයෙකු පරිද්දෙන් සලකම්හ. ඔබවහන්සේට යහපතක් ම වේවා" යනුයි.

එසේ යවන ලද තෑගිවලින් පළමුවෙනි තෑග්ග නම් රතු කැටයකින් කපන ලද අඩියක් උස්වූ අඟලක් ඝන වූ මුතුවලින් පුරවන ලද කෝප්පයකි. දෙවෙනි තෑග්ග නම් රන් මුදල් ප්‍රමාණ කොරපොතුවලින් ගැවසීගත් යමෙකු විසින් අත ගෑ කෙණෙහි ම රෝග සුවවන සුලු ගුණයක් දරන්නාවූ සර්පයෙකුගේ සමකි. තුන්වෙනි තෑග්ග නම් කිහිරි ලී අවුන්ස විසි පන්දාහක් සහ කපුරු මඤ්චාඩි තිහකි. හතරවන තෑග්ග නම් ස්වර්ණාභරණයෙන් සරසන ලද රූපශ්‍රීයෙන් යුත් තරුණ වහල් ස්ත්‍රියකි.

නැව පිටත් වී බොහෝ දවස් යාත්‍රා කළ පසු අපි බැල්සෝරා නගරයට පැමිණියෙමු. එතනින් පිටත් ව බග්දාද් නගරයට ගොස් මා විසින් කළ පළමුවෙනි කටයුත්ත නම් රජතුමාගේ පණිවිඩය ඉෂ්ට කිරීම ය.

මම සෙරන්දිප්හි රජහුගේ ලියුම රැගෙන රූපශ්‍රීයෙන් යුත් වහල් ස්ත්‍රියත් සමග තෑගිත් ගෙන්වාගෙන සුල්තාන් රජතුමාගේ මාළිගාවේ දොරටුවට ගියෙමි. වහාම මා ආ කරුණ දැන්වූ කල ඒ රජතුමාගේ සිංහාසනය වෙතට මම ගෙනයනු ලැබීමි. මම සුදුසු පරිද්දෙන් රජතුමාට ගෞරව කොට ටික වේලාවක් කථා කළායින් පසු හසුන් පත සහ තෑගිත් දුනිමි. රජ තෙමේ සෙරන්දිප් හි රජහුගේ ලියුම කියවා, එතුමා විසින් එහි කියා තිබෙණ තරම් ඇත්තෙන් ම ධනවත් දැයි ඇසී. මම දෙවනුවත් අඩදණින් වැඳ,

"දේවයන්වහන්ස, එතුමාට ඇතිවාට වඩා යමක් නොකියා තිබෙන බවට සහතික වෙමි. මම ඒ ගැන සාක්ෂි වෙමි. එතුමාගේ මාළිගාව මෙන් බැලීමට හොබනා අනර්ඝ දෙයක් නැත්තේ ය. එතුමා නගරයේ ප්‍රදර්ශනය කරන කළ ඇතෙකු පිට සවිකර තිබෙන සිංහාසනයක නැගී යයි. දෙපසින් එතුමාගේ මන්ත්‍රීහු ද, මිත්‍රයන් සහ රජවාසල වෙනත් පිරිසත් යති. එම ඇතා පිට එතුමාට පෙරමුණෙන් සිටින මුලාදෑනියෙක් රත්රන් හෙල්ලයක් ගෙන සිටියි. එම සිංහාසනය පස්සෙන් රත්රන් මුගුරක් ගත් තවත් මුලාදෑනියෙක් නැගිට සිටියි. එම රත්රන් මුගුර මුදුනෙහි අඩි බාගයක් දිග වූ, අඟලක් ඝන වූ, පද්ම රාග මාණික්‍යයක් ඔබා තිබේ. රන්කම් කළ රෙදිවලින් සහ පට පීළීවලින් සැරසුන ආරක්ෂාකාර මිනිස්සු දහයක් පමණ අලංකාර වූ ඇතුන් පිට නැග එතුමා පෙරටුවෙන් ගමන් කරති.

"රජතුමා ප්‍රර්ශනය කරන කල්හි එතුමාගේ ඇතා පිට ම පෙරමුණේ සිටි මුලාදෑනිතෙමේ වරින් වර මහත්සේ් හඬ නගා, 'රතුකැට දස දහසකින් අලංකාර කරන ලද දියමන්ති ඔටුණු විසිදාසක් ඇත්තා වූ සින්ධු දේශයෙහි අති බලසම්පන්න මහ රජතුමා බලව්. සලමොන් රජතුමා සහ බලසම්පන්න වූ මහා රජතුමාටත් වඩා උතුම් වූ මේ නරෝත්තමයා දෙස බලව්' යි කියයි.

"ඔහු මෙසේ කී කල සිංහාසනයට පස්සෙන් සිටින මුලාදෑනි තෙමේ,

" 'මේ ‌බඳු බලසම්පන්නවූ උතුම් මහරජ තුමා පවා මරු වසඟයට පැමිණෙන්නේ ය' යි කියයි.

