Monday, August 12, 2013

රුහිරෙන් පුදමි - 4 වන කොටස

මෙතෙක් කතාව


දොරට තට්ටු කිරීම විකුම් යම්තාක් දුරකට බලාපොරොත්තුව සිටියේ ය. දොර ඉදිරිපිට වූයේ අකිල වීම ඔහුට පුදුමයක් වූයේ නැත.

‘‘වරෙං ඇතුළට.....,’’

අකිල හාත්පස විමසිල්ලෙන් බැලීය. ‘‘අපේ ගෙදර නම් උඩු යටිකුරු කරලා’’

‘‘ඒ උඹේ ගෙදර කවුරුත් නැති හින්දා.’’ විකුම් ඇඳ මත වාඩි විය. ‘‘මෙහෙ අපේ බෝඩිමේ ආන්ටි හිටපු හින්දා වැඩිය කළබල කරලා නෑ.

‘‘මතුපිටින් එකපාරට ම පේන්න නැතත්, මේ කාමරෙත් කවුදෝ සෝදිසි කරලා තියෙනවා. මේසෙ උඩ තිබුණු පොත් ටික, කලින් තිබුණු පිළිවෙලට නැහැ. ඇඳුම් ටිකත් අවුස්සසලා..... පොත් රාක්කෙත් හදිස්සියෙ අවුස්සලා තියෙනවා.

‘‘කළිසම් සාක්කු ඇදලා තිබුණු නිසා මම මුලින්ම හිතුවෙ, ආන්ටිගෙ වැඩක් කියලා..... ඒත් ඒ මනුස්සයා මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.

‘‘වැදගත්ම දේ.....’’ විකුම් කටහඬ බාල කළේය. ‘‘කොන්වන්ට් එකෙන් ගෙනාපු රෝස නැටියි, මිනීමල් කොළෙයි බෑග් එක පිටින්ම අතුරුදහන්.....’’

----------------------------------------

උදෑසන වුවද, හාත්පස වූයේ මන්දාලෝකයකි. වලාබර අහස නිසා පරිසරය පුරා සෞම්‍ය බවක් පිරී තිබිණ. මඳ සුළඟේ පවා සුවදායක බවක් විය.

පාර අයිනේ වූ දැවැන්ත මැයි මාර ගසේ සිහිල යට කුඩා තරුණියක වූවාය. පොත් කිහිපයක් හා කුඩයක් ඇගේ සුරතට හා ළයට තුරුළුව තිබිණ. ඇඳ සිටි සැහැල්ලූ ගවුමින් හා ගෙතූ එකම කොණ්ඩ කරළින් ඇයට චාම්, සරළ බවක් එක් විය. විල්ලූද පෙනුමැති කුඩා පාවහන් සඟලක් ඇගේ පතුල් ආවරණය කළේ ය.

පාරේ අනෙක් පැත්තේ අයින දිගේ තරුණයෙක් සෙමෙන් පියනඟා ආයේය. මාරගසට මුහුණලා, අනෙක් පැත්තේ වූ කුඩා කඩයේ, ඉදිරිපස බංකුව මත කිහිප දෙනෙක් ආගිය කතා කියමින් පසුවූහ. තරුණයා කඩයට ගොඩවී, කවුන්ටරය වෙත ගොස්, යමක් මිළදී ගනු තරුණිය බලා සිටියාය. මිළදී ගත් දෙය කළිසමේ සාක්කුවට දමා ගන්නා ගමන් හැරුනු ඔහුගේ දෑසට ඇගේ බැල්ම හසු වූයෙන්, ඇගේ දෑස සැණින් බිමට හැරවිණ. තරුණයාගේ දෑසේ සුහද සිනාවක් වූ බව ඈ ඇස්කොණින් දුටුවාය.

තරුණයා බංකුවේ කෙළවරක සැහැල්ලූවෙන් වාඩි විය. ඔහුගේ දෑස් තවමත් තරුණිය දෙස එල්ල වී තිබිණ. ඇය නැවත හිස ඔසවද්දී, තමා වෙත යොමුවූ තරුණයාගේ දැස් තෙත් අයිස් කැට මෙන් දිළිසෙණු දුටුවාය.

ඇය එක්වරම බිම බලාගත්තේ නැත.  තම දෑස් පාර සිසාරා යැවූ ඈ බසයක් එන්නේදැයි බැලීමට මෙන් පාරේ කෙළවර දෙස බැලූවාය. ඔහු තවමත් තමා දෙස බලා සිටින බව නොදුටුවද, ඈ දැන සිටියාය.

ඊළඟ වාරයේ ඈ ඔහු දෙස බලන විට, තරුණයාගේ දෑසේ කෙතරම් මෘදු බවක් වූයේද යත්, තරුණිය හැඟීමකින් තොරව මිනිත්තු කීපයක් පුරා ඔහු දෙස බලා සිටියාය.

තරුණයාගේ කෘෂ සිරුර, සුදුමැළි හම, ගිළුණු කම්මුල් හා තද කළු පෑ කෙස්, ඈ තුළ ඇති කළේ ගුප්ත කොහොල් හැඟීමකි. බසය ළඟටම එනතුරු ඈ හට දැනුනේ නැත. ඇය කඩිමුඩියේ බසයට නඟිද්දී, බසයට අත දිගු කළ තරුණයාද, පාර පැන දිව ආයේය.

-----------------------------------------------

ළා අඳුරක් දේවස්ථානයේ මුළු වල සිට මැදට විසිරී විත් තිබිණ. ශාලාවේ ආසන පේළි අතර සිටගත් පිරිස එකම සිහින් හඬින් ගායනා කරමින් උන්හ. හරියටම පාළු..... නිහඬ තැනිතලාවක කුඩා උල්පතකින් නැගෙන සිහින් මරුමුරුවක් සේ..... ඉතා සුමට වූ..... ගීතිකා පද..... ඉදිරිපස පේළි වල සිටි කන්‍යා සොයුරියන් ගේ සිහින් හඬින් නැඟී, දේවස්ථානයේ දැවැන්ත බිත්ති මත රැව් නැංවීය. සැබැවින්ම එය ඉතා සරු..... උත්කර්ෂවත් මොහොතක්.....

එය එසේ ඇගේ හදට දැනින..... ගීතිකාවේ පද, එකිනෙක රැළි මෙන් වර නැඟෙද්දී..... රැල්ලෙන් රැල්ලට..... කෙමෙන් කෙමෙන් යොවුන් කන්‍යා සොයුරිය ගීතිකාවේ විභූතිමත් නින්නාදයේ පරමෝත්කර්ෂය දෙසට නැඟී ගියාය. ආනන්දයෙන් පියවී ගිය දෑසින්.....

සියුම් ස්ත‍්‍රී කටහඬවලින් වාතස්කන්ධය පිරී ගති. හරියටම..... සුරංගනා කතාවක බඳු කුමක්දෝ යමක් එතුළ විය.

අතිශය ශාන්ත ස්වප්නයක් බඳු වූ ගීතිකාව..... ඉතාම සරළ ලෙස අවසානය වෙත ළඟා විය..... ස්ථායී කොටස දෙවරක් ගැයී..... මෘදු ලෙසින්.....

නිහඬතාව මධ්‍යයේ දේශක මව්තුමියගේ හඬ නින්නාද වී, බොල් වතස්කන්ධයේ රැව් නැඟී ආයේ ය. සෙමෙන්..... කුඩා කන්‍යා සොයුරිය තම ආසනය වෙත නැඹුරු වූවා.....

‘‘.....දෙවියන් වහන්සේ අපට දුක් කරදර පමුණුවන විට හෝ ආත්ම පරිත්‍යාගයන් කිරීමට සලසන විට හෝ, අප දේව අභිමතයට අවනත විය යුතුය. දේව අභිමතය ඉෂ්ට කළ යුත්තේ එය අපගේ යහපත සඳහා පවතින නිසාය.....’’

කුඩා දෑත් ළය මත ගුළි කරගත් වනම..... තවමත් ගීතිකාවේ චමත්කාරයට ඒකාත්මිකව සිටි යොවුන් කන්‍යා සොයුරියගේ දෙතොල් කොන්, සිනා රැල්ලකින් නැවිණ. ඈ වහාම සිනහව යටපත් කර ගනිමින්, බිය පත් දෑසින් ඈ අසළම සිටි වෘද්ධ කන්‍යා සොයුරිය දෙස බැලූවාය.

--------------------------------------------------------- 

අකිල දොර ඇරියේ කැමැත්තකින් නොවේ. මෙතෙක් ගිළී සිටි නින්දෙන් හදිසියේ අවදි කරවනු ලැබ ඇතිවන නුරුස්නා හැඟීමෙන් සහ බමන ගතියකින් ඔහුගේ හිස පිරී තිබිණ.

‘‘ආරංචි නැද්ද.....?’’ දොර ඉදිරිපස වූ විකුම් ගේ හදිසි ස්වරය.

‘‘මොකද්ද?’’ අකිල නැවත තම සරම හරිගස්සා ඇඳගත්තේය.

‘‘වරෙං යන්ඩ. ඉක්මණට ෂර්ට් එකක් දාගනිං.’’

‘‘කොහෙද?’’

‘‘විස්තර යන ගමන් කියන්නම්. දැන් ඉක්මන්කරපං.’’

අකිල ආපසු හැරිණ. කළිසමක් ඇඳ, කමිසයක් ඇඟට දමා ගනිමින් ම ඔහු ආපසු ආයේය.
දෙමිතුරෝ හණික මඟට බටහ.

එය මීදුමින් පිරුණු, තෙත්ම තෙත් උදෑසනක් විය. පාර දෙපස මල් වැටවල් පින්නෙන් බර වී, කඩා හැළී තිබිණ. ඇසට නොපෙනී සැඟවුණු කුඩා කුරුල්ලෝ හදිසියකින් මෙන් කෑගැසූහ.

‘‘උඹ මොකද හිතන්නෙ..... නෙල්කගෙ සිද්ධිය ගැන.....?’’ විකුම් සිගරැට්ටුවක් මුවෙහි රුවා ගෙන, ගිණි කූරක් ගැසීමට නැවතිණ.

අකිල සැණින් ඔහු වෙත හැරිණ, විස්මයාර්ථ නෙතින්.

‘‘ටිකක් හිතපං.....,’’ විකුම් නැවත ගමන් ඇරඹීය. ‘‘මුළු ඇඟම සුදුමැළි වෙලා.....’’

‘‘හුඟක් ලේ ගිහිල්ලා.....’’

