ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...
ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, දේපළ පැහැරගැනීම, සොර බඩු භාර ගැනීම, සොර බඩු විකිණීම, ව්‍යාජ මුදල් හුවමාරුව, සළකුණු කළ කාඩ්වලින් සෙල්ලම් කිරීම... ආදී විෂමාචාර රාශියකට වැරදි කරු වන, මරා හෝ පණ පිටින් අල්ලා දෙන්නෙකුට තෑගි මුදල් නියම කර තිබෙන, ඒ වගේම ඉතා ම දරුණු සහ දක්ෂ වෙඩික්කරුවෙක්.
ඔහු කිසිම විශ්වාසයක් තැබිය නොහැකි, තමන්ගේ සගයන් බිලි දී හෝ තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්නා කැත මිනිහෙක්. ටූකෝ කැත මිනිහෙක් වුණේ කොහොමද?
ටූකෝ ගේ මල්ලි පැබ්ලෝ රමීරස් හාත්පසින් ම වෙනස්. ඔහු කතෝලික හෝ ක්‍රිස්තියානි සහෝදරතුමෙක්. ඔවුන් දෙදෙනා හමු වුණු අවස්ථාවක මේ ගැන කතා බහක් ඇති වුණා. රමීරස් සහෝදරතුමා තමන්ගේ අයියගේ විෂමාචාරී ජීවිතය ගැන ගර්හාවට ලක් කළ විට අයියා කීවේ මේ වගේ දෙයක්...
"උඹ හිතනවද, උඹ මට වඩා හොඳයි කියලා? අපි ආපු දිහාවේ, කාට හරි දුප්පත්කමෙන් මැරෙන් නැතුව ඉන්ඩ නං, එක්කො පූජකයෙක් වෙන්ඩෝනෙ, නැත්තං අපරාධකාරයෙක් වෙන්ඩෝනෙ. උඹ උඹේ පාර තෝර ගත්තා, මං මගේ පාර තෝරගත්තා. මගෙ පාර තමයි අමාරු. උඹ කතා කරනවනෙ අම්මයි තාත්තයි ගැන... උඹට මතක නෑ උඹ පූජකයෙක් වෙන්ඩ පිටත් වුණාම, මම ගෙදර නතර වුණා. මට වයස අවුරුදු දහයක්, දොළහක්... මට මතක නෑ, නමුත් මම නතර වුණා. මං උත්සාහ කළා, ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ. මං දැන් උඹට දෙයක් කියනවා... උඹ පූජකයෙක් වුණේ, මං කරන දේ කරන්න බයගුල්ලෙක් වුණ හින්දා..."
සෙන්ටෙන්සා හෙවත් ඒන්ජල් අයිස් ඉතාම දක්ෂ සහ නපුරු වෙඩික්කාරයෙක්. ඔහු කුළියට මිනී මරන්නෙක් හැටියටත් කටයුතු කළා.
පුද්ගලයන් කීප දෙනෙක්, සොරකම් කරගත් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් යම් තැනක සඟවා තිබෙණවා. ඒ සඟවා ඇති තැන දන්නේ ජැක්සන් නම් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. බේකර් නම් තැනැත්තා ඒන්ජල් අයිස් ට කොන්ත්‍රාත්තුවක් දෙනවා, ජැක්සන් සොයාගන්න. ඒ සඳහා ඔහු ඩොලර් පන්සීයක් ගෙවන්නට පොරොන්දු වෙනවා. නමුත් ඒන්ජල් අයිස් ට ඔහු සොයාගන්න හැකි වන්නේ නෑ. ඒ ජැක්සන් තම නම වෙනස් කරගෙන සැඟවී සිටින නිසා.
ඒන්ජල් අයිස් හොයාගන්නවා, ජැක්සන් ඔහුගේ මිතුරෙකු වන ස්ටීවන්ස් ගේ ගෙදරට ඇවිත් ගිය බව.
ඒන්ජල් අයිස්, ස්ටීවන්ස් ගේ ගෙදර ගිහින්, ඔහු කෑමට සූදානම් කරගත් සුප් එකෙන් කොටසකුත් බීලා, ජැක්සන් ගේ අලුත් නම අහනවා. ස්ටීවන්ස් අහනවා, මේ සඳහා බේකර් ඒන්ජල් අයිස් ට කීයක් ගෙවනවා ද කියා. "පන්සීයයි" ඒන්ජල් අයිස් කීවා ම, "එහෙනම් බේකර් මරා දමන්න මම දාහක් දෙන්නම්" කියා ස්ටීවන්ස් ඔහුට මුදල් දෙනවා. ස්ටීවන්ස් කියන දේවලින් ඒන්ජල් අයිස් දැනගන්නවා සැඟවූ මුදල් ගැන. නමුත් ජැක්සන් ගේ නම දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒන්ජල් අයිස් ස්ටීවන්ස්ට සහ ඔහුගේ පුතුන් දෙන්නාටත් වෙඩි තියලා ආපහු එනවා.