"එ කල පෙරමුණ සිටින මුලාදෑනි තෙමේ,

" 'සදාකාලයට ම ජීවත් වන උත්තමයාණන් වහන්සේට ප්‍රශංසා වේවා!' යි කියති.

"මේ හැර සෙරන්දීප් හි රජතුමා කොපමණ ධර්මිෂ්ඨ කෙනෙක්දැයි කිවහොත්, එතුමාගේ රාජ්‍යයෙහි විනිශ්චය කාරයෝ නො සිටිය හ .ඒ රාජ්‍යයේ වැසියන්ට විනිශ්චය කාරයන් ඔ්නෑ නොකෙරේ. යුක්තායුක්ත මේ මේ යයි ඔවුනට ම මනා ලෙස වැටහේ ය." යි කීමි.

කාල්ෆ් රජ තෙමේ මා කී කරුණු ගැන බොහෝ සෙයින් සතුටු විය.

"එම රජතුමාගේ ප්‍රඥාව ඔහුගේ ලියුමෙන් පෙණී යේ. එතුමාගේ ප්‍රඥාවට මෙබඳු කුමාරයෙක් හොබනා බවත් නුඹේ කථාවෙන් පසු දැන ගතිමි."යි කීයේ ය.

එතුමා මෙසේ කියා තෑග්ගක් දී මා යැව්වේ ය.


මෙය, පස් වන ප්‍රමාණයේ මව්බස කියවීම් පොතකින් උපුටා ගත්තෙමි. මේ කතාව ඇල්බට් ද සිල්වා විසින් පරිවර්තිත අරාබි නිශොල්ලාසය පොත් පෙලේ තුන්වන වෙළුමේ 387 පිටුවේ සිට පළකර ඇති බව පසුව දැනගතිමි.

Thursday, May 12, 2022

කෘමියෙකුගේ ජීවිතය


කූඹි ජනපදයක්... 

ඔවුන් ඉතා මහන්සි වී කෑම රැස් කරනවා. නමුත් ඒ කෑම උන්ගේ ගුලට ගෙනියන්නේ නෑ. ගුලේ කට ඇති තැන උස් මුදුනක තියෙන කොලයක් මත ගොඩ ගහනවා... ඒ උන්ව බයකරගෙන පාලනය කරන තණකොල පෙත්තන් රංචුවක් උදෙසා.

ෆ්ලික් ඒ කූඹි රැලේ එක කූඹියෙක්. ඔහු නව නිපැයුම් කරන්නෙක්. නමුත් ඔහුගේ නව නිපැයුමක් මිස් ෆයර් වෙලා, තණකොල පෙත්තන් එන දවසේ ම, කූඹි රැළ දවස් ගාණක් තිස්සේ එකතු කරපු කෑම කන්දරාව, ඇලට වැටෙනවා.

තණකොල පෙත්තන් කූඹියන්ට තර්ජනය කරනවා. කොළ වැටෙන කාලය ඉවර වෙද්දී ආපහු කැම හොයලා තිබ්බේ නැත්නම් ඔවුන් විනාශ කරන බව කියමින්.

ෆ්ලික් නගරයට යනවා, තමන්ට උදව් කරන්න සූදානම් ලොකු කෘමියන් හොයාගෙන එන අදහසින්. ඔහුට හම්බ වෙන්නේ, සර්කස් කාරයන් රැළක්. ෆ්ලික් හිතන්නේ ඔවුන් වීරයන් කියලා. නමුත් ඔවුන් කරන සර්කස් එකවත් හරියට කරගන්න බැරුව නරඹන්නන් හිනස්සවන විදිහේ ෆේල් චරිත ටිකක්.

සර්කස් කාරයන් ෆ්ලික් එක්ක ආපහු කූඹි ගුලට එනවා. ඔවුන් එතනදි කූඹියන්ට පොරොන්දු වෙනවා තණකොල පෙත්තන් පරාද කරලා කූඹි රැළ බේරගන්න බවට.

මෙතන තියෙන්නේ එක සරළ සිද්ධාන්තයක්. ඒක තණකොල පෙත්තන් රැළට, ඔවුන්ගේ නායකයා වන හොපර් කදිමට විස්තර කරලා දෙනවා...


මේක වඩා පැහැදිළියි. නමුත් ඉහළ ක්ලිප් එක වඩා සවිස්තරාත්මකයි...



කූඹි රැළේ දහස් ගාණක් කූඹි ඉන්නවා. නමුත් තණකොලපෙත්තන් ඉන්නේ ටික දෙනයි. කූඹි රැළ එකා වන් ව එක ම අදහසකින් ක්‍රියා කළොත්, ඔවුන්ට පරදවන්න බැරි සතුරෙක් හෝ පාලකයෙක් නෑ... එය තේරුම් ‌නොගන්නා තාක්, කූඹි රැළ පාලනය කර මර්ධනය කර තබා ගන්න පුළුවන්. ඒ වගේ ම තණකොල පෙත්තන්ට තමන්ගෙ ජීවිකාව කරගන්න පුළුවන්.

ඒ වගේ ම තාවකාලික සුළු සුළු ජයග්‍රහණවලින් එහෙමත් නැත්තම් තණකොළ පෙත්තන්ගේ රැවටීම්වලින් නොනැවතී, තම අරමුණ සම්පූර්ණයෙන් ම ඉටු වන තෙක් සටන් කිරීම වැදගත්. (ඒක මම කිව්වෙ මේ ෆිල්ම් එක ගැන විතරක් නෙමෙයි...)

1998 දී ආපු ඉතාම වැදගත් සහ ලස්සන ෆිල්ම් එකක්, A Bug's Life. ඩිස්නි නිෂ්පාදනයක්. මෙතනින් බලන්න...

Tuesday, May 3, 2022

දොන් කිහෝටේ


ස්පාඤ්ඤයේ විසූ වංශවත් වයසක මනුස්සයෙක්, අලෙන්සෝ කිහැනෝ. ඔහු‌ මධ්‍යතන යුගය පසුබිම් වුණු කතා සෑහෙන ප්‍රමාණයක් කියවා තියෙනවා. අන්තිමේ ඔහුගේ සිහිය පොඩ්ඩක් සීරු මාරු වී, ඔහු විශ්වාස කරන්න පටන් ගන්නවා, තමන් නිර්භීත නයිට් වරයෙක් වුණු මන්චා හි දොන් කිහෝටේ බව. යකඩ ඇඳුමක් ඇඳගන්නා ඔහු අශ්වයෙකු පිට නැගී, තම වීර චාරිකාව පටන් ගන්නවා.

ඔහු අඳුනන කිහිප දෙනා ඔහුට හරි සිහිය ලබා දෙන්නට තැත් කළත් එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ දී ඔහුගේ උමතුවට ඉඩ දෙමින් ඔහු ආරක්ෂා කරගන්නට ඔවුන් කීප දෙනා තැත් කරනවා.

කිහැනෝ තමන්ගේ මිතුරෙකු වන සන්චෝ පන්තා තමන්ගේ ගමන් සගයා ලෙස තෝරාගන්නවා. ඔවුන් ඉදිරියට යන විට හමුවන සුළං මෝලක්, යෝධයෙක් හැටියට සළකා ගන්නා දොන් කිහෝටේ, එය සමග සටන් කරනවා. තවත් වරක හමුවන බැටළුවන් රැළක් සතුරාගේ හමුදාව හැටියට සළකා ගන්නවා.

ගම්බද තානායමක් බළකොටුවක් හැටියට හිතා ගන්නා දොන් කිහෝටේ, එහි වැඩ කරන තරුණියකට ආලය කරන්නට පෙළඹෙනවා.

ඔහුගේ උමතු ගමන 2000 දී තිරගත කෙරුණු දොන් කිහෝටේ නම් චිත්‍රපටියෙන් නිරූපණය වෙනවා. එහි මුල් කෘතිය වන මිගෙල් සර්වාන්තෙස් ගේ දොන් කිහෝටේ නමින් ම යුත් ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය කෙරුණක්.

මෙතන තියෙනව ට්‍රේලර් එක...


අලෙන්සෝ කිහැනෝ හෙවත් දොන් කිහෝටේ ලෙස රඟපාන්නේ, ශ්‍රෙක් චිත්‍රපටියේ වංශාධිපති ෆාක්වාඩ් ලෙස හඬකැවූ ජෝන් ලිත්ගෝ. ඔහුට අමතරව තවත් ප්‍රසිද්ධ නලු නිළියන් රැසක් මෙහි පෙනී සිටිනවා.

මෙතන ඔබ නලයේ (පරිවර්තන අයිතිය යාන්හෑල්ලේ සුරංග සතුයි) 2000 දී තිරගත වුණු සම්පූර්ණ චිත්‍රපටිය තිබෙනවා. එය සොයද්දී 1991 - 92 කාලයේ හැදුණු සම්පූර්ණ රූපවාහිනී වෘතාත්නතයකුත්, ඕසන් වේල්ස් හදපු චිත්‍රපටියකුත් හම්බවුණා.

ඉතින් ලොකු දෙයක් නෑ මේ චිත්‍රපටිය ගැන අමුතුවෙන් කියන්නට. මේ දවස්වල යමක් නිර්මාණය කර ලියන්නට තරම් යහපත් මානසිකත්වයක් නෑ. රටේ සිද්ධවෙන පෙරළි වගේ ම, මාස්ටර් පාඨමාලාවේ අවසන් අංගය වන ස්වාධීන පර්යේෂණයේ වැඩවලින් ඔලුව ආකූල වී තියෙන්නේ.

ඒ වගේ ම සහෘදයන්ගේ බ්ලොග් ලිපි ගණනාවක් මග ඇරුණා. ඒ ගැන අවංක කණගාටුව පළ කරනවා.

වැඩිපුර බලපු ලිපි