‘‘ඔව්..... නමුත් උඹ හිතුවද..... කොහොමද, කොහෙටද ඒ ලේ ගියෙ කියලා.....?’’

‘‘කොහොමද?’’

‘‘එදා ලොකු සිස්ටර් මාත් එකක් කිව්වා.....’’

‘‘මොකද්ද?’’

‘‘නෙල්කගෙ තුවාලයක් තිබුණලූ.....එයාගෙ තොල් දෙක වගේම..... සුදුමැළි වෙලා, තුවාල ගැටි ඉදිමිලා..... එයාගෙ බෙල්ලෙ.’’

‘‘මොනවා?’’

‘‘ඔව්.....’’ විකුම් ගේ ස්වරය පහත් විය. ‘‘හිතන්න පුළුවන්ද මොකක් නිසාද කියලා..... ඒ විදිහට තුවාල වුනේ?’’

‘‘..........?’’

‘‘අකිල.....’’ තත්පර කීපයකට පසු විකුම් කටහඬ අවදි කළේය. ‘‘අපට ඇහැට පේන දේට, කණට ඇහෙන දේට එහා ලෝකයක් තියෙනවා මචං. අපට වටහගන්න බැරි..... අපි දන්න දේවලට අනුව විශ්වාස කරන්න බැරි..... අබිරහස් දේවල්, මේ ලෝකෙ හැම කාලෙකම තිබිලා තියෙනවා.’’

‘‘විකුම්?’’

‘‘උඹ දන්නවද.....? පැම්පාස් තණබිම් වල ඉන්නවා වැම්පයර් වවුල්ලූ, උන් රෑට නිදාගෙන ඉන්න සත්තුන්ගෙ උණුසුමට ඇදිලා ඇවිත්, දත් වලින් උන්ගෙ නහර හිල් කරලා, ලේ උරා බොනවා..... හිස් වෙනකල්.....’’

අකිල එක්වරම නැවතී, විකුම්ගේ අත තදින් අල්ලාගත්තේය. ‘‘උඹ කියන්නෙ ඒ වගේ වවුල්ලූ ගැනද? .....මෙහෙ?’’

‘‘මං එහෙම කියන්නෙ නෑ. පේන හැටියට තත්ත්වෙ ඊට වඩා වෙනස්. කොහොම හරි..... අපට මේ ගැන හොයා බලන්න තවත් ටිකක් පහසු වෙලා තියෙනවා.’’

‘‘ඒ කොහොමද?’’


‘‘තවත් මේ ගමේම කෙල්ලෙක්ගෙ බොඩි එකක් අද උදේ හොයාගෙන....., පාළු පිට්ටනියෙ තිබිලා.....’’

මීළඟ කොටස...

Wednesday, August 7, 2013

රුහිරෙන් පුදමි - තුන්වන කොටස


‘‘...... මම අහල යවපු ඩිපාට්මන්ට් එකේ කීප දෙනාගෙන් තවම තොරතුරක් ලැබුනෙ නෑ.’’ විකුම් කීවේය. ‘‘මං ඇතුලෙ උන්නනම් මොනවහරි දැනගන්න තිබුණ. මේක මේ විදිහෙ දෙයක් වෙච්ච පළවෙනි වතාව වෙන්න බෑ.’’

මිතුරෝ දෙදෙන ගුරු පාරක් දිගේ ඇවිද යමින් සිටියහ. උදෑසන වුවද හාත්පස වූයේ මළාණික බවකි. පාර දෙපස වූ විවිධාකාර තාප්ප වලින් සහ මල් වැට වලින් නිවාස සිරගතවී ඇති බවක් පෙනුනි.

‘‘...... වැඩ කරලා පුරුදු වෙච්ච මිනිහෙකුට වැඩක් නැතුව ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ මචං. ඉන්ටඩික් කරපු එකෙන් මට ලැබුණ ලොකුම දඬුවම ඒක. ඒකයි ගොඩක්ම මං මේකට අතගැහුවෙ. ඒක නෙවෙයි, .....’’ විකුම් තම මිතුරා දෙස හැරුණි. ‘‘අපි මේ මිනීමරුවා හොයාගත්තහම, උඹ මොකද කරන්නෙ?’’

අකිල හිස ඔසවා තම මිතුරා ගේ මුහුණ බැලීය. එහි වූ සංකීර්ණ හැඟීම් මාලාව දුටු විකුම් තවදුරටත් පැහැදිළි කීරීමට ඇති දේ යටපත් කර ගත්තේය.

සමර පැහැගැන්වූ උස් තාප්පය මැද වූ සුදු පැහැ යකඩ ගේට්ටුව සුළු තල්ලූවකින් විවර කරගනිමින් දෙදෙනා ඇතුල් වූහ. පියගැට දෙක, තුන නැඟ බරාඳයට ගොඩවූ විකුම්, එහි දොර අසළ වූ ස්විචය තද කළේ ය. ගොඩනැගිල්ලේ කොහේදෝ සිට සීනු හඬක් නැගිණ. තම මිතුරාට අනුව බරාඳයට පිවිසි අකිල, මුල්ලක වූ පුටුවක අලස අන්දමින් වාඩි විය.

විකුම් නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. පියන් හතරකින් යුත් දැවැන්ත ලී දොරෙහි, මැද පළු දෙකෙහි වූයේ පැරණි ව්‍යාකූල ජාලාකාර කැටයමකි.

යමෙකුගේ පියවර හඬ ඈත සිට දෝංකාර දෙමින් ඇසෙන්නට විය. පැකිළෙනසුළු බවක් දැක්වූ එම පියවර, දොර අසළට විත් නැවතිණ.

කටස්හඬින් මහ දොරේ ඇතුළත දොර පියනේ අගුල විවර විය. ඉන්පසුව පිටත දොර පියන.....

ජාලාකාර කැටයම සහිත දොරපළුව යන්තම් විවර වී, සරළ සන්සුන් මුහුණක් දිස්විය.

‘‘කවුරු හම්බවෙන්නද?’’

විකුම් වහා ඒ වෙත හැරිණ. ‘‘ලොකු සිස්ටර්ව’’

දොර පළුව සෙමෙන් සෙමෙන් විවර විය. සුදුවත හැඳගත් මැදිවියේ කන්‍යා සොයුරියක් එලියට ආවාය. අකිල තිගැස්සෙමින් පුටුවෙන් නැගිට්ටේය.

‘‘මම තමයි, ලොකු සිස්ටර්.....’’

‘‘අපේ දුරින් ඤාති වෙන නංගි කෙනෙක්...... මෙහෙ නැවතිලා ඉගෙන ගත්තා.’’ විකුම් සෙමෙන් කීය. ‘‘ආරංචි වුනා එයා.....’’

‘‘කවුද?’’

‘‘නෙල්කා’’ ඔහු අකිල දෙස බැලූවේ නැත.

‘‘හ්ම්, ඔව්..... දැනුම් දෙන්න කවුරුවත් හිටපු බව අපි දැනං උන්නෙ නෑ.’’

විකුම් මඳ සිනාවක් නැගීය.

‘‘පත්තරෙන් දැනගන්න ඇති?’’

‘‘...........’’

‘‘එන්න, වාඩිවෙන්න.’’ කන්‍යා සොයුරිය බරාඳයට පසෙකින් තනා තිබූ කුඩා සාලය වෙත ඔවුන් කැටිව ගියාය.

සාලය ප‍්‍රමාණවත් වූයේ ස්ටූලයක් වටා වූ පුටු හතරකට පමණි. බිත්තියේ වූ එකම ජනේලය තදින් වසා අවුරා තිබිණ. කන්‍යාරාමය හා සාලය අතර සම්බන්ධය ඇති කළ එකම ‍දොරත්......

විකුම් ඉඩක් ලද සැණින් අකිල දෙස බැලී ය. මියගිය මුහුණක නගා ගත හැකි අන්දමේ අසීරු සිනහවක් පෑ අකිල ඉවත බලා ගති.

‘‘වාඩිවෙන්නකො...... මම එන්නම් ඉක්මණට......’’ කන්‍යා සොයුරිය කඩිසර ගමනින් නික්ම ගියාය. 

දෙමිතුරෝ ඉඳගත්හ, එකිනෙකාට මුහුණලා......

නිහඬ, නිසංසල කාලච්ඡේදයක අවසානයේ කන්‍යා සොයුරිය ආපසු ආවාය, බන්දේසියක් අතැතිව.... එය සෙමෙන් ස්ටූලය මත තබමින් ඈ වාඩි වූවාය.

වදන් වලට අවකාශ නොදුන් මොහොත් කිහිපයක් තිස්සේ මිතුරෝ දෙදෙන සෙමෙන් උණු තේ උරා  බොන්නට වූහ.

අකිල නැගී සිටියේ ය..... අඩක් හිස් තේ කෝප්පය බන්දේසිය මත තබමින්.....

‘‘මං...... ගිහින් එන්නම්’’ ඔහු විකුම් දෙස දුබල බැල්මක් හෙළීය. විකුම් තේරුම්ගන්නාසුළු විය. නමුත්, කිසිත් නොකීය.

අකිල දෑතින් හිසකෙස් අවුල් කරගනිමින් පාරට බැස්සේය.

---------------------------------------

අවට හෙවුණු දැවැන්ත ගස් වල මුදුන් මල හිරු රැසින් රත් පැහැ ගැන්වී තිබුණේ ලෙයින් නැහැවුණා සේය. ගස් දෙපෙළ අතරින් අඳුරු ගුරු පාර වංගු ගැසෙමින් දිව ගියේ ය. පාර මැදක වූ සිමෙන්තිමය හතරැස් බවින් යුත් බෝක්කුව යටින් දිය පහර ගලා ගියේ ය. නිදැල්ලේ.... විසිර තිබූ ගල් අතරින්, මුව පුරා සිනාසෙන්නාක් මෙන් හඬ නඟමින්..... ගස් අතරින් පෙරී ආ හිරුගේ අවසන් රැස් දහරින් දිය පහර රිදීමය දිස්නයක් ගති.

දියපහරට ඉහළින්, සිමෙන්ති බැම්ම මත දෙමිතුරෝ වාඩි වී උන්හ.

‘‘මට හෝඩුවාවල් දෙකක් හම්බවුනා.....’’ විකුම් තමා අත වූ ඉටි බෑගය දිග හැරියේය. එතුළින් ඔහු අඩියක් පමණ දිග, වියළීගිය සිහින් දඬු දෙකක් ඉවතට ගති.

‘‘මේ නෙල්කගේ සිරුර රූම් එකේ තිබිල හොයාගන්නකොට එයාගෙ අතේ තිබ්බ රෝස මල් වල නටු දෙකක්.’’ ඔහු ඒවා අකිල වෙත දිගු කළේ ය. ‘‘මම  ඕවා හොයාගත්තෙ කොන්වන්ට් එකේ කුණු ගොඩෙන්. දැනට වැඩි වැදගත්කමක් නැතුවට පොඩි කරුණු කීපයක් අපිට දැනගන්න පුළුවන්  ඕවයින්.....’’

‘‘මොනවද.....?’’ අකිල ඇසීය, නළල රැළිගන්වමින්..... ‘‘මේවයෙ මල් වේළිලා හැළිලා ගිහින්. අඩුගානෙ කොළයක්වත්, කටුවක්වත් ඉතුරු වෙලා නෑ.’’

‘‘ඒව තිබුණත් ඒතරම් වැදගත්කමක් නෑ. පොඞ්ඩක් බලපං  ඕවයෙ මුල් දිහා...... මොනවද කියන්න පුළුවන්?’’

අකිල දෑස් සිහින් කොට, ඉතා සියුම් ලෙස රෝස නැටි පරීක්ෂා කළේ ය. අවසන ඔහුගේ දුර්මුඛ මුහුණ දුටු විකුම්ට හිනා ගියේ නිතැතිනි.

‘‘උඹේ ඇස් හුරු වෙලා නෑනෙ ඔය වගේ දේවලට.....’’ ඔහු සිනාව නවතා ගනිමින් කීය. ‘‘ඒ තරම් සියුම් වෙන්න  ඕන් නෑ. බලපං ඔය රෝස නටු කපල තියෙන හැටි.’’

‘‘ටිකක් ගොරෝසුවට වගේ.....?’’ අකිල මල් නටු දෙස නැවත බලමින් කීවේය.

‘‘ඔව්.....’’ විකුම් අනුමත කරමින්..... ‘‘කැපුනට වඩා කැඩිලා ගිය ගතිය වැඩියි. පැහැදිලිවම මොට්ට තලයකින් කපල තියෙන්නෙ.’’ ඔහු අකිල ගේ අතින් එක් නටුවක් ගත්තේ ය. ‘‘......නිරීක්ෂණයෙන් ඒක කියන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්න පුළුවන්, පෙන් නයිෆ් එකක්..... ඔව්, ගොඩක් වෙලාවට යකඩ පෙන් නයිෆ් එකක්..... නිගමන කීපයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. කවුරුහරි මේ මල් කොහෙන් හරි කපාගෙන තියෙනවා. ඒක කරල තියෙන්නෙත් හදිස්සියෙන්. මේ නටු කැඩිලා තියෙන විදිහෙන් තේරෙන්නෙ ඒකයි. මේ මල්, කඩේකින් අරන් තිබුණනම් අපිට මූව අල්ලගන්න ලේසි වෙන්න තිබුණා.......

‘‘ඒ නිසා ඒකෙන් දැනට ඇති වැඩක් නෑ.’’ විකුම් ඉටි බෑගය තුළින් කුඩා කඩදාසි උරයක් ඉවතට ගති.

‘‘මට නෙල්කා අන්තිමට ඇඳන් උන්නු නයිටිය පෙන්නුවා. ඒකෙන් මම හොයාගත්තා දේ....’’ ඔහු ප‍්‍රවේසමෙන් උරය තුළට ඇඟිලි දෙකක් රුවා, කුඩා රවුම් යමක් ඉවතට ගත්තේ ය. ඒ දෙස විමසිලිමත්ව බැලූ අකිල, දුඹුරු පැහැයට හැරුණූ වියළී ගිය, කුඩා කොළයක්..... පැළෑටියක කොළයක් බව දුටුවේය.

‘‘මේක නයිටියෙ පහළ වාටියෙ ඇළිල තිබුණෙ.’’ විකුම් තම මිතුරා ගේ මුහුණ දෙස බලමින් කීය. ‘‘මේකෙන් අපිට නෙල්කා අන්තිමට හිටපු තැන අනුමාන කරන්න පුළුවන්......’’

‘‘ඒ කොහොමද?’’ අකිල මිතුරාගේ අතින් එම කුඩා කොළය ගෙන, එදෙස පරීක්ෂාකාරීව බැලීය.

‘‘ටිකක් හිතපං ඔය මොන කොළයක්ද කියලා.....’’

‘‘ම්..... හරියටම කියන්න බෑ...... වල් පැළයක් වගේ’’

‘‘ඔය මචං මිනීමල් ගහක කොළයක්’’

‘‘මිනීමල් ?’’ අකිල නළල රැළි ගැන්වීය. ‘‘ඒත් ඒකෙන් කොහොමද.....?’’

‘‘මේ පැත්තෙ කිසිම තැනක මිනීමල් වවන්නෙ නෑ.’’ විකුම් මඳසිනා පාමින් අකිල දෙස බැලීය. ‘‘කොහෙවත් ඔය මිනීමල් ඇත්තෙ නෑ, කනත්තෙ ඇර’’

‘‘කනත්තෙ.....! එතකොට.....?’’

‘‘තවම අපට ප‍්‍රශ්න ගොඩක් ඉතුරුයි’’ විකුම් නැගිට සිටගත්තේ ය. ‘‘ඒක නෙවෙයි. අර කවුද.....?’’

‘‘කෝ.....? කොහෙද?’’ අකිල, තම සගයා නෙත් යොමා ගෙන සිටි දෙස පරීක්ෂාකාරීව බැලීය. ‘‘මට කවුරුවත් පේන්නෙ නෑ.’’

‘‘ඔහෙ නෙමෙයි, අපේ වම් පැත්තෙ ..... අර වංගුව ගාව..... පේන්න බලන්න එපා.....’’

අකිල නෙත් කොණින් ඒ දෙස බැලීය. ඔවුන්ට යාර විස්සක් පමණ ඈතින් දැවැන්ත ගසක සෙවණ යට, උසැති මැදිවියේ මිනිසෙක් විය. ඔහුට වූයේ සර්පයෙකුගේ වැනි ගුප්ත නිසලත්වයකි. දිළිසෙන පුළුල් දෑසින් ඔහු තරුණයන් දෙස බලා සිටියේ ය. නිකටෙහි සිට දෙපතුළ දක්වා තද කළු පැහැ ඇඳුමින් වැසී සිටි ඒ මිනිසාගේ සුදුමැලි සම කැපී පෙණින.

‘‘අපි ඒපැත්තට හෙමින් හෙමින් යමු’’ විකුම් මිමිණීය. දෙදෙන සෙමෙන් සෙමෙන් එදෙසට ඇවිද යන්නට පටන් ගත්හ. අද්භූත මිනිසා ක්ෂණිකව ආපසු හැරිණ. දිගු සිහින් සැරයටියකට බර වෙමින්, ඔහු ඉදිරියට පිය නඟන්නට විය. තරුණයන් තමා ළුහුබඳින බවට හැඟීමක් ඔහු තුළ වූ බව, ඔහුගේ ගමන් වේගයෙන් ම පෙණින.




‘‘මොකද කරන්නෙ.....?’’ අකිල හතිළෑය. ‘‘දුවල ගිහින් අල්ල ගමුද?’’

‘‘අල්ල ගෙන මොනව කරන්නද මචං.....? එහෙම කරන්න බෑ. එතකොට ඔක්කොම වරදිනවා.’’

දෙමිතුරෝ ගුරු පාරේ අඳුර මැද නැවතුණහ. අද්භූත අමුත්තාගේ උස් සිහින් සේයාව කළු පැහැ විස්මයාර්ථ ලකුණක් සේ ඈත නොපෙනී යමින් තිබිණ.

‘‘හ්ම්..... ම්..... මොකද උඹ හවස කරන්නෙ.....?’’ විකුම් ඇසීය.

‘‘මොකුත් නෑ’’

‘‘එහෙනම්..... යමුද රෙස්ටුරන්ට් එක පැත්තෙ? මගෙ රූම් එකටත් ගිහිල්ලා.....’’

අකිල හිසින් එකඟ විය.

-----------------------------------------

අකිල දොරගුලෙහි යතුරු කට සොයාගත්තේ අසීරුවෙනි. බෝතලයේ බලපෑම ඔහුගේ අත පය සරළ චලනයන්ට හුරු කර තිබිණ. වැතිරගැන්මට නොඉවසිළිමත් වූ හිස..... එල්ලාවැටුනු ඇසිපිය.....

දොර පියන සෙමෙන් විවර විය. සාලයට ඇතුල් වූ අකිල, විදුලි පහන දැල්වීමට සිතුවේ නැත. ඔහු දෙපා අද්දමින් ගොස් කාමරයට ඇතුල් විය. ඔහුගේ පයේ යමක් හැපුනේය. ඉන් ඉවතට අඩිය තැබූ විට, එතැන තවත් මොකක්දෝ තිබිණ. මවිතයට පත් අකිල බිත්තිය පුරා අතපත ගා, අවසන විදුලි පහන දැල්වීය.
නිවස මුළුමණින්ම අවුල් කර දමා තිබිණ.

තරුණයාගේ දෙනෙත් විස්මයෙන් ඇයී ගියේ ය.

මීළඟ කොටස...

----------------------
පින්තූරය ගත්තෙ - http://mysteriousuniverse.org/wp-content/uploads/2012/11/dark-night.jpg

Monday, July 1, 2013

රුහිරෙන් පුදමි - ඩ්‍රැකියා ලියන නවකථාව - 1 කොටස


එය කදිම උදෑසනක් නොවීය.

නෙල්කා ගේ කාමරයේ දොර අසළ තේ කෝප්පයක් අතැති මෙහෙකාරියක් විය.

“ටක් ටක් ටක්........“

පිළිතුරක් නැත.

නෙල්කා...“

එහෙත් පිළිතුරක් නැත.

ටක් ටක් ටක් ටක් ටක් .....“

මොකද ? මොකද මේ ?“ කොරිඩෝරය ඔස්සේ ඇදී ආ නේවාසිකාගාර පාළිකාව දොර අසළ නැවතුණා ය.

නෑ සිස්ටර්, මේ.... මම මේ නෙල්කා තේ වලට ආවෙ නැති නිසා බලන්න ආවා. ඒත්.... කිසිම හාහූවක් නෑ.“

වෙනද බෙල් එකට නැගිටිනවනෙ.“

.............“

මොනව වෙලාද මේ කෙල්ලට? ........... මේ දොර අරින්න පුළුවන්ද බලමු“

දොර යතුරුලා නොතිබුණි. ක්ර්ර්ර්රීරීස්ස් හඬින් දොර සෙමෙන් විවර විය.

කන්‍යාසොයුරිය පසුපසින්  කාමරයට ඇතුල් වූ මෙහෙකාරියට අමුත්තක් දැනිණ.

උදෑසනකට උචිත නොවූ අස්වාභාවික සීතලක් කාමරය පුරා පැතිර තිබිණ. කාමරයේ වූ එකම ජනේලයේ සුදු පැහැ තිරය මඳ සුළඟින් සෙමෙන් සැළෙමින් පැවතුනි. නෙල්කා ගේ ඇඳෙහි වූ ඇතිරිලි පවා වෙනදාට වඩා සුදුමැළි යැයි මෙහෙකාරියට හැඟුණි.

පැකිළෙන පියවරින් කන්‍යාසොයුරිය ඇඳ අසළට ගියා ය.

නෙල්කා...“

.............“

එක් රැල්ලකුදු නොවූ සුදුමැළි පොරවණයෙන් තරුණියගේ නාසය තෙක් වැසී තිබිණ. ඇගේ දිගු ඇසිපිය දෙකොපුල් මත පතිතව තිබුණේ යාන්තමිනි. මුහුණ පුරා වූයේ කිරිගරුඬ ප‍්‍රතිමාවක බඳු නිර්මල බව මුසු වූ පෙනුමකි.

ඇ දෙසට දිගු වූ  පාළිකාවගේ සැළෙන ඇඟිලි, පොරවණය ග‍්‍රහණය කළේ ය. ඉන් සෙමෙන් සෙමෙන් පොරවණය මෑත් කෙරුණි.

මහ හඬක් නඟමින් කෝප්පය මෙහෙකාරියගේ අතින් ගිළිහී බිම වැටිණ. උදෑසන ශාන්ත නිසංසල බව බිඳුණේ ගැහැණුන් දෙදෙනෙකු යටිගිරියෙන් නැඟූ විළාපයකිනි. එතෙක් අවට නැඟෙමින් තිබූ සිහින් හඬවල් එක්වනම නැවතිණ. සුළඟ පවා වික්ෂිප්තව නිසල වූ සේ ය.

කනා සොයුරියගේ හදවත ඇයටම දරාගත නොහෙන තරම් වේගවත්ව ගැහෙන්නට විය. අක‍්‍රිය වූ ගතින් යුත් ඇයට වත්, මෙහෙකාරියට වත්, තම පළල්ව විදැහී ගිය ඇස් නෙල්කාගේ මුහුණින් ඉවත් කරගත නොහැකි ලෙස දැණින.

ළා අළු පැහැයට හැරෙන්නට තරම් සුදුමැළිව තිබූ නෙල්කාගේ මුහුණ ශාන්ත විය. යම්තාක් දුරකට හෝ සාමාන්‍ය දෙයක් ලෙස පෙණුනේ එය පමණි. ඇගේ ගෙළ රතු හා සුදු රෝස මල් වලින් වසා තිබිණ. ළය මත ඇඟිලි බැඳී තිබූ දෑතෙහිද වූයේ සුදු රෝස මල් කිණිති රාශියකි. එම රෝස පෙති සමහරක් මත ඇගේම රුධිර බිඳිති, පිණි බිඳු සේ විසිරී, වියළී තිබිණ. බැලීමට නොහැකි තරම් වූයේ ඇගේ දෙතොළ ය.

භයානක ලෙස සුදුමැළිව තිබූ ඇගේ දෙතොල් වියළී ඉරී ගොස් තිබිණ.

------------------------------------------------------------------------------------

අන්ධකාරය....... හාත්පස මිදී තිබුණි. එය අමාවක රාත‍්‍රිය විය. සමස්ත පරිසරයම නිසලව වැතිර සිටියේ ය. එක් දෙයක් හැරෙන්නට........

අඳුර අතරින් තද ඡායා ඇතිකළ ගස් අතු තම ඇඟිලි තුඩු පඬු පැහැ පරණ ගොඩනැගිල්ලක් දෙසට දිගු කරගෙන සිටියේ ය. ඉතා දුරින් ඔරළෝසුවක අපැහැදිළි ලෝහමය රාවයක් නැගෙන්නට විය. එම හඬ වියැකී යනවාත් සමඟම ගොඩනැගිල්ලේ බිම් මහළේ එක් ජනේලයක් සෙමෙන් විවර වන්නට ගති. ඒ කන්‍යාරාමයේ නේවාසිකාගාරය විය. විවර වූ ජනේලය තුළින් එක් අඳුරු පොදියක් එළියට පැන සිටගත්තේ ය.

එය දෙගිඩියාවෙන් මෙන් මඳක් නතර වී සිටියේ ය. එහි හැඩයෙන් ඒ ස්ත‍්‍රියක වූ බව පෙනිණ. දිගු හුස්මක් හෙළූ ඈ සෙමෙන් ඉදිරියට ආවා ය. එක් බොරළු කැටයක් පෙරළෙන හඬක් හෝ නොනැඟුණි.

ස්ත‍්‍රිය තවත් ඉදිරියට ආවා ය. මිදුල පසුකර ගෙවත්තේ ගස් අතරට...... ගස් යට වූ තද අඳුරට පිවිසුණු ඈ මඳක් පැකිළෙමින් නැවතුණා ය.

අඳුර තුළ ඇගේ ඇඳුමේ වූ සුදු පැහැය සෑහෙන තරම් පැහැදිළිව දිස් විය. ඈ ඇඳ සිටියේ දුහුල් රාත‍්‍රී ඇඳුමක් සහ ජර්සියක් පමණි. දෑත් ළය මත බැඳ ගනිමින් ඈ අවට පැතිර තිබූ ලේ කැටි ගැසෙන සීතලෙන් ආරක්ෂා වීමට තැත් කළා ය. ඇගේ කුඩා නවයොවුන් සිරුර ගැහෙමින් පැවතිණ.

යුවතිය ගේ සුරතේ වූ යමකින් මළාණික එළිය තීරුවක් විහිදෙන්නට විය. යක්ෂයාගේ ¥තයින් මුදාහැරෙන හෝරාවක, ඝන අන්ධකාරයේ අනාරක්ෂිත වූ ඇයට තිබූ එකම ආරක්ෂාව ඒ කුඩා විදුලි පන්දම විය.

ඈ හනි හනික ගස් අතරින් පියමං කර ගියා ය. අඳුර අතරින් බොඳ වී පෙනෙන කිළිටි සුදු පැහැ තාප්පය සුදු මැළි අවතාරයක් සේ ඈ ඉදිරිපිට නැඟී සිටියේ ය.

ඈ තවත් සිතිවිලි වලට ඉඩ නොදී ඒ වෙත ගියා ය. තාප්පය අයිනේ වූ අතුපතර ගැවසි විශාල ගස අසළට ආ ඈ, ගස මුළ වූ ඝන අඳුර විසින් ගිළගනු ලැබුවා ය. මොහොතකින් සර සර ශබ්දයක් සමඟ ගසේ අතු සෙමෙන් සෙළවෙන්නට විය. යුවතියගේ ඇඳුමේ වූ සුදු පැහැය ගසේ අත්තක් මත දැකිය හැකි විය.

තරුණිය තවත් නොසිතා තාප්පයෙන් අනෙක් පසට විහිදුණු අත්තක් දිගේ ඇදුණා ය. එහි සිට ඈ තාප්පයෙන් අනෙක් පැත්තට පැන්නා ය.

බිම වැටුණු යුවතිය සෙමෙන් නැඟී සිටියා ය, තැන තැන විසිර තිබූ සුදුමැළි සොහොන් කොත් දෙස නොබලා සිටීමට තැත් කරමින්...... බකමූණෙකුගේ මූසල රාවයක් හාත්පස පැතිර යත්ම ඇගේ ලේ සීතල වී ගියේ ය.

දෑස් පියාගත් ඈ ‘නමෝ මරිය‘ යාඥාව වචනයෙන් වචනය සිහින් හඬින් කොඳුරන්නට වූයේ ඇගේ ම කටහඬින් බියපත් වෙමිනි. යාඥාවෙන් මඳක් දිරිමත් වූ යුවතිය තම දෙනෙතට අවට දර්ශනය දැකීමට ඉඩ නොදීමට තැත් කරමින් ඉදිරියට ඇදුනා ය. වල් පඳුරු මත වූ පින්නෙන් පෙඟුණු ගවුම නිසා ඇගේ දෙපා අයිස් බඳු සීතලෙන් හිරි වැටිණ.

ඈ නතර වූයේ විශාල අලිපේර ගස මුලට ආ පසු ය. නියමිත ස්ථානය වූයේ එතැන ය. ඉතින් ....... ඇත්තේ බලා සිටීම පමණි.

පළාතම නිහඬතාවයේ ගිළී තිබිණ. අන්තයක් නොමැති වූ භයංකර නිහඬතාව. ඝනාන්ධකාරය මැද තනිවූ තරුණියට, තනිවීම තරම් සුරක්ෂිත බවක් තවත් නොවී ය. තමන් අවට කිසිවකුත්ඇති බවක් නොපෙණුන ද, නොඇසුණ ද, එය සහතික කරගැනීමට නොහැකි බව භයංකර තත්ත්වයකි.

තම හදවත වේගයෙන් ගැහෙන හඬ ඇයට ඇසෙන්නා බඳු විය. ඈ දෑස් විදහාගෙන හාත්පස කෙරෙහි තියුණු අවධානයකින් පසුවූවා ය.

අඳුර අතරින් යාන්තමට පෙනී නොපෙනී යන ඡායා ....... යාන්තමින් ඇසුණාක් මෙන් දැනී නැවත කෙසේවත් නොඇසෙන සියුම් ශබ්ද.......

තරුණිය සෙමෙන් සෙමෙන් අලිපේර ගසේ දැවැන්ත කඳට පිටදී හේත්තු වූවාය.

සරස්“

හඬ නැඟුනේ ඈ පිටුපසිනි. ඈ එක්වරම තිගැස්සුණා ය. ඇගේ හදගැස්ම ඇයට ම ඇසෙන්නා සේ විය. විසල් දෑස් විදහා ගත් ඈ පෙන්ටෝර්ච් එළිය ඒ දෙසට යොමු කළා ය. එහි වූයේ ගසෙන් වැටුණු වියළි කොළයකි. ඇගෙන් සුස්මක් පිටවූයේ නිරායාසයෙනි. නමුත් ....... එය සැනසුම් සුසුමක් වූයේ ඒ මොහොතට පමණි.

වැඩිපුර බලපු ලිපි