තම කොන්ත්‍රාත්තුව අකුරට ම ඉටු කරන ඒන්ජල් අයිස්, පළමුව ස්ටීවන්ස් මරණවා. ඉන්පසු බේකර් වෙත ගිහින් තොරතුරු ලබා දී, බේකර්වත් මරණවා.
ජැක්සන්ගේ පෙම්වතියක් ගෙන් ඒන්ජල් අයිස් දැනගන්නවා, ජැක්සන් දැන් භාවිත කරන්නේ බිල් කාසන් යන නම බව.
ඉතින් බිල් කාසන් සොයාගැනීමට ඒන්ජල් අයිස් ඇමරිකානු රාජ්‍ය හමුදාවට එකතු වෙනවා.
රන්වන් කෙස් ඇත්තා හෙවත් බ්ලොන්ඩි නමින් හඳුන්වන නමක් ගමක් නැති මිනිසා, තමන්ගේ දක්ෂතාවන් භාවිත කරලා ඩොලර් කීපයක් උපයා ගන්න තැත් කරන්නෙක්. ඔහු ටූකෝ අල්ලාගෙන, ෂෙරීෆ්වරයෙකුට භාර දී මුදල් තෑග්ග ගන්නවා. නඩු විභාගයෙන් පසුව, ටූකෝ දෑත් පිටිපස්සට තබා බැඳ, අශ්වයෙකු පිට හිඳුවා, ගසක අත්තක ගැට ගසන ලද තොණ්ඩුවක් ඔහුගේ බෙල්ලට දමා, ඔහු වරදකරු බවට ඔප්පු වූ චෝදනා ප්‍රකාශ කර, අශ්වයාට කෝටුවෙන් පහර දෙනවා. එතැන දී බ්ලොන්ඩි ටූකෝ ගේ ගෙළට දමා ඇති ලණුවට වෙඩි තබා, එය කපා හැර, රැස්ව සිටින පිරිමින්ගේ තොප්පිවලටත් වෙඩි තබා, ටූකෝ බේරාගෙන පළා යනවා. පසුව තෑගි මුදල ඔවුන් දෙකට බෙදා ගන්නවා.
නමුත් ටූකෝ ඒ ගනුදෙනුවේ තමන්ට අයිති කොටස අමාරු නිසා, තෑගි මුදලින් වැඩි කොටසක් අවශ්‍ය බව කියනවා. එයින් මේ දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා.
මේ කතාවට අදාළ වන කාලය, ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ පාලන කාලයේ පැවති සිවිල් යුද්ධ කාලය. වහල් මෙහෙයට පක්ෂ දකුණේ ජනපද සහ රජයට පක්ෂ උතුරේ ජනපද අතර යුද්ධයක් පැවතුනා. නිල් කබා කාරයන් සහ අළු කබා කාරයන් ලෙස දෙපාර්ශ්වයේ හමුදා හැඳින්වුණේ.
ටූකෝ සහ බ්ලොන්ඩි දෙන්නාට මේ අතර හමුවෙනවා, මරණාසන්නව සිටින බිල් කාසන් හෙවත් ජැක්සන්. ඔහු ඩොලර් දෙලක්ෂය සඟවා ඇති ස්ථානය ටූකෝට කියනවා. එය සොහොන් පිටියක්. ටූකෝ, ඔහුගෙන් වැඩි විස්තර ලබා ගන්නට, ඔහු ප්‍රකෘතිමත් කරන්නට වතුර ගෙන ඒමට ගිය අතරේ, මුදල් සඟවා ඇති මිනී වල කුමක්ද කියා බිල් කාසන් බ්ලොන්ඩි ට කියනවා.
ටූකෝ වතුර ගෙන ඒමට කලින් බිල් කාසන් මිය යනවා. ටූකෝ ඔහුගේ ඇඳුම් ඇඳගෙන, ඔහුගේ නම යටතේ පෙනී හිටින්නට පටන් ගන්නා අතර, මේ දෙන්නා ඒන්ජල් අයිස් ට හමුවෙනවා. බිල් කාසන් අළු කබා හමුදාවේ සිටි අයෙක් වෙද්දී, ඒන්ජල් අයිස් නිල් කබා කාරයන් ගේ හමුදාවේ මායිමක් මුරකරන හමුදා අණු ඛණ්ඩයක සිටියේ.
ටූකෝ පෙනී සිටින බිල් කාසන් යන නම අනුව, මේ දෙන්නා රහස දන්නා බව ඒන්ජල් අයිස් දැනගන්නවා. ඒ රහස දැනගන්නට ඔවුන් සංගීත පෙරෙට්ටුවක් පවත්වනවා. එය මානව දයාව සහ සහකම්පනය දනවන ජවණිකාවක්.
එහෙම වෙන්නෙ කොහොමද?
හමුදා කඳවුරේ ප්‍රධානියා ආබාධිතයෙක්. ඔහු සිරකරුවන්ට වධ දීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වනවා. ඒ නිසා සිරකරුවන්ට පහර දෙනවිට ඔවුන් නඟන විළාප නෑසෙන්නට හමුදා කණ්ඩයේ සංගීත කණ්ඩායම පුහුණු කිරීම් ඊට සමගාමීව ම පවත්වනවා. එතැනදී වෙන්නේ මොකක් දැයි හොඳින් දන්නා වයලින් වාදකයෙකුගේ මුහුණින්, ඉතා සංකීර්ණ හැඟීම් මාළාවක් නිරූපණය කරවන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.
වධ දී, ටූකෝ ගෙන් සුසානභූමියේ නම දැනගන්නා ඒන්ජල් අයිස්, බ්ලොන්ඩි ද කැටුව සඟවා ඇති මුදල් සොයාගන්නට පිටත් වෙනවා. ටූකෝ ත් තමන් සිටින රැඳවුමෙන් පළා එනවා. මේ තුන් දෙනාගෙන් කාට මුදල් සොයාගන්නට හැකි වේවි ද?
හොඳ නරක කැත මිනිස්සු, 1966 දී සර්ජියෝ ලියොන් අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ නිර්මාණයක්. මේ චිත්‍රපටියට පසුබිම් වන්නේ, චිත්‍රපටය හැදූ කාලයෙන් හරියට ම අවුරුදු සීයකට පෙර කාලය. මිනිසුන්ගේ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් වගේ ම, යුද්ධයේ ඇති නිරර්ථක සහ බිහිසුණු බව මේ චිත්‍රපටියෙන් ඉතා ම කදිමට නිරූපණය වෙනවා.
ඒ වගේ ම ප්‍රසිද්ධ කියමන් රාශියකුත් මේ චිත්‍රපටියෙන් බිහි වුණා. “මේ ලෝකේ ආකාර දෙකක මිනිස්සු ඉන්නවා...“ “නුඹ වැඩ කරන්නේ ජීවිකාව සඳහා නම්, ඇයි වැඩ කරමින් නහින්න හදන්නේ?“ “සෑම තුවක්කුවක් ම, ඊට ආවේණික හඬක් නඟයි...“ “උඹ වෙඩිතියන්න ආවනං, වෙඩිතියපං. කතා කර කර ඉන්ඩ එපා.“ “ඩොලර් ලක්ෂ දෙකක් කියන්නේ ලොකු මුදලක්. අපිට ඒක උපයගන්න වෙනවා.“ “කාට හරි වැඩි ම ප්‍රමාණයක් මත් පැන් තිබේනවාද? ඔහු සෙබළුන් බීමත් කරවා, මැරෙන්නට පිටත් කරනවා ද? ඔහු තමයි ජයග්‍රාහකයා“ මේ අතරින් කීපයක්.
මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය බලා ඇතුවාට සැක නැහැ. (බලා නැත්නම් බාගත කරන්නට සබැඳිය මෙතනින්.) ඒ නමුත් මෙහි ඇති සංකීර්ණත්වය සහ විචිත්‍රත්වය නිසා මේ ලිපිය ලියන්නට ම උවමනා වුණා.
මේ චිත්‍රපටියේ තිර රචනය ඇසුරින් ඩීමන් ආනන්ද පොත් තුනක් නිකුත් කළා. “මිනීමරු ටූකෝ“, “අඩියෝස් සෙන්ටෙන්ෂා“ සහ “හොඳ නරක කැත මිනිස්සු“ මේ පොත් තුන. පසුකාලීනව 2008 දී විතර මේ පොත් තුන එකතු කරලා හොඳ නරක කැත මිනිස්සු නමින් තනි පොතකුත් නිකුත් වුණා.